‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ – තෙවැනි ලිපිය :ලොලීටා
ලොලීටා: නොමිහිරියි, මේ බලන්නලෝරා පෙනී
පරිවර්තනය: කේ. කේ. සමන් කුමාර
PDF මාදිලියෙන් කියවන්න Download PDF
මෙබඳු තකතිරු දේ වලින් තමයි පුවත්පත් සිරස්තල හැදෙන්නෙ. ඔබ ව්ලැදිමීර් නබකොව්ගේ ලොලීටා කියවීමේ මහැඟි සතුට කිසිදා ලබා නැති වුවත් ඔබ එහිවන අපකිර්තිමත් වස්තු විෂය ගැන දන්නවා. මැදි වයසේ සිටින හම්බර්ට් හම්බර්ට් ඔහුගේ 12 වියැති සුළු දියණිය, සිඟිති දිය කිඳුරිය ඩොලරස් හේස්, විසින් ප්‍රේමයෙන් මුසපත් කරනු ලබනවා. ලොලීටා, යෙදුමක් ලෙසට උත්කර්ශනය ලැබ ඇති දුර්ලභ ග්‍රන්ථනාමයන් අතරින් එකක්.
ලොලීටා කියන්නෙ නිකම්ම ප්‍රේම කතාවක් නෙමෙයි. එය හිර ගෙදරක පාපොච්චාරණයක්, නොදැමුණු පුද්ගලයෙකුගේ විකුම් මං සැරියක්, නබකොව් පිළිකුල් කලාවූ “ප්‍රොයීඩියානු හූනියම” පිළිබඳ හාස්‍යානුකරණයක්, පැටලිලි සහගත ලෙස සැලසුම් කළ මිනීමැරුමක අබිරහසක්, එක්සත් ජනපද භූමි දසුන් සහ බස වෙත ලියූ රාගෝන්මාදී පෙම් හසුනක්. නබකොව් විස්මකුරු ලෙස අනුවර්තනය කරගත් තම වාග් මාලාවේ ගැලෙත්ම, මෙහි ගද්‍ය ප්‍රමුදිත මෙන්ම බහුශ්‍රැත ය, ලැසි පිමි සහිත මෙන්ම සරදම්කාරීය, සූක්ෂම සරදම් සහ රසවත් වාග් හරඹ වලින් තෙරපා හිරකොට අසුරා ඇත.
කලබැගෑනි සහගත ලෙස විනෝදකාමී මෙන්ම හදවත කුඩුපට්ටම් කරන තරම් ශෝකාකූල ලොලීටා යනු 20වන සියවසේ අනෙකුත් නවකතා එහි විචිත්‍ර දූලියෙන් හුස්ම සිරවෙන්නට හැරියාවූ කලා නිපුණයෙකුගේ රඟ දැක්වීමක්.
හම්බර්ට් සහ ඔහුගේ ‘ලෝ’ ඔවුන්ගේ නිර්මාපකයාත් සමඟ එක ලක්ෂණයක් බෙදාහදා ගන්නවා; ඔවුන් තිදෙනාම, කලාවේ කාචය හරහා ජීවිතය ගෙවමින් සෞන්දර්යයවාදීයි. හම් තමාවම උමතු කවියෙක් සේ උපකල්පනය කරනවා, නිතර අයහපත් දෛවයකට මුහුණදුන් කින්නරෝන්මාදීණ සගයකුවන ‘ෆෝ’ පිළිබඳ නිතර දැක්වෙන සාහිත්‍යික ව්‍යංගයන්ගෙන් පාපොච්චාරණයට ලුණු ඇඹුල් දමනවා. ලොලීටා ඇගේ ඝෝර මව චාලට්ගේ ඉමහත් අප්‍රසාදයට ලක්වෙමින් නැඟී එන තාරකාවක් සේ රඟපානවා.
ලොලීටා ජනප්‍රිය සංස්කෘතියේ ගැලී ගිය, “වෙළඳ දැන්වීමක් සේ ප්‍රීතිමත්” පරිසමාප්තියට පත් පාරිභෝගිකාවක්. හම්බර්ට් බහු මාත්‍රාමය ප්‍රහර්ෂයන්ගෙන් ගිනි ඇවිලගත් තම උකුලේ ඈව සුරතල් කරනා සඳ, ඈ විකට කතා කියවමින් සිටිනවා. ඔවුන් සංචාරක උගුලකින් සංචාරක උගුලකට දඩිබිඩියේ කඩාවදිනා හාම ඔහු ඇයට සලරූ සිත්තම්, සඟරා, ඇඳුම් සහ අබලි බබලි කෑම නොකඩවා සපයනවා. “හැම්බර්ගරයක් සහ හැම්බර්ගරයක් අතර ඇය නිත්‍ය ලෙසම එදිරිසහගත නිරවද්‍යතාවයෙන් යුතුව කලින් කී දෙය නිශ්චීතව තෝරනවා යැයි සිතන එකමත් දෙයක්. පිදුම්ලත් දරුවකුට වඩා අතිශය දරුණු ලෙස කුරිරු වෙනත් අන් කිසිවෙක් ඇත්තේ නෑ.”
මෙහි අපි දකිනවා හම්බර්ට්ගේ නහර ඔස්සේ අමාරුවෙන් ඇද්දී ඇද්දීයන කුණුව ගිය දෙයින් සමහරක්. හම්බර්ට් නින්දිතයි, පැහැරගත් කාම රාගයේ වැසිකිළි වලක් වසන් කරන “සිනමාලන්තයක පුරුෂත්වයේ” විසල් පුද්ගලයෙක්. හම්බර්ට්ගේ කම්සැපෙහි කරවටක් ගිලුණු අවතාරය සහ අරුමැසිවාදී ප්‍රතිවාදියාද වන නාට්‍ය රචක ක්ලෙයාර් ක්විල්ටි, ඊටත් වඩා නරකයි. නමුත් හම්, ලෝගෙන්, දැන් විඩාපත්ව වැහැරුණු මෙන්ම ගැබ්බර ඩොලී ෂිලර් මහත්මියගෙන් ඇගේ නොතරම්වූ පුංචි දිවිය අත්හරින්නටත්, තමා සමඟ යළි පලායන්නටත් අයදිනා සඳ ඈ කියනවා ඈ හැකි ඉක්මනින් යළි ක්විල්ටි වෙතත් ඔහුගේ ඉතා විභූෂිත අපචාරයන් කරාත් යළි යන බවත්. හම්බර්ට් කීර්තිමත් පුද්ගලයෙක් වගේ පෙනෙන්නට ඉඩ තිබුණත් තිබිය හැකියි, නමුත් කිවිල්ටි තමයි කීර්තිමත් කෙනා.
ඇයි? දොස් ලැබිය යුතු මෙහෙව් මිනිසුන් ගැන මෙච්චර ලස්සන පොතක් ලියන්නේ. “මැඩම් බොවාරි” ගැන නබකොව්ගේ කියවීම අපට ඒ ගැන තීරණාත්මක ඉඟියක් ප්‍රදානය කරනවා. ඔහු එමා බොවාරි මහත් භක්තියෙන් පුදන වැදගැම්මකට නැති තුට්ටු දෙකේ අරුමැසිවාදී නවකතා වලින් ෆ්ලෝබෙයාර් ලැයිස්තු ගත කරන සුලභ වැකි වලින් පදාසයක් උපුටා දක්වනවා. විෂය කාරණාව බාගේ විට අසැබි මෙන්ම පිළිකුල් සහගතයි, නමුත් ෆ්ලෝබෙයාර්ගේ සංරචනය සමතුලිත මෙන්ම නිසි ලෙස හසුරුවන ලද්දක් යැයි නබකොව් ලියනවා. ඔහු නිවේදනය කරනවා “මෙයයි ශෛලිය. මේකයි කලාව. පොත්වල සැබැවින්ම වැදගත්වන එකම කාරණාව මෙයයි.”
නබකොව් තර්ක කළා නරකම වර්ගයේ පාඨකයා නම් තමන් චරිත සමඟ අනන්‍ය වන කෙනා යනුවෙන්. ඒ දැන් ස්වයං- ස්වයං- ස්වයංමතකාපදාන යුගයේ ඕනෑවටත් වඩා සුලබ ජාතියේ කියවීමක්.
හම්බර්ට් නරක පාඨකයන් වෙත තදින් දමා ගැසූ අභියෝගයක්, පරිපූර්ණව ක්‍රියාවට නැංවූ කවට කමක්. තමන්ගේ කම්මැලි දනවන ඒකාකාරී ආත්මයන් හෝ දියාරු වටිනාකම් සොයා කියවනා අයව නබකොව් විසින් කළ හිස්, ආත්මාර්ථකාමී, “කකුල් පහේ රකුසකුගේ” අති සූක්ෂම ආලේඛ්‍යය විසින් එහෙම පිටින්ම වළක්වනු ලබනවා. තමන්ගෙම මොළයට දෙකක් ඇණ ගන්න ඕනැද? ඇමසන් වෙබ් අඩවියේ ලොලීටා පිලිබද එක් තරු අගයක් ලද විචාර කියවන්න. සමහර මිනිස්සු බාලකරාගෝන්මාදය තරමටම ව්‍යාජ අයිතිවාසිකම් කීමටද වෛර කරනවා: වචන ගොඩාක් ලොකුයි, කෙල්ල ගොඩාක් පුංචියි, නරක පොතක්, නරක මිනිහෙක්. ඇඩෝල්‍ෆ් අයිඛ්මානුත් මේ පොත “සදාචාර විරෝධී’” ලෙස ගත්තා.
මහජනයා නබකොව් සහ හම්බර්ට් එක් අයෙකු ලෙස සැලකූ ඕනෑම විටෙක බාලකරාගෝන්මාදය පිළිබඳ අභූතරූපී චෝදනාවලට වඩා වැඩියෙන් ඔහුගේ සිත රිදෙව්වේ කලාව ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි වටහා ගන්නට ඔවුන් තුළ ඇති නොහැකි කම යි. ඔහු කීවා “කතාවක් සත්‍ය කතාවකැයි හැඳින්වීම කලාවටත් සත්‍යයටත්, දෙකටම නින්දාවක්” කියා. සෑම විශිෂ්ඨ ලේඛකයෙකුම විශිෂ්ඨ ප්‍රයෝගකාරයෙක්, නමුත් ඒ පරිදිමයි, ප්‍රධාන රැවටිලිකාරයාවන සොබා දහම.
තවදු, විශිෂ්ඨතම සමනළවේදියෙකු වන නබකොව් එවායේ ඇති පණුගුල් පවා දක්වා ඇතම් සමනළ තටු තුරුපත් අනුකරණය කළ ආකාරයෙන් අමන්දානන්දයට පත් වුනා. එපරිදිම හම් ගේ සහ ලෝ ගේ “සමස්ථ නපුරේ ලෝකය” ඇබිති ජ්වලිත සවිස්තරයන්ගෙන් ගහණයි, දිදුළනු සුළු වගේම විචිත්‍රයි. ඔහු ගවේෂනය කරන්නට ඇලුම් කළ ඇමරිකානු වන දිවිය සේ. හම්බර්ට් අපට කියනවා ඔහුට හැකි වග “දකින්නට මගේ කාලකණ්නිකමට ප්‍රතිකාරයක් ලෙස කිසිවක් නැති බව දොම්නස මෙන්ම නිරවුල්ව හසුරුවන ලද කලාවේ ස්ථානීය නිර්වින්දනය මිස.” නමුත්, ලොලීටා තරම් ශ්‍රේෂ්ට වන කලාවක් නිර්වින්දනය සහ දොම්නස අතික්‍රමණය කරයි, හුදු ප්‍රීති ප්‍රමෝදය, නබකොව් “සෞන්දර්යාත්මක ප්‍රමෝදය” ලෙස හඳුන්වන උත්කර්ෂිත තත්ත්වය බවට පත් වෙමින්.
ලෝරා පෙනී සංසන්දනාත්මක සාහිත්‍යය පිළිබද ආචාර්ය උපාධිධාරිනියක්. ඇය මවුන්ට් සේන්ට් වින්සන්ට් සරසවියේ උගන්වනවා.
කේ. කේ. සමන් කුමාර, ලේඛකයෙකි, ලොලීටා කෘතියේ සිංහල සම-පරිවර්තකයාය.
ඔව්, එක කියවිය යුතු නියම පොතක්!
mam kiyewwa…
niyama pothak…
hewwa nane. kohenda meka ganna puluwan. kawda publisher and author