“ අපිට අවශ්‍ය මේ කඳවුරුවල තත්ත්වය දියුණු කිරීම නෙවෙයි. ඒක මහ පව්කාර අදහසක්.”
රාවය පුවත් පතේ අගෝස්තු 02 වැනිදා කලාපය පළ කළ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක වාසුදේව නානායක්කාර සමග විමලනාත් වීරරත්න කළ සම්මුඛ සාකඡචාවෙන් උපුටා ගන්නා ලදී.
“ ඔබ මීට පෙර අවස්ථා කීපයකදීම උතුරේ අවතැන් කඳවුරුවල තත්ත්වය විවේචනය කළා. දැන් තත්ත්වය යහපත් වී තිබෙනවාද?
ජලය පිළිබඳ දියුණුවක් තිබෙනවා. එතකොට වැසිකිළි පහසුකම් පිළිබඳවත් යම් දියුණුවක් තිබෙනවා. නමුත් කඳවුරුවල තිබෙන ජනාකීර්ණභාවය, අවහිරතා, බැහැර යෑමට ඒමට නිදහසක් නැති සිරකඳවුරක තත්ත්වය, දිගටම අවම ආහාර මට්ටමකින් ජීවත් වන්නට සිදුවීමේ ඉරණම, අධ්‍යාපනය ලබන දරුවන්ට එම නරක වටාපිටාව තුළ ඉඳගෙන ඉගෙන ගන්නට සිදුවීමේ ඇති දුෂ්කර අත්දැකීම තවම අවසන් වෙලා නැහැ. ඒ නිසා කුඩා කඳවුරු කරා මේ අය අරගෙන යෑමේ අවශ්‍යතාව දැන් පිළිගැනෙමින් තිබෙනවා. අපිට අවශ්‍ය මේ කඳවුරුවල තත්ත්වය දියුණු කිරීම නෙවෙයි. ඒක මහ පව්කාර අදහසක්. අපිට අවශ්‍ය කඳවුරු අවසන් කිරීම සහ මිනිසුන් නිදහස් කිරීමයි. කඳවුරු තත්ත්වය අවසන් කෙරෙන තුරු අපි කාගෙවත් තත්ත්වෙ හොඳ වෙන්නෙ නැහැ. පහසුකම්වල, සැපයුම්වල වැඩි දියුණු කිරීමෙන් පවතින ඛේදවාචකය හොඳ අතට හරවන්න බැහැ.
රජය ඉක්මනින් කඳවුරු ඉවත් කිරීමට උනන්දුවක් දක්වන බව පේනවාද?
ඔව්. කඳවුරු ප්‍රදේශ සිවිල් පාලනයකට හරවමින් තිබෙනවා. විශේෂයෙන්ම කාර්ය සාධන බලකායේ එක් වගකීමක් ඒක. මහලු අය නිදහස් කිරීමේ කටයුතු සිදුකෙරෙමින් තිබෙනවා. නමුත් හුඟාක්ම මගේ හිත කකියන කාරණයක් තිබෙනවා. ඒ තමයි අවුරුදු 10ට අඩු ළමයින් 50,000ක් මෙතැන ගාල්වී සිටීම. ඔවුන්ට මොන වගකීමක්ද තියෙන්නෙ මේ කාලකණ්ණි යුද්ධයට. 10ට අඩු ළමයින්ට මේ ගැන කිසිම තේරුමක් නැහැ. නමුත් ඔවුන් මේ නිසා වැඩිපුරම විඳවන පිරිස් බවට පත්ව සිටිනවා. ඔවුන් ජීවත්වන්නෙ හැදෙන්නෙ වැඩෙන්නෙ මොන පරිසරයකද, මොන නරක අත්දැකීම්වලටද ඔවුන් පාත්‍රව සිටින්නෙ. ඒ ළදරු මනස්වලට මොකද වෙන්නෙ. ඒකයි මට වැඩිපුරම හිතේ අමාරු. ඊළඟට ගැබිණි මව්වරුන්, රෝගීන් ගැන හැමදාම එතැන පාලකයන් හා දොස්තරවරුන් එකිනෙකාට චෝදනා කරගන්නවා. ”