ලංකා සංස්කෘතික පුනර්ජීවනය පිළිබඳ ඇතැම් ප්‍රශ්න මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර

මේ ලිපිය ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ අර්ථ ශාස්ත්‍ර සංගමය මඟින් පළකරන ලද ‘සමාජ විග්‍රහය’ නමැති සඟරාවේ පළවූවකි.

සිංහල සංස්කෘතිය භාරතීය සංස්කෘතිය පදනම් කොට ඇතත්, ස්ථවිරවාද බුද්ධාගම නිසා එය භාරතීය හින්දු සංස්කෘතියෙන් වෙන් වූවක් බවට පත්විය. සිංහල සංස්කෘතියට බුද්ධාගමේ ඇති සම්බන්ධයත් භාරතීය සංස්කෘතියට හින්දු සමයෙහි ඇති සම්බන්ධයත් එක හා සමාන නොවේ. අතීතයේ පටන්ම බුද්ධ ධර්මය සාමූහික ලෙස කරන වැඳුම් පිදුම්වලින් තොර වතාවත් අඩු ධර්මයක් විය. අදත් ඒ එසේමය. මේ හැරුණු විට යාඥාවට හෝ උත්තර මානුෂීය බල ඇති අයට කරන ආයාචනයට හෝ තැනක් බුද්ධාගමේ නැත.

එහෙත් ඒ වෙනුවට පෞද්ගලිකව කැරෙන ආත්ම දමනයෙන් ආධ්‍යාත්මික පාරිශුද්ධිය ලැබීමත් සංස්කාරකයන්ගේ අනිත්‍ය මෙනෙහි කිරීමෙන් නෛෂ්ක්‍රම්‍ය පුහුණු කිරීමත් උගන්වනු ලැබේ. මේ අනුව ජීවිතය ගැන බුද්ධ ධර්මය දරන දෘෂ්ටිය පෞද්ගලිකත්වය වටා ගෙතුණු අතරම වඩා ප්‍රඥාගෝචර ද වෙයි. වෙනස් කළ නොහැකි ලෙස ක්‍රියාත්මක වන කර්මඵල නියමයක් ගැන එහි අවධාරණයෙන් කියවේ.

මේ කර්මඵල නියමය කෙරෙහි එකම ස්වාමියා මිනිසාය. ලෝකෝත්තර බලවේගයන් ගෙන් කිසි පිහිටක් නොලැබේ. දේව භක්තිය මත පදනම් වූ ආගමකට වඩා බුද්ධ ධර්මය වෙනස් ය. දේව භක්තිය මත ගොඩනැංවුණු ආගමක දී දෙවියන් හා මිනිසුන් අතර පැවැත්වෙන සම්බන්ධකම් විවිධ ක්‍රම ගන්නා අතර, ඒවා එම සමාජයෙහි සංස්කෘතියේම අංශ බවට පත් වේ. මේ නිසා බුද්ධ ධර්මය ඉහත කී විධියේ ලෞකික සංස්කෘතියකට අවශ්‍ය සම්පූර්ණ අංගෝපාංග එය අනුගමනය කරන සමාජයට නොදෙයි. ගම්බද සිංහල ජනයාගේ අවශ්‍යතාවනට සරිලන ලෙස සකස් වීම සඳහා, බුද්ධ ධර්මයට ජන ඇදහීම් හා හින්දු විශ්වාසයන් සමඟ සංකලනය වීමට සිදු විය.

මෙසේ මහා සම්ප්‍රදායය චූල සම්ප්‍රදායයයෙහි අඩංගු විශ්වාසයන් තමන් තුළට වැද්ද ගති. ‘සිංහල බුද්ධාගම’ යනුවෙන් හැඳින්වෙන්නේ මේ සම්ප්‍රදායයන් දෙකෙහි සංකලනයෙන් පහළ වූවකි. අනිත්‍ය, දුක්ඛ අනාත්ම යන කරුණු මෙනෙහි කරන තෘෂ්ණාවෙන් මිදී නිර්වාණය ප්‍රත්‍යක්ෂ කොට ගෙන සිය අවසාන අරමුණ ලබා ගැනීමේ ප්‍රාර්ථනයෙන් ක්‍රියා කරන බෞද්ධයාට ද තම එදිනෙදා ජීවිතයේ අවශ්‍යතා ඉටු කර ගැනීමට ජන විශ්වාසයන්හි ඇතුළත් දෙවියන්ගේත් යකුන්ගේත් පිහිට පැතීමට සිදුවිය. පුනරුත්පත්තියෙනුත් එය හා බැඳී ඇති දුකිනුත් මිදීමේ උත්තරීතර පරමාර්ථය ළඟා කර ගැනීමට නම්, ඇත්ත වශයෙන් මේ අමනුෂ්‍ය ගණයාගෙන් පිහිටක් නොලැබේ.

බහුංච සරණං යන්තී –

පබ්බතානී වනානී ච

ආරාම රුක්ඛ චෙතියානි –

මනුස්සා භයතජ්ජිතා

නෙතං සරණං ඛෙමං –

නෙතං සරණ මුත්තමං

නෙතං සරණ මාගම්ම –

සබ්බ දුක්ඛා පමුච්චතී

බියෙන් මෙහෙයවන ලද ජනයා බොහෝ විට පර්වත, වන ආරාම, වෘක්ෂ හා චෛත්‍ය සරණ යති; එහෙත් මෙය කෙළෙසකිනුදු ආරක්ෂා සහගත සරණ යාමෙක් නොවේ. ඒ උතුම් සරණයෙක් ද නොවේ. එම සරණ යාමෙන් මිනිසුනට සියලු දුකින් නිදහස් විය නො හැකිය)

මේ නිසා එවැනි පුද පූජාවලින් විමුක්තිය ලද හැකැයි බෞද්ධයකු සිතතොත් ඒ වැරදිය. ඔහු ජීවිතයේ අවසාන පරමාර්ථය තමාට ලබා දෙන ලෙස ගෞරව භක්තියෙන් දෙවියන් නො යදියි. ඔහු කරන්නේ මේ අමනුෂ්‍ය ගණයාට පිදේනි ආදිය දීමයි.

නිසි අන්දමට පිදවිලි ලැබුණු කල්හි මිනිසුන්ගේ ලෙඩ රෝග ආදිය සුව කළයුතු යයි බුදුන් වහන්සේ විසින් යක්ෂයින්ට නියෝග කරන ලදී. බුදුන්ගේ අණට හැම විටම අවනත විය යුතු මොව්හු මේ නිසා මිනිසුන් කරන කන්නලව් වලට ඇහුම් කන්දිය යුතු වෙති. (මොවුන්ම ඇති කරන) රෝග නිවාරණය කරවා ගැනීමටත්, අතුරු අන්තරායයන් වළක්වා ගැනීමටත්, අස්වැන්න සාර්ථක කරවා ගැනීමට හා සාමාන්‍ය සෞභාග්‍ය තත්ත්වයක් ලබා ගැනීමටත් මේ අමනුෂ්‍යයින්ට යම් යම් දේ ප්‍රදානය කිරීමට සිදුවේ.

බොහෝ ගැමි කලාවන් පැන නැඟුණේ චූල සම්ප්‍රදායයෙහි අඩංගු විශ්වාසයන්ගෙනි. මේ ඇදහීම් අනුව කළ යුතු යාග හෝම ආදිය උදෙසා පූජා විධි සමූහයක් අවශ්‍ය වෙයි. පූජාවන්හි දී කැරෙන නැටුම් ඒ හා කැරෙන බෙර වාදන දෙවියන් යකුන් නිරූපණය වී කරන බලි ඇඹීම හා වෙස් මුහුණු ඇඳීම වීදි (සංස්කෘත -වෙදි) තැනීම හා සැරසීම, දෙවියන් යකුන් ගැන සැහැලි ප්‍රබන්ධ කිරීම හා ගායනා කිරීම මේ පූජා විධිවල අංග වේ.

මහා සම්ප්‍රදායය හා සම්බන්ධ කලා ද ඇත. පන්සල් ආශ්‍රිතව දියුණු වී ඇති චිත්‍ර කලාවත් ප්‍රතිමා කලාවත් මේ ගණයට වැටෙයි. පද්‍ය හා ගද්‍ය වශයෙන් ඇති සියලු පැරණි පණ්ඩිත පි‍්‍රය කාව්‍ය ද මහා සම්ප්‍රදායය තුළින් උපන් සේ ගත යුතුය.

මහා සම්ප්‍රදායය එක්කෝ චූල සම්ප්‍රදායයෙහි අඩංගු අදහස් වලට ඉඩ දුනි. නැතහොත් එය ඒවා හෙළා දුටුවේය. නිදසුන් වශයෙන් ගැමි කලාකරුවා අඹන බලි රූපත්, තනන වෙස් මුහුණුත්, පන්සල් තුළ ඇති සිත්තම් ප්‍රතිමා හා සම කොට, ඒවා බියමුසු හැඟීම් උපදවන ගොරහැඩි දේ ලෙස සලකනු ලැබේ. පැරණි කාව්‍යයන්හි හසළ බුද්ධිමතා ගැමිකාව්‍ය හෙළා දකිනු ඇත්තේ සාහිත්‍යය ලෙසින් සැලකීමටවත් නුසුදුසු දේ ලෙස ය.

එහෙත් මේ කලා දෙවර්ගය ඌණපූරක වෙයි. එකක් අනිකේ අඩුපාඩු පුරවයි. මේ කලා දෙවර්ගයේම සංකලනය සිංහල කලාව නමින් හැඳින්වෙන්නේය. අපට මහා සම්ප්‍රදායය හා සම්බන්ධ කලා පමණක් ලැබිණි නම් සමහර විට සංගීත නෘත්‍ය හා නාට්‍ය කලා නොලැබී යන්නට තිබිණි. අපට ලැබුණේ චූල සම්ප්‍රදායය තුළින් උපන් කලාවන් පමණක් නම් බුදු පිළිමය වැනි උසස් කලාත්මක නිර්මාණයන් හා පන්සල්වල දක්නට ඇති සිත්තම් වැනි විශිෂ්ට කලා කෘති නොලැබී යන්නට තිබිණ.

මේ අනුවය මේ දෙවර්ගය ඌනපූරක යැයි කිය හැක්කේ, බැතිමතාගේ ගෞරව භක්තිය ප්‍රකාශ කරන, ආගමික පිළිවෙත් වශයෙන් ක්‍රියා වේ යෙදෙන සංගීතයක් හින්දුනට හා මුස්ලිම්වරුනට ඇත. එහෙත් එවැනි බෞද්ධ සංගීතයක් හෝ බෞද්ධ නෘත්‍ය ක්‍රමයක් හෝ තිබිය නො හැකිය. චූල සම්ප්‍රදායය තුළින් උපන් නෘත්‍ය කලාවටත් සංගීත කලාවටත් කලෙක බුද්ධාගම සිය අනුග්‍රහය පෑ බව සත්‍යයකි. එහෙත් චිත්‍ර කලාව හෝ ප්‍රතිමා කලාව හෝ පිළිගත් තරමටම බුද්ධාගම විසින් කිසි දිනක මේවා නොපිළිගන්නා ලදී.

සමාජයේ ඉහළ පන්තිවල අය මහා සම්ප්‍රදායයෙහි පැවැති මේ අඩුව ගැමි කලාවන්ගෙන් නොව භාරතීය සම්ප්‍රදායයෙහි අඩංගු කලාවන් මඟින් පුරවා ගත් බවට සාක්ෂි තිබේ.

රජුන් හා රාජ සභාවේ ඇත්තන්ගේ ආස්වාදය සඳහා යෙදුණු සංගීතය හා නෘත්‍යය පෞරාණික භාරතීය සංගීතය හා නෘත්‍යය බව සාහිත්‍යයෙනුත් මහාවංශය වැනි අර්ධ ඓතිහාසික කෘතිවලින් පෙනී යයි. ගැමි සංගීතයෙහි එය අද අපට දක්නට ඇති ගැමි සංගීතයම නම් අඩංගු වන මහ හඬින් කරන බෙර වැයුම් හා කනට එතරම් මිහිරි නො වන ගී ගැයුම් ද, කරණම් ගසමින් කරන නැටුම් දාර්ශනික භාරතීය සංගීතය හා නෘත්‍යය ඇතුළත් ලලිත කලාවන් තරමට පණ්ඩිත සමාජයක් පිනවීමෙහි සමත් නොවී යයි සිතිය හැකිය.

සිංහලයන්ගේ සාම්ප්‍රදායික කලාවන් පුනර්ජීවනය කිරීමට තැත් කරන අප ඒවා නොයෙක් තරාතිරම්වල පවතින බවත් දියුණුව අතින් ඒවා නොයෙක් තරාතිරම්වල පවතින බවත් අමතක නොකළ යුතුය. ඉහත කී විස්තරයෙන් මේ බව පෙනෙයි. මෙහිදී පැන නඟින වැදගත් ප්‍රශ්න දෙකෙකි.

1. ලංකාවේ දක්නට ඇති කලාවන්ගෙන් කවරක් මෙරටට සාම්ප්‍රදායික හෝ ස්වදේශීය වේද?

2. ඒවායින් කවර සංඛ්‍යාවක් පුනර්ජීවනය කළ යුතුද? අනෙක් වචනවලින් කියතොත් මේවා කවර සංඛ්‍යාවක් උසස් රසභාවයන් දැනවිය හැකි විවේචනාත්මක ව බලා උසස් යැයි තීරණය කළ හැකි ජාතික කලාවන්ගේ ගණයට වැටේද? මේ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් මෙසේ කිව හැකිය. 1. සාම්ප්‍රදායික කලා යන්නට ඇතුළු වන්නේ සම්පූර්ණයෙන්ම සිංහල වූ හෝ ලාංකික වූ කලාවන් පමණෙකියි තීරණය කළ නොහැකිය. එය නුවණට හුරු ද නොවේ.

නිදහසට පෙර ගත වූ ශතවර්ෂ විස්සෙක පමණ කාලයෙහි මෙරට කලාවෙහි සිංහල හා භාරතීය යන භේදයෙක් නො වී. යම් සම්ප්‍රදායයක් සලකා බලන විට එවැනි දීර්ඝ කාලයක් අමතක කළ නොහැකිය. සාම්ප්‍රදායික කලාවන් හුදෙක් ඒ ඇති සැටියෙන් ම පුනර්ජීවනය කිරීමෙහි එතරම් ගත යුතු හරයක් නො වන බව දෙවන ප්‍රශ්නයට පිළිතුරු දීමේ දී කිව යුතුය. මෙසේ කිව හැක්කේ තවමත් ජන කලා තත්ත්වයේ පවතින මේවායින් බොහොමයකට වර්තමාන ජනතාවගේ ගැඹුරු රස භාවයන් සාර්ථක ලෙස තෘප්ත කළ නොහැකි වන බැවිනි.

මේ දෙකරුණ තවදුරටත් විමසිල්ලට භාජන කළ යුතුය. භාරතීය සංගීතය ලංකාවේ සාම්ප්‍රදායික කලාවෙකියි කිව නොහැකි වුවත් එය මෙරට කලාත්මක ජීවිතයෙන් ඉවත් කළ හැකිද? අප එසේ කළහොත් පංචස්වර (අන්තිම ඉහළින් ගතහොත් ෂටිස්වර සිංහල සංගීතයෙන් සෑහීමට පත්ව සිටීමට අපට සිදු වේ.

ස්වර මාධුර්යයෙන් යුත් ගීතයන් ලෙස රස විඳීම පිණිස ප්‍රබන්ධ නො කරන ලද හුදෙක් නැටුම් සමඟ ගැයීම සඳහා යොදා ගැණුනු මෙවැනි ජන කලාවෙකින් සංගීතය හුරුපුරුදු අයගේ රස භාවයන් තෘප්තිමත් කළ හැකිද? භාරතීය සංගීතය හැර සිංහල ජනයාට රස විඳීම පිණිස අන් සංගීත ක්‍රමයෙක් පවත්නේද? සංගීතය කැමැති ජනයා, බටහිර සංගීතය රස විඳිය හැකි තත්ත්වයකට ගෙන ඒමට තැත් ගැනීමෙන් යහපතෙක් වේද? එය කළ හැකිද?

නොදියුණු ප්‍රාකෘතික තත්ත්වය ඉක්මවා ගිය එකම ජනකලාව සමහරවිට උඩරට නැටුම් කලාව විය හැකිය. එහෙත් එය ලද දියුණුවට හේතු වූයේ ඊට භාරතීය පෞරාණික නැටුම් කලාවේ ආභාසය ලැබීම බව පෙනේ.

මෙසේ අද පවත්නා උඩරට නැටුම් කලාව භාරතීය කලා සම්ප්‍රදායයකට අයත් කලාවක් ලෙස සැලකිය යුතුය. ඒ නිසා මෙයින් එකක් රස විඳිය හැකි තැනැත්තාට අනික ද රස විඳිය හැකිය.

භාරතීය පෞරාණික නෘත්‍ය කලාව උඩරට නැටුම් කලාවට වඩා කලක් ලංකාවේ පැවතිණ. උඩරට නැටුම් කලාව වර්තමාන තත්ත්වයට පැමිණියේ මෑතදීය. මෙසේ පෞරාණික භාරතීය සංගීතය මෙන්ම පෞරාණික භාරතීය නෘත්‍ය ක්‍රමයද දේශීය කලා උරුමයෙන් ඉවත් කළ නොහේ. එයින් ලැබෙන අපූරු අනුභූතිය මෙයට එක් හේතුවකි. උඩරට නැටුම් කලාවට වඩා මුද්‍රා හා අභිනය අතින් පොහොසත් වන භාරතීය නෘත්‍ය කලාව ස්වදේශීය නැටුම් කලාවේ සංවර්ධනයට ද මුද්‍රා නාටක ආදී නව කලාවන්ගේ දියුණුවට ද රුකුලක් විය හැකි බව පෙනේ.

සාම්ප්‍රදායික කලාවන් පුනර්ජීවනය කිරීමේ දී නිර්මාණ ශක්තිය අවශ්‍ය බව පැහැදිලිය. දේශීය මුහුණුවරකින් හැඩගස්වා ගත හැකි විදේශීය කලාවන්ගේ ආභාසය ලැබීම වැදගත් වෙයි. භාරතීය ආභාසය මෙවැන්නකි. මෙසේ වෙනත් රටවල ජාතික කලාවන්ගෙන් ලැබෙන ප්‍රභවය ද අවශ්‍ය වෙයි.

වර්තමාන ලෝකය අනුව සලකන කල ඕනෑම රටක ජාතික කලාවන් අනෙක් රටවල ජාතික කලාවන් හා සංසන්දනය කළ හැකි තත්ත්වයෙක විය යුතුය. මේ සඳහා කලාකාරයා වෙනත් රටවල කලාකරුවන් යොදා ගන්න විවිධ උපකරණ තම කලා මාධ්‍යය අනුව, ප්‍රයෝජනයට ගත හැකි තත්ත්වයක පසුවීම අවශ්‍ය වෙයි.

මේ අනුව පෙනී යන්නේ අද ලංකාවේ සංස්කෘතික පුනර්ජීවනයක් කරතොත් එය කළ යුත්තේ මුලු මහත් ලෝකයෙහි චින්තන ක්‍රමයන් හා සංස්කෘතීන් ප්‍රයෝජන වන ලෙස උපයෝගී කරගත හැකි අය විසින් බවය. මෙහිදී සීමාන්තික දේශානුරාගය එතරම් පිහිට නොවනු ඇත. ලංකාවේ මෙවැනි ව්‍යාපාරයක් මෙහෙයවිය හැකි පන්තිය තවමත් ක්‍රමයෙන් නැඟෙමින් පවතී.

මව්බස සිය ඉගැනීමේ මාධ්‍යය කොට ගෙන උගන්නා අය තුළිනි මොවුන් බිහිවන්නේ. එහෙත් තම දර්ශනපථය පුළුල් කර ගැනීමට අවශ්‍ය අවස්ථා ඔවුනට ලබාදිය යුතුය. සපුරා මව් බසින් කරන අධ්‍යාපනයකදී උගන්වන්නවුන්ගේ දර්ශනය හා අදහස් පටු වී යාමට ඉඩ ඇති නිසා, එවැනි අභාග්‍යයකට අවස්ථාවක් නො දීම ඉතා වැදගත් වෙයි.

රොබට් රෙඩ්පීල්ඩ් නම් සමාජ විද්‍යාඥයා ගැමි සමාජය පිළිබඳව පර්යේෂණ කිරීමේ දී සොයා ගන්නා ලද යෙදුම් දෙකකි. මහා සම්ප්‍රදායය Greatest Tradition හා චූල සම්ප්‍රදායය Little Tradition යන්නෙන් හඳුන්වන්නේ. ඕනෑ ම ශිෂ්ටාචාරයක මේ සම්ප්‍රදාය දෙක දක්නට ලැබේ. බුද්ධිමත් සුළු පිරිසකගේ ඇදහීම් ගති සිරිත් කලා ක්‍රම ආදිය මහා සම්ප්‍රදායය වන අතර සාමාන්‍ය ජනතාවගේ ඇදහීම්, විශ්වාසයන් කලා ක්‍රම ආදිය චූල සම්ප්‍රදායය වෙයි. නිදර්ශනයක් ගනිමු. බුද්ධාගමෙහි ත්‍රිපිටක ධර්මය ඇතුළු බෞද්ධ දර්ශනය මහා සම්ප්‍රදායය ලෙසින් බුද්ධාගම අදහන පොදු ජනතාව ගේ ඇදැහීම පුද පූජා විධි ආදිය චූල සම්ප්‍රදායය ලෙසත් හැඳින්විය හැකිය.

-සංස්කාරක

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර

උපුටා ගැනීම “සිළුමිණ” පුන්කලස

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )