භාෂාමය සංඥාවේ ස්වභාවය – ෆර්ඩිනැන්ඩ් ඩි සොසුයියෝ
භාෂාමය සංඥාවේ ස්වභාවය – ෆර්ඩිනැන්ඩ් ඩි සොසුයියෝ
මෙම විශේෂාංගය කැපවන්නේ මානව ශාස්ත්‍ර සහ සමාජීය විද්‍යා විෂයයන් හදාරන විද්‍යර්ථීන්හට ප්‍රයොජනවත් විය හැකි මූලික ලිපි ලේඛන සමහරක් සිංහලෙන් ඉදිරිපත් කිරීමටය. අප මෙහි පළමු ලිපිය වශයෙන් ෆර්ඩ්නැන්ඩ් ඩි සොසුයියෝ ගේ ව්‍යුහවාදය පිළිබඳ මූලික අදහස් කැටිකොට ගත් “භාෂාමය සංඥාවේ ස්වභාවය” නම් ලිපියේ, සංක්ෂිප්ත කළ, අනුවාදයක් ඉදිරිපත් කරන්නේ කිසියම් සුවිශේෂ හේතුවක් නිසා නොවේ. අපි ව්‍යුහවාදීන් ද නොවෙමු. ශාස්ත්‍රාලීය අධ්‍යයන කටයුතු සඳහා යොදාගැනීමේ හේතුවෙන් මෙම පිටපත දැනටමත් අප අත තිබුණි. රෝලන්ඩ් බාත, ලෙවි සට්‍රාවුස්, ලකාන් යනාදී ශාස්ත්‍රඥයන් ව්‍යුහවාදයට පිවිසෙන්නේ සොසුයියෝ ගේ ව්‍යුහවාදී වාග්විද්‍යාව තුළිනි.
1916
ෆර්ඩිනැන්ඩ් ඩි සොසුයියෝ
සංක්ෂිප්ත සිංහල අනුවර්තනය: ‘කතිකා’ අධ්‍යයන කවය
1. භාෂාව, සංඥාකෘතය, සංඥාකාරකය
සමහරක් දෙනෙකු, භාෂාව එහි මූලික අංගයන්ට ලඝු කළ විට, නම් කිරීමේ ක්‍රියාවලියක් – ඒ හැම එකක් එය විසින් නම් කරනු ලැබෙන දෙයට අනුරූප වන වචන ලැයිස්තුවක් – පමනක් ෙලස සළකති.
උදාහරණ වශයෙන්
රූ සටහන 1

ARBOR (ගස හැඳින්වීමට සොසුයියෝ යොදන වචනය)
EQUOS (අශ්වයා හැඳින්වීමට සොසුයියෝ යොදන වචනය)
යනාදිය දැක්විය හැකිය.
මෙම සංකල්පනය ලක්ෂ්‍යයන් කිහිපයකදී විවේචනයට විවෘත වෙයි. වචන වලට, පෙර සදා නිමකළ අදහස් ඇතැයි මෙයින් අභ්‍යුපගමනය කෙරෙයි; නමක් ස්වභාවයෙන් වාචක ද නැතහොත් මනෝවිද්‍යාත්මකදැයි එය අපට නොපවසයි (උදාහරණයක් දක්වතොත් arbor මේ දෘශ්ටි කෝණයන් දෙකින් කුමන එකකින් හෝ සැළකිය හැකිය). අවසානයේදී නමක් සහ දෙයක් බද්ධ කිරීම ඉතා සරළ වැඩපිළිවෙළකැයි අභ්‍යුපගමනය කරන්නට එය අපට ඉඩ සළසයි. මෙම අභ්‍යුපගමනය කොහෙත්ම සත්‍ය නොවේ. නමුත්, භාෂාමය ඒකකය, පද දෙක අතර සම්බන්ධයක් ගොඩ නැගීමෙන් සැකසුණු ද්විත්ව අස්තිත්වයක් බව අපට පෙන්වීමෙන්, මෙම තරමක බොළඳ එළඹුමට අප සත්‍යය සමීපයට ගෙන ආ හැකිය.
භාෂාමය සංඥාවට අදාළ පද දෙකම මනෝවිද්‍යාත්මක වන බවත්, ඒවා සංගමික බන්ධනයකින් එක්සත් වී ඇති බවත්, කථන පරිපථය සළකා බැලීමේදී අපි දැක ඇත්තෙමු. මෙම කරුණ අවධාරණය කළ යුතු වෙයි.
භාෂාමය සංඥාව එක්සත් කරන්නේ, දෙයක් හා නමක් නොව සංකල්පයක් සහ ශබ්ද – රූපයකි. ශබ්ද රූපය හුදු භෞතික දෙයක්, ද්‍රව්‍යමය ශබ්දයක් නොවේ. නමුත්, ශබ්දයක මනෝ විද්‍යාත්මක කා වැදීමයි, එය අපේ ඉන්ද්‍රියයන් මත ඇති කරන හැඟීමයි. ශබ්ද – රූපය සංවේදක ඉන්ද්‍රියයන්ට සම්බන්ධ ය. මා එයට ද්‍රව්‍යමය යැයි කියතොත් ඒ මෙම පද යුගලයේ අනෙක වන, සාමාන්‍යයෙන් වඩා වියුක්ත සංකල්පය යන පදයට ප්‍රතිපක්ෂවයි.
අපේම කථනය නිරීක්ෂණය කළවිට ශබ්ද – රූපවල මනෝ විද්‍යාත්මක ස්වභාවය පෙනී යයි. අපේ දිව හෝ තොල් නොසොල්වා අපට අපටම කතා කළ හැකිය. කවි පංතියක් සිතින් කිව හැකිය. අපේ භාෂාවේ වචන ශබ්ද-රූප යැයි අප සළකන හෙයින්, වචන තැනෙන ශබ්දාණු ගැන කතා කිරීමෙන් අප වැලකිය යුතුය. ශබ්දාණු යන්නෙන් වාචක ක්‍රියාකාරකම් ඇඟවෙයි. එය අදාළ, කථනය කළ වචනයට පමණි, කතිකාවෙහි අභ්‍යන්තර ප්‍රතිරූපය සාක්ෂාත් කර ගැනීමට පමණි. මේ වැරදි වැටහීම මගහරවන්නට අපට ශබ්ද සහ මාත්‍රා හෝ අක්ෂර ගැන කතා කළ හැකිය. නමුත් නම් සඳහන් කරන්නේ ශබ්ද – රූප බව අප මතක තබා ගත යුතුය.
භාෂාමය සංඥාව යනු දෙ-පැත්තක් ඇති මනෝ විද්‍යාත්මක අස්තිත්වයකි.
රූ සටහන 2
සංකල්පය
______________
ශබ්ද – රූපය
මේ අංග දෙක කුළුපගව එක්සත්වී තිබේ, එමෙන්ම, එකක් අනෙක මතකයට කැඳවයි. arbor යන ලතින් වචනයේ හෝ ‘ගස’ නමැති සංකල්පය නම් කරන්නට ලතින් භාෂාවේ යෙදෙන වචනයේ හෝ තේරුම සොයන්නට අප උත්සාහ කළත්, අපට පැහැදිළි වන දෙය නම්, එම භාෂාවෙන් ඉඩ සලසන සම්බන්ධතා පමණක් යථාවට අනුගත වන ලෙසින් අපට පෙනෙන බවයි. මේ පිළිබඳ සිතා ගත හැකි අන් දේ අපි නො සලකන්නෙමු.
භාෂාමය සංඥාව ගැන අපේ නිර්වචනය පද පිළිබඳ වැදගත් ප්‍රශ්නයක් මතු කරයි. මා සංකල්පයක් සහ ශබ්ද රූපයක් එකට එක්වීමට කියන්නේ සංඥාව කියායි. නමුත් දැන් ව්‍යවහාරයේ මේ පදයෙන් සාමාන්‍යයෙන් නම් කෙරෙන්නේ ශබ්ද – රූපයක්, වචනයක්, උදා. ගස, අශ්වයා යනාදී – වශයෙන් පමණි. arbor සංඥාවක් යැයි කියන්නේ එය ‘ගස’ නමැති සංකල්පය රැගත් නිසා පමණක් බව අමතක කරන්නට යමෙකු පෙළඹෙයි. එහි ප්‍රතිඵලය නම් සංවේදක කොටසේ අදහස සමස්තය ඇඟවීමයි.
රූ සටහන
“ගස”
________________
arbor
ගසේ රූපය
_________________
arbor
මෙයට සම්බන්ධ අදහස් තුන, එක එකක් අනෙක යෝජනා කෙරෙන හා ප්‍රතිපක්ෂ වන නම් තුනකින් නම් කෙරෙන්නේ නම් නොපැහැදිළි බව මැකී යනු ඇත. සංඥාව යන වචනය සමස්තය අඟවන්නට තබා ගැනීමටත්, සංකල්පය සහ ශබ්ද – රූපය වෙනුවට අනු පිළිවෙලින් සංඥාකාරිතය සහ සංඥාකාරකය යෙදීමටත් යෝජනා කරමි. අවසන් පද දෙක ඒවා එකිනෙකින් සහ තමන් කොටසක් වන සමස්තයෙන් ද වෙන් කෙරෙන ප්‍රතිපක්ෂ ස්වභාවය පෙන්නුම් කිරීමේ වාසිය අපට ලබා දෙයි. සංඥාව යන්න මා යොදන්නේ එහි තැන ගැනීමට වෙනත් වචනයක් සාමාන්‍ය භාෂාවේ නැති හෙයිනි.
භාෂාමය සංඥාවේදී මූලාවස්ථික ලාක්ෂනිකයන් දෙකක් තිබේ. ඒවා පැහැදිළි කිරීමේදී මම මේ ආකාරයේ කුමන හෝ අධ්‍යයනයක මූලික මූලධර්ම ගෙනහැර දක්වමි.
2. පළමු මූලධර්මය: සංඥාවේ ආකස්මික ස්වභාවය
සංඥාකාරකය සහ සංඥාකාරිතය අතර ඇති බැඳීම ආකස්මික එකකි. සංඥාව යනුවෙන් මා අදහස් කරන්නේ සංඥා කාරකය සංඥාකාරිතය සමග සම්බන්ධවීමෙන් ඇතිවන සමස්තය නිසා, මට මෙසේ සරලව කිව හැකිය: භාෂාමය සංඥාව ආකස්මික ය.
‘sister’ යන අදහස, ප්‍රංශ බසින් එහි සංඥාකාරකය ලෙස ස්වය කරන s- ö – r යන ශබ්ද අනු පිළිවෙලට, කිසියම් අභ්‍යන්තර සබඳතාවයකින් සම්බන්ධ වී නැත. මෙය මේ හා සමානවම වෙනත් ශබ්ද අනුපිළිවෙලකින් ද සංයෝජනය කල හැකි බව භාෂා අතර වෙනස්කම්වලින් සහ එකිනෙකින් වෙනස් භාෂා තිබීමෙන්ම ඔප්පු වෙයි. ‘ox’ යන සංඥාකාරිතය, සංඥාකාරකය වශයෙන් දේශ සීමාවෙන් එක පැත්තක b- ö- f යනුවෙනුත් අනෙක් පැත්තේ o- k- s (Ochs) යනුවෙනුත් තිබේ.
සමාජයේ යොදා ගැනෙන අදහස් ප්‍රකාශ කිරීමේ හැම ආකාරයක්ම මූලධර්මීය වශයෙන් – සාමුහික චර්යාව හෝ සම්මුතිය මත පදනම් වී ඇත.
උදාහරණ වශයෙන් විනීතකම පිළිබඳ සූත්‍ර ගනිමු. කිසියම් ස්වාභාවික ප්‍රකාශිත භාවයක් එහි බොහෝ විට අඩංගු වන නමුදු (උදා – පොළොවට නව වරක් හිස නැමීමෙන් තම අධිරාජයාට ආචාර කරන චීන ජාතිකයා) එසේ වුවත් රීතියකින් නිශ්චිත වී තිබේ. ඒවා පාවිච්චි කරන්නට කෙනෙකුට බල කෙරෙන්නේ එම සංඥාවෙහි ඇති ආසන්න වටිනාකමක් නොව මෙම රීතියයි. සංඥාර්ථවේදී ක්‍රියාවලියේ පරමාදර්ශය, අනෙක් ඒවාට වඩා මුළුමණින්ම ආකස්මික ඒවායෙන් සාක්ෂනය කෙරෙයි.
සංකේතය යන වචනය භාෂාමය සංඥාව නැතහොත් සංඥාකාරකය හැඳින්වීමට යොදා ගෙන තිබේ. සංකේතය කිසිදු විටෙකත් ආකස්මික නොවේ. එය හිස් නැත. එහි සංඥාකාරකයත් සංඥාකාරිතයත් අතර ස්වාභාවික බැඳීමක මූලික අංගය තිබේ. යුක්තියේ සංකේතය – තරාදිය – වෙනුවට වෙනත් ඕනෑම සංකේතයක් – අශ්ව කරත්තයක් – යෙදිය නො හැක.
ආකස්මික යන්නෙන් සංඥාකාරකයේ තෝරා ගැනීම මුළුමණින්ම කථකයාගේ තෝරා ගැනීමට යටත් වේ යැයි අදහස් නොවේ. සංඥාකාරකයත්, සංඥාකාරිතයත් අතර ස්වාභාවික සම්බන්ධයක් සැබැවින්ම නැතැයි යන්නයි, ආකස්මික යන්නෙන් අදහස් කෙරෙන්නේ. භාෂා ප්‍රජාවක් තුළ සම්මත වූ පසු, සංඥාවක් වෙනස් කරන්නට පුද්ගලයාට බලයක් නැති බව පහත පෙන්නුම් කෙරෙයි.
3. දෙවැනි මූලධර්මය: සංඥාකාරකයේ ඒක රේඛීය ස්වභාවය
සංඥාකාරකය, ශ්‍රව්‍යමය එකක් වීමෙන්, පහත සඳහන් ලක්ෂණයන් ඊට ලැබුණු තැන් පටන් තනිකරම කාලය තුළ දිග හැරෙයි: අ) එය, කාල පරායනයක් නියෝජනය කරයි, සහ ආ) කාල පරාසය තනි මානයකින් මැනිය හැකිය: එය රේඛාවකි.
දෘශ්‍යමය සංඥා (නාවික සංඥා යනාදිය) ට මානයන් කිහිපයක් තුළ එකවර කෙරෙන සමූහගත කිරීම් ඉදිරිපත් කළ හැකිය. ඊට වෙනස්ව, ශ්‍රව්‍යමය සංඥාකාරකයන්ට පාවිච්චි කළ හැක්කේ කාලයේ මානය පමණි. ඒවායේ අංග ඉදිරිපත් කෙරෙන්නේ අනු ප්‍රාප්තියෙනි ; ඒවා දාමයක් සාදයි. ඒවා ලිවීම තුළ නියෝජනය කෙරුණු විට සහ, රූපික සළකුණුවල අවකාශමය රේඛාව කාලයේ අනුප්‍රාප්තියට ආදේශනය කල විට, මෙම විශේෂාංගය කඩිනමින් පැහැදිළි වෙයි.
සංඥාවේ නිත්‍ය බව සහ අනිත්‍යතාව
නිත්‍ය බව
බැලූ බැල්මට පෙනෙන්නේ සංඥාව ඉන් නියෝජනය කරන අදහසට අනුව නිදහසේ තෝරා ගත් බවකි. නමුත් එය භාවිත කරන භාෂාමය ප්‍රජාවට අදාලව එය නිදහස් නොවේ. එය සවිවී තිබේ. ජනයාට මේ පිළිබඳ හඬක් නොමැත. භාෂාවෙන් තෝරා ගත් සංඥාව වෙනුවට වෙනත් කිසිවක් ආදේශනය කළ නොහැක. ප්‍රතිවිරෝධයක් සේ පෙනෙන මේ කරුණට – හොරට ඇණූ බූරුවා කුට්ටමක් යැයි කිව හැකිය. “තෝරා ගන්න” යැයි අපි භාෂාවට කියමු. නමුත්, “එය මේ සංඥාවට හැර වෙන යමක් නො විය යුතු ය” යි අපි ඊට එකතු කරමු. කිසිදු පුද්ගලයෙකුට, තමාට අවශ්‍ය වුවත්, කෙරී ඇති තෝරා ගැනීම් කිසිදු ආකාරයකින්, කෙසේවත් වෙනස් කළ නොහැක. තවද තනි වචනයක් පවා වුව පාලනය කරන්නට ප්‍රජාවටම පවා නොහැකිය. පවත්නා භාෂාවට එය බැඳී ඇත.
භාෂාව තවදුරටත් පිරිසිදු, සරළ ගිවිසුමක් හා සමාන කළ නොහැකිය. භාෂාමය සංඥාව විශේෂයෙන්ම රසවත් අධ්‍යයන අරමුණක් වන්නේ මේ නිසාමයි. ප්‍රජාවක් විසින් පිළිගත් නීතියක් යනු, ඉවසා සිටින දෙයක් මිස, හැමෝම කැමැත්තෙන් එකඟ වන රීතියක් නොවන බවට හොඳම සාක්ෂිය භාෂාව විසින් සපයන හෙයිනි.
භාෂාමය සංඥාව පාලනය කරන්නට අපට බැරි ඇයි?
කුමන කාලයක වුවත්, කොතරම් අතීතයට ගියත්, භාෂාව හැම විටම පහළ වන්නේ ඊට පෙර අවධියේ උරුමයක් වශයෙනි.
දෙනලද මොහොතක, දේවලට නම් නියම කොට, පවරා, සංකල්ප සහ ශබ්ද රූප අතර ගිවිසුමක් සැකැසුණු ක්‍රියාවක් ගැන අපට සිතා ගත හැකිය, නමුත් එවැනි ක්‍රියාවක් කිසිදා වාර්තාගත කොට නැත. එවැනි දේවල් එසේ සිදුවන්නට ඇතැයි යන මතය පොළඔවන්නේ, සංඥාවේ ආකස්මික බව පිළිබඳ අපේ තියුණු දැනුවත්කම යි.
කිසිම සමාජයක්, හැමදාමත් භාෂාව ගැන දන්නේ, ඊට පෙර පරම්පරාවලින් උරුම කොටගත් නිෂ්පාදනයක්, එසේ පිළිගත යුතු දෙයක් ලෙස මිස වෙනත් කිසිදු ආකාරයකට නොවේ. කථනයේ සම්භවය වැදගත් ප්‍රශ්නයක් නොවන්නේ මේ නිසාය. මේ ප්‍රශ්නය ඇසිය යුතු තරම්වත් නොවේ. වාග් විද්‍යාවේ එකම සැබෑ අරමුණ වන්නේ පවත්නා රූඩියක නියම ජීවිතයයි. සුවිශේෂ භාෂා-තත්ත්වයක් සැමවිටමත් ඓතිහාසික බලවේගයන්ගේ නිෂ්පාදනයකි. සංඥාව වෙනස් කළ නොහැක්කේ මන්දැයි, ඕනෑම ආකස්මික ආදේශනයන්ට එය ප්‍රතිරෝධය දක්වන්නේ මන්දැ යි, මේ බලවේග පැහැදිළි කරයි.
ඉතින්, භාෂාව උරුම වූ දෙයක් නම්, පවත්නා සහ උරුම වූ නීති එක් මොහොතකින් අනෙක් අවස්ථාවට වෙනස් කළ නොහැකි ද?
මේ කරුණ විමසන්නට, භාෂාව සමාජ පසුබිමක තබා වෙනත් ඕනෑම සමාජ ආයතනයක් මෙන් සළකා බැලිය යුතුය. අනෙක් සමාජ ආයතන සම්ප්‍රේෂණය කෙරෙන්නේ කෙසේ ද? අනෙක් සමාජ ආයතන අඩු වැඩි මට්ටමක නිදහසක් භුක්ති විඳියි. මේ හැම අවස්ථාවකම, තහවුරු වූ සම්ප්‍රදාය සහ සමාජයේ නිදහස් ක්‍රියාකාරකම් අතර වෙනස් අනුපාතයක් පවතියි. දෙන ලද ආයතන ප්‍රවර්ගයක් තුළ සම්ප්‍රදායික බලවේගයන් නිදහස් ක්‍රියාකාරකම්වලට වඩා වැඩි බරක් දරන්නේ මන්ද යන්න අප සෙවිය යුතුය. භාෂාව සම්බන්ධයෙන් ගත් කළ එය සම්ප්‍රේෂණය කිරීම පිළිබඳ ඓතිහාසික කරුණ එය මුළුමණින්ම පාලනයට නතු කොට ගෙන, කිසියම් හදිසි, මුළුමණින්ම පුළුල්ව පැතිරුණු විපර්යාසයක් වළකාලන්නේ කෙසේදැ යි අප ඇසිය යුතුය.
මෙයට දිය හැකි පිළිතුරු බොහෝය. උදාහරණයක් වශයෙන්, එකකට පසු එකක් වශයෙන් එන පරම්පරාවන්, ගෘහ භාණ්ඩයක ඇති ලාච්චු මෙන් ඒවා එකිනෙක මත උඩින් පිහිටන්නේ නැත. ඒවා එකිනෙක හා වෙයි. එකිනෙක විනිවිද යයි, එක් එක් පරම්පරාවක් සියළු වයස්වල පුද්ගලයන් වැළඳ ගනිමින්: මෙහි ප්‍රතිඵලය නම් භාෂාවේ ඇති වන වෙනස්වීම් පරම්පරා අනුප්‍රාප්තියට බැඳී නො පැවතීමයි. මවු භාෂාව ඉගෙන ගැනීමට අවශ්‍ය උත්සාහයන්ගේ එකතුව ද සිහිපත් කර ගනිමින් කෙනෙකුට නිගමනය කළ හැක්කේ මෙහිදී පොදු වෙනසක් කිරීමට නොහැකි බවයි.
වාග් රීතියක්, ක්‍රියාත්මක ලෙස භාවිතයට, අවලෝකනය, සිතා බැලීම ඇතුළු නොවේ. කථකයන් භාෂාවේ නීති පිළිබඳ බොහෝ කොට අවිඥානකය. දැනුවත් නැත. ඉතින් ඔවුන් ඒවා ගැන දැනුවත් නැත්නම් ඔවුන් ඒවා වෙනස් කරන්නේ කෙසේ ද?, ඔවුන් එම නීති පිළිබඳව දැනුවත්ව සිටියත් ඔවුන්ගේ දැනුවත්කම ඒ පිළිබඳ විචාරයකට, විවේචනයකට යොමු වන්නේ කලාතුරකින් බව ගැන අපට සහතික වීමට ඉඩ ඇත. මන්ද යත්, ජනයා තමාට ලැබී ඇති භාෂාව ගැන සාමාන්‍යයෙන් තෘප්තිමත් හෙයිනි.
ඉහත සඳහන් කරුණු වැදගත් නමුත්, මාතෘකාවට අදාළ නොවන කරුණුවලට අමතරව, පහත සඳහන් කරුණු වඩා සෘජුය. අන්සියල්ල ඒ මත රඳා පවතී.
(i) සංඥාවේ ආකස්මික ස්වභාවය
භාෂාව වෙනස්වීමට න්‍යායාත්මකව ඇති ඉඩකඩ පිළිගන්නට අපට සිදුවිය. තවදුරට මේ පිළිබඳ කල්පනා කර බලන විට යෝජනා කළ හැකි දෙයක් නම්, එය වෙනස් කිරීමට ගන්නා ඕනෑම උත්සාහයකින් සැබැවින්ම එය ආරක්ෂා කරන්නේ සංඥාවේ ආකස්මික ස්වභාවය බවයි. ඔවුන් දැනට ඇතිවාට වඩා භාෂාව පිළිබඳව මිනිසුන් දැනුවත් වූවත්, එය කෙසේ සාකච්ඡා කරන්නදැ යි ඔවුන් දැන නොගනු ඇත. ඊට හේතුව නම්, සාකච්ඡා කරන්නට නම්, ඕනෑම විෂයයකට සාධාරණ පදනමක් තිබිය යුතු වීමයි. ඒක පත්නී විවාහය වඩා සාධාරණදැයි සාකච්ඡා කොට එහි කුමන හෝ පාර්ශ්වයකට සහයෝගය දක්වන්නට තර්ක ඉදිරිපත් කළ හැකිය. කෙනෙකුට සංකේත පද්ධතියක් පිළිබඳව ද කථා කළ හැකිය. මන්ද යත් සංඥාකාරිත දෙය සමගින් හේතුවාදී සබඳතාවක් සංකේතයට ඇති හෙයිනි. නමුත් භාෂාව ආකස්මික සංඥා පද්ධතියකි, සාකච්ඡාව සඳහා අවශ්‍ය පදනම, ස්ථිර සාර භූමිය ඊට නැත. Sister වෙනුවට sœur හෝ bœuf වෙනුවට Ochs වලට හෝ(යනාදී වශයෙන්) වඩා කැමති වීමට හේතුවක් නැත.
(ii) කුමන හෝ භාෂාවක් සකස් කිරීමට අවශ්‍ය සංඥා බහුත්වය
කිසියම් භාෂාවක් තැනීම සඳහා යොදා ගත යුතු අති විශාල සංඥා සංඛ්‍යාව භාෂාමය වෙනස්කම් කිරීමට ඇති වැදගත් බාධාවකි. අකුරු විස්සේ සිට හතළිහක් දක්වා ප්‍රමාණයකින් සමන්විත ලේඛන පද්ධතියක තැන අවශ්‍ය විටෙක වෙනත් පද්ධතියකින් ගත හැකිය. සීමිත අංග සංඛ්‍යාවකින් සමන්විතව වී නම් භාෂාවක් පිළිබඳව එය සත්‍ය වනු ඇත. නමුත් භාෂාමය සංඥා අසංඛ්‍ය ය.
(iii) පද්ධතියේ අති – සංකීර්ණභාවය
භාෂාව පද්ධතියකින් සමන්විත වෙයි. මේ අතින් ගත් කළ අප පසුව දකිනු ඇති පරිදි භාෂාව සම්පූර්ණයෙන්ම ආකස්මික නොවේ. එක්තරා දුරකට තර්කය මගින් පාලනය කෙරෙයි. කෙසේ වුවද එය විපර්යාස කිරීමට ජනයාට නොහැකි වීම මෙහිදීත් පැහැදිළිව පෙනෙයි. භාෂා පද්ධතිය අවලෝකනයෙන් පමණක් ග්‍රහණය කළ හැකි සංකීර්ණ යන්ත්‍රණයකි. දිනපතා එය පාවිච්චි කරන්නාම එය ගැන නො දකියි. අපට වෙනසක් ගැන සිතිය හැක්කේ, විශේෂඥයන්ගේ, ව්‍යාකරණඥයන්ගේ, තර්ක ශාස්ත්‍රඥයන්ගේ මැදිහත්වීම තුළින් පමණි. එවැනි සියළු ඇඟිලි ගැසීම් අසාර්ථක වී ඇති බව අත්දැකීමෙන් අපට පෙන්වයි.
(iv)අලුත් දේ සොයා ගැනීම කෙරෙහි ඇති සාමුහික මන්දෝත්සාහය
භාෂාව හැම මොහොතකම සැමගේම සැලකිල්ලට ලක් වෙයි – මේ කරුණ අන් සියල්ලට ඉහළින් ගැනෙයි. සමාජය පුරා පැතිර ගොසින්, එය විසින් හසුරුවනු ලබන භාෂාව දිනපතා සියල්ලන් විසින් ප්‍රයෝජනයට යොදා ගැනෙන දෙයකි. මෙහිදී එයත් අනෙකුත් ආයතනත් අතර සංසන්දනයක් ගොඩ නැගීමට අපට නො හැකිය. කේත, ආගමික වත් – පිළිවෙත්, නාවුක සංඥා නියම කිරීම යනාදියට එක්වර ඇතුලු වන්නේ කිසියම් පුද්ගලයන් සංඛ්‍යාවක්, සීමිත කාල සීමාවක් තුළ පමණි. අනෙක් අතට ගත් කළ භාෂාව තුළ හැම විටම හැම දෙනාම සහභාගි වෙති. එය සියල්ලන්ගේ බලපෑමට නිරතුරුවම ලක් වන්නේ මේ නිසාය. විප්ලවය කිරීමේ නොහැකිකම පෙන්නුම් කිරීමට මේ මූලික කරුණම ප්‍රමාණවත් වෙයි. සියළු සමාජ ආයතනයන්ගෙන් ගත් කළ අලුත් මුල පිරීම්වලට අඩුවෙන්ම නැමෙන දෙය භාෂාවයි. එය සමාජ ජීවිතය සමග මිශ්‍ර වෙයි. සමාජය ස්වභාවයෙන්ම නිෂ්ක්‍රීය මූලිකවම ගතානුගතික බලයකි.
නමුත් භාෂාව සමාජ බලයන්ගේ නිෂ්පාදනයකි යි කීම එය නිදහස් නොවේ යැ යි පැහැදිලිව පෙන්වීමට ප්‍රමාණවත් නොවේ. එය හැම විටමත් ඊට පෙරයුගයේ උරුමය ය යන්න මතක තබා ගනිමින් මෙම සමාජ බලවේග කාලයත් සමග බැඳී ඇත යන්න අප ඊට එකතු කළ යුතුය. භාෂාව සාමුහිකයේ බරින් පමණක් නොව කාලයේ ද පරීක්ෂාවට ලක් වෙයි. මේ දෙක අවියෝජනීයය. සෑම මොහොතකම අතීතයත් සමග බැඳුනු සහෝදරත්වයෙන්, තෝරා ගැනීමට ඇති නිදහස පරීක්ෂාවට ලක් වෙයි. බල්ලා සහ මිනිසා යැයි අපි කියමු. සමස්ත ප්‍රපංචය තුළ එකිනෙකට පස මිතුරු බලවේගයන් දෙකක – එනම්, ඒ නිසාවෙන් තෝරා ගැනීම නිදහස්ව කළ හැකි ආකස්මික සම්මතය, සහ තෝරා ගැනීම නිශ්චිත කිරීමට හේතුවන කාලය – බැඳීමක් පැවැතීම මෙයින් නොවැළැක්වෙයි. සංඥාව ආකස්මික නිසා, එය සම්ප්‍රදාය හැරෙන්නට අන් කිසි නීතියක් පිළි නොපදියි. එය සම්ප්‍රදාය මත පදනම් වී ඇති නිසා එය ආකස්මික ය.
2. අනිත්‍යතාව
කාලය භාෂාවේ අඛණ්ඩත්වය සුරකියි. භාෂාමය සංඥා අඩු වැඩි වේගයෙන් වෙනස් වීමට ද බලපායි. එහෙයින්, සංඥාව වෙනස් නොවන සුළුය, වෙනස් වන සුළුය, අවසාන විග්‍රහයේදී මේ සාධක දෙක එකිනෙක මත රඳා පවතී.
සංඥාව එය විසින්ම චිරස්ථායී කෙරෙන නිසා වෙනස්වීමට අනාවරණය වෙයි. සියළු වෙනස්වීම් වලදී මූලිකවම වැදගත් වන කරුණ පැරණි හරයන් නොකඩවා පැවැතීමයි. අතීතයට ඇති නො සැලකිල්ල හුදෙක් සාපේක්ෂයි. විපර්යාසය පිළිබඳ මූලධර්මය අවිච්ජින්නතාව පිළිබඳ මූලධර්මය මත පදනම් ව ඇත්තේ එහෙයිනි.
පළමුව වෙනස යනු, සංඥා කාරකයට සිදු වූ ශබ්ද විද්‍යාත්මක වෙනස්කම් හෝ බාගවිට සංඥාකාරිත සංකල්පයට බලපාන අරුත්වල වෙනස්වීම් යැයි කෙනෙකුට සිතිය හැකිය. එය ප්‍රමාණවත් නොවේ. විපර්යාසයේ බලවේග කුමක් වුවත් තනිව හෝ එකට එකතුවී හෝ ඒවා සෑම විටම සංඥාකාරිතය සහ සංඥාකාරකය අතර සම්බන්ධතාව එහා මෙහා කිරීමට හේතු වෙයි. මෙලෙස සංඥාකාරිතයත්, සංඥාකාරකයත් අතර සබඳතාව එක් මොහොතක සිට තවත් මොහොතකට වෙනස් කරන බලවේගයන්ට එරෙහිව තමා ආරක්ෂා කර ගන්නට භාෂාව අත්‍යන්තයෙන්ම බල විරහිතය. මෙය සංඥාවේ ආකස්මික ස්වභාවයන්ගේ ඵල-විපාකයන් ගෙන් එකකි.
භාෂාව මෙන් නොව, අනෙක් මානව ආයතන – චාරිත්‍ර-වාරිත්‍ර, නීති යනාදිය – හැම දෙයක්ම දේවල්වල ස්වභාවික සබඳතා මත විවිධ මට්ටමෙන් පදනම් වෙයි. මේ සියල්ල අවශ්‍යතාවන් තුළින්ම, ඒවා ඉලක්ක කරන දෙයට ගැළපෙන පරිදි ඒවා සපුරා ගැනීමට යොදන මාර්ග සකස් කොට ගෙන ඇත. ඇඳුම් මෝස්තර පවා මුළුමනින්ම ආකස්මික නොවේ. මිනිස් සිරුර විසින් නියම කරනු ලබන කොන්දේසිවලින් අපට ඉවතට යා හැක්කේ අල්ප වශයෙන් පමණි. අරමුණ සපුරා ගැනීම සඳහා යොදා ගන්නා මාර්ග තෝරා ගැනීමේදී භාෂාව කිසිවෙකින් සීමා වී නැත. මන්දයත්, කුමන හෝ ශබ්ද අනු පිළිවෙලක් සමග අදහසක් සම්බන්ධ කිරීම වළක්වන කිසිවක් නැති බව පෙනී යන හෙයිනි.
භාෂාව අව්‍යාජ ආයතනයක් ය, යන කරුණ අවධාරණය කිරීමට විට්නි (Whitney) සංඥාවල ආකස්මික ස්වභාවය පිළිබඳ තරයේ කියා සිටීම යුක්ති යුක්ත වෙයි. නමුත් භාෂාවේ ආකස්මික ස්වභාවය එය අන් සියඵ සංස්ථාවන්ගෙන් මුලින්ම වෙන් කරන බව දකින්නට ඔහු තම අදහස් ඉදිරියට ගෙන ගියේ නැත. භාෂාව විකාශය වන ආකාරයෙන් මෙය පැහැදිලි වෙයි. වෙන කිසිවක් මේ තරම් සංකීර්ණ නැත. එය සමාජ බලවේගයේත්, කාලයේත් දෙකේම නිෂ්පාදනයක් වන හෙයින් එහි ඇති කිසිවක් කිසිවෙකුට වෙනස් කළ නො හැකිය. අනෙක් අතට, එහි සංඥාවන්ගේ ආකස්මික ස්වභාවය, ශබ්ද විද්‍යාමය ධාතූන් සහ අදහස් අතර, කුමන හෝ ආකාරයේ සම්බන්ධතාවයක් පිහිටුවා ගැනීමේ අදහසට න්‍යායාත්මකව ඉඩ සළසයි. මෙහි ප්‍රතිඵලය වන්නේ, සංඥාව තුළ එක්සත් වන අංග දෙකින් එක එකක් වෙනත් කිසිම තැනක නොදැකිය හැකි මට්ටමට තමාගේම ජීවිතය පවත්වා ගෙන යෑමයි. තවද, එක්කෝ ශබ්ද නැතහොත් අර්ථවලට බලපෑ හැකි සියළු බලවේගයන්ගේ බලපැම යටතේ භාෂාව වෙනස් වෙයි, නැතහොත් විකාශය වෙයි. විකාශය වැළැක්විය නොහැකිය: ඊට ප්‍රතිරෝධය දක්වන එකම භාෂාවක් හෝ පිළිබඳ උදාහරණයක් නැත. කිසියම් කාලසීමාවකට පසු, ප්‍රත්‍යක්ෂ එහා මෙහා වීම් සැමවිටම වාර්තා ගත කළ හැක.
වෙනස්වන සුළු බවෙන් කොතෙක් ගැලවිය නොහැකි ද යත් කෘතිම භාෂා සම්බන්ධයෙන් පවා එය සත්‍ය වෙයි. භාෂාවක් නිර්මාණය කරන්නා කවුරු හෝ වේවා එය පාලනය කරන්නේ එය සංසරණය නො කරන තෙක් පමණි. එය එහි දූත මෙහෙවර සපුරා සෑම දෙනාගේම දේපලක් බවට පත් වූ මොහොතේ පටන් එය පාලනයෙන් ගිලිහෙයි. උදාහරණයක් වශයෙන් එස්පෙරාන්ටෝ භාෂාව ගන්න. එය දියත් කළ විට එස්පෙරාන්ටෝ භාෂාව පූර්ණ සංඥාර්ථවේදීමය ජීවිතයකට පිවිසීම බොහෝ දුරට සිදුවනු ඇත. එහි තාර්කික නිර්මාණය සමග පොදුවන කිසිවක් නැති නීතිවලට අදාළව එය විසුරුවා හැරෙනු ඇත. එමෙන්ම නැවත ආපසු හැරීමක්ද නැත. තමාට දෙන ලද සැටියෙන් අනාගත පරම්පරාවන් විසින් බාර ගනු ඇති නොවෙනස් වන භාෂාවක් යෝජනා කරන මිනිසෙකු, තාරා බිත්තරයක් රකින කිකිළියක බඳු වනු ඇත. ඔහු විසින් නිර්මාණය කරනු ලැබූ භාෂාව ඔහු කැමති වුවත්, අකමැති වුවත් උපදිනු ඇත්තේ සියළු භාෂාවන් ඊට හසු කර ගන්නා ප්‍රවාහය විසින් ම ය.
සංඥා,සාමාන්‍ය සංඥාර්ථවේදයේ මූලධර්මයකින් ආණ්ඩු කෙරෙයි, එනම්, කාලය තුළ සන්තතිය, කාලය තුළ විපර්යාසය සමග එකට බැඳී පවතින්නේ ය යන්නයි.
෴
ෆර්ඩ්නැන්ඩ් ඩි සොසුයියෝ ගේ Course in General Linguistics (පළමු ප්‍රකාශනය 1916) ප්‍රංශ බසින් ඉංග්‍රීසියට පරිවර්තනය කළේ 1959, Philosophical Library, New York.
ඉහත ලිපියේ ඉංග්‍රීසි පරිවර්තනය: වේඩ් බාස්කින්
සංක්ෂිප්ත සිංහල අනුවර්තනය: ©‘කතිකා’ අධ්‍යයන කවය. ‘කතිකා’ අධ්‍යයන කවයේ පූර්ව අවසරයකින් තොරව මෙම අනුවර්තනය කුමන හෝ මාධ්‍යයක උපුටා හෝ පිටපත් කොට නැවත පළකිරීම සපුරා තහනම්.
්‍ය්‍යම