අවලෝකන – මාර්ටින් හෛඩැගර්: දර්ශනයේ අවසානය
කතිකා.ලංකා වෙබ් අඩවියේ පළ වූවකි.
මාර්ටින් හෛඩැගර්: දර්ශනයේ අවසානය – දිමුතු සමන් වෙත්තසිංහ
1
අප ගත කරන නූතන ජීවිතය මුහුණ පා සිටින ව්‍යාධීන් හමුවේ සම්පාදනය කෙරෙන සංකල්ප ගත කිරීම්, විවේචන පිළිබඳ කෙරෙන ප්‍රත්‍යාවලෝකනයක් හුදෙක් ශාස්ත්‍රාලීය ශික්ෂණ මාර්ගයකට අනුබද්ධ වියුක්ත ව්‍යායාමයක්, එනම් ඊනියා සමාජීය විද්‍යාවන්ගේ සහ එහි විශේෂඥයන්ගේ කටයුත්තක් නැතහොත් දෘෂ්ටිවාදීමය අරුතකින් දාර්ශනික ප්‍රවේශයක් වශයෙන් නොසළකනතාක් දුරට ප්‍රායෝගික සහ දේශපාලන අරුතක් මතුකර ගතහැකි වැඩබිමක් බවට පත්කර ගත හැකි බව විශ්වාස කරමින් මෙම ලිපි පෙළ ඇරඹීමට කැමැත්තෙමි.
උක්ත අරුතින් විවිධ දාර්ශනිකයන්, චින්තකයන් පිළිබඳ දාර්ශනික චරිතාපදානයක් ගෙනහැර පෑම මෙමගින් අරමුණු කෙරේ. ඒ කවර කලෙකවත් දර්ශනවාදය පිළිබද උපකාරක පන්ති ව්‍යාපෘතියක් ඇරඹීමට නම් නොවේ. ඒ වනාහි මානව චින්තනයෙන් සහ පැවැත්මෙන් නිරූපණය වන්නේ සත්තාව පිළිබද මිනිසාගේ අවබෝධයය යන හෛඩැගර්ගේ ප්‍රකාශය පිළිබද විශ්වාසයෙනි. ‘දර්ශනය යනු ලෝකය තුළ අපගේ ඉඳීමේ ආකාරය පිළිබඳව අවබෝධයයි.’ (Philosophy is the understanding of the way of our being in the world. ). දාර්ශනිකයන්ගේ සංකල්ප සමාජීය ගැටලු අවලෝකනය තුළින් සාකච්ඡා කිරීම අරුත් සුන්වී ගිය නූතන ජීවිතයට ආලෝකය බිඳක් ගෙන ආ හැකි අවස්ථාවක් බවට යුක්ති යුක්තකරණයක් ගෙනහැර පාමින් මෙම කාර්යය අරඹනු කැමැත්තෙමි. තවද, අරුත් සුන්වී දරදඬු වී ගිය සංකල්ප නැවත අරුතින් පුරවා ලීම දේශපාලන කාර්යයක වැදගත්කම ගන්නා බව රෝයි ටර්නර් විසින් දක්වනු ලැබීම මෙහි ලා සිහිපත් කිරීම අදාලය. එබැවින් අපගේ ප්‍රත්‍යාවලෝකනය විවාධයට තුඩුදුන් එහෙත් වචනයේ පරිසමාප්ත අරුතින්ම දාර්ශනිකයකු වන මාර්ටින් හෛඩැගර්ගෙන් පටන්ගමු.
තාක්ෂණය සහ පැවැත්මේ විස්මෘතිය
මාර්ටින් හෛඩැගර් වෙත ප්‍රවේශයක්
සවස්වරුවේ බිරිඳත් සමඟ මිතුරු ගෙයකට ගියෙමි. ඒ පවුලේ අය සාලයෙහි එළි නිවා රූපවාහිනියක් ඉදිරියේ වාඩිවී තිරය දෙස විස්මයානුකූලව බලා හුන්නෝ ය. අපට ඔවුන් මුණ ගැසුනේ බොහෝ කලකට පසුව වුව අප සමඟ කථා බහ කිරීමට වඩා රූපවාහිනිය දෙස බලා සිටීම වැදගත් යැයි ඔවුන් සිතූ සේ ය.
ධර්මිෂ්ඨ සමාජය (පි.135) එදිරිවීර සරච්චන්ද්‍ර
මිනිස්සු විවිධ මෝස්තරයේ ලොකු කුඩා කාර් වලින් ඔබමොබ දුවති….. පාරේ වාහන තදබදය නිසා තමන්ට රුචි පරිද්දෙන් වේගයෙන් යාමට නොහැකි වූ ඔවුහු අනෙක් අයට රොස් පරොස් බෙනෙමින් ඔවුන් දෙස රවා බලමින් රිය ඉස්සර කර යාමට පොර කති. එක්කෙනෙක් එක් අතකින් රිය පදවන අතර රියතුළ වූ ටෙලිපෝනය අතින් ගෙන වෙළඳ ගනුදෙනුවක් ගැන කථා කරයි.
ධර්මිෂ්ඨ සමාජය (පි.69) එදිරිවීර සරච්චන්ද්‍ර
අප සාමාන්‍යයෙන් තාක්ෂණය උපකරණයකට වඩා වැඩියමක් ලෙස නොසළකන අතර එය මානව පාලනයට යටත් කළ හැකි යමක් යැයි විශ්වාස කිරීමට තව දුරටත් පුරුදුව සිටිමු. තාක්ෂණය පිළිබඳ හෛඩැගර්ගේ කියැවීම එවැනි විශ්වාසයන්ගෙන් ඔබ්බට යාමට අපට බලකරනු ඇත. පසුගිය කෙටි කාලය තුල සන්නිවේදන ක්ෂේත්‍රයේ මෙන්ම අන් බොහෝ ක්ෂේත්‍රවල ඇති වූ සීඝ්‍ර තාක්ෂණික වර්ධනය විසින් ලාංකික මානව ජීවිතය තුල උද්ගත කර ඇති ගැටලු පිළිබඳ පැහැදිළි කිරීමක් අවශ්‍ය යුගයක අප ජීවත් වෙමු. සැබැවින්ම, මේ යුගය වනාහි උක්ත සරච්චන්ද්‍රයන්ගේ අත්දැකීම් නැවත කියවීමට ඇවැසි පසුබිමක් සපයන තාක්ෂණික අධිකත්වයේ යුගයකි. එවැනි පරිකල්පනාවක් වියහැකි කරවන සංකල්ප සොයා අපි හෛඩැගර් වෙත හැරෙමු. හෛඩැගර්ගේ දර්ශනය වෙත අප ප්‍රවේශ වන්නේ තාක්ෂණය පිළිබඳ ඔහුගේ චින්තාවන් ඇසුරෙනි. ඒ මූලකෘති කියැවීමේ සමකාලීන අදාළත්වය යළි සිහිපත් කරවමිනි.
නූතනත්වයේ ප්‍රබුද්ධත්ව ව්‍යාපෘතිය ගැටළුවට ලක්කිරීම බටහිර දාර්ශනික කියැවීම් තුළ ප්‍රකාශයට පත්වූ අවස්ථා අතර හෛඩැගර්ට වැදගත් තැනක් හිමිවේ. ඔහුගේ පැවැත්මේ විස්මෘතිය නැතහොත් අමතක වීම පිළිබඳ අදහස සිත්ගන්නා සුළුය. තවද නීට්ෂේගේ “අවසාන මිනිසා” හා “දෙවියන් වහන්සේගේ මරණය”, මාක්ස්ගේ පරාරෝපණය පිළිබඳ සංකල්පය, නූතනත්වය යකඩ කූඩුවක් ලෙස ගත් මැක්ස් වේබර්ගේ අදහස, ඇඩර්නෝගේ සංස්කෘතික කර්මාන්තය, නූතනත්වය තුල දේශපාලනය යට කරගෙන සමාජ ආර්ථික කටයුතු නැගීම පිළිබඳ දැක්වෙන හනා අරෙන්ඩ්ට්ගේ “සමාජීය දෙයෙහි නැගීම” හෝ මාගරට් කැනෝවන් නිවැරදිව සිහිපත් කළ ආකාරයට “ස්වභාවික දෙයෙහි අස්භාවික වර්ධනය,” හාන්ස් ජෝර්ජ් ගැඩමර්ගේ විෂය මූලිකත්වය මුල් කරගත් විද්‍යාත්මක ක්‍රමය මානවීය ජීවිතයේ අධිපතීත්වයට පැමිණීම පිළිබඳ විවේචනය මෙන්ම හර්බර්ට් මාකූසගේ “ඒකමානික මිනිසා” ආදී සංකල්ප තුළින් නූතනත්වය පිළිබඳ විවේචනය සම්පාදනය වී ඇත.
හෛඩැගර්ගේ අවබෝධය මෙහිලා සිහි කටයුතු වන්නේ එය බටහිර දාර්ශනික ඉතිහාසය තුළ අද්විතීය තැනක් හිමිකරගන්නා හෙයිනි. වරක් අර්ථකථනවේදී දාර්ශනික හාන්ස් ජෝර්ජ් ගැඩමර් දැක්වූයේ අප ජීවත්වන තාක්ෂණික යුගය වශයෙන් මස්තකප්‍රාප්ත වන දෙය ග්‍රීසියෙන් ඇරඹුනු දේ බව හෛඩැගර් විශ්ලේෂණය කිරීම ඔහු සඳහා අතිශයින් වැදගත් වූ බවයි. ඇරිස්ටෝටලියානු ශෛලිය අතින් ගත්කළ සාධ්‍යතා (teleological) භෞතික විද්‍යාවක් සහ පාරභෞතික විද්‍යාවක් නූතන සමාජීය ප්‍රයෝජ්‍යතාවාදී සහ කාර්මික විප්ලවයකින් කෙළවරවීම වැන්නක් කෙසේ සිදුවිය හැකිව තිබුනේ දැයි යන්න පිළිබඳ ලගන්නා අන්තර් දැක්මක් තමා හටදුන් පළමු වැන්නා හෛඩැගර් බව දක්වන ගැඩමර් ඔහු අදහස පිළිබඳ සමස්ථ අපරදිග ඉතිහාසයේ අභ්‍යන්තර ප්‍රතිඵලය, අභ්‍යන්තර සංගතිකභාවය වැඩිදියුණු කළ ආකාරය සාකච්ඡා කරයි. හෛඩැගර් කියාපාන ආකාරයට බටහිර ශිෂ්ටාචාරය තුළ තාක්ෂණය යන්නෙන් හුදෙක් උපකරණ සමූහයක් හෝ නිෂ්පාදන ආකාරයක් යන්න නොදැක්වේ. ඉන් කියැවෙන්නේ මානසික ආකාරයකි. තාක්ෂණය පිළිබඳ ඔහුගේ අදහස් “Questions Concerning Technology and Other Essays” වශයෙන් පළවන ඔහුගේ දේශණයක ඇතුළත් වේ. මෙම කෘතිය පුථමයෙන් ජර්මන් භාෂාවෙන් පළවන්නේ 1959 දී ය. ඔහු මෙම කෘතියේ දී තාක්ෂණය නම් ප්‍රපංචය දෙස හැරෙන්නේ තාක්ෂණයේ සාරය සහ ඒ සමග ඇති මානව සත්තාවේ භූමිකාව හෙළිදරව් කිරීමටය. එබැවින් ඒ පිළිබඳ සාකච්ඡාව අරඹනු වස් හෛඩැගර්ගේ දර්ශනයේ මුඛ්‍ය සංකල්පයක් වන “සත්තාව” පිළිබඳ සාකච්ඡාවකට මුලපිරීමටත් හෛඩැගර් බිහිවන ජර්මන් දාර්ශනික සම්ප්‍රදාය වෙත පිවිසීමටත් අපේක්ෂා කරමි.
2.
“හෛඩැගර්ගේ ජීවිතයේ කේන්ද්‍රීය සිද්ධිය බොහෝ දුරට තේරුම්ගත යුත්තේ ඔහු, සීමාන්තික අරුතකින් ඒ සා ශ්‍රේෂ්ඨ මිනිසෙක් යන කරුණට සම්බන්ධවයි. ඔහුට සංස්කෘතික පසුබිමක් තිබුණේ නැහැ. ඒ වගේම ඔහු සෑම දෙයක්ම මුදුන් පමුණුවා ගත්තේ ඔහුම මහන්සි වී වැඩ කිරිමෙන් සහ ඔහු සතු වු අති විශාල ඒකාග්‍රතා බලයෙන්. කිසිම දෙයක් සම්බන්ධයෙන් ඔහු කිසිවෙකුටත් ණයගැති නැහැ. තමා නිර්මාණශීලී ලෙසින් සත්තාව යන්න යළි සොයා ගත් අවස්ථා සහ භූමිය යන කරුණ සම්බන්ධයෙන් හැරුණු විට ඔහු තම දාර්ශනික සම්ප්‍රදායටවත්, තම ගුරුවරුන්ටවත් ණය ගැති නැහැ.”
හාන්ස් ජෝර්ජ් ගැඩමර්
රොයි බොයින් සමග සාකච්ඡාවක් – Theory Culture and Society
හෛඩැගර් ලියු ආකාරය තුලින් පෙන්නුම් කලේ ඔහු පැහැදිලිවම දාර්ශනික සම්ප්‍රදායෙන් බිඳී වෙන් වීමට උත්සහා දැරීම නම් කරුණයි. සම්ප්‍රදායෙන් වෙන් වී යාමේ එක් ක්‍රමයක් නම් නවවේදයන් (neologisms) බිහි කිරීමයි. එනම් නව සංකල්ප නිර්මාණය කෙරුණු අතර ඒවායේ ස්වීයතාවය නිසා කවර ආකාරයේ වත් දාර්ශනික ආම්පන්නයකින් තොර විය. මෙය බොහෝ විට හෛඩැගර් ක්‍රියාවේ යෙදවූ ක්‍රමයක් විය. තම කාර්යය ලෙස හෛඩැගර් විශ්වාස කලේ මනාව නිර්මිත ගැටළුවකට පහසු පිළිතුරක් සැපයීමට වඩා තම පාඨකයන් සිතීමට පෙළඹවීමය. ඔහු ලියූ ආකාරය කියවන්නා අවලෝකනයකට යොමු කරන ආකාරයේ අභියෝගයක් ඉදිරිපත් කිරීමකි. එබැවින් හෛඩැගර් කියවීම දාර්ශනික සම්ප්‍රදායක් හැදෑරීමට වඩා වෙනස් යමක් අපගෙන් අපේක්ෂා කෙරේ. කෙසේ නමුත් හෛඩැගර් ගේ ජීවන තොරතුරු බිඳක් මෙහි ගෙනහැරපාන්නේ අදාල ඓතිහාසික කාලය පිලිබඳ අවබෝධයක් ලබනු උදෙසාය.
දර්ශනයේ ඉතිහාසය පිලිබඳ හෛඩැගර්ගේ සමස්ථ අවධාරණය පුරා, ඔහු අධ්‍යයනය කළ දාර්ශනිකයන්ගේ ජීවිත පිලිබඳ ඉතිහාස ලේඛීය විස්තර සම්බන්ධයෙන් ඔහු තුළ පැවතියේ මඳ ඇල්මකි. වරක් ෂෙලිං පිළිබඳ දේශන මාලාවකට හැඳින්වීමක් වශයෙන් ඔහු පවසා සිටියේ “අවම වශයෙන් දාර්ශනිකයෙකුගේ කෘති හෝ කෘති කොටසක් සහ අංශු මාත්‍රයක්වත් අපගේ පරිශීලනය සඳහා ඇතිතාක් දාර්ශනිකයෙකුගේ ජීවිතය නොවැදගත් යමක්” බවයි. මේ සඳහා හෛඩැගර් ගේ යුක්තියුක්තකරණය වූයේ “දාර්ශනික පැවැත්මක තථ්‍යතාව අපට කිසිඳු චරිතාපදානයක් තුලින් දැන ගැනීමට නොහැකි වන” බවයි. හෛඩැගර්ට අනුව දාර්ශනිකයන්ගේ වැදගත්කම වූයේ දාර්ශනික ගැටළු සමග පොර බැදීමේ ලා වූ අපගේ පරිශ්‍රමයන්ට ඔවුනට දායක කළ හැකි දේ නිසාය. මෙලෙස පැරණි චින්තකයන්ගේ ජිවිත කථා සහ වාසනා ගුණයන්ගෙන් පැය ගණන් කා දැමීම ඔහු ප්‍රතික්‍ෂේප කළේ “ගැටළු වටහා ගැනීමට එමඟින් අමතර කිසිවක් එකතු නොවන බැවිනි.”
කෙසේ නමුත්, ෂෙලිං පිළිබඳ දේශන මාලාවේදී ඔහු විටින් විට චින්තකයාගේ බාහිර ජීවන පථය පිලිබඳ යම් යම් දළ හැඟවීම් ගෙනහැර පාන්නේ මෙම ජිවන පථය අදාල කාලයේ දත් ඉතිහාසය තුළ නිරවුල්ව පිහිටුවාලීම උදෙසාය. උක්ත අරුතින් හෛඩැගර්ගේ ජීවන පථය පිලිබඳ යම් යම් නිමිති ගෙනහැරපෑම අප යුක්ති යුක්තකරණය කරන්නේ එසේ කිරීමට තරම් ප්‍රකට සිද්ධි ඔහුගේ ඓතිහාසික කාලය තුළ මුණ ගැසෙන නිසා යැයි දැක්විය යුතුය.
හෛඩැගර් උපත ලැබුවේ 1889 සැප්තැම්බර් 26 වෙනිදා බේඩන් හි මෙස්කර්ක් නම් ජර්මනියේ උග්‍ර කතෝලික ප්‍රදේශයකය. ඔහු බොහෝ විට මෙම පලාතේ, සහ එහි ආවේණික භාවිතයන් සහ භාෂා රටාවන් තුළ මුල්බැස ගත් බවකින් යුක්ත විය. ඔහුගේ ජීවිකාවේ සහ ඉගැන්වීමේ වැඩිම කාලයක් ඔහු ගත කලේ ප්‍රේබර්ග් වලය. හෛඩැගර් 1976 මැයි 26 දින මිය ගිය අතර ඔහුගේම කැමැත්තට අනුව මෙස්කර්ක්හි මැයි 28 වැනිදා භූමිදානය කරන ලදි. හෛඩැගර්ගේ පියා පල්ලියේ වැඩ භාරකරැවෙකි. ආගමික සහ දේවධර්මය අධ්‍යයන කටයුතු හෛඩැගර්ගේ මූලික අධ්‍යාපනයේ ප්‍රධාන කාර්යයක් ඉටු කලේය. ඔහු අධ්‍යාපනය ලැබුවේ කොන්ස්ටනස් සහ ප්‍රේබර්ග් හි ජිමිනේසියාවේ වූ අතර ඔස්ට්‍රියාවේ ටිසිස් හි ජෙසුයිට් සාමනේර ආරාමයට ඔහු 1909 දී ඇතුළු වූවත් සෞඛ්‍ය හේතු මත ඉන් ඉවත් විය. ඔහු නැවත තම දේවධර්ම අධ්‍යයන කටයුතු 1909 දී ප්‍රේබර්ග් විශ්ව විද්‍යාලයේදී ආරම්භ කල නමුත් අවසානයේදී දේවධර්මය අතහැර දමා ගණිතය සහ අනතුරුව දර්ශනය අධ්‍යනය කිරිමටත් යොමු විය. 1919 වන විට හෛඩැගර්ගේ කතෝලික දේවධර්මවාදී පද්ධතියෙන් වෙන් වෙන අතර ඔහු ඒ වන විට එය ගැටළු සහගත ලෙසත් පිළිගත නොහැකි ලෙසත් දකින්නට පටන් ගත්තේය. කෙසේ නමුත් කතෝලික දේවධර්ම පද්ධතිය ඉවත දැමීම මඟින් ඔහු ක්‍රිස්තියානිය සහ පාරභෟතිකවාදය ඉවත දැමීමක් අදහස් නොකලේය. පසු වර්ෂ වල ආගම, පාරභෟතිකවාදය පිළිබඳ ප්‍රපංචවිද්‍යාව පිලිබඳ බොහෝ විට දේශන පැවැත්වීය.
හෛඩැගර් දර්ශනය පිලිබඳ තම දර්ශනශූරී උපාධිය මනොනුවර්තනවාදයේ විනිශ්චය න්‍යාය යන නිබන්ධය සඳහා ප්‍රේබර්ග් විශ්ව විද්‍යාලයෙන් දිනා ගත්තේය. ඔහු ඩුන්ස් ස්කොටුස්ගේ ප්‍රවර්ග සහ අර්ථය පිලිබඳ න්‍යාය යන මැයෙන් යෝග්‍යතා නිබන්ධයක් 1915 දී සම්පුර්ණ කල අතර 1915 – 16 ශීත ඍතු සෙමෙස්තරයේ ප්‍රේබර්ග් හි දේශන කිරීම ආරම්භ කලේය. ඔහු හැම විටම දාර්ශනික තර්ක ශාස්ත්‍රය සහ මධ්‍යකාලීන දර්ශනය පිලිබඳ දේශන කලේය.
1916 දී ප්‍රේබර්ග් විශ්ව විද්‍යාලයට එඩමන්ඩ් හුසර්ල්ගේ පැමිණීම හෛඩැගර්ම ප්‍රකාශ කල ආකාරයට “මගේ පළමු වන සෙමෙස්තරයේ සිට මා ආශා කල, ප්‍රපංචවේදි පර්යේෂණ වලට විධිමත්ව එළැඹීමේ අවස්ථාව” උදා වීමකි. හෛඩැගර් කලක් හුසර්ල්ගේ සහායකයෙකු වශයෙන් කටයුතු කල අතර, නමුත් හුසර්ල්ගේ ප්‍රපංචවිද්‍යාවෙන් ක්‍රමිකව බිඳී ප්‍රේබර්ග් හි සහ පසුව 1923 දී මහාචාර්ය පදවියට පත්කිරිමත් සමග මාර්බර්ග් හි ද ප්‍රපංචවේදය පිළිබඳ ඔහුගේම පාඨමාලා ඉගැන්වීමට පටන් ගත්තේය. තම ගුරුවරයා වූ හුසර්ල්ගෙන් බිඳීම ප්‍රසිද්ධ වූයේ 1927 දී Being and Time කෘතිය පල කිරිමත් සමඟය.
සත්තාව සහ කාලය
හෛඩැගර් තම මහාර්ඝ ඵලය වූ සත්තාව සහ කාලය කෘතිය තුල අරඹන සත්භවවේදී අධ්‍යයනයේ මූලික අරමුණ වන්නේ සත්තාව යන්නෙහි අර්ථය නිරාවරණය කර ගැනීමයි. එනම් කවර පදනමකින් සත්තාවන් අවබෝධ කරගන්නේද යන්නයි. ඔහු මෙම අධ්‍යයනය මුළුමනින්ම සම්පූර්ණ නොකලත් සත්තාවේ අර්ථය පැහැදිලි කිරීමේ ලා මූලික සටහන් දක්වයි.
තව කොටසක් මීළඟ කලාපයේ