අප භාෂාවට ප්‍රබල සාහිත්‍යයක් ද නොමැතියි. අප රටට ප්‍රබල සංස්කෘතියක්ද නොමැතියි

‘අප භාෂාවට ප්‍රබල සාහිත්‍යයක් ද නොමැතියි. අප රටට ප්‍රබල සංස්කෘතියක්ද නොමැතියි.’

මහාචාර්ය ආරිය රාජකරුණා ගේ පැමිණිල්ල

“සිංහල භාෂාවේ අනාගතය අවිනිශ්චිතයි” යන මැයෙන් මහාචාර්ය ආරිය රාජකරුණා ලියූ ලිපියක් 2009 ජූනි 07 වැනිදා රාවය පුවත් පතේ පළවී තිබුණි.

මහාචාර්ය රාජකරුණා දකින පරිදි, අධ්‍යාපනය ප්‍රයෝජ්‍යතාවාදී අරමුණුවලට යටවීමේ හේතුවෙන් ඉංග්‍රීසි බසට මුල් තැන ලැබී, ස්වභාෂා මාධ්‍යයෙන් ලබන අධ්‍යාපනය සමාජයේ ඉතා නොවැදගත් තත්ත්වයකට පත්ව තිබේ. විශ්ව විද්‍යාලවල සිංහල අංශ එහි අධ්‍යයන කටයුතු වලට පරිභාහිර විෂයයන් බද්ධ කිරීමෙන් සිංහල භාෂාව සහ සාහිත්‍යය අධ්‍යයනයට තිබූ මුල් තැන ඊට අහිමි වී ඇත. විශ්ව විද්‍යාල තුළ සිංහල බස නැසීමේ මෙම ක්‍රියාවලිය ඇරඹුණේ සිංහල අධ්‍යයන අංශයට ජන සන්නිවේදනය ඈඳීමෙන් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙනි. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ පර්යේෂණ ප්‍රමුඛතා ද ප්‍රයෝජ්‍යතාවාදී අරමුණුවලට යටවීමේ හේතුවෙන් ඔවුන් පර්යේෂණ කරන්නේද සිංහල භාෂාව සහ සාහිත්‍යය‍ට පරිභාහිර විෂයයන් ගැනය. එනිසා සිංහල භාෂාව සහ සාහිත්‍යය‍ පිළ‍ිබඳ පර්යේෂණ අතිශයින් සීමාසහිත වෙයි. විශ්ව විද්‍යාලවල ශාස්ත්‍ර පීඨ සඳහා පශ්චාත් උපාධි ආයතන ද පිහිටුවා ද නැත. පැරණි සිංහල සාහිත්‍යය‍ මතු නොව නූතන සිංහල සාහිත්‍යය‍ කියවන පාඨක පිරිසක් ද තව දුර‍ටත් මෙරට නැත. මෙයට හේතුව අධ්‍යාපනයේ ඇතිවූ වෙනස්කම් ය. අද සරසවි සිසුහු පශ්චාත් උපාධි මට්ටමේදී පවා පොත් පත් නොකියවති. සමාජය, ප්‍රයෝජ්‍යතාවාදී නැඹුරුව හේතුවෙන්, පොත් පත් කියවීම අගය නොකිරීම එයට හේතුවයි.

ප්‍රයෝජ්‍යතාවාදය සහ හේතුවාදය

මහාචාර්ය රාජකරුණා මෙලෙස විශ්ව විද්‍යාලවල සිංහල අධ්‍යයන අංශ ගැන මතුකරන ගැටළුව විශ්ව විද්‍යාලවල මානව ශාස්ත්‍ර සහ සමාජීය විද්‍යා අධ්‍යයන අංශ සම්බන්ධයෙන්ද බොහෝ දුර‍ට සැබෑ බව ඒ පිළිබඳ නිරීක්ෂණය කරන්නකු‍‍ට ඉතා පහසුවෙන් පෙනී යා යුතුය. මානව ශාස්ත්‍ර සහ සමාජීය විද්‍යා විෂයයන් ගේ තැන අද ගෙන ඇත්තේ සංස්කෘතික අධ්‍යයන, ස්ත්‍රීවාදී අධ්‍යයන, සංවර්ධන අධ්‍යයන, සමාජ වැඩ, ප්‍රායෝගික අධ්‍යයන යනාදියයි.

මෙම තත්ත්වය ලංකාවට පමණක් නොව පොදුවේ ලොවටම අදාළ ය යන අපගේ නිරීක්ෂණය, එය භාරගන්නවා හැර විකල්පයක් අප‍ට නැතැයි කීමක් ලෙස භාරගත යුතු ද නොවේ. අධ්‍යාපනය ප්‍රයෝජ්‍යතාවාදී අරමුණුවලට යට කිරීම ද අද වන විට ලොව පුරා ව්‍යාප්ත වූ ක්‍රියාවලියකි. මෙය නූතනත්වය තුළ සියළු දෙය ප්‍රයෝජ්‍යතාවාදී දෘශ්ටියෙන් දැකීමේ හේතුවාදී ආකල්පය අධ්‍යාපනයටද පැතිරීමේ ප්‍රථිඵලයකි. මෙම තත්ත්වයන්ට අමෙරිකාව සහ යුරෝපය මුහුණ දෙන්නේ කෙසේදැයි අප විමසිය යුතුය.

අප අධ්‍යාපනයේ වටිනාකම මැණිය යුත්තේ කුමන මිණුම් දණඩකින්ද? ප්‍රයෝජ්‍යතාවාදී වටිනාකම් වලට පිටස්තරව අධ්‍යාපනයට තිබිය හැකි අත්‍යන්ත – ඊ‍ටම හිමි – වටිනාකම් තිබේද? ඇත්නම් ඒ මොනවාද?

අධ්‍යාපනය සහමුලින්ම ප්‍රයෝජ්‍යතාවාදී අරමුණුවලට ගැ‍ටගහන සමාජයකට තිබිය හැක්කේ කුමන අනාගතයක් ද? එබඳු රටක, සිතා මතා කටයුතු කිරීම අවශ්‍ය වන තනතුරු හෙබවීමට පුද්ගලයන් වෙනත් ආකාර අධ්‍යාපන පසුබිමකින්, එනම් පිටරට අධ්‍යාපනයෙන් ලබාගැනීමට සිදුවනු ඇත. පිටරටම අධ්‍යාපනය ලැබූ අයට ලාංකේය සමාජය සමග ‍ඓන්ද්‍රිය සම්බන්ධයක් ගොඩනගා ගැනීම දුෂ්කරවීමෙන් ඇතිවන ගැටළු තිබෙනු ඇත.

මහාචාර්ය රාජකරුණා කියන බව පෙනෙන්නේ අධ්‍යාපනය හුදෙක් ප්‍රයෝජ්‍යතාවාදී දෘශ්ටියෙන් මනින රටක‍ට තම බස පමණක් නොව සාහිත්‍ය කලා යනාදියද, අදීන සංස්කෘතියක් ද නැතුව යනු ඇති බව ය.

සාහිත්‍යය සහ සංස්කෘතික අනන්‍යතාව

මහාචාර්ය රාජකරුණා ජපානය සමග ඉහත දැක්වූ ලංකාව සසඳමින් කියා සිටින්නේ ජපානය සුවිශේෂ ලක්ෂණ වලින් යුතු අදීන සංස්කෘතියක් ගොඩ නගා ගත් හෙයින් එරට භාෂාවද චිරාත් කාලයක් නොනැසී පවතිනු ඇති බවයි.

මහාචාර්ය රාජකරුණා මෙසේ කියන විට භාෂාවක් දිගු කලක් නොනැසී පැවතීම අවශ්‍ය වන්නේ මන්ද? යි නූතන සිතකට ප්‍රශ්නයක් නැගෙන්න‍ට ඉඩ තිබේ. එක භාෂාවක් නැති නම් තවත් එකක් යොදාගත හැකි නොවේද?

මේ ගැන සිතන්නට ඉඟියක් භාෂාව යනු හුදු සන්නිවේදන මෙවලමක් නොව අප මනුෂ්‍යයන් වන මග ම වන්නේය, යන අදහසින් ලබා ගත හැකි යැයි සිතමි. “භාෂාව යනු සත්තාවේ නේවාසය යි” යනුවෙන් හෛඩගර් කියන්නේ එහෙයිනැයි සිතමි.

අතීතයේදී ලංකාව කලා ශිල්ප අතින් ප්‍රෞඩ සංස්කෘතියකට හිමිකම් කී බව පිළිගන්නා මහාචාර්ය ආරිය රාජකරුණා තම විග්‍රහයෙන් මතු කරන කරුණක් වන්නේ ජපානය‍ට මෙන් ලංකාවට තම ‘ප්‍රෞඩ සංස්කෘතිය’ අතීතයේදී මෙන් වත්මනෙහිදීත් පවත්වා ගත නොහැකි වූයේ මන්ද? යන්නයි.

මහාචාර්ය ආරිය රාජකරුණා දකින පරිදි, පැරණි සිංහල සාහිත්‍යය පමණක් නොව නූතන සිංහල සාහිත්‍යයද, ගද්‍ය පද්‍ය දෙඅංශයෙන්ම, විශ්ව සාහිත්‍යට ප්‍රව‍ිශ්ඨ විය හැකි පරිද්දෙන් අප ගේ සංස්කෘතික අනන්‍යතාව ලොවට පිළිබිඹු කොට නැත. “කාලිදාසගේ මේඝ දූතය වැනි අපූරු සන්දේශ කාව්‍යයක් හෝ සකුන්තලා වැනි අපූරු නාට්‍යයක් සිංහල සාහිත්‍යයෙහි දක්න‍ට නැත.” අපගේ පැරණි සාහිත්‍යය අනුකරණවාදී විය. සිංහල සාහිත්‍යය පමණක් නොව නර්තනය, සංගීතය, සිනමාව සම්බන්ධයෙන් ද මේ එකම කරුණ අදාළ වෙයි. අපට ආර්.කේ. නාරායන් හෝ මුල්ක් රාජ් ආනන්ද් කෙනෙකු, ඔශු, මිශොගුචි හෝ කුරොසව කෙනෙකු, හෝ රායි කෙනෙකු නැත. “අප භාෂාවට ප්‍රබල සාහිත්‍යයක් ද නොමැතියි. අප රටට ප්‍රබල සංස්කෘතියක්ද නොමැතියි. පසුගිය වකවානුව තුළ අප ලොව පුරා කැපී පෙනුණේ ක්‍රීඩාව හා ත්‍රස්තව‍ාදය අතින් ප්‍රබල රටක් හැටියට පමණකි” යි ඔහු කියයි.

මහාචාර්ය රාජකරුණාගේ යෝජනාව සාහිත්‍යය සහ කලා කෘතීන් විශ්ව සාහිත්‍යය‍ට සහ කලාව‍ට පිළිගැනෙන්න‍ට නම් ඒවා අපගේ දේශීය සංස්කෘතික අනන්‍යතාව ලොවට පිළිබිඹු කිරීමට සමත් විය යුතු බවයි. මෙය ලොව අන් අය කරන දෑ හුදු අනුකරණයෙන් කළ හැකි දෙයක් නොවේ. තම කෘතීන්ගෙන් දේශීය සංස්කෘතික අනන්‍යතාව පිළිබිඹු කිරීමට කලා කරුවාට අවශ්‍ය පරිචය කුමන ආකාරයේ එකක්ද?

අපගේ සාහිත්‍යය සහ කලා කෘතීන් අතීතයේදී මෙන්ම වත්මනෙහිදීත් අපගේ සංස්කෘතිය, දේශීය ලක්ෂණ නියෝජනය කිරීම‍ට සමත් නොවී නම් ඒ මන්ද‍? යි සිතා බැලීමට අපට සිදුවෙයි.

මහාචාර්ය රාජකරුණා දක්වන පරිදි සිංහල භාෂාව අභාවයට ගියහොත් ඉන් පෙන්නුම් කරනු ඇත්තේ සිංහල ප්‍රජාවද වඳ වී යනු ඇති බවයි. සිංහලයන්ට තමන්ගේ යැයි රැකගත යුතු සුවිශේෂී සංස්කෘතික අනන්‍යතාවක් ද නැති බවයි. සිංහලයන් යනු චන්ද්‍රප්‍රේම ගේ ලිබරල්වාදී මිනිසා මෙන් කන, බොන, නිදන, රමණය කරන, තමන් කැමති දෙයක් බලා විනෝද වන, උපන්නාට මෙලොව ජීවත් වී මිය යන මිනිසුන් බවයි.

නමුත් මහාචාර්ය රාජකරුණා තමා සිංහලයෙකු වීම පිළිබඳ වෙනත් ආකාරයකට සිතන බව පෙනේ.

මහාචාර්ය රාජකරුණා ගේ අදහස් වලින් කියැවෙන තව දෙයක් වන්නේ භාෂාව, සාහිත්‍යය, කලා ශිල්ප යනාදිය හුදු අහම්බයන් වනවාට වඩා මානවයන් තම සුවිශේෂී සංස්කෘතික අනන්‍යතාව ප්‍රකාශයට පත්කරනආකාරයන් බවයි.

– විචාරක්ෂි