කාලීන
PDF මාදිලියෙන් කියවන්න
Get PDF file here
නෝබෙල් සම්මාන ලාභී බ්‍රිතාන්‍ය නාට්‍ය රචක සහ නිෂ්පාදක හැරල්ඩ් පින්ටර් පසුගියදා අභාවප්‍රාප්ත විය. පහත පළවන්නේ පින්ටර් ගේ One for the road නාට්‍යය එනමින්ම සිංහලෙන් නිෂ්පාදනය කළ මාලක දේවප්‍රිය ‘වන් ෆෝ ද රෝඩ්’ ගැන ලියූ කෙටි සටහනකි.
“අපි කෙළින්ම කථාව ආරම්භ කරමු. වහෙන් ඔරෝ ඕන නෑ.” හැරල්ඩ් පින්ටර්ගේ ‘වන් ෆෝ ද රෝඩ්’ නාට්‍යයේ නිකලස් සංවාදය ආරම්භ කරන්නේ එහෙමයි. මම කැමතියි මේ රචනයත් ඒ විදියට පටන් ගන්න. හැරල්ඩ් පින්ටර් හා ඔහුගේ දිවිය සම්බන්ධව කිවයුතු සෑම දෙයක්ම මැනවින් පළවී අහවරයි කියලා මම විශ්වාස කරනවා. තවත් අයෙකුට කියන්න දෙයක් නොමැති තරමට. අන්තර්ජාලය ඒ බවට මනාව සාක්ෂි දරනවා. ඒ හින්දා මම කැමතියි හැරල්ඩ් පින්ටර්ගේ ‘වන් ෆෝ ද රෝඩ්’ නාට්‍යය ගැන පමණක් කථා කරන්න.
‘වන් ෆෝ ද රෝඩ්’ නාට්‍යය මා අතට පත්වන්නෙ එක්තරා අහම්බයකින්. ඒ කොළඹ සරසවියේ සිසුවකුව සිටි කාලයේ නාට්‍යයක් නිපැයීම සඳහා දිනක බ්‍රිතාන්‍යය කවුන්සිල පොත්ගුල පිරික්සීමේදී. කෘතියක් විධියට එය පිටු දහයකටත් අඩු හා චරිත ප්‍රමාණය හතරක් වීමත්, එක් පසුතලයක ගලා යන නාට්‍යයක් වීමත්, හේතුකොට ගෙන එය නිෂ්පාදනය සඳහා මම යොමු වුණා.
නාට්‍යය පරිවර්තනය කරමින් යන අතරවාරයේදියි ‘වන් ෆෝ ද රෝඩ්’ හි ගැඹුර මට අනාවරණය වන්න පටන් ගත්තෙ. බැලූ බැල්මට සරල ආකෘතියක් පෙන්නුම් කළත් මෙය ඉතා ප්‍රබල දේශපාලනික නාට්‍යයක් බව මම හඳුනාගත්තා.
‘වන් ෆෝ ද රෝඩ්’ පින්ටර් විසින් රචිත අනෙකුත් නාට්‍ය වලට වඩා සුවිශේෂ වනුයේ ඒ තුළ ඉතා ඍජුබවක් නැත්නම් කෙළින්ම කීමේ ආකෘතියක් දක්නට වීමයි. පින්ටර්ගෙම වචනයෙන් කිව්වොත් ඔහු බොහෝ නාට්‍ය ලියන්නෙ රූපකයක් එනම්, එක් දෙයක් ප්‍රකාශකිරීමට යොදා ගන්නා මාදිලියක් වශයෙනුයි. ඒත් ‘වන් ෆෝ ද රෝඩ්’ ඒ සියල්ලටම වඩා ඍජු ආකාරයකින් රචනා වන බව හැරල්ඩ් පින්ටර් දක්වනවා. එහි තේමාව වන්නේ රාජ්‍යයන් කොහොමද සිය මර්ධන හා පීඩනයට පත්කිරීමේ යාන්ත්‍රණය සූක්ෂමව දියත් කරන්නෙ යන්නයි. එය ඒ සම්බන්ධ චිත්‍රයක් වේදිකාව මත මවා පානවා.
‘වන් ෆෝ ද රෝඩ්’ ලාංකීය වේදිකාව මත නිෂ්පාදනය කිරීමෙන් පසු ප්‍රේක්ෂක පිරිස් නොයෙක් අදහස් ගෙනහැර පෑවා. බහුතරයක අදහස වූයේ මෙය නාට්‍යයක් නොවන බවයි. මොකද ‘වන් ෆෝ ද රෝඩ්’ ගලායන්නෙ නිකලස් නම්වන හමුදා නිලධාරියා විසින් වික්ටර්, ඔහුගේ බිරිඳවන ජිලා හා පුතුවන නික් නොකඩවා ප්‍රශ්න කිරීමේ ආකෘතිය තුළ යි. එහි මුල මැද අග ගැලපුන කථාවක් දක්නට නැහැ. එකිනෙකට නොගැලපෙන දෙබස් ඛණ්ඩවලින් යුතු ප්‍රශ්න කිරීමේ රටාව තුළ දිගු විරාම හා නිහඬතා ප්‍රින්ටර්ගේ සියලුම නාට්‍යයන්හි දැකගන්න පුළුවන්. නාට්‍ය රචකයෙකු ලෙස ඔහු ‘විරාමය’ ලෙසත් ‘නිශ්ශබ්දතාවය’ ලෙසත් පිටපතේ දක්වන්නේ හඬ හා නිහඬබව තුළ ඇති භාෂාමය බලය මැනවින් භාවිතා කරමින්. පින්ටර්ගේ මෙම විරාමය හා නිශ්ශබ්දතාව සම්බන්ධ වෙනම විචාර ග්‍රන්ථ රැසක්ම ලියවී පවතිනවා. බහුතර විචාරකයින් පින්ටර්ගේ නාට්‍ය විකාරරූපී නාට්‍ය ලෙස අර්ථදැක්වීමට උත්සාහ කළත් ඔහුට අනුව සිය නාට්‍ය යථාර්තවාදී ආකෘතියක් ගන්නවා.
ඔහුගේ බොහෝ නාට්‍යවල පිළිබිඹුවන්නේ සමකාලීන දේශපාලනික හා සමාජීය තත්ත්වයක් පිළිබඳ විමසුමක්. ඔහු නිර්මාණ සිදුකළේ සැමවිටම දැඩි දේශපාලනික ස්ථාවරයක සිටයි. බටහිර රාජ්‍යයන්හි අමානුෂිකවාදී විදේශ ප්‍රතිපත්ති ඔහු දැඩිව විවේචනයට ලක් කළා. ඔහු සෑමවිටම මනුෂ්‍යත්වය වෙනුවෙන් පෙනී සිටියා. නිර්මාණකරුවෙකු වශයෙන් හැරල්ඩ් ප්‍රින්ටර්ගේ දේශපාලනික ස්වභාවය ‘වන් ෆෝ ද රෝඩ්’ නාට්‍ය මනාව මතුකරනවා. එය මෙම නාට්‍ය රචනයට ඔහු පෙළඹීම හා බැඳුණු සිද්ධියකින්ම තහවුරු කළහැකියි. මේ හැරල්ඩ් ප්‍රින්ටර් ‘වන් ෆෝ ද රෝඩ්’ ලිවීම සම්බන්ධ දැක්වූ අදහසයි.
“ මම තූර්කි සාම මණ්ඩලයේ සාමාජිකයෙක් විධියට කටයුතු කරන කාලය තුළ දහස් සංඛ්‍යාත දේශපාලනික සිරකරුවන්ගෙන් තූර්කි බන්ධනාගාරය පිරී ඇතිබව ප්‍රත්‍යක්ෂ වුණා. ඔවුන් එහිදී අසීමිත වධබන්ධන විඳිමින් පීඩාවන අයුරු අනුභූතිකව තහවුරු වුණා. එක් දිනයක මට විශාල සාදයකදී තූර්කියේ උගත් තරුණ කාන්තාවන් දෙදෙනෙක් මුණගැසුණා. මම ඔවුන්ගෙන් සමකාලීන තත්ත්වය පිළිබඳව විමසූවිට ඔවුන් පැවසූවේ තූර්කි රාජ්‍යයේ මෙම පිළිවෙත සුදුසු දෙයක් කියලා. මොකද පීඩාවට පත්ව සිටින සියල්ලන් සාමාන්‍යයෙන් කොමියුනිස්ට්කාරයන් නිසා, ඔවුන්ට අයිතියක් තියෙනවා කියලා කොමියුනිස්ට්වාදයට විරුද්ධව ආරක්ෂා වෙන්න. මම ඇහුවා ඔබ ‘සාමාන්‍යයෙන්’ කියලා දක්වන්නෙ මොනවගේ කරුණු උඩද කියලා. ඔවුන් කීවා කරුණු නැහැ, තියෙන්නේ ඇඟිලි සළකුණු පමණයි කියලා. මං තේරුම් ගත්තා ඔවුන්ගේ නූගත්කම. මම ආයෙත් ඇහුවා ඔබලා දන්නවද කියලා තූර්කි හමුදාව එම හිරකරුවන්ව මරණවා, උන්ට වදදෙනවා කියලා. එතකොට මෙම ගෑනු දෙන්න කිව්වෙ කොමියුනිස්ට්කාරයෝ කොමියුනිස්ට්කාරයෝමයි කියලා. මං ආයෙත් ඇහුවා මොනවද උඹලට කියන්න තියෙන්නෙ කියලා වධ දීම ගැන. ඔවුන් මා දිහා බලමින් කිව්වෙ, මම ‘ආගමන-විගමන නිලධාරියෙක් වගේනෙ’ කියලා. මම ‘ඒක වෙන්න පුළුවන්’ කියලා ඒ මොහොතෙම එතනින් පිට වුණා. මම ආපු හැටියෙම වාඩි වෙළා ‘වන් ෆෝ ද රෝඩ්’ නාට්‍යය ලියන්න පටන් ගත්තා. නමුත් මේ නාට්‍යය ලිවීම සඳහා එකම හේතුව ඒක නොවෙයි. දහස් ගණන් මිනිසුන්ව මර්ධනයට ලක් කෙරෙන, වැඩපිළිවෙල මගේ මනසේ කැකෑරෙමින් තිබුණා, සෑහෙන කාලයක ඉඳලා.”
‘වන් ෆෝ ද රෝඩ්’ යනු මත්පැන් බීම ඇසුරෙන් ප්‍රකාශ කෙරෙන අදහසක්. එහි අර්ථය වනුයේ, පිටත්ව යාමට පෙර තවත් එක පානයක් යන්නයි. එම පානය අවසන් නොවන එකකි. එනම් නොසන්සිඳෙන ආශාවකි. ‘වන් ෆෝ ද රෝඩ්’ නාට්‍යය ඉඟි කරනුයේ අවසන් නොවන මර්ධනයේ හා පීඩනයේ යාන්ත්‍රණයේ නාට්‍යමය දිගුවයි.
‘වන් ෆෝ ද රෝඩ්’ නාට්‍යය දෙස බැලීමේදි වටහා ගත හැකි අපූර්ව චිත්‍රය වනුයේ මෙම මර්ධනයේ හා පිඩනයේ යාන්ත්‍රණයේ ස්වරූපය තුළ ඇති සියුම් සහගත තුච්ඡත්වයයි. එම ස්වභාවය බහුතර රාජ්‍යයන් හි අපට හඳුනාගත හැකියි. එය වර්තමානය තුළ ලාංකීය සමාජයේ මෙන්ම ජාත්‍යන්තර තලය තුළද උපක්‍රමිකව පවත්වාගෙන යන අයුරු දැක ගත හැකියි. විරුද්ධ මතයකට අවකාශය සම්පූර්ණයෙන්ම අහුරා දමමින් එක් මතයක්, එක් අදහසක් පමණක් තිබිය යුතුය යන අභිමතයේ එළඹෙමින් රාජ්‍යයන් තම මර්ධනයේ සහ පීඩනයේ යාන්ත්‍රණය දියත් කරන්නේ කෙළෙසද යන්න ගැන ‘වන් ෆෝ ද රෝඩ්’ ප්‍රේක්ෂකයාට ඉඟියක් ලබා දෙයි. හැරල්ඩ් පින්ටර් හා ඔහුගේ නිර්මාණ භාවිතාව මනාව හඳුනා ගැනීමට ඔහුගේ මෙම කෘතිය අපූර්ව අවකාශයක් විවර කරන බව මාගේ අදහසයි.
ඇසුරු කළ කෘති:
1. One for the Road , A Play By Harold Printer, Grove Press, 1986.
2. ‘වන් ෆෝ ද රෝඩ්,’ පරිවර්තනය, මාලක දේවප්‍රිය, 2001
I have seen “One for the road” when I was I university of Colombo 2001 as first year student at king Gorge theatre. But I did not understand anything about this drama. Now I am working in Open University of Sri Lanka as lecturer. I have read lot of article about Harold Pinter. I have realized he is the political play writer of the world. I can be proud that Malaka that produce a play long in 2001. I believe I have to give to him credit introduce this dramatist to university students. Now I can realize power of this drama.