ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ – පස්වැනි ලිපිය:දාස් කැපිටාල්
ෆ්‍රැන්සිස් වීන්
පරිවර්තනය: දිමුතු සමන් වෙත්තසිංහ
PDF මාදිලියෙන් කියවන්න
Download PDF
[ එය ] අප කියවා නැති අතර අප කියවන්නේද නැති බව නොකිවමනාය.
අදාල විෂය පිළිබඳව කෘතියක් බිහිකළ අල්තුසර්ම පවා තම මතක සටහන් හි තමා “මාක්ස්ගේ ඡේද කිහිපයකට” වඩා කිසිවක් කියවා නොතිබුණු ප්‍රයෝගකාරයෙකු සහ රැවටිලිකාරයෙකු බව අවසානයේදී පාපොච්චාරණය කළේය.
එතෙකදු වුවත් පුළුල් අරුතින් ඔහු නිවැරදි විය: මාක්ස්ගේ ජීවිත කාලය තුළ, දාස් කැපිටාල් හි පරිසමාප්ත කළ එකම වෙළුම වූ එහි පළමු වෙළුම 1867 දී පළ කෙරුණ දා පටන්, අප වටා ඇති ලෝකය තුළ, සමකාලීන ඉතිහාසයේ නාටකයන් සහ ඝට්ටනයන් තුළ අප එය කියවා ඇත්තෙමු.
අවුරුදු 40කට වැඩි කාලයක් තිස්සේ නොදැනුවත්වම තමා වරනඟමින් තිබුණේ ගද්‍ය බව පුදුමයකට වගේ අනාවරණය කරගත් මොලියේර් ගේ බුර්ෂුවා මහත්මයා (gentilhomme) මෙන්, බොහෝ දෙනා මාක්ස්ගේ අදහස් අවශෝෂණය කරගෙන ඇත්තේ කවර කලෙකවත් පූර්ව දැනුවත්භාවයක් නොමැතිවය.
1992 ජනාධිපතිවරණ සමයේ බිල් ක්ලිටන්ගේ මැතිවරණ ප්‍රචාරක කාර්ය මණ්ඩලය තම බිත්තියේ ඇලවූ ප්‍රසිද්ධ සටන් පාඨය සිහිපත් කරන්න: “මෝඩයා, කාරණය ආර්ථිකයයි” – මෙය වනාහි අප අපගේ භෞතික තත්ත්වයන්ගේ නිර්මිතයන්ය යන්නත් නිෂ්පාදන ක්‍රමවල ඇති වන වෙනස්වීම් වැඩපළෙන් බොහෝ ඔබ්බට අපගේ සියලු සමාජ සම්බන්ධතාවලට ගැඹුරු අරුතකින් බලපාන්නේය යන්නත් පිළිබඳව වූ මාක්ස්ගේ තර්කයේ පරිපූර්ණ සංක්ෂේපයකි.
මෙම කෘතිය කියවා නැති බොහෝ දෙනා, මාක්ස්ගේ මෙම නොනිමි ශ්‍රේෂ්ඨ කෘතිය ආර්ථික නිබන්ධයක් යැයි උපකල්පනය කළද, මාක්ස් ම එය සැලකූයේ කලා කෘතියක් ලෙසය. එනම්, සාහිත්‍යයේ සහ පුරාණෝක්තිසංග්‍රහයන්ගේ සහ කර්මාන්තශාලා පරීක්ෂකවරුන්ගේ වාර්තා සහ සුරංගනා කථාවන්ගේද හඬවල් සහ උධෘතයන් එක සමීපව තබන උන්මූලවාදී සාහිත්‍යෙක කොලාජියක් (collage) මඟින් දේශපාලන ආර්ථික විද්‍යාවේ පටු සම්මතයන් කඩා බිඳ දමන කලා කෘතියක් ලෙසය.
දාස් කැපිටාල් කෘතිය තුළ ඇඩම් ස්මිත් තරමටම ෂේක්ස්පියර්ට ද බොහෝ සඳහන් තිබිය හැක. එය උපහාසය, අතිනාටකය, ගොතික් භීතිය සහ මාධ්‍යවාර්තාකරණය මුසුකරන්නේ අපගේ ද්‍රව්‍යමය අභිප්‍රායයන් සහ ඇළුම් මෙහෙයවන ප්‍රතිරෝධය දැක්විය නොහැකි එසේ වුවත් ගුප්ත බලවේගයට යුක්තිය ඉටු කරනු උදෙසාය.කැපිටාල් කෘතියේ ප්‍රථම පිටු කිහිපයෙන් ඹබ්බට යාමට ඒසා විශාල අරගලයක් කිරීමට යම් පාඨකයන්ට සිදුවන හේතුව එය විය හැක. කවර ආකාරයේ දෙයක්වත් මෙවැනි ගණයේ කෘතියක් උදෙසා අප සූදානම් කර තබා නැත: එය හරියටම ලන්ඩන් කලාගාරයක් තුළ මධ්‍ය-වික්ටෝරියානු යුගයේ මහතකු හදිසියේම ජැක්සන් පොලොක් තීන්ත වෑස්සෙන්නට ඇර ඇඳි සිතුවමක් හමුවට පැමිණුනා වැනිය.
ප්‍රාරම්භක පරිච්ඡේදය වශයෙන් ඉතාමත් වියුක්ත සහ හිස් වියවුල් කරන කොටස් වලින් එකක් – පාරිභෝගික භාණ්ඩ පිළිබඳ රචනාව – ගෙන හැර පෑමෙන් මාක්ස් තම කර්තව්‍යය වඩාත් දුරවබෝධී කළේය. තම මිත්‍ර ප්‍රෙඩ්රික් එංගල්ස් එය තවත් පසුවට තල්ලු කිරීමට මාක්ස්ගෙන් අයැද සිටි විට ඔහු පරීක්ෂා කොට බලන ස්වරයෙන් ප්‍රතිචාර දැක්වූයේ “මම උපකල්පනය කරන්නේ නැවුම් යමක් ඉගෙනීමටත් සහ ඒ නිසාම තමා ම සීතීමටත් ඇලුම් කරන පාඨකයෙකු බව නොකිවමනා “ යැයි යනුවෙනි.
නමුත් ඔහුගේ අගතියෙහි අරමුණක් තිබිණි. ප්‍රථම වාක්‍යය තුළම ඔහු තම ක්‍රියා පද තෝරා ඇති ආකාරය දෙස බලන්න. “ධනවාදී නිෂ්පාදන මාදිලිය පැතිර ඇති සමාජවල ධනය, ‘පාරිභෝගික භාණ්ඩවල අනන්ත එකතුවක්’ ලෙස පෙනී යයි. තනි භාණ්ඩය එහි මූලික ස්වරූපය ලෙසින් පෙනී සිටියි. ” (අවධාරණය මගේය.)
අප පිවිසෙමින් සිටින්නේ අප්‍රාණික වස්තූන් එනම් පාරිභෝගික භාණ්ඩ – අයි පොඩ් (i Pod) එකක් හෝ ජේත්තුකාර අත්බෑගයක් වේවා – භයානක ජීවයක් සහ ප්‍රබලත්වයක් අත්කර ගන්නා සහ ඒ අතරතුර ඒවා නිපදවන වැඩ කරන ජනයා, අප්‍රාණික යන්ත්‍රවල තත්ත්වයට පිරිහෙළන තැනක් වන අවතාරයන්ගේ, මෝහයේ සහ මායාවේ ව්‍යාකූලත්වයේ ලොවකටය. මාක්ස් අපට මතක් කර දෙන පරිදි ෆ්‍රැන්කන්ස්ටයින් සහ ඔහුගේ යක්ෂයා මෙන්, ඔවුන් තර්ජනයට ලක්වන්නේ ඔවුන් විසින්ම නිර්මිත දේ මඟිනි.
වැළපෙන ස්ත්‍රීන්ගෙන් සහ ක්ෂය වී ගිය ළමා ශ්‍රමිකයන්ගෙන් ගහණ වූ, වැඩකරන දිනය පිළිබඳ තම පරිච්ඡේදයේ සම්භාව්‍ය ආර්ථික විද්‍යාඥයන් ලෙළවන ලද අපුද්ගල යැයි පෙනෙන සූත්‍රයන්ගේ මානව වැය ඔහු ගෙනහැර දක්වන්නේ ඩාන්ටේගේ ඉන්ෆර්නෝ Inferno සිහිකැඳවන දර්ශන අපට සලසමිනි.
දාස් කැපිටාල් ශුද්ධ වූ ලියවිල්ලක් ලෙස ඉදිරිපත් කිරීමේ ලා වූ යම් යම් මාක්ස්වාදීන්ගේ පරීශ්‍රම ඇති නමුත් එය ශුද්ධ ලියවිල්ලක් නොවේ. එහි නිහැඬියාවන් සහ අත්හැරීම්, දෝෂ සහ වැරදි වැටහීම් ඇත. ඔහු නව මහාද්වීපයක් (කාර්මික ධනවාදය නම් නොදැන සිටි භූමිය) අති දක්ෂ ලෙස අනාවරණය කර ගත්තේය යන කරුණෙන් ඔහු එහි සමස්ත භූමිය නිවැරදිව හඳුනාගත්තේය යන්න අදහස් නොවේ.
එසේ වුවත් මායාවේ කඩතිර විනිවිද ගොස් ඔහු ප්‍රථම වතාවට ධනවාදය රැකෙන සූරාකෑම, පරාරෝපණය සහ නිර්මාණශීලී විනාශය හෙළිදරව් කළේය.
සීතල යුද්ධයේ නිමාවෙන් පසු සමහර විවේචකයෝ දැන් දාස් කැපිටාල් ආචීර්ණ කල්පික යැයි ද අදාළ නොවේ යැයි ද පුපුරා හැර ඇතැයි ද යෝජනා කළෝය – නමුත්, දිගු කළකට නොවේ.
1998 නම් කාලයේ ආසියාවේ සහ අන් තැන්හි වෙළඳපොළ සංත්‍රාසයට ලක් වූ අතර ෆයිනැන්ෂියල් ටයිම්ස් Financial Times මහ හඬින් මවිතයට පත් වූයේ අප “දශකයකටත් අඩු කාලයකදී ගෝලීය ධනවාදයේ විජයග්‍රහණයෙන් එහි අර්බුදයටත්” ගමන් කර ඇත්ද යන්න පිළිබඳවයි.
එම ලිපිය ශීර්ෂපාඨගත කෙරී තිබුණේ දාස් කැපිටාල් නැවත පිවිසුමක් යනුවෙනි. ප්‍රාග්ධනය නොනැසී පවතිනතාක් කල් ලෝකය නවමු සහ වඩා තියුණු නාභිගත කිරීමකට ගෙන ඒමෙහිලා දාස් කැපිටාල් ග්‍රන්ථය සතුව ඇති අනුනාදය හෝ බලය කිසිදා නොනැසෙනු ඇත.
ෆ්‍රැන්සිස් වීන් Karl Marx: A Life සහ “Marx’s Das Kapital: A Biography හි කතුවරයා ය.
දිමුතු සමන් වෙත්තසිංහ හාන්ස් ජෝර්ජ් ගැඩමර් ගේ The Relevance of the Beautiful: Art as Play, Symbol and Festival සුන්දර දෙයෙහි අදාළත්වය: කලාව කෙළිය, සංකේතය සහ මේලාව ලෙසට යන නමින් සංහලට පරිවර්තනය කොට ඇත.
“ ලොව ශ්‍රේෂ්ටතම පොත් 50” මීළඟ ලිපිය මකියාවෙල්ලි ගේ The Prince කුමාරයා කෘතිය පිළිබඳ ය.
මෙවැනි ශ්‍රේෂ්ඨ කෘති කියවිමට තමර කාල වෙලා නැති අයට ඒ පිලිබදව යම් අවබෝධයක් ලබා ගැනිමට ඔබගේ මේ උත්සාහය යම් අස්වැසිල්ලක් වනු ඇතැයි මා විශ්වාස කරමි. ඉතාමත් යහපත් ඇගයිමට ලක් කළයුතු කාර්යක්.