දේශපාලනය – ඇරිස්ටෝටල්

ඇරිස්ටෝටල් (ක්‍රි.පූ.384-322) ඔහුගේ ප්‍රයෝගික දර්ශනය සම්බන්ධයෙන් වඩාත් ප්‍රසිද්ධියක් උසුලන්නේ ඔහු ලියන ලද “ආචාර ධර්මය” සහ “දේශපාලනය” යන කෘති දෙක නිසාය. මෙම කෘති දෙක එකිනෙකට සම්බන්ධ අතර අපගේ ප්‍රාරම්භක කලාපයේ “ආචාර ධර්මයේ” දෙවැනි පොත පළ කරන ලද අතර මෙම කලාපයේ “දේශපාලනයේ” පළමු පොත සම්පූර්ණයෙන්මත් දෙවැනි පොතෙහි අංක 1 සිට 4 දක්වා කොටසුත් පළ කරන්නෙමු.

“ආචාර ධර්මය” කෘතියේ පුද්ගල සතුටේ සහ යහ පැවැත්මේ ස්වභාවය පිළිබඳ සාකච්ඡා කරන ඇරිස්ටෝටල් “දේශපාලනය” කෘතියේ රාජ්‍යය යන්න පුද්ගලයා සතුට අත්කර ගන්නා ප්‍රධාන මාධ්‍යයක් ලෙස දක්වයි. සතුටේ අවසාන අරමුණ පරිපූර්ණව සාක්ෂාත් කරගත හැකි පරමාදර්ශීය රාජ්‍යයක ස්වභාවය පැහැදිළි කිරීමේදී සහ පවත්නා රාජ්‍යය තනි පුරවැසියන්ට වඩා ප්‍රයෝජනවත් කිරීමේ යම් යම් ක්‍රම යෝජනා කිරීමේදී ඔහු මෙම කෘතියේදී ප්‍රායෝගික මෙන්ම මානසවිචාරී ද වේ. හාන්ස් ජොර්ජ් ගැඩමර් පෙන්වා දෙන පරිදි මෙම දේශපාලන නිබන්ධයේ සැළකිල්ල ඇත්තේ නීති සම්පාදනය කෙරේය. ඔහුට අනුව නීති සම්පාදන කලාව සංයුක්ත තත්ත්වයන් හා ගැටෙන යමක් වන දේශපාලන හා අධිකරණ තීරණ ගැනීමේදී සිදුවන කවර හෝ දේ වලින් සහමුලින්ම වෙනස් වේ. ඇරිස්ටෝටල් “ආචාර ධර්මය” කෘතියේදී නීති සම්පාදන කලාව දේශපාලන විචාරය යොදන අනෙකුත් දේ වලින් සවිස්තරව වෙසෙසි කොට දකින බව ගැඩමර් පෙන්වා දෙයි.

මේ සම්බන්දයෙන් හනා අරෙන්ඩ්ට් පෙන්වා දෙන්නේ පුරවරයක් නිර්මාණය කිරීම නීතියෙහි දැනුම ඇති කවරෙකුට හෝ කළ හැකි වුවත් පුරවරය ආණ්ඩු කිරීම කළ හැක්කේ පුරවැසියන්ට පමණක් බවයි. ග්‍රීකයන් ගැන ඇය පවසන්නේ ඔවුනට නීති යනු පුරය වටා ඇති පවුරු මෙන් ක්‍රියාවේ ප්‍රතිඵල නොව සැදීමේ නිපැයුම් බවයි. මිනිසා ක්‍රියා කිරීමට පෙර නිශ්චිත අවකාශයෙක් අත්කර ගෙන ක්‍රියා හට ගත හැකි ව්‍යුහයක් ගොඩනැගිය යුතුය. මෙම අවකාශය පුරවරයේ මහජන පරිමණ්ඩලයයි.

මෙම සම්භාව්‍ය මූලකෘති වෙත නැවත ගමන් කිරීමෙන් සමකාලීන ලෝකයේ අප අත් විඳින ගැටළු වලට ආලෝකයක් ලැබෙනු ඇතැයි විශ්වාස කරමු.


පළමු පොත

[1] සෑම රාජ්‍යයක් ම යම් ආකාර ජන සමාජයකි. සෑම ජන සමාජයක් ම පිහිටවා ඇත්තේ යම් හොඳක් අරමුණු කරගෙනය. මක්නිසාද සෑම කෙනෙකු ම සැම විට ම කි‍්‍රයා කරනුයේ යහපත් යැයි ඔවුන් සිතන දේ ලබා ගැන්ම සඳහා බැවිනි. නමුත් සෑම ජන සමාජයක් (ප‍්‍රජාවක්) ම කි‍්‍රයා කරනුයේ යම් හොඳක් ඉලක්ක කර ගෙන නම් සියල්ලට ම උසස් සහ අන් සියල්ලම ඇතුල්වන රාජ්‍යය හෝ දේශපාලන ප‍්‍රජාව අන් කිසිවෙකුට වඩා විශාල මට්ටමකින් යහපත අරමුණු කරන අතර, ඒ අරමුණු කරනුයේ ඉහළ ම යහපත ද වේ.

රාජ්‍ය තාන්ති‍්‍රකයෙකු, රජෙකු, ගෘහ මූලිකයෙකු හා ස්වාමියකුගේ සුදුසු කම් එකාකාර ම යැයි ද, ඔවුන් වෙනස් වනුයේ වර්ගයෙන් නො ව ඔවුන් යටතේ සිටින්නන්ගේ සංඛ්‍යාවෙන් පමණකැ යි ද, සමහරු සිතති. උදාහරණයක් වශයෙන්, අතළොස්සක් පාලනය කරන්නා ස්වාමියකු ලෙස ද, ඊට වැඩි ගණනක් පාලනය කරන්නා ගෘහමූලිකයකු ලෙස ද, ඊටත් වඩා විශාල සංඛ්‍යාවක් පාලනය කරන්නා රාජ්‍ය තාන්ති‍්‍රකයකු හෝ රජෙකු සේ ද හැඳින්වෙන්නේ හරියට විශාල ගෘහයක් හා කුඩා රාජ්‍යයක් අතර වෙනසක් නැතිවාක් මෙනි. රජු සහ රාජ්‍ය තාන්ති‍්‍රකයා අතර දැක්වෙන වෙනස පහත දැක්වෙන ආකාරයෙනි. ආණ්ඩුව පෞද්ගලික වන විට පාලකයා රජෙකි. දේශපාලන විද්‍යාවේ නියමයන්ට අනුව, පුරවැසියන් පාලනය කරන අතර ම පෙරළා පාලනය කරනු ලබන විට ඔහු රාජ්‍ය තාන්ති‍්‍රකයෙකැ යි කියනු ලැබේ.

නමුත් මේ දක්වා අපට මඟ පෙන්වා ඇති ක‍්‍රමයට අනුව, මෙම කරුණ සලකා බලන ඕනෑ ම කෙනෙකු ට, පෙනී යනු ඇති පරිදි, මේ සියල්ල වැරදීමකි. විද්‍යාවේ අනෙකුත් අංශයන්හි දී මෙන් දේශපාලනයේ දී ද, සංයුතිය හැම විට ම සරල මූලාංගයන්ට හෝ සමස්තයේ අඩුම කොටස් වලට වෙන් කර ගත යුතුය. එබැවින් වෙනස් ආකාර පාලනයන් එකිනෙකින් වෙනස් වන්නේ කුමකින් ද, ඒ එකින එක ගැන කවර හෝ විද්‍යාත්මක ප‍්‍රතිඵලයක් අත් කර ගත හැකි දැ යි බැලීම සඳහා, රාජ්‍යය සමන්විත වන මූලාංගයන් දෙස අප බැලිය යුතුය.

[2] රාජ්‍යයක් හෝ වේවා, වෙනත් කිසියම් ම දෙයක් හෝ වේවා, ඒවායේ ප‍්‍රථම වර්ධනය හා සම්භවය අනුව, ඒ අන්දමින් එම දෑ සලකා බලන පුද්ගලයා ඒවා පිළිබඳ පැහැදිලි ම දැක්ම ලබා ගනී. සියල්ලට පෙර, එකිනෙකා නොමැතිව පැවැත්මට නොහැකි අය අතර එනම්, වර්ගය දිගට ම පවත්වා ගෙන යාම සඳහා පිරිමියා සහ ගැහැනිය අතරත් (මෙය තේරීම මත නොව, අනෙකුත් සතුන් හා ගස්වැල් සමඟ පොදුවේ තමන්ගේ පිළිබිඹුවක් ඉතිරි කර යාමේ ස්වභාවික ආශාවක් මනුෂ්‍ය වර්ගයාට තිබෙන නිසා ඇති වන එක්වීමකි.) දෙපසම රැකීම සඳහා ස්වභාවික පාලකයා හා යටත් වැසියන් අතරත් එක්වීමක් තිබිය යුතුය. මනස මෙහෙයවීමෙන් අනාගතය දැකිය හැකි කෙනා ස්වභාවයෙන් ම අධිපතියා හා ස්වාමියා වන අතර, තම සිරුරින් එවන් අනාගත දැක්මට සකී‍්‍රයත්වය දිය හැකි කෙනා යටත් වැසියකු හා ස්වභාවයෙන් වහලෙකු වැනිය. එබැවින්, ස්වාමියාට හා වහලාට ඇත්තේ එකම අවශ්‍යතාවකි. දැන් ස්වභාවධර්මය, ගැහැනිය හා වහලා අතර වෙනස දක්වා ඇත. බොහෝ භාවිතයන් සඳහා ඩෙල්ෆියානු පිහිය නිම වන කම්මල්කරුවා මෙන් ඇය මසුරු නොවනුයේ ඇය එක් එක් දේ සදනුයේ තනි භාවිතයක් සඳහා ය. සෑම උපකරණයක් ම හොඳින් ම නිමැවෙනුයේ බොහෝ ප‍්‍රයෝජනයන් සඳහා නො ව එක් ප‍්‍රයෝජනයක් සඳහා අරමුණු කෙරුණු විට ය. නමුත් ම්ලේච්ඡයන් අතර ගැහැනුන් හා වහලුන් අතර වෙනසක් නො සැලකේ. මක්නිසාද ඔවුන් අතර ස්වභාවික පාලකයකු නැති බැවිනි. ඔවුන් පිරිමි හා ගැහැනු, වහලුන්ගේ ජන සමාජයකි. හරියට ම්ලේච්ඡයා සහ වහලා ස්වභාවයෙන් ම එකෙකු යැයි තමන් සිතූ කලෙක මෙන්, කවියන්, හෙලනීකයන්, ම්ලේච්ඡයන් පාලනය කිරීම උචිත යැයි කියන්නේ එබැවිනි. මෙම සම්බන්ධතාවන් දෙක අතරින් මුලින් ම මතු වන දෙය පවුල වන අතර බර අදින ගවයා දුප්පතාගේ වහලා බැවින්; පළමු ව නිවස, බිරිඳ සහ නඟුලට ගවයෙක් යැයි, හෙසියොඞ් කීම නිවැරදි ය. පවුල මිනිසුන්ගේ දිනපතා අවශ්‍යතා සැපයීම සඳහා සොබා දහම විසින් පිහිටවන ලද සංගමය වන අතර චරොන්ඩාස්, එහි සාමාජිකයන් හඳුන්වනුයේ ‘අල්මාරියේ සගයන්’ යනුවෙනි. ක්‍රෙටානු එපිමෙනිඩස් විසින් හැඳින්වනුයේ ‘සතුන්ගේ කෑම පෙට්ටියේ සගයන්’ යනුවෙනි. නමුත් පවුල් කීපයක් එකතු වූ විට හා සංගමය දෛනික අවශ්‍යතා සැපයීමට වැඩි යමක් අරමුණු කරන විට, සැකසෙන ප‍්‍රථම සමාජය වනුයේ ගම ය. නමුත් ගමෙහි ඉතාමත් ස්වභාවික ස්වරූපය ලෙස පෙනෙනුයේ, ‘එකම තනපුඩුවෙන් කිරි උරා බිව්’ අය යැයි කියනු ලබන, දරුවන් හා මුණුබුරන්ගෙන් සමන්විත වූ, පවුලෙන් බිහි වූ ජනපදයක ස්වරූපයයි. හෙලනීක රාජ්‍යයන් මූලාරම්භයේ දී රජුන් විසින් පාලනය කරනු ලැබීමට හේතුව මෙය වේ. මක්නිසාද හෙලනිකයන් තමන් එකට, එකතු වීමට පෙර, සිටියේ ම්ලේච්ඡයින් තවමත් සිටින අන්දමිනි. රාජකීය පාලනය යටතේ සෑම පවුලක් ම වැඩිමහලු ම පුද්ගලයා විසින් පාලනය කෙරිණි. එබැවින් පවුලේ ජනපදයන්හි රාජකීය ආණ්ඩු ස්වරූපය බල පැවැත්වී ය. මක්නිසාද ඔවුන් එකම ලෙයින් යුතු වූ නිසාවෙනි. හෝමර් කියන පරිදි සෑම කෙනෙක් ම ඔහුගේ දරුවන්ට සහ ඔහුගේ බිරින්දන්ට නීතිය දෙන්නේ ය. මන්ද, පුරාණ අවධීන්හි පැවති ආකාරය පරිදි, ඔවුන් ජීවත් වූයේ විසිරී බැවිනි. දෙවියන්ට රජෙකු ඇතැ යි මිනිසුන් කියනුයේ එබැවිනි. මන්දයත්, ඔවුන් ම, රජෙකුගේ පාලනය යටතේ වන හෝ, පුරාණ කාලයේ දී වූ හෝ බැවින් ය. මන්ද දෙවියන්ගේ ස්වරූපයන් පමණක් නොව, ඔවුන්ගේ ජීවන රටාවන් ද තමන්ගේ ම වැනි යැයි ඔවුන් සිතා ගන්නා බැවිනි.

ගම් කිහිපයක් සහමුලින්ම ස්වයං පෝෂිතවන තරමට හෝ ඊට ආසන්න වන තරමට විශාලව තනි පූර්ණ ජන සමාජයක් වශයෙන් එක්සත් වූ විට, ජිවිතයේ මූලික අවශ්‍යතාවන්ගෙන් ඇරඹී, හොඳ ජීවිතයක පැවැත්ම දිගට ම කි‍්‍රයාකාරකමින්, රාජ්‍යය පැවැත්මට එන්නේ ය. එබැවින්, මුල් සමාජ ස්වරූපයන් ස්වභාවික නම්. රාජ්‍යය ද එසේ ම ය. එය ඒවායේ අවසානය බැවිනි. දෙයක ස්වභාවය එහි අවසානය වේ. එක් එක් දෙයක් පූර්ණ ලෙස වර්ධනය වූ විට අප කතා කරන්නේ මිනිසෙකු, අශවයෙකු හෝ පවුලක් ගැන වුවත්, අපි එය ස්වභාවය යැයි කියමු. ඇරත්, හොඳ, දෙයක අවසන් හේතුව හා ඵලය වේ. ස්වයං පෝෂිත වීම අවසානය හා හොඳ ම දෙය වේ.

එබැවින් රාජ්‍යය ස්වභාවධර්මයේ නිර්මාණයක් බවත්, මිනිසා ස්වභාවයෙන් ම දේශපාලන සතකු බවත් පැහැදිලි ය. අහඹුවකින් නොව ස්වභාවයෙන් ම රාජ්‍යයකින් තොර තැනැත්තා එක්කෝ නරක මිනිසෙකි, නැතහොත් මනුෂ්‍යත්වය ඉක්මවා ගියෙකි. ඔහු, හෝමර් විසින් හෙළා දකිනු ලබන, ගෝත‍්‍රයෙන් තොර, නීතියක් නැති, උදුනක් නැති එකා හා සමානය. ස්වභාවික නන්නත්තාරයා වහා ම යුදයට කැමැත්තෙකි. ඔහු හුදකලා වූ දාම් ඉත්තෙකුට සම කළ හැකිය.

දැන්, මිනිසා, මී මැස්සන් හෝ වෙනත් කවර හෝ, රංචු වශයෙන් ජීවත් වන සතකුට වඩා දේශපාලන සතකු බව පැහැදිලි ය. අප බොහෝවිට කියන පරිදි, සොබා දහම කිසිවක් නිකරුණේ නිමවන්නේ නැත. කතා කිරීමේ වරය ඇති එකම සතා මිනිසා ය. හුදු කට හඬ සුවයේ හෝ වේදනාවේ ලකුණක් පමණක් වන අතර, එබැවින් අන් සතුන් වෙත ඇති නමුත් (ඔවුන්ගේ ස්වභාවය සුවය හා වේදනාව දැන ගැන්මට හා ඒවා එකිනෙකාට දැන්වීමට හැකියාව දරන නමුත් ඉන් ඔබ්බට නොයන බැවිනි.) කතා කිරීමේ බලය අරමුණු කරනුයේ උචිත අනුචිත දේ වෙන් කර දැක්වීමට හා එබැවින් එමෙන්ම යුක්තිය හා අයුක්තිය වෙන් කර දැක්වීමට ය. හොඳ සහ නරක, හෝ යුක්තිය හෝ අයුක්තිය හෝ එවැනි දේ පිළිබඳ කවර හෝ හැඟීමක් ඇත්තේ මිනිසාට පමණක් වීම මිනිසාගේ විශේෂ ලක්ෂණයකි. මෙම හැඟීම ඇති සජීවී සතුන්ගේ සංගමය පවුලක් සහ රාජ්‍යයක් නිර්මාණය කරන්නේ ය.

වැඩිදුරටත්, රාජ්‍යය ස්වභාවයෙන් ම පවුලට හා පුද්ගලයාට පැහැදිලිවම ප‍්‍රමුඛ වේ. මන්ද, සමස්තය අවශ්‍යයෙන් ම කොටසට වඩා ප‍්‍රමුඛ වනුයෙනි. උදාහරණයක් වශයෙන්, මුළු සිරුර ම වැනසුවොත්, පාෂාණ අතක් ගැන අප කතා කිරීමට ඉඩ ඇති අන්දමින්, නානාර්ථයෙන් හැර අතක් හෝ පයක් තිබෙන්නේ නැත. මන්ද විනාශ කළ විට අත ඊට වැඩි යමක් නො වන බැවිනි. නමුත් දේවල් නිර්ණනය කෙරෙනුයේ ඒවායේ කි‍්‍රයාකාරිත්වය හා බලය අනුව වන අතර ඒවායේ නියම ගුණාංගයන් තවදුරටත් නොමැති ව, නමට පමණක් වූ විට ඒවා මුල් දේ ම යැයි අප නො කිව යුතුය. රාජ්‍යය සොබාදහමේ නිර්මාණයක් වන අතර, එය පුද්ගලයාට ප‍්‍රමුඛ වන බවට සාධකය වන්නේ, පුද්ගලයා හුදකලා වූ විට ස්වයං පෝෂණය නොවීම හා, එබැවින් ඔහු සමස්තය සම්බන්ධයෙන් ගත් කල කොටසක් වැනි වීමත් ය. නමුත් සමාජයේ ජීවත් වීමට නො හැක්කා හෝ, තමන් ම ස්වයංපෝෂිත බැවින් සමාජයේ ජීවත් වීමේ අවශ්‍යතාවක් නැත්තා තිරිසනෙකු හෝ දෙවියෙකු විය යුතුය. ඔහු රාජ්‍යයක කිසිම කොටසක් නොවේ. ඔහු සියලු මිනිසුන් තුළ සමාජමය සහජ ඉවක් රෝපණය කර ඇත. ඒත් මුලින් ම රාජ්‍යය පිහිට වූ තැනැත්තා ශ්‍රේෂ්ඨ ම යහදායකයා විය. මිනිසා පරිපූර්ණ කරවූ විට හොඳ ම සතා වන අතර, එනමුත් නීතියෙන් හා යුක්තියෙන් වෙන් කරන ලද විට, ඔහු සියල්ලන්ගෙන් නරකම සතා වන හෙයිනි. සන්නද්ධ අයුක්තිය වඩාත් අනතුරුදායක වන අතර බුද්ධිය හා විශිෂ්ටත්වයෙන් භාවිතා කිරීම අදහස් වන එහෙත් නරක අරමුණු සඳහා ඔහු භාවිත කිරීමට ඉඩ ඇති අවි, උපතින් ම ඔහුට ලැබී ඇත. ඔහුට විශිෂ්ටත්වය නැතොත් ඔහු ඉතාමත් අශුද්ධ, ඉතාමත් වනචර, සහ ඉතාමත් රාග පූර්ණ හා කෑදර තිරිසනා වනුයේ එබැවිනි. නමුත් යුක්තිය රාජ්‍යයන්හි සිටින මිනිසුන්ගේ බැඳීම වේ. යුක්ති සහගත කුමක් ද යන්න තීරණය කරන්න වන යුක්තිය පසිඳලීම දේශපාලන සමාජ තුළ රටාවෙහි මූලික මූලධර්මය වන බැවිනි.

[3] රාජ්‍යය නිර්මිත ව ඇත්තේ කුටුම්භයන්ගෙන් බව පිළිගැන්මෙන් පසු රාජ්‍යය ගැන කතා කිරිමට පෙර අප ගෘහ පරිපාලනය (සන්ඨාපණය) ගැන කතා කළ යුතුය. කුටුම්භ කළමනාකරණයේ කොටස්, කුටුම්භය සමන්විත වන පුද්ගලයන්ට අනුරූපී වේ. පූර්ණ කුටුම්භයක් වහලුන් හා නිදහස් මිනිසුන්ගෙන් යුක්ත වේ. දැන් අප ඇරඹිය යුත්තේ සැම දෙයක් ම එහි හැකි අඩු ම මූලාංගයන්ගෙන් පරීක්ෂාවට ලක් කිරිමෙනි. පවුලේ මුල් ම හා හැකි අඩු ම කොටස් වනුයේ ස්වාමියා හා වහලා, සැමියා හා බිරිඳ, සහ පියා හා දරුවනුත් ය. එබැවින් මේ සම්බන්ධතාවන් තුනෙන් එකෙකක් කුමක් ද හා කුමක් විය යුතු ද යන්න සලකා බැලිය යුතුයත මා අදහස් කරනුයේ ස්වාමියා හා සේවකයා අතර සම්බන්ධය, විවාහ සම්බන්ධය (මිනිසා හා බිරිඳගේ සම්බන්ධයට ඊට ම විශේෂ නමක් නැත) හා තෙවනුව පීතෘ සම්බන්ධයත් ය. (මීට ද නියම නමක් නැත). කුටුම්භයක තවත් මූලාංගයක් ඇත. ධනය ගැනීමේ ඊනියා කලාව ය. ඇතැමෙකුට අනුව එය කුටුම්භ කළමනාකරණයට සමරූපී වේ. වෙනත් අයට අනුව එය එහි ප‍්‍රධාන කොටසකි. මෙම කලාවේ ස්වභාවය ද අප විසින් සලකා බැලිය යුතු ව ඇත.

පළමු ව අපි ප‍්‍රායෝගික ජීවිතයේ අවශ්‍යතා අනුව බලමින් සහ, ඔවුන්ගේ සම්බන්ධතාව පිළිබඳ දැනට පවතිනවාට වඩා හොඳ න්‍යායක් ඇති කර ගැන්මට ද උත්සාහ ගනිමින්, ස්වාමියා සහ වහලා ගැන කතා කරමු. ස්වාමියකුගේ පාලනය විද්‍යාවකැ යි ද, කුටුම්භයක් කළමනාකරණය සහ වහලුන්ගේ ස්වාමිත්වය සහ දේශපාලන හා රාජකීය පාලනය, යන මේ සියල්ල, මා පළමු ව ම සඳහන් කළ පරිදි, එකම යැයි ද, සමහරෙකෙගේ මතය වන බැවිනි. ස්වාමියකු විසින් වහලුන් පාලනය කිරීම ස්වභාවධර්මයට ප‍්‍රතිපක්‍ෂ යැයි ද, වහලා සහ නිදහස් මිනිසා අතර වෙනස පවතිනුයේ සම්මුතියෙන් මිස ස්වභාවධර්මයෙන් නොවේ යැයි ද, එබැවින් සොබාදහමින් අවහිරයක් වීම අයුක්ති සහගත යැයි ද වෙනත් අය සහතික වෙති.

[4] දේපළ කුටුම්භයේ කොටසකි. දේපළ අත් කර ගැන්මේ කලාව, කුටුම්භ කළමනාකරණය පිළිබඳ කලාවේ අංගයකි. අත්‍යවශ්‍ය දේ ඔහුට නො සැපයේ නම් කිසි මිනිසෙකුට හොඳින් ජීවත් වීමට හෝ ඇත්තෙන් ම කොහෙත් ම ජීවත් වීමට නොහැකි බැවිනි. නියත පරාසයක් ඇති කලාවන් හි දී මෙන් වැඩකරුවන්ට ද ඔවුන්ගේ වැඩ සාර්ථක කර ගැන්ම සඳහා ඔවුන්ගේ ම උචිත උපකරණ තිබිය යුතු වේ. කුටුම්භයක් පාලනයෙහි දී ද එය එසේ ම වේ. දැන්, උපකරණ විවිධ වර්ගයන්ට අයත් වේ. සමහරක් සජීවී ය, සමහරක් අජීවී ය. නැවක නියමුවෙකුට අරිත‍්‍රය ලෙස ඇත්තේ ජීවයෙන් තොර උපකරණයක් වන අතර, සෝදිසියෙන් සිටින්නා වශයෙන් ඇත්තේ සජීවී උපකරණයකි. මන්ද, ශිල්පයන්හි දී සේවකයා එක්තරා උපකරණයක් වන බැවිනි. ඒ අනුව සන්තක දෙයක් ද ජීවිතය පවත්වාගෙන යෑම සඳහා උපකරණයකි. එබැවින් පවුලේ වැඩපිළිවෙළේ දී වහලෙකු සජීවී සන්තකයකි. දේපළ එවන් උපකරණ ගණනාවකි. සේවකයා ම උපකරණ සඳහා උපකරණයකි. ඔවුන්ගේ ම එකඟත්වයෙන් දෙවියන්ගේ සබාවට ඇතුලු වූහ. යි කවියා කියන, ඩයෙඩලූස්හි ප‍්‍රතිමා හෝ හෙෆයෙස්ටස්හි ති‍්‍රපාදයන් මෙන්, අන් අයගේ අභිමතයට අවනත වෙමින් හෝ එය කල් තබා අපේක්ෂා කිරීමෙන්, සෑම උපකරණයකට ම තමන්ගේ ම වැඩ ඉටු කර ගත හැකි නම්, ඒ සමාන ආකාරයෙන් නඩාව රෙදි විවීම කරත හොත් සහ පහරුව වීණාවේ තත් පිරිමදිතොත්, ප‍්‍රධාන වැඩකරුවන්ට සේවකයන් හෝ ස්වාමියන්ට වහලුන් හෝ අවශ්‍ය නොවනු ඇති බැවිනි. සන්තකයක් කි‍්‍රයාවේ උපකරණයක් වන අතරම දැන්, පොදුවේ උපකරණ යැයි කියනු ලබන්නේ නිෂ්පාදන උපකරණ වලට ය. නඩාවකින් අපට එහි භාවිතයට අමතර ව වෙනත් යමක් ලැබේ. නමුත් ඇඳුමක හෝ ඇඳක ඇත්තේ එක් ප‍්‍රයෝජනයක් පමණි. වැඩි දුරටත්, නිෂ්පාදනය හා කි‍්‍රයාත්මක වීම ආකාරයෙන් වෙනස් වන අතර දෙකට ම උපකරණ අවශ්‍ය වන්නා සේ, ඒවා යොදා ගන්නා උපකරණ ද එසේ ම ආකාරයෙන් වෙනස් විය යුතුය. නමුත් ජීවිතය කි‍්‍රයාත්මක වීම වන අතර නිෂ්පාදනය නො වන බැවින්, වහලා කි‍්‍රයාවේ නියෝජිතයා වේ. නැවතත්, සන්තකයක් ගැන කතා කරනු ලබන්නේ අංගයක් ගැන කතා කරනු ලබන අන්දමිනි. මන්ද, කොටසක් වෙනත් යමක කොටසක් පමණක් නොව සහමුලින්ම ඊට අයත් වන බැවිනි. සන්තකයක් සම්බන්ධයෙන් ද එය සත්‍ය වේ. ස්වාමියා වහලාගේ ස්වාමියා පමණි. ඔහු වහලාට අයිති නෙ වේ. නමුත් වහලා ඔහුගේ ස්වාමියාගේ වහලා පමණක් නොවේ. ඔහු සහමුලින් ම ස්වාමියාට අයත් වේ. එබැවින් වහලෙකුගේ ස්වභාවය හා නිල කාර්යය අපට පෙනේ. ස්වභාවයෙන් ම තමාගේම නොව අනෙකකුගේ මිනිසෙකු වන ඔහු, ස්වභාවයෙන්ම වහලෙකි. වෙනත් අයෙකුගේ මිනිසා යැයි කිව හැකි තැනැත්තා වහලෙකු වන බැවින් සන්තකයක් ද වේ. සන්තකයක් හිමිකරුවාගෙන් වෙන්කළ හැකි කි‍්‍රයාවේ උපකරණයක් ලෙස නිර්ණය කළ හැකිය.

[5] නමුත් වහලෙකු වීමට ස්වභාවයෙන් ම ඒ අන්දමින් අරමුණු කෙරුණු හා එවන් තත්ත්වයක් යෝග්‍ය හා නිවැරදි වන කිසිවකු සිටින්නේ ද, නැතහොත් වඩාත් මුළු වහල් මෙහෙයම ස්වභාවධර්මයට විරුද්ධව යාමක් නොවේ ද?

තර්කානුකූල හා සාධකමය යන පදනම් දෙක මත ම මෙම ප‍්‍රශ්නයට පිළිතුරු සැපයීමේ අපහසුවක් නැත. සමහරක් පාලනය කළ යුතුය, සෙස්සෝ පාලනය කරනු ලැබිය යුතුය යනු අවශ්‍ය ම දෙයක් පමණක් නොව, උචිත ද වේ. සමහරුන් උපන් මොහොතේ පටන් කොටසක් යටත් වීමටත්, සෙස්සෝ පාලකයන් වීමටත් සටහන් කෙරී ඇත්තාහ.

පාලකයන් හා යටත් වැසියන් වර්ග බොහෝ ඇත. (වඩා හොඳ යටත් වැසියන් කෙරෙහි කෙරෙන පාලනය වඩා හොඳය) උදාහරණයක් වශයෙන්, මිනිසුන් පාලනය කිරීම වනසතුන් පාලනයට වඩා හොඳය. මක්නිසාද වඩා හොඳ වැඩකරුවන් විසින් කෙරෙන වැඩ වඩා හොඳ බැවිනි. එක් මිනිසෙකු පාලනය කරන අතර තවෙකෙකු පාලනය කරනු ලබන තැන, ඔවුනට වැඩක් ඇතැ යි කිව හැකිය.) අඛණ්ඩ හෝ වෙන්ව පැවතුන ද, කොටස් වලින් නිර්මිත හා, සංයුක්ත සමස්තයක් සැකසෙන සියලු දේ හි පාලක හා පාලිත මූලාංගයන් අතර වෙනසක් හෙළිදරව් වේ. සමස්තයක් වශයෙන් සොබාදහමින් උපදින සජීවී සත්වයින් තුළ එවන් ද්විත්වයක් පවතී. ජීවයක් නැති දෑ හි පවා, සංගීතයෙහි රාගයක මෙන්, ප‍්‍රධාන (පාලක) මූලධර්මයක් ඇත. නමුත් සමහර විට මෙය වඩා ජන සම්මත පරීක්ෂණයකට කරුණක් විය හැකිය. සජීවී සතෙකු පළමුවම සමන්විත වන්නේ ආත්මය හා සිරුරිනි. ස්වභාවයෙන් ම එම දෙකින් එකක් පාලකයා වන අතර, අනෙක පාලිතයා වේ. නමුත් අප සොබාදහමේ අරමුණු සොයා බැලිය යුත්තේ විශේෂිත වූ දේ තුළ නොව, තම ස්වභාවය රැක ගන්නා දේ තුළ ය. එබැවින් අප සිරුරින් හා ආත්මයෙන් ඉතාමත් පරිපූර්ණ තත්ත්වයේ වන මිනිසා අධ්‍යයනය කළ යුතුය. එවිට දෙකෙහි නියම සම්බන්ධතාව අපට ඔහු තුළ දැකිය හැකි වන බැවිනිථ එනම්, ඒවා නපුරු හා අස්වාභාවික තත්ත්වයක වන බැවින්, නරක හෝ විශේෂිත ස්වභාවයන්හි බොහෝ විට සිරුර ආත්මය පාලනය කරන බවක් පෙනෙන අතරතුරේදී පවාය. කොහොමත්, සජීවී සතුන් තුළ අත්තනෝමතික පාලනයක් මෙන්ම ආණ්ඩු ව්‍යවස්ථාමය පාලනයක් ද පළමු ව අපට පෙනෙනු ඇත. මන්ද ආත්මය අත්තනෝමතික පාලනයකින් සිරුර පාලනය කරන්නේ බුද්ධිය ආණ්ඩු ව්‍යවස්ථාමය හා රාජකීය පාලනයකින් ආශාවන් පාලනය කරන විට බැවිනි. ආත්මය විසින් සිරුර පාලනය කිරීම හා මනස හා තාර්කික මූලාංගය රුචීන් පාලනය කිරීම ස්වභාවික හා යෝග්‍ය වන්නේ, දෙකේ සමානත්වය හෝ දුර්වලයාගේ පාලනය හැම විට ම වේදනාකාරී වන විටදී බව පැහැදිලි ය. මිනිසුන්ට සම්බන්ධව සතුන් ගේ යහපත සම්බන්ධයෙන් ද එය ම අදාළ වේ. මන්ද හීලෑ සතුන්ට වනසතුන්ට වඩා හොඳ ස්වභාවයක් ඇති අතර, මිනිසුන් විසින් පාලනය කරනු ලබන විට හීලෑ සතුන්ගේ තත්ත්වය වඩා යහපත් වේ. එවිට ඔවුන් ආරක්ෂා කෙරෙන බැවිනි. එමෙන්ම, ස්වභාවයෙන් ම පිරිමියා උසස් හා ගැහැනිය පහත් වන අතර, එක් අයෙක් පාලනය කරන්නා ද අනෙක් අය පාලනය කරනු ලබන්නී ද වේ. අවශ්‍යයෙන් ම මෙම මූලධර්මය මුලූ මිනිස් සංහතියට ම අදාළ වේ. ආත්මය හා සිරුර අතර හෝ මිනිසුන් හා සතුන් අතර පවත්නා වැනි, එවන් වෙනසක් ඇති තැන, (තම සිරුර පාවිච්චි කිරීම තම කාර්යය වූ හා ඊට වඩා හොඳ අන් කිසිත් කළ නොහැකි අය සම්බන්ධයෙන් මෙන්) පහළ වර්ගය ස්වභාවයෙන් ම වහලුන් වන අතර, සියලු ම පහත් අය විය යුතු සේ ඔවුන් ස්වාමියකුගේ පාලනය යටතේ සිටිය යුතු වීම, ඔවුනට හොඳ ම දෙය වේ. අනෙකෙකුගේ විය හැකි හා එබැවින් එසේ වන සහ, ලැබීමට නොව වටහා ගැනීමට ප‍්‍රමාණවත් තරම් බුද්ධිය පාවිච්චි කරන තැනැත්තා ස්වභාවයෙන් ම වහලෙකු බැවිනි. පහත් සතුනට තර්කනය තේරුම් ගැනීමට පවා නොහැකි බැවින් ඔවුහු තම හැඟීම්වලට කීකරු වෙති. ඇත්තෙන් ම වහලුන්ගෙන් හා හීලෑ සතුන්ගෙන් ගන්නා ප‍්‍රයෝජන එතරම් වෙනස් නොවේ. දෙවග ම තම සිරුර මඟින් ජීවිතයේ අවශ්‍යතාවන් ඉටු කරති. එකෙකු දාස ශ‍්‍රමය සඳහා ශක්තිමත් කරමින් ද, අනෙකා එවන් සේවා සඳහා ප‍්‍රයෝජනවත් නැති නමුත්, සෘජු හා යුද්ධයේත් සාමයේත් ශිල්පයන්හි දේශපාලන ජීවිතය සඳහා ප‍්‍රයෝජනවත්, ගෞරවනීයයකු කිරීමෙන් ද වහලුන්ගේ හා නිදහස් මිනිසුන්ගේ සිරුරු අතර වෙනසක් ඇති කිරීමට සොබා දහම කැමති ය. නමුත් බොහෝ විට එහි අනෙක් පැත්ත සිදු වේ ඇතැමෙකුට නිදහස් මිනිසුන්ගේ සිරුරු ද සෙස්සන්ට ආත්මයන් ද හිමි වේ. දෙවියන්ගේ ප‍්‍රතිමා මිනිසුන්ගෙන් වෙනස් වන තරමින් ම මිනිසුන් හුදෙක් සිරුරු වල ස්වරූපයෙන් පමණක් එකිනෙකාගෙන් වෙනස් වුවොත්, දුර්වල පන්තිය උසස් පන්තියේ වහලුන් විය යුතු යැයි සැවොම අනුමත කරනු ඇති බව නිසැක ය. සිරුර සම්බන්ධයෙන් මෙය සත්‍ය නම්, ආත්මයේත් ඊට සමාන වෙනසක් පැවතිය යුතු වීම තවත් කොතරම් යුක්ති සහගත ද? නමුත් සිරුරේ සුන්දරත්වය පෙනෙන අතර ආත්මයේ සුන්දරත්වය නොපෙනේ. ස්වභාවයෙන්ම සමහර මිනිසුන් නිදහස් හා අනෙකුත් වහලුන් වන අතර, දෙවන පිරිසට වහල් මෙහෙය යෝග්‍ය හා නිවැරදි ද වන බව, එසේ නම් පැහැදිලි ය.

[6] නමුත් විරුද්ධ මතය දරන්නන් එක්තරා ආකාරයකින් ඔවුන්ගේ පාර්ශ්වයෙන් නිවැරදි බව ද පහසුවෙන් දැකිය හැකිය. වහල් මෙහෙය හා වහලා යන වදන් අරුත් දෙකකින් භාවිතා වන බැවිනි. ස්වභාවයෙන් මෙන්ම සම්මුතියෙන් ද වහලෙකු හෝ වහල් මෙහෙයක් ඇත. සම්මුතිය එක්තරා ගිවිසුමකි. යුද්ධයේ දී ගන්නා ලද කවර දෙයක් හෝ ජයග‍්‍රාහකයා ට අයත් යැයි සැලකෙන සම්මුතිය. නමුත් බොහෝ නීතිවේදියෝ මෙම අයිතිය දෝෂාභියෝගයට ලක් කරන්නේ ඔවුන් ආණ්ඩු ව්‍යවස්ථා විරෝධී පියවරක් ඉදිරියට ගෙන ආ දේශකයකු දෝෂාභියෝගයට ලක් කරනු ඇති අයුරිනි. මිනිසෙකු ප‍්‍රචණ්ඩත්වය කිරිමේ බලය සතු හා තිරිසන් අකාරයේ ශක්තියකින් උසස් වනු බැවින් තවත් අයෙකු ඔහුගේ වහලා සහ යටත් වැසියා විය යුතුය යන අදහස ඔවුහු තරයේ පිළිකුල් කරති. දාර්ශනිකයන් අතර පවා මත ප‍්‍රභේදයක් ඇත. මතභේදයේ ආරම්භය හා අදහස් එකිනෙකාගේ බල ප‍්‍රදේශයන් ආක‍්‍රමණය කිරීමට හේතු කරවන්න පහත දැක්වේ. යම් අරුතකින්, විශිෂ්ටත්වයට මාර්ගයන් ලැබුණු විට, බලය යෙදීමේ විශාල ම ශක්තිය ඇත්තේ ය. වැඩි බලය ඇත්තේ, යම් ආකාරයක වැඩි විශිෂ්ටත්වයක් ඇති තැන පමණක් බැවින්, බලයෙන් විශිෂ්ටත්වය අදහස් වන බවක් පෙනෙන අතර මතභේදය හුදෙක් යුක්තිය පිළිබඳ වූවක් බව පෙනේ. (එයට හේතුව එක් පක්ෂයක් යුක්තිය හොඳහිත යැයි කියන්නේ අනෙක් පක්ෂය එය හුදෙක් වඩා ශක්තිවන්තයාගේ පාලනය යැයි කියා සිටීම වන අතර දී බැවිනි). මෙම මතයන් ඒ අන්දමින් වෙන් වෙන්ව දැක්වුවොත් විශිෂ්ටත්වයෙන් උසස් තැනැත්තා පාලනය කළ යුතු හෝ ස්වාමියා විය යුතුය යන මතයට විරුද්ධ ව, අනෙක් මතයන්ට කිසි බලයක් හෝ පිළිගැන්මක් නොමැත. වෙනත් අය, ඔවුන් සිතන අයුරින්, සරල ලෙස යුක්තියේ මූලධර්මයක ගැතිවී ගෙන, (සම්මුතිය එක්තරා යුක්තියක් බැවිනි) යුද්ධයේ චාරිත‍්‍රයට අනුකූල වහල් මෙහෙය යුක්ති සහගත යැයි අදහස් කරන නමුත් ඒ අතර ම ඔවුහු එය ප‍්‍රතික්ෂේප කරති. යුද්ධයේ ආරම්මණ හේතුව අයුක්ති සහගත වී නම් මොක ද? යන හේතුවෙනි. එමෙන්ම වහලෙකු වීමට සුදුසු නො වන්නකු වහලෙකැ යි, කිසිවකු කිසි දා නො කියනු ඇත. තත්ත්වය එසේ වී නම්, ඔවුන් හෝ ඔවුන්ගේ දෙගුරුන් අහඹුවෙන් හෝ අල්ලා ගෙන වහලුන් මෙන් විකුණනු ලැබුවොත්, ඉහළම පෙළේ මිනිසුන් වහලුන් හා වහලුන්ගේ දරුවන් වනු ඇත. මිනිසුන් තමන්ට ම වහලුන් යැයි කියා ගැන්මට අකමැති හා විදේශකයන්ට පමණක් එම යෙදුම වෙන් කර තබන්නේ එබැවිනි. ඒත්, මෙම බස වැහැරීමෙන් ඔවුන් ඇත්තට ම අදහස් කරනුයේ අප මුලින් ම කතාවට ලක් කළ ස්වභාවික වහලුන් ය. මක්නිසාද, ඇතැමුන් සැම තැන ම වහලුන් බවත්, අනෙකුත් කිසි තැනක වහලුන් නොවන බවත් පිළිගත යුතු වන හෙයිනි. වංශවතුන්ට ද එම මූලධර්මයම අදාළ වේ. තමන් තමාගේම රටේදී පමණක් නොව හැම තැනක දී ම වංශවත් යැයි මිනිස්සු සලකති. නමුත් විදේශිකයන් වංශවත් වනුයේ එම අයගේ දේශයේ දී පමණකැ යි ඔවුහු සිතති. ඉන් ඔවුන් අදහස් කරන්නේ වංශවත් බවේ හා නිදහස් බවේ වර්ග දෙකක් ඇති බවකි. පරිපූර්ණ එකක් සහ සාපේක්ෂ අනෙක. හෙලන් ඔෆ් තියොඩෙක්ටස් කියයි.

දෙපාර්ශ්වයෙන් ම දෙවියන්ගේ නටුවෙන් උපන්න මා සේවකයෙකැ යි කීමට තරම් නිර්භය වනු ඇත්තේ කවුරුන් ද?

මින් හොඳ සහ නරක පිළිබඳ මූලධර්ම දෙක මඟින්, නිදහස සහ වහල් බව, වංශවත් හා පහත් උපත්, ඔවුන් වෙන් කර දක්වන බව හැර අන් කුමක් අදහස් වේ ද? මිනිසුන්ට හා සතුනට මිනිසුන් හා සතුන් උපදවන්නා සේ, හොඳ මිනිසුන්ගෙන් හොඳ මිනිසෙකු ජනිත වන්නේ යැයි ඔවුහු සිතති. මෙය නිතර කිරීමට සොබාදහම අරමුණු කරන නමුත් එසේ කළ නොහැකිය.

එසේ නම් මෙම මත ප‍්‍රභේදය යම් පදනමක් ඇති බවත්, සියල්ලන් ස්වභාවයෙන් ම වහලුන් හෝ නිදහස් මිනිසුන් නොවන බවත් අපට පෙනේ. එක් පන්තියක් වහලුන් වීමත්, අනෙක් අය ස්වාමිවරුන් වීමත් යෝග්‍ය හා නිවැරදි බවට පත් කරමින්, ඇතැම් අය සම්බන්ධයෙන් පන්ති දෙක අතර පැහැදිලි වෙනසක් ඇති බව ද පෙනේ. සොබාදහම ඔවුන්ට විය යුතු යැයි අරමුණු කරන පරිදි එක් පන්තියක් අවනත වන අතර අනෙක් පන්තිය අධිකාරිත්වය සහ අධිපති බව කි‍්‍රයාවට නඟන්නේ ය. මෙම අධිකාරිත්වය අනිසි ලෙස පාවිච්චිය දෙපසට ම හානිකර ය. කොටස හා සමස්තයේ, සිරුර හා ආත්මයේ ඕනෑ එපාකම් එකම වන අතර, වහලා ස්වාමියාගේ කොටසක්, සජීවී නමුත් ඔහුගේ ශරීර රාමුවෙන් වෙන්ව පවතින කොටසක් වන බැවිනි. එබැවින් ස්වාමියා හා වහලා අතර සම්බන්ධය ස්වභාවිකවූ තැන්හි ඔවුන් මිතුරන් වන අතර ඔවුනට පොදු ඕනෑ එපාකම් ඇත, නමුත් සම්බන්ධය හුදෙක් සම්මුතිය හා බලය මත වන තැන්හි එහි විරුද්ධ පැත්ත සිදුවේ.

[7] ස්වාමියෙකුගේ පාලනය ආණ්ඩු ව්‍යවස්ථාමය පාලනයක් නොවන බවත්, පාලනයේ විවිධ වර්ගයන් සියලු පාලනයන්, ඇතැම් අය සහතික වන පරිදි, එකිනෙකට සම නොවන බවත්, දැක්වීමට ඉහතින් කෙරුණු සඳහන් හොඳට ම ප‍්‍රමාණවත් ය. ස්වභාවයෙන් ම නිදහස් වැසියන් කෙරෙහි කි‍්‍රයාත්මක කෙරෙන එක් පාලනයක් ද, ස්වභාවයෙන් ම වහලුන් වන වැසියන් කෙරෙහි කි‍්‍රයාත්මක වන වෙනත් පාලනයක් ද ඇති බැවිනි. කුටුම්භයක පාලනය රාජාණ්ඩුවකි. සෑම නිවසක් ම එක් ප‍්‍රධානියකු යටතේ වනුයෙනි. නමුත් ආණ්ඩු ව්‍යවස්ථාමය පාලනය නිදහස් මිනිසුන් සහ සමානයන්ගේ ආණ්ඩුවකි. ස්වාමියාට ස්වාමියා යි කියවෙනුයේ ඔහු විද්‍යාව දන්නා නිසා නොව, ඔහු එක්තරා චරිතයක් බැවිනි. වහලා හා නිදහස් මිනිසාට ද එම සඳහන ම අදාළ වේ. ඒත් ස්වාමියාට විද්‍යාවක් ද වහලාට විද්‍යාවක් ද තිබිය හැකිය. වහලාගේ විද්‍යාව, වහලුන්ට ඔවුන්ගේ සාමාන්‍ය රාජකාරි ගැන උපදෙස් දීමෙන් මුදල් ඉපයූ, සයිරාකුස් හි මිනිසා ඉගැන්වූව වැනි විය හැකිය. එවන් දැනුමක් සූප ශාස්ත‍්‍රය හා ඒ සමාන ගෘහ ශිල්පයන් ඇතුලු කිරීම දක්වා දුරට ගෙන යා හැකිය. ‘වහලාට පෙර වහලා, ස්වාමියාට පෙර ස්වාමියා’ යි ජනශ‍්‍රැතිය පවසන පරිදි, සමහර රාජකාරි වඩාත් අවශ්‍ය වර්ගයේත්, අනෙක්වා වඩාත් ගෞරවනීය වර්ගයේත් වනුයෙනි. නමුත් එවන් සියලු දැනුම් අංශයන් දාසකම් ය. එමෙන් වහලුන් භාවිතය උගන්වන ස්වාමියාගේ විද්‍යාවක් ද ඇත. ඒ අතින් ස්වාමියා සැලකිලිමත් වනුයේ වහලුන් අත් කරගැන්ම ගැන නොව ඔවුන් භාවිතය ගැන බැවිනි. ඒත් මෙම විද්‍යාව ශ්‍රේෂ්ඨ හෝ මවිතකර කිසිත් නොවේ. ස්වාමියා දැන සිටිය යුත්තේ, කි‍්‍රයාත්මක කරන්නේ කෙසේ දැ යි වහලා දැන සිටිය යුතු දේ කිරීමට නියෝග කරන්නේ කෙසේ ද යන්න පමණක් බැවිනි. එබැවින් ශ‍්‍රමය වැය කිරීමට වඩා ඉහළ තත්ත්වයක් ඇති අය තම ගෙදරදොර කටයුතු සඳහා වැඩ නියාමකයින් යොදා තමන් දර්ශනවාදයේ හෝ දේශපාලනයේ නියුතු වෙති. නමුත් වහලුන් අත් කර ගැන්මේ කලාව, මා අදහස් කරන්නේ යුක්ති සහගත ලෙස ඔවුන් අත්කර ගැන්ම, දඩයම් හෝ යුද කාර්ය වර්ගයක් හෙයින්, ස්වාමියාගේ කලාවෙන් මෙන්ම වහලා ගේ කලාවෙන් ද වෙනස් වේ. ස්වාමියා හා වහලා අතර වෙනස ගැන එපමණක් ප‍්‍රමාණවත් වේ.

[8] දැන් අපි පොදුවේ දේපළ ගැන සහ ධනය ලබා ගැන්මේ කලාව ගැන, අපගේ සාමාන්‍ය ක‍්‍රමයට අනුව විමසා බලමු. මක්නිසාද වහලෙකු දේපළේ කොටසක් වන බව පෙන්වා දී ඇතියෙනි. ධනය ලබා ගැනීමේ කලාව කුටුම්භයක් පාලනය කිරීමේ කලාවට සම ද, නැතොත් එහි කොටස් ද, නැතොත් ඊට අනුකාරක ද, එම අවසන් දෙය නම්, නඩා නිපැයීම රෙදි විවීමේ කලාවට අනුකාරක වන අයුරින් ද, නොඑසේ ම, ලෝකඩ වාත්තු කිරීම පිළිම කලාවට අනුකාරක වන අයුරින් ද, (ඒවා එකම අයුරින් අනුකාරක නොවන බැවිනි. එකක් උපකරණ සපයන අතර අනෙක අමුද්‍රව්‍ය සපයයි. අමුද්‍රව්‍ය යන්නෙන් මා අදහස් කරන්නේ මොනම කාර්යයක් හෝ සිදු කිරීමට මුල් කර ගැනෙන උපතලය ය. ඒ අනුව ලෝම වියන්නාගේ අමුද්‍රව්‍ය වන අතර ලෝකඩ පිළිම නිර්මාණයේ අමුද්‍රව්‍යය වේ.) යන්න ප‍්‍රථම ප‍්‍රශ්නය වේ. දැන්, කුටුම්භ පාලන කලාව ධනය ලබා ගැන්මේ කලාවට සමාන නොවන බව දැකීම පහසු ය. එකක් අනෙක සපයන අමුද්‍රව්‍ය භාවිතා කරන බැවිනි. ගෙදරදොර ගබඩා භාවිතා කරන කලාව කුටුම්භ පාලන කලාව හැර අනෙකක් විය නොහැකි බැවිනි. කෙසේ වෙතත්, ධනය ලබා ගැන්මේ කලාව කුටුම්භ පාලනයේ කොටසක් ද, නැතොත් වෙන ම කලාවක් දැ යි අඩමානයක් ඇත. ධනය හා දේපළ ලබා ගත හැක්කේ කොයිබින් දැ යි සලකා බැලීමට, ධනය ලබා ගන්නාට සිදු වන්නේ නම්, දේපළ හා සම්පත් වර්ග බොහෝ වන විට, කෘෂිපාලනය සහ පොදුවේ ආහාර සැපයුම හා රැකබලා ගැන්ම කුටුම්භ පාලනයේ කොටස් ද, නැතොත් වෙන ම කලාවන් ද? නැවතත්, ආහාර වර්ග බොහෝ ඇත. එබැවින් සතුන්ගේ හා මිනිසුන්ගේ ජීවිත වර්ග බොහෝ ය. ඔවුන් සැමට ආහාර ඇවැසි ය. ඔවුන්ගේ ආහාර වල වෙනස්කම් ඔවුන්ගේ ජීවන රටාවන්හි වෙනස් කම් ඇති කර තිබේ. සතුන් අතරින් ඇතැමෙක් රංචු වශයෙන් ද, සෙස්ස හුදකලාව ද වන අතර, ඔවුන් ජීවත් වනුයේ තමන් මාංශ භක්ෂක ද, ශාක භක්ෂක ද, උභය භක්ෂක ද යන්නට අනුකූල ව, ඔවුන්ගේ පැවැත්මට හොඳින් ම අනුගත ආකාරයට වනවා මෙන්ම, ඔවුන්ගේ පුරුදු, ඔවුන්ගේ පහසුව හා ආහාර තේරීම් අතින්, ස්වභාවධර්මය විසින් ඔවුන් වෙනුවෙන් තීරණිත වේ. නමුත් එකම දෑ ස්වභාවික ව ම ඔවුන් සැමට ම ප‍්‍රසන්න නොවේ. එබැවින් මාංශ භක්ෂක හෝ ශාක භක්ෂක සතුන් ඔවුන් අතරම තව දුරටත් වෙනස් වේ. මිනිසුන්ගේ ජීවිතයන්හි ද විශාල වෙනසක් ඇත. උදාසීන ම වනුයේ, කම්මැලි ජීවිතයක් ගත කරන හා හීලෑ සතුන්ගෙන් තම යැපුම කරදරයකින් තොර ව ලබා ගන්නා, ඔවුන්ගේ සතුන් තණ බිම් සොයමින් තැනින් තැනට යා යුතු බැවින් යම් ආකාර සජීවී ගොවිපළක් වගා කරමින් ඔවුන් පසු පස යාමට සිදුව තිබෙන, එඬේරන් ය. වෙනත් අය, විවිධාකාරයන්ට අයත් දඩයමින් තම දිවෙල සොයා ගනිති. උදාහරණයක් වශයෙන්, සමහරුන් කොල්ලකරුවන් ය. මසුන් සහිත වැව් හෝ වගුරු හෝ ගංගා හෝ මුහුදක් අද්දර ජීවත් වන වෙනත් අය ධීවරයෝ වෙති. තවත් අය පක්ෂීන් හෝ වන සතුන් අඹා යාමෙන් ජිවත් වෙති. විශාල සංඛ්‍යාවක් දිවාවේල සොයා ගන්නේ මහ පොළවේ වගා පල මගිනි. ඔවුන්ගේ කර්මාන්තය එතුළින් ම මතු වන, හා ඔවුන්ගේ ආහාර, හුවමාරුව මඟින් හෝ සිල්ලර වෙළඳාම මඟින් ලබා ගන්නේ නොවන, අය අතර ඉස්මතු ව පවතින යැපුම් මාර්ගයන් ඒ ආකාර වේ. එඬේරා, ගොවියා, කොල්ලකරු, ධීවරයා, දඩයකම්කරු ඇතැම්හු රැකියා දෙකකින් සුවපහසු නඩත්තුවක් අත් කර ගන්නේ ඒවායෙන් එකක හීනතාවයක් අනිකෙන් පිරිමසා ගනිමිනි. එඬේරෙකුගේ එකෙකුගේ ජීවිතය කොල්ලකරුවකුගේ ජීවිතය සමඟ සම්බන්ධ විය හැකිය. ගොවියකුගේ ජීවිතය දඩයක්කාරයකුගේ ජීවිතය හා සම්බන්ධ විය හැකිය. වෙනත් ජීවන ක‍්‍රම, මිනිසුන්ගේ අවශ්‍යතාවන් මඟින් අවශ්‍ය කෙරෙන කවර අයුරකින් හෝ එසේ සම්බන්ධ ව පවතී. යන්තම් දිවෙලක අරුතින්, දේපළ, මුලින් ම උපන් විට දී හා වැඩුණු පසු වත්, සොබාදහම විසින් සැමට ම දී ඇති බවක් පෙනේ. ඇතැම් සත්තු තම පැටවුන් සමඟම, ඔවුන්ට අහර සොයා ගත හැකි වන තෙක් ම දීමට ප‍්‍රමාණවත් අහර ගෙන එති. වර්මිපාරස් හා ඔවිපාරස් සත්තු උදාහරණ වෙති. විවිපාරස් සතුනට එක්තරා කාලයක් දක්වා තම පැටවුන් සඳහා ආහාර තමන් තුළ ම ඇත. ඊට කිරි යැයි කියැවේ. ඒ ආකාරයෙන් ම සතුන්ගේ උපතින් පසු, පැළෑටි පවතිනුයේ ඔවුන් සඳහා යැයි ද, අනෙකුත් සතුන් පවතිනුයේ මිනිසා සඳහා යැයි, එනම්, හීලෑ සතුන් භාවිතය හා ආහාර සඳහා ත්, කලූ සතුන්, සියල්ලන් ම නොවෙතොත්, අඩු වශයෙන් උන්ගෙන් විශාලම කොටස, ආහාර සඳහාත්, ඇඳුම් හා විවිධ උපකරණ සම්පාදනය සඳහාත් ය, යැයි අපට සඳහන් කල හැකිය. දැන්, සොබාදහම අසම්පූර්ණ කිසිවක් නිර්මාණය නොකරන්නේ හා වැඩකට නැති ව කිසිවක් නිම නොකරන්නේ නම්, අදහස් කළ යුත්තේ ඇය සියලු සතුන් නිමවා ඇත්තේ මිනිසා සඳහා බව ය. ඒ අනුව, එක් දෘෂ්ටි කෝණයකින්, යුද ශිල්පය, අත්පත් කර ගැන්මේ ස්වභාවික ශිල්පයකි. මන්ද, එවන් යුදයක් ස්වාභාවික ව ම යුක්ති සහගත බැවින්, පාලනය කරනු ලැබීමට ස්වභාව ධර්මයෙන් ම අදහස් කෙරෙන නමුත්, යටත් නොවන මිනිසුන්ට විරුද්ධ ව සහ, වන සතුනට විරුද්ධ ව කි‍්‍රයාත්මක කළ යුතු ශිල්පයක් වන දඩයම ද අත්පත් කර ගැන්මේ කලාවට ඇතුළත් වනුයෙනි.

අත්පත් කර ගැන්මේ කලාවේ එක් වර්ගයක් ස්වභාවයෙන් ම කුටුම්භ පාලනයේ කොටසක් වන්නේ කුටුම්භ පාලන කලාව, ගබඩා කර තැබිය හැකි, අයුරින් පවුලේ ප‍්‍රජාවට හෝ රාජ්‍යයට ප‍්‍රයෝජනවත්, හා ජීවිතයට අවශ්‍ය ම එවන් දෑ, අත ළඟ ම තිබිය යුතු හෝ තමන් විසින් ම සපයා ගත යුතු ප‍්‍රමාණවත් තරමට වේ. නියම ධනයේ මූලාංග ඒවා ය. මන්ද හොඳ ජීවිතයකට අවශ්‍ය දේපළ ප‍්‍රමාණය අසීමිත නොවන බැවිනි. සොලොන් ඔහුගේ එක් ගීයක මෙසේ කියන නමුත්, මිනිසාට ධනය සඳහා කිසි සීමා නියම කර නැත. නමුත් අනෙක් ශිල්පයන්හි පවතිනවා මෙන්ම, නියමිත වූ සීමාවක් ඇත. කවර හෝ ශිල්පයක උපකරණයන්, සංඛ්‍යාවෙන් හෝ ප‍්‍රමාණයෙන් කොහෙත් ම අසීමිත නොවන බැවින් හා, ධන සම්පත් කුටුම්භයක හෝ රාජ්‍යයක භාවිතා කරන්නට තිබෙන උපකරණ ගණනක් ලෙස නිර්ණනය කළ හැකි බැවිනි. එබැවින් කුටුම්භ පාලකයන් විසින් සහ දේශපාලන විශාරදයන් විසින් සහ දේශපාලන විශාරදයන් විසින් කි‍්‍රයාත්මක කරන අත්පත් කර ගැන්මේ ස්වභාවික කලාවක් ඇති බව හා ඊට හේතුව අපට පෙනේ.

[9] ධනය රැස් කිරීමේ කලාවක් යැයි, පොදුවේ හා නිවැරදිව කියනු ලබන අත්පත් කර ගැන්මේ කලාවේ තවත් ප‍්‍රභේදයක් ඇත. එය ඇත්ත වශයෙන් ම ධනසම්පත් හා දේපළ වලට සීමාවක් නැත යන අදහස යෝජනා කර ඇත. මුල් එක සමඟ සම්බන්ධ වන තරම් ආසන්න වූ එය බොහෝ විට ඊට සම්බන්ධ කර දක්වනු ලැබේ. නමුත් ඒවා එතරම් වෙනස් නොවුවද, එකම දෙය ද නොවේ. දැනටමත් විස්තර කරන ලද වර්ගය දෙන ලද්දේ සොබාදහමින් වන අතර අනෙක අත් කර ගනු ලබන්නේ පළපුරුද්ද හා කලාව මගිනි.

පහත දැක්වෙන කරුණු සමඟ, ප‍්‍රශ්නය පිළිබඳ අපගේ සාකච්ඡාව අරඹමු. අප සන්තක සැම දෙයක ම ප‍්‍රයෝජන දෙකක් ඇත. එසේ ඒ දෙක ම එම දෙයට අයත් වන නමුත් ඒ එකම අන්දමින් නොවේ. එකක් එහි නිවැරදි භාවිතයත් අනෙක වැරදි භාවිතයත් වනුයෙනි. උදාහරණයක් වශයෙන්, පාවහනක් පැළඳීමට භාවිතා වන අතර, හුවමාරුව සඳහා ද භාවිතා කෙරේ. දෙක ම පාවහනේ භාවිතයන් ය. අවශ්‍ය අයෙකුට මුදලට හෝ ආහාර සඳහා හිලවුවට පාවහනක් දෙන තැනැත්තා ඇත්තෙන් ම පාවහන පාවහනක් වශයෙන් යොදා ගන්නේ ය. නමුත් එය එහි නියම ප‍්‍රයෝජනය නොවේ. පාවහනක් නිමවා ඇත්තේ හුවමාරු කරන වස්තුවක් වශයෙන් නො වන හෙයිනි. සියලු සන්තකයන් සම්බන්ධයෙන් එසේ කිව හැකිය. හුවමාරු කලාව ඒ සියල්ලට ම ව්‍යාප්ත වන අතර, පළමු ව එය මතු වන්නේ ස්වභාවික වන දෙයිනි, ඇතැමුන්ට පමණට වඩා බොහෝ අඩුවෙන් හා අනෙකුන්ට පමණට වැඩියෙන් තිබීමේ වාතාවරණයෙනි. ඒ නිසා සිල්ලර වෙළඳාම ධනය ගැන්මේ කලාවේ ස්වභාවික අංගයක් නොවේ යැයි අදහස් කිරීමට අපට හැකිය. එය සේ වී නම් මිනිසුන් තමන්ට ඇති තරම් ලැබුණු විට, හුවමාරුව නවත්වන්නට ඉඩ තිබිණි. මුල් ම ජන සමාජය වන පවුලෙහි, ඇත්තෙන් ම, මෙම කලාවෙන් වැඩක් නොමැති බව පැහැදිලි ය. නමුත් සමාජය වර්ධනය වන විට එය ප‍්‍රයෝජනවත් වීමට පටන් ගන්නේ ය. හේතුව, ආරම්භයේ දී පවුලේ සාමාජිකයන්ට සැම දෙයක් ම පොදු විය. පසු ව පවුල කොටස් වලට බෙදුණු විට, කොටස් අතර බොහෝ දේ බෙදා ගත් අතර ඔවුනට ඇවැසි යම් දේ ලබා ගැන්ම සඳහා හිලවුවට දීමට සිදුව තිබූ විවිධ දේ විවිධ කොටස් විසින් බෙදාගනු ලැබිය. ජීවිතයට අවශ්‍ය ම දෑ පමණක් එකිනෙකා සමඟ හුවමාරු කර ගන්නා ම්ලේච්ඡ ජාතීන් අතර තවමත් කෙරෙන, එක්තරා භාණ්ඩ ගනුදෙනු ක‍්‍රමයකි. උදාහරණයක් වශයෙන්, ඉරිඟු සඳහා හිලවුවට වයින් දීම හෝ ගැනීම මෙම ආකාරයේ භාණ්ඩ හුවමාරු ක‍්‍රමයක් ධනය ලබා ගැන්මේ කලාවේ අංගයක් නොවන අතර එය සොබාදහමට ප‍්‍රතිවිරුද්ධ ද නොවේ. නමුත් එය මිනිසුන්ගේ ස්වභාවික අවශ්‍යතා තෘප්ත කිරීම සඳහා අවශ්‍ය වේ. අදහස් කිරීමට හැකි වන්නට ඉඩ තිබි පරිදි, අන් හුවමාරු ක‍්‍රමයක් වර්ධනය වූයේ මෙය තුළිනි. එක් රටක වැසියන් තවත් රටක වැසියන් මත පමණට වඩා රඳා පවතින බවට පත් වූ විට හා ඔවුන් තමන්ට ඇවැසි දේ ආනයනය කරමින්, තමන්ට පමණට වැඩියෙන් ඇති දේ අපනයනය කළ විට, අවශ්‍යයෙන් ම මුදල් භාවිතය ඇති විය. මන්ද, ජීවිතයට අවශ්‍ය විවිධ දේ පහසුවෙන් එහාමෙහා ගෙනයා නොහැකි බැවින් සහ මෙලෙස එබැවින් ඔවුන් එකිනෙකා අතර ගනුදෙනු වල දී නිසඟයෙන් ප‍්‍රයෝජනවත් වූ හා ජීවිතයේ අරමුණු වලට පහසුවෙන් යෙදිය හැකි වූ යමක් උදාහරණයක් වශයෙන්, යකඩ, රිදී, සහ ඒ වැනි දෑ, භාවිතා කිරීමට මිනිස්සු එකඟ බැවිනි. පළමු ව මෙහි අගය සරල ව ම, ප‍්‍රමාණය හා බර අනුව මනිනු ලැබිණි. නමුත් කාලයාගේ ඇවෑමෙන්, බර කිරා මැන බැලීමේ කරදරයෙන් මිදීමට හා අගය සටහන් කිරීමට, ඔවුහු ඒ මත මුද්‍රාවක් යෙදූහ.

කාසි භාවිතය සොයා ගෙන තිබූ විට, අවශ්‍ය ම දෑ හුවමාරුව තුළින් ධනය ලබා ගැන්මේ අනෙක් කලාව මතු විය. එනම්, සිල්ලර වෙළඳාම. සමහර විට පළමු ව එය සරල කරුණක් වූ නමුත් විශාල ම ලාභය ලද හැක්කේ කවර අවස්ථාවේ, කවර හුවමාරු මඟින් දැ යි, මිනිසුන් අත්දැකීමෙන් උගත් වහා ම එය වඩා අවුල් සහගත බවට පත් විය. කාසි භාවිතයෙන් ආරම්භ වූ ධනය ලබා ගැන්මේ කලාව ප‍්‍රධාන වශයෙන් ඊට සම්බන්ධ යැයි, සාමාන්‍ය වශයෙන් අදහස් කෙරෙන අතර ඒවා එක් රැස් කර ගන්නේ කෙසේ දැ යි සලකා බැලීමේ අයිතිය සතු වස්තුව හා ධනය නිපදවන කලාව වශයෙන් ද සැලකේ. ඇත්තෙන් ම වස්තුව කාසි ප‍්‍රමාණයක් පමණක් සේ බොහෝ දෙන සලකති. මක්නිසාද, ධනය ලබා ගැන්මේ හා සිල්ලර වෙළඳාමේ කලාවන් කාසි සමඟ බැඳී ඇති බැවිනි. කාසි මුදල් ව්‍යාජයක් පමණකැ යි ද, ස්වභාවික නොවන දෙයකැයි ද, භාවිතා කරන්නන් ඒ වෙනුවට වෙනත් ද්‍රව්‍යයක් ආදේශ කළහොත් එය කිසි අගයකින් තොර වන නිසාත්, එය ජීවිතයේ අවශ්‍යතා කිසිවක් සපුරා ලන්නක් ලෙසින් ප‍්‍රයෝජනවත් නො වන අතර, ඇත්තෙන් ම කාසි අතින් ධනවත් අයෙකුට බොහෝ විට අවශ්‍ය ම ආහාර නොමැති විය හැකි නිසාත්, එය සම්ප‍්‍රදායික දෙයක් පමණකැ යි ද, අනෙක් අය කියති. උපමා කතාවට අනුව, අතෘප්තකර යාඥාව නිසා තමන් හමුවේ තැබෙන සෑම දෙයක් ම රත්රන් බවට හැරවුණු, මිදාස් මෙන්, ධනය ඉහවහා යන තරම් තිබිය දී, මිනිසෙකු සාගින්නෙන් මිය යා නම් එය ධනය වන්නේ කෙසේ ද?

එබැවින් මිනිසුන් වස්තුව හා ධනය ලබා ගැන්මේ කලාව පිළිබඳ වඩා හොඳ අදහසක් සොයන අතර, ඔවුන් නිවැරදි ය. ස්වභාවික ධන සම්පත් හා ධනය ලබා ගැන්මේ ස්වභාවික කලාව වෙනස් දෙයක් බැවිනි. ඒවායේ තථ්‍ය ස්වරූපයෙන් ඒවා කුටුම්භයක් පාලනයෙහි කොටසකි. නමුත් සියල්ලර වෙළඳාම ධනය උපදවීමේ කලාවය, හැම ආකාරයකින් ම නො ව, හුවමාරුව මගිනි. කාසිය හුවමාරු ඒකකය හා එහි සීමාව බැවින්, එය කාසි සමඟ සම්බන්ධ යැයි අදහස් කෙරේ. මෙම ධනය ලබා ගැන්මේ කලාවෙන් පැනනගින ධන සම්පත් වලට සීමාවක් නැත. ඒවා තම අරමුණු අන්තයට ම ඉටු කර ගැන්මට ඉලක්ක කරන බැවින්, වෛද්‍ය ශිල්පයේ සෞඛ්‍යය අඹා යාමට කෙළවරක් නැති සේ, අනෙක් කලාවන්හිත් ඒවායේ ඒ ඒ අරමුණු අඹා යාමේ කෙළවරක් නැති සේ, (නමුත් අරමුණ හැම විට ම සීමාව බැවින්, මාර්ගයට සීමාවක් ඇත.) ධනය ලබා ගැන්මේ මෙම කලාවෙහි ද අරමුණ වන, ව්‍යාජ මාර්ගයේ ධන සම්පත් සහ ධනය ලබා ගැන්මට සීමාවක් නැත. නමුත් අනෙක් අතින් කුටුම්භ පාලනයට ඇතුළත්, ධනය ලබාගැනීමේ කලාවට අනෙක් අතින් සීමාවක් ඇති අතර අසීමිත ධනය අත්පත් කර ගැන්ම එහි කාර්යය නොවේ. එබැවින්, එක් දෘෂ්ටි කෝණයකින් සියලු ධන සම්පත් වලට සීමාවක් තිබිය යුතුය. එසේ වුවත්, සාධක කරුණක් වශයෙන් ම, සිදු වනුයේ එහි අනෙක් පැත්ත බව අපට පෙනේ. ධනය අත් කර ගන්නා සැවොම ඔවුන්ගේ කාසි තොග සීමාවකින් තොර ව වැඩි කරන බැවිනි. මෙම පටලැවිල්ලේ මූලාශ‍්‍රය, ධනය ලබා ගැන්මේ දෙයාකාරය අතරට ආසන්නව පවතී. මේ දෙකේදීම, භාවිතාව වෙනස් වුවද, උපකරණය එකමය. මේනිසා ඒවා එකක් අනෙකේ කොටසක් වේ. මක්නිසාද, වෙනසක් සහිතව වුවත් එය, එකම දේපළ භාවිතය ක් වන බැවිනි. එක් අවස්ථාවක අවසාන අරමුණ සමුච්චනය වුවද අනෙක් අවස්ථාවේ තම අවසන් අරමුණක් ඇත. මේ නිසා ධනය ලබා ගැනීම ගෘහ පාලනයේ අරමුණ වන අතර ඔවුන් තම මුදල් සීමාවකින් තොරව වර්ධනය කර ගත යුතු හෝ යම් ප‍්‍රමාණයකින් ඒවා අහිමි කර නොගත යුතු වීම ඔවුන්ගේ ජීවිත පිළිබඳ සමස්ත අදහස බවද විශ්වාස කිරීමට සමහරුන්ව යොමු කරනු ලැබ තිබේ. මිනිසුන්ගේ මෙම ගති ස්වභාවයේ මූලාරම්භය ඔවුන් ජීවත් වීමට පමණක් මිස හොඳින් ජීවත් වීමට අරමුණු නො කිරීම ය. ඔවුන්ගේ ආශාවන් අසීමිත බැවින්, ඒවා තෘප්ත කර ගන්නා මාර්ගයන් ද අසීමිත විය යුතු යැයි ඔවුහු අපේක්ෂා කරති. හොඳ ජීවිතයක් ඉලක්ක කරන්නන් ශාරීරික සුවයන් ලබා ගැන්මේ මාර්ග සොයන අතර, ඒවා රස විඳීම දේපළ මත රඳා පවත්නා බවක් පෙනෙනුයෙන්, ඔවුහු ධනය ලබා ගැන්මෙහි නිමග්න ව සිටිති. ඒ අනුව ධනය ලබා ගැන්මේ දෙවන මාර්ගය එහි දී මතු වේ. ඔවුන්ගේ වින්දනය අතිරික්ත වන හෙයින්, අතිරික්ත වින්දනයක් ජනිත කරවන කලාවක් ඔවුහු සොයති. ඔවුනට ධනය ලබා ගැන්මේ කලාවෙන් ඔවුන්ගේ වින්දනයන් සපයා ගත නොහැකිවුවොත්, ස්වභාවධර්මයට ප‍්‍රතිවිරුද්ධ ආකාරයකින් පෙරළා සෑම හැකියාවක් ම යොදා ගනිමින්, ඔවුහු වෙනත් කි‍්‍රයා මාර්ග උරගා බලති. උදාහරණයක් වශයෙන්, දිරිය නම් වන ගුණාංගයෙන් අදහස් කෙරෙනුයේ ධනය ඉපයීම නොවේ. විශ්වාසය කුලූගැන්වී මය. ජනරාල්වරයා හෝ වෛද්‍යවරයාගේ ශිල්පයේ ඉලක්කය මේ දෙක ම නොවේ. එකක් ඉලක්ක කරනුයේ ජයග‍්‍රහණය වන අතර අනෙකේ ඉලක්කය සෞඛ්‍යය වේ. එසේ වුවත්, ඇතැම් මිනිස්සු සෑම ගුණාංගයක් ම හෝ කලාවක් ම, ධනය ලබා ගැන්මේ මඟක් බවට හරවති. අවසන් අරමුණ එය යැයි ඔවුහු සිතති. අරමුණ සාක්ෂාත් කර ගැන්ම සඳහා සැම දේ ම දායක විය යුතු යැයි ඔවුහු සිතති.

ඒ අන්දමින්, එසේ නම්, අපි අනවශ්‍ය දෙයක් වන ධනය ලබා ගැන්මේ කලාව, මිනිසුන්ට එය අවශ්‍ය වන්නේ ඇයි ද යන්න, හා, එමෙන්ම, එනෙකින් වෙනස් බව අපට පෙනී ගිය හා, කෙසේ වෙතත්, මුල් වර්ගය මෙන් අසීමිත නො ව, සීමාවක් ඇති, ආහාර සැපයීමට සම්බන්ධ, කුටුම්භයක් පාලනය කිරීමේ කලාවේ ස්වභාවික අංගයක් වන බව අපට පෙනී ගිය, ධනය ලබා ගැන්මේ අවශ්‍ය කලාව ද සලකා බැලීමු.

[10] ධනය ලබා ගැන්මේ කලාව ගෘහ පාලකයෙකුගේ කාර්යයක් ද, රාජ්‍ය තාන්ති‍්‍රකයාගේ කාර්යයක් ද නැතොත්, ඔවුන්ගේ කාර්යයක් නොවේ ද? එනම්, ධනය ඔවුන් විසින් කලින් සිට ම තිබෙන බවක් අදහස් කෙරෙන්නේය, යන අපගේ ආරම්භක ප‍්‍රශ්නයට පිළිතුරු අපට හමුව ඇත. දේශපාලන විද්‍යාව මිනිසුන් නිර්මාණය නො කරන අතර, සොබාදහමින් ඔවුන් ගෙන, ඔවුන් යොදා ගන්නා අන්දමින් සොබාදහම ඔවුනට ආහාර ලබා ගැන්මේ මඟක් වශයෙන් මහ පොළව හෝ මුහුද ද ලබා දෙන බැවිනි. සොබාදහම සපයන දෑ ඇණවුම් කළ යුතු වන, ගෘහ කළමණාකරුවාගේ රාජකාරිය මෙම අදියරේ දී ඇරඹේ. ඔහු ලොම් සෑදීමට නොව භාවිතා කිරීමට සිදු වන හා, හොඳ සහ වැඩට ගත හැකි ලොම් මොනවා ද, නරක හා වැඩට ගත නොහැකි ලොම් මොනවා දැ යි දැන සිටිය යුතු ද වන, වියන්නාට සම කළ හැකිය. මෙය එසේ නො වී නම් ධනය ලබා ගැන්මේ කලාව කුටුම්භයක් පාලනයේ කොටසක් වනුයේ ඇයි යනු සහ, වෛද්‍ය ශිල්පය එසේ නොවනුයේ ඇයි යනු දැක ගැන්ම දුෂ්කර වනු ඇත. ස්ථිර වශයෙන් ම ගෘහයක සාමාජියක් ට ජිවිතය හෝ වෙනත් ඕනෑ ම අවශ්‍ය ම දෙයක් තිබිය යුතුවා සේ ම, සෞඛ්‍යය ද තිබිය යුතු ම බැවිනි. පිළිතුර වනුයේ එක් දෘෂ්ටි කෝණයකට අනුව නිවසේ ස්වාමියාට සහ රාජ්‍යයේ පාලකයාට සෞඛ්‍ය ගැන සලකා බැලීමට සිදුවන අතර වෙනත් දෘෂ්ටිකෝණයකට අනුව ඔවුන් නො ව, වෛiවරයා ඒ ගැන බැලිය යුතුය යනු ය. ඒ අනුව එක් ආකාරයකින් ගෘහ පාලන කලාවට, වෙනත් ආකාරයකින් උප කලාවට සෞඛ්‍යය ගැන බැලිමට සිදුවේ. නමුත් බැරෑරුම් ලෙස කියතොත්, මා දැනට මත් කියා ඇති පරිදි, ජීවන මාර්ග සොබාදහම විසින් කල් තබා සැලසිය යුතුය. සොබාදහමේ කාර්යය වනුයේ උපන් අයට ආහාර සැපයීම වන නිසා සහ හැම විට ම, ජාතයාගේ ආහාරය ඒවා නිපදවනු ලබන දෙයින් ඉතිරි ව ඇති නිසා වේ. පලතුරු හා සතුන්ගෙන් ධනය ලබා ගැන්මේ කලාව හැම විට ම ස්වභාවික වනුයේ එ බැවිනි.

මා කී පරිදි, ධනය ලබා ගන්නා ආකාර දෙකක් ඇත. එකක් ගෘහ පාලනයේ කොටසකි. අනෙක සිල්ලර වෙළඳාම ය. පළවැන්න අවශ්‍ය ම හා ගෞරවනීය ය. එහෙත් හුවමාරු කිරිමෙන් යුක්තවන්න යුක්ති සහගත ලෙස දෝෂාරෝපණයට ලක් වේ. එය අස්වාභාවික හා මිනිසුන් එකිනෙකාගෙන් ලබා ගන්නා ක‍්‍රමයක් බැවිනි. ප‍්‍රබල ම ලෙස හේතු සහගත ව ඉතාමත් වෛරයට ලක් වන ආකාරය වන්නේ, මුදලේ ස්වභාවික අරමුණ මඟින් නො වන අතර, මුදලින් ම ලාභයක් උපයන, ගිනි පොලියට දීම ය. මුදලින් අදහස් කෙරුණේ හුවමාරුව සඳහා යොදා ගැන්ම මිස, පොලිය මඟින් එය වැඩි කර ගැන්ම නො වන බැවිනි. මුදලින් මුදල් ඉපදීම අදහස් කෙරෙන, මෙම පොලිය යන යෙදුම, මුදල් ප‍්‍රජනනයට යෙදෙනුයේ, පැටවා මවට සම වනුයෙනි. ධනය ලබා ගැන්මේ සියලු ක‍්‍රම අතරින් ඉතාමත් අස්වාභාවික ක‍්‍රමය මෙය වනුයේ එබැවිනි.

[11] ධනය ලබා ගැන්මේ න්‍යාය ගැන කීවා ඇති. අපි දැන් ප‍්‍රායෝගික කොටස වෙත යමු. එවන් දේ නිදහසේ මිනිසෙකු විසින් අධ්‍යයනය කිරීමට ඉඩ ඇති නමුත්, ප‍්‍රගුණ කරනු ලබන්නේ අවශ්‍යතාවය නිසා ම පමණි. ධනය ලබා ගැන්මේ ඵලදායක අංගයන් වනුයේ, පළමු ව ම, ඉතා ම ලාභදායක වන, පශු සම්පත් පිළිබඳ දැනුම සහ, ලාභයක් උපයා දෙනු ඇත්තේ කොහි ද, කොහොම ද,”උදාහරණයක් වශයෙන්, ලාභ දීමට වඩාත් ම ඉඩ ඇත්තේ මොන වර්ගයේ අශ්වයින් හෝ බැටලුවන් හෝ ගවයන් හෝ වෙනත් මොන යම් ම සතුන් ද යන්න ගැන දැනුම වේ. අනෙකුන්ට වඩා ලාභ දායක වනුයේ මින් කවර වර්ගය ද, සමහරෙක් එක් තැනක දී වැඩි වාසි දායක වන අතර සමහරෙකු වෙනත් තැනක දී වැඩි වාසි දායක වන බැවින්, යම් විශේෂ ස්ථානයන්හි දී වැඩියෙන් ම ලාභ දෙනුයේ කවර වර්ගය දැ යි මිනිසා දැන සිටිය යුතුය. දෙවනු ව කෘෂිකර්මය ය. එය අස්වැද්දීම හෝ පැළ සිටුවීම සහ මී මැස්සන්, මත්ස්‍යයින්, හෝ කුකුළන් හෝ මිනිසාට ප‍්‍රයෝජනවත් කවර හෝ සතුන් ඇති කිරීම විය හැකිය. මේවා ධනය ලබා ගැන්මේ තථ්‍ය හෝ නියම කලාවේ අංශයන් වන අතර ප‍්‍රමුඛ අංශයන් ද වේ. හුවමාරුවෙන් සමන්විත වන අනෙකුත් අංශයන් ගෙන් පළමුවැන්න සහ ඉතා වැදගත් ම අංශය වන්නේ වාණිජ්‍යය (එහි වර්ග තුනකි: නැව් හිමිකම, භාණ්ඩ ප්‍රවාහනය, අලෙවියට තැබීම) මේවැ නැවත ආරක්ෂා සහිත හෝ වඩා ලාභදායක වශයෙන් වෙන් වේ) ය. දෙවැන්න පොලියට දීම ය. තෙවැන්න, කුලී සේවාවන් ය”මෙයින් එක් වර්ගයක් යාන්ති‍්‍රක ශිල්පයන්හි යෙදේ. අනෙක නුපුහුණු හා ශාරීරික ශ‍්‍රමය ය. මෙය සහ අඩ වශයෙන් ස්වභාවික වන, නමුත් හුවමාරුව හා සම්බන්ධ, එනම් මහ පොළවෙන් සහ මහ පොළොවේ වැඩුණු දේවලින් ලාභ උපයන හා, එහි ඵල නොදරණ නමුත් කෙසේ වුවත් ලාභ දායක වන, උදාහරණයක් වශයෙන් දැව කැපීම සහ සියලු පතල් සෑරීම් වැනි, කර්මාන්තයන් වැනි පළමුවන හෝ ස්වභාවික ක‍්‍රමය අතරමැද වන ධනය ලබගැන්මේ තෙවන ක‍්‍රමයක්ද ඇත. පතල් කර්මාන්තයට ම ද බොහෝ ශාඛා ඇත. මහ පොළොවෙන් සාරා ගනු ලබන දේවෝ විවිධ ආකාරයන් ඇති නිසාය. මා දැන් පොදුවේ කතා කරන, ධනය ලබා ගැන්මේ අංශයන් කිහිපය පිළිබඳ ව, සියුම් සලකා බැලීමක් ප‍්‍රායෝගික වශයෙන් පලදායක වනු ඇති නමුදු, දැන් ඒවා ගැන දිගු වශයෙන් විමසීම වෙහෙසකර වනු ඇත.

මෙම වෘත්තීන් ඉතාමත් සත්‍ය වශයෙන්, අහඹුවට අවම ඉඩක් ඇති ශිල්පයන් ය. සිරුරට ඉතාමත් අහිතකර ලෙස සැලකෙන බැවින් ඒවා ඉතාමත් පහත් වේ. සිරුර වැඩියෙන් ම භාවිතා කෙරෙනුයෙන් වඩාත් ම දාසකම් වේ. විශිෂ්ටත්වය කොහෙත් ම අවශ්‍ය නොවනුයෙන් ඉතාමත් අවම උදාරත්වයෙන් යුතු වේ.

මෙම විෂයයන් ගැන විවිධ පුද්ගලයන් විසින් කෘති රචනා කර ඇත. උදාහරණ වශයෙන්, පරියානු චාරෙස් සහ ලෙමියානු ඇපොලොඩෝරස් අස්වැද්දීම තුළ සෑම හා සිටුවීම ගැන ලියා ඇති අතර, වෙනත් අය වෙනත් ශාඛාවන් ගැන ලියා තිබේ. එවන් කරුණු ගැන සැලකිලිමත් වන කවරෙකුට වුව ද ඔවුන්ගේ රචනාවන් බැලිය හැකිය. ධනස්කන්ධයක් එක්රැස් කිරීම අතින් සාර්ථක වූ පුද්ගලයන්ගේ කි‍්‍රයාමාර්ගයන් පිළිබඳ විසිරී පවතින කතා එක්රැස් කිරීම ද හොඳ වනු ඇත. ධනය ලබා ගැන්මේ කලාව අගය කරන පුද්ගලයන්ට මේ සියල්ල ප‍්‍රයෝජනවත් වන බැවිනි. විශ්වමය වශයෙන් ආරෝපණය වන මූලධර්මයක් සම්බන්ධ, මයිලේසියානු තාලෙස් ගේ වැඩ පිළිවෙල හා ඔහු ද පිළිබඳ කතාව ඇත. එය ඔහුට ආරෝපණය කර ඇත්තේ බුද්ධිමත් බව සම්බන්ධයෙන් ඔහුගේ කීර්තිය නිසා ය. ඔහුගේ දිළිඳු බව නිසා ඔහු ගැරහුමට ලක් කෙරිණි. දර්ශනවාදයෙන් පලක් නැතැ යි ඉන් දැක්වීමට අදහස් කෙරිණි. කතාවේ එන අන්දමට, තව මත් ශීත සෘතුව පැවතියදී, ඉදිරි වසරේ දී මහා ඔලිව් අස්වැන්නක් ලැබෙන බව නක්ෂත‍්‍රය පිළිබඳ තම දැනුමෙන් ඔහු දැන සිටියේ ය. ඒ අනුව, තමන්ට තිබි අල්ප මුදලින් ඔහු චියෝස් සහ මිලෙටුස්හි සියලු ඔලිව් ඇඹරුම්හල් යෙදවීමට අත්තිවාරම් තැන්පත් කළ අතර ඔහුට එරෙහිව කිසිවෙකු ඉදිරිපත් නොවූ හෙයින් ඔහු ඒවා අඩු මුදලට කුලියට ගත්තේය. නමුත් අස්වනු ලැබෙන කාලය පැමිණෙන විට සහ බෝහෝ දෙනෙකුට සියල්ල එකවරම සහ ක්‍ෂණිකව ඇවැසි වූ විට, ඔහු තමන්ට අභිමත ගණන් වලට ඒවා කුලියට දී විශාල මුදලක් උපයා ගති. දාර්ශනිකයන්ට තමන්ට ඇවැසි නම්, පහසුවෙන් ම ධනවත් විය හැකි බවත් ය. නමුත් ඔවුන්ගේ අපේක්ෂාව වෙනත් ආකාරයක එකක් බව ඔහු දැක්වී ය. ඔහු තම බුද්ධිමත් බවේ සිත් කාවදින සාක්කියක් දුන් බව අදහස් කෙරේ. නමුත්, මා කී පරිදි, ධනය අත්කරගැන්මේ ඔහුගේ වැඩ පිළිවෙළ විශ්වමය වශයෙන් යොදා ගැනෙන්නකි. එය ඒකාධිකාරයක් නිර්මාණය කිරීම හැර අන් කිසිවක් නොවේ. නගරයන්ට මුදල් හිඟ වූ විට, මෙයට බොහෝ විට භාවිතා කෙරෙන කලාවකි. ඔවුහු සැපයුමේ ඒකාධිකාරයක් ඇති කරති.

තමන් වෙත මුදල් තැන්පත් ව තිබි බැවින් යකඩ ආකර වලින් සියලු යකඩ මිලට ගත් මිනිසෙක් සිසිලියේ විය. පසු ව, මිලට ගැන්ම සඳහා විවිධ වෙළඳපලවල් වෙතින් වෙළඳුන් පැමිණි විට එකම අලෙවිකරු ඔහු පමණක් විය. මිල එතරම් වැඩි කිරීමෙන් තොර ව ඔහු සියයට 200 ක ලාභයක් ලැබී ය. මෙය ඇසූ ඩයොනීසියස් තමන්ගේ ඕනෑ එපාකම් වලට හානිකර විය හැකි මුදල් ඉපයුම් මඟක් මිනිසා සොයා ගෙන ඇතැ යි සිතා, ඔහුට ඔහුගේ මුදල් රැගෙන යා හැකි නමුත්, ඔහු සයිරාකුස්හි රැඳී නොසිටිය යුතු යැයි කී ය. ඔහු තාලෙස් සොයා ගත් දේ ම සොයා ගති. ඔවුහු දෙදෙන ම තමන් සඳහා ඒකාධිකාරයක් ඇති කිරීමට උපක‍්‍රම යෙදූහ. රාජ්‍ය තාන්ති‍්‍රකයන් ද මේ දෑ දැන සිටිය යුතුය. ගෘහයක් සේ ම හෝ ඊටත් වැඩියෙන් රාජ්‍යයකට ද මුදල් හා මුදල් ලබා ගැන්මේ එවන් ක‍්‍රම ඇවැසි වන බැවිනි. එමනිසා ඇතැම් දේශපාලකයෝ මූල්‍ය කටයුතු සඳහා සහමුලින් කැප වෙති.

[12] කුටුම්භ පාලනයේ කොටස් තුනක් වන බව අපි දැක ඇත්තෙමු. දැනීමෙන් සාකච්ඡා කරඇති පළමුවැන්න ස්වාමියකු විසින් වහලුන් පාලනය කිරීමය. පියෙකුගේ පාලනය තවෙකකි. තෙවැන්න සැමියකුගේ පාලනය ය. සැමියෙකු හා පියෙකු, බිරිඳ හා දරුවන් පාලනය කරන බව අපි දුටිමු. දෙදෙනා ම නිදහස් ය. නමුත් පාලනය එකිනෙකට වෙනස් ය. දරුවන් කෙරෙහි ඔහුගේ පාලනය රාජකීය වන අතර බිරිඳ කෙරෙහි පාලනය ව්‍යවස්ථානුගත වේ. සොබාදහමේ පිළිවෙළට වෙනස් වන සුවිශේෂයන් තිබිය හැකි නමුත්, වැඩිහිටි හා පූර්ණ වශයෙන් වැඩුණු තැනැත්තා බාල හා වඩා පරිණත බවින් අඩු අයට වඩා උසස් වන්නා සේ ම, පිරිමියා ස්වභාවයෙන් ම ගැහැනියට වඩා අණ දීමට සුදුස්සා වනුයෙනි. නමුත් ආණ්ඩු ව්‍යවස්ථානුගත රාජ්‍යයන් වැඩියක් පුරවැසියන් පාලනය කරන අතර පාලනය කෙරෙනු ද ලැබේ. පුරවැසියන්ගේ ස්වභාවයන් හා සමාන වන අතර කොහොත් ම වෙනස් නොවන්නේ යැයි ව්‍යවස්ථානුගත රාජ්‍යයක සංකල්පයෙන් අදහස් වනුයෙනි. එසේ වුවත්, යමෙකු පාලනය කරන අතර අනෙකකු පාලනය වන විට, අප විසින් බාහිර ස්වරූපයන් සහ නම් සහ ගෞරව පදවි නාමයන්හි වෙනසක් ඇති කෙරේ. අමසිස් විසින් ඔහුගේ පා දෝවනය ගැන කී දෙයින් එය හුවා දැක්විය හැකිය. ගැහැනියට මිනිසාගේ සම්බන්ධය හැම විට ම ඒ ආකාර ය. පියෙකු දරුවන් කෙරෙහි කරන පාලනය රාජකීය ය. ඔහු පාලනය කරනුයේ ආදරය හා වයසට හිමි ගෞරවය යන දෙකෙහි ම බලයෙන්, එක්තරා රාජකීය බලයක් පාවිච්චි කිරීමෙන් බැවිනි. එබැවින් සියුස් ‘දෙවියන්ගේ සහ මිනිසුන්ගේ පියා’ යැයි හෝමර් විසින් උචිත අන්දමින් සඳහන් කර ඇත. ඔහු ඔවුන් සැමගේ රජු බැවිනි. රජෙකු ඔහුගේ යටත් වැසියන්ට වඩා ස්වභාවයෙන් ම උසස් නමුත්, ඔහු එම අයගේ ම වර්ගයට අයත් විය යුතු බැවින්, වැඩිහිටියා සහ බාලයාත්, පියා සහ පුතාත් අතර සම්බන්ධයද එසේ ම වේ.

[13] කුටුම්භ පාලනය අජීවී වස්තූන් අත් කර ගැන්මට වඩා මිනිසුන්ට සමීප වන බවත්, අප ධනය යැයි කියන දේපළවල විශිෂ්ටත්වයට වඩා මානව විශිෂ්ටත්වයට සමීප වන බවත්, වහලුන්ගේ විශිෂ්ටත්වයට වඩා නිදහස් මිනිසුන්ගේ විශිෂ්ටත්වයට සමීප වන බවත් මේ අනුව පැහැදිලි ය. උපකරණයක හා සේවකයකුගේ විශිෂ්ටත්වයන්ගෙන් ඔබ්බට කිසි විශිෂ්ටත්වයක් වහලෙකුට කොහෙත් ම තිබේ ද? පමණ නො ඉක්මවීම, දිරිය හා යුක්තිය ආදියේ විශිෂ්ටත්වය ඔහුට විය හැකි ද හෝ, වහලුන්ට ඇත්තේ ශාරීරික සේවා පමණක් ද යන ප‍්‍රශ්නය ඇත්තෙන් ම මතුවිය හැකිය. අප කවර ආකාරයෙන් ඊට පිළිතුරු දුන්නත්, දුෂ්කරතාවක් මතුවේ. ඔවුනට විශිෂ්ටත්වය ඇතොත්, ඔවුන් නිදහස් මිනිසුන්ගෙන් වෙනස් වනුයේ කුමකින් ද? අනෙක් අතින්, ඔවුන් මිනිසුන් වන අතර, තර්කානුකූල මූලධර්මයට හවුල් බැවින්, ඔවුන්ට විශිෂ්ටත්වය නැතැ යි කීම විකාරයක් මෙන් පෙනේ. ගැහැනුන් හා ළමුන් සම්බන්ධයෙන් ද ඒ සමාන ප‍්‍රශ්නයක් මතු කළ හැකිය. ඔවුන්ටත් විශ්ෂ්ටත්වය තිබේ ද, ගැහැනියක් පමණ නොඉක්මවන, නිර්භීත හා යුක්ති සහගත අයෙක් විය යුතු ද, දරුවකු පමණ නො ඉක්මවන හෝ ඉක්මවන හෝ අයෙකු යැයි ද, කිව යුතු ද නැත් ද? එනිසා, ඔවුනට සමාන විශිෂ්ටත්වයක් ඇත් ද, වෙනස් විශිෂ්ටත්වයන් ඇත්දැ යි, ස්වභාවික පාලකයා හා ස්වභාවික යටත්වැසියා ගැන අපට පොදුවේ ඇසිය හැකිය. උසස් ස්වභාවයක් දෙදෙනාගෙන් ම සමානවම අපේක්ෂා කෙරේ නම් ඉන් එක් අයෙකු හැම විට ම පාලකයාත්, අනෙකා හැම විට ම පාලිතයාත් විය යුත්තේ ඇයි? මෙය පරිමාණය පිළිබඳ ප‍්‍රශ්ණයකැ යි කීමට ද අපට නොහැකිය. පාලකයා හා පාලිතයා අතර වෙනස ස්වරූපය පිළිබඳ වෙනසක් බැවිනි. වැඩි හා අඩු අතර වෙනස කිසි විට එසේ නොවේ. ඒත් එක් අයෙකුට විශිෂ්ටත්වය තිබිය යුතුය, අනෙකාට නො තිබිය යැතු යැයි කීම කොතරම් අමුතු ද ? පාලකයා පමණ ඉක්මවා යන හා අයුක්ති සහගත නම් ඔහුට හොඳින් පාලනය කළ හැක්කේ කෙසේ ද? පාලිතයා එසේ නම් ඔහු හොඳින් අවනත වන්නේ කෙසේ ද? ඔහු සල්ලාල හා බියසුලූ නම්, නියතයෙන් ම ඔහු උචිත දෙය නො කරන්නේ ය. එබැවින්, දෙදෙනාට ම යම් පමණක විශිෂ්ටත්වයක් තිබිය යුතු නමුත්, ස්වභාවික පාලිතයන් ඔවුන් අතර ම ද වෙනස් වන අන්දමින් වෙනස් වෙමින් බව පැහැදිලි ය. මෙහි දී ආත්මයේ සංයුතිය ම අපට මඟ පෙන්වා ඇත. එහි එක් කොටසක් ස්වභාවික ව ම පාලනය කරන අතර අනෙක පාලිත වේ. පාලකයාගේ විශිෂ්ටත්වය පාලිතයාගේ විශිෂ්ටත්වයෙන් වෙනස් වන්නේ යැයි අපි කියමු”එකක් සබුද්ධික කොටසේ විශිෂ්ටත්වය වන අතර අනෙක සබුද්ධික නොවන කොටසේ ය. දැන්, එම මූලධර්මය ම පොදුවේ අදාළ වන බව පැහැදිලි ය. එබැවින් සෑම දෙයක් ම පාහේ පාලනය කරනුයේත්, පාලනය වනුයේත් ස්වභාවයට අනුව ය. නමුත් පාලනයේ ස්වරූපය වෙනස් වේ”වහලා කෙරෙහි වන නිදහස් මිනිසාගේ පාලනය, පිරිමියා ගැහැනිය පාලනය කරන හෝ, මිනිසා දරුවා පාලනය කරන හෝ ආකාරයන්ගෙන් වෙනස් වේ. ආත්මයේ කොටස් ඒ සැම තුළ ම ඇති නමුත්, ඒවා ඇත්තේ වෙනස් පරිමාණයන්ගෙනි. හේතුව, වහලාට කොහොත් ම කල්පනා කිරීමේ ශක්තියක් නැත. ගැහැනියට ඇති නමුත් අධිකාරිත්වයෙන් තොර ය. දරුවාට ඇති නමුත් අපරිණත ය. එබැවින් චරිතයේ විශිෂ්ටත්වය ද එසේ යැයි අදහස් කළ යුතුය. සැමට ම එය තිබිය යුතු නමුත්, ඒ එකිනෙකාගේ කාර්යයන් ඉටු කිරීම සඳහා අවශ්‍ය වන ආකාරයෙන් හා ප‍්‍රමාණයෙන් පමණි. එබැවින් පාලකයාට පරිපූර්ණ චරිත විශිෂ්ටත්වයක් තිබිය යුතුය. සමස්ත වශයෙන් ගත් කල ඔහුගේ කාර්යය සඳහා ප‍්‍රඥා ශිල්පියකු අවශ්‍ය වනුයෙනි. විචාරබුද්ධිය එවන් ශිල්පියෙකි. අනෙක් අතින්, පාලිතයනට ඇවැසි වනුයේ ඒ එකිනෙකාට උචිත ප‍්‍රමාණයක විශිෂ්ටත්වය පමණි. පැහැදිලිව ම, එසේ නම් චරිතයේ විශිෂ්ටත්වය ඔවුන් සැමට ම හිමි ය. නමුත් පිරිමියකුගේ පමණ ඉක්මවා නොයාම හා ගැහැනියකගේ පමණ නොඉක්මවීම හෝ පිරිමියකුගේ දිරිය හා යුක්තිය සහ ගැහැනියකගේ එම දෑ, සොක‍්‍රටීස් කී පරිදි, එකම නොවේ. මිනිසෙකුගේ දිරිය අණ දීමෙන් දැක්වෙන අතර ගැහැනියකගේ දිරිය අවනත වීමෙන් දැක්වේ. අප වඩා සවිස්තර ව ඒවා පරීක්ෂා කළ හොත් වඩාත් පැහැදිලිව පෙනෙනු ඇති පරිදි, අන් සියලු විශිෂ්ටත්වයන් සම්බන්ධයෙන් ද මෙය සත්‍ය වේ. විශිෂ්ටත්වය අඩංගු වනුයේ ආත්මයේ යහපත් ස්වභාවයක හෝ නිවැරදි ව කිරීමෙහි හෝ එවැනි දෙයක යැයි පොදුවේ කියන්නවුන් තමන් රවටා ගනු පමණක් බැවිනි. ෆෝගියාස් වැන්නන්ගේ කතා විලාසය, එවන් නිර්වචනයන්ට වඩා බොහෝ හොඳින් විශිෂ්ටත්වයන් විස්තර කරන්නේ ය. සෑම පන්තියකට ම ඊට විශේෂ ගුණාංග තිබිය යුතු යැයි අදහස් කළ යුතුය. කවියා ගැහැනුන් ගැන කියන පරිදි, නිහැඬියාව ගැහැනියකගේ මහිමය වේ. නමුත් මෙය ඒ සමාන ව ම පිරිමියාගේ මහිමය නොවේ. දරුවා අපරිපූර්ණ බැවින් පැහැදිලිව ම ඔහුගේ විශිෂ්ටත්වය ඔහුට පමණක් සාපේක්ෂ නොව, පරිපූර්ණ මිනිසාට හා ඔහුගේ ගුරුවරයාට සාපේක්ෂ වේ. ඒ ආකාරයෙන් වහලාගේ විශිෂ්ටත්වය ස්වාමියකුට සාපේක්ෂ වේ. වහලෙකු, ජීවිතයේ අවශ්‍යතාවන්ට ඵලදායක බව අපි නිගමනය කළෙමු. එබැවින් පැහැදිලි ව ම ඔහුට අවශ්‍ය වනුයේ බියසුලුකම හෝ ආත්ම සංයමයෙන් තොර බව නිසා තම කාර්යය ඉටු කිරීමට අසමත් වීමෙන් ඔහු වළක්වනු ඇති ප‍්‍රමාණයට විශිෂ්ටත්වය පමණි. අප කියන දේ සත්‍ය නම්, ශිල්පීන් බොහෝ විට ආත්ම සංයමයෙන් තොර බව නිසා, ඔවුන්ගේ වැඩ ඉටු කිරීමට අසමත් වනුයෙන් ඔවුනට ද විශිෂ්ටත්වය අවශ්‍ය නො වන්නේ දැ යි යමෙකු අසනු ඇත. නමුත් සිද්ධීන් දෙක අතර මහා වෙනසක් නැත්තේ ද? වහලා ඔහුගේ ස්වාමියාගේ ජීවිතය බෙදා ගන්නා අතර, ශිල්පියා හා ස්වාමියා අතර සම්බන්ධය සමීපත්වයෙන් අඩු බැවිනි. ශිල්පියා විශිෂ්ටත්වය අත් කර ගන්නේ වහලෙකු බවට පත් වීමට පරිමාණානුකූල ව පමණකි. වහලා ස්වභාවයෙන් ම පවතින අතර, වඩා පහත් වර්ගයේ කාර්මිකයකුට ඇත්තේ විශේෂ හා වෙන් ම වූ වහල්බවකි. සපතේරුවා හෝ අනිකුත් ශිල්පියකු එසේ නොවේ. එසේ නම්, ස්වාමියා වහලාට ඔහුගේ කාර්යයන් පුහුණු කරන, හුදෙක් ස්වාමීත්ව කලාවේ හිමිකරුවකු නොව, වහලා තුළ එවන් විශිෂ්ටත්වයට උපත් මාර්ගය විය යුතු බව නියතයෙන් පෙනේ. වහලුන්ට දරුවන්ටත් වඩා වැරදි පෙන්වා දීම ඇවැසි බැවින්, අප යෙදිය යුත්තේ අණ දීම පමණක් යැයි කියමින්, වහලුන් සමඟ කතා කිරීම අපට තහනම් කරන්නවුන් වරද්දාගෙන ඇත්තේ එබැවිනි.

එම විෂයය ගැන මේ ප්‍රමාණවත්ය. සැමියා හා බිරිඳ අතර, පියා හා දරුවා අතර සබඳතා, ඔවුන්ගේ වෙන් වෙන් විශිෂ්ටත්වයන්, ඔවුන් එකිනෙකා අතර සම්බන්ධයේ දී හොඳ මොනවා ද, නරක මොනවා ද, අපට යහපත අඹා යාමටත් නපුර මඟහැරීමටත් හැක්කේ කෙසේ ද, සාකච්ඡා කළ යුත්තේ, විවිධ ස්වරූපයේ ආණ්ඩු ගැන කතා කරන විට ය. සෑම පවුලක් ම රාජ්‍යයක කොටසක් වන්නා සේ ම, මෙම සම්බන්ධතාවන් පවුලක කොටස් වන්නා සේම, කොටසේ විශිෂ්ටත්වය සමස්තයේ විශිෂ්ටත්වය ගැන තැකිය යුතු සේම, ගැහැනුන්ගේ හා දරුවන්ගේ විශිෂ්ටත්වයන් රාජ්‍යයේ විශිෂ්ටත්වයන් තුළ කවර හෝ වෙනසක් කරතැයි අදහස් වේ නම්, ආණ්ඩු ව්‍යවස්ථාවට අනුව දෙනු ලබන අධ්‍යාපනය මඟින් ඔවුන් පුහුණු කළ යුතුය. ඔවුන් වෙනස් කරවන සුලූ බලපෑමක් කළ යුතුය. දරුවන් වැඩෙනුයේ පුරවැසියන් වීමට හා රාජ්‍යයක නිදහස් පුද්ගලයන්ගෙන් අඩක් ගැහැනුන් වන බැවිනි.

මේ කරුණු ගැන ප‍්‍රමාණවත් ව කියා ඇත. ඉතිරිය ගැන පසුව කතා කරමු. එසේ නම් අපගේ මෙම විමසුම සම්පූර්ණ සේ සලකා, අපි නව ආරම්භයක් වෙත යමු. පරිපූර්ණ රාජ්‍යයක් පිළිබඳ විවිධ න්‍යායන් පළමු ව පරීක්ෂා කර බලමු.෴

II

දෙවැනි පොත

[1] ඔවුන්ගේ ජීවිත අරමුණ ඉටු කර ගැනීමට හොඳින්ම හැකියාව ඇති අය සඳහා සියල්ලට ම වඩා හොඳ කවර ස්වරූපයේ දේශපාලන ජන සමාජයක් දැ යි සලකා බැලීම අපගේ අරමුණ වේ. එබැවින් මෙ පමණක් නොව, හොඳ සහ පලදායක වන දේ හෙළි කර ගත හැකි වන අයුරින්, හොඳින් පාලිත රාජ්‍යයන් හි ඇත්ත වශයෙන් ම පවතින හා, ගෞරවයෙන් සැලකෙන කවර හෝ න්‍යායාත්මක ස්වරුපයන් ඇතුලු ව අන් ආණ්ඩු ව්‍යවස්ථාවන් ද අප විසින් පරීක්ෂා කර බැලිය යුතු වේ. ඒවා ට ඔබින් යමක් සෙවීමෙන් අප උනන්දු වන්නේ කවර කැප කිරිමකින් හෝ අතිපණ්ඩිතකමක් ප‍්‍රදර්ශනය කිරීමට යැයි කිසිවකු නො සිතිය යුතුය. අප මෙම විමසුම කරනුයේ දැනට පවතින සියලු ආණ්ඩු ව්‍යවස්ථාවන් අඩුපාඩු සහිත බැවින් පමණි.

අපි විෂයයේ ස්වභාවික ආරම්භයෙන් පටන් ගමු. රාජ්‍යයක සාමාජකයන්ට සෑම දෙයක් ම පොදුවේ තිබිය යුතුය, එසේ ද නැතහොත් ඇතැම් දේ පොදු විය යුතු අතර ඇතැම් දේ නො විය යුතුය. ඔවුනට පොදුවේ කිසිවක් නොවිය යුතුය යන්න කොහොත් ම විය නොහැක්කක් බව පැහැදිලි ය. ආණ්ඩු ව්‍යවස්ථාව ජන සමාජයක් වන අතර, ඊට අඩු ම වශයෙන් පොදු ස්ථානයක් තිබිය යුතුය. එක් නගරයක් එක් තැනක වන අතර, පුරවැසියන් වනුයේ එහි හවුල්කරුවන් ය. නමුත් හොඳින් විධිමත් රාජ්‍යයක ඇති සෑම දෙයක් ම පොදු විය යුතු ද, නැතහොත් ඇතැම් දේ පොදු වන අතර අනෙක්වා නොවිය යුතු ද? ප්ලේටෝගේ ජන රජයේ සොක‍්‍රටීස් යෝජනා කරන අන්දමින් පුරවැසියන්ට බිරින්දන්, දරුවන් සහ දේපළ පොදුවේ තිබිය හැකැ යි සිතිය හැකිය. වඩා හොඳ කුමක් ද? අපේ වර්තමාන තත්ත්වය ද, නැතහොත් රිපබ්ලික් හි නියම කර ඇති න්‍යායට අනුකූල වූවක් ද?

[2] ගැහැනුන් සමාජගත කිරීමේ බොහෝ දුෂ්කරතා ඇත. එවන් ආයතනයක අවශ්‍යතාවට හේතු වන බවට සොක‍්‍රටීස් දක්වා ඇති මූලධර්මය ඔහුගේ තර්කයන්ගෙන් සනාථ වන බවක් නොපෙනේ. එපමණක් නොව, ඔහු රාජ්‍යයට සම්බන්ධ කරන අරමුණ ඉටු කර ගැන්මේ මඟක් වශයෙන්, යෝජනා ක‍්‍රමය වචනාර්ථයෙන් ගත් විට, කි‍්‍රයාවට නැඟියනොහැකිය. අප එය නිරුක්ති ගත කළ යුතු කෙසේ දැ යි කිසි තැනක හරියට සඳහන් කර නැත. මා කතා කරනුයේ සොක‍්‍රටීස්ගේ තර්කයට මුල් වන, රාජ්‍යයට වඩාත් ම හොඳ හැකි තරම් ඒකාබද්ධ වීම ය යන අදහස ගැන ය. අවසන එවන් මට්ටමක එකමුතු කමක් ඇති කර ගනු ඇති රාජ්‍යයක් තවදුරටත් රාජ්‍යයක් නොවීමට ඉඩ ඇති බව පැහැදිලි නොවේ ද? රාජ්‍යයක ස්වභාවය බහුත්වයක් වීම බැවින් වඩා පුළුල් එකමුතුකමක් ඇති කර ගැන්මට යාමෙන්, රාජ්‍යයක් බැවින් එය පවුලක් බවට පත් වේ. පවුලක් බැවින් පුද්ගලයකු බවට පත් වේ. පවුලක් රාජ්‍යයට වඩාත්, පුද්ගලයා පවුලට වඩාත් ඒකීය යැයි කිව හැකි බැවිනි. එනිසා අපට හැකි ම වුවත්, මෙම ඉහළම ඒකීයත්වය අත් කර නොගත යුතුය. එය රාජ්‍යයේ විනාශය වනු ඇති හෙයිනි. රාජ්‍යයක් සැකසෙනුයේ මිනිසුන් යම් සංඛ්‍යාවකින් පමණක් නොව, වෙනස් වර්ගයේ මිනිසුන්ගෙනි. සාමාන්‍යයෙන් රාජ්‍යයක් සංයුක්ත නොකරනුයෙනි. එය යුද හවුලක් වැනි නොවේ. ගුණාත්මක බවේ වෙනසක් නැති විට පවා, එහි පලදායකත්වය ඇත්තේ ප‍්‍රමාණයෙහි ය. (ඉලක්ක කෙරෙන අරමුණ අන්‍යෝන්‍ය ආරක්ෂාව බැවිනි.) වැඩි බරක් තරාදිය වැඩියෙන් පහළ යවන්නා සේ ම ය. (ඒ අන්දමින් ම ජාතියක් තම ජනගහනය ගම් වශයෙන් සංවිධානය නොකර පිටිසර රමණීය ආකාරයේ ජීවිතයක් ගත කරන විට, රාජ්‍යය ජාතියකින් වෙනස් වේ). නමුත් එකමුතුකමක් පිහිටවීමට මුල් වන මූලාංගයන් වර්ගයෙන් වෙනස් වේ. මා දැනටමත් ආචාර ධර්මයෙහි ලා සඳහන් කර ඇති පරිදි, පරස්පරත්ව මූලධර්මය රාජ්‍යයන්ගේ ගැලවුම වන්නේ එබැවිනි. මෙය නිදහස් මිනිසුන් සහ සමානයන් අතර පවා පවත්වා ගත යුතු මූලධර්මයකි. ඔවුන් සියල්ලන්ට එක් වී පාලනය කල නොහැකි අතර, වසරක් අවසන හෝ යම් වෙනත් කාල පරිච්ඡේදයක් අවසන හෝ යම් අනුප‍්‍රාප්ති රටාවකට අනුව වෙනස් විය යුතු බැවිනි. ප‍්‍රතිපලය වන්නේ මේ සැලැස්ම මත ඔවුන් සැම පාලනය කිරිම ය. සපතේරුවන් හා වඩුවන් ඔවුන්ගේ වෘත්තීන් මාරු කර ගත හොත් සිදු වන අයුරින් ම ය. එකම පුද්ගලයන් හැම විට දිගට ම සපතේරුවන් හෝ වඩුවන් වන්නේ නැත. දේශපාලනයේ දී ද මෙය එසේ ම වීට වඩා හොඳ වන බැවින්, හැකි ස්ථානයන්හි දී එකම පුද්ගලයන් බලයේ දිගට ම සිටිය යුතු වන අතර, පුරවැසියන්ගේ ස්වභාවික සමානත්වය නිසා එසේ කළ නොහැකි වන තැන් පැහැදිලි ය. ඒ අතර ම සැවොම රාජ්‍යපාලනයට සහභාගි විය යුතු වීම යුක්ති සහගත බව ද පැහැදිලි ය. (ආණ්ඩු කිරීම හොඳ දෙයක් වුවත් නරක දෙයක් වුවත්) මේ අවස්ථාවන්හි දී මෙය අනුකරණය කෙරේ. මේ අන්දමින්, ඔවුන් තව දුරටත් එකම පුද්ගලයන් නො වූ පරිද්දෙන් මාරුවෙන් මාරුවට එක් පිරිසක් පාලනය කරන අතර, සෙස්සෝ පාලනය කරනු ලබති. ඒ අයුරින් ම ඔවුන් තනතුරු දරන විට, දරනු ලබන තනතුරු වල ද විවිධත්වයක් වේ. එබැවින් නගරයක් ඇතැම් පුද්ගලයන් කියන ආකාර දෙයක් ලෙස ස්වභාවයෙන් ම නොවන බවත්, නගරයන් ඉහළින් ම හොඳ යැයි කියනු ලබන දේ ඇත්ත වශයෙන් ම ඒවායේ විනාශය බවත් පෙනී යන්නේ ය. නමුත් නියතයෙන් ම, දේවල හොඳ ඒවා ආරක්ෂා කරන දේ විය යුතුය. තවත් දෘෂ්ටිකෝණයකින් ද රාජ්‍යයේ මෙම අන්ත එකමුතු කිරීම පැහැදිව ම හොඳ නැත. පවුලක් පුද්ගලයකුට වඩා ස්වයංපෝෂණය වන අතර නගරයක් පවුලකට වඩා ස්වයංපෝෂණය වන බැවිනි. නගරයක් බිහි වනුයේ ජන සමාජය ස්වයංපෝෂිත වීමට තරම් විශාල වූ විට පමණි. එසේ නම් ස්වයංපෝෂණය පතන්නේ නම් වැඩි ප‍්‍රමාණයක එකමුතුවට වඩා අඩු ප‍්‍රමාණයක එකමුතුව සුදුසු ය.

[3] නමුත්, ඉහළ ම ප‍්‍රමාණයේ එකමුතුකමක් තිබීම ජන සමාජයට ඉතා ම හොඳ යැයි අදහස් කළේ වුවත්, මෙම එකමුතු කම ඇතිවනුයේ රාජ්‍යයක පරිපූර්ණ එකමුතුකමේ ලක්ෂණය ලෙස සොක‍්‍රටීස් දක්වන එකම මොහොතේ සියලු මිනිසුන් ‘මගේය’ හා ‘මගේ නොවේ ය’ යි කීම තුළින් බවක් කොහොත් ම සනාථ කර නැත. ‘සියලු’ යන වදනට පැහැදිලි එක් අරුතක් නොවන්නෙනි. අරුත වනුයේ සෑම පුද්ගලයෙකු ම එකම විට ‘මගේ ය’ හා ‘මගේ නොවේ ය’ යි කීම නම්, සමහර විට සොක‍්‍රටීස් අරමුණු කරන බලය යම් ප‍්‍රමාණයකට අත් කර ගත හැකි වීමට ඉඩ ඇත. සෑම මිනිසෙක් ම එකම පුද්ගලයා තමන්ගේ ම පුතා, එකම පුද්ගලයා තමන්ගේ ම බිරිඳ යැයි ද, ඔහුගේ දේපළ හා ඔහුට අයත් සියල්ල තමන්ගේ යැයි ද කියනු ඇත. කෙසේ වෙතත්, තම බිරින්දන් හා දරුවන් පොදුවේ අයත් මිනිසුන් කතා කරනු ඇත්තේ මේ ආකාරයෙන් නොවේ. ඔවුන් කියනු ඇත්තේ ‘සෑම කෙනෙකු ම’ නොව ‘සියල්ලන්’ කියා ය. ඒ ආකාරයෙන් ඔවුන්ගේ දේපළ විස්තර කරනු ඇත්තේ ද වෙන් වෙන් වශයෙන් නොව සාමුහික වශයෙන් අයත් ලෙස ය. ‘සියලු’ යන යෙදුමේ පැහැදිලි නම් ‘දෙකම’, ‘අමුතු’, ‘පවා’ වැනි අනෙකුත් ඇතැම් වදන් මෙන් එය අපැහැදිලි ය. වෙන් කර ගත් තර්කයේ දී පවා තර්ක විද්‍යාත්මක ගැටලූ ඇති කරන මඟක් වේ. සෑම කෙනෙක් ම එසේ කරන අරුතින් සියලු පුද්ගලයන් එකම දෙයට ‘මගේ’ යැයි කීම ඉතා හොඳ දෙයක් විය හැකිය. නමුත් එය ප‍්‍රායෝගික නොවේ. නැතොත් එම වදන් අනෙක් අරුතින් ගත හොත් එවන් එකමුතුවක් කොහෙත් ම සමගියට හිතකර නොවේ. යෝජනාවට තවත් විරෝධයක් ඇත. වැඩි ම ගණනකට පොදු දෙයට ලැබෙනුයේ අඩු ම සැලකිල්ලක් වීම ය. සෑම කෙනෙක්ම ප‍්‍රධාන වශයෙන් සිතනුයේ තමන්ගේ ම යහපත ගැන ය. පොදු යහපත ගැන කොහෙත් ම නො හිතන තරම් ය. පුද්ගලයකු වශයෙන් ඔහුම උනන්දුවක් දක්වන විට පමණි. සැලකිල්ලට ලක් විය යුතු අනෙකුත් කරුණු හැරුණු විට සෑම කෙනෙකු ම, අනෙකෙකු විසින් කෙරෙනු ඇතැ යි තමන් අපේක්ෂා කරන දෙය නොතකා හැරීමේ වැඩි ප්‍රවණතාවක් ඇත. පවුල් වල බොහෝ සේවකයන් සිටීම බොහෝ විට අතළොස්සක් සිටීමට වඩා අඩුවෙන් පලදායක වන්නා සේ ය. එක් එක් පුරවැසියකුට පෞද්ගලික ව තම පුතුන් නොවන දහසක් පුතුන් වනු ඇත. නමුත් ඕනෑ ම කෙනෙකු සමාන ලෙස ඕනෑ ම කෙනෙකුගේ පුතෙකි. එබැවින් සැවොම විසින් ඒකාකාරයෙන් නොතකා හැරෙනු ඇත. එ පමණක් නොව, මෙම මූලධර්මය මත, සෑම කෙනෙකු ම සෞභාග්‍යමත් අයෙක් සඳහා ‘මගේ’ යන වදන භාවිතා කරනු ඇති අතර එසේ නැතොත් අනෙක් පැත්ත ය. ඔහු මුලු සංඛ්‍යාවෙන් කොතරම් කුඩා අංශුවක් වුවත්, එකම දරුවා මගෙ පුතා, අසුවලාගේ පුතා, දහසින් එක් එක් සැමගේ පුතා වනු ඇත. නැතොත්, පුරවැසියන්ගේ සංඛ්‍යාව කුමක් වුවත් මේ ගැන පවා ඔහුට නියත නො වනු ඇත. දරුවකු ලැබුණේ කාට ද යන්න හෝ දරුවකු බිහි වී නම් ඔහු ජීවත් වන්නේ දයන්න හෝ දැනගැන්මට කොහොත් ම නොහැකි බැවිනි. නමුත් වඩා හොඳ කුමක් ද – මිනිසෙකු පුරවැසියන් දෙදහසකට හෝ දසදහසකට එක සේ ඥාති බවට පත් කරමින්, සෑම කෙනෙකු විසින් ම මෙසේ ‘මගේ’ යැයි කීම ද, නැතොත් දැන් රාජ්‍යයන්හි භාවිතා කෙරෙන ආකාරයෙන් ‘මාගේ’ යන වදන භාවිතා කිරිම ද? සාමාන්‍ය වශයෙන් එකම පුද්ගලයා එක් මිනිසෙකු විසින් මගේ ම පුතා යනුවෙන් ද, තවත් අයෙකු විසින් මගේ ම සොහොයුරා හෝ මස්සිනා යනුවෙන් ද, ඥාතියා යනුවෙන් ද අමතනු ලබනුයෙනි. තමන් ගේ ම හෝ තම ඥාතියෙකුගේ ලේ නෑයකු හෝ විවාහයෙන් නෑයකු වීමෙනි. තවත් අයෙකු තම පෙළපතේ හෝ ගෝත‍්‍රයේ යැයි කියනු ඇත. යමෙකුගේ නියම මස්සිනා කෙනෙකු වීම, ප්ලේටෝගේ ක‍්‍රමයට පුතකු වීමට වඩා කොතරම් හොඳ ද? සමහර අවස්ථාවන්හි දී සොහොයුරන්, දරුවන්, පියවරුන් සහ මවුවරුන් එකිනෙකා හඳුනා ගැන්ම වැළැක්වීමේ කිසි ම ක‍්‍රමයක් ද නැත. දරුවන් උපදිනුයේ ඔවුන්ගේ දෙමාපියන්ට සමාන ව වන අතර, ඔවුන් එකිනෙකා අතර සම්බන්ධයේ ලකුණු අවශ්‍යයෙන් නම සොයා ගනු ඇති බැවිනි. එහි සාධකයකැ යි භූගෝල ශාස්ත‍්‍රඥයේ පවසති. ගැහැනුන් පොදු වන උතුරු ලිබියාවේ කොටසක එසේ වුවත්, හැඩරුවේ සමානත්වය අනුව දරුවන් ඔවුන්ගේ පියවරුන්ට පැවරෙන බව ඔවුහු කියති. වෙළඹුන් සහ ගවදෙනුන් වැනි,වෙනත් සතුන්ගේ ගැහැනු සතුන් මෙන්, දෙමාපියන්අසමාන දරුවන් බිහි කිරීමේ ප‍්‍රබල ප්‍රවණතාවක් ඇතැම් ගැහැනුන් තුළ ඇත. අවංක බිරිඳ නම් වූ ෆාසලියානු වෙළඹ සම්බන්ධ සිද්ධියේ දී මෙනි.

[4] එවන් ජන සමාජයක නිර්මාපකයන්ට වැළැක්විය නොහැකි වන අනෙක් දුෂ්කරතාවන් වනුයේ, පියවරුන්ට, මවුවරුන්ට හා කිට්ටු නෑයන්ට විරුද්ධ ව සිදු කළ විට ඉතාමත්, පවqකාර වන නමුත් ඥාතිත්වයක් නොමැති විට ඒ සමාන ව ම පව්කාර නොවන, සිතාමතා ම හෝ නොඑසේ ව කරන පහරදීම්, මිනීමැරුම්, රණ්ඩු දබර සහ අපහාසයන් ය. එපමණක් නොව, නෑකම දැන සිටියදීට වඩා නොදැන සිටින විට ඒවා සිදුවීමේ ඉඩ බොහෝ වැඩි අතර, නෑකම වැඩි අතර, නෑකම දැන සිටියේ නම් චාරිත‍්‍රානුකූල පව් සමාකරගැන්මේ යෙදිය හැකි නමුත් නැතොත් නොහැකිය. දරුවන් පොදු බවට පත් කිරීමෙන් පසු සොක‍්‍රටීස් පෙම්වතුන් අතර ලිංගික සේවනයට පමණක් අවහිර කර පිය පුතු හෝ සොහොයුරන් අතර ආලය හා නිදහස් හැසිරීම්වලට අවසර දීම කොතරම් පුදුම සහගත ද නෑකම් නොමැතිවත් ඒ අන්දමේ ආදරය කිරිම් අනුචිත වනුයෙන් ඊට වඩා නොසුදුසු දෙයක් විය නොහැකිය. පිය පුතු හා සොහොයුරන් එකිනෙකා අතර සම්බන්ධයන් ඇති කර ගැන්මේ විශේෂයක් නැතිවා සේ, වින්දනයේ ප‍්‍රචණ්ඩත්වය හැර අන් හේතුවකින් තොර ව, සංසර්ගය තහනම් කිරිම කොතරම් අමුතු ද.

බිරින්දන් සහ දරුවන්ගේ මෙම ජන සමාජකරණය ආරක්ෂකයන්ට වඩා ගොවීන්ට සුදුසු බවක් පෙනේ. ඔවුන්ට පොදු බිරියන් හා දරුවන් වුවොත් වඩා දුබල බැමි මඟින්ඔවුන්, යටත් පන්තියක් විය යුතු පරිදි බැඳී සිටිනු ඇති අතර, ඔවුන් කැරලි නොගසා, යටහත්ව සිටිනු ඇති බැවිනි. කෙටියෙන් කියතොත්, එවන් නීතියක ප‍්‍රතිඵලය හොඳ නීතිවලින් ඇති විය යුත්තට සහමුලින් විරුද්ධ දෙය වනු ඇත. ගැහැනුන් හා දරුවන් පිළිබඳ මෙම රෙගුලාසි සෑදීමේ සොක‍්‍රටීස්ගේ අරමුණ ඉන්ම පරාජය වනු ඇත. රාජ්‍යයන්ගේ විශාල යහපත වනුයේ හා විප්ලවයන්ගෙන් ඒවා හොඳින් ම රැක ගනුයේ මිත‍්‍රත්වය යැයි අප විශ්වාස කරනුයෙනි. මිත‍්‍රත්වයෙන් නිර්මාණය කෙරෙන්නේ යැයි පෙනෙන හා, එසේයැයි ඔහු කියා ඇති, රාජ්‍යයේ එකමුතුකම සොක‍්‍රටීස්ගේ විශේෂ වර්ණනාවට ලක් වේ. නමුත් ඔහු අගයන එකමුතුකම සිම්පෝසියම් හි පෙම්වතුන්ගේ ඒකීය බවට සමාන වනු ඇත. ඇරිස්ටෝෆානස් කියන සේ, ඔවුන්ට තම ආදරයේ අධිකත්වයෙන් එකට වැඩී, දෙදෙනෙකු වෙනුවට එක් අයෙකු බවට පත් වීමට ඇවැසි ය. එසේ වුහොත් නියතයෙන් ම එකෙකු හෝ දෙදෙන ම විනාශ වී යනු ඇත. ගැහැනුන් හා දරුවන් පොදු වන රාජ්‍යයක, ආදරය බාල වනු ඇති අතර, නියත ව ම පියා ‘මගේ පුතා’ හෝ පුතා ‘මගේ පියා’ හෝ කියා නොකියනු ඇත. ජලය විශාල ප‍්‍රමාණයක් කලවම් කෙරුණු වයින් බිඳක් මිශ‍්‍රණය තුළ දිස් නොවන්නා සේ, මේ වැනි ජන සමාජයක, මෙම නම් මත පදනම් වන, ඥාතිත්වයේ අදහස අහෝසි වේ. ඊනියා පියා පුතා ගැන සැලකීමට හෝ පුතා පියා ගැන සැලකීමට හෝ සොයුරන් එකිනෙකා ගැන සැලකීමට හෝ හේතුවක් නැත. සැලකිල්ල හා ආදරය ප‍්‍රධාන වශයෙන් ජනිත කරවන ගුණාංග දෙකින් යමක් තමන්ගේ ම වීම හා එය මහාර්ඝ වීම”එකෙකුදු මෙවැනි රාජ්‍යයක පැවතිය නොහැකිය.

උපන් වහා ම දරුවන් ගොවීන් හෝ ශිල්පීන්ගේ පන්තියෙන් ආරක්ෂක පන්තියටත්, ආරක්ෂකයන්ගේ පන්තියෙන්, පහළ පන්තියකටත් මාරු කිරීම ද පිළියෙල කිරීම ඉතා දුෂ්කර වනු ඇත. තමන් දෙනුයේ හා මාරු කරනුයේ කවුරුන් ද, කාට දැ යි, දෙන්නන් හෝ මාරු කරන්නන් නොදැන සිටිය නොහැකිය. කලින් සඳහන් කරන ලද පහර දීම්, නීති විරෝධී ආදරයන්, මිනීමැරුම්, ඔවුනතර වඩා නිතර සිදු වනු ඇත. ඔවුන් දමා ආ පන්තියේ සාමාජිකයන්ට ඔවුන් තවදුරටත් සොයුරන්, දරුවන්, පියවරුන්, මවුවරුන් නොකියන අතර, එබැවින් ලේ නෑකම නිසා කිසි අපරාධයක් කිරීමට තවදුරටත් බිය නොවනු ඇත. බිරියන් හා දරුවන් පොදු කිරීම සම්බන්ධයෙන් අපගේ තීරණය මෙය වනු ඇත.

[5] දේපළ සම්බන්ධ අපේ විධිවිධාන කවරක් විය යුතු දැ යි ඊළඟට සලකා බලමු. පරිපූර්ණ රාජ්‍යයේ පුරවැසියන් ඔවුන්ගේ දේපළ පොදුවේ තබා ගත යුතු ද, නැත්ද? මෙම ප‍්‍රශ්නය ගැහැනුන් හා දරුවන් පිළිබඳ අණපනත් වලින් වෙන් ව ගෙන සාකච්ඡා කළ හැකිය. වර්තමානයේ විශ්වමය වන චාරිත‍්‍රයට අනුව ගැහැනුන් හා දරුවන් පුද්ගලයන්ට අයත් වන්නේ යැයි අදහස් කළේ ම වුවත් වස්තුව පොදුවේ තබා ගැනීමේ හා භාවිතා කිරීමේ වාසියක් තිබිය නොහැකි ද? උදා: (1) පස අත්පත් කර දිය හැකි නමුත්, අස්වනු පරිභෝජනය සඳහා පොදු තොගයන්ට දැමිය හැකිය. මෙය ඇතැම් ජාතීන්ගේ පුරුද්ද වේ. හෝ (2) පොළව පොදු විය හැකි අතර පොදුවේ වගා කළ හැකි නමුත්, අස්වනු පුද්ගලයන්ගේ පෞද්ගලික ප‍්‍රයෝජනය සඳහා ඔවුනතර බෙදා දිය හැකිය. මෙය යම් විදේශිකයන් අතර පවතින්නේ යැයි කියැවෙන පොදු දේපළ ක‍්‍රමයකි. නැතොත්, (3) පොළව හා අස්වනු එක සේ පොදු විය හැකිය.

ගොවීන් හිමිකරුවන් නො වන විට තත්ත්වය ඉතා වෙනස් වන අතර මුහුණ දීමට වඩාත් පහසු ය. නමුත් ඔවුන් තමන් සඳහා ම පොළව සාන විට අයිතිය පිළිබඳ ප‍්‍රශ්නය කරදර ලෝකයක් මතු කරන්නේ ය. ශ‍්‍රමය වැය කිරීම හා භුක්ති විඳීම අතින් ඔවුන් සමාන කොටස්කරුවන් නොවතොත්, බොහෝ ශ‍්‍රමය කැප කරන හා ස්වල්පයක් ලබන අය අනිවාර්යයෙන් ම, මඳක් ශ‍්‍රමය වැය කර බොහෝ ලබන හෝ පරිභෝජනය කරන්නන් ගැන මැසිවිලි නඟනු ඇත. නමුත් ඇත්තෙන් ම හැම විට ම, මිනිසුන් එකට ජීවත් වීමේ හා සියලු මානව සබඳතා පොදුවේ පැවැත්වීමේ දුෂ්කරතාවක් ඇත. නමුත් විශේෂයෙන් ම ඔවුන්ට පොදු දේපළ තිබීමෙහි ඇත. එකට ගමන් යන්නවුන්ගේ හවුල් මෙම කරුණට උදාහරණයකි. ඔවුහු සාමාන්‍ය වශයෙන් එදිනෙදා කරුණු මත අමනාප වන අතර මතු වන ඕනෑම සුලු දෙයකට රණ්ඩු කරති. සේවකයන් සම්බන්ධයෙන් ද එසේ ම ය. අප වඩාත් ම කෝප වීමට ඉඩ ඇත්තේ දිනපතා ජීවිතයේ දී ඉතාමත් නිතර සම්බන්ධකම් පැවැත්වීමට සිදු වන්නන් සමඟ ය.

මේවා පොදු දේපලට සම්බන්ධ අවාසිවලින් සමහරක් පමණි. වත්මන් වැඩපිළිවෙළ හොඳ චාරිත‍්‍ර හා නීති මඟින් හැකිතරම් වැඩි දියුණු කළ හොත් වඩා බොහෝ හොඳ වනු ඇති අතර ක‍්‍රම දෙකේ ම වාසි ඇතුළත් වනු ඇත. එක්තරා අරුතකින් දේපළ පොදු වියයුතු නමුත්, සාමාන්‍ය රීතියක් වශයෙන් පෞද්ගලික විය යුතුය. සෑම කෙනෙකුට ම පැහැදිලි උනන්දුවක් ඇති විට මිනිසුන් එකිනෙකාට විරුද්ධ ව මැසිවිලි නඟන්නේ නැත. ඔවුන් වැඩි ප‍්‍රගතියක් ලබනු ඇත. සෑම කෙනෙකු ම තමන්ගේ ම කාර්යයන් බලාගනු ඇති බැවිනි. ඒත් යහපත් කමේ හේතුවෙන් සහ භාවිතය සම්බන්ධයෙන්, ජනශ‍්‍රැතියේ කියැවෙන පරිදි ‘මිතුරන්ට සෑම දෙයක් කම පොදු වේ.’ එය කි‍්‍රයාවට නැඟිය නොහැක්කක් නො වන බව දක්වමින්, අද පවා එවන් මූලධර්මයක සලකුණු දකින්නට ඇත. නමුත් හොඳින් විධිමත් රාජ්‍යයන්හි දැනට මත් එක්තරා දුරකට පවතින අතර තව ඉදිරියට ගෙන යාමට ඉඩ ඇත. සෑම මිනිසෙකුට ම තමන්ගේ ම දේපළ ඇති නමුත්, යම් දේ ඔහු තම මිතුරන්ට දෙනු ඇති අතර අනෙක්වා ඔහු ඔවුන් සමඟ හවුලේ පාවිච්චි කරනු ඇති බැවිනි. උදාහරණයක් වශයෙන්, ලැස්ඩෙමෝනියානුවෝ එකිනෙකාගේ වහලුන්, අශ්වයන් සහ බල්ලන් තමන්ගේ ම වූ පරිද්දෙන් භාවිතා කරති. ගමනක්යන විට එවුනට ආහාරපානාදිය නැති වුවොත් ඔවුහු රට පුරා කෙත්වතුවල හමු වන දෑ ගනිති. දේපළ පෞද්ගලික වීම පැහැදිලි ව ම වඩා හොඳ ය. නමුත් එහි භාවිතය පොදු විය යුතුය. ව්‍යවස්ථාදායකයාගේ විශේෂ කාරිය වනුයේ මිනිසුන් තුළ මෙම හිතකාමී ගතිස්වභාවය නිර්මාණය කිරීම ය. යමක් තමන්ගේ ම යැයි මිනිසෙකුට හැඟෙන විට සතුට කොතරම් මිණිය නොහැකි තරම් විශාල ද. ඇත්තෙන් ම තමන් කෙරෙහි ආදරය සොබාදහම විසින් ආරෝපණය කරන ලද හැඟීමක් බැවිනි. එය දී ඇත්තේ නිකමට නොවේ. ආත්මාර්ථකාමීත්වය නිවැරදි ලෙස ම දෝෂයට ලක් කෙරෙන නමුත්, එය කෙසේ වෙතත්, හුදු තමන්ට ආදරය කිරීම නොව, තමන්ට පමණට වඩා ආදරය කිරීම ය. මසුරා මුදලට ආදරය කරන්නා සේ ය. සියලු මිනිසුන් හෝ සියලු මිනිසුන් පාහේ යම් තරමකින් මුදලට හා එවන් වෙනත් දේට ආදරය කරන බැවිනි. එපමණක් නොව, මිතුරන්ට, අමුත්තන්ට හෝ සගයන්ට කරුණාවන්ත යමක් හෝ සේවයක් කිරීමේ, විශාලම සතුට ඇත. නමුත් එය ඉටු කළ හැක්කේ මිනිසෙකුට පෞද්ගලික දේපළ ඇතොත් පමණි. රාජ්‍යය අධික ලෙස එකමුතු කිරීමෙන් මෙම වාසි නැති යේ. ඒ හැරුණු විට, එවන් රාජ්‍යයක් තුළ, විශිෂ්ටත්වයන් දෙකක් පළ කිරීම පෙනිපෙනී ම සමූලඝාතනය කෙරේ. එක, ගැහැනුන් සම්බන්ධයෙන් පමණ ඉක්මවා නොයාම ය. (පමණ ඉක්මවා නො යාම වෙනුවෙන් ම, වෙනෙකකුගේ බිරිඳ වෙතින් ඈත් ව සිටීම ගෞරවනීය කි‍්‍රයාවක් බැවිනි). දෙක, දේපළ සම්බන්ධයෙන් ත්‍යාගවන්ත වීම. මිනිසුන්ට සෑම දෙය ම පොදුවේ අයත් වන විට කිසිවකු තවදුරටත් ත්‍යාගවන්ත බව ගැන ආදර්ශයක් දෙනුයේ හෝ කිසි ත්‍යාගවන්ත කි‍්‍රයාවක යෙදෙන්නේ නැත. ත්‍යාගවන්ත බව අන්තර්ගත වනුයේ දේපළ භාවිතයෙහි බැවිනි.

එවන් නීති සම්පාදනයට හිතකාමිත්වයේ පුළුල් පෙනුමක් තිබිය හැකිය. මිනිස්සු ඊට කැමැත්තෙන් සවන් දෙති. යම් මවිතකර අන්දමකින් සෑම කෙනෙකු සෑම කෙනෙකුගේ ම මිතුරා බවට පත් වනු ඇතැ යි විශ්වාස කිරීමට ඔවුහු පහසුවෙන් පෙළඹෙති. විශේෂයෙන් ම යමෙකු රාජ්‍යයන්හි දැන් පවතින නපුරු, ගිවිසුම් පිළිබඳ නඩු, බොරු තීන්දු ගැන වරදකරු වීම්, ධනවතුන් වර්ණනා කිරීම් වැනි, පෞද්ගලික දේපළ හිමිකමින් ඇති වන බවක් කියවෙන දෑ හෙළා දකිනු ඇසුණු විට ය. කෙසේ වෙතත්, මෙම නපුරු වලට හේතුව පොදු දේපළ අයිතිය නොවීම නොනපුරු කමය. ඇත්ත වශයෙන් ම, සියලු දේ පොදුවේ ඇති අය අතර ඊට වඩා බොහෝ රණ්ඩු ඇති නමුත්, පෞද්ගලික දේපළ හිමි විශාල සංඛ්‍යාවක් සමඟ සසඳන විට එවන් අය බොහෝ නැත.

පුරවැසියන් රැක ගැනෙන නපුරු ගැන පමණක් නො ව ඔවුනට නැති ව යන වාසි ගැන ද අප විසින් සලකා බැලිය යුතු ව ඇත. ඔවුන් ගත කළ යුතු වන ජීවිතය කොහොත් ම ප‍්‍රායෝගික වශයෙන් කළ නොහැකි බවක් පෙනේ. සොක‍්‍රටීස්ගේ වැරදීමට හේතුව වශයෙන්, ඔහු පටන් ගැන්මට පාදක කර ගන්නා වැරදි විශ්වාස මාත‍්‍රය සැලකිය යුතුය. පවුලේත්, රාජ්‍යයේත් දෙකෙහි ම එකමුතු බව තිබිය යුතුය. නමුත් ඒ යම් අංශයන්ගෙන් පමණි. තවදුරටත් රාජ්‍යයක් නොවන අන්දමේ එකමුතුබවක් හෝ, ඇත්තෙන් පැවැත්ම නැති වීමෙන් තොරව, එය පහත් මට්ටමේ රාජ්‍යයක් බවට”ස්වරමාධූර්යය සම ශබ්දයකට පත්වීම හෝ තනි පාදකයකට අඩු කෙරුණු රිද්මය මෙන්” පත් වන එකමුතුබවක් ඇති විය හැකි අවස්ථාවක් ඇති බැවිනි. මා කලින් කී පරිදි, රාජ්‍යය, එක්සත් කර, අධ්‍යාපනය මඟින් ජන සමාජයක් බවට පත් කළ යුතු බහුත්වයකි. රාජ්‍යයක් ගුණවත් බවට පත් කරනු ඇතැ යි ඔහු සිතන අධ්‍යාපන රටාවක නිර්මාපකයකු, ව්‍යවස්ථාදායකයා විසින් දේපළ පොදු බවටපත් කර ඇති, පොදු ආහාර සම්බන්ධ ව ස්පාටා සහ කී‍්‍රටයේ පවතින අන්දමේ නීති හා චාරිත‍්‍ර හෝ දර්ශනවාදය මඟින් නොව, මේ ආකාරයේ විධිමත් කිරිම් (රෙගුලාසි) මඟින්, ඔහුගේ පුරවැසියන් වැඩිදියුණු කිරීමට අපේක්ෂා කිරිම පුදුම සහගත ය. යුග ගණනාවක අත්දැකීම් නොතකා නොහළ යුතු බව මතක තබා ගත යුතුය. මේවා හොඳ වී නම්, වසර ගණනාව තුළ මේවා, නියත වශයෙන් ම, නොදැන සිටියා විය නොහැකිය. සමහර විට ඒවා ගොනු කර නැති අතර, වෙනත් විට මිනිසුන් තමන් වෙත ඇති දැනුම භාවිතා නොකිරීම ද සිදු වන නමුත්, සෑම දෙයක් ම පාහේ සොයා ගනු ලැබ ඇති බැවිනි. රාජ්‍යයක ජනතාව පොදු ආහාර සඳහා සංගම්වලටත්, පෙළපත් හා ගෝත‍්‍රයන්ටත් බෙදා හැරිමෙන් හා බෙදීමෙන් තොරව, රාජ්‍යයක් පිහිටවීමට ව්‍යවස්ථාදායකයෙකුට කොහොත් ම නොහැකි බැවින්, එවන් ආණ්ඩු ක‍්‍රමයක් ඇත්ත වශයෙන් ම ගොඩනැඟීමේ කි‍්‍රයාදාමය අපට දැක ගත හැකි වුවොත් මෙම විෂයය මත විශාල එළියක් වැටෙනු ඇත. නමුත් මේ සියලු ව්‍යවස්ථා සම්පාදනයන් අවසන් වනුයේ ආරක්ෂකයන්ට කෘෂිකර්මය තහනම් කිරීමෙන් පමණි. එය ලැසඩෙමෝනියානුවන් දැනටමත් බලපැවැත්වීමට උත්සහ ගන්නා තහනමකි.

නමුත්, ඇත්ත වශයෙන් ම, එවන් ජන සමාජයක රාජ්‍යයේ සාමාන්‍ය ස්වරූපය කුමක් වේ දැ යි සොක‍්‍රටීස් කියා නැත. එය තීරණය ද පහසු නොවේ. ආරක්ෂකයන් නොවන පුරවැසියන් වැඩි ජනතාව වේ. ඔවුන් ගැන කිසිත් තීන්දු කර නැත. ගොවීන්ගේ දේපළත් පොදු විය යුතු ද? නැතොත් එක් එක් පුද්ගලයාට වෙන ම තිබිය යුතු ද? ඔවුන්ගේ බිරියන් හා දරුවන් පෞද්ගලික විය යුතු ද, පොදු විය යුතු ද? ආරක්ෂකයින් මෙන් ඔවුන්ට ද සෑම දේ පොදු විය යුතු නම්, ඔවුන් ආරක්ෂකයන්ගෙන් වෙනස් වන්නේ කුමකින් ද, නැතොත් ඔවුන් තම රජයට අවනත වීමෙන් ඔවුනට ලැබෙනුයේ කුමක් ද? එසේ නැතොත්, තම වහලුන්ට තමන්ගේම ආයතනයන් සමාන ඒවා දෙන නමුත්, කරණම් ව්‍යායාමයන්හි යෙදීම හා අවි පරිහරණය පමණක් ඔවුන්ට තහනම් කරන ක්‍රෙටානුවන්ගේ උපායශීලී ප‍්‍රතිපත්තිය පාලක පන්තිය විසින් අනුගමනය කරන්නේ නම් මිස, ඔවුන් අවනත වනු ඇත්තේ මොන මූලධර්මයක් මත ද? අනෙක් අතින් විවාහය හා දේපළ සම්බන්ධයෙන්, පහත් පන්ති අනෙක් නගර වල මෙන් විය යුතු නම් ජන සමාජයේ ස්වරූපය වනු ඇත්තේ කුමක් ද? එතුළ එකකට එකක් ප‍්‍රතිවාදී රාජ්‍ය දෙක් අන්තර්ගත විය යුතු නැද්ද? ගොවීන් සහ ශිල්පීන් හා සෙස්ස නියම පුරවැසියන් වන අතර, ඔහු ආරක්ෂකයන් හුදෙක් අල්ලා ගෙන සිටින සේනාංකයක් බවට පත් කරන්නේ ය. නමුත්, එසේ නම් නඩු, ආරාවුල් ඇතුලු අනෙක් රාජ්‍යයන්හි ඇතැ යි සොක‍්‍රටීස් සහතික වන සියලු නපුරු ඒ හා සමානව ම ඔවුනතර ද පවතිනු ඇත. ඒ සා හොඳ අධ්‍යාපනයක් ලත් පුරවැසියන්ට බොහෝ නීති, උදාහරණ වශයෙන් නගරය පිළිබඳ හෝ වෙළඳපොළ පිළිබඳ නීති, අවශ්‍ය නැතැ යි, ඇත්තෙන් ම ඔහු කියන්නේ ය. නමුත් ඔහු තම අධ්‍යාපනය ආරක්ෂකයන්ට සීමා කරන්නේ ය. කප්පමක් ගෙවීමේ කොන්දේසිය මත ඔහු ගොවීන් දේපළ හිමියන් බවට පත් කරන්නේ ය. නමුත් එසේ වුවොත් ඔවුන් හෙලොට් හෝ පෙනෙස්ටේ හෝ පොදුවේ වහලුන්ටත් වඩා පාලනය කර ගත නොහැකි හා අහංකාර බවට පත් වීමට ඉඩ ඇත. බිරියන් හා දේපළ ඉහළ පන්තියට හා සමාන ව පහළ පන්තියටත්, පොදු කිරීම අවශ්‍ය වුවත් නැතත්, මීට සම්බන්ධ ප‍්‍රශ්න, අධ්‍යාපනය, ආණ්ඩු ක‍්‍රමය, පහළ පන්තියේ නීති, කවරේදැ යි, සොක‍්‍රටීස් කිසි තැනක නිගමනය කර නැත. මෙය සොයා ගැන්ම පහසු ද නොවේ. ආරක්ෂකයන්ගේ පොදු ජීවිතය පවත්වා ගැනීමට නම් මේවායේ ස්වරූපය වැදගත් කමින් අඩු ද නොවේ.

සොක‍්‍රටීස් ගැහැනුන් පොදු බවට පත් කර, පෞද්ගලික දේපළ තිබෙන්නට හැරියොත් පිරිමින් කෙත්වතු වල වැඩ කරනු ඇත. නමුත් ගෙදර වැඩ කටයුතු බලා ගන්නේ කවුද? කෘෂිකාර්මික පන්තියට ඔවුන්ගේ දේපළ සහ බිරියන් යන දෙක ම පොදුවේ වුවොත්, ඒවා කරන්නේ කවුද? නැවත වරක් පිරිමින් සහ ගැහැනුන් එකම කාර්යයන් කළ යුතු යැයි, සතුන්ගේ උපමිතියෙන් තර්ක කිරීම විකාරයකි. සතුනට ගෙයක් පාලනය කිරීමට නැති බැවිනි. සොක‍්‍රටීස් විසින් සංයුක්ත කර ඇති පරිදි ආණ්ඩුවේ ද අනතුරුදායකත්වයේ මූලාංගයන් ඇත. ඔහු එකම පුද්ගලයා හැමවිට ම පාලනයට පත් කරන බැවිනි. මෙය බොහෝ විට වඩා පහත් අය අතර කැළඹීමට හේතුවක් වන්නේ නම්, ජව සම්පන්න රණවිරුවන් අතර එය ඊට වඩා කොතරම් බලපානු ඇත් ද? නමුත් ඔහු පාලකයන් බවට පත් කරන පුද්ගලයන් එකම විය යුතු බව පැහැදිලි ය. දෙවියන් මිනිසුන්ගේ ආත්මයට කලවම් කරන රත්රන් එක් වතාවක එක් අයෙකුටත් තවත් වතාවක වෙනත් අයෙකුටත් දී නැත. හැම විට ම එකම අයට ය. ඔහු කියන පරිදි දෙවියන් සමහරුන්ට රන් කලවම් කරයි, වෙනත් අය තුළ රිදී, ඔවුන්ගේ උපතේ සිට ම ය. නමුත් ශිල්පීන් හා ගොවීන් වීමට නියමිත වූවන් තුළ පිත්තල සහ යකඩ ය. එපමණක් නොවේ, ඔහු ආරක්ෂකයන්ට සතුට පවා අහිමි කරන අතර, ව්‍යවස්ථාදායකයා මුලු රාජ්‍යය ම සතුටට පත් කල යුතු යැයි කියන්නේ ය. නමුත් වැඩි දෙනෙකු හෝ, සියල්ලන් හෝ, එහි සමහර කොටස් සතුට අත් නොවිඳිතොත් සමස්තය සතුටින් විය නොහැකිය. මේ අතින් සතුට, සමස්තයේ පමණක් පැවතිය හැකි ඉරට්ටේ මූලධර්මයට (අංක වල) සම නොවේ. ආරක්ෂකයන් සතුටින් නොවේ නම්, සතුටින් වනුයේ කවු ද? ස්ථිරව ම ශිල්පීන් නොවේ. සාමාන්‍ය ජනතාව ද නොවේ. සොක‍්‍රටීස් දෙසන ජනරජයේ මේ සියලු දුෂ්කරතා ඇත. එතරම් ම විශාල වෙනත් දුෂ්කරතා ද ඇත.

[6] එම ම හෝ ආසන්න වශයෙන් එම ම විරෝධතා ප්ලේටෝගේ පසු කෘතිය වන ද ලෝස් (නීති) ට ද අදාළ වේ. එබැවින් එහි විස්තර කර ඇති ආණ්ඩු ව්‍යවස්ථාව අප විසින් කෙටියෙන් පරීක්ෂා කල යුතු වේ. රිපබ්ලික් හි සොක‍්‍රටීස් නියත වශයෙන් සම්මත කර ඇත්තේ, ගැහැනුන් හා දරුවන් පොදු බවට පත් කිරිම, දේපළ පොදු බවට පත් කිරිම හා රාජ්‍යයේ ආණ්ඩු ව්‍යවස්ථාව වැනි ප‍්‍රශ්න අතළොස්සක් පමණි. ජනගහනය පන්ති දෙකකට බෙදා ඇත : ගොවීන්ගේ පන්තියක් හා රණ සෙබළුන්ගේ පන්තියක් වශයෙනි. මෙම දෙවැන්නෙන් රාජ්‍යයේ පාලකයන් හා උපදේශකයන්ගේ තෙවන පන්තියක් ගෙන ඇත. නමුත් ගොවීන් හා ශිල්පීන් රාාජ්‍ය තන්ත‍්‍රයේ කොටස්කරුවන් විය යුතු ද සහ, ඔවුන් ද අවි දරා යුධ සේවයට හවුල් විය යුතු ද නැත් දැ යි, සොක‍්‍රටීස් තීරණය කර නැත. ගැහැනුන් ආරක්ෂකයන්ගේ අධ්‍යාපනයේ හවුල්කාරියන් විය යුතු බවත්, ඔවුන් හා උරෙන් උර සිට සටන් කල යුතු බවත් ඔහු නියත වශයෙන් ම සිතන්නේ ය.x කෘතියේ සෙස්ස පුරවා ඇත්තේ ප‍්‍රධාන විෂයයෙන් බැහැරවූ අතුරු කතාවන් ගෙන් සහ ආරක්ෂකයන්ගේ අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාවන්ගෙනි. ලෝස් හි නීති හැර කිසිත් නැත. ආණ්ඩු ව්‍යවස්ථාව ගැන එතරම් දෙයක් කියා නැත. වඩාත් සාමාන්‍ය වර්ගයට පත් කිරීමට ඔහු අදහස් කල මෙය, ඔහු ක‍්‍රමයෙන් අනෙක් ස්වරූපයට ගෙන ඒ ගැහැනුන් සහ දේපළ පොදු කිරීම හැර අන් සියල්ල රාජ්‍ය දෙකෙ හි ම එකම විය යුතු යැයි ඔහු අදහස් කරයි. එකම අධ්‍යාපනය විය යුතුය. දෙකෙහි ම පුරවැසියන් දාස රැකියාවන්ගෙන් නිදහස්ව ජීවත් විය යුතුය. දෙකෙහි ම පොදු ආහාර විය යුතුය. එකම වෙනස ලෝස් හි පොදු ආහාර ගැහැනුන්ට ද ව්‍යාප්ත කර තිබීමත්, රිපබ්ලික් හි 1000 ක් පමණක් වූ රණසෙබලූන් මෙහි 5000 ක් වීමත් පමණි.

සොක‍්‍රටීස් ගේ දේශන කිසිවිට සාමාන්‍ය නොවේ. ඒවා හැම විට ම ශිෂ්ටත්වය, ප‍්‍රතිභාව හා චින්තනය විදහා දක්වයි. නමුත් හැම දෙයකින් ම පරිපූර්ණත්වය කොහොත් ම අපේක්ෂා කල නොහැකිය. මේ දැන් සඳහන් කෙරුණු පුරවැසියන් 5000, ඊටත් වඩා බොහෝ ගුණයකින් වැඩි සංඛ්‍යාවක් වන, ඔවුන්ගේ බිරියන් සහ ආවතේවකරුවන් ද සමඟ නිකම් ම නඩත්තු කිරීමට නම්, බැවිලන් තරම් විශාල රාජ්‍ය ප‍්‍රදේශයක් හෝ වෙනත් යම් විශාල භූමියක් අවශ්‍ය වන බව අප අමතක නොකල යුතුය. මතවාදයක් ගොඩනැඟීමේ දී අපට කැමැති දෙයක් අදහස් කල හැකි නමුත්, කොහොත් ම විය නොහැකි දෑ මඟහළ යුතුය.

ව්‍යවස්ථාදායකයා ඔහුගේ ඇස ලක්ෂය දෙකකට යොමු කල යුතු යැයි කියනු ලැබේ: ජනතාව හා රට. නමුත් ඔහු අසල් රාජ්‍යයන් ද අමතක නො කල යුතුය. පළමුව, ඔහු ව්‍යවස්ථාදානය කරන රාජ්‍යයට හුදකලා ජීවිතයක් නොව, දේශපාලන ජීවිතයක් තිබිය යුතු බැවිනි. රාජ්‍යයකට හුදෙක් දේශීය වශයෙන් ප‍්‍රයෝජනවත් වන්නක් නොව, ඇගේ අසල්වැසියන්ට විරුද්ධ ව සේවයේ යෙදිය හැකි යුද හමුදාවක් තිබිය යුතුය. පුද්ගලයන් සඳහා හෝ රාජ්‍යයන් සඳහා එවන් ජීවිතියක් පිළිගනු නොලබන්නේ ම වුවත්, නගරයක් ආක‍්‍රමණික හෝ පසුබසින හෝ සතුරන් හමුවේ අනභිභවනීය විය යුතුය.

තවත් කරුණක් ඇත. වඩා පැහැදිලි වීම මඟින් මින් වෙනස් වන යම් ආකාරයකින් දේපළ ප‍්‍රමාණය නිර්ණය කල යුතු නොවන්නේ ද? මිනිසෙකුට පමණ නොඉක්මවා ජීවත් වීමට දේපළ තිබිය යුතුයැයි සොක‍්‍රටීස් කියනුයෙනි. එය හොඳින් ජීවත් වීමටයැයි කියන වෙනත් ආකාරයක් පමණි. මෙය පමණට වඩා පොදු අදහසකි. එපමණක් නොව මිනිසෙකු පමණ නොඉක්මවා, එනමුත් දුක්ඛිත ලෙස ජිවත් වීමට ඉඩ ඇත. වඩා හොඳ නිර්වචනයක් වනු ඇත්තේ මිනිසෙකුට පමණකු නොඉක්මවා පමණක් නොව, ත්‍යාගවන්ත ලෙසද ජීවත් වීමට ප‍්‍රමාණවත් දේපල තිබිය යුතුය යනු ය. ඒ දෙක වෙන් කළොත් ත්‍යාගශිලීත්වය සුඛෝපභෝගීත්වය සමඟ එක් වන්නේය. පමණ නොඉක්ම වීම ශ‍්‍රමය වැය කිරීම ට සම්බන්ධ වේ. දේපළ භාවිතයට සම්බන්ධ පිළිගත හැකි ගුණාංගයන් වන්නේ පමණ නොඉක්මවීම හා ත්‍යාගශීලීත්වය පමණී. මිනිසෙකුට තැන්පත් බවින් හෝ දිරියෙන් දේපළ පාවිච්චි කල නොහැකිය. නමුත් පමණ නොඉක්මවීමෙන් හෝ ත්‍යාගශිලීභාවයෙන් ඔහුට හැකිය. එබැවින් මෙම විශිෂ්ටත්වයෙන් ප‍්‍රගුණ කිරීම දේපළින් වෙන් කල නොහැකිය. නමුත් පමණ නොඉක්ම වීමෙන් හා ත්‍යාගීලිත්වයෙන් ඔහුට හැකිය.එබැවින් මෙම විශිෂ්ටත්වයන් ප‍්‍රගුණ කිරීම දේපළින් වෙන් කල නොහැකිය. දේපළ සම කර ජනගහණ සංඛ්‍යාව විධිමත් නොකිරීමෙහි ද විකාරත්වයක් ඇත. ජනගහනය සීමා කිරීමෙන් තොරව පවතින අතර, වෙනත් අයට කොතරම් දරුවන් ලැබුණත්, විවාහ එක්තරා සංඛ්‍යාවක් ඵල රහිත වීම මඟින් එය ප‍්‍රමාණවත් ලෙස තුලනය වන්නේ යැයි ඔහු සිතන්නේය. පවතින රාජ්‍යයන්හි සිදුවන්නේ එය යැයි ඔහුට පෙනෙන බැවිනි. නමුත් දැනට වඩා දැඩි සුපරික්‍ෂාවක් අවශ්‍යය වනු ඇත. අප අතර ජන සංඛ්‍යාව කුමක් වුවත්, දේපළ හැම විටම ඔවුන් අතර බෙදෙන බැවිනි. එනිසා කිසිවෙකුට අඩු පාඩුවක් නොවේ. නමුත් ලෝස් හී මේන දේපළ බෙදීමට නොහැකි වුවොත්, අතිරික්ත ජනගහනය, අල්ප වුවත් බොහෝ වුවත් ඔවුනට කිසිවක් නොලැබෙනු ඇත. දේපළටත් වඩා ජනගහනය සීමා කිරීම අවශ්‍යය යැයි ද, සීමා ව වියම කල යුත්තේ දරුවන් මිය යාමට ඉඩ ඇති ප‍්‍රමාණය හා විවාහකයන් අතර වඳ බව ගණනය කිරීමෙන් යැයි ද, යමෙකු සිතීමට ඉඩ ඇත. පවතින රාජ්‍යයන් හි ඒසා පොදුවන, මෙම විෂය නොතකා හැරීම පුරවැසියන් අතර දිළිදු බවට කිසි විට නොවරදින හේතුවකි. දිළිදු බව විප්ලවයට හා අපරාධයන්ට ප‍්‍රධාන හේතුව වේ. ආරම්භයේ දී සියලු ඉඩම් කොටස් විවිධ ප‍්‍රමාණයන්ගෙන් වන්නට හැකි නමුත්, පවුල් හා පුරවැසි සංඛ්‍යාව නොවෙනස්ව පැවතිය යුතු යැයි, ඉතාමත් පෞරාණික ව්‍යවස්ථාදායකයින්ගෙන් කෙනෙක් වූ ෆෙයිඩන් නම් කොරින්තියානුවා අදහස් කළේය. නමුත් ලෝස් හි දැක්වෙනුයේ එහි ප‍්‍රතිවිරුද්ධ මූලධර්මය ය. අපේ මතයට අනුව, නිවැරදි වැඩපිළිවෙළ කුමක් ද යන්න පසුව පැහැදිලි කල යුතුව ඇත.

ලෝස් හි තවත් පැහැරහැරීමක් ඇතථ පාලකයන් ඔවුන්ගේ යටත්වැසියන්ගෙන් වෙනස් වන්නේ කෙසේදැයි සොක‍්‍රටීස් අපට කියන්නේ නැත. ඔහු අපට කියනුයේ ඔවුන්, වෙනස් ලෝම වලින් කටින ලද, වෝප් (warp – රෙද්දක තිරස් නූල්) සහ වූෆ් (woof – හරස් නූල්) මෙන් සම්බන්ධ විය යුතු බව පමණි. මිනිසෙකුගේ මුළු දේපළ පස් ගුණයකින් වැඩි විය හැකැයි ඔහු පිළිගනී. නමුත් ඔහුගේ ඉඩම් ද යම් ප‍්‍රමාණයක වැඩි විය යුතු නොවන්නේ ඇයි? ඊළඟට, ගේදොර පිළිබඳ ඔහුගේ වැඩපිළවෙල හොඳ ගෘහ කලමණාකරනය වැඩි දියුණූ කරන්නේ ද? ඔහු සෑම පුද්ගලයෙකුටම දෙතැනක ගෙවතු දෙකක් පවරන බැවිනි. නිවාස දෙකක ජීවත් වීම දුෂ්කරය.

මුළු ආණ්ඩු ක‍්‍රමයම ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නොව, රදල ආණුඩු ක‍්‍රමයක් නොව, ඒ දෙක අතර මැද යමක් වන්නේය. සාමාන්‍යයෙන් රාජ්‍ය සංස්ථාව යනුවෙන් හැඳින්වෙන එය සංයුක්ත වනුයේ මර්දනකාරී සොල්දාදුවන් ගෙනි. දැන්, ඔහු උත්සාහ කළේ රාජ්‍ය වැඩිම ගණනකට ගැලපෙන ආණ්ඩු ව්‍යවස්ථාවක් සැකසීමට නම්, ඔහු නිවැරදි වීමට බොහෝ ඉඩ ඇත. නමුත් මෙම ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා ස්වරූපය ඔහුගේ පළමු රාජ්‍යයට ඉතාමත් ආසන්න වේ යැයි කීමට ඔහු අදහස් කළේ නම් , එසේ නොවේ. ලැසඩමෝනියානු හෝ ඇතැම් විට වෙනත් යම් වඩාත් රදළවාදී ආණ්ඩු ක‍්‍රමයකට බොහෝ අය වැඩි කැමැත්තක් දක්වනු ඇතියෙනි. හොඳම ආණ්ඩු ව්‍යවස්ථාව පවතින සියලු ක‍්‍රමයන්ගේ සංයුතියකැයි, ඇත්තෙන්ම ඇතැම්හු පවසති. ඔවුන් ලැසඩමෝනියානු ක‍්‍රමය පසසනුයේ එය රදළ ආණ්ඩු ක‍්‍රමය, රාජාණ්ඩු ක‍්‍රමය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය එක් ව සැදුණක් බැවිනි. රජු රාජාණ්ඩුවත් එක් කරන අතර ප‍්‍රජාතාන්ති‍්‍රක මූලාංගය නියෝජනය වනුයේ එෆොර්වරුන් මගිනි. එෆොර්වරුන් තෝරාගනු ලබන්නේ මහජනතාව අතරින් බැවිනි. කෙසේ වෙතත්, එෆොරේටය ක‍්‍රෑර පාලනයකැයි පවසන වෙනත් අය ප‍්‍රජාතන්ත‍්‍රීය මූලාංගය ඇත්තේ පොදු ආහාර සහ එදිනෙදා ජීවන පිළිවෙත් වල යැයි කියති. ලෝස් හි කියනුයේ හොඳම ආණ්ඩු ව්‍යවස්ථාව සෑදෙනුයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා ක‍්‍රෑර පාලනයෙන් බවකි.ඒවා එක්කෝ කොහෙත්ම ආණ්ඩු ව්‍යවස්ථා නොවේ, නැතොත් සියල්ලෙන් අන්ත ආණ්ඩු ව්‍යවස්ථාය. නමුත් බොහෝ ක‍්‍රමයන් සංකලනය කරන්නවුන් සත්‍යයට වඩාත් සමීපය. වඩා විවිධ මූලාංගයන්ගෙන් සැකසුණු ආණ්ඩු ව්‍යවස්ථාව වඩා හොඳ බැවිනි. ලෝස් හියෝජිත ආණ්ඩු ව්‍යවස්ථාවේ රාජාණ්ඩු මූලාංගයක් කොහෙත්ම නැත. එය රදළ ආණ්ඩු ක‍්‍රමයට වඩාත් බර රදළ ආණ්ඩු ක‍්‍රමය හා ප‍්‍රජාතන්ත‍්‍රීය සංකලනයක් හැර අන් කිසිවක් නොවේ. මහේස්ත‍්‍රාත්වරුන් පත් කිරීමේ ක‍්‍රමයෙන් එය පෙනේ. ඒ වන විටත් තෝරා ගෙන ඇති අය අතරින්, සීට්ටු ඇඳීම මඟින් ඔවුන් පත් කිරීමේ ක‍්‍රමයෙහි මූලාංග දෙකම අඩංගු වන නමුත්, සභාවට පැමිණ මහේස්ත‍්‍රාත්වරුනට ඡුන්දය දීමට හෝ වෙනත් දේශපාලන රාජකාරි ඉටු කිරීමට ධනවතුන්ට නීතියෙන් බල කෙරෙන අතර අන් අයට කැමැත්තක් කිරීමට ඉඩ හැර ඇති ආකාරය සහ, මහේස්ත‍්‍රාත්වරුන් වැඩිම ගණනක් ධනවත් පන්තිවලින් පත් කිරීමටත්, ඉහළම නිලධාරීන් වැඩිම ආදායම් ඇතියවුන් අතරින් තෝරා ගැන්මටත් ගැනෙන උත්සාහය යන අංග දෙක ම රදල ආණ්ඩු ලක්ෂණ බැවිනි. මණ්ඩලය තෝරා ගැන්මෙහිද රදල ආණ්ඩු මූලධර්මය බල පවත්වන්නේය. ෴

©‘කතිකා‘අධ්‍යයන කවය. සියළු හිමිකම් සපුරා ඇවිරිණි. උපුටා පළ කිරීම තහනම්.