“9/11 හිදී පශ්චාත් නූතන තත්ත්වයට එහි අනිටු විපාකය හමු විය”
ටීනා බිඇටී (Tina Beattie) Opendemocracy.net වෙබ් අඩවියට “The end of postmodernism The “new atheists” and democracy යනුවෙන් ලියූ ලිපියක (මෙහි බලන්න මුළු ලිපිය සඳහා) පසුධනවාදී තත්ත්වයක් තුළ ඓහිකවාදය, විද්‍යාව, හේතුවාදය සහ ආගම අතර ඇති ගැටුම පිළිබඳ විග්‍රහයක් සම්පාදනය කරයි. මෙම ගැටුම පිළිබඳ සාකච්ඡාව ලාංකේය රාජ්‍යය ඓහිකකරණය (secularization) කිරීම සඳහා කෙරෙන ඉල්ලීමට ද සම්බන්ධ නමුදු, බටහිර සමාජය ආමන්ත්‍රණය කරමින් ලියැවී ඇති මෙම ලිපියෙන් ඇතැම් තැනෙක සංක්ෂිප්ත කරමින් අනුවර්තනයෙන් අප පහත ගෙන හැර දක්වන්නේ වත්මනෙහි ලංකාවේ ආගම සහ පශ්චාත් නූතනවාදය පිළිබඳව අප අතර ප්‍රචලිතව පවත්නා අදහස් පිළිබඳව සිතා බැලීමට අපට අනුබල දෙන අදහස් කිහිපයක් පමණි. අප මෙම අදහස් උපුටා දක්වන්නේ ඇගේ ලිපියේ ආගම හෝ වෙනත් මාතෘකා සම්බන්ධයෙන් ඇය පළ කරන සියලු අදහස් එපරිද්දෙන්ම අප අනුමත කරන නිසා නොවේ. එමෙන්ම ඇයගේ ඇතැම් අදහස් එන ඡේදයක කොටසක් පමණක් අප උපුටා දක්වන්නේ, එහි එන අනෙක් අදහස් සවිස්තරව ගෙන හැර දැක්වීම මෙහි ලා අවකාශ නොමැති හෙයින් මිස ඒ අදහස් අපගේ පාඨකයන්ගෙන් සඟවන්නට නොවේ. සමස්ත ලිපිය ඉහත වෙබ් පිටුවෙන් ඔබට ඉංග්‍රීසියෙන් කියැවීමට හැකිය. එහි එන අනෙක් අදහස් පිළිබඳව වෙනත් අයට ‘කතිකා’ වෙබ් අඩවියට පවා ලිවිය හැකිය.
‘‘ආගම සහ විද්‍යාව’’
ආගම පිළිබඳ අපගේ නූතන අවබෝධය පශ්චාත්-ප්‍රබුද්ධත්වමය එළඹුමක් විසින් ඇති කරන ලද්දකි. ඒ අනුව බටහිර ජීවිතය සංවිධානය කෙරෙන කේන්ද්‍රය ලෙස ආගමේ තැන විද්‍යාව, විචාර බුද්ධිය, සහ ප්‍රගතිය විසින් ගනු ලැබ ඇත. නමුත් “ආගම” යන වචනයට 19 වැනි සියවසේ බටහිර අධිරාජ්‍යවාදය හා සබැඳුනු අරුත් දැක්වීම් ද ඇත. ලතින් ‘religio’ යන වචනයෙන් උපදින මෙම වචනය රෝමානු සහ ක්‍රිස්තියානි ඉතිහාසය තුළ විවිධ අරුත් ගන්නා නමුදු, එය එහි වත්මන් අරුත ලබා ගත්තේ, එකට එක්වී නූතන බ්‍රිතාන්‍ය ඉතිහාසය හැඩ ගැන්වූ, විෂය මූලික (objective), විද්‍යාත්මක දැනුම සොයා යෑම තුල සහ යටත්විජිත ජයග්‍රහණයන් තුළය.
යුරෝපයේ අධිරාජ්‍ය ඉදිකරන්නන් තම සංචාරයන්හිදී, මුණ ගැසුණු “ආදි” (primitive) ජනයා සහ සමාජයන් අධ්‍යයනය කිරීම සඳහා මානව විද්‍යාව සහ මානව වංශවේදය වැනි නව “විද්‍යාවන්” වික්ටෝරියානු යුගය තුළ සංවර්ධනය කෙරුණි. චාර්ල්ස් ඩාවින් ගේ පරිණාමවාදය පිළිබඳව වූ උද්යෝගයෙන් අදහස් කෙරුණේ පරිණාමවාදී ඉණිමගෙහි ඉහළම හිණිපෙත්තේ බටහිර සුදු පිරිමියා සිටියේ යැයි විශ්වාස කළ ශාස්ත්‍රඥයන් විසින් බටහිර ශිෂ්ටාචාරය පිළිබඳ නිර්වචනය කෙරෙන ප්‍රතිමාණය හා සසඳමින් අනෙක් සංස්කෘතීන් අනුපෙළ ගැන්වීමේ හා අධ්‍යයනය කිරීමේ මගක් ලෙස ආගම අධ්‍යයනය කිරීම පැවැත්මට ආ බවයි.
“විද්‍යාව” යන වචනය ද 19 වැනි සියවස තුළ එහි අර්ථය වෙනස් කළේය. දේව ධර්මය සහ දර්ශනය ඇතුලුව සියලු ආකාරයන්හි දැනුම් විස්තර කිරීමට යොදා ගත් – ගණීය අර්ථ (generic) සහිත වචනයක සිට එය, අනුභූතික සාක්ෂ්‍ය මත පමණක් පදනම් වූ දැනුම වෙත වන විෂය මූලික සහ හේතුවාදී එළඹුමක් මත පටු ලෙස කේන්ද්‍රගත වූ එකක් බවට වෙනස් වී ය.
“පශ්චාත්නූතන තත්ත්වය”
පසුකාලීන නූතනත්වය නැතහොත් පශ්චාත් – නූතනත්වය තුළ, 1 8 වැනි සියවසේ විවිධ බුද්ධිමය සහ දේශපාලන විප්ලවයන් තුළ පැන නැගුණු ප්‍රජාතන්ත්‍රවාදී සහ විද්‍යාත්මක අගයයන් බිඳී විසිරී යමින් පවතී. එහි නිදහස් සහ අවස්ථාවන් ප්‍රමෝදයට පත් කරන ලෙස සමහරුන් දකින, නමුත් අන් අය එහි නිශ්චිතභාවයක් සහ සත්‍යයක් නැතිකම බියවද්දන සුලු දෙයක් ලෙස සළකන සංකීර්ණත්වයේ සහ බහුත්‍වයේ ලෝකයකට අද අපි මුහුණ දෙන්නෙමු.
“පශ්චාත් නූතනවාදය” යන පදය ලියොතාද් ගේ පශ්චාත්නූතන තත්ත්වය යන පොත හා සබැඳෙන නමුදු, පශ්චාත් නූතනවාදී යුගයේ සම්භවය ඇත්තේ දෙවෙනි ලෝක යුද්ධයෙන් පසු සමයෙහි ය. නූතන බටහිර සමාජයන් සියවස් දෙකක් පුරා තිරසාර කළ සියලු වටිනාකම් දියවී ගියේ මෙසමයෙහි ය. ප්‍රගතිය සහ විචාර බුද්ධියේ ශිෂ්ඨ කිරීමේ බලය දෙවෙනි ලෝක යුද්ධ දෙකක් සහ නාසි සමූලඝාතනයෙන් පසුත් පැවැතිය හැක්කේ කෙසේ ද? විද්‍යාව විනාශය සහ ඝාතනය සඳහා මෙතරම් සහමුලින් වනසාලන ශක්‍යතාවක් අපට සපයා තිබියදීත්, එය මානව දුක්විඳීමට පිළිතුරු සැපයිය හැක්කේ කෙසේ ද?
මානව ඉතිහාසය තුළ කවරදාවත් විසිවෙනි සියවස තුළ තරම්, මෙතරම් මතවාද සහ ප්‍රගතිය පිළිබඳ දෘෂ්ටීන් ගේ නාමයෙන් මිනිසුන් එකිනෙකා ඝාතනය කොට නැත.
පශ්චාත් නූතනවාදය සත්‍යය පිළිබඳව වන සියලු කියාපෑම් අස්ථාවර කොට සැකය සහ අවිශ්වාසය (skepticism) පිළිබඳ පුළුල්ව පැතිරුණු චිත්ත ස්වභාවයක් නිර්මාණය කරන අතර, එය දූෂිත සහ අයුක්ති සහගත දේශපාලන ව්‍යුහයන්ට අභියෝග කිරීමට අවශ්‍ය සාමුහික දැක්ම සහ ශක්තිය අපෙන් මිරිකා හරින අතරම, හැම ආකාරයකම අන්තවාදයක් සහ අනනත්‍යා දේශපාලනය සශ්‍රීක විය හැකි සංස්කෘතික රික්තයක් සම්පාදනය කරයි.
පශ්චාත් නූතනවාදයේ එන අති විශාල මිථ්‍යාවක් නම් එය ‘මහා ආඛ්‍යානයේ’ මරණය උත්සවශ්‍රීයෙන් සැමරීමයි, එකම විශ්ව සත්‍යය, විශ්ව සත්‍යයක් නැත යන්නය යන විරුද්ධාභාසික කියාපෑමයි. නමුත් මෙය බොරුවකි, මන්දයත් ගෝලීය ධනවාදය මානව ජීවිතයෙන් අන් හැම ආඛ්‍යානයක්ම සහ අන් හැම අර්ථයක්ම තුරන් කරන්නට තර්ජනය කරද්දී අද තරම් තනි මහා-ආඛ්‍යානයකින් මානව වර්ගයා මෙතරම් යටපත් කොට ගෙන තිබී ඇති කලක් නොමැති හෙයිනි.
ජනයා එකට බැඳ තැබූ සහ ප්‍රජාවන්ට අර්ථයක් සහ තමන් යමකට අයිතිවීම පිළිබඳ හැඟීමක් ප්‍රධානය කළ ඉතිහාසයන් සහ සම්ප්‍රදායන් සියලුම දිශාවන්වලින් වටලෑමට ලක්ව ඇති අතර, අනවරත සහ අමානුෂික ගෝලීය ආර්ථික ක්‍රමයක්, අපගේ ආර්ථික ක්‍රමය එහි උදාවත් කැටුව ගෙන එන යුද්ධ, දූෂණයන් සහ වේගයෙන් වැඩෙමින් පවත්නා අසමානතාවයන් මගින්, පිටුවහල් කෙරුණු සූරාකෑමට ලක් කෙරුණු සහ භාණ්ඩකරණයට ලක් කෙරුණුවුන් සඳහා මානව ගරුත්වයේ සහ බලාපොරොත්තුවේ, අවසන් බිඳ ද අතු ගා දමමින් සිටියි.
පශ්චාත් – නූතනවාදී නාගරික ප්‍රභූන්ගේ පාරිභෝජනවාදී ජීවන ශෛලීන් සැදුම් ගන්නා විසිතුරු ඇඳුම් ප්‍රදර්ශණය සීමා සංස්කෘතීන් හෝ සම්ප්‍රදායයන් ගරු නොකරන ලෝක වෙළඳ- පොළක නිසරුභාවය සහ සමජාතීයකරණය පිළිබිඹු කරයි. අපට නිදහස වෙනුවට තෝරා ගැනීම (choice) තිබේ, වටිනාකම් වෙනුවට ලේබල් සහ ජීවන ශෛලීන් තිබේ. බටහිර ප්‍රජාතන්ත්‍රවාදයන්හි පුරවැසියන් වන අපි, අපේ අමාරුවෙන් දිනාගත් නිදහස සහ අයිතිවාසිකම් ආණ්ඩුවලින් කොල්ල කෑම කෙරෙහි උදාසීන පුද්ගල මාත්‍රවාදී වූ පාරිභෝගිකයන් බවට පත්ව ඇත්තෙමු.
ප්‍රජාතන්ත්‍රවාදය වියැකී යද්දී, හඬ- කට (sound – bite) යුගයේ, ප්‍රසන්න ලෙස කතා කරන හොඳ නරක දෙකටම අයිති නැති පුද්ගලයන් විසින් දේශපාලන වේදිකාව යටත්විජිතකරණයට ලක් කොට ඇති යුගයක අපි ජීවත් වෙමු.
9/11 හිදී පශ්චාත් නූතන තත්ත්වයට එහි අනිටු විපාකය හමු විය. පශ්චාත් නූතනවාදයේ නිර්බාධවාදී බහුත්වවාදයේ සිට වඩා උග්‍ර ප්‍රතිවාදීත්වයකට බටහිර ආකල්පයන් මාරු විය. ප්‍රජාතන්ත්‍රවාදය සෙමින් මිය යාමට ප්‍රතිචාර දැක්විය හැක්කේ කෙසේ ද?
(ටීනා බිඇටී එංගලන්තයේ රෝහැම්ප්ටන් විශ්ව විද්‍යාලයේ ක්‍රිස්තියානි අධ්‍යයන අංශයේ පර්යේෂිකාවකි.)
‘කතිකා’ අධ්‍යයන කවය