සංවාද
කතිකා.ලංකා වෙබ් අඩවියේ පළ වූවකි.
කතිකා අධ්‍යයන කවය
අප මෙම ලිපිය ලියන අවස්ථාව වනවිට යුද්ධය අවසන් වී නොතිබුණි. යුද්ධයෙන් පසු තත්ත්වය සැලකිල්ලට ගන්නේ නම්, මෙහි එන ඇතැම් අදහස් වෙනස් අයුරකින් ලියැවෙන්නට ඉඩ තිබුණි.
2005 ජනාධිපතිවරණය ආසන්නයේ “කතිකා” අධ්‍යයන කවය නිකුත් කළ ප්‍රකාශයක එම මැතිවරණය නව-ලිබරල්වාදය සහ ජාතික චින්තනය අතර අධිපතිභාවය සඳහා කෙරෙන තීරණාත්මක සටනක් ලෙස හැඳින්වූ අපි, මෙම සටන හුදු කතිකාවන් දෙකක් අතර පමණක් නොව, ජීවන ආකාරයන් දෙකක් අතරද, ඒනිසා එම කතිකාවන් මත පදනම් වූ විශ්වාස පද්ධතීන් දෙකක් අතර ද සටනක් වන්නේ යැයි කියා සිටියෙමු.
මෙම සටන ලාංකේය සමාජයේ දේශපාලන ධ්‍රැවීකරණයකට හේතුවන බවත්, එනිසා අප සමාජයේ අධිකාරවාදී ප්‍රවණතාවන් ශක්තිමත් කරන්නට තර්ජනය කරන බවත්, නව-ලිබරල්වාදයේ අධිකාරවාදයට දක්වන තම ප්‍රතිරෝධය තුළ ජාතික චින්තනය අධිකාරවාදී ශක්‍යතාවක් ඇති ප්‍රවණතාවක් තමන්ම පෙන්නුම් කරන බවත් සඳහන් කළෙමු. අපගේ අදහස වූයේ මෙම දේශපාලන ධ්‍රැවීකරණය හමුවේ ලාංකේය සමාජය මුහුණ දෙන අභියෝගය නව පුරවැසි ප්‍රජාතන්ත්‍රවාදයක් පරිකල්පනය කිරීම බවයි.
ඉංග්‍රීසියෙන් The Island පුවත්පතේ සහ සිංහලෙන් අත්පත්‍රිකාවක් ලෙසත් පළවූ අපගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් මහාචාර්ය නලින් ද සිල්වා The Island පුවත්පතට කොටස් තුනකින් පළවූ දීර්ඝ ලිපියක් ලිවීය. එකළ මහාචාර්ය නලින් ද සිල්වාගේ ලිපියේ එන අදහස් වලට ප්‍රතිචාර දැක්වීමට අපට අවස්ථාවක් නොවීය. එයින් අවුරුදු හතරකට පමණ පසු අප මේ සටහන ලියන්නේ මෙතරම් ප්‍රමාද වී මහාචාර්ය නලින්ද සිල්වාට ප්‍රතිචාර දක්වන්නට නොවේ.
“කතිකා” වෙබ් අඩවිය පළමුවරට වාර සංග්‍රහයක් ලෙස පළකරන මෙම අවස්ථාවේ, අප එකළ පළ කළ අපගේ ප්‍රකාශයේ එන අදහස්, වෙනස් වී ඇති නව සමාජ-දේශපාලන තත්ත්වයන් හමුවේ යළි විමසුමට ලක්කිරීම අවශ්‍ය යැයි අපි විශ්වාස කරමු. නමුත්, ඒ සමගින්ම මහාචාර්ය නලින්ද සිල්වා අපට ප්‍රතිචාර දක්වමින් ලියූ ලිපියේ එන මූලික අදහස්ද යම් තාක් දුරකට සාකච්ඡා කරන්නට අදහස් කරමු.
‘නව-ලිබරල් ජාතිකවාදයක්’
2005 ජනාධිපතිවරණය නව-ලිබරල්වාදය සහ “ජාතික චින්තනය” අතර කෙරුණු සටනක් වී නම්, එම මැතිවරණයෙන් සිවු වසරක් ගෙවුණු අද, එම සටනේ ජය-පරාජ පිළිබඳ අපගේ නිරීක්ෂණය නම් එම සටනෙන් දෙපිළම ජය ලබා ඇති බවයි. තවත් අයුරකින් කියන්නේ නම් මේ ගැටුම තවම අවසන් වී නැත. මින් අදහස් වන්නේ මෙම ගැටුම එක පාර්ශ්වයක ජයග්‍රහණයකින් කෙළවර විය හැකි යැයි හෝ කළ යුතු යැයි අප කියන බවද නොවේ.
2005 ජනාධිපතිණයේදී තරග කළ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගෙන් එක් අයෙකු හදින් වඩා සමීප නව ලිබරල්වාදයට නොව ජාතික චින්තන නියෝජනය කරන සම්ප්‍රදායට හෙයින්, ඔහු ජාතික චින්තනයේ මතවාදී ව්‍යාපාරය විසින් තම නායකයා ලෙස තෝරා ගෙන ඇතැයි අපි සඳහන් කළෙමු. ඊට මහාචාර්ය නලින් ද සිල්වා ගේ ප්‍රතිචාරය වූයේ, එම අපේක්ෂකයා නව ලිබරල් වාදයට විකල්පයක් සාධනය කර ගැනීමට උත්සාහ කරමින් සිටින බවයි. අනෙක් අතට ජාතික චින්තනය ද සංක්‍රමණික අවධියක සිටිමින්, රටේ චින්තනයට සහ සංස්කෘතියට සාපේක්ෂව සංකල්ප සහ ප්‍රවාද සකස් කිරීමේ ක්‍රියාවලියේ යෙදී සිටින බවයි.
“ජාතික චින්තනය” නියෝජනය කරන්නේ යැයි අප සඳහන් කළ නායකයා ජනාධිපති බවට පත්විය. එහෙත් එනිසාම නව-ලිබරල්වාදය පැරදුනේ ද නැත. නව-ලිබරල්වාදී ආර්ථික වැඩ පිළිවෙල මුළුමනින්ම පාහේ අද ද ක්‍රියාත්මක වෙයි. එහෙයින් අද ලාංකේය සමාජයේ ඇත්තේ නව-ලිබරල් ජාතිකවාදයක අධිපතිභාවය යි යන්න අපගේ අදහසයි, ආර්ථික වශයෙන් නව-ලිබරල්වාදී, දේශපාලනික වශයෙන් ජාතිකවාදී පාලන තන්ත්‍රයකි.
නව-ලිබරල්වාදයත්, වත්මන් සිංහල ජාතිකවාදයත් අතර ආර්ථිකයේ නව-ලිබරල්වාදී ප්‍රතිපත්ති සම්බන්ධයෙන් තවම මූලික ගැටුමක් ඇති බවක් නොපෙනේ. ගැටුමක් ඇතැයි පෙනෙන්නේ නම්, ඒ දේශපාලන වාසි ලබාගැනීම සඳහා හෝ රජයේ අරමුදල් සම්පාදනයේදී ගන්නා අහඹු තීරණ මත නව-ලිබරල්වාදී වෙළෙඳ පොළ තර්කනය ඇතුළතම ඇතිවන්නක් මිස ප්‍රතිපත්ති අරභයා කෙරෙන්නක් නොවේ. ප්‍රායෝගික රාජ්‍ය/ මූල්‍ය අවශ්‍යතා මත සහ දේශපාලන අවශ්‍යතා මත යම් යම් මතුපිට සුළු වෙනස්කම් කෙරෙන නමුදු නව-ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තිවල හරයෙන් මූලික වෙනස්කමක් කෙරී නැත. වත්මන් පාලන තන්ත්‍රය හිතා මතා නව-ලිබරල්වාදී ආර්ථික පිළිවෙතට විකල්පයක් සාධනය කිරීමේ බැරෑරුම් උත්සාහයක යෙදී සිටින්නේ යැයි කිව නොහැකිය.
ආර්ථික තලයට වෙනස්ව දේශපාලන තලයේ, ලිබරල්වාදයත් ජාතිකවාදයත් අතර දක්නට ඇත්තේ නොනවතින ගැටුමකි. මෙය මූලිකවම යුද්ධයත්, ඒ හා ආශ්‍රිතව සහ ඉන් පිටස්තරවත් මතුවන ජනමාධ්‍ය නිදහස ඇතුළු මානව අයිතිවාසිකම් පිළිබඳ කතිකාවන් පදනම් කොටගෙනත් ඇතිවන ගැටුමකි.
2005 ජනාධිපතිවරණය වන විට දකුණේ ලාංකේය සමාජයේ ගොඩනැගෙමින් තිබුණු සිංහල ජාතිකවාදයේ අධිකාරවාදී ප්‍රවණතාව මැතිවරණයෙන් පසු සමයේ ලිහිල් වී තුනී වී යනු දක්නට ලැබුණි. ඉන් පසුව එය රාජ්‍ය මර්ධනය ලෙසින් වරින් වර සිදුවීම් මුල්කොටගෙන ක්‍රියාත්මක වනු දක්නට ලැබුණි. දැන් අධිකාරවාදය පිළිබඳ තර්ජනය මතුව ඇත්තේ එල්ටීටීයට එරෙහි යුද්ධය කරගෙන යාමට බාධා කරන්නන් මැඩ පැවැත්විය යුතුය යන අදහස මූලික කොටගෙනය.
අධ්‍යාපනය
අධ්‍යාපන ක්ෂේත්‍රයේ ලෝක බැංකු ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කෙරෙන නව-ලිබරල්වාදී අධ්‍යාපන ප්‍රතිපත්ති එලෙසින්ම ක්‍රියාත්මක කෙරෙමින් පවතියි. මේ අනුව අධ්‍යාපනයේ අරමුණ “ආර්ථික සංවර්ධනය” උදෙසා “දැනුම් ආර්ථිකය”ට සේවය කිරීම සඳහා අවශ්‍ය ශ්‍රමිකයන් බිහිකිරීම ය. යහපත් පුරවැසියන් බිහිකරන මානව ශාස්ත්‍ර අධ්‍යාපනය අද වන විට අපගේ අධ්‍යාපනයෙන් මුළුමනින්ම පාහේ තුරන් වී ගොසිනි. ස්වාධීන බුද්ධිමතුන්, ශාස්ත්‍රඥයන් බිහිකරන ශාස්ත්‍රාලීය අධ්‍යාපනය රැකගැනීමට ඇති අවසන් අවකාශය වන පශ්චාත් උසස් අධ්‍යාපනය, එහි ගුණාත්මක අගය, ප්‍රමාණයේ අගය වෙනුවෙන් කැප කිරීමෙන්, ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනය හා සමානවම පිරිහෙලීමට ලක්කොට ඇත. පශ්චාත් උසස් අධ්‍යාපනය, විශාල සංඛ්‍යාවකට, මුදලට සහතික නිකුත් කිරීමේ ව්‍යාපාරයක් බවට පත්ව ඇති අතර මෙම ව්‍යවසායේදී වඩාත්ම සාර්ථක බව පෙන්නුම් කොට ඇත්තේ ජාතිකවාදී නැඹුරුව අධිපතිභාවය දරන්නේ යැයි කියාගන්නා තෘතීයික අධ්‍යාපන ආයතන යැයි ප්‍රසිද්ධියක් තිබේ.
මධ්‍යම පන්තිය මත අධික බදුබර පැටවීමේ හේතුවෙන් සංස්කෘතික ක්ෂේත්‍රය එක අතකින් හකුළුවා ලා ඇති අතර, අනෙක් අතට, නව ලිබරල් වාදයේ ව්‍යාප්තවීම යටතේ සංස්කෘතික කටයුතු සහමුලින්ම පාහේ විනෝදාස්වාදන කර්මාන්තයට යටවන්නට ඉඩ හැර ඇත.
ඉහත සදහන් “කතිකා ” ප්‍රකාශයේ ජාතික චින්තනය පිළිබද කතා කිරීමට අප පදනම් කර ගත්තේ ගුණදාස අමරසේකරයන‍්ගේ ලිපි-ලේඛනවල ජාතික චින්තනය පිළිබඳ පළවූ අපගේ වර්තමාන ලිපියේදී අප අවධානය යොමු කරන්නේ මහාචාර්ය නලින් ද සිල්වා ජාතික චින්තනය ගැන පළ කරන අදහස් කෙරෙහිය.
‘ජාතික ඌරුව,’ ජාතික චින්තනය, සහ නූතනත්වය
පළමුව, ජාතික චින්තනය යනු, ‘ජාතික ඌරුව’ යැයි අප කළ හැඳින්වීමට වෙනස්ව ජාතික චින්තනය ජාතියේ චින්තනය යැයි කියන මහාචාර්ය නලින් ද සිල්වා එය පැහැදිලි කරන්නේ ජාතික චින්තනය යනු, සූවිශේ ජාතියක්, ප්‍රජාවක් යනාදියට අයිති මානවයන් විසින් ගොඩනැගූ සියල්ල එනම්, කලාශිල්ප, සංගීතය, සාහිත්‍යය, විද්‍යාව, ආකල්ප, ලෝක දෘශ්ටිය සහ අපේ කුමන හෝ මානව නිර්මාණයක් එකට බඳින හුය බවයි. කුමන හෝ චින්තනයකට අඩුම ගණනේ තර්ක විද්‍යාවක් සහ ආකල්ප සහ දර්ශනයක් එනම් ලෝක දෘෂ්ටියක් තිබේ.
ඒ අනුව, ජාතික ඌරුව යනු ජාතික චින්තනය ඇතුලත ස්ථානගත වන්නකි. ඒ අනුව, ජාතික චින්තනය ජාතික ඌරුවට ලඝු කළ නොහැක. ජාතික ඌරුව යනු දෙන ලද ප්‍රජාවක, ජාතියක චින්තනයක් පසු බිමේ සංස්කෘතියක් තුළ ඇති කරන ඌරුවයි. මහාචාර්ය නලින් ද සිල්වා කියන පරිදි ජාතික චින්තනය ඇතුලත නිර්මිත එක් ප්‍රවාදයක් වන්නේ ‘ඥානය මානව නිර්මිතයකි’ යන්නයි. ජාතික චින්තනයට අනුව එය අවිද්‍යාව නිසා ගොඩ නැගෙන්නකි. ඥානය මානව නිර්මිතයක් යන බටහිර සංකල්පීකරණයෙන් ජාතික චින්තනයේ සංකල්පීකරණය වෙනස් වන්නේ මතැනිනි.
ජාතික චින්තනයට අනුව, නූතන බටහිර ඥානය, ග්‍රීක, යුදෙව්, ක්‍රිස්තියානි චින්තන ඇතුළත, යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට සාපේක්ෂව ගොඩනගා ඇත. පහළොස්වැනි සියවසේදී බටහිර ක්‍රිස්තියානි නූතනත්වය පැන නැගුනේ, එකල යුරෝපයේ පැවැති කතෝලික චින්තනයට ප්‍රතිපක්ෂව ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය නිර්මාණය කිරීමත් සමගිනි.
එය බටහිර යුරෝපීය ක්‍රිස්තියානි ප්‍රොතෙස්තන්ත්‍ර දහමේ නැගීමත් සමග පැතුරුණි. මෙයට ග්‍රීක නාමය ඈඳෙන්නේ ග්‍රීකයන්ගේ චින්තනය – මූලිකවම ඇරිස්ටෝටල් ගේ ද්වි-කෝටික තර්කනය – බටහිර ක්‍රිස්තියානි නූතත්වයට පාදකවීය, යන අර්ථයන් යයි අපි සිතමු.
බටහිර තර්ක ක්‍රමය, හේතුඵල වාදය, විද්‍යාත්මක ක්‍රමය පදනම් කොටගත් නූතනත්වයේ චින්තනය සංස්කෘතිය ලොව පුරා ව්‍යාප්ත වී ආධිපත්‍යය දරයි. ලොව අධිපති බව දරන්නේ යුදෙව්-ක්‍රිස්තියානි සංස්කෘතිය සහ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයයි. කතෝලික බව රැකුණු රටවල් ඉන් වෙනස්ය. එහි ආධිපත්‍යයට යටත් වොවූ රටවල් යැයි කිව හැකි ඇතැම් මුස්ලිම් රටවල් ද, බුරුමය වැනි රටක් ද තිබේ.
ඉතින්, මහාචාර්ය නලින් ද සිල්වා දක්වන පරිදි නූතනත්වයේ චින්තනය, සංස්කෘතිය ලොව අධිපතිභාවය දරන්නේ නම්, එම අධිපතිභාවය සාර්ථක වී ඇති තාක්දුරට එය අනෙක් ජාතික චින්තනයන් යටපත් කොට, ඇත්තේය, යන්න කියැවෙයි. නූතනත්වයේ චින්තනය, සංස්කෘතිය ලංකාවේද අධිපතිභාවයට පත්ව තිබෙනවා නොවේද? එසේ වී ඇත්නම්, අප ලාංකේය ජාතික චින්තනය යැයි කියන්නේ, නූතනත්වයේ චින්තනයේ සංස්කෘති ආධිපත්‍යයෙන් මුදවා ගෙන, යලිත් ගොඩනගා ගත යුතු චින්තනයකට ද? සංස්කෘතියකට ද?
_____________________________________________________________
ගැඩමර් ගේ දාර්ශනික අර්ථ විවරණවේදයත්, හනා ආරන්ඩ්ට් දේශපාලනය සහ ලෝකමය බව වෙනුවෙන් පෙනී සිටීමත් තුළ නූතනත්වය පිළිබද ගැඹුරු විවේචනයක් සම්පාදනය වී ඇත. “නූතනත්වය ශිෂ්ඨාචාරයක් නොවේ” යන ආරන්ඩ්ට් ගේ අදහස මෙහිදී ගැඹුරින් විමසා බැලිය යුතුය.
නූතනත්වය පිළිබද ගැඩමර් ගේ විචාරය එල්ල වූයේ, බටහිර ස්වාභාවික විද්‍යාව මත පදනම් වූ විද්‍යාත්මක විධි ක්‍රමය මානව ලෝකය පිළිබඳ විග්‍රහයට යොදා ගැනීමේ ඇති මූලික දෝෂය හෙළිදරවු කරන්නට යි. ගැඩමර්ගේ තර්කය වූයේ, ස්වාභාවික විද්‍යාවත් ඇතුලුව මිනිසා තම ලෝකය තේරුම් ගැනීමට ගන්නා සියළු උත්සාහයන්හි පදනම ඇත්තේ ව්‍යවහාරික ඥානයේ බවයි. ප්‍රපංචවේදයේ ඇතැම් ධාරාවකද ව්‍යවහාරික ඥානය පිළිබඳ මේ හා සමාන අදහස් වර්ධනය කොට ඇත.
________________________________________________________________________
සම්ප්‍රදාය සහ නූතනත්වය, ප්‍රජාව සහ පුද්ගලයා
අපගේ ප්‍රකාශයේ දී අප ගෙනහැර දැක් වූ සම්ප්‍රදාය සහ නූතනත්වය පිළිබඳ පසමිතුරු ප්‍රතිපක්ෂය නූතනත්වයේ නිර්මිතයකි. නූතනත්වය යනු, පූර්ව නූතන සම්ප්‍රදායෙන් සහමුලින්ම කැඩී වෙනස් වීමකැයි නූතනත්වය සූත්‍ර ගත කරයි. නූතනයේ ඇති වන විපර්යාසයන්ට විසඳුමක් ලෙසින් සම්ප්‍රදායට හැරීම ද මීට අයත් වෙයි.
පුද්ගලයා සහ ප්‍රජාව පසමිතුරු කොට දැක්වීම ද නූතන බටහිර චින්තනයේ උරුමයකි. පුද්ගලයාත් ප්‍රජාවත් අවියෝජනීයය. පුද්ගලයෙකුට තම පුද්ගලිකත්වය රැකගත හැක්කේ, ප්‍රජාවක සාමාජිකයෙකු වශයෙන් පමණි. එක් එක් ප්‍රජාව පුද්ගලයාට තම පුද්ගලිකත්වය ප්‍රකාශ කිරීමට ඉඩකඩ සලසන්නේ වෙනස් ආකාරයන්ගෙනි. පුද්ගලයෙකු සෑමවිටමත් ප්‍රජාවක නිර්මිතයකි. ප්‍රජාවක අදහස ප්‍රතික්‍ෂේප කරන ලිබරල්වාදී පුද්ගලයාමත්, ලිබරල්වාදී සාමුහික චින්තනයක නිර්මිතයකි.
ලිබරල්වාදයේ හරය සමාජයෙන් විනිර්මුක්ත වූ පුද්ගලයා ලෙසත්, ජාතික චින්තනයේ හරය ප්‍රජාව ලෙසත් ගතහොත්, අප යෝජනා කළේ පුද්ගලයා සහ ප්‍රජාව පිළිබද සංකල්පීකරණය අතර ධ්‍රැවීකරණය වූ සමාජයක් නොව පුද්ගලයාත් ප්‍රජාවත් දෙකෙහිම අවියෝජනීයත්වය හඳුනා ගන්නා ලෙසින් ගොඩනැගෙන ප්‍රජාවක් පරිකල්පනය කළ යුතු බවයි.
බටහිර නූතනත්වයට බටහිරින්ම ප්‍රතිරෝධය: හෛඩැගර්, ගැඩමර්, ආරන්ඩ්ට්, ටේලර්
නූතනත්වයේ චින්තනයට හා සංස්කෘතියට ප්‍රතිරෝධය දැක්වීම පිළිබද සාකච්ඡාවේ දී සඳහන් කළ යුතු කරුණක් වන්නේ, බටහිර චින්තනයට ප්‍රතිරෝධය දැක්වෙන චින්තන ධාරාවක් එම චින්තනය තුළම එහි ආරම්භයේ සිටම පාහේ සම්පාදනය වී තිබුණු බවයි. “ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය” විවේචනයට ලක් කෙරෙන විකල්ප චින්තන ධාරාවක් බටහිර චින්තනයේම තිබී ඇත.
මෙම සම්ප්‍රදායේ මූලයන් ග්‍රික චින්තනයේ, ඇරිස්ටෝටල්ගේ ආචාර ධර්මය සහ දේශපාලනය වැනි කෘතීන් තුළ දැකිය හැකිය. ප්‍රපංචවේදයත්, පූර්ව ප්ලේටෝනීය ග්‍රික චින්තනය ගවේෂණය කළ හෛඩැගර් ගේ චින්තනයත්, පොදුවේ අයත් වන්නේන් මෙම පුළුල් සම්ප්‍රදායටය.
හෛඩැගරියානු චින්තනයේ එක් දිශානතියක් ‘හෛඩැගර් ගේ දරුවන්’ ලෙස හදුන්වන ඩෙරීඩා යනාදී පශ්චාත්-ව්‍යුහවාදීන් ගේ චින්තනය ලෙසින් පසුකාලීනව වර්ධනය විය.
ඊට පෙර අවධියේ, එහි තවත් දිශානතියක්, හෛඩැගර් යටතේ හැදෑරූ ගැඩමර් සහ හනා ආරන්ඩ්ට් මෙන්ම හෙගේලියානු චින්තකයෙකු වන කැනේඩියානු දාර්ශනික චාර්ල්ස් ටේලර් නමැති යනාදීන්ගේ චින්තනයන් ලෙසින් වර්ධනය විය.
ස්වායත්ත, තාර්කික පුද්ගලයා පිළිබද ලිබරල් මානවවාදය විසංයෝජනය කරමින්, සමස්ත බටහිර චින්තනයම ශූන්‍යවාදී ලෙස ප්‍රතික්ෂේප කරන්නට පශ්චාත්-ව්‍යුහවාදීහූ පෙළඹුණහ. මීට ප්‍රත්‍යක්ෂව හැඩමර් සහ හැනා ආරන්ඩ්ට් ස්වායත්තව තම චින්තනයන් ගොඩනගා ගත්තේ හෛඩැගර්ගේ දර්ශනවාදී ඥානමීමංසාව අතික්‍රමණය කරමින් ව්‍යවහාරික ඥානය මත සහ තම න්‍යායාත්මක විග්‍රහයේ මූලයන් ග්‍රීක සම්භාව්‍ය චින්තනයෙන්ම පාදා ගනිමිනි.
ගැඩමර් ගේ දාර්ශනික අර්ථ විවරණවේදයත්, හනා ආරන්ඩ්ට් දේශපාලනය සහ ලෝකමය බව වෙනුවෙන් පෙනී සිටීමත් තුළ නූතනත්වය පිළිබද ගැඹුරු විවේචනයක් සම්පාදනය වී ඇත. “නූතනත්වය ශිෂ්ඨාචාරයක් නොවේ” යන ආරන්ඩ්ට් ගේ අදහස මෙහිදී ගැඹුරින් විමසා බැලිය යුතුය.
නූතනත්වය පිළිබද ගැඩමර් ගේ විචාරය එල්ල වූයේ, බටහිර ස්වාභාවික විද්‍යාව මත පදනම් වූ විද්‍යාත්මක විධි ක්‍රමය මානව ලෝකය පිළිබඳ විග්‍රහයට යොදා ගැනීමේ ඇති මූලික දෝෂය හෙළිදරවු කරන්නට යි. ගැඩමර්ගේ තර්කය වූයේ, ස්වාභාවික විද්‍යාවත් ඇතුලුව මිනිසා තම ලෝකය තේරුම් ගැනීමට ගන්නා සියළු උත්සාහයන්හි පදනම ඇත්තේ ව්‍යවහාරික ඥානයේ බවයි. ප්‍රපංචවේදයේ ඇතැම් ධාරාවකද ව්‍යවහාරික ඥානය පිළිබඳ මේ හා සමාන අදහස් වර්ධනය කොට ඇත.
මෙම චින්තන ධාරාවන්ට වෙනස්ව යමින්, නව මාක්ස්වාදී සම්ප්‍රදායේ මූලයන් ඇති ජර්මනියේ උපත ලද ෆ්‍රෑන්ක්ෆර්ට් ගුරුකුලයේ ‘විචාරශීලී න්‍යායේ’ මෑතකාලීන ප්‍රධාන චින්තකයා වන හබයෙමාස් නූතනත්වය පිළිබඳ දරන අදහස වන්නේ ප්‍රබුද්ධත්වයේ ව්‍යාපෘතිය එය පදනම් වන විචාර බුද්ධිය ද සමගින් සමස්ත ලොව ජයග්‍රහණය කිරීම මානව විමුක්තියට හේතු වන බවයි.
සම්භාව්‍ය මානවවාදයක්
සමාජයෙන් ස්වායත්ත වූ තාර්කික පුද්ගලයෙකු පිළිබද අදහස මුල්කොට ගත් නූතන ලිබරල් මතවාදය වෙනුවට ප්‍රජාවේ සාමාජිකයෙකු ලෙස තම පුද්ගල ස්වාධීනත්වය විශිෂ්ඨත්වය සාධනය සදහා යොමු කරන, ලෝකය රැක ගැනීමට, එහි ස්ථායීභාවය වෙනුවෙන් කැප වන දේශපාලනමය පුද්ගලයා පිළිබද අදහස් කැටි කොට ගත් සම්භාව්‍ය මානවවාදයක් ගැඩමර් ගේ, හනා ආරන්ඩ්ට් ගේ චින්තනය තුල දැකිය හැකිය.
ජාතික ආර්ථිකය සහ පොදු යහපත
අපගේ ප්‍රකාශයේ අප සදහන් කළ කරුණක් වූයේ, ගුණදාස අමරසේකරයන්ගේ අදහස්වල දැක්වුණු පරිදි ජාතික චින්තනය නූතනත්වය පිළිබඳ ගැටළුවට විසඳුමක් වශයෙන් සිංහල-බෞද්ධ ජාතිය ගොඩනැංවීමේ, ජාතික ආර්ථිකයක් ගොඩනැංවීමේ ව්‍යාපෘතියක් සම්පාදනය කරන්නට දේශපාලන සැලසුම් කිරීමෙන්, ආර්ථිකය දේශපාලනයේ මුල් තැනට ගෙන ඒමට යෝජනා කිරීමෙන්, සමාජ සංසිද්ධීන් සමාජීය ඉංජිනේරු ක්‍රමයෙන් විසඳිය හැකි ”සමාජීය ගැටලු” ලෙස සංකල්පනය කිරීම නූතනත්වයේ උගුලටම සිරවීමක් බවයි.
අපගේ තර්කය වූයේ ජාතික චින්තනය විසින් ජාතික ආර්ථිකයක් ගොඩනැංවීමේ න්‍යාය පත්‍රයක් මත ආර්ථිකය මහජන ජීවිතයේ මුල් තැනට ගෙන ඒමට කටයුතු කිරීම නව ලිබරල්වාදී න්‍යාය පත්‍රය තුල මෙන්ම අප සමාජයේ අධිකාරවාදී ප්‍රවණතා ශක්තිමත් කරනු ඇති බවයි. අපගේ යෝජනාව මහජන දේශපාලන තලයේ ප්‍රමුඛතාව දී තබා ගත යුතු කරැණ වන්නේ පොදු යහපත පිළිබද කරුණ මිස ආර්ථිකය ගෙවන බවයි. බඩ වියත පිළිබද කරුණ නොව සාමුහික ජීවිතය පිළිබද කරුණ බවයි. සමාජයක් විසින් එහි ජනයාගේ බඩ වියත පිළිබද ප්‍රශ්නය අමතක කළ යුතු යැයි මෙයින් අදහස් නොවන බවද කිව යුතුය.
ජාතික චින්තනය ලාංකේය සංකල්පීය තලයේ කළ මැදිහත්වීම ලාංකේය සමාජය තුල මහජන කතිකාවේ කේන්ද්‍රය ආර්ථිකයේ සිට යහපත් ජීවිතය පිළිබඳ මාතෘකාවට මාරු කළේ යැයි තර්ක කළ හැකිය. නමුත් සංකල්පීය තලයේ ලද මෙම ජයග්‍රහණය දේශපාලන ක්‍රියාමාර්ග බවට හැරවීමට උත්සාහ කිරීමේ දී, යහපත් සමාජය පිළිබඳ අදහස යටපත් කොට ආර්ථිකය යලිත් මහජන කතිකාවේ කේන්ද්‍රය බවට පත් කිරීමේ උත්ප්‍රාසයට ජාතික චින්තනය භාජනය වී තිබේ යන්න අපගේ අදහස විය.
යහපත් ජීවිතයේ හරය ඇත්තේ ප්‍රජාව පිළිබඳ සිතීමෙහි බව සැබෑය. සිංහල – බෞද්ධ ජාතියක් ගොඩනැගීම පිළිබඳ අදහස එක බසක්, එක ආගමක් හෝ සංස්කෘතියක් මත පදනම් වූ ජාතියක් පිළිබඳ නූතනවාදී අදහසින් වටහා ගතහොත්, ප්‍රජාතන්ත්‍රවාදය සහ ජන වාර්ගික අනන්‍යතා පිළිබඳ සවිඥානකත්වයක් ඉතා ඉහලින් වර්ධනය වී ඇති නූතනයේ අප වසන යුගය තුළ එබඳු ජාතියක් ගොඩ නැංවීමට උත්සාහ දැරීම ජාතික චින්තනය බෞද්ධ චින්තනයට එරෙහිව යන අධිකාරවාදී මාවතකට තල්ලු කර දමනු ඇත.
නූතනත්වයට පසු, ප්‍රජාතන්ත්‍රවාදයට පසු, ලංකාවේ දෙමළ, මුස්ලිම් යනාදී ජන කොටස් ලාංකිකයන් ලෙස සලකා, ලාංකේය පුරවැසියන් ලෙස ඔවුනට ද සිංහලයන් හා එක සමානව රැකවරණය සහ සැලකිලි ලැබීමට ඇති පුරවැසි අයිතිය තහවුරු කිරීමෙන් මිසක ලංකාවේ ජාතියක් ගොඩනැංවීමට නොහැකි වනු ඇත. එම ජාතිය සිංහල-බෞද්ධ විය හැක්කේ සිංහලයාගේ සිංහල කමත්, බෞද්ධයා ගේ බෞද්ධ කමත්, ඉහත කී පුරවැසි අයිතිය පිළි ගැනීමටත්, තහවුරු කිරීමටත් තරම් උදාර ලෙස ත්‍යාගශීලී වියහැකි නම් පමණි යන්න අපගේ හැඟීමයි. මූලිකවම, සිංහල කතා නොකරන ජනතාවට තමන්ට දෛනික දිවියේදී වඩා පහසු බසකින් – එය දෙමළ හෝ ඉංග්‍රීසි විය හැකිය – රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ ආයතන සමග කටයුතු කිරීමට පහසුකම් සළසාදිය යුතුය.
ප්‍රජාව පුද්ගලයා මත සීමාවන් පනවන්නා ලෙස ගැනීම
නූතනත්වය තුල ප්‍රජාව සහ පුද්ගලයා යන ද්වෛතය තුළ පුද්ගලයා ප්‍රජාව පරයා අධිපතිභාවයට පත් වූ අතර, පුද්ගලයාට තම “අවශ්‍යතා” තෘප්තිමත් කිරීමට නිදහස ලැබුණි. තම “ඉඳුරන්” හා බැඳි සතුට සිත්සේ හඹා යාමට සීමාවන් නොතිබිණි.
නූතනත්වය සමාජය පිළිබඳ අදහස සම්පාදනය කළේ පුද්ගලයාගේ නිදහස සීමා කිරීමක් ලෙසය. ඒ අනුව පුද්ගල නිදහසේ සීමාව අනෙක් පුද්ගලයාගේ නිදහසයි. සමාජය පුද්ගලයා පාලනය කරන්නාය, පුද්ගලයා මත සීමාවන් පනවන්නාය. පුද්ගලයාට තමාව පාලනය කර ගත නොහැකිය, යන්න ඉන් කියැවෙයි.
නමුත් සමාජය හෝ ප්‍රජාව යනු පුද්ගලයාගේ අදහස් සීමා කිරීමේ උපකරණය ද, නැතහොත් පොදු යහපත පිළිබඳ ප්‍රමිතීන් ගොඩනැංවීම තුලින් පුද්ගලයාට යහපත් ඌරුවක් ලබා දෙන සාමුහික අවකාශය ද? යන්න අප සිතා බැලිය යුතුය. පොදු යහපත පිළිබද ප්‍රශ්නය අසීමිත ආශාවන් තෘප්තිමත් කිරීමට පුද්ගලයා තුල ඇති පෙළඹවීමට සීමා පැනවීම පිළිබඳ හොබ්සියානු කරුණක් නොවේ යැයි අපි සිතමු.
බුදු දහම මෙන් නොව කතෝලික ප්‍රජාව තුල පුද්ගලයා දැඩිව ප්‍රජාවේ ආගමික මතවාදයට බැඳ තබයි. කතෝලිකවාදයේ ශේෂයන් කොමියුනිස්ට්වාදය සහ පැසිස්ට්වාදය තුළ දැකගත හැකි නම්, ඉන් කියැවෙන්නේ කතෝලික ප්‍රජාව තම අණසක පුද්ගලයා මත පැණවීම අරමුණු කොට ගත්තක් බව නොවේ ද? එක් අතකින් නූතනත්වය යනු කතෝලික ප්‍රජාව තමන් මත බලපැවැත්වු අණසකින් මිදී නිදහස් වීමට පුද්ගලයා තුළ ගොඩනැගුණු අභිලාශය ක්‍රියාවට නැංවීමේ ප්‍රථිඵලයක් නොවේද? නූතනත්වයට පසු එවැනි ප්‍රජාවක ආධිපත්‍යය මිනිසුන් දිගින් දිගට ඉවසා සිටිනු ඇතැයි විශ්වාස කළ නොහැකිය.
බටහිර නූතනත්වයේ ද්විකෝටික තර්කනය මත පදනම් වූ ආර්ථික මිනිසා පිළිබද අදහස ලොව අධිපතිභාවයට පත්ව ඇති නමුදු ගොඩ නැගෙමින් පවතින ලංකාවේ ජාතික චින්තනය තුළ එයට ඉඩක් නැතැයි යන්න මහාචාර්ය නලින් ද සිල්වා ගේ අදහස යි. නූතනත්වය තුළ බහුවිධතාවට ඉඩක් නැත. ඉතින්, ජාතික චින්තනය අනුදත්තවුන් තමන් වෙත පවරාගෙන ඇති අභියෝගය නූතනත්වයේ ද්වි-කෝටික තර්ක ක්‍රමය මත පදනම් වූ සිතීමේ ක්‍රමයෙන් නිදහස්ව, චතුෂ්කෝටික තර්කනය මත පදනම් වූ ජාතික චින්තනය කරා යලිත් යාමයි.
නිමැවුම්කරණය සහ සංස්කෘතිය අතර වෙනස
ලාංකේය ජාතික චින්තනයක් ගැන සිතීමේ දී බටහිර චින්තනයේ සංස්කෘතිය පිළිබද ගොඩනැගී ඇති සංකල්පකරනයක්ද විමසා බැලීම වැදගත් විය හැකිය.
හනා ආරන්ඩ්ට් ද දක්වා ඇති පරිදි ලෝකය මිනිසා වෙනුවෙන් පවතින්නේය යන නූතන අදහසෙහි මූලයන් ග්‍රික චින්තනයේ තිබී ඇත. ආරන්ඩ්ට් විග්‍රහ කරන පරිදි, ග්‍රීකයන් ස්වභාවය සමග තිබූ සම්බන්ධයේ ස්වරූපය ‘දෙවියන් මිනිසුන්ගෙන් සඟවා තිබූ, ඵල පොලෝ කුසින් ඩැහැ ගැනීම’ යන අදහසින් විස්තර කෙරී ඇත. ග්‍රීක ශිෂ්ඨාචාරය තුල නිමැවුම් කලාවන් අධිපතිභාවයට පැමිණියේය. නමුත්, ඊට වෙනස්ව රෝම චින්තනය තුල වගා කිරීම පිළිබඳ අදහස, සංස්කෘතිය පිළිබඳ අදහස් වැදගත් තැනක් ගනී. මෙහිදී නිමැවුම පිළිබඳ ග්‍රීක අදහසට වඩා දේවල් ආදරයෙන් රැක බලා ගැනීමේ ආකල්පය මතු වෙයි, නිවසීම, වගා කිරීම, රැකබලා ගැනීම, සාත්තු කිරීම සහ සංරක්ෂණය කිරීම, ආදරයෙන් බලාගැනීම පිළිබද ආකල්පයක් මතු වෙයි. මෙය ස්වභාවය මිනිසාගේ ආධිපත්‍යයට නතු කිරීමේ ආකල්පයෙන් වෙනස්ය. මානවයන්ට නිසි ලෙස හිමි දේ රැකබලා ගැනීම මෙහි ඇති ආකල්පයයි. (ග්‍රීකයන් අතර රෝම යුගයට එන තෙක්, සංස්කෘතිය යන අදහස සංකල්ප ගත කෙරී නොතිබුණු නමුත් ඔවුනට සංස්කෘතික ආකල්පයක් තිබූ බව ඔවුන් සුන්දරත්වයට තදින් ඇළුම් කිරීමෙන් පෙනී යන්නේ යැයි ද හනා ආරන්ඩ්ට් තර්ක කරයි.)
අපට මෙහි ලා අවධාරණය කරන්නට අවශ්‍ය කරුණ නම් රෝම වරුන් අතර සංස්කෘතිය පිළිබඳ සංකල්පය පැන නැගෙන්නේ කාව්‍යමය සහ නිමැවුම් කලාවන්ට එරෙහිව යමින් බවය. ඒ අනුව, නිමැවුම අධිපතිභාවයට ගැනීමට ප්‍රතිපක්ෂව, නිමැවුණු දේවල් ද සමගින්, ස්වභාවය ද ඇතුලුව, ලෝකය රැකබලා ගැනීම සාමුහික ලොකයේ ප්‍රමුඛත්වයට ගැනීම සංස්කෘතියට අයත් වෙයි.
සංස්කෘතිය පිළිබඳ තම සාකච්ජාවෙන් හනා ආරන්ඩ්ට් මතු කරන වැදගත් කරුණ වන්නේ කාව්‍යමය සහ නිමැවුම් කලාවන්ට මුල් වන තැනීමේ මූල ධර්මය දේශපාලනයට ගෙන ආ කල එය ලොවට වින කටින බවය.
ඒ කෙසේද? හනා ආරන්ඩ්ට් එය පැහැදිළි කරන්නේ මෙලෙසිනි: නිමැවුම්කරණය ස්වභාවයෙන්ම ප්‍රයෝජ්‍යතාවාදීය. එයට හැමවිටමත් විධි සහ නිෂ්ටා අදාළය. තැනීමේ සහ නිමැවුම් ක්‍රියාවලීන්ට පැහැදිළිව හඳුනා ගත හැකි නිෂ්ටාවක්, අවසන් නිෂ්පාදිතයක් ඇති අතර, එය, ක්‍රියාවලියෙහි ලා වැඩ කොටසක් ඉටු කරන හැම දෙයක්ම – ද්‍රව්‍ය, මෙවලම්, එම ක්‍රියාවමත් සහ එහි ලා සහභාගී වන පුද්ගලයන් පවා – තීරණය කරයි, සංවිධානය කරයි. නිෂ්ටාව, අරමුණ, අවසානය අන් සියල්ල තීරනය කරයි. ඒ සියල්ල අරමුණ සඳහා හුදු මාර්ග හෝ විධි බවට පත් වන අතර ඒ ලෙසින් යුක්තිමත් කෙරෙයි. මෙලෙස හැම දෙයක්ම ඒවා තම අරමුණට ඇති ප්‍රයෝජනය සළකා විනිශ්චය කෙරෙයි. මෙම දෘශ්ටිය සාමාන්‍යකරණය කොට, තැනීම හෝ නිමැවුමෙන් පිටස්තර අනෙක් ක්ෂේත්‍ර වලට ව්‍යාප්ත කළ විට එය පිලිස්තීනුවාදී නැතහොත් අවරසිකවාදී මානසිකත්වයක් නිපදවයි. මෙය දේශපාලනයට ගෙන ආ විට දේශපාලනයත් කල් තබා තීන්දු කෙරුණු නිෂ්ටාවකට අනුව කළ යුතු බවත් එම අරමුණ සාක්ෂාත් කර ගැනීමට උදවු වනු ඇති සියළු මාර්ග ග්‍රහණයට ගැනීමට ඊට ඉඩ දිය යුතු බවත් එය ඉල්ලා සිටියි.
සිංහල- බෞද්ධ ජාතියක්, ජාතික ආර්ථිකයක් ගැන සිතීමේ දී සිංහල-බෞද්ධ ජාතිය ගොඩනැංවීම, ජාතික ආර්ථිකය ගොඩනැංවීම පිළිබඳ අදහස්, දේශපාලනයට නිමැවුම් කලාවන්ගේ මූලධර්ම යොදා ගැනීමට ගන්නා උත්සාහයන් බව අපගේ යොජනාවයි. එවිට ජාතික චින්තනය තම නිෂ්ටාවන් ඉටු කර ගැනීමට – ජනයාද ඇතුළු සියළු දේ හුදු මාර්ග ලෙස සළකා ක්‍රියා කිරීමටත් දැඩි අධිකාරවාදී මාවතක් තෝරා ගැනීමටත් යොමු වීමෙන් බෞද්ධ කමෙන් ඈත් වීමේ අනතුරට මුහුණ පානු ඇත.
අමරණීයත්වය සහ සදාකාලිකත්වය
සිංහල-බෞද්ධ ජාතියක්, සංස්කෘතියක් ගැන සිතීමේදී, අමරණීයත්වය සහ සදාකාලිකත්වය යන සංකල්ප දෙක අතර වෙනස පැහැදිලි කර ගැනීමත් වැදගත් විය හැකිය. මෙහිදීත් හනා ආරන්ඩ්ට් දක්වා ඇති පරිදි බටහිර චින්තනය තුල සම්ප්‍රදායිකව අමරණීයත්වය අයිති ස්වභාවයට සහ දෙවියන්ටය. මිනිසුන්, මැරෙන සුළුය. පසුකාලීනව, සදාකාලිකත්වය අයිති වන්නේ හැමදාමත් පවත්නා පුද්ගල ජීවිතයක් පිළිබඳ ක්‍රිස්තියානි දේව ධර්මයටය.
ක්‍රිස්තියානි දහම ලෝකය නොව ලෝකයක් නොමැතිකම පදනම් කොටගත් මෙලොවට වඩා එලොව ගැන තකන ජනකායක් අතර ප්‍රජාවක් ගොඩනංවන දහමකි. හනා ආරන්ඩ්ට් දක්වන පරිදි ක්‍රිස්තියානි ප්‍රජාව එහි සාමාජිකයන් එකම පවුලක සාමාජිකයන් ලෙස සැලකීමෙන් ද, සහෝදරයන් ලෙස සැලකීමෙන් ද එයට අදේශපාලනික, දේශපාලනික නොවන ස්වභාවයක් ලබා දුන්නේය. විශිෂ්ඨත්වය පිළිබද හැගීමත් ඉන් ඇති කරන අභිමානයත් පිළිබඳ හැගීම් තහනම් කිරීමෙන් ලෝකමය දෙයින් වැළකී සිටීමට එහි සාමාජිකයන් දිරි ගැන්වීය. එවැනි ප්‍රජාවක් උනන්දුවනු ඇත්තේ ලෝකමයභාවය, ලොව කල් පැවතීම පිළිබඳට වඩා, දෙවියන් හමුවේ තම ගැළවීම සාක්ෂාත් කර ගන්නටය.
බුදු දහම අමරණීයත්වයක් කෙරෙහි විශ්වාසය නොදක්වයි. එයට සදාකාලිකත්වය පිළිබද අදහසක් ද නැත්තේය. එයට ඇත්තේ ලොව ඇති සියල්ලෙහි අනිත්‍යභාවය පිළිබඳ අදහසකි.
සංස්කෘතිය පිළිබඳ අදහස ලෝකමය බව පිළිබඳ උනන්දුවක් දක්වන ජනකායක් අතර ඇතිවිය හැකි අදහසකි. “බෞද්ධ ශිෂ්ටාචාරය”න්, “බෞද්ධ සංස්කෘතීන්” ලොව ගොඩනැංවී තිබීමෙන් පෙනී යන්නේ, බෞද්ධ ලෝකයේ ද නිමැවුම් කරනය මුල් වූ යුගයන්ද, ජනයා එම නිමැවුම් ආදරයෙන් රැකබලා ගනිමින් “බෞද්ධ සංස්කෘතිය” සහ “බෞද්ධ ශිෂ්ඨාචාරයෙන්” ලොව ගොඩනැංවූ යුගයන්ද තිබී ඇති බවයි.
එනමුත්, සංස්කෘති, ශිෂ්ටාචාර ගොඩනැංවීම බෞද්ධ දර්ශනයේ හරයට බෞද්ධ ජාතික චින්තනයට කොතෙක් දුරට අනුකූල වේද? ලොව කල් පවතින්නට නම් මිනිසුන් තුළ අමරණීයත්වය පිළිබද හැඟීමක්, සංස්කෘතියක‍් ගොඩ නංවා එය රැක බලාගැනීමේ වටිනාකම පිළිබඳ අදහසක් පැළපදියම්වීම අවශ්‍ය වෙයි. ලොව සියල්ල අනිත්‍ය යැයි විශ්වාස කරන බුදු දහම මත පදනම්ව සංස්කෘතියක් ගොඩනැංවිය හැකිද? යන ප්‍රශ්නය මෙහි දී මතු වෙයි.
අවසන් වශයෙන්, අපගේ යෝජනාව නූතන බටහිර චින්තනයේ සිතීමේ පද්ධතිය වෙනස් කිරීමට විකල්ප සිතීමේ පද්ධතියක් සෑදීමට අප සිතන්නේ නම්, එයද අයත් වන්නේ බටහිර චින්තනයේ සිතීමේ ක්‍රමයටම බවයි. ප්‍රවාද ගොඩනැංවීම අයත් වන්නේ දර්ශනයටය. අවලෝකනයටය. සොක්‍රටික ගුරුකුලය තුළ ප්ලේටෝ බටහිර චින්තනයේ ගොඩැනැගූ දාර්ශනික සම්ප්‍රදායටය.
ගැඩමර් කියන පරිදි, නූතනත්වය ගොඩනැංවෙන්නේ, සත්භාවවිචාරය පිළිබඳ කරුණ පරයා, ඥාන සම්පාදනය, දර්ශනය, අධිපතිභාවයට පැමිණීම හේතුකොට ගෙන නොවේද?
– “කතිකා” අධ්‍යයන කවය
2009 ජූනි මස 20 වැනිදා.