ගාන්ධි පසුපස ගාන්ධි

ඡායාරූපය මුකේෂ් පර්පියානි

අනුවර්තනය: විදුර ප්‍රභාත් මුණසිංහ

ගාන්ධි වූ කලී යටත් විජිත සමයේ ආසියාවෙන් බ‍ටහිර නූතනත්වයට එල්ල වූ බරපතලම අභියෝගය යැයි කිවහැකිය. එහෙයින් ගාන්ධි ගේ ප්‍රතිරූපය ලොව දේශපාලන ප්‍රචණ්ඩත්වය පවත්නා සියළු තන්හි ජනයාගේ පරිකල්පනය තුළ නැවත නැවතත් ජීවමාන වනු දැකිය හැකිය. ලංකාවේ ද ගාන්ධි පිළිබඳ උනන්දුවක් විශේෂයෙන්ම පසුගිය යුද සමයේ අවදි වනු දක්නට ලැබුණි. ඉන්දියාවේ නම් ගාන්ධි හැමදාමත් ජීවමානය. ඒ ගාන්ධි ප්‍රභූ පවුලේ අතින් නොගිලිහෙන ජාතික දේශපාලන නායකත්වය නිසා ම නොවේ. ගාන්ධි ගේ ප්‍රතිරූපය කොතරම් සරු අරුත් දනවන්නේදැයි කියතහොත් ගාන්ධි ඉන්දියාවේ නම් විවිධ දේශපාලන අපේක්ෂා තුළ විවිධ වෙසින් ජීවමාන වන බව අෂීස් නන්දි ගේ අර්ථ විවරණයයි. ඔහු එබඳු ගාන්ධිවරු හතර දෙනෙක් ජීවමාන බවට පත් කරන දේශපාලන අපේක්ෂාවන් ගැන අර්ථ විවරණයක් ඉදිරිපත් කරයි. අෂීස් නන්දි ගේ ගාන්ධි ලා හතර දෙනා අතර ඔබ ප්‍රිය කරන ගාන්ධි සිටීදැයි බලන්න.

මෙම ලිපිය මුල් වරට පළවූයේ ඉන්දියාවේ දිල්ලි නුවරින් ඉංග්‍රීසි බසින් පළ කෙ‍ෙරන The Little Magazine සඟරාවේ 2000 මැයි මස පළ කළ මුල්ම කලාපයේ ය.

පහත පළවන්නේ අෂීස් නන්දි ගේ මුල් ලිපියේ ඇතැම් තැනක සංක්ෂිප්ත කළ අනුවර්තනයකි.

යමෙකුගේ උප්පත්තියෙන් වසර 130 කට පසුවද, ඔහුගේ මරණය සිදුවී සියවසකින් අඩක් ගෙවුණු තැනදීත් සමාජය වෙත බලපෑම් සහගත අයෙකු වියහැකි නම් එම තැනැත්තා අනිවාර්යෙන්ම ඉතිහාසයේ සුවිශේෂී තැනැත්තෙකු වියයුතු බව නොකිවමනාය. මෝහන්දාස් කරම්චාන්ද් ගාන්ධිද එවැන්නෙකි. ඔහුගේ මරණයෙන් වසර 60කට පසුවද ඔහුගේ ස්වරූප හතරක් මෙලොව ජීවමානව සිටිති. විවිධාකාර අවස්ථාවන්හි විවිධාකාර ස්වරූපයෙන් මේ ගාන්ධිවරු පොදුජන සමාජයට බාධාකිරීම හෝ උපකාරීකිරීම තුළින් බලපෑම් සහගතවී ඇත. මේ හතර දෙනාගෙන් සැබෑ ගාන්ධි කවුරුන්ද යන්න ගැන මම වද නොවෙමි. එය ශාස්ත්‍රඥයින් විසින් විසඳාගත්තාවේ. අප ජීවත් වන වර්තමාන දේශපාලනය, ඉතිහාසයේ සත්‍යය පිළිබඳ වූවක් නොව මතකයේ රැඳුණු අතීතය හා සාමූහික මතකයන් මත පදනම් වූ අනාගතයක් නිර්මාණය කරන ගැටළු පිළිබඳ වූවකි. ගාන්ධි ගැන මා වද වන්නේ හොඳට හෝ නරකට ඔහු එකී මතකයන් ගොන්නට ඇතුළුව ඇති නිසාවෙනි.

මා ගාන්ධිවාදියකු නොවෙමි. මගේ මතයේ හැටියට ගාන්ධිවාදය සැබෑ ගාන්ධිට වඩා විශාල ය. සිය අදහස් පිළිබඳ ගෞරවය හිමිවිය යුත්තේ පුරාතන ඥානය වෙතැයි ගාන්ධි කියා සිටින විට ඔහුද යම්තාක් දුරකට ඒ බව පිළිගනියි.

මට ගාන්ධිව පෙනෙන්නේ වඩා මිනිස් ස්වභාවයක් ඇත්තකු ලෙසිනි. ප්‍රායෝගික දේශපාලනඥයකු වූ ඔහුට අප අපේක්ෂා කරන ආකාරයට සිය ප්‍රතිපත්තිවලට අනුකූලවම ජීවත් විය නොහැකි විය. දේශපාලනයේ කාර්යය වන්නේ දෘෂ්ටිවාදී හා සදාචාරාත්මක ශුද්ධවාදය දියකර හැරීමයි. ගාන්ධි වූකලී දේශපාලන මඩ ගොහොරුවේ ජීවත් වීමට කැමැති වූ ශාස්තෘවරයෙකි. ඔහුට පරිපූර්ණ ගාන්ධිවාදියෙකු වීමට නොහැකි විය. යමකු ඔහුට අසම්පූර්ණ ගාන්ධිවාදියෙකු යැයි ඇමතීම ඔහුට කරන ගෞරවයකි යන්න මාගේ විශ්වාසයයි.

විද්වතුන්ට මා කිවයුතු වන්නේ මා මෙහි සාකච්ඡා කරනු ලබන සියලුම ගාන්ධිවරුන් වෙබේරියානු පරමාදර්ශී ආකාරයන් බවයි. මෙම පරමාදර්ශී ආකාරයන් වූකලී විශ්ලේෂණ මෙවලම් ය. ඒවා සැබෑවන් නොවන නමුත් අසත්‍යය ද නොවේ. මේ අනුව විලියම් බ්ලේක් අනුව යමින් ලාලිත්‍යමය අතිශෝක්තිය ප්‍රඥාව සඳහා වූ මාර්ගයකැයි පැවසූ සාහිත්‍ය න්‍යායවේදියෙකු වූ ඩී. ආර්. නාගරාජ් ගේ බලපෑම මගේ විග්‍රහය තුළ දැක ගත හැකි වනු ඇත.

දැන්, සිය මරණින් පසුවද මේ මහපොළොව මත ජීවමානව සිටින ගාන්ධිවරුන් හතර දෙනා වෙත යොමුවෙමි. ඇත්ත වශයෙන්ම මේ සියල්ලන් පිළිබඳ අපි සැවොම දැන සිටිමු. එකම වෙනස ඒබව අපට මගහැරී තිබීමයි. ‘වඩාත් වියවුල් සහගත සහ වේදනාකාරී වන්නේ තමන් තුළ නිශ්ශබ්දව පවත්නා එනමුත් අපගේ අවධානයට ලක් නොවී පවතින දැනුමය,’ යන අනතුරු ඇඟවීම සටහන් කිරීම මනෝ විද්‍යඥයෙකු ලෙස මගේ වගකීම යැයි කල්පනා කරමි.

පළමු ගාන්ධි: ඉන්දියානු රාජ්‍යයේ සහ ඉන්දියානු ජාතිකවාදයේ ගාන්ධි

පළමුවැනි ගාන්ධි වන්නේ ඉන්දියානු රාජ්‍යයේ සහ ඉන්දියානු ජාතිකවාදයේ ගාන්ධිය. මට පුද්ගලිකව මේ ගාන්ධි දිරවා ගැනීම පහසු කාර්යයක් වී නොමැති අතර, ගාන්ධිටමත් එසේ වනු ඇතිව තිබිණැයි කල්පනා කරමි. බොහොමයක් දෙනෙක් මේ ගාන්ධිව පමණක් ඉවසා වදාරන අතර ඔහු සමඟ සතුටින් ජීවත් වෙති.

මේ නිල ගාන්ධිගේ දේශපාලන ජීවිතය සහ චරිත කතාව අන් ගාන්ධිවරුන්ට පෙර ඇරඹුනකි. නිදහසින් පසුව, ජාතියේ පියා ලෙස ඔහුගේ දේශපාලනික පැවැත්ම, ඔහුගේ මතකය සහ ඔහුගේ ලිවීම් අභිනව ඉන්දීය රාජ්‍යයේ නිලධාරීන්ට සහ රාජ්‍ය ව්‍යුහය වටා කැරකෙමින් සිටින බුද්ධිමතුන්ට ගැටලු රාශියක් නිර්මාණය කරන ලදී. ඔහුගේ දෘෂ්ටිවාදය තුළ පැවතුනු බලවත් අරාජිකභාවය පමණක් නොව, පුද්ගලික සහ පොදු, ආගමික සහ අනාගමික, අතීත සහ වර්තමාන විභේදනයන් ඔහුගේම වූ තර්කනයන් තුළ ප්‍රතික්ෂේප කිරීම මේ සියලු දෙනාටම මහත් හිසරදයක් විය. මෙම බුද්ධිමතුන් ඔහුගේ ඝාතකයා තරමටම මේ ගාන්ධි විසින් වියවුලට පත් කරන ලදී. සවයං-ප්‍රකාශිත හේතුවාදියෙකු සහ නූතනවාදියෙකු වන නාතුරාම් ගොඩ්සේ තමන්ට මරණීය දණ්ඩනය නියම කළ අධිකරණය වෙත කළ අවසන් ප්‍රකාශයේදී ඉතාමත් නිශ්චිත ලෙසම කියා සිටියේ තමන් පිතෘ ඝාතනය සිදු කරනු ලැබුවේ අභිනව ඉන්දීය රාජ්‍යය ප්‍රතිනූතනවාදී, දේශපාලනිකව ආධුනික, උන්මත්තකයෙකු ගෙන් බේරාගැනීම සඳහා වන බවය. ඇත්තවශයෙන්ම ගාන්ධිගේ අනුගාමිකයන් පවා නිදහසින් පසු ගාන්ධිව වළලා දමා අභිනව ඉන්දීය ජාතික රාජ්‍යයේ සුරුවමක් ලෙසින් ඔහුව තබා ගැනීමට කැමැතිව සිටි බවට සැක නැත. ඒ ඔවුන් ඔහුට අකමැති වූ නිසාවෙන් නොව, මධ්‍යගත රාජ්‍යයත්, සමාජ ඉංජිනේරුකරණය සහ ‘යථාර්ථවාදී’ ජාත්‍යන්තර දේශපාලනයෙන් සැදුම්ලත් පශ්චාත් දෙවන ලෝක යුද්ධ වටපිටාවත් තුළ ඔහු කාලයට නොගැළපෙන අයෙකු ලෙස පෙනීයාම නිසාවෙනි.

______________________________________________________________________________________________

තුන්වන ගාන්ධි වූ කලී කිළුට්ටන්ගේ, විධිවිරෝධීන්ගේ සහ අනුමානකළ නොහැක්කන්ගේ ගාන්ධිය. මොහු ස්කොච් විස්කි වලට වඩා කොකාකෝලා වලට විරුද්ධ වේ. එයින්ද දේශීය කෝලා පානයන් ආනයනික ඒවාට වඩා අනතුරුදායක ලෙස සලකයි. ඉන්දියානු ආර්ථිකය තුළ තදින් මුල් බැසගත් පරිභෝජනය සඳහා නිෂ්පාදනය කෙරෙන භාණ්ඩ විශාල සංඛ්‍යාවක් ඔහුට අනුව වඩා අනතුරුදායකය.

_________________________________________________________

එතැන් පටන් වාමාංශික හෝ දක්ෂිණාංශික ඉන්දියානු රාජ්‍යවාදීන්, ජාතියේ පියා මත නිසිකලට පෙර දිවි පිදූමෙන් ලද වීරත්වයක් පනවමින් ඔහුට එකෙනෙහිම ශාන්තුවර තත්ත්වයක් ලබාදීම සහ සජීවී දේශපාලනික පෙනී සිටීමක් ලෙස ඔහුව අවසන් කරනු ලැබීම වෙනුවෙන් නතුරාම් ගොඩ්සේ මහතා වෙත වන සිය ඉමහත් ණයගැතිභාවය කවරදාකවත් පිළිගෙන නොමැත.

අධිරාජ්‍යවාදී නිමැවුමක් වන දිල්ලි නගරයේ පදිංචිකරුවන් වන අපට, පස්වැනි ජෝර්ජ් රජු විසින් අත්හැර දමනු ලැබූ ඉන්දියානු ද්වාරයේ පාදස්ථලයේ පිහිටෙවුනු ඇතැයි, ඉඳහිට කියනු ලැබෙන ගාන්ධිවරයා වන්නේ මොහුය. එසේ කිරීම, දෙවන ලෝක යුද්ධයේ අවසන් දින වලදී ඉන්දියානු මධ්‍යම පාන්තික, ඛේදාන්ත, විචිත්‍රාද්භූත වීරයා වූ සුභාෂ් චන්ද්‍ර බෝස් විසින් ඉන්දියානු ජාතික හමුදාවේ එක් හමුදාංකයක් ගාන්ධිගේ නමින් නම්කර ති‍ෙබන තත්ත්වයක් තුළ ගාන්ධි යොදාගැනීමේ වඩාත් විසුළුසහගත ආකාරය විය හැක. ඉන්දියානු රාජ්‍යයේ තත්ත්වය පිරිහීම සහ සංස්කෘතික ස්ව-තහවුරුකරණය වේශයෙන් හතු පිපෙන්නාක් මෙන් අප වටා මතු වන ඉන්දියානු ජාතිකවාදයේ බටහිරකරණය වූ අනුවාදයන් සමගින් මේ ගාන්ධි සිටින්නේ එතරම් හොඳ සෞඛ්‍ය තත්ත්වයක නොවන බව නම් නොකිව මනාය. නැසීගිය ගොඩ්සේ මහතාට ගාන්ධිට කළ නොහැකිවූ දෙය හින්දුත්ව සේනාංකය සහ හින්දු ජාතිකවාදයේ ධජය දරා ගත්තවුන් බවට පත් වූ බොම්බායේ බාල් තැකරේ සහ ලාල් ක්‍රිෂ්ණ අද්වානි විසින් බබ්රි පල්ලියේ සිද්ධියේ දී සිදුකරන ලදී.

දෙවන ගාන්ධි: ගාන්ධිවාදීන්ගේ ගාන්ධි

දෙවන ගාන්ධි වන්නේ ගාන්ධිවාදීන්ගේ ගාන්ධිය. වර්තමානයේදී ඔහු උග්‍ර ලේ අඩුකමකින් පෙළෙයි. මේ ගාන්ධි ඉඳහිට ඉතාමත් ආදරණීය අයකු වන අතර ඉන්දියානු පොදුජන වහර තුල කාරුණික පිතාමහගේ භූමිකාව අත්කරගෙන ඇත. වැරදීමකින් ඉන්දියාවේ ඉපදුනු වික්ටෝරියානු සදාචාරවාදියකු වනවාට අමතරව ඔහු බොහෝ අවස්ථාවල මහා කරදරකාරයෙක්ද වෙයි. බහුජාතික සමාගමක් විසින් නිපදවන කොකාකෝලා වෙනුවට ඉන්දියානු සමාගමක් නිපදවන කැම්පාකෝලා බොන ඉන්දියානු රාජ්‍යයේ සහ ජාතිකවාදයේ ගාන්ධි මෙන් නොව, ඔහු නිම්බුපානි බොයි, ගෘහස්ථව වියන ලද ඛාදි රෙදි අඳියි. ඔහු දේශපාලනය ස්පර්ශ නොකරයි. ඒ, ඔහුගේ නමින් නම් කරනු ලැබ ඇති විවිධ ආශ්‍රමයන්ට සහ ගාන්ධිවාදය පිළිබදව චාරිත්‍රානුකූලව පවත්වන සම්මන්ත්‍රණයන්ටද ඉන්දියානු රජය විසින් සහනාධාර සහ මූල්‍යාධාර ලබා දෙන බැවින්, ඔහුට එසේ කිරීමේ හැකියාවක් නොමැති නිසා වෙනි. මෙම නව පුනර්භවයේදී ඔහු ඉඳහිට, දේශපාලනයේ නැගී එන අපරාධ රැල්ල, අසමතුලිත සංවර්ධනය හා දූෂණයට විරෝධය දැක්වීම සදහා රැස්වීම් සංවිධානය කරයි. මෙම සම්මන්ත්‍රණයන්හිදී සියල්ලන්ම කිසිවකුගේ හෝ කිසිදු පක්ෂයක නමක් සඳහන් නොකර ඉන්දියාව තුළ කටයුතු සිදුවෙමින් පවතින ආකාරය පිළිබඳව නොමසුරුව කඳුළු සැලීම සිදුවෙයි. උත්සවය අවසානයේ සියල්ලෝම සතුටට පත්වෙති. අපරාධකරුවන් හා සම්බන්ධතා පවත්වන දූෂිත දේශපාලනඥයෝ පවා ප්‍රීතියෙන් ඔල්වරසන්දී නික්ම යති.

ගාන්ධිවාදයේ ගාන්ධි, ගාන්ධිවාදය දේශනා කිරීම සදහා හෝ ගාන්ධියානු චින්තනය පිළිබඳ දේශනා පැවැත්වීම සදහා ලොව පුරා සංචාරයේ යෙදෙයි. ඔහු ගාන්ධිවාදීන් හරහා ඉන්දියානු ජනතාවට කතා කරන්නේ ඊට වඩා අඩුවෙනි. එසේ වී ඇත්තේ ඉන්දියාව තුළ ඔහුගේ ප්‍රේක්ෂකාගාරය ඉතාමත් දුක් සහිත ලෙස කුඩා එකක් බවට පත්ව තිබීමය. එම අල්ප ප්‍රේක්ෂකාගාරයද බොහොවිට දේශනාව ආරම්භයේ සිටම නිදිමත, උනන්දුවක් නොමැති, විඩාපත් ස්වරූපයක් ගත්තකි. ඔවුන්ද පැමිණ ඇත්තේ නෑවිත් සිටීම හොඳ නැති නිසාය. මෙම ගාන්ධිවාදීන් සියක්වස් ආසන්න වයසක පසුවන්නන් වන අතර අසන්නන්ගේ වයසද පවතින්නේ ඊට එතරම් පසුපසින් නොවේ. ගාන්ධිවාදීන් මීට හේතුව ලෙස කියාසිටින්නේ ඉන්දියානුවන් ගාන්ධි ගේ අපේක්ෂා භංග කොට ඇති බවයි. ඔවුන්ව එතරම් නොතකන සෙසු අය කියා සිටින්නේ ගාන්ධිවාදීන් ඉන්දියානු ජනතාව මෙන්ම ගාන්ධි ද සම්බන්ධයෙන් ද අපේක්ෂා භංග කොට ඇති බවය. ඔවුන්ට අනුව ගාන්ධිගේ නමින් දිවා රෑ දිවුරන්නාවූ බාබා අම්ටේ, ඇනා හසාරේ සහ සුන්දර්ලාල් බහුගුණ වැන්නවුන් මෙන් වෙනත් මගක් අනුගමනය කිරීම ඔවුන් විසින් කළයුතුව තිබිණ.

තුන්වන ගාන්ධි: වන්දනා ශිවාගේ, මේධා පත්කාර්ගේ ගාන්ධි

තුන්වන ගාන්ධි වූ කලී කිළුට්ටන්ගේ, විධිවිරෝධීන්ගේ සහ ඔවුන් කුමක් කියනු කරනු ඇත්දැයි කල්තබා කිව නොහැකි අයගේ ගාන්ධිය. මොහු ස්කොච් විස්කි වලට වඩා කොකාකෝලා වලට විරුද්ධ වේ. එයින්ද දේශීය කෝලා පානයන් ආනයනික ඒවාට වඩා අනතුරුදායක ලෙස සලකයි. ඉන්දියානු ආර්ථිකය තුළ තදින් මුල් බැසගත් පරිභෝජනය සඳහා නිෂ්පාදනය කෙරෙන භාණ්ඩ විශාල සංඛ්‍යාවක් ඔහුට අනුව වඩා අනතුරුදායකය.

හින්දි ස්වරාජ්‍ය සමයට අයත් මෙම ගාන්ධි තරමක විවේචකයෙකි, අන් අයගේ විනෝදයට බාධා කරන්නෙකි. අපගේ පොදුජන ජීවිතය තුල ඔහු නිදහස් මතධාරියකු හා විකාරකාරයකු ලෙසින් පෙනී සිටීමට වැඩි කැමැත්තක් දක්වයි. නීම් වලින් ව්‍යුත්පන්න දේ කිහිපහයක‍ට නිරමාණ බලපත්‍ර ලබාදීමට එරෙහිව ඇමරිකානු අධිකරණයක නඩු පැවරූ වන්දනා ශිවාගේ මනස තුල සිටියේ මෙම ගාන්ධිය. නර්මදා වේල්ලට එරෙහි මේධා පත්කාර්ගේ කුප්‍රකට මහජන කැළඹීමද, ගංවතුර මෙහෙයුමට එරෙහිව ක්ලෝඩ් අල්වාරේස්ද, හරිත විප්ලවයට එරෙහිව වන්දනා ශිවාද මෙහෙයවූයේ මෙම ගාන්ධි විසිනි. සිය අසූවැනි වියේ අග භාගයේදී, ඉන්දීය න්‍යෂ්ටික සංස්ථාපනයේ රැවටිල්ල, මෝඩකම හා ශ්වකාමයට අභියෝග කළ ලේඛක-නැටුම් ශිල්පී-චින්තක සිවරාම් කරන්ත් තුල ජීවත්වූයේද මෙම ගාන්ධිය.

gandhi-a

වෙනත් කඩාකප්පල්කාරී සම්බන්ධතා රැසක්ද මෙම ගාන්ධිට ඇත. ඔහුගේ නම දරමින් දශක දෙකකට වැඩි කාලයක් ඉන්දියානු දේශපාලනයට තරග කළ අයට වඩා, වී.එම්. තාර්කුන්දේ මෙන්ම අස්මා ජෙහාන්ගිර් වැනි ඔහුගේ ලෝක දැක්මේ විවේචකයන්ගේ ඇසුර ඔහු ප්‍රිය කරයි. මේ ගාන්ධිව ආශ්‍රය කරන්නන්ගේ වයස් මට්ටම් සාපේක්ෂව පහල අගයක පවතී. තර්කුන්දේ, කුල්දීප් නායර් වැනි වයසට ගියද තරුණ හදවත් ඇත්තවුන් හේතුවෙන් මඳක් ඉහල නොයන්නට එය තවත් පහළ අගයක් ගනු ඇත.

ඉන්දියානු රාජ්‍යයට හා නිල වශයෙන් ප්‍රකාශිත ආරක්ෂක ලැදිකම් සහ විද්‍යාත්මක සංස්ථාපනයට මේ ගාන්ධි මෙන්ම ඔහුගේ තරුණ මිතුරන්ද සැබෑ කරදරයක් වී ඇත. ව්‍යවහාරික බුද්ධියට මොවුන් තර්ජනයක් වී ඇත. ආදියෙහි මගේ ගුරුවරයා වූ සිග්මන් ‍‍ ෆ්‍රොයිඩ්ගේ යෙදුමක් උපුටා දක්වන්නේ නම් එදිනෙදා පොදුජන ජීවිතයේ මනෝව්‍යාධිවේදය බවට මොවුහු පත්ව සිටිති.

එකත් එකට මේ ගාන්ධිට ඛාදි ඇඳීමට හෝ මත්පැන් අතහැර සිටීමට සිදුනොවේ. ඔහුගේ සාමාන්‍ය ඇදුම වන්නේ නිල් ඩෙනිම් කලිසම සහ ඛාදි කුර්තාවකි. එමෙන්ම ඉන්ඩියා ටුඩේහි ඉමහත් ආහ්ලාදයකින් ඒ පිළිබඳව ලියූ රමින්දර් සිං සතුටු කිරීම සඳහා ජෝලාවක්ද ඔහු රැගෙන යනු ඇත.

ගාන්ධි හා ඔහු පවත්වාගෙන යන දුෂ්ඨ සමාගමය හොඳ සිහිය ඇති, තාර්කික, උගත් ඉන්දියානුවන්ට ඉදිරි දශකයන් තුල මහා වදයක් වනු ඇත. තායිවාන මානව විද්‍යාඥයකු වන ෆෙඩ් චීයු මට නිරන්තරයෙන්ම මතක්කර දෙන්නේ ශිෂ්ඨාචාරය ගමන් කරන්නේ කොතැනටද එතැනට උපදංශයද ගෙන යන්නේය යන පැරණි කියමනයි. ඔහුට අනුව ගෝලීය ධනවාදය යන්නේ කොතැනටද දේශපාලන ක්‍රියාකාරීත්වය, රාජ්‍ය නොවන සංවිධාන සහ ලැබෙන පළමු නිමේෂයේදීම කර්මාන්ත ප්‍රධානීන් සහ උසස් සංස්ථාපිත ආයෝජකයින්ට කරදර කරන්නන්ද ඒ සමග රැගෙන යයි. ගෝලීය ධනවාදයේ බැතිමතුන් සහ ව්‍යාපාර දැවැන්තයින් කදුළු සලමින් වටහා ගන්නා පරිදි මෙය ධනවාදයේ සැඟවුනු පිරිවැයයි. අවංකවම පවසන්නේ නම් මේ පිරිවැය උද්ධරනය කරන්නන්ගේ ප්‍රඥාව පිළිබදව මා තුල සැඟවුනු ප්‍රසාදයක්ද පවතී.

හතරවන ගාන්ධි: කියවිය නොහැක‍

හතරවන ගාන්ධි කියවිය නොහැක. ඔහු ගැන දෙවැනි හෝ තුන්වැනි පාර්ශ්වයක් මගින් අසන්නට ලැ‍බෙනව‍‍ා පමණි. මාටින් ලූතර් කිං වැනි කිහිප දෙනෙක් ප්‍රවේශම්සහගත හා විවේචනාත්මක ලෙස ඔහුගේ කෘති වෙත ප්‍රවේශ වී ඒවා යොදාගෙන ඇති අතර සෙසු අය ඔහු ලියුවේ මොනවාදැයි පවා නොදනිති. මේ ගාන්ධි වෙත ඔවුන්ගේ ප්‍රවේශය කාල් මාක්ස් වෙත ඒ.කේ. ගෝපාලන්ගේ ප්‍රවේශයට සමානය. වාර්තාගතව ඇති ආකාරයට ඔහු මාක්ස් කියවා නොමැත්තේ කියවූවත් ඔහුට එය නොතේරෙන බැවින් වන නමුත් ඔහු අඛණ්ඩව මාක්ස්වාදියකු ලෙස පෙනී සිටියේය.

මේ ගාන්ධි මූලික වශයෙන් පුරාණෝක්තිගත අයෙකි. සැබෑ ජීවිතයේදී මෙන් නොව ඔහු – අවම වශයෙන් පරිසරවාදී, න්‍යෂ්ඨික විරෝධී සහ ස්ත්‍රීවාදී ව්‍යාපාරයන්හි ඔහුව අගය කරන්නන්ට අනුව – තමන් පිළිගත් ධර්මයන්ට අනුකූලව කටයුතු කරයි. ඔහුගේ ජීවිතයේ ‘යථාර්ථයන්,’ නව ජනප්‍රවාදයක්, වීරකාව්‍යයක් ලෙසින් ලොව පුරා ප්‍රචලිතව ඇති ගාන්ධියානු මූලධර්මයන්ගෙන් පැනනගී.

වසර කිහිපයකට පෙර ඇමරිකානු තීරුලිපි රචකයකු වන රිචඩ් ග්‍රීනියර්, රිචඩ් ඇටෙන්බරෝගේ ගාන්ධි චිත්‍රපටයේ අතිමහත් ජනප්‍රියත්වයෙන් විස්මයට පත්ව ගාන්ධිගේ ජීවිතය සහ ඔහුගේ දර්ශනය අතර පවත්නා විෂමතාවන් පෙන්වාදෙමින් ගාන්ධිගේ ව්‍යාජය හෙළිදරව් කිරීමට උත්සාහ දැරීය. (ළමා අපචාර ඉතිහාසයක් පැවතීම හේතුවෙන් මිල්ටන් සහ ‍ෙබ්තෝවන් හෝ, සමලිංගිකත්වය යන සන්දර්භය තුල ඒවා සාධාරණීකරණය කළ බැවින් ප්ලේටෝ හෝ තමා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබෙන්නේද යන්න පිළිබඳව කීමට කිසිවක් ග්‍රීනියර් ට නොවීය.) ගාන්ධි සම්බන්ධයෙන් වන විශ්වාසයන්ගේ ගුප්ත බව දුරු කිරීම සදහා වන එවැනි උත්සාහයන් සාර්ථක නොවන්නේ මෙලොව වසන ග්‍රීනියර්වරුන් මානව විභවතාවන් විශ්වාස කිරීමට සහ මූලික මිනිස් ස්වභාවය යැයි පෙනීයන්නාවූ මිනිසා විසින් නිර්මාණය කළ දුක් සහගත තත්ත්වයන්ට මැදිහත්වීමට ඇති කුතුහලය දනවන බලකිරීමකටද මුහුණ පාන හෙයිනි.

1980 දශකය අවසන් භාගයේදී පෝලන්ත කම්කරුවන් සිය ඒකාධිපති පාලන තන්ත්‍රයට එරෙහිව නැගී සිටීමේදී ලෙක් වැලෙසා සිය ගාන්ධි බවට පත්කොට ගත්තේ ය. වොඩ්කා ලෝලී, රළු කථාබස් ඇති කම්කරු සමිති නායකයාට මෙය දිරවාගැනීමට අසීරු වූවා විය යුතුය. මෙහිදී පෝලන්ත කම්කරුවෝ මේ දෙදෙනා අතර ඇති සමානකම් හා අසමානකම් පිළිබද ‍ඵෙතිහාසික නිරවද්‍යතාවයන් පිළිබඳ තැකීමක් නොකළහ. ඔවුන් කියාසිටියේ වෙනත් දෙයකි. ඔවුන් පැවසුවේ තමන්ටම අවශ්‍ය වූ දෙයකි, තවද, ගාන්ධි තම සටන්කාමී අවිහිංසාව සමගින්, රාජ්‍යයේ සහ නූතන තාක්ෂණයේ බලයේ අනුග්‍රහය ලත් හිස් ප්‍රජාපීඩකයන් සහ නිලධාරීවාදී ඒකාධිපතිවාදයට අපේ කාලයේ බලවත් විරෝධයේ සංකේතය බවට පත්ව ඇත්තේ කෙසේද යන්න පිළිබඳ ය. ඒ සියල්ලටම වඩා මෙම හතරවන ගාන්ධි, සීමාරහිත අමානුෂිකත්වයකට මුහුණදෙන විට සිය මානුෂිකත්වය ආරක්ෂා කරගැනීමට උත්සාහ කරන අතරේම අසාධාරණයට විරුද්ධව සටන් කරන්නවුන් පිළිබඳ සංකේතයක් වෙයි. පිලිපීනයේ බෙනිටෝ අකිනෝ ඝාතනය කළවිට මැනිලාහි විරෝධතාකරුවන්ද ගදාන්ස්ක් හි කම්කරුවන් කළදේම සිදුකළේ එබැවිනි. ‘බෙනිටෝ අපේ ගාන්ධි’ යැයි ඔවුහු කෑගසා කියා සිටියහ. මේ සිදුවීම අහම්බයක් ලෙස පෙනෙන්නේ නම් වසර කිහිපයකට පෙර බුරුම හමුදා පාලනයට එරෙහිව නැගීසිටි එරට ශිෂ්‍යයන්ද මේ ආකාරයෙන්ම කියා සිටි බව මතකයට නගාගන්න. එහිදී පැවති එකම වෙනසවූයේ ආරම්භයේදී ගාන්ධිව කියවා නොතිබූ නමුත් දැඩි ගාන්ධිවාදියකු ලෙසින් චෝදනාවට ලක්වූ අවුන්ග් සාන් සූ කී මෙහි නායිකාව වීමය. විවිධ කාලයන්හි මෙම විරුදාවලිය ඛාන් අබ්දුල් ගෆූර් ඛාන් සිට නෙල්සන් මැන්ඩෙලා දක්වා විවිධ අයට හිමිව ඇත.

හතරවන ගාන්ධි, සෑම තැනකම, ජීවිතයේ සෑම කලාපයකම, පවත්නා තත්ත්වය සහ සාටෝපකාරී හා වාචාල කරදරකාරයන්ට තර්ජනයක් වෙමින් ලෝකයේ නපුරු මංමාවත් ඔස්සේ ඇවිද යයි. සැහැසි පාලකයෝ ඔහුව අවතක්සේරු කරත්. ඒ ඔහු අත ආයුධ නොමැති නිසාවෙනි. වෘත්තීය විප්ලවවාදීහු ඔහුව සමච්චලයට ලක්කරති. ඒ ඔහු අවිහිංසාව ගැන කථාකරන නිසාවෙනි. මේ දෙපිරිසම සිය අවතක්සේරුව වෙනුවෙන් විශාල වන්දියක්ද ගෙවති. දීර්‍ඝකාලීනව ගත් කළ, පළවැනි පිරිසට සැනසිය හැකි අස්වැසිල්ල වන්නේ, තමන්ට එරෙහි අපේක්ෂිත විප්ලවය සමහර විට විශිෂ්ඨ ලෙස සාර්ථක වීමෙන් පසු, ඊට විරුද්ධාභාෂික ලෙස එය අසාර්ථක වියහැකිවීමයි. විප්ලව ඒවායේ දරුවන්, කායිකව සහ සදාචාරමය යන දෙආකාරයෙන්ම කා දමන බව කවුරු නොදනිත්ද?

දැන් කාලයේ සාමාන්‍යයෙන්, ජීවිතයේ උච්ජ අවධිය ඉක්මවා ගිය සහ යටගියාව ගැන කියවමින්, විශ්වවිද්‍යාලයෙන් ලැබෙන පිංපඩියෙන් ජීවත්වන මැදි වයස්කාර, හාන්සිපුටු, නිද්‍රාශීලී, සර්ව දෝෂ දර්ශී ශාස්ත්‍රඥයන් වන වර්තමාන විප්ලවවාදීහු දශක කිහිපයකට පෙර ‘ගාන්ධිවාදයේ’ මරණය සහතික කළ යුතුව තිබූ එහි ඵෙතිහාසික සීමාවන් පිළිබඳ නිද්‍රාශීලී දේශන පැවැත්වීමෙන් සැනසීමක් ලබති. ශාස්ත්‍රාලීය සාර්ථකත්වයේ අනුනාදයක් ලෙසින් සම්මන්ත්‍රණය අවසාන වන වි‍ට, පුරාණෝක්තිගත ගාන්ධි නව සැකසුම් නිර්මාණය කිරීම සදහා ලෝකයේ වෙනත් මුඩුක්කු වෙත ගමන් කොට ඇත.

මම ගාන්ධිවරුන් සතර දෙනකු ඔබට බදිරිපත්කොට ඒ එක් එක් අය පිළිබඳ මගේ මනාපය දක්වා සිටියෙමි. දැන් ඔබට ඔබේ තේරීම කළහැක. ඔබට අවශ්‍ය නම් හතරෙන් එක්අයෙකු හෝ නොතෝරා සිටිය හැක. සමහරවිට වඩා බුද්ධිමත් තීරණය වියහැක්කේ එයයි. මන්ද යත් ගාන්ධි අනතුරුදායක විය හැකි බැවිනි. බොහෝදෙනකු කරන්නාක් මෙන් ඉන්දියානු දේවමණ්ඩලයට එක්වූ අලුත්ම දෙවියන් මෙන් ගාන්ධිගේ පින්තූරයක් ඔබේ කාර්යාලයේ හෝ නිවසේ එල්ලාතබා රජයේ නිවාඩු දිනයක් බවට පත්කොට ඇති ඔහුගේ උපන්දිනය දා ඔබේ දරුවන් විනෝද ගමනක් එක්කාගෙන යාම වඩාත් සුදුසු වනු ඇත.

සුප්‍රසිද්ධ දේශපාලනික මනෝ විද්‍යාඥයෙකු සහ සමාජ න්‍යායධරයෙකු වන අෂිස් නන්දි පශ්චාත්විජිත අධ්‍යයනයන්හි ප්‍රධාන චරිතයක් වන අතර විසම්මුතිය පිළිබඳ ඉන්දියාවේ සුප්‍රසිද්ධම බුද්ධිමතා යැයි තර්ක කල හැකිය. ඔහු නව දිල්ලි නුවර සංවර්ධනය වෙමින් පවත්නා රටවල් අධ්‍යයනය සඳහා වන කේන්ද්‍රයේ අධ්‍යක්ෂවරයාය. මෑතදී ඔහු දිනූ ත්‍යාග අතර ෆුකුයෝකා ආසියානු සංස්කෘතික තිලිණය ද වෙයි.