තම දේශයට ආදරය කළ, ඇෆ්ඝනිස්ථානු ජාතියක් වෙනුවෙන් අරගල කළ, විප්ලවවාදිනිය මීනා

මීනා
දිදුලන ඇෆ්ඝන් තරුව
ඇෆ්ඝන් ස්ත්‍රීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දිවි පිදූ
වීරවරියකගේ සත්‍ය කථාව

කර්තෘ : මෙලඩි එමර්චයිල්ඩ් චාවිස්
පෙරවදන : ඇලිස් වෝකර්
පරිවර්තනය : ප්‍රභා මනුරත්න
2008 , සේතුක ප්‍රකාශකයෝ, කැළණිය. රු. 395/-

meena31.jpg

මීනා: චරිතාපදානය

මීනා, එනමින් යුතු සුන්දර තරුණ ඇෆ්ඝනු ස්ත්‍රියගේ චරිතාපදානය යි, ජීවන ආඛ්‍යානය යි; අපගේ පරිකල්පනාව අවදි කරන, බහුවිධ අරුත් මතු කරන සාරවත් කෘතියකි. එය මීනා‍ ගේ ජීවිතය පිළිබඳ, ඇය ඇසුරු කළ, ඇසූ-දුටු අයගේ ආඛ්‍යානයන්, අර්ථකථනයන් කර්තෘවරිය වන මෙලඩි එර්මාචයිල්ඩ් චාවිස් (Melody Ermachild Chavis) ගේ දෘෂ්ඨියෙන් කියැවීමක් විශ්වශනීය ලෙස ඉදිරිපත් කරන හෙයින් සත්‍ය කතාවක් වෙයි.

මීනා සිංහල අනුවර්තනය, එහි ඉංග්‍රීසි මුල් කෘතිය මෙන්ම අභිරුචියෙන් කියවා ගෙන යා හැකි, එක පැහැර සිත් ගන්නා සුළු, සරල, සුගම, සුවාවබෝධ වහරින් හා ‍ශෛලියකින් සැකැසී තිබීම අනුවර්තිකාවගේ ඉංග්‍රීසි – සිංහල දෙ-භාෂා ප්‍රාගුණ්‍යයට මෙන්ම ඇයගේ සාහිත්‍යමය ලේඛණ කුසලතාවටත් මනාව දෙස් දෙයි.

හුදු පදානුගත පරිවර්තනයක් නොකොට මෙබඳු දේශපාලන අරමුණකින් යුතු කෘතියකට ගැළපෙන පරිදි අනුවර්තනයේ මඟ ගැනීමෙන් මුල් ඉංග්‍රීසි කෘතියේ රසය එපරිද්දෙන්ම රැක ගැනීමට ප්‍රභා මනුරත්න සමත් වී ඇත. සිංහල අනුවර්තනය සැකසී ඇත්තේ ප්‍රමිතියකට අනුව රචනාවේ යෙදීමේ තෘප්තිය ලබා දෙන උක්ත – ආඛ්‍යාත ගැලපීමේ ව්‍යාකරණානුකූල ලිඛිත රචනා ශෛලිය අගය කිරීමට උගත් පැරණි පරම්පරාවේ පාඨකයන් පිනවන පරිද්දෙනි. මෙම ව්‍යාකරණ ප්‍රමිතිය මඟ හැරුණු ඇතැම් තැන්, කෘතියේ පසු මුද්‍රණයකදී නිවැරදි කර ගත හැකි සුළු දෝෂ ය.

කතුවරිය අප හමුවේ ජීවමාන කරන මීනා ඇෆ්ඝනු සමාජයේ ස්ත්‍රීන් අත්විඳි බරපතල සමාජ අසාධාරණයන්ට එරෙහිව ඔවුන්ගේ යහපැවැත්ම සඳහාත්, ස්ත්‍රීන්ගේ නිදහස සඳහාත්, පොදුවේ තම දේශයේ නිදහස උදෙසාත් කෙරුණු අරගලයක අරමුණ වෙනුවෙන් තම තරුණ ජීවිතය, අප්‍රතිහත ධෛර්යයකින් සහ අධිෂ්ඨාණයකින් කැප කළ, අපේ කාලයේ සැබෑ වීරවරියක් පිළිබඳ ආශ්වාදනීය ප්‍රතිරූපයකි. ස්ත්‍රී අයිතිවාසිකම් වෙනුවෙන් ඇෆ්ඝන් කාන්තා විප්ලවීය සංවිධානය ඇරඹූ ඇය තමන් තෝරාගත් ඒ අරමුණු වෙනුවෙන්ම තිස් හැවිරිදි තරුණ වියේදීම තම ජීවිතය පිදුවා ය.

මීනා, අතිශයින් අසාමාන්‍ය ලාක්ෂණිකයන්ගෙන් හෙබි, විශද, අද්විතීය තැනැත්තියකි, සමාජීය විචාරිකාවකි, දේශපාලන ක්‍රියාකාරිණියකි. මෙම අසාමාන්‍ය ලෙස දීප්තිමත් සරසවි නීති ශිෂ්‍යාව, මැද පන්තික වෘත්තීයමය ජීවිතයක අනාගත සුව පහසුව සාමුහිකයේ යහපත වෙනුවෙන් පරිත්‍යාග කළාය. මුලින් නීතිඥවරියක වී ඇෆ්ඝනු ස්ත්‍රීන්ට සරණ වනු වස් නීති උපාධිය හැදෑරූ ඈ ඇෆ්ඝනිස්ථානයේ දේශපාලන තත්ත්වය වෙනස් වී රජයම නීතිය උල්ලංඝනය කරන තැනට පත් වූ විට දේශපාලනයෙහි ලා සෘජුවම මැදිහත් වන්නට තීරණය කළාය. දේශපාලනය නිසා ඇයට තම දේශයෙන් පිටුවහල් වන්නට සිදුවී ය, සැමියා අහිමි වීය, ඇගේ දරුවන් අනාථයන් බවට පත්වී ය.

මීනා තම ‍පෞද්ගලික ජීවිතයේ සතුට, සැපත, තම සැමියා සහ දරුවන් සමග ඇසුර, පොදු ජීවිතය වෙනුවෙන් කැප කරමින් තමා තෝරා ගත් අරමුණට සහමුලින්ම ‍සේවය කළාය. ඇය තම පුද්ගල ජීවිතයෙන් පිටස්තර අරමුණක් හා බැඳීමෙන් තම පුද්ගල ජීවිතයට, අරමුණක් අරුතක් සපයා ගත්තාය. ඇගේ දේශපාලන ජීවිතය ඇයට කීර්තිය ගෙන ආවද ආත්ම උන්නතිය හෝ ප්‍රශංසාව අපේක්ෂා නොකළ ඇය ගේ කීර්තිය වඩාත් පැතිරුනේ ඇයගේ මරණින් පසුය.

ඇය තම දේශයට ඇළුම් කළාය, අධිරාජ්‍යවාදයට එරෙහි වූවා ය, ඇෆ්ඝනිස්ථාන ජාතියක් වෙනුවෙන් කැප වී මහන්සියෙන් වැඩ කළා ය. ඇය ඇෆ්ඝනිස්ථානය තුළ සෝවියට් ශෛලියේ මහා පරිමාණ සංවර්ධන කටයුතුවලට එරෙහි වූවා ය. ඇය යුද විරෝධියෙකු වුවද අහිංසාවාදිනියක නොවූවා ය, ඇඳුම් අතර තුවක්කු සඟවා ගෙන නිදහස වෙනුවෙන් සටන් කරන්නන්ට ඒවා ගෙන ගියාය, නමුත්, ත්‍රස්තවාදයට කිසිසේත් පක්ෂ නොවූවාය.

ඇෆ්ඝනු සමාජයේ නිර්ප්‍රභූන් වූ ස්ත්‍රීන්ට මුහුණුවරක් දුන් වීරවරිය මීනා යි. ඇෆ්ඝනු දේශයේ ගැහැණුන් ගේ නිදහස පතා අරගල කළ සිය ගණන් වූ නිර්ප්‍රභූ වීරවරියන්ගේ ප්‍රසිද්ධ මුහුණවර මීනා ය.

සාමුහික අරමුණක් වෙනුවෙන් දිවි පිදූ වීරවරියක් ලෙස මීනා ඇෆ්ඝනු සමාජයේ මතකයට එකතු වී එහි ඉතිහාසය ගොඩ නගන්නට දායක වීමෙන් එම ඉතිහාසයේ ම කොටසක් බවට පත් වූවාය. ඇයගේ මතකය ඇෆ්ඝනු ස්ත්‍රීන් ගේ හදවත් තුළත්, ඇය තම දිවිය ඒ වෙනුවෙන් පිදූ රාවා සංවිධානය මගින් ලොවෙහිත් ජීවත් වෙයි. මීනාගේ කථාව නිම වී එය ඉතිහාසයට එකතු වී ඇති හෙයින් ඇය හරියටම කවුරුන්දැ යි දැන් අපට කතා කළ හැකිය.

මතවාද සහ ස්වාධීනත්වය

මීනා තමා කිසිදු මතවාදයක ගොදුරක් වන්නට ඉඩ නොදෙන තරමට ස්වාධීන චරිතයක්, සිතිවිල්ලක් ඇත්තියක වූවාය. ඇයගේ දේශපාලනය ඒ මත ගොඩ නැඟුණකි. තමා ආදරයෙන් බැඳුණු ඔහු සමග තම දරුවන් හදාගත් තම මාවෝවාදී සැමියාගේ දේශපාලනයෙන් වුවත් ඇය ආරම්භයේ සිටම ස්වාධීන වූවාය. ඒ, මතවාදවලින් මෙහෙයවන ව්‍යාපාරවල සිටි, තම සැමියා බඳු යහපත් පිරිමින් ගේ දේශපාලනයෙහි පවා ගැඹුරු මානවීය හරයක් මීනා ට දැකිය නොහැකි වූ හෙයිනි.

විප්ලවකාරී ක්‍රියාවන් සඳහා න්‍යාය හැදෑරිය යුතුය යන බුද්ධිවාදී මුලාවේ ඇය නොඇළුනාය. පෙරසවි මතවාදයන්හි එල්බගෙන දේශපාලන ක්‍රියාවන්හි නිරත වීමට යාමේ නිරර්ථක සහ විනාශකාරී ප්‍රයත්නය වෙනුවට අවශ්‍ය වන්නේ ලොව රැකෙන පරිද්දෙන් සාමුහික ජීවිතයේ ක්‍රියාකාරකම්වලට මේ දැන, මෙතැන මැදිහත්වීම බව මීනා තම දේශපාලන ජීවිතයෙන් ලොවට ප්‍රකට කළාය.

අඳුරට ආලෝකයක්

කොතරම් දුෂ්කර තත්ත්වයක් යටතේ ජීවත් වන්නට සිදු වුවද සමාජයට මැදිහත් වන්නට ක්‍රියා කරන්නට තමාට හැකියැ යි දැඩි අදිටනක සිටි මීනාට සුපැහැදිළි ස්වාධීන දෘෂ්ඨියක් තිබුණි. මීනා ගේ ජීවන චරිතය අපට සිහිපත් කරන්නේ මානව සමාජයන්හි ඉතාම අඳුරු, දුෂ්කර සමයන්හි දී පවා ඉතාම සුළුවෙන් හෝ ආලෝකයක් දල්වා ලිය හැකි, ලොව මානවීයකරණයට ලක් කළ හැකි ගැහැණුන්, මිනිසුන් සිටින බවට හැනා ආරෙන්ඩ්ට් කළ නිරීක්ෂණයයි. Men in Dark Times නමැති තම කෘතියට පෙරවදනක් ලියන හැනා ආරෙන්ඩ්ට් මෙසේ කියයි :

“අඳුරුතම සමයන්හිදී පවා කිසියම් ආලෝකවත් කිරීමක් අපේක්ෂා කිරීමට අපට අයිතියක් ඇති බව සහ එවැනි ආලෝකවත් කිරීම් ඒමට වඩා ඉඩ ඇත්තේ, සමහරක් පිරිමින් සහ ගැහැණුන් තම ජීවිතවල සහ වැඩ තුළ, සියළුම තත්ත්වයන් පාහේ සහ පෘථිවිය මත ඔවුනට දෙනු ලැබූ කාල පරාසය තුළ දල්වා ලනු ඇති, අනිස්ථිර, වෙවුලන සහ බොහෝවිට දුර්වල ආලෝකයෙනි. න්‍යායයෙන් හෝ සංකල්පවලින් එවැනි ආලෝකයක් එනු ඇත්තේ මීට වඩා අඩුවෙනි.” (ix පිටුව)

ඔවුන් මෙම ආලෝකය දල්වා ලන්නේ තම සමාජයට ඉහළින් පෙනී සිටින්නන්, පිටස්තරයන් ලෙස නොව, තමන් ට ලැබෙන තත්ත්වයන් පිළිබඳව විචාර පූර්වකව මැදිහත්වීමට මානවයන්ට වගා කර ගත හැකි විචක්ෂණභාවයේ පිහිටෙන්, සමාජයේ කොටස්කරුවන්ව සිටිමින්ම ඊට විවේචනයක් ගෙන ආ හැකි (මයිකල් වෝල්සර් – Michael Walzer – ගේ යෙදුමක් ණයට ගෙන කියතොත්) “සම්බන්ධිත” නැතහොත් අභ්‍යන්තර විවේචකයන් (connected critics) ලෙස කටයුතු කිරීමෙනි.

අසාමාන්‍ය ගැහැණියක් වූ මීනාට වැඩෙන්නට සරු පසක් වූ ඇෆ්ඝන් සමාජය කෙබඳු එකක් ද? ඇය පෝෂණය කරනු ලැබුවේ කුමන සම්ප්‍රදාය‍යන් විසින්ද? මෙම කෘතිය, මීනා ගේ දෘෂ්ඨි කෝණයෙන් බලා පාඨකයාට ඉදිරිපත් කරන්නේ ඇයගේ ජීවිතය හා සබැඳි නූතන සමයේ ඇෆ්ඝනු සමාජයේ හරස් කඩක කෙබඳු දැකීම් මාත්‍රයක් ද?

ඇෆ්ඝනිස්ථානු සමාජය : හරස් කඩක දැකීම් මාත්‍රයක්

ජාත්‍යන්තර ජනමාධ්‍ය ඇෆ්ඝනිස්ථානය පිළිබඳව අප හමුවේ නිරතුරුව මවන, අමෙරිකානු බෝම්බ හමුවේ සුන්නත්දූලි වන යුධ අධිපතීන් ගේ සහ හුදෙක් උග්‍ර මූලධර්මවාදී මුල්ලාවරුන්ගේ ග්‍රහණයට යටත් වූ ගෝත්‍රික ජනතාවක් පිළිබඳ අති සරල, සුලබ චිත්‍රය වෙනුවට එරට සහ එහි සමාජය පිළිබඳ සංකීර්ණ චිත්‍රයක අංග මීනා කෘතියේ කතුවරිය අප හමුවේ තබන්නීය.

මීනා කෘතියෙන් අප ඉදිරියේ මැවෙන ඇෆ්ඝනිස්ථානයෙහි කටුක ශුෂ්ක බව මත ජීවිතයක් ගොඩනගන්නට එහි ගැහැණුන් සහ මිනිසුන් ගන්නා උත්සාහයෙන් ඊට රමණීය, සුන්දර බවක් ද එකතු වෙයි. ඇෆ්ඝනු ජනයාගේ හැඩරුව සිතුම්-පැතුම්, ඔවුන්ගේ සම්ප්‍රදායයන්, දුෂ්කර සමාජීය ජීවිතයත් සමග ඔවුන් ගෙනයන දෛනික අරගලය, උග්‍ර මූලධර්මවාදී ප්‍රවණතා පැන නැගීම දක්වා වන එහි විපර්යාසය ද සමගින් කතුවරිය විචිත්‍රව මවා පාන්නීය.

එය විපර්යාසයට විවෘතව තිබූ, සම්ප්‍රදායික සමාජයකි. සම්ප්‍රදායිකව රාජාණ්ඩු ක්‍රමයක් යටතේ පැවැති ඇෆ්ඝනිස්ථානය, දහනව වැනි සියවස අගදී ඉතා කෙටි කාලයක් බ්‍රිතාන්‍ය යටත් විජිතවාදයට ගොදුරුව තිබී, සටන් කොට ඉන් නිදහස ලබා, ප්‍රතිසංස්කරණවාදී රාජාණ්ඩුවක් යටතේ, යුරෝපීය සහ අමෙරිකානු සංස්කෘතික ආභාෂයන්ට විවෘත වී, ස්ත්‍රීන්ට අධ්‍යාපනය ලැබීමට අවස්ථාව සළසන යුරෝපීය ශෛලියේ අධ්‍යාපනයක් අවුරුදු හතළිහක්ම පැවැති රටකි. ( මීනා එම අධ්‍යාපනයෙන් බිහි වූ තැනැත්තියකි. ) පසුව, සෝවියට් අධිරාජ්‍යවාදයේ රූකඩ ආණ්ඩුවක් යුද බලයෙන් පවත්වා ගෙන ගිය, මෑත කාලයේ මූලධර්මවාදය උග්‍ර ලෙස පැණ නැගුණු රටකි.

එරට ඉතා යහපත් මානවීය ගුණාංගයන්ගෙන් සහ උසස් මානව අපේක්ෂාවන්ගෙන් පිරුණු ගැහැණුන් සහ මිනිසුන්ගෙන් සැදුම් ලත් දේශයකි. ඔවුහු තම දේශයේ නිදහස වෙනුවෙන් සටන් කිරීමේ දැඩි අදිටනින් පසු වෙති.

ඇෆ්ඝනු ජනයා කරුණාවන්තය, ත්‍යාගශීලීය, දයානුකම්පිතය. ඔවුහු ආගන්තුක සත්කාරය ඉහළම යුතුකම කොට සළකති. රාජාණ්ඩුවක් යටතේ වුව එරට සාමය පැවැතිණි. නාගරික මැද පන්තිකයන්ට පවුලේ සාමාජික ජීවිතයෙහි සතුටින් ගැලී තම පුද්ගලිකත්වය රැකගෙන ජීවත් වීමට හැකි විය. “එරට තුළ විවිධ ජනවර්ග සාපේක්ෂ සහජීවනයෙන් සහ දුෂ්කරතා විඳ දරාගනිමින් එකට විසූහ” (5 පිටුව).

උග්‍ර මූළධර්මවාදයකින් තොර වූ නමුත් සම්ප්‍රදායික ඉස්ලාම් දහමින් බැඳි, කෝරානය පිරිමින්ගේ වාසියට අර්ථකථනය කෙරුණු ඇෆ්ඝනිස්ථානු සමාජයේ රජු සහ රදළයන් ගේ පාලනය යටතේ, නගරයට සාපේක්ෂව ගැමි ජීවිතයත්, පුරුෂයන්ට සාපේක්ෂව ස්ත්‍රීනුත් වැඩි පීඩාවන්ට මුහුණ පෑහ. ගැමි ජීවිතය දුප්පත් ගැහැණුන්ට දෙගුණයකින් පීඩාකාරී වීය. බෙහෙවින් සම්ප්‍රදායික සහ ආගමික ගම්වල මේ තත්ත්වය වඩාත් උග්‍රවීය ( 6 පිටුව).

අතිශය දුෂ්කර ස්වාභාවික තත්ත්වයන් තුළ සම්ප්‍රදායික තාක්ෂණය දිවි පැවැත්ම සහතික කළ ඇෆ්ඝනු ගැමි සමාජයේ ප්‍රමුඛත්වය පිරිමියාට හිමි වූ අතර, දුෂ්කර ජීවිතයේ වඩාත්ම කටුක කොටස ගැහැණියට හිමි විය. පිරිමියා “නගුලේ වියගහ සමග පොර බදිමින් එහි තලය දැඩි පොළොවට තද කරන” විට ඉදිරියෙන් “කඹයකින් බැඳී නගුල” අදින්නේ ගැහැණිය යි (7 පිටුව).

“සියවස් ගණනාවක් පුරා නොවෙනස්ව පැවැති ඉපැරණි ඇෆ්ඝනු සංස්කෘතිය” වෙනස්වීමට දැක් වූ සොඳුරු බවත් ශාපයත් එකට කැටි කොට ගත් ප්‍රතිරෝධයේ හරය ඇත්තේ, ඇෆ්ඝනු කෘෂිකාර්මික සමාජය විපර්යාස කිරීමේ දුෂ්කරතාවය තුළ ද? ඉන් කියැවෙන්නේ ස්ත්‍රීන්ට එරෙහි සමාජ අසාධාරණයන් සමාජයක පවතින ආර්ථික තත්ත්වයන් හා බැඳී පවතින බවද? සම්ප්‍රදායික තාක්ෂණය මත පදනම් වූ සමාජයක ස්ත්‍රීන් ගේ ජීවිත, නිෂ්පාදනය සහ ප්‍රතිනිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලීන් හා බැඳී පවතින බවද? ඇෆ්ඝනිස්ථානයේ පැවැති මෙම තත්ත්වයන් යටතේ ස්ත්‍රීන්ට තනිවම පිරිමින්ගේ ද මනුෂ්‍යත්වය වෙනුවෙන් ද අරගල කරන්නට සිදු වූවා වැනිය.

මීනා බිහිවන්නේ මෙබඳු සංකීර්ණ සමාජයක ය.

මීනා වැනි වීරවරියක් බිහි වූයේ කෙසේ ද?

මීනා පොතට පෙරවදනක් ලියන සුප්‍රසිද්ධ අමෙරිකානු ලේඛිකාව ඇලිස් වෝකර් ලියන පරිදි මීනා තුළ ආදරය සහ කරුණාවත්, පරිකල්පනයෙහි ලා නිර්භීත කමත් නොමඳව දක්නට ලැබුණි. වෝකර් දකින පරිදි අන් අය වෙත වූ ආදරය, කරුණාව මීනා සහජයෙන් ලද තිළිණයකි. තම ආදරණීය තිමවුපියන්ගෙන් (ඇයට මවුවරුන් දෙදෙනෙකු වීය) සහ විශේෂයෙන්ම ඇයට ඇළුම් කළ පියාගෙන් සහ මිත්තණියගෙන් ලැබුණු ආදරය කුඩා මීනා තුළ ලොව පිළිබඳ ආදරයක් වගා කළා නිසැක ය. ඇයගේ සමාජීය මැදිහත්වීම තුළ මතුව එන්නේ ඇය තුළ ළමාවියේ සිට ලද හැදියාවෙන් වගා වූ චරිත ස්වභාවය යි.

එමෙන්ම ඇලිස් වෝකර් ලියන පරිදි ළමා කළ සැදුණු උණ සන්නිපාත රෝගයෙන් මරුමුව විටට ගිය ඇයට, එලෙස මරණයට ආසන්න වී ඉන් ගැළවෙන්නන් තුළ දැකිය හැකි පරිකල්පනයෙහි ලා වන නිර්භීත බව ද ලැබී තිබුණි. මේ අදහසට අපද යමක් එකතු කරන්නේ නම්, හරියටම එබඳු අත්දැකීම් ලබන්නවුන් ලෝකය එහි සම්පූර්ණ යථාර්ථයෙන්ම දකින්නට හැකියාව ලබන්නාක් මෙනි. ඈ ස්ත්‍රීන්ට සාධාරණය ඉටු කරන වෙනත් ලෝකයක් පරිකල්පනය කළාය. එබඳු ලෝකයක් බිහි කිරීමේ ක්‍රියාවලිය තමාට ඇරඹිය හැකි ය යන එඩිතර පරිකල්පනාව ද ඇයට තිබුණි.

ඇෆ්ඝනිස්ථානයේ පිරිමින්ට නොදැනුනු ලෙස දේශපාලනයෙහි ලා මෙලෙස ස්වාධීන මගක් ගැනීමේ අවශ්‍යතාව මීනා ට මෙතරම් ප්‍රබලව දැනුනේ ඇය ඉස්ලාම් ආගමේ බලපෑමට යටත්ව සිටි නමුත් සමාජ ප්‍රතිසංස්කරණයන්ගේ ප්‍රතිඵල අත් විඳින්නට අවස්ථාව ලද පසුව යලිත් උග්‍ර මූලධර්මවාදයේ පීඩනයන්ට යටත් වූ ස්ත්‍රී ප්‍රජාවට අයිති වූ නිසා ද?

ඇය තම මවුවරුන් දෙදෙනා වන ස්ත්‍රීන් ගේ – සහ ඊටත් වඩා පීඩා විඳින ස්ත්‍රීන් ගේ දුක් කම් කටොලින් තැවෙන මෘදු හදක් ඇත්තියක වූවාය. ඇගේ සමාජයේ පරිපීඩිත ස්ත්‍රීන් වෙනුවෙන් දයානුකම්පිත සිතක් ඇය තුළ ඇති වන්නේ කෙසේ ද? එය තමනුත් ස්ත්‍රියක් වූ නිසා අන් ස්ත්‍රීන් කෙරෙහි ඇති වූ සහෝදරාත්මක හැඟීමක් ද? ඇගේ මවුවරුන් දෙදෙනාමත්, ඇයට අතිශයින් ආදරය කළ තම, මධ්‍යම පාන්තික වෘත්තිකයෙකු වූ, පියාගේ පහර දීමට ලක්වනු දැක ඉන් ඇති වූ කම්පාවෙන් අත් වන්නක්ද? තමන්ටත් එවැනි ජීවිතයක් උරුම වේය යන ආත්මානුකම්පාව මුල් කොට ගෙන ඇතිවන සිතක්ද?

වීරවරියන් පිළිබඳ ඉතිහාසයක් එවිටමත් ඇෆ්ඝනිස්ථානයට තිබුණි. බ්‍රිතාන්‍යයන්ට එරෙහි සටනෙහි දී දිවි පිදූ මලාලෙයි (මීනාගේ පාසැල නම් කොට තිබුණේ ඈ නමිනි,) එබඳු වීරවරියකි. මීනාට සහ ඇගේ සමකාලිකයන්ට නවීකාරක සහ විප්ලවවාදී ආශ්වාදය සැපයූ චරිත ජගත් සාහිත්‍යයෙන් ද, අසල්වැසි මුස්ලිම් රටක් වන ඉරානයෙන් ද ඔවුනට ලැබුණි.

මීනාගේ වීරත්වයේ දේශපාලනික පසුබිම වූයේ ස්ත්‍රීන්ට එරෙහි සමාජ අසාධාරණත්වය, යුද්ධය, අධිරාජ්‍යවාදය, සහ මූලධර්මවාදය යි. සෝවියට් සහ අමෙරිකානු රූකඩ යුධ ආණ්ඩු යටතේ මෙන්ම යුදවාදය සහ මූලධර්මවාදය යටතේත් උදාවන දේශපාලන තත්ත්වයන් වීරයන් ඉල්ලා සිටින බව මීනා අපට කියා දෙයි.

වීරත්වය මානව ලෝකයේ හැම යුගයකම දැකිය හැකි නමුත් අප ජීවත් වන නූතන ලෝකය වීරත්වය මුල් කර ගත් එකක් නොවේ. වීරත්වය පුරාතන ලෝකයේ මානව අනන්‍යතාව සළකුණු කෙරෙන ප්‍රධානතම සාධකය වීය. නූතනයේ දී ත් දක්නට හැකි වුවත් වීරයන් ඉල්ලා සිටින අවස්ථාව වඩා සමීප වන්නේ පූර්ව – නූතන තත්ත්වයන්ට ය. පුරාතන සමාජයෙහි බිහි වූ වීරයා‍ ක්‍රමිකව පුරවැසියා බවට විපර්යාසකරණය වීය. අද පුරවැසියා සමාජයෙන් වියෝ වූ තනි පුද්ගලයෙකු බවට විපර්යාස වී ඇත. වීරයන් ඉල්ලා සිටින සමාජය දූඃඛිත සමාජයක් යැ යි බර්ටෝල්ට් බ්‍රෙක්ට් ගැලීලියෝ නාට්‍යයේදී කී ය. අද ත් අප වීරයන් නැතැ යි හඬා වැළපෙන විට එක් අතකින් ඉන් කියැවෙන්නේ අපට පුරවැසි සමාජයක් ගොඩ නඟා ගන්නට නොහැකි වීම යැයි සිතමි.

අධ්‍යාපනය සහ දේශපාලනික ස්ත්‍රීවාදය

තමන් දුටු අසාධාරණයන්ට එරෙහි ව තනිවම සටහක් ආරම්භ කළ මීනාට දේශපාලන ක්‍රියාකාරිණියක් වීමට, විප්ලවවාදිනියක වන්නට ආභාෂය ලැබුණේ, ඇෆ්ඝනිස්ථානයට සමාජ ප්‍රතිසංස්කරණ ගෙන ආ අමනුල්ලා ඛාන් සහ සහීර් රජවරුන්ගේ සමයයන් හිදී මතුව ආ ගුරු පරපුරේ ඇගේ ගුරුවරියන්ගෙනි. ඇගේ පාසැල් දිවියේදී හමු වූ ගුරුවරියෝ වඩා යහපත් සමාජයක් පිළිබඳ අපේක්ෂාවත් එවැන්නක් ගොඩනැංවීම සඳහා මැදිහත් වීමට නව පරපුරට ඇති හැකියාවත්, වගකීමත් පිළිබඳ අදහස් ඈ තුළ රෝපණය කළහ. මීනා, ගුරුවරුන්ගේ එබඳු මග පෙන්වීමකින් අවදිවන සිතක් ලබන හැදියාවකින් බිහි වූ යුවතියක වූවා ය.

මීනා ගේ ගුරුවරියන් මේ කටයුත්ත කළේ මතාන්ධානුකරණයට අවශ්‍ය පරිදි සිසුන්ගේ මොළ සේදීමෙන් නොවේ, සිසුන් විචාරාත්මක චින්තනයට, විශ්ලේෂණාත්මක චින්තනයට යොමු කිරීමෙනි. ඇයට තම ගුරුවරියන්ගෙන් නවීකාරක දෘෂ්ටියකට ඇගේ මනස විවෘත කිරීමක් ලැබුණි. නමුත් ඇය නවීකරණය මතවාදයක් කොට ගෙන එය දේශපාලන ව්‍යාපෘතියක් බවට හරවා නොගත්තාය. මීනා ගේ ගුරුවරියන් ඇය අයිති ඇෆ්ඝනිස්ථානයේ සම්ප්‍රදාය සහ උරුමය පිළිබඳව හැඟීමක්, අවබෝධයක් මීනා ට ලබා දුන්නා නිසැක ය. කෝරානය මූලධර්මවාදී ලෙස අර්ථකථනය කිරීම විවේචනය කොට ඒ වෙනුවට එය මානවීය දෘෂ්ටියකින් අර්ථ විවරණය කරන්නට මීනා ඔවුන්ගෙන් උගත්තාය.

මීනාගේ දේශපාලනික ස්ත්‍රීවාදය හුදෙක් පුරුෂයන් හා සමතැන ඉල්ලා සිටි එකක් නොව පුරුෂයන්මත් පීඩාවට පත් කරන සමාජ අසමානතාවයෙන් ස්ත්‍රීන් නිදහස් කර ගැනීමට කැප වූ එකක් වීය. මීනා ට, ඇෆ්ඝනු ගැහැණුන්ට විමුක්තිය ලබා ගැනීම හුදෙක් නීති සම්පාදනය පිළිබඳ කරුණක් නොවීය. එය ස්ත්‍රීන් බලගැන්වීමට ආර්ථික හා සමාජීය ක්ෂේත්‍රයන්හි යෙදුනු අරගලයකි. මීනාගේ දේශපාලනික ස්ත්‍රීවාදී ව්‍යාපාරය ස්ත්‍රීන්ට සමාජ සාධාරණත්වය දිනා ගැනීමට, ඔවුන්ට යහපත් ජීවිතයක් සඳහා අවශ්‍ය වන සුභ සාධන කටයුතුවල නිරත වූයේ, ඔවුනට අධ්‍යාපනය ලබාදීමට යොමු වූයේ, එබඳු පියවරවලින් තොරව ස්ත්‍රීන්ට ස්වාධීනත්වය ලබා පූර්ණ පුරවැසියන් ලෙස සක්‍රීයව කටයුතු කිරීමට ඉඩ නොසැළසෙන බව ඈ දත් හෙයිනි.

මීනා දුටු පරිදි අධ්‍යාපනය යනු සාක්ෂරතාවය හෝ පොතපත කියවා දැනුම ලබා ගැනීමට ඇති හැකියාව වඩා ගැනීම ම නොවේ. ඒවා ද ඉක්මවා යන, ක්‍රියාකාරී පුරවැසියන් වීමට අවශ්‍ය අධ්‍යාපනයයි, (එයද සිවිල් අයිතිවාසිකම් පිළිබඳ, පොතපතේ පුරවැසි අධ්‍යාපනය නොවේ.) මීනා ට ඇගේ ගුරුවරියන්ගෙන් ලැබුණේ එවැනි අධ්‍යාපනයකි. ඇෆ්ඝනු සමාජයේ සෙසු ස්ත්‍රීන්ට ද එවැනි අධ්‍යාපනයක් ලබාදීම මීනාට අවශ්‍ය වූවා නිසැක ය. ලෝකය විනාශ නොකොට, එය රැක ගන්නා දේශපාලනයකට අප යොමු කරන්නේ එබඳු අධ්‍යාපනයකි.

බලය – දැනුම

මීනා දුටු පරිදි බලය වූයේ පොත – පතින් ලබා ගත හැකි නැවත පුනරුච්ඡාරණය කළ හැකි දැනුම නොව දේශපාලනිකව මැදිහත් වන්නට පුද්ගලයන් තුළ ඇති ස්වාධීනත්වය යි, ධෛර්යය යි. බලයෙන් පිටස්තරව කෙරෙන දේශපාලනය අගති විරහිත භාවයෙන් තොරව කෙරෙන මෙම මැදිහත්වීමයි. මීනා ගේ ලෝකය තුළ, යහපත් අධ්‍යාපනය ස්ත්‍රීන් ගේ ජීවිත නඟා සිටුවීමට ක්‍රියා කිරීමට ස්ත්‍රීන් පොළොඹවයි.

නූතන බහුජන සමාජයන්හි බහුජන අධ්‍යාපනය බහුජන සමාජ සංචලතාව සඳහා මාර්ග සපයා දෙයි, සාක්ෂරතාව ලබා දෙයි, පොතේ පතේ දැනුම ලබා දෙයි. නමුත් යහපත් අධ්‍යාපනය මින් ඔබ්බට යමින් උසස් රුචිකත්වයක් වගා කර ගැනීම සඳහාත්, නිදහස සඳහාත් අවශ්‍ය ස්වාධීන සිතුවිල්ලක්, සරු පරිකල්පනයක් වගා කර ගැනීමට අවස්ථාව ලබා දෙයි. අධ්‍යාපනය යනු ස්වාධීන මනස් ඇති ලෙසින් පුරවැසියන් ලෝකමය බවෙහි සීමාව තුළ ගොඩ නගා සහ වඩා ගැනීම යි, විචක්ෂණ හැකියාව වගා කර ගැනීමට මග පෙන්වීම යි. ලෝකය විනාශ නොකරන පරිද්දෙන් සාමුහික ජීවිතයට සක්‍රීයව මැදිහත් වන පුද්ගලයන් බිහි කිරීම යි. නිසි, යහපත් අධ්‍යාපනයක් ලැබූ තැනැත්තියක සක්‍රීය පුරවැසියෙකු වෙතැයි සහතිකයක් නැතත් එසේ වීමට ඉඩ තිබේ. නමුත්, යහපත් අධ්‍යාපනයක් වටිනා දෙයක් කොට සැළකෙන සමාජයක, මීනා නම් ස්ත්‍රියට සාමුහික ජීවිතයෙහිලා මැදිහත් වන්නට අවශ්‍ය, අධ්‍යාපනයක් ලැබීමේ වාසනාව හිමි විය.

ගුරුන්ට සිසුනට එබඳු මග පෙන්වීමක් කළ හැක්කේ, එලෙස සමාජයට මැදිහත්වීමේ ආශාව, සදාචාරමය හැඟීම, ඔවුන් හැදුණු වැඩුණු පසුබිමෙන් දනටමත් ඔවුන්ට ලැබී ඇත්නම් පමණි. මේ පසුබිම සිසුවියකට ලැබෙන්නේ ඔහු හෝ ඇය අයිති සදාචාරමය පර්යාය තුළ ඇයගේ හැදියාව කොතෙක් දුරට ප්‍රබලව ස්ථානගත වී ඇත් ද යන්න මතය. (බටහිර නූතන සමාජයන්හි සමාජයේ ආන්තිකකරණයට ලක් වූ පුද්ගලයන්ට අධ්‍යාපනය ලබාදීම පිළිබඳ මෙබඳු දෘෂ්ඨියකින් විග්‍රහයෙහි යෙදෙන ලේඛකයන් දෙදෙනෙකි, නිව්යෝර්ක් නුවර වසන අ’ර්ල් ෂොර්ස් (Earl Shorris) සහ ලංඩනයේ මනෝ‍වෛද්‍යවරයෙකු ලෙස දිගු කලක් සේවය කොට දැනට පැරීසියේ පදිංචිව සිටිමින් තියඩෝර් ඩැල්රිම්පල් (Theodore Dalrymple) යන නමින් බටහිර යුරෝපීය සමාජය පිළිබඳව ලිපි ලියන ඇන්තනි ඩැනියෙල්ස් (Anthony Daniels) ලේඛකයා. බලන්න අ’ර්ල් ෂොර්ස් ගේ අන්තර්ජාලයෙන් කියැවිය හැකි ලිපිය “ On the Uses of a Liberal Education: As a Weapon in the Hands of the Restless Poor.“ ඩැල්රිම්පල් ගේ ලිපි සඳහා බලන්න City Journal , New English Review , Spectator සහ විකිපීඩියා වෙබ් අඩවි)

හැනා ආරෙන්ඩ්ට් Between Past and Future නමැති කෘතියෙහි එන “The Crisis in Education” ලීපියෙහි දේශපාලනය සහ අධ්‍යාපනය අතර සම්බන්ධය පිළිබඳ මෙසේ ලියයි:

“අධ්‍යාපනයට දේශපාලනයෙහි ලා කොටසක් ඉටු කළ නොහැකිය. මන්දයත් දේශපාලනයෙහි ලා හැම විටමත් දැනටමත් අධ්‍යාපනය දෙනු ලැබූ අය සමග කටයුතු කරන්නට අපට සිදු වන හෙයිනි. වැඩිහිටියන්ට අධ්‍යාපනය දීම අවශ්‍ය කෙරෙන කවරෙකුට හෝ වේවා සැබැවින්ම අවශ්‍ය කෙරෙන්නේ ඔවුන්ගේ භාරකරුවා ලෙස ක්‍රියා කොට දේශපාලන ක්‍රියාකාරකමෙන් ඔවුන් වළක්වාලීමයි. යමෙකුට වැඩිහිටියන් ට අධ්‍යාපනය දිය නොහැකි හෙයින් “අධ්‍යාපනය” යන වචනයට දේශපාලනයෙහි ලා නපුරු ශබ්දයක් තිබේ ; සැබෑ අරමුණ බලය යෙදීමෙන් තොරව බලකිරීම වන තැන, [දේශපාලනයෙහි දී] අධ්‍යාපනය දෙන්නේ යැ යි [කීම] බොරු ඇඟවීමකි. අධ්‍යාපනය යනු බලය සහ සීමා පැනවීම් හෝ ඒත්තු ගැන්වීම ද යොදා ගැනීම නොවේ. එහෙයින් අධ්‍යාපනය තුළින් බැරෑරුම් ලෙස නව දේශපාලන පර්යායක් නිර්මාණය කිරීමට අවශ්‍ය තැනැත්තාට භයංකාර ප්ල්ටෝනීය නිගමනයට එන්නට සිදුවෙයි : බිහි කරන රාජ්‍යයෙන් සියළුම වැඩිමහළු ජනයා පිටුවහල් කරන්නට සිදුවෙයි” (177 පිටුව).

වැඩිහිටියන්ට දේශපාලනික අධ්‍යාපනයක් දිය නොහැකි යැ යි, කීමෙන් හැනා ආරෙන්ඩ්ට් අදහස් කළේ විමුක්තිකාමී දේශපාලනයක් තිබිය නොහැකි බවයි. දේශපාලනික ස්ත්‍රීවාදය යනු පෙරටුගාමීන් විසින් ස්ත්‍රීන්ට විමුක්තිය ලබාදීම අරමුණු කර ගත් ව්‍යාපාරයක් විය නොහැකි ය. එය ස්ත්‍රීන් එක්ව දේශපාලනයෙහි නිරත වෙමින් තමන් තමන් විසින්ම බල ගන්වන ක්‍රියාකාරකමකි.

මූලධර්මවාදය

‘මූලධර්මවාදයේ භූමිය බලයෙන් පැටවෙන සමාජ වෙනස මගින් ඇති කෙරෙන කාන්සාවන් ය,’ (x පිටුව) යන අදහස, සමාජීය සහ දේශපාලන වශයෙන් අප වටහා ගන්නේ කෙසේ ද? බලෙන් පැටවෙන සමාජ වෙනස සමාජයට ඇති කරන අස්ථානගත කිරීම්, අස්ථාවර භාවයන් ජනයාගේ ජීවිත අවුල් කරයි, ඔවුන් දෙපා තබා සිටින භූමියට යටින් වල කපයි, ඔවුන්ගේ අනන්‍යතාවයටම තර්ජනයක් එල්ල කරයි.

“මූලධර්මවාදය වෙනස්වීමට බිය මිනිසුන්ගේ සිත් දිනා ගනියි” …..‘වෙනස්වීමට, නවීකරණයට ඇති පිළිතුර හිංසාව දිශාවට හැරෙන එක නොවෙයි. ඒවා අරගෙන යහපත සඳහා යොදා ගැනීම යි’ (44 පිටුව). මේ මීනා ගේ ගුරුතුමිය, සදාෆ් ගේ අදහස යි. මිනිසුන් වෙනස්වීමට බිය වන්නේ මන් ද? වෙනස සීඝ්‍ර නම්, තීව්ර නම් මිනිස්සු වෙනස්වීමට බිය වෙති. ස්ථායීභාවය, ස්ථාවර භාවය මිනිස් ජීවිතය දීර්ඝකාලීනව පවත්වා ගෙන යාමට අත්‍යාවශ්‍ය ය. වෙනස්වීම, යහපත සඳහා යොදා ගැනීම මිනිසුන් තමන්ට ගැළපෙන වේගයකින්, ආරකින් කළයුත්තකි. වෙනස්වීම දැනටමත් මිනිසුන් එතුළ ස්ථානගත වී ඇති සදාචාරමය පර්යායට අභියෝග කරන්නේ නම් හැව අරින්නාක් මෙන්, ඇඳුම් මාරු කරන්නාක් මෙන් නව සදාචාර පර්යායක් වැළඳ ගැනීමට මිනිසුන්ට නොහැකිය. මන්දයත් එසේ කරන්නට නම් ඔවුන්ට තම අනන්‍යතාවයම වෙනස් කරන්නට සිදුවනු ඇති හෙයිනි.

ජාතිකවාදයේ සදාචාර භූමිය සාමුහික ප්‍රජාව පිළිබඳ අපේක්ෂාවයි. එය ජාතිකවාදයෙන් නොලැබෙයි. මූලධර්මවාදය, ජාතිකවාදය, පතන්නේ සාමුහික ප්‍රජාවක් පිළිබඳ තමන්ගේ සම්ප්‍රදායික විශ්වාසය ඇතිවෙමින් පවත්නා වෙනස්කම් හමුවේ එලෙසින්ම රැක ගැනීමයි. මිනිසුන්ට තමන්ගේ අනන්‍යතාවන් සම්පාදනය කරන, තමන් සාමුහිකයක සාමාජිකයන්ය යන හැඟීම ලබා දෙන සදාචාරමය පදනම අභියෝගයට ලක් කෙරෙන වේගවත් සහ තීව්ර වෙනස්වීම් වලට මුහුණ පාන්නට සිදුවන විට සීමාන්තික ප්‍රතික්‍රියාවන් සමාජයක ජනිත වෙයි. වේගවත් සහ තීව්ර වෙනස්වීම් දරා ගත නොහැකි මිනිස්සු තමන්ගේ දිවි පුදා හෝ අනුන්ගේ දිවි බිලිගෙන හෝ එයට ප්‍රතිරෝධය දක්වති. තමන් අගය කළ ප්‍රතිසංස්කරණවාදී සමාජය මූලධර්මවාදයට යටවනු නොදීමට අරගල කිරීමට තීරණය කළ මීනා ඒ වෙනුවෙන් දිවි පිදුවාක් මෙනි.

ස්ත්‍රීභාවය

මීනා කෘතියට පෙර වදනක් ලියන සුප්‍රසිද්ධ ඇමරිකානු ලේඛ්කා ඇලිස් වෝකර්, ස්ත්‍රීභාවය පුරුෂයාගෙත් මුළු ලොවෙහිත් අඩක් වන්නේ යැ යි කියන විට, ඉන් ගම්‍ය කෙරෙන දේශපාලන කරුණ කුමක් ද? එය පුරුෂයා හා සමතැන ඉල්ලා සිටින සම්ප්‍රදායික නූතන ස්ත්‍රීවාදයට වෙනස් මඟක් ගනියි.

ඇලිස්වෝකර් කියන්නේ ස්ත්‍රීන් නිදහස ලබන්නට නම් පිරිමින් ස්ත්‍රීන්ට වෛර කිරීමෙන් නිදහස් වී ඔවුන්ට ගරු කරන්නට උගත යුතු බවයි. ඇලිස් වෝකර් පුරුෂයන් ස්ත්‍රීන්ට කුරිරු වීම ගැන කියන විට ඉන් කියැවෙන්නේ එය පුරුෂයන් සමාජයීය වශයෙන් ගොඩ නඟා ගත් දෙයක් බවයි. සමාජයක් ස්ත්‍රීන්ට කුරිරු වීමට පුරුෂයන්ට උගන්වන්නේ මන් ද?

‘දේශපාලනය පිළිබඳ පුරුෂ මතය වන්නේ අප තුළ ඇති ස්ත්‍රීභාවය ආණ්ඩු කිරීම’ යැයි වැනි අදහසක් ඇලිස් වෝකර් ගෙන් කියැවෙන්නේ ද? අප තුළ ඇති ස්ත්‍රී භාවය යන අදහස නියෝජනය කරන්නේ අපගේ ආශාවන් ද? බලය මුල් කොට ගෙන කෙරෙන දේශපාලනය, රාජ්‍ය කේන්ද්‍රීය වීමෙන් ඉලක්ක කරන්නේ අපගේ ජීවිතයේ මෙම ස්ත්‍රීමය පාර්ශ්වය, එනම් නීට්ෂේ කී, අපගේ ඩයෝනීසියානු පාර්ශ්වය, යටපත් කොට තැබීම ද?

ඇෆ්ඝනු පිරිමින් මූලධර්මවාදයට හැරෙන්නේ ස්ත්‍රීන් යටත් කොට තබා ගැනීමෙන් ඔවුන් තම නිදහස තහවුරු කර ගන්නා නිසා ද? මූළධර්මවාදයට ස්ත්‍රීන් පාලනය කිරීම අවශ්‍ය වන්නේ පිරිමින්ට ස්ත්‍රීය මගින් සංකේතවත් වන තමන්ගේම ආශාවන් පාලනය කරගැනීම අවශ්‍ය වන නිසා ද? පුරුෂයෙකු වීම යනු ආශාවන්, ජීවන අවශ්‍යතාවයන් තෘප්තිමත් කිරීම මත පදනම් වූ පෞද්ගලික පරිමණ්ඩලයේ ජීවිතය ජයගෙන මහජන තලයට ප්‍රවිෂ්ඨ වීම ද?

මූලධර්මවාදයේ, ජාතිකවාදයේ මූලයන් අවබෝධ කර ගැනීම, ඒවාට පක්ෂ වීමක් නොවේ. මෙම ප්‍රවණතාවයන්ට එරෙහිව අරගල කිරීම ක්‍රියාකාරී දේශපාලන තලයේ සිදුකළ යුත්තකි. විග්‍රහයේදී කළ හැකි දෙයක් වන්නේ මූලධර්මවාදයට, ජාතික වාදයට අනුගත වන්නන්ට, තමන් දරන සදාචාරාත්මක ආස්ථානය මතු කොට පෙන්වා දීමයි. මූලධර්මවාදය බහුත්වයට එරෙහිව යයි, තහංචි පනවයි, තම අදහස් සමාජය මත බලෙන් පටවයි, ස්ත්‍රීන්ට පරිපූර්ණ මනුෂ්‍යයන් ලෙස ජීවත් වීමට ඇති අයිතිය ප්‍රතික්ෂේප කරයි, අනුන්ගේ මත නොඉවසා ඒවා නිහඬ කරන්නට බලාත්කාරයෙන් තර්ජනය යොදවයි, ස්ත්‍රීන් මත බොහෝ විට ද්විත්ව පීඩනයක් පටවයි. මෙය ආගමික හෝ ජාතිකවාදී ව්‍යාපාරයන්ට සීමාවූවක් නොවේ. එබඳු ලක්ෂණ රැසක් තමන් ප්‍රගතිශීලී යැයි පෙන්නුම් කරන ‍සමහර දේශපාලන සංවිධාන වලද තිබේ.

නමුත්, බහුත්වයේ සීමාව ඇත්තේ කොතැනද? ඒ සාමුහික පැවැත්ම ඒ නිසා අකර්මන්‍යව යන තැන ද?

සමාජයක් වෙනස් වන්නේ කෙසේ ද?

රටක්, සමාජයක් වෙනස් වන්නේ කෙසේ ද? ප්‍රධාන කොටම, එහි අභ්‍යන්තර ගතිකයන් මූලික කොට ගෙනය. සමාජයක් විනාශ නොවී වෙනස් වන්නට නම් “තමන්ගේම න්‍යාය පත්‍රයක් තුළ තමන්ගේම වේගයෙන්’, (19 පිටුව) එම වෙනස්වීම් සිදුවිය යුතු වෙයි. “ඒ ඒ සමාජයට ඓන්ද්‍රීය ලෙස එහිම වේගයෙන්, එහිම ආරට සමාජ වෙනස්කම් සිදු නොවන්නේ නම් එවැනි සමාජ තුළ ඇතිවන කාංසාවන් මූලධර්මවාදීන්ට සරුපසක් සපයන බව මීනා දැන සිටියාය” (x පිටුව).

නාගරික, මැද පන්තික ඇෆ්ඝනු ගැහැණුන්ට කලෙක එක්තරා නිදහසක් ලැබී තිබී යළි එයද අහිමිවීමෙන් පෙනෙන්නේ සමාජීය වෙනස්කම් ප්‍රගතිශීලී හෝ ප්‍රතිගාමී වන්නේ, ප්‍රතිගාමිත්වයේ සිට ප්‍රගතිශීලීත්වය කරා යන අනවරත ඉදිරි ගමනක් ලෙසින් නොවන බවත්, නිදහස හැමවිටමත් ආයාසයෙන් රැකගත යුතු දෙයක් බවත් ය. සමාජයේ යහපත් වෙනස්කම් න්‍යාය හැදෑරීමෙන් නොව දේශපාලන අරගල තුළින් ඇතිවන අතර ඒ යහපත් වෙනස්කම් දේශපාලන ක්‍රියා මගින් වැර වෑයමෙන් රැක නොගත හොත් ඒවා ඉක්මනින් හෝ පසුව හෝ අහිමි වී යා හැකිය. මෙකල ලිබරල්වාදී චින්තනය යටතේ සමාජය වෙනස් වෙද්දී කලකට පෙර ජනයා දිනාගෙන තිබූ වෘත්තීය අයිතිවාසිකම් මෙන්ම මහජන සේවාවන්ද එකින් එක අහිමි වීගෙන යන්නාක් මෙනි.

සමාජයක ඇති කරන වෙනස්කම් ලෝකය විනාශය කරා ගෙන යන ඒවා නොවිය යුතුය. සමාජයක් මත බලෙන් පනවන වෙනස්කම් ලෝකය විනාශ කරයි. බලෙන් පැටවෙන අන්තවාදී සමාජ වෙනස්කම් සංරක්ෂණය සඳහා වන අන්තවාදී ගතානුගතික ප්‍රතික්‍රියාවන් සමාජය තුළ මතු කරයි. සමාජය මානවීයව පවතින්නේ, ඊට මානවීය මැදිහත්වීම් කරන්නට එය අවකාශ සළසනතාක් කල් පමණි. මෙය ලිබරල්වාදීන් කියන්නාක් මෙන් හුදු නිවැරදි ව්‍යවස්ථාව සම්පාදනය කිරීම පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. ව්‍යවස්ථා පැනවීමෙන් ඔබ්බට ගොස් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අවකාශයක් නිර්මාණය කිරීම පිළිබඳ කරුණකි. එවැනි අදහසක් ගැන සිතීමට නූතනත්වය පිළිබඳ කතිකාවේ ගැලී සිටින අපට පරිකල්පනීය ශක්තියක් නොමැත. විනාශකාරී නොවී ලෝකය සංරක්ෂණය කළ හැක්කේ කෙසේ දැයි අප සිතා බැලිය යුතුය.

සමාජයක් වෙනස් වන්නේ සමාජය වෙනස් කිරීමේ කටයුත්තේ නායකත්වය දෙවියන් වහන්සේ විසින් තමන්ට පවරා ඇතැයි විශ්වාස කරන පෙරටුගාමීන් හෝ ඔවුන් ලෝකයට සපයන මතවාදී, දෘෂ්ටිවාදී නායකත්වයක් නිසා හෝ නොවේ, ඒ සියල්ල තිබියදීත් සිදුවන දේශපාලනය නිසාය. නිදහස් දේශපාලනයට ඉඩ ඇති තැන හැම මතවාදයක්ම, දර්ශනවාදයක්ම, න්‍යායක්ම මහජන කතිකාවේදී අභියෝගයට ලක්වන තවත් හුදු එක් මතයක් පමණි. සමාජය වෙනස් වන්නේ මෙලෙස සමාජයට පිටතින්, ඉහළින් සිටින්නන් ලෙස එය අකා මකා හෝ තමන් සිතැඟි පරිදි එය අලුතින්ම ප්‍රතිනිර්මාණය කිරීමේ සිහින දකින්නන් නිසා නොව, එහි සම්බන්ධිත විචාරකයන්, සාමාජිකයන් ලෙස එයට මැදිහත්වන්නන් නිසාය. එබඳු හැම සම්බන්ධිත විවේචිකාවක්ම එම සමාජයට කරන දේශපාලන මැදිහත්වීමෙන් ඇතිවන වෙනස්කම් “එහිම වේගයෙන් එහිම ආරට” සිදුවන ඒවා වෙයි. න්‍යාය නොව, දේශපාලනයේ විවෘත, නිදහස් ස්වභාවයම සමාජ වෙනසේ වේගය සහ ආර තීරණය කරන හෙයිනි, ‘දේශපාලනය සඳහා න්‍යාය කඳුලක්වත් අවශ්‍ය නොවේ,’ යයි අප අවධාරණය කරන්නේ.

මෑත කාලයේ ලංකාවේ මූලධර්මවාදය, ජාතිකවාදය නැඟී ඒමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ ලාංකීය සමාජය මත සීඝ්‍ර වෙනස්කම් බලෙන් පැටවීමට නැඹුරුවක් දක්වන මාක්ස්වාදී සහ ලිබරල්වාදී ක්‍රියා මාර්ගයන් යැයි මා කියන විට මා ප්‍රතිගාමියෙකු යැයි, ජාතිවාදියෙකු ‍ යැයි හංවඩු ගැසිමට මගේ මාක්ස්වාදී සහ ලිබරල් මිතුරන් පවා පෙළ‍ඹෙනු නිසැකය.

කුමුදු කුසුම් කුමාර
14.05.2008

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )