අප ගැනම

සියලු සාම්ප්‍රදායික දේ මියගොස් නොවැදගත් වී ඇතැයි, චිරන්තන සම්ප්‍රදාය, පැරණි මූලයන්, මූල ග්‍රන්ථ, සම්භාව්‍ය චින්තනය පළක් නැතැයි ඉඳුරා ප්‍රතික්ෂේප කළයුතු යැයි, ඒ පිළිබඳව ගවේෂණය කිරීම පළක් නැතැයි තරුණ තරුණියන් අතර පිළිගැනී තිබුණු යුගයක, අපි සම්භාව්‍ය චින්තනය අධ්‍යයනය සඳහා අධ්‍යයන කව සංවිධානය කරමින් අපේ කටයුතු ආරම්භ කළෙමු. අරුත් සුන් වූ නූතනයක, වසඟයෙන් මිඳුණු ලෝකයක, සම්භාව්‍ය සාහිත්‍යයට, සම්ප්‍රදායට, මූල කෘතීන් වෙතට ගොස් වර්තමාන ජීවිතයට ඉන් ආලෝකයක් ලබා ගත හැකිය යනුවෙන් සමාජයේ එවිටමත් තිබුණු සාකච්ඡාව යළිත් කුළුගැන්වීම අපගේ අපේක්ෂාව විය.

සම්භාව්‍ය චින්තනයේ ආලෝකයෙන් තොරව මානව ලෝකයේ දිගු ගමන් මඟ වටහා ගැනීමට අවශ්‍ය ප්‍රබල හා දිගුකාලීන පර්යාලෝකය වර්ධනය කරගත නොහැක්කේය, අපගේ වත්මන් ලෝකය වටහා ගැන්මට නම් අපට එවැනි පර්යාලෝකයක් අවශ්‍යය යන්න අපගේ අවබෝධයයි.

න්‍යාය සහ දේශපාලනය
‘දේශපාලනය සඳහා හැදෑරිය යුතුය’ යන මතයක ආධිපත්‍යය යටතේ, ස්වාධීන අදහස් ඇති තරුණ තරුණියන් දේශපාලනයට ප්‍රවිශ්ඨ වීමට බියපත්ව සිටි යුගයක, ‘සිවිල් සමාජයේ’ ‘කුහකවත’ට පහරදීමේ කඩතුරාවට මුවාවී දේශපාලන සාකච්ඡා නිහඬකොට, අක්‍රියකොට තිබුණු යුගයක, කිසිවකුට වටහා ගත නොහැකි අලුත් අලුත් න්‍යායවල් මෝස්තර මෙන් සමාජයට වැසි වසිමින් තිබුණු යුගයක අපි ‘දේශපාලනය කිරීමට න්‍යාය කඳුලක්වත් අවශ්‍ය නොවේ’, යන මතයේ පිහිටා දේශපාලන භාවිතාව න්‍යායයේ ආධිපත්‍යයෙන් මුදවා ගැනීම වෙනුවෙන් පෙනී සිටියෙමු.

ශාස්ත්‍රීය කතිකාව සහ දේශපාලනය
දේශපාලනයෙන් වියෝ වී පවතින ශාස්ත්‍රීය කතිකාවට දේශපාලනය ගෙන ඒම අපගේ අරමුණ විය. සම්භාව්‍ය චින්තනයත්, ශාස්ත්‍රීය විග්‍රහයත්, දේශපාලනයත් අතර සම්බන්ධතාවක් ගොඩනැංවීම අපගේ අරමුණ විය. මෙහිලා දේශපාලනය යනුවෙන් අප අදහස් කරන්නේ රාජ්‍ය බලය ලබා ගැනීමේ අරගලය නොව, සාමූහික ජීවිතයේ යහපැවැත්ම සඳහා සක්‍රීය ඍජු පුරවැසි සහභාගීත්වය කැඳවන දේශපාලනයයි.

ගෙවුණු කාල පරිච්ඡේදය තුළ අපි ශාස්ත්‍රීය විග්‍රහය මැද ඍජු දේශපාලන මැදිහත්වීමක් ද කළෙමු. 2005 ජනාධීපති මැතිවරණයේදීත්, ඊට පසු ජනවාර්ගික අනන්‍යතාවය පිළිබඳවත් අප නිකුත් කළ ප්‍රකාශ ඊට නිදසුන්ය.

රුචිකත්වය සහ කලාවේ, සංස්කෘතියේ විශදභාවය වෙනුවෙන්
කලාව හා සංස්කෘතිය පිළිබඳ සාකච්ඡාවේදී, කිසිදු විශදභාවයක් නොමැතිව සියල්ලම කලාව යැයි, සියල්ලම සංස්කෘතිය යැයි, වෙනත් වචන වලින් කියතොත් කලාව කියා සුවිශේෂ දෙයක් නැතැයි කී යුගයක, අපි කලාව වෙනුවෙන්, කලාවේ, සංස්කෘතියේ විශදභාවය කෙරෙහි, තරයේ පෙනී සිටියෙමු.

බෝඩියු මෙන් නොව අපි රුචිකත්වය වගා කරගත හැකි දෙයක් බව කියා සිටිමු. උසස් කලා රුචිකත්වය වගා කරගැනීමට අවස්ථාව සියලු දෙනාටම එකසේ සැපයීම ප්‍රජාතන්ත්‍රවාදයේ පොරොන්දුව බවත් සිහිපත් කරමු.

සංස්කෘතික විචාරයේ නමින් ඊනියා ‘ජනප්‍රිය සංස්කෘතිය’ හුවා දැක්වීම මහ ජනයාට සංස්කෘතියේ විදග්ධ මහත් ඵල, මහානිසංස අහිමි කිරීමේ මගක් ලෙස දකිමු.
චමත්කාරය රසවිඳීම කලාවේ පදනමයි. අපි චමත්කාරය, සුන්දරත්වය, රුචිකත්වය වෙනුවෙන් පෙනී සිටිමු. කලාවක්, සංස්කෘතියක්, අධ්‍යාපනයක් වැඩෙන්නට සමාජයක ප්‍රමිතීන් තිබිය යුතුය. ප්‍රමිතීන් පවත්වා ගෙන යා යුතුය.

අප ගැඩමර් ගේ සුන්දර දෙයෙහි අදාළත්වය: කලාව කෙළිය, සංකේතය සහ මේලාව ලෙසට කෘතිය පරිවර්තනය කො‍ට ඉදිරිපත් කළේ මෙම අරමුණිනි. එය‍ට යහපත් ප්‍රතිචාරයක් ලැබීම පිළිබඳ අපි සතුටු වෙමු.

‘සංවර්ධනය’
‘සංවර්ධනය’ යනුවෙන් දෙයක් ඇත, ලෝකය ‘සංවර්ධනය’ කළ හැකිය, අපට ‘නිවැරදි දේශපාලන ක්රමය’ තිබේ නම් අපට ‘සංවර්ධනය’ ලැබෙනු ඇත, අපට අවශ්ය නම් ‘නිවැරදි දේශපාලන ක්රමය’ අපට ඇතිකර ගත හැකිය යනුවෙන් පළවෙන ප්‍රචලිත අදහස් , ‘සත්යයන්’ නොව සුවිශේෂ නූතනවාදී මතවාදයක ප්රකාශනයන් යැයි අපි කියා සි‍ටියෙමු. සංවර්ධනය පිළිබඳ නූතන කතිකාව බිහිවන්නේ හේතුවාදය පිළිබඳ ප්රබුද්ධත්වයේ විශ්වාසය පදනම් කරගෙනය. සමාජයක පර්යාය ඇති කරන්නට සුදුසු නිවැරදි දේශපාලන ක්රමයක් තිබේය, යන්න ද මෙම හේතුවාදය පිළිබඳ විශ්වාසයේම අනුපූරක අදහසකි. නිවැරදි දේශපාලන ක්රමය පිළිබඳ අදහසින් කියැවෙන දෙය නම් ‘දේශපාලන ක්රමය’ සමාජයේ දේශපාලන යථාවෙන් ස්වාධීනව පැවැතිය හැකි බවකි. අපි මෙබඳු නූතනවාදී අදහස් තරයේ ප්‍රශ්න කරන්නෙමු.
සම්භාව්‍ය චින්තනය අනුව යමින් අප කියා සිටින්නේ ‘උත්කෘෂ්ඨම’ දේශපාලන ගැටළුව සදාචාරමය මිස සංවිධානමය නොවන බව ය. තවද, දේශපාලනයේදී වැදගත් වන්නේ රාජ්යයට සමාජ සංවිධානය සහ හොඳම නීති මාලාව මගින් එහි මානව ද්රව්යයන්ගේ සීමාවන් අතික්රමණය කළ නොහැකි ය යන්නයි.

යුද සමයේ අපගේ දේශපාලන කතිකාවෙන් විතැන් වී ගිය හේතුවාදී ‘සංවර්ධන’ කතිකාව යළිත් වරක් අධිපතිභ‍ාවයට පත් වීමේ අනතුර‍ට අප මුහුණ පා සි‍ටිමු.

සම්ප්‍රදාය
‘කතිකා’ අයත් වන්නේ ‘සංස්කෘති’ සහ ‘මාවත’ අනුදත් සම්ප්‍රදායටය. සම්ප්‍රදාය සහ නූතනත්වය යන නූතන ප්‍රතිපක්ෂ ගතකිරීම තුළ ‘සංස්කෘති’ත් ‘මාවත’ත් සම්ප්‍රදාය මත පිහිටා නවීකරණය කරා යොමුවන්නට ගත් උත්සාහයන් ලෙස හැඳින්විය හැකි නම්, ‘කතිකා’ පිහිටන්නේ සම්ප්‍රදායවත් නවීකරණය හෝ නූතනත්වය යන දෙකින් එකක් වත් මත නොවේ.

එහෙයින් ‘කතිකා’ වූ කලි අතීතයට වල්වදින සුබදායී ගමනක්වත්, නවීකරණය බදා වැළඳගන්නා නූතනවාදී ව්‍යාපෘතියක්වත් නොවේ. අපගේ දේශපාලනය කල්තබා සකස්කරගත් මතවාදයකට අනුව සමාජයවත් ලෝකයවත් වෙනස් කිරීම අරමුණු කොටගත්තක් නොවේ. එය වත්මනට කරන විචාරශීලී මැදිහත්වීමකි.

සමාජ, සංස්කෘතික, දේශපාලන විචාරය අපගේ ක්ෂේත්‍රයයි.

‘නූතනත්වය ශිෂ්ඨාචාරයක් නොවේ’
අපගේ සමකාලීන සාමූහික ජීවිතය පිළිබඳ න්‍යාය ගැන්වීමේදී, ඊට විචාරයක් සම්පාදනයේදී අපට ඒ උදෙසා ගත හැකි මඟ කුමක්ද?

අප පය තබා ගෙන සිටින්නේද නූතනත්වය තුළම ය. නූතනත්වය පිළිබඳ සම්පාදනය වී ඇති සම්භාව්‍ය විවේචනය පසුබිමෙහි ලාංකේය නූතනත්වයට ප්‍රතිරෝධය දැක්විය හැකි විවේචනයක් සම්පාදනය කරගැනීම අපගේ අරමුණ යි.

‘නූතනත්වය ශිෂ්ඨාචාරයක් නොවේ’ යන හනා ආරන්ඩ්ට් ගේ අදහස් අපි මෙහිදී සිහිපත් කරමු. බටහිර යුරෝපයේ ‘ප්‍රබුද්ධත්වයෙන්’ මතුව ආ ඥාන මිමංසාව හා ක්‍රමය පිළිබඳ විද්‍යාත්මක ක්‍රමවේදය, විද්‍යාව ද ඇතුළු මානව අත්දැකීම් වටහාගැනීමේ පදනම වශයෙන් පිළිගැනීමේ ඇති දේශපාලනික ගැටලුව අපි මතු කරමින් සිටිමු.

ලෝකය සහ ලෝකමයබව රැකගැනීමේ දේශපාලනය
දේශපාලනයේ අරමුණ ලෝකය සහ ලෝකමයබව රැකගැනීම විය යුතුය යන්න අපගේ අවබෝධයයි. එනම් මානව ලොවේ පැවැත්ම, ලොව රැකගැනීම, මානව සමාජයේ ස්වාධීනත්වය පවත්වාගැනීමට හිතකර සාමූහික ජීවිතය තරකරන දේ රැකගැනීමට කැපවීමකි. ප්‍රජාව එකට බැඳ දමන පොදු භූමිය වර්ධනය කරනවා වෙනුවට ප්‍රජාව මතවාදී රේඛා ඔස්සේ බෙදා වෙන් කරන මතවාදී ආස්ථානයන්ගේ පැති ගන්නා බුද්ධිමය කටයුතු වෙනුවට, ලෝකයේ පැත්ත ගෙන ලොව රැකගැනීමට කැපවන දේශපාලනයක් අපට අවශ්‍ය ය. ඒ පිළිබඳ කතාබහක් ගොඩනැංවීමට අපි කැපවෙමු.

අපගේ මානවීයවාදය
මේ අරමුණෙන් දේශපාලන ලෝකය වෙනුවෙන් වගකීම් භාරගන්නා මානවීයවාදයකට සමාජය කැඳවීම අපගේ අරමුණ යි. මේ අර්ථයෙන් අපගේ මානවීයවාදය, පුද්ගලවාදී, ලිබරල් මානවවාදයෙන් ඉඳුරාම වෙනස් වෙයි.

අපගේ තර්කය වන්නේ ලිබරල්වාදය රඳා පවතින්නේ සදොස් පාරභෞතික දෘෂඨීන් මත බවය. ඒ අනුව පුද්ගලයන්ට තම ස්වයං-උවමනාවන් වැඩි දියුණු කරගැනීම සදහා අනෙකාගේ අයිතීන්වලට ගරුකිරීම නම් සීමාව තුළ තම අයිතීන් කැමති අයුරින් කියාවේ යෙදවිය හැකි අතර මෙම අයිතීන් යොදා ගන්නා අකාරය (යහපත) පිළිබඳව කිසිදු ප්රමිතියක් නැත. ලිබරල්වාදය සතුව නැත්තේ යහපත පිළිබඳ කිසියම් හෝ අදහසකි. යුක්තිය සහ අයිතිය පිළිබඳ අදහසක් අපට ලැබිය හැක්කේ යහපත පිළිබඳ අදහසක් සහිත ප්රජාවක, දේශපාලන ජීවිතය තුළ සහභාගීවිම තුළිනි.

අද අපට ප්‍රතිරෝධය දැක්වීමට සිදුව ඇත්තේ අන් කිසිවක‍ට නොව අප දේශපාලනය තුළ අධිපති බවට පත්වෙමින් තිබෙන පුද්ගලවාදී ලිබරල් අගනාකම් වලටමය. මිනිසුන් දේශපාලනයෙන් දුරස්වන්නේත් පරිභෝජනවාදය නැගී එන්නේත් මෙම පුද්ගලවාදය අධිපතිවාදය දරණ ලෝකය තුළ නොවේද? එබැවින් අප හමුවේ පවතින ගැටලුව වන්නේ පුද්ගල යහපත වෙනුවට සාමූහික යහපත යනුවෙන් අරගල කිරිම නොවේද?

එහෙයින් අපගේ මානවීයවාදය, එය තමන්ට දේවල් සිදුවන්නට හැර බලා සිටිනවා වෙනුවට ක්‍රියාකරන සහ දේශපාලන යථාර්ථයන් හඳුනාගෙන ඒවාට මුහුණදෙන මානවීයවාදයකි. මෙය දේශපාලන කැපවීම පිළිබඳ මානවීයවාදයකි. ස්වභාවයේ ක්‍රියාවලීන් මෙන්ම මානව ලෝකයේ ද සිදුවන කිසිවක් නොවැළැක්විය හැකි ප්‍රවණතා ලෙස සළකා ඒවාට යටත්වීම අපගේ මානවීයවාදය ප්‍රතික්ෂේප කරයි. මානවයන් වූ කලී, තමන් මුහුණ දෙන තත්ත්වයන් හමුවේ ක්‍රියාකිරීමේ හැකියාවක් ඇති, සිතීම සහ ක්‍රියාකිරීමට මුල පිරීමේ හැකියාවක් ඇති, ස්වයංසිද්ධව ක්‍රියාකළ හැකි පුද්ගලයන් බව අපගේ විශ්වාසයයි.

- සංස්කාරකවරු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>