සාහිත්‍යයට ප්‍රමිතීන් පිහිටුවා ලීමට ගන්නා උත්සාහය ‘බූර්ෂුවා’ ද? : විශදභාවයන්ට (distinctions) එරෙහි පශ්චාත් නූතනවාදය

මෙම ලිපිය කැනඩාවේ Globe and Mail නමැති ජාතික පුවත්පත පළකරන ‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ විශේෂාංගය ඇසුරෙන් අප පළකරන්නට අදහස් කරන ලිපි මාලාවෙහි දෙවැනි ලිපිය යි. අපගේ පළමු ලිපියට අප දිරිගන්වන සුළු ප්‍රතිචාර ලැබී තිබේ. අපට උපකාර කිරීමට, පරිවර්තනයෙහි ලා දක්ෂකම් දක්වන කිහිප දෙනෙකුම දැනටමත් ඉදිරිපත් වී සිටිති.

අද අප පළකරන ලිපිය, Globe and Mail පුවත්පතේ මෙම විශේෂාංගය සංස්කරණය කරන, එම පුවත්පතේ පොත්-පත් විශේෂාංගයේ සංස්කාරක මාටින් ලෙවින්, ‘ශ්‍රේෂ්ඨතම පොත් 50’ තේරීම පිළිබඳ අදහස හා සබැඳි ක්‍රියාවලිය සහ ඒ ආශ්‍රිත ගැටළු, පිළිබඳ කරන සාකච්ඡාවකින් සංක්ෂිප්තව සකස් කරගත් එකකි.

දෙවනුව, මෙම පොත් 50 තේරීමේ යෝජනාවට එම පුවත්පතේ විද්‍යුත් සංස්කරණයට පාඨකයන් ඉදිරිපත් කළ විවිධ අදහස් වලින් වැදගත් යැයි හැ‍ගෙන ඒවා සංස්කරණය කොට ඉදිරිපත් කරමු. මාටින් ලෙවින් ගේ මෙන්ම Globe and Mail පාඨකයන්ගේ ද අදහස් (පළමු දින කිහිපය තුළ මාටින් ලෙවින්ගේ ලිපියට ලැබී තිබුණේ පාඨක ප්‍රතිචාර 27 ක් පමණි. පසුව එය 32 දක්වා ඉහළ ගියේය. අද වන විට එම සංඛ්‍යාව 500 ට ආසන්නය.) සළකා බලන කළ අපගේ අවධානයට යොමුවන කරුණු කිහිපයකි.

පළමුවැන්න, සාහිත්‍යය පිළිබඳව ඔවුන් අතර පවතින ආකල්ප අතර ඇති වෙනස්කම් පිළිබඳ වෙයි. සාහිත්‍යයට ප්‍රමිතීන් නැතැයි, එබඳු ප්‍රමිතීන් පිහිටුවා ලීමට ගන්නා උත්සාහයන් බූර්ෂුවා, ප්‍රභූ උත්සාහයන් යැයි නැගෙන මතයකට එරෙහිව මාටින් ලෙවින්, ඔහුගේ ජූරි මණ්ඩලය, ලේඛක මණ්ඩලය මෙන් ම බොහෝ පාඨකයෝද පෙනී සිටිති. නමුත් තමන් ගේ අදහසට එරෙහිව පළවන, විරෝධාකල්ප හෙළාදැකීම් පවා යටපත් නොකොට පළකරන්නට, සහ ඒ සමග විවෘතව සංවාද කරන්නට තරම් ආත්ම විශ්වාසයක් ද ඔවුනට තිබේ. දෙවැන්න, එබඳු සංවාදයක දී එහි පාර්ශවයන් පළකරන ශිෂ්ඨ සම්පන්නභාවය යි. ඒවා විමසිල්ලෙන් කියැවීමෙන් අපට උගත හැකි දෑ බොහෝය.

තෙවනුව, කැනඩාව වැනි, ඉංග්‍රීසි මවුබස කරගත්, උසස් අධ්‍යාපනය ත් ඉතා පුළුල්ව පැතුරුණු රටක පවා සාහිත්‍යයට වර්තමානයේ අත්වී ඇති ඉරණම එක අතකින් කියා පාන්නකි, මෙම විශේෂාංගය හා සබැඳි පාඨක සංවාදය. එරට උගත් යැයි පිළිගැනෙන, ජනගහණය හා සසඳන කළ මෙම විශේෂාංගය වෙනුවෙන් ප්‍රතිචාර දැක්වූ පිරිස ප්‍රතිශතයක් වශයෙන් ගත්කළ ඉතාම ස්වල්පයක් යැයි කිව හැකිය. නමුත් සාහිත්‍යය වෙනුවෙන් පෙනී සිටින සුළු පිරිසට ඒ පිළිබඳව ප්‍රබල අදහස් තිබීම, සාහිත්‍යයේ අනාගතය පිළිබඳ බලාපොරොත්තුවේ ගිනි පුපුරක් දල්වා ලන්නේ යැයි කීම නිවැරදි යැයි සිතමු.

අපගේ මුල් ලිපිය පළකරන අවස්ථාව වනවිට Globe and Mail ප්‍රකාශයට පත්කළ පොත් නාමාවලියට මේ වනවිට පහත සඳහන් පොත් ද එකතු වී තිබේ.

Herodotus ගේ The Histories
Herman Melville ගේ Moby-Dick
Gustave Flaubert ගේ Madame Bovary

‘කතිකා’ සංස්කාරකවරු.

දිගටම කියවන්න.

ජේම්ස් බොන්ඩ් පොත්වලට ඉහළින් ඇනා කැරණිනා තැබීමට ඉඩ නොදෙන පශ්චාත් නුතනවාදී දෘශ්ටිය

ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50 නම් කිරිම සහමුලින්ම ලොකුකම සිතට ගත් ලේබලයක් බව මාටින් ලෙවින් පිළිගත්තේ ය. පාඨකයන් මෙම ලැයිස්තුවට අයිති යැයි හඟිනු ඇති පොත් දුසිම් ගණනින් Globe and Mail ලැයිස්තුවෙන් මග හැරෙනු ඇති බවට නිසැක යැයි ද ඔහු පිළිගත්තේ ය. හුදෙක් ශ්‍රේෂ්ඨ පොත් 50 ක් නොව, ශ්‍රේෂ්ඨතම පොත් 50 ගැන ලියන්නේ මන්ද? අඩ වශයෙන් ඊට හේතුව, පාඨකයන් සාකච්ඡාවෙහි නිරතවීම අවශ්‍ය කිරීම යැයි ලෙවින් කීවේය. එය, සියළු ආකාරයේ, පක්ෂ, ප්‍රතිපක්ෂ අදහස් පළකරන්නන්ට සහ අඩු-පාඩු පෙන්වා දෙන්නන්ට අවකාශයක් සපයා දෙනු ඇත. අඩ වශයෙන් ඊට හේතුව, විශදභාවයන් (distinctions) (පියරේ බෝඩියු මේ පිළිබඳ එකඟ නොවනු ඇති. ‘කතිකා’ සංස්කාරක.) පළකිරීමේදී අප ජේම්ස් බොන්ඩ් පොත් වලට ඉහළින් ඇනා කැරණිනා වරප්‍රසාද තැනක තැබීමට ඉඩ නොදෙන පශ්චාත් නූතනවාදී දෘශ්ටිය ගම්‍යමානව ප්‍රතික්ෂේප කිරීම යි.

එවැනි ලැයිස්තුවක කිසියම් ප්‍රතිපක්ෂවාදී අගයකුත් තිබේ, යැයි ලෙවින් කියා සිටියේය. පහත පළවන්නේ මාටින් ලෙවින් ගේ අදහස් වල සංක්ෂිප්තයකි.

Wired සඟරාවේ කෙවින් කෙලි (Kevin Kelly) කියන පරිදි ඩිජිටල්කරණය කළ විශ්ව පුස්තකාලයක් පිළිබඳ පුළුල්ව පැතිරුණු දූෂමාන මතය සළකා බලන්න. ඒ අනුව, දෙන ලද විෂයයක් පිළිබඳ සියළු කෘතීන්, විභේදනයකින් තොරව, ‘තනි දියර කලාලයක්’ සකසනු ඇත. ඉන් අදහස් වන්නේ Ovid කෘතිය කෙළවර වී, Dr. Ruth කෘතිය පටන් ගන්නා තැන කොතනදැයි කීමට අප තවදුරටත් සමත් නොවනු ඇත.

අපගේ අදහස පොතක් යනු හුදෙක්, පරීක්ෂාවට ලක් කෙරෙන දත්ත පදනමක් නොවේ. ශ්‍රේෂ්ඨ පොතක් ශ්‍රේෂ්ඨ යැයි කාලය මතින් විනිශ්චයට ලක්වන්නේ, එය අපට වෙන අන් තැනකින් ලබාගත නොහැකි මානව (හෝ අන්) කොන්දේසිය පිළිබඳව අළුත් යමක් අපට කියන දේවල් – අප මවිත කරවන සුළු අදහස්, අමතක නොවන සුළු චරිත, පාරිකල්පනික උත්කර්ෂණය සහ ප්‍රභාමත් ගැදි – අපට පිරිනමන හෙයිනි.

පොත් 50 අනු පිළීවෙළ ගත නොකෙරෙනු ඇත. ඒවා තේරීමම දුෂ්කරබව අතින් ප්‍රමාණවත් වනු ඇතැයි අපි තේරුම් ගෙන ඇත්තෙමු. මෙම ‍පොත් තෝරා ගනු ඇත්තේ අපගේ විශේෂඥ (හරියටම කවරෙකු හෝ සැබැවින්ම විශේෂඥයෙකු විය හැකිවාක් මෙන්!) මඬුල්ලේ සාමාජිකයන් අතර සාකච්ඡා වලිනි. ඉතා පරෙස්සමෙන් රැකගැණුනු ඔවුන්ගේ අනන්‍යතාවයන්, ලිපි මාලාව අන්තිමට පාඨකයන්ට ඔවුන් හා ඍජුව සාකච්ඡා කිරීමට ඉඩ සළසනු ඇති විට, පමණක් හෙළිදරව් කෙරෙනු ඇත. හැම ලිපියක්ම ලියනු ලැබෙනු ඇත්තේ අදාළ පොත පිළිබඳ දැනුම – සාමාන්‍යයෙන් පුළුල් දැනුම ඇත්තෙකු විසිනි.

මේ සඳහා නිර්ණායකයන් පිහිටුවා ගැනීම පිළිබඳ ඇති අධික ප්‍රශ්න ගැන අපි වටහා ගෙන සිටිමු. එක් ජූරි සභිකයෙකු මතුකළ කේන්ද්‍රීය කරුණක් වූයේ පොතක සාහිත්‍යමය හෝ බුද්ධිමය වටිනාකම සහ එහි වැදගත්කම අතර මැදිහත්වීම කරන්නේ කෙසේද? යන්න යි. (හීබ්‍රෑ හෝ ග්‍රීක පිටපත් නොව) King James Bible (ජේම්ස් රජු බයිබලය) කාව්‍යමය වශයෙන් උත්කෘෂ්ට සහ වැදගත්කම අතින් නොපරයන සුළු වන හෙයින්, එය අපගේ නාමාවලියට ඇතුළත් නොවනු සිතාගැනීම මට දුෂ්කරය. නමුත්, එය, වැදගත්කම අතින් පැහැදිලිවම අසම සම වාගේම වන නමුත්, බාගවිට සාහිත්‍යමය අගය අතින් එසේ නොවන කෝරානය ගැන කියනුයේ කුමක් ද? නමුත්, අරාබි පාඨකයන්ට එහි සාහිත්‍යමය අගයක් තිබිය හැකිය, යන්නෙන් වෙනත් කාරණයක් එය මතු කරයි. යමෙකු විදේශ බසකින් ඇති කෘතියක් (හුදෙක් කෘතියක්ලෙසම) විනිශ්චය කරන්නේ කෙසේද?

ජපන් හෝ අරාබි කෘති තිබියාවේ. අපේ ජූරි සභිකයා නීට්ෂේ ගේ Thus spoke Zarathustra – (සරතුස්ත්‍රා එසේ පැවසීය) ගෙන හැර දක්වයි. මෙහි ලේඛනය රමණීය යැයි ජර්මානු කථකයන් අතර පොදු එකඟතාවක් තිබේ, නමුත් ඉංග්‍රීසි කථාකරන ජූරියකට ඒ බව කිව හැකිද? පරිවර්තනය සහ “වැදගත්කම” යන දෙකම මුසු කරන අවස්ථාවක් නම් රූසෝ ගේ The Social Contract (සමාජ ගිවිසුම) ය. මෙම පොත, කාන්ට්, හියුම්, ටෝල්ස්ටෝයි සහ සෑම පශ්චාත් – රූසෝ ප්‍රංශ ලේඛකයෙකුගේම පාහේ කෘතීන් ට දැනුම් දෙමින් ගණනය කළ නොහැකි බලපෑමක් ඇති කොට තිබේ. එසේ නමුදු, අපගේ ජූරි සභිකයෝ යෝජනා කරති, සාහිත්‍යය අදහස් වලට කරකාර බන්දන කෘතියක් ලෙස (ඔබේ කර්තෘ ලෙවින් ද ඇතුළුව) බොහෝ ඉංග්‍රීසි කථකයන්, The Confessions, (ශාන්ත අගොස්තීනු ගේ, පාපෝච්චාරණයන්) තෝරාගැනීමට ඉඩ තිබෙනු ඇති බව.

ඊළඟ කරුණ, එකතු කළ කෘතීන් ය. ඉතාමත් අවම වශයෙන් ප්‍රාඥ මට්ටමේ කෘතීන් අඩ-දොළොසක් අඩංගු වන ශේක්ෂ්පියර් ගේ එකතු කළ කෘති සඳහන් කිරීම රැවටිල්ලක් ද? නැතහොත් අපි හුදෙක් King Lear (ලියර් රජු) හෝ Hamlet (හැම්ලට්) තෝරා ගනිමු ද? ටී.එස්. එලියට් ගේ එකතු කළ කෘතීන් ද? නැතහොත් Four Quartets ද? නැතහොත් දෙකින් එකක්වත් නොවෙයි ද? එමිලි ඩිකින්සන් නාමාවලියට ඇතුළත් විය යුතු යැයි අප සිතන්නේ නම් ඇගේ අන් කෘතියක් වෙන් කොට ගැනීම කළ හැක්කේ කෙසේද?

කළෙක, ඉහවහා යන විද්‍යාත්මක වැදගත්කමකින් යුතු වූ කෘතීන් අප තක්සේරු කරන්නේ කෙසේද? : ඇරිස්ටෝටල්, නිව්ටන්, ගැලීලියෝ, වේසාලියස් (Vesalius). විද්‍යාව, යමක් වැරදිබව පෙන්වීම තුළින් ඉදිරියට යන හෙයින්, පසුව එන කෘතීන් මුලින් පළ වූ ඒවා අතික්‍රමණය කිරීම, විද්‍යාත්මක කෘතීන්ගේ ස්වභාවයම වෙයි. නිව්ටන්ගේ Principia Mathematica දැන් කියවන්නේ නැති තරම්ම විය හැකිය, නමුත් ඉන් තොරව, අපේ ලෝකය ගැන සිතා ගත නොහැකිය. විද්‍යාත්මක කරුණු බොහෝය, පොත් ද බොහෝය, ශ්‍රේෂ්ට වන්නේ ඉන් ඉතා ස්වල්පයකි. අපගේ පළමු තේරීම කුමක්දැයි විමසිල්ලෙන් බලා සිටින්න, තර්ක විතර්ක කිරීමට සූදානම් වන්න.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s