“සමාජය ශිෂ්ඨ කිරීමේ දේශපාලන ව්‍යාපෘතිය” සහ “දේශපාලනය කිරීම සදහා අධ්‍යයනය කිරීම” – විමසුමක් සඳහා සටහනක්

“සමාජය ශිෂ්ඨ කිරීමේ දේශපාලන ව්‍යාපෘතිය” සහ “දේශපාලනය කිරීම සදහා අධ්‍යයනය කිරීම”

– විමසුමක් සඳහා සටහනක්


“පරිණාමීය චින්තනය සහ වහලා සහ ස්වාමියා පිළිබද හේගල්ගේ ද්වන්ධාත්මකය අතර ඔබ අදහස් කළ සම්බන්ධය මතුවන්නේ මාක්ස් මෙම ද්වන්ධාත්මකය වැරදියට වටහා ගැනීම සහ අනිසි භාවිතයට යොදා ගැනීම තුළින් බවයි මම හිතන්නේ. වහලා ස්වාමියා බවට පත් වෙනවා යැයි හේගල් කියන්නේ නැහැ. ඔහු කියන්නේ වහලා දැනටමත් ස්වාමියා බවයි. මක්නිසාද, යථාර්ථයට ස්වාමියාගේ ඇති සම්බන්ධයට මාධ්‍යයක් වන්නේ වහලාගේ සේවය කිරීම වුවත් වහලා යථාර්ථය දනියි. ඒ නිසා විප්ලවය සහ මහා වැඩවර්ජන පිළිබද සංකල්පත් සමගවූ මාක්ස්වාදී ද්වන්ධාත්මකය වනාහී හුදු පාරිභෝගිකයා මත වන කම්කරුවාගේ උසස් බවට හෙලූ හේගල්ගේ අන්තර් දැක්ම මුළුමනින්ම අනිසි ලෙස යොදා ගැනීමක්. බාග විට යම් නිදහසට කරුණක් තියෙන්න පුළුවන්. හේගල්ගේ ද්වන්ධාත්මකය පිළිබඳ මගේ හයවැනි අධ්‍යයනයේ පෙන්වා දීමට උත්සාහ කළ පරිදි හේගල් ඒ වනවිටත් සිටියේ තරමක් වැඩියෙන් ඩෙකාට්වාදයේ බලපෑම යටතේ. සැබැවින්ම හේගල්ගේ ප්‍රතිභානය (genius) ඇත්තේ ඔහුගේ ද්වන්ධාත්මක ක්‍රමය තුළ නොව කාල්පනික ද්වන්ධාත්මක පියවර පිළිබඳ වූ ඔහුගේ සහජ ඥානය (intuition) තුළයි. සැළකිල්ලට ගැනෙන්නේ පද්ධතිය නොව ආතතීන් සහ ප්‍රතිරෝධයන් සඳහා ඇති ඔහුගේ හැඟීමයි. අනන්‍යතාව හා වෙනස, තමා සහ අනෙකා අතර ඇති පරාවර්තිත සබඳතාවයේ පාර්ශවයන් ලෙස සැළකීම හේගල් සදහා ඇති ප්‍රධාන කරුණක්. ප්ලේටෝ ආරම්භයේදී දකින්නේත් හේගල් අවසානයේදී දකින්නේත් මෙයයි.” (ගැඩමර් සමග කළ සම්මුඛ සාකඡචාවකින් – පරිවර්තනය දිමුතු.)

අනූවේ දශකයේ ලාංකීය තරුණ දේශපාලනයහි ලා හවුල් වූවන් ගේ ස්වයං අවබෝධය වූයේ එය සමාජය වෙනස් කරන රැඩිකල් ව්‍යාපෘතියක් බවයි. එම මතවාදය එහි අනුගාමිකයන් වූ තරුණ ජන සමූහයේ මනස සකස් කොට තම ජීවිත අර්ථ විවරණය කරන්නට චිත්තරූප සකස් කොටද දුන්නේ ය. එය වැළඳ ගත් අය මෙම මතවාදය සෙවනේ තමන්වම අර්ථ විවරණය කොට අවබෝධ කර ගත්තෝය. රැඩිකල් දේශපාලන ව්‍යාපෘතියේ දේශපාලනය ශිෂ්ඨත්වය පිළිබඳවයි. ඒ අනුව අපේ සමාජය අශිෂ්ඨ හෙයින් අපේ දේශපාලනය සමාජය ශිෂ්ඨ කිරීම සදහා යි.

තමන් ද හවුල්ව සිටි රැඩිකල් දේශපාලන ව්‍යාපෘතිය පසුකලෙක විවේචන‍ය කළ ඇතැම් තරණයන් ගේ අදහසක් වූයේ නූතනත්වය අපට ලිබරල් පුද්ගලවාදය ලබාදීමේදී, එය කියා සිටින දේට ප්‍රතිපක්ෂව යමින්, අපව ශිෂ්ඨ නොකරන බව යි. දේශපාලනයේ දී අනුගමනය කළයුතු හොඳම මග රැඩිකල් දේශපාලන ව්‍යාපෘතිය ය, යන අදහස අත් නොහරින අතරම එය, මුළුමනින්ම ශිෂ්ඨ මිනිසකු නිර්මාණය කිරීමේ යුතෝපියානු සංකල්පය සදහා යොදා නොගත යුතු බව ත් මෙම විවේචන‍යන් කියැවුණා.

ඉතින්, විචාරය අවසානයේදීත්, අප තවමත් විශ්වාස කරන්නේ, කලින් ගොඩනගා ගත් ආකෘතියකට, අනුව දේශපාලනය කිරීම ද? අප රැඩිකල් වාමාංශිකයන් යැයි කීමෙන් අප සමාජය මුලින් උදුරා වෙනස් කිරීමට කැපවූවන් යැයි අප කියන්නේ නම්, එසේ මුලින් උදුරා වෙනස් කළ සමාජයක් කුමන ස්වරූපයක් ගනු ඇත්දැයි, අපට පරිකල්පනය කළ හැකිද? ‘යුතෝපියානු, යන පදයෙන් මෙහිදී කියවෙන්නේ සහමුලින්ම ශිෂ්ඨ මිනිසා නිර්මාණය කිරීම යථාර්තවාදී නොවන පරමාදර්ශයක් පමණක් බවද? මේ, සහමුලින්ම ශිෂ්ට මිනිසා කවුද? ඔහුගේ ලාක්ෂණිකයන් කවරේද? මෙහිලා ශිෂ්ඨත්වය, ශිෂ්ඨාචාරය යන්නෙන් අදහස් කෙරෙන්නේ කුමක්ද? සෑබෑ ලෝකයේ සිටින ශිෂ්ඨ ජනයා පිළිබදව අපට කිවහැක්කේ කුමක්ද? ඔවුන් කුමන ස්වරූපයක් ගන්නේද? අපට ඔවුන්ගෙන් උගත හැකි දේ මොනවාද?

ග්‍රීකයන් තමන් ශිෂ්ඨයන් ලෙසත් අන්‍යයන් ම්ලේච්ඡයන් ලෙසත් සැළකුවේ, ඔවුන් තම මහජන කටයුතු ප්‍රචණ්ඩත්වය වෙනුවට කථනය සහ ඒත්තුගැන්වීම මගින් කළ නිසා බව හැනා ආරෙන්ඩ්ට් පෙන්වා දෙනවා (බලන්න, ඇයගේ ”දර්ශනය සහ දේශපාලනය” ලිපිය). මොවුන් ශිෂ්ඨත්වයත් මහජන ජීවිතයත් අතර දකින සම්බන්ධයෙන් මහජන ජීවිතය (සහ එනිසා පෞද්ගලික ජීවිතය) ගැන කියැවෙන්නේ කුමක් ද?

ගැඩමර් (සත්‍යය සහ ක්‍රමය) උපානැණ (tact) යනුවෙන් හදුන්වන මෙම ශිෂ්ඨත්වය අවශ්‍ය වන්නේ අනෙකා හුදෙක් ඔහුගේ වෙනස තුළ හඳුනාගැනීමට පමණක් නොවේ, එම වෙනස තුළ ජීවත් වී එය තමාගේම බවට පත් කර ගැනීමටයි. ශිෂ්ඨත්වය මහජන ජීවිතයේ පදනම වන්නේ මේ අර්ථයෙනි. උපානැණ, එමගින් පුද්ගලයන්ගේ චරිත ස්වභාවය සැකැසෙන Bildung හෝ අධ්‍යාපනය ඒ සඳහා කලින් ලැබිය යුතු යැයි අපේක්ෂා කෙරෙයි. ගැඩමර් හෝ ආරෙන්ඩ්ට් (“අධ්‍යාපනයේ අර්බුදය”) වටහා ගන්නා ආකාරයට, Bildung කණ්ඩායමක හෝ දේශපාලන පක්ෂයක දේශපාලන ව්‍යාපෘතියක් විය නොහැකිය.

මෙම ‘රැඩිකල් දේශපාලනයේ” මූලික ප්‍රවාදය මෙවැන්නකි. “ලංකාවේ රාජ්‍යය ඓතිහාසිකව සංවර්ධනය වී නොමැත. රජයක් නැති හෙයින් ලංකාවේ සිවිල් සමාජයක් ද නැත. සිවිල් සමාජයක් නැති හෙයින්, ලංකාවේ ශිෂ්ඨ පියෙකු නැත. එහෙයින්, පවුල ඇතුළු මානව සබදතා නොමැත. මේ නිසා ලාංකිකභාවය . . . . අශිෂ්ඨය!!!”

මෙබඳු ප්‍රවාදයකට පදනම් වන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණය තුළ ‘ඉතිහාසයේ අවසානය’ උදාවන්නේය යන හෙගේලියානු අදහස ද? එය දේශපාලනයේ අවසානයත් සටහන් කරන්නේද?

මෙහි දේශපාලනය ශිෂ්ඨත්වය අරමුණු කොට ගත්තක් නම්, මෙය අනෙකා ශිෂ්ඨ කිරීමේ ‘සුදු මිනිසාගේ වගකීමෙන්’ (white man’s burden) වෙනස් වන්නේ කෙසේද?

අප අශිෂ්ඨ, අපට රජයක් නැති නිසා යැයි අප කියන්නේ නම්, අප ශිෂ්ඨ කිරීමේ වගකීම අප පවරන්නේ අපෙන් පිටතට නොවේද?

ලංකා‍වේ අශිෂ්ඨත්වයේ ප්‍රකාශනය 87-90 කාල පරිච්ඡේදය නම්, ජර්මනියේ රාජ්‍යය ‍ඓන්ද්‍රීයව ගොඩනැගුනක් ද? ජර්මනියේ නාසිවාදි අශිෂ්ඨ රාජ්‍යයේ නැගීම අප පැහැදිළි කරන්නේ කෙසේද?

ඇරිස්ටෝටල් රාජ්‍යයේ වර්ධනය පිළිබඳව දේශපාලනය (Politics) කෘතියෙහි ඉදිරිපත් කරන විකල්ප න්‍යාය සළකා බලන්න. ඇරිස්ටෝටල් ට අනුව රජය ‘සිවිල් සමාජයෙන්’ විශදව පිහිටියක් නොව පුරවර රාජ්‍යය විය. එහි ජීවිතය මත දේශපාලනය කේන්ද්‍රගත විය. ඇරිස්ටෝටල් ගේ ඇතැන්ස්හි පුරවර රාජ්‍යයත් සමාජයත් දෙකම එකක් විය. ඇරිස්ටෝටල් ගේ කියැවීමට අනුව රජය එන්නේ අවසානයටය, පවුල පළමුව එයි.

‘දේශපාලනය කරන්නට නම් අධ්‍යයනය කළ යුතු බව රැඩිකල් දේශපාලනය අපට ඉගැන්වී යැ’යි මෙම පරපුරේ සාමාජිකයෝ කියති. මෙයින් කියැවෙන්නේ න්‍යාය ක්‍රියාවට මග පෙන්වන්නේය, යන විශ්වාසය යි. දේශපාලනයෙහිලා භාවිතයට, ක්‍රියාකාරකම් වලට, ක්‍රියාවට පෙර න්‍යාය ප්‍රමුඛතාව ගනියි. දේශපාලනය කිරීම සඳහා අධ්‍යයනය කළ යුතුව ඇත්තේ කුමක් ද?

‘දේශපාලනයේ ඇත්තේ සතුරන් මිස ප්‍රතිමල්ලවයන් නොවේ’ යැයි මොවුහු කියති. මේ Schmitt විසින් න්‍යාය ගැන්වූ ප්‍රසිද්ධ අදහසකි. ඉතින්, අප මෙය පිළිගන්නේ නම්, දේශපාලනය යනු සතුරා පරාජය කිරීමයි, සතුරා යටත් කර ගැනීමයි, අවශ්‍ය නම් විනාශ කිරීමයි. එබඳු දේශපාලනයක ප්‍රතිඵලය වන්නේ සමාජය කෙබඳු සාමූහිකයක් කිරීමද? අප කියන්නේ අපගේ විවේචකයා, පසමිතුරකු හෙයින් අප ඔහුට ශිෂ්ඨව සළකන්නට සූදානම් නැති බවද?

හේගල්ගේ ‘ස්වාමියා සහ වහලා’ කථාව සීසෙක් මගින් කියැවීම

ම්ලේච්ඡයන් ලෙස හඳුනා ගැනෙන ලාංකිකයන් ශිෂ්ඨ කිරීමේ මෙම ව්‍යාපෘතිය දැන් හේගල් සිසෙකියානු (Zizekian) කියැවීමකට ලක් කිරීම මගින් ප්‍රශ්න කෙරෙයි. යමෙකු ශිෂ්ඨයෙකු වන්නේත් අනෙකා අශිෂ්ඨයකු වන්නේත් කෙසේද? අනෙකා ම්ලේච්ඡ ලෙස හඳුනාගැනීම තුළ ශිෂ්ඨයා තමන් ශිෂ්ඨ ලෙස වටහා ගෙන අනෙකාට ඉහළින් පෙනී නොසිටින්නේද? දේශපාලනය කරන්නට නම් අධ්‍යයනය කළ යුතු බව රැඩිකල් දේශපාලනය අපට ඉගැන්වී යැයි මෙම පරපුරේ සාමාජිකයෝ කියති.

මේ පරපුර මෙයින් කියා සිටින්නේ, එය බල සබඳදතාවක් බවට හැරවීමෙන් තොරව අපට ශිෂ්ඨත්වය පිළිබද හැගීමක් ඇති කරගත නොහැකි බවද? ශිෂ්ටත්වය පිළිබඳ අදහසට බලයෙන් පිටත වටිනාකමක් නොමැතිද?

‘ස්වාමියා සහ වහලා’ සබඳතාවයේ මෙම කියැවීම තුළ ප්‍රතිපක්ෂයේ සම්ප්‍රදායික ධූරාවලියේ සබඳතාව අනෙක් අතට හරවා ඇත. ඒ අනුව ස්වාමියා ‘ගොඩනැගෙන්නේ” වහලා විසිනි, ශිෂ්ඨයා ‘ගොඩනැගෙන්නේ’ ම්ලේච්ඡයා විසිනි, තමා (self) ‘ගොඩනැගෙන්නේ’ අනෙකා විසිනි. රජු සිටින්නේ යටත් වැසියන් සිටින හෙයිනි. රජෙකු සිටින නිසා යටත් වැසියන් සිටිනවා නොවේ. මෙය බල සබඳතාවකි. මේ දෙස වෙනස්ව බැලීමේ ක්‍රමයක් නම්, ද්වන්ධාත්මකව රජු සහ පුරවැසියන් අතර බඳු සබඳතාවක් පිළිබඳව සිතීමයි.

ජාතිකත්වය එහි ඉතාමත් නිරුවත් ස්වරූපයේදී, අනෙකා ම්ලේච්ඡ ලෙස දක්වා මෙම අනෙකා යටත් කර ගැනීම තුළින් ශිෂ්ඨ කිරීම අරමුණු කරයි.

මේ ලිපියේ එන සිසෙක්ට අනුව වන්දනාමානය (fetishism) යනු මානව සබඳතා වන්දනීය තත්වයකට පත් කිරීමේ, මිනිසුන් දේවල් ලෙස සැළකීමේ ඵල විපාකයකි. නමුත්, වන්දනාමානය පිළිබඳ අදහස සඳහන් කරන්නේ, දේවල් ඒවාටම අයිති ජීවයක් ඇති ලෙස සළකා ඒවාට වන්දනාමාන කිරීම පිළිබඳව නොවේද?

ධනවාදීන් සහ ශ්‍රමිකයන් අතර සබඳතාව මිනිසුන් අතර වන සමාජීය සබඳතාවකි. මෙය ශ්‍රමයේ ඵල භාණ්ඩ බවට පත්වීම තුළින්, දේවල් අතර සමාජ සබඳතාවක් බවට වෙනත් වෙසක් ගන්වා ඇත.

වන්දනීය වස්තුව පිළිබඳ මුල් අදහස නම්, මිනිසුන්, අ-ජීවි වස්තූන් ඒවාට දේවමය ජීවිතයක් හෝ බලයක් ඇතිවාක් මෙන් සැළකීමයි.

මෙම ලිපියට අනුව සීසෙක් ‘ස්වාමියා සහ වහලා’ අතර සබඳතාව දකින්නේ වන්දනීය තත්ත්වයකට පත්කළ සබඳතාවක් ලෙසිනි. වහලා, ස්වාමියා කෙරෙහි ඇති සබඳතාව වන්දනීය වස්තුවක් ලෙස සළකයි. ධනවාදය යටතේ මෙම ‘ස්වාමියා සහ වහලා’ සබඳතාව මර්දනය කොට ඇත. දැන් මිනිස්සු දේවල් වලට දෙවියන් ලෙසින් සළකති, ඔවුන් ස්වාමියා දෙවියන් ලෙස සැළකුවාක් මෙනි.

ඉතින්, මේ අනුව සීසෙක් කියන්නේ, මිනිසුන් මිනිසුන් සහ දේවල් යටතේ වහල්භාවය ස්වභාවික තත්වයක් වශයෙන් පිළිගන්නා බවද? එය මුල්ම පාපය (sin) බඳු අදහසක් නොවේද?

මෙම වන්දනීය සබඳතාව ස්වභාවික නම්, එවිට මානව මැදිහත්විම සදහා ඉඩකඩ ඇත්තේ කොහිද?

සීසෙක්, මිනිසුන් තම වහල් මානසිකත්වය ස්වභාවික ලෙසින් පිළිගැනීම පිළිබඳව විවේචනය කරයි. අපව ශිෂ්ඨ කරන්නට අරමුණු කරන යුරෝපීය සුදු පිරිමියා හේගලියානු උපමා කථාවේ, ස්වාමියා ය.

‘ධනවාදය යටතේ ස්වාමියකු නැත – ශිෂ්ඨ පියෙකු නැත.’

අපට අද ඇත්තේ ලිබරල් පරිභෝජනවාදී පුද්ගලයෙකි.

සීසෙක් මින් කියන්නේ අද ලිබරල් පුද්ගලවාදය යටතේ ශිෂ්ඨ කිරීමේ බටහිර ව්‍යාපෘතිය තවදුරටත් වලංගු නොවන බවයි. ප්‍රබුද්ධත්වයේ ව්‍යාපෘතිය, එය මීට පෙර වලංගු වී නම්, එය තවදුරටත් වලංගු නොවේ.

ඓතිහාසිකව අප ශිෂ්ඨ සම්පන්න සමාජයක් ඓන්ද්‍රීයව වර්ධනය කර නොගත් නිසා “ශ්‍රී ලාංකිකයන් ඓතිහාසිකව මුග්ධයන්” යැයි අප කියන්නේ නමුත් බටහිර සමාජය ඓන්ද්‍රීයව ‘ශිෂ්ඨ’ සමාජයක් ගොඩනගාගත්තේ නම්, බටහිරත්, අප ද වැටී ඇති එකම ප්‍රපාතයේ වැටි ඇත්තේ කෙසේදැ යි යමෙකුට ඇසිය හැක. ඔවුන් අනුකරණයෙන් ශිෂ්ඨ වන්නට අප ගත් උත්සාහයන් තුළ අප බටහිරින් පාරිභෝජනවාදය උරුම කර නොගත්තෙමුදැ යි යමෙකුට ඇසිය හැක.

එසේ නොමැති නම් පාරිභෝජනවාදය යනු අප වැටී ඇති ප්‍රපාතයකට වඩා අපට අපේ විනිශ්චය ක්‍රියාවට නංවන්නට ඇති අවකාශයක් ද?

– කුමුදු

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s