මූලකෘති – ඇරිස්ටෝ‍ටල් ගේ ආචාර ධර්මය

ආචාර ධර්මය – ඇරිස්ටෝ‍ටල්

– දෙවැනි පොත

ඇරිස්ටෝ‍ටල් ගේ ආචාර ධර්මය කෘතිය ලි‍යැවී ඇත්තේ චරිතයේ සද්ගුණය පිළිබඳ ය. බුද්ධිමය සද්ගුණය මෙන් නොව සදාචාරාත්මක සද්ගුණය සැකසෙනුයේ පුරුද්ද මගිනි. අපේ යහ ගුණයන් අපට ලැබෙන්නේ ඒවා නිරතුරුව ප්‍රගුණ කිරීමෙනි. මේ හා සමානවම නරක ගතිගුණ අපට ලැබෙන්නේ නරක ගතිගුණ නිතර ප්‍රගුණ කිරීමෙනි. යහපත් පුරුදු අපතුළ යහගුණ වගා කරන අතර යහගුණ වගා කර ගත් විට යහපත් පුරුදු වල නිරත වීම පහසු වෙයි. මිනිසකුගේ සදාචාරාත්මක සද්ගුණය හෝ විශිෂ්ටත්වය ඔහු හොඳ මිනිසකු බවට පත් කරන්නේය, ඔහුගේ ම කාර්යය හොඳින් කිරීමට ඔහුට හේතුකාරක වන චරිතාංගලක්ෂණයක් වන්නේය. සදාචාරාත්මක ගුණයන් අඩුපාඩු අතින් හෝ බාහුල්‍යය අතින් හෝ අන්තයට ගිය විට ඒවා වැනසෙයි. අධිකත්වය සහ හිඟය සාර්ථකත්වය වනසන අතර මධ්‍යස්ථය එය ආරක්ෂා කරයි. සදාචාරාත්මක සද්ගුණයේ ඉලක්කය වන්නේ මධ්‍යස්ථය යි. සදාචාරාත්මක සද්ගුණය හෝ විශිෂ්ටත්වය, තේරීම හා සම්බන්ධ අංගලක්ෂණයකි. එය සමන්විත වන්නේ, ප්‍රායෝගික ප්‍රඥාවෙන් යුත්තෙකු එය තීරණය කිරීමට භාවිතා කරනු ඇති, අපට සාපේක්ෂ, මධ්‍යයනය පිළිපැදීමෙහි ය. එය මධ්‍යයනයක් වනුයේ අසද්ගුණ දෙකක අනුසාරයෙනි: එකක්, අධිකත්වයේ හා අනෙක හිඟ බවේත් ය. සද්ගුණය මධ්‍යයනය සොයා එය ම තෝරා ගන්නේ ය. නමුත්, යහපත් බව හා විශිෂ්ටත්වය සම්බන්ධයෙන් එය සීමාන්තයකි.

අප පහත පරිවර්තනයෙන් ඉදිරිපත් කරන්නේ ආචාර ධර්මය කෘතියේ දෙවැනි පොතෙන් උපුටා ගත් කොටස් කිහිපයකි.

ඇරිස්ටෝ‍ටල්

1. පුරුදුවල ප්‍රතිඵලයක් වශයෙන් සදාචාරාත්මක සද්ගුණය

අප දුටු පරිදි සද්ගුණය වර්ග දෙකකි, ඒ බුද්ධිමය සද්ගුණය සහ සදාචාරාත්මක සද්ගුණයයි. බුද්ධිමය සද්ගුණයේ හෝ විශිෂ්ටත්වයේ ආරම්භය හා වර්ධනයට ප්‍රධාන වශයෙන් ම හේතු වූයේ උගැන්වීම ය, ඒ හේතුව නිසා එයට පලපුරුද්ද හා කාලය අවශ්‍ය වේ. අනෙක් අතින් සදාචාරාත්මක සද්ගුණය සැකසෙනුයේ පුරුද්ද මගිනි, එබැවින්, එහි නම, ethike සුලු වෙනසක් සහිත ව උකහා ගෙන ඇත්තේ ethos වෙතිනි. සදාචාරාත්මක සද්ගුණයන්ගෙන් කිසිවක් සොබාදහම විසින් අප තුළ පැළපදියම් කර නොමැති බවද ඉන් පෙනේ, සොබාදහමින් පවතින කිසිවක් පුරුද්ද මගින් වෙනස් කළ නො හැකි බැවිනි. උදාහරණයක් වශයෙන්, යමෙකු දසදහස් වාරයක් ගලක් උඩ දැමීමෙන්, ඊට උඩ යාමේ පුරුද්ද ඇති කිරීමට උත්සාහ කළත්, ස්වභාවයෙන් පහළට ගමන් කිරීමක් ඇති ගලකට, එසේ කිරීමට කොහෙත් ම නො හැක: ගින්න පහළට ගමන් කිරීමට ද යොමු කළ නො හැක, එමතු නොව, සොබාදහමින් දෙන ලද කවර හෝ ප්‍රවණතාවක් පුරුදු කරවීම මඟින් ගමන්අත වෙනස් කරවිය නො හැක. ඒ අනුව අප තුළ සද්ගුණයන් පැළපදියම් කර ඇත්තේ සොබාදහම මගිනුත් නොවේ, ඊට විරුද්ධවත් නොවේ: ඒවා ලබාගැන්මට අපට සොබාදහමින් හැකියාව ලැබී ඇත, සහ මෙම හැකියාව පුරුද්ද මගින් පරිසමාප්තියට හා ඉෂ්ටසිද්ධියට පත් කෙරේ.

එ පමණක් නො ව, ස්වභාවයෙන් අපට ලැබී ඇති ගුණාංගයන් සියල්ල අතරින් පළමුව අපට සාමාර්ථය ලැබෙන අතර ක්‍රියාකාරීත්වය දිස් වනුයේ ඉන් පසුව ය. මෙය සත්‍ය බව සංවේදීතාවන්ගෙන් සනාත කෙරේ: අප අපේ සංවේදීතාව අත්කර ගන්නේ නිතර දැක්මෙන් හෝ නිතර ඇසීමෙන් නොවේ, එසේ නො ව, පළමුව අපි ඒවා අත්කර ගෙන ඉන් පසු භාවිතා කරමු; අප ඒවා අත් කර ගන්නේ භාවිතයෙන් නො වේ. අනෙක් අතින්, අපි සද්ගුණයන් අත් කර ගන්නේ පළමු ව ඒවා ක්‍රියාවට නැගීමෙනි, සහ ශිල්පයන් සම්බන්ධයෙන් ද එය එසේ ම වේ. අපට කරන්නට හැකි වීමට පෙර අප උගත යුතු දෑ අප ඉගෙන ගන්නේ කිරීම මගින් බැවිනි: මිනිසුන් ඉදිකරන්නන් බවට පත් වන්නේ නිවෙස් ඉදිකිරීමෙනි, සහ වීනා වාදකයන් වීනා වැයීමෙනි. ඒ අන්දමින් ම, අප යුක්ති සහගත බවට පත් වන්නේ යුක්ති සහගත ක්‍රියාවන්හි යෙදීමෙනි, ආත්ම සංයමයෙන් යුතු බවට පත් වන්නේ ආත්ම සංයමය ප්‍රගුණ කිරීමෙනි, සහ දිරිමත් බවට පත්වන්නේ ධෛර්ය සම්පන්න ක්‍රියාවන්හි යෙදීමෙනි.

රාජ්‍යයන්හි සිදු වන දෙයින් මෙය සනාත වේ. නීතිදායකයන් පුරවැසියන් යහපත් බවට පත් කරනුයේ ඔවුන් තුළ (හොඳ) පුරුදු ඇති කරවීම මඟිනි, සහ එය සෑම නීතිදායකයෙකුගේ ම ඉලක්කය වේ; එය කිරීමෙහිලා ඔහු සාර්ථක නොවේ නම්, ඔහුගේ ව්‍යවස්ථා පැනවීම අසාර්ථකත්වයකි. හොඳ ආණ්ඩු ව්‍යවස්ථාවක් නරක එකකින් වෙනස් වන්නේ මෙ කරුණෙනි.

එපමණක් නො ව, කවර හෝ විශිෂ්ඨත්වය හෝ සද්ගුණය ඇති කරවන හේතු හා විධීන්ට ම ඒවා විනාශ කිරීමට ද හැකිය, සහ සෑම ශිල්පයක් සම්බන්ධයෙන් ද එය එසේ ම වේ. මිනිසුන් හොඳ හා නරක වීනා වාදකයන් බවට පත් වන්නේ වීනා වැයීමෙන් ම ය, සහ එසේ ම ගොඩනැගිලි ඉදි කරන්නන් හා අන් ශිල්පීන් සම්බන්ධයෙන් ද තත්ත්වය එය ම වේ: හොඳින් ගොඩනගන මිනිසකු හොඳ ඉදිකරන්නකු වේ, නරකට ඉදි කරන්නකු නරක වේ. මන්දයත්, එය එසේ නො වී නම් උපදේශකයකු අවශ්‍ය නො වන නමුත්, සෑම කෙනෙකු ම හොඳ හෝ නරක ශිල්පියකු ලෙස උපත ලබනු ඇති බැවිනි. සද්ගුණයන් සම්බන්ධයෙන් ද එසේ ම ය: ඇතැමුන් යුක්තිසහගත හා සෙස්සන් අයුක්ති සහගත බවට පත් වන්නේ, අනෙක් මිනිසුන් සමඟ අපගේ ගනුදෙනු වලදී, ක්‍රියාව මඟිනි, සමහරෙකු නිර්භීත මිනිසුන් බවට හා සෙස්සන් බියගුල්ලන් බවට පත් වන්නේ, අනතුර හමුවේ ක්‍රියා කිරීමෙන් හා බිය හෝ විශ්වාසය හැඟීමේ පුරුද්ද ගොඩනඟා ගැනීමෙනි. රුචීන් හා කෝප හැඟීම් සම්බන්ධයෙන් ද එය ම අදාල වේ: යම් ආකාර තත්ත්වයන්ට එක් අයුරකින් හෝ වෙනත් අයුරකින් ප්‍රතික්‍රියා කිරීමෙන්, සමහර මිනිසුන් ආත්ම සංයමයෙන් යුතු හා විනීත බවට පත් වන අතර වෙනස් අය අසංවර හා කෝප සහගත බවට පත් වෙති. කෙටියෙන් කියතොත් චරිතාංගලක්ෂණයන් වර්ධනය වන්නේ අනුරූපී ක්‍රියාකාරීත්වයන් මඟිනි. මන්දයත් ඒ නිසා අපගේ ක්‍රියාකාරීත්වයන් එක්තරා වර්ගයක වීමට අප වග බලා ගතයුතු ය, ඒවායේ කවර හෝ වෙනස් කමක් අපගේ චරිතලක්ෂණයන්ගෙන් පිළිබිඹු වනු ඇති බැවිනි. එබැවින් එක් පුරුද්දක් හෝ වෙනෙකක් අප තුළ ප්‍රගුණ කරවා ඇත්තේ මුල් ළමා වියේ දී සිට ද යන්න සුළු කරුණක් නො වේ; ඊට ප්‍රතිවිරුද්ධව, එය සෑහෙන වෙනසක් හෝ ඊටත් වඩා පූර්ණ වෙනසක් ඇති කරන්නේ ය.

2. ප්‍රායෝගික විද්‍යාවන්හි ක්‍රමය

…………………………….

සදාචාරාත්මක ගුණයන්ගේ ස්වභාවය කවරාකාර ද යත්, අඩුපාඩු හෝ බාහුල්‍යය මඟින් ඒවාවැනසෙන බව, සියල්ලට පෙර නිරීක්ෂණය කළ යුතු ය. අප කළ යුතු පරිදි, දෘශ්‍ය පැහැදිලි කිරීම් මඟින් අදෘශ්‍ය දෑ හුවා දැක්වීමේ දී, ශක්තිය හා සෞඛ්‍යය සම්බන්ධයෙන් ද එම දෙයම සිදු වන බව අපට පෙනේ: ශාරීරික අභ්‍යාස වැඩිවීම මෙන්ම අඩු වීම ද අපගේ ශක්තිය විනාශ කරන්නේ ය, එසේ ම පමණට වැඩි හා පමණට අඩු ආහාරපාන අපගේ සෞඛ්‍යය වනසන්නේ ය; කෙසේ වෙතත්, සමානුපාතික ප්‍රමාණය එය උපදවා, වර්ධනය කර, සංරක්ෂණය කරන්නේ ය. ආත්ම සංයමය, දිරිය සහ අනෙකුත් සද්ගුණයන්ට ද එය ම අදාල වේ: සෑම දෙයට ම බිය වී, මඟ හරිමින් ස්ථාවරව නො සිටින්නා බියගුල්ලෙකු බවට පත් වන අතර, කොහෙත්ම බිය නො හඳුනන හා සෑම අවධානමට ම මුහුණ දීමට යන මිනිසෙක් අන්තරාය නොතකන බවට පත් වේ. ඒ අන්දමින් ම, සෑම සුඛයක්ම මුස්පේන්තුවකු මෙන් මඟහරින්නා අසංවේදී යැ යි කිය හැකි කෙනෙකු බවට පත් වන්නේ ය. ආත්ම සංයමය හා දිරිය, පමණට වැඩි බවින් හා අඩු බවින් වැනසෙන අතර, මධ්‍යයනයේ ඇති විට සංරක්ෂණය වන බව, ඒ අනුව අපට පෙනේ.

සද්ගුණයන්ගේ ආරම්භය හා වර්ධනයට වගකිව යුතු හා ආධාරක වන ක්‍රියාවන් ම ඒවායේ විනාශයට හේතු හා මාර්ග වනවා පමණක් නො ව, සද්ගුණයන් සක්‍රීය ලෙස භාවිතයේ දී ඒවා පිළිබිඹු වන්නේ ද වේ. අනෙකුත් වඩා දෘශ්‍ය ගුණාංගයන්හි, අපට මෙහි සත්‍යතාව දැකගත හැක, උදාහරණ වශයෙන් ශක්තිය ගත හැක. ශක්තිය ජනනය වන්නේ බොහෝ ආහාර පරිභෝජනය හා බොහෝ දැඩි පරිශ්‍රමයක් දරා ගැන්ම මඟිනි, සහ, මේවා කිරීමට හොඳින් ම හැකි වන්නේ ශක්තිමත් මිනිසාට ය. සද්ගුණයන් සම්බන්ධයෙන් ද එයම සත්‍ය වේ: සුඛයන්ගෙන් වැළකී සිටීමෙන් අපි ආත්ම සංයමයෙන් යුතු බවට පත් වෙමු, සහ අප ආත්ම සංයමයෙන් යුතු බවට පත් වූ පසු, අපට වඩාත් ම හොඳින් සුඛයන්ගෙන් වැළකී සිටිය හැකි වේ. දිරිය සම්බන්ධයෙන් ද එසේ ම ය: භීතිය හෙළා දැකීමට හා දරා ගැනීමට පරිචිත වීමෙන් අප දිරියෙන් යුතු බවට පත් වේ, සහ අප දිරියෙන් යුතු බවට පත් වීමෙන් පසු, අපට වඩාත් හොඳින් දරා ගැනීමට හැකි වේ.

………………………………

6. සද්ගුණය නිර්වචනය කෙරේ : විශද බවේ ලකුණ

කෙසේ වෙතත්, සද්ගුණය පොදුවේ චරිතාංගලක්ෂණයක් ලෙස නිර්වචනය කිරීම පමණක් ප්‍රමාණවත් නො වේ: එය මොන ආකාර චරිතාංගලක්ෂණයක් ද යන්න අප විශේෂයෙන් දැක්විය යුතු ය. එවිට, සෑම සද්ගුණයක් හෝ විශිෂ්ටත්වයක් (1) එය විශිෂ්ටත්වයක් බවට පත් වන්නේ කුමන දෙයක් සම්බන්ධව ද, ඒ දෙය ම යහපත් බවට පත් කරන්නේ ය, සහ (2) ඊට එහි කාර්යය හොඳින් ඉටු කිරීමට හේතුකාරක වන්නේ යැ යි, සඳහන් කළ යුතු වේ. උදාහරණයක් වශයෙන්, ඇසේ විශිෂ්ටත්වය ඇස සහ එහි කාර්යයන් ද යහපත් බවට පත් කරන්නේ ය, හොඳ පෙනුමට හේතුව ඇසේ විශිෂ්ටත්වය බැවිනි. ඒ අන්දමින් ම, අශ්වයකුගේ විශිෂ්ටත්වය ඌ අශ්වයකු වශයෙන් හොඳ බවට පත් කරනු මෙන් ම, දිවීම අතින්, අසරුවා ගෙන යාම අතින්, හා සතුරාට මුහුණ දීම අතින් ද හොඳ බවට පත් කරන්නේ ය. මෙය සෑම දෙයක් සම්බන්ධයෙන් ම සත්‍ය නම්, මිනිසකුගේ සද්ගුණය හෝ විශිෂ්ටත්වය ද, ඔහු හොඳ මිනිසකු බවට පත් කරන හා, ඔහුගේ ම කාර්යය හොඳින් කිරීමට ඔහුට හේතුකාරක වන චරිතාංගලක්ෂණයක් වනු ඇත. මෙය සත්‍ය වන අන්දම දැනටමත් අප යම් දුරකට සඳහන් කර ඇත; සද්ගුණයේ ස්වභාවය යනු කුමක් දැ යි අප අධ්‍යයනය කළොත් ඉතිරිය පැහැදිලි වනු ඇත.

කොටස් වලට බෙදිය හැකි සෑම සන්තතික දෙයකම වඩා විශාල, වඩා කුඩා හෝ, සමාන කොටසක් ගත හැකි අතර, සහ එක්කෝ වස්තුවට ම සාපේක්ෂව නැතහොත් අපට සාපේක්ෂ ව, මෙම කොටස් වඩා විශාල, වඩා කුඩා හෝ, සමාන විය හැක. ‘සමාන’ කොටස, අධිකත්වය හා අඩු බව අතර මධ්‍යස්ථය වන යමකි. දෙයෙක මධ්‍යස්ථයෙන් මට වැටහෙනු යේ අන්ත දෙකට ම සම දුරකින් යුතු ස්ථානයකි, මෙම ස්ථානය සෑම කෙනෙකු ට ම එක ම ය. අපට සාපේක්ෂ වූ මධ්‍යස්ථයෙන් මට වැටහෙනු යේ, පමණට වඩා විශාලත් නො වන කුඩාත් නො වන ප්‍රමාණයක් වන අතර, එය හැම පුද්ගලයාට ම එක ම නො වේ. උදාහරණයක් ගතහොත්: දහය බොහෝ හා දෙක කුඩා නම් හය දෙයට සාපේක්ෂව මධ්‍යස්ථ සේ ගැනේ, මන්දයත්, එය, එක ම ප්‍රමාණයෙන්, ඉක්මවන සහ, ඉක්මවා යනු ලබන්නේ ද වන අතර, ඒ අනුව අංක ගණිතමය සමානුපාතය ආශ්‍රයෙන් මධ්‍යස්ථ වනහෙයිනි. නමුත් අපට සාපේක්ෂව මධ්‍යස්ථය ඒ ආකාරයෙන් තීරණය කළ නො හැක: මිනිසෙකුට, කෑමට ආහාර රාත්තල් දහයක් වැඩි නම් හා රාත්තල් දෙකක් මදි නම්, පුහුණුකරු රාත්තල් හයක් නියම කිරීම තර්කානුකූල නො වේ, මන්දයත්, එය ද ඔහුට කෑමට පමණට වැඩි හෝ මදි වීමට ඉඩ ඇති බැවිනි; එය මිලෝ (Milo) ට* පමණට මදිවිය හැකි අතර, මලල ක්‍රීඩා ආරම්භක අදියරේ වන යමෙකුට පමණට වැඩි විය හැක. දිවීමට හා මල්ලව පොර වලට ද එය ම අදාල වේ. ඒ අනුව ඕනෑ ම ක්ෂේත්‍රයක විශේෂඥයෙක් වැඩි බව හෝ අඩු බව මඟහරින නමුත් මධ්‍යස්ථය සොයා එය අල්ලා ගන්නා බව අපට පෙනේ, ඒ, වස්තුවේ මධ්‍යස්ථය නො ව, අපට සාපේක්ෂ ව මධ්‍යස්ථය වන්න ය.

එසේ නම්, සෑම විද්‍යාවක් ම එහි කටයුතු පරිපූර්ණ කර ගන්නා ආකාරය මෙය නම්, සහ මධ්‍යස්ථය සොයා තම වැඩ එතැනට ගෙන ඒම මඟින් නම් සාර්ථක වැඩක් සම්බන්ධයෙන්, ඉන් ඉවත් කිරීමට හෝ එයට එක් කිරීමට නො හැකැ යි, සාමාන්‍ය වශයෙන් කියනු ලැබීමට හේතුව මෙය ය, ගම්‍යවන්නේ අධිකත්වය සහ හිඟය සාර්ථකත්වය වනසන අතර මධ්‍යස්ථය එය ආරක්ෂා කරන බව ය, (හොඳ ශිල්පීන් ඔවුන්ගේ වැඩ ඉටු කිරීමේ දී, මෙම ප්‍රමිතිය සොයන්නේ යැ යි අපි කියමු) තවද, සොබාදහම මෙන්, සද්ගුණය ද වඩා නිවැරදි හා, කවර හෝ ශිල්පයට වඩා හොඳ නම්, සද්ගුණයේ ඉලක්කය වන්නේ මධ්‍යස්ථය යැ යි අප නිගමනය, කළ යුතු ය. මා සඳහන් කරන්නේ සදාචාරාත්මක සද්ගුණය ගැන ය: මන්දයත්, චිත්තවේග සහ ක්‍රියාවන් සම්බන්ධව අදාළ වන්නේ සදාචාරාත්මක සද්ගුණය වන අතර, අධිකත්වය, හිඟ බව හා මධ්‍යස්ථය හමු වනුයේ චිත්තවේග සහ ක්‍රියාවන්හි බැවිනි. ඒ අනුව, අපට බිය, විශ්වාසය, ආශාව, කෝපය, අනුකම්පාව සහ පොදුවේ කවර ආකාර හෝ සුඛය හා වේදනාව, එක්කෝ පමණට වැඩියෙන් එසේත් නැතහොත් පමණට අඩුවෙන් අත්දැකිය හැකි නමුදු දෙකෙන් කවරක් වුව ද නියමාකාරයෙන් නො වේ. නමුත්, මේ සියල්ල නිවැරදි වේලාවට, නිවැරදි අරමුණ සඳහා, නිවැරදි මිනිසුන් කෙරෙහි, නිවැරදි හේතුව නිසා, නිවැරදි ආකාරයෙන් අත්දැකීම එය මධ්‍යස්ථය හා හොඳ ම ක්‍රියාමාර්ගය ය, සද්ගුණයේ ලකුණක් වන ක්‍රියාමාර්ගය ය.

ඒ අන්දමින් ම, අධිකත්වය, හිඟ බව හා මධ්‍යස්ථය, ක්‍රියාවන්හිදී ද හමු විය හැක. සද්ගුණය සැළකිලිමත්වනුයේ චිත්තවේග හා ක්‍රියාවන් පිළිබඳව ය; චිත්තවේග සහ ක්‍රියාවන්හි දී අධිකත්වය හා මඳ බව ඉලක්කයෙන් පිට යන නමුත් මධ්‍යස්ථය වර්ණනාවට ලක් වන අතර, සාර්ථකත්වය ඇති කරන්නේ ය. නමුත් වර්ණනාව හා සාර්ථකත්වය යන දෙක ම, සද්ගුණයේ හෝ විශිෂ්ටත්වයේ සලකුණු ය. ඒ නිසා මධ්‍යස්ථය ඉලක්ක කරන්නේ ය යන අරුතින් සද්ගුණය මධ්‍යයනයකි. වැරදීමට බොහෝ මාර්ග ඇති නමුත් නිවැරදි මාර්ග ඇත්තේ එකක් පමණකි. මන්දයත්, පයිතගෝරියානුවන් සිතූ පරිදි, නපුර අනියමිත දේට අයත් වන අතර යහපත නියමිත දේට අයත් වන බැවින් – ය යන කරුණෙන් ද මෙය සනාත වේ. එකක් පහසු වීමටත් අනෙක දුෂ්කර වීමටත් හේතුව ද මෙය ම වේ: ඉලක්කය වැරදීමට පහසු නමුත් ඉලක්කයට ගැසීම අසීරු ය. එසේ නම්, අධිකත්වය හා මඳ බව අසද්ගුණ ලක්ෂණ වන අතර, මධ්‍යයනය සද්ගුණයේ ලක්ෂණයක් වන බවට තවත් අමතර සාධකයක් මෙහි වේ: නරක මිනිසුන්ට බොහෝ මාර්ග ඇත, නමුත් හොඳ මිනිසුන්ට ඇත්තේ එකක් පමණක් වන බැවිනි.

සද්ගුණය හෝ විශිෂ්ටත්වය තේරීම හා සම්බන්ධ අංගලක්ෂණයක් වන අතර, එය සමන්විත වන්නේ, ප්‍රායෝගික ප්‍රඥාවෙන් යුත්තෙකු එය තීරණය කිරීමට භාවිතා කරනු ඇති දෙයවැනි, තාර්කනික මූලධර්මයක් මඟින් නිර්වචනය කළ මධ්‍යයනයක් වන, අපට සාපේක්ෂ මධ්‍යයනය පිළිපැදීමෙහි යැ යි ඒ අනුව අපට නිගමනය කළ හැක. එය මධ්‍යයනයක් වනුයේ අසද්ගුණ දෙකක අනුසාරයෙනි: එකක්, අධිකත්වයේ හා අනෙක හිඟ බවේත් ය. වඩාත් එය, මධ්‍යයනයක් වන්නේ ඇතැම් අසද්ගුණ චිත්තවේගයෙහි හා ක්‍රියාවෙහි දී අවශ්‍ය වන ප්‍රමාණය ඉක්මවා යන අතර අනෙක්වා මඳ වන බැවිනි. එහෙත් සද්ගුණය මධ්‍යයනය සොයා එය ම තෝරා ගන්නේ ය. එබැවින්, එහි හරය අතින් හා, එහි හරාත්මක ස්වභාවයේ නිර්වචනය අතින්, සද්ගුණය මධ්‍යයනයක් වන නමුත්, යහපත් බව හා විශිෂ්ටත්වය සම්බන්ධයෙන් එය සීමාන්තයකි.

සෑම ක්‍රියාවක් හෝ සෑම චිත්තවේගයක්ම මධ්‍යයනයක් පිළිගන්නේ නැත. ඇතැම් ක්‍රියා හා චිත්තවේග ඒවායේ නාමයන්ගෙන් ම පහත් බව අඟවන්නේය, උදාහරණ දක්වතොත්, එදිරිය, ලජ්ජා නැති කම, ඊර්ෂ්‍යාව සහ සහ ක්‍රියාවන් අතර, පරදාර හෝ පරපුරුෂ සේවනය, සොරකම සහ මිනී මැරීම, මේවා හා ඒවාට සමාන, චිත්තවේග සහ ක්‍රියා, ඒවායේ නම් මඟින් ම අදහස් කරනුයේ ඒවා නරක බව ය; නරක යැයි කියනු ලබන්නේ ඒවායේ අධිකත්වය හෝ මඳ බව හෝ නො වේ. එබැවින් ඒවා කිරීමේ දී කිසි දා හරි දෙයක් කළ නො හැක: ඒවා කිරීම හැම විට ම වැරදි කිරීමක් වේ. මේ, ආකාර සිද්ධීන්හි දී, පරදාර සේවනය යැ යි කියමු, හරි බව හා වැරදි බව, එය නිවැරදි ගැහැණිය සමඟ, නිවැරදි වේලාවට, නිවැරදි ආකාරයෙන් කිරීම මත රඳා පවතින්නේ නැත, නමුත් කොහෙත් ම එවන් දෙයක් කිරීමේ කරුණු ම වරදක් වන්නේ ය. අයුක්ති සහගත, හෝ, බියගුලු හෝ, පමණ ඉක්මවා යන ක්‍රියාවක මධ්‍යයනයක්, අධිකයක් හෝ හිඟ බවක් ඇතැයි අදහස් කිරීම ද ඒ හා සමාන විකාරයක් වනු ඇත මන්දයත්, එවැන්නක් තිබිණි නම්, අපට අධිකත්වයේ මධ්‍යයනයක්, හිඟයේ මධ්‍යයනයක්, සහ, අධිකත්වයේ අධිකත්වයක් සහ, හිඟයේ හිඟයක් තිබෙනු ඇති බැවිනි. ආත්ම සංයමයේ හා දිරියේ අතිරික්තයක් හෝ හිඟයක් තිබිය නො හැකිවා සේ ම – අන්තර් මාධ්‍යය එක් අරුතකින් අන්තයක් වන හෙයින් – ඒවායේ ප්‍රතිවිරුද්ධයන්හි ද මධ්‍යයනයක්, අධිකත්වයක් සහ, හිඟයක් තිබිය නොහැක: ඒවායේ ප්‍රතිවිරුද්ධයන් ක්‍රියාත්මක කෙරෙනුයේ කවර ආකාරයෙන් වුවත් ඒවා වැරදි ය; පොදුවේ, අතිරික්තයක හෝ හිඟයක මධ්‍යයනයක් කියා දෙයක් හෝ, මධ්‍යයනයක අතිරික්තයක් හා හිඟයක් කියා දෙයක් හෝ නොමැති බැවිනි.

_________________

*ක්‍රොටෝන්හි මිලෝ, ක්‍රි.පූ. හයවැනි සියවසේ ජීවත් වී යැයි කියනු ලබන, ඔහුගේ අපූර්ව ශක්තිය නිසා ප්‍රසිද්ධියට පත් මල්ලවපොර ක්‍රීඩකයෙකි.

පරිවර්තනය: ©‘කතිකා’ අධ්‍යයන කවය. ‘කතිකා’ අධ්‍යයන කවයේ පූර්ව අවසරයකින් තොරව මෙම පරිවර්තනය කුමන හෝ මාධ්‍යයක උපුටා හෝ පිටපත් කොට නැවත පළකිරීම සපුරා තහනම්.