“විනෝදාස්වාද කර්මාන්තය, පෘථුජන සංස්කෘතිය සහ සංස්කෘතිය”
-හනා ආරන්ඩ්ට්
“මෙම සමාජය අවශ්‍යයෙන් ම, තවදුරටත් විවේක කාලය ස්වයං පරිපූර්ණත්වය හෝ තව තවත් සමාජ තත්ත්වය අත් කරගැන්ම සඳහා නොව, වඩ වඩාත් පරිභෝජනය හා වඩ වඩාත් විනෝදාස්වාදය සඳහා භාවිත කැරුණු පාරිභෝගිකයන්ගේ සමාජයක් වීම නිසා ය.
ඇත්ත වශයෙන් ම, ප‍්‍රතිඵලය වන්නේ, බැරෑරුම් ලෙස කියතොත්, නොපවතින්නක් වන, බහුජන සංස්කෘතිය නොව, ලෝකයේ සංස්කෘතික වස්තූන්ගෙන් පෝෂණය වන බහුජන විනෝදාස්වාදය ය. එවන් සමාජයක් කල් ගත වීමත් සමග වඩා ”හැදියාවකින් යුතු” බවට පත් වන්නේ යැ යි ද, අධ්‍යාපනය එහි කාර්යය ඉටු කර ඇතැයි ද විශ්වාස කිරීම මාරාන්තික වරදකැ යි මම සිතමි.”
“පානුත්, සර්කසුත් (Panis et circenses – ආහාරයත් විනෝදයත්) දෙකම සත්‍ය වශයෙන් ම එකට විය යුතු ය; දෙක ම ජීවිතයට, එහි සංරක්ෂණය හා ප‍්‍රතිජීවනයට අත්‍යවශ්‍ය ය, ජීවන කි‍්‍රයාදාමයේ මාර්ගයේ දී මේ දෙක ම අහෝසි වී යන්නේය — එනම්, දෙක ම නිරන්තරයෙන් අලුතින් නිපදවා අලුතින් ඉදිරිපත් කළ යුතු ය, නැතොත් මෙම කි‍්‍රයාදාමය සහමුලින් නවතී. දෙකම මිනිය යුතු ප‍්‍රමිතීන් වන්නේ නැවුම් බව හා නවතාවය යි. සංස්කෘතික හා කලාත්මක වස්තූන්, එනම් අප මෙලොව හැර යාමෙන් පසු ව පවා මෙහි තිබිය යුතු යැ යි අදහස් කෙරෙන දෑ පවා, මැනීමට, අද අප මෙම ප‍්‍රමිතීන් පාවිච්චි කරන ප‍්‍රමාණය විනෝදාස්වාදයේ අවශ්‍යතාව සංස්කෘතික ලෝකයට තර්ජනය කිරීමට පටන් ගෙන ඇති තරම පැහැදිලිව දක්වයි.”
අප පහත පළකරන්නේ හනා ආරන්ඩ්ට් ගේ Between Past and Future නමැති කෘතියේ ඇතුලත් “The Crisis in Culture” නමැති ලිපියේ අංග සම්පූර්ණ පරිවර්තනයක තෙවැනි කොටසයි.
3
නූතන තත්ත්වයන් යටතේ මෙම හිදැස නිරන්තරයෙන් වැඩෙන්නේ ය; විනෝදාස්වාදය මගින් පිරවිය යුතු වන තව තවත් කාලය නිදහස් කෙරේ, නමුත් හිස් කාලයේ මෙම විශාල වැඩි වීම කාලයේ ස්වභාවය වෙනස් කරන්නේ නැත. විනෝදාස්වාදය, ශ‍්‍රමය හා නින්ද සේ ම, වෙනස් කළ නොහැකි අන්දමින්, ජීව විද්‍යාත්මක ජීවන කි‍්‍රයාදාමයේ අංගයකි. ශ‍්‍රමය වැය කිරීමේ දී හෝ විවේකයේ දී හෝ, පරිභෝජනයේ දී හෝ විනෝදාස්වාදය අකි‍්‍රය ලෙස ලැබීමේ යෙදීමේ දී හෝ, ජීව විද්‍යාත්මක ජීවිතය හැම විට ම, දේවල් ගිල දැමීමෙන් ඒවායින් පෝෂණය වන ජීව පද්ධතියකි. විනෝදාස්වාද කර්මාන්තය ඉදිරිපත් කරන භාණ්ඩයන්, ජීවන කි‍්‍රයාදාමයට ඔරොත්තු දී, ලෝකයේ නිත්‍ය උපාංග බවට පත් වීමට ඒවාට ඇති හැකියාව මගින් ඒවායේ විශිෂ්ටත්වය මැනෙන ”දේවල්”, සංස්කෘතික වස්තූන් නොවේ, ඒවා මෙම ප‍්‍රමිතීන්ට අනුව නොමැනිය යුතු ය; එමතු නොව, ඒවා ප‍්‍රයෝජනය සහ හුවමාරුව සඳහා පවතින අගයයෝ නොවෙති. ඒවා පරිභෝජන භාණ්ඩ ය, අන් කවර හෝ පරිභෝජන භාණ්ඩ මෙන් ම, පාවිච්චි කර අවසන් කිරීමට ඉරණම් ගත ව ඇති පරිභෝජන භාණ්ඩ ය.
පානුත්, සර්කසුත් (Panis et circenses – ආහාරයත් විනෝදයත්) දෙකම සත්‍ය වශයෙන් ම එකට විය යුතු ය; දෙක ම ජීවිතයට, එහි සංරක්ෂණය හා ප‍්‍රතිජීවනයට අත්‍යවශ්‍ය ය, ජීවන කි‍්‍රයාදාමයේ මාර්ගයේ දී මේ දෙක ම අහෝසි වී යන්නේය — එනම්, දෙක ම නිරන්තරයෙන් අලුතින් නිපදවා අලුතින් ඉදිරිපත් කළ යුතු ය, නැතොත් මෙම කි‍්‍රයාදාමය සහමුලින් නවතී. දෙකම මිනිය යුතු ප‍්‍රමිතීන් වන්නේ නැවුම් බව හා නවතාවය යි. සංස්කෘතික හා කලාත්මක වස්තූන්, එනම් අප මෙලොව හැර යාමෙන් පසු ව පවා මෙහි තිබිය යුතු යැ යි අදහස් කෙරෙන දෑ පවා, මැනීමට, අද අප මෙම ප‍්‍රමිතීන් පාවිච්චි කරන ප‍්‍රමාණය විනෝදාස්වාදයේ අවශ්‍යතාව සංස්කෘතික ලෝකයට තර්ජනය කිරීමට පටන් ගෙන ඇති තරම පැහැදිලිව දක්වයි. නමුත් ප‍්‍රශ්නය ඇත්තට ම මතු වන්නේ, බහුජන සමාජයෙන් හෝ එහි අවශ්‍යතා සපුරා ලද විනෝදාස්වාද කර්මාන්තයෙන් හෝ නො වේ. ඊට පරස්පර අන්දමින්, බහුජන සමාජයට විනෝදාස්වාදය පමණක් මිස සංස්කෘතිය අවශ්‍ය නො වනුයෙන්, එය සංස්කෘතියට තර්ජනයක් වනුයේ යහපත් සමාජයේ අවරසිකභාවයට වඩා අඩුවෙන් විය හැකිය. සමහර විට තරමක් දුරට, බහුජන විනෝදාස්වාදයේ ඝෝෂාකාරී නිස්සාරත්වය විනිවිද යාමට තිබූ නොහැකියාව නිසා විය හැකි, කලාකරුවන්ගේ හා බුද්ධිමතුන්ගේ, නිතර විස්තර කෙරෙන ව්‍යාධිය පසෙක තිබිය දී සියලූ දේශපාලන කරුණු වලට හාත්පසින් වෙනස් ලෙස දිගින් දිගට ම සමෘද්ධිමත් වනුයේ, හරියට ම කලා හා විද්‍යාවන් ය. කුමක් කෙසේ වුවත්, විනෝදාස්වාද කර්මාන්තය එහිම පරිභෝජන භාණ්ඩ නිපදවන තාක්, නරක් නොවීමට නම් නිපදවූ වහා ම පරිභෝජනය කළ යුතු භාණ්ඩ නිපදවීම ගැන බේකරියකට අවලාද නගනවාට වැඩියෙන්, විනෝදාස්වාදී භාණ්ඩවල කල් නොපවත්නා බව ගැන ඊට අවලාද නැගීමට අපට නොහැකිය. කිසි ”අගයක්” ඉන් උකහා ගත නොහැකියෙන්, විනෝදාස්වාදය හා තුටුපහටුවීම ගර්හාවට ලක් කිරීම, හැම විට ම, උගත් අවරසිකභාවයේ ලක්ෂණය විය. සත්‍යය වනුයේ අප සැම ජීවිතයේ මහා චක‍්‍රයට යටත් බැවින් අප හැමට එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් විනෝදාස්වාදය හා තුටුපහටුවීම අවශ්‍ය වීම ය. අපගේ සගයන්වන ජන සමූහයන් විනෝදය හා පී‍්‍රතිය ලබන දේවලින් ම, හරියට ම, අපටත් විනෝදය හා පී‍්‍රතිය ලද හැකිය යන්න ප‍්‍රතික්ෂේප කිරීම, තනිකර ම කුහකත්වය හෝ සමාජීය පුහු අහංකාරය වේ. සංස්කෘතියේ නො නැසී පැවැත්ම සම්බන්ධයෙන් ගත් කළ නියත වශයෙන් ම, එය, හිස් කාලය විනෝදාස්වාදයෙන් පියවන්නන්ගෙන් තර්ජනයට ලක් වන්නේ, තම සමාජ තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහා එය යම්, ආවාට ගියාට ඇති කෙරුණු අධ්‍යාපනික සුකුරුත්තම්වලින් පුරවන්නන්ගෙන් වනවාට වඩා අඩුවෙනි. කලාත්මක ඵලදායිතාව සම්බන්ධයෙන්, බහුජන සංස්කෘතියේ අතිමහත් පෙළඹීම්වලට ඔරොත්තු දීමට හෝ, බහුජන සමාජයේ කලබැගෑනිය හා රැවටිල්ල මගින් අන්දමන්ද කරනු ලැබීමෙන් වැළකීම, ශිෂ්ට සමාජයේ සංස්කෘතික පුහු අහංකාරයන්ගේ වඩා කපටි ඝෝෂාවන් හා, වඩා විදග්ධ පෙලඹීම් මගහැරීමට වඩා දුෂ්කර නොවිය යුතු ය.
අසතුටට හේතු වන අන්දමින්, මේ කරුණ, ඒ සා සරල නො වේ. යෝධ රුචීන් හා හදිගැසීමට විනෝදාස්වාද කර්මාන්තයට සිදු ව ඇත, එහි බඩුමුට්ටු පරිභෝජනයෙන් ක්ෂයව යන බැවින්, එය නිරතුරු ව අලූත් භාණ්ඩ ඉදිරිපත් කළ යුතු ය. මෙම අකරතැබ්බයේ දී ජනමාධ්‍යයන් වෙනුවෙන් නිෂ්පාදනය කරන්නෝ සුදුසු අමුද්‍රව්‍ය සොයා ගැන්මේ අපේක්ෂාවෙන් අතීත හා වර්තමාන සංස්කෘතියේ සමස්ත පරාසය ම අස්සක් මුල්ලක් නෑර අවුස්සා බලති. එපමණක් නොව, මෙලෙස යොදාගන්නා ද්‍රව්‍ය ඒ ආකාරයෙන් ම ඉදිරිපත් කළ නොහැකිය. විනෝදාස්වාදය ගෙන දෙන බවට පත් කිරීම සඳහා එය වෙනස් කළ යුතු වේ, පහසුවෙන් පරිභෝජනය කළ හැකි වන සේ එය පිළියෙළ කළ යුතු වේ.
බහුජන සංස්කෘතිය පැවැත්මට එනුයේ බහුජන සමාජය සංස්කෘතික වස්තූන් ඩැහැ ගන්නා විට ය, එහි අනතුරු දායකත්වය වනුයේ, සමාජයේ (සියලූ ජීව විද්‍යාත්මක කි‍්‍රයාවලින් මෙන්, ඇති සියලූ දේ, ගිජු ලෙස, එහි ජීව පද්ධතියේ චක‍්‍රය තුළට ඇද ගන්නා) ජීවන කි‍්‍රයාදාමය වචනයේ පරිසමාප්ත අරුතින් ම, සංස්කෘතික වස්තූන් පරිභෝජනය කරනු ඇතිවීමයි. ඒවා කා දමා විනාශ කරනු ඇති වීමයි. ඇත්ත වශයෙන් ම මා සඳහන් කරන්නේ මහා පරිමාණ බෙදා හැරීම ගැන නොවේ. පොත් සහ චිත‍්‍ර ප‍්‍රතිනිෂ්පාදනය කොට, අඩු මිලට වෙළඳපොළට වීසිකර, විශාල අලෙවියක් අත් කර ගනු ලබන විට, ප‍්‍රශ්නයට ලක් වන වස්තූන්ගේ ස්වභාවයට මෙය බලපාන්නේ නැත. නමුත් මෙම වස්තූන් ම වෙනස් කරනු ලැබූ විට — නැවත ලියූ විට, සාරාංශ ගත කළ විට, ලූහුඬු කළවිට, ප‍්‍රතිනිෂ්පාදනයේ දී හෝ චිත‍්‍රපටවලට සූදානම් කිරීමේ දී බාල තත්ත්වයට පහළ දැමුණු විට — ඒවායේ ස්වභාවයට හානි සිදුවන්නේ ය. ඉන් අදහස් වන්නේ, සංස්කෘතිය බහුජනතාව වෙත පැතිර යන බව නො ව, විනෝදාස්වාදය ඇති කිරීම සඳහා සංස්කෘතිය විනාශ කෙරෙන බව ය. මෙහි ප‍්‍රතිඵලය බිඳී විසිරී යාම නොව, දිරාපත් වීම ය. එය සකි‍්‍රය ව ප‍්‍රචලිත කරන්නෝ ‘ටින් පෑන් ඇලී’ ( Tin Pan Alley ) රචකයන් නොව, බොහෝ විට බහුශ‍්‍රැත, බොහෝ කියවා ඇති, සහ හැම්ලට් (Hamlet ), මයි ෆෙයා ලේඩි (My Fair Lady) තරමට ම විනෝදාස්වාද ජනක හා ඇතැම් විට අධ්‍යාපනික ද විය හැකි යි, මහජනතාවට ඒත්තු ගැන්වීම සඳහා, සංස්කෘතික වස්තූන් සංවිධානය, බෙදා හැරීම හා වෙනස් කිරීම එක ම කාර්යය කරගත් විශේෂ වර්ගයක බුද්ධිමත්තු වෙති. සියවස් ගණන් අමතක වීම හා නොතකා හැරීමට ඔරොත්තු දුන්, අතීතයට අයත් ශ්‍රේෂ්ඨ කතුවරුන් බොහෝ ඇත. නමුත් ඔවුන්ට කීමට තිබි දෙයෙහි, විනෝදාස්වාදී පිටපතකට ඔරොත්තු දීමට ඔවුන්ට හැකි වේ ද යන්න තවමත් විවෘත ප‍්‍රශ්නයකි.
සංස්කෘතිය වස්තූන්ට සම්බන්ධ අතර, එය ලෝකයේ ප‍්‍රපංචයකි; විනෝදාස්වාදය මිනිසුන්ට සම්බන්ධ අතර ජීවිතයේ ප‍්‍රපංචයකි. වස්තුවක් ඊට කල් පැවැතීමට හැකිතාක් දුරට එය සංස්කෘතික වේ. එහි කල් පැවැත්මේ හැකියාව, එය භාවිත කිරීමෙන් හා පාවිච්චියට ම අවසන් වීමෙන්, ප‍්‍රපංචයීය ලෝකයෙන් එය යළි අතුරුදහන් කරවන ගුණය වූ, කෘත්‍යවාදීභාවයේ ප‍්‍රතිවිරුද්ධය වේ. වස්තූන්ගේ මහා පාවිච්චිකරු හා පරිභෝජකයා ජීවිතය ම ය, පුද්ගලයාගේ ජීවිතය හා සමස්තයක් වශයෙන් සමාජයේ ජීවිතය යි. ජීවිතය වස්තුවක ඇති දේ–මය බව ගැන තැකීමක් නොකරයි; සෑම දෙයක් ම කෘත්‍යමය හැකියාවෙන් යුතු විය යුතු යැ යි, යම් අවශ්‍යතාවක් ඉටු කළ යුතු යැ යි, එය අවධාරණය කරයි. වර්තමානය හෝ අතීතය විසින් නිෂ්පාදිත සියලූම ලෞකික වස්තු සහ දේවල් හරියටම ඒවා ඇත්තේ යම් අවශ්‍යතාවක් ඉටු කිරීමට පමණක් වූ සෙයින් සමාජයේ ජීවන කි‍්‍රයාදාමය සඳහා වන හුදු කෘත්‍යයන් පමණක් ලෙස සැලකෙන විට, සංස්කෘතිය තර්ජනයට ලක් වේ, මෙම කෘත්‍යවාදීකරණය සඳහා, ප‍්‍රශ්නයට ලක්වන අවශ්‍යතා ඉහළ මට්ටමක ද පහළ මට්ටමක ද යන්න අදාළ නොවන තරම් ය. කලාවන් කෘත්‍යවාදී විය යුතුය, දේවස්ථාන සමාජයේ ආගමික අවශ්‍යතාව ඉටු කළ යුතු ය, චිත‍්‍රයක් බිහි වනුයේ ඒ ඒ චිත‍්‍ර ශිල්පියාගේ ස්වයං ප‍්‍රකාශන අවශ්‍යතාවයෙනි, ඒ දෙස බලනුයේ බලන්නාගේ ස්වයං–පරිපූර්ණත්ව ආශාවක් නිසාය, යන මේ සියලූ අදහස් කලාව සමග කොතරම් අසම්බන්ධ ද, ඓතිහාසික වශයෙන් කොතරම් අලූත් ද යත් ඒවා නූතන අගතීන් ලෙස ඉවත දැමීමට යමෙක් පෙලඹේ. දේවස්ථාන ඉදි කරන ලද්දේ දෙවියන් වහන්සේගේ උත්තම මහිමය වෙනුවෙනි (ad maiorem gloriam Dei). ඒවා ගොඩනැගිලි වශයෙන් නියත වශයෙන්ම ජන සමාජයේ අවශ්‍යතා ඉටු කළ අතර, ඒවායේ සවිස්තර සුන්දරත්වය, ඕනෑ ම සාමාන්‍ය ගොඩනැගිල්ලකින් එපමණට ම හොඳින් ඉටු කරන්නට හැකිව තිබූ, මෙම අවශ්‍යතා මගින් කිසි දා පැහැදිලි කළ නොහැකිය. ඒවායේ සුන්දරත්වය සියලූ අවශ්‍යතා අතිරෝහණය කළ අතර, ඒවා සියවස් ගණන් ඔස්සේ පවතින බවට පත් කළේ ය; නමුත් සුන්දරත්වය, දේවස්ථානයක සුන්දරත්වය, ඕනෑම ආගමික ගොඩනැගිල්ලක සුන්දරත්වය මෙන්, අවශ්‍යතා හා කෘත්‍යයන් අතිරෝහණය කරන අතර, කෘතියේ අන්තර්ගතය ආගමික වුවත්, එය කිසි දා ලෝකය අතිරෝහණය කර යන්නේ නැත. ඊට පරස්පර අන්දමින්, ආගමික හා අන්‍ය–ලෞකික අන්තර්ගතයන් හා සැලකිල්ලට ගන්නා කරුණු ස්පර්ශනීය ලෞකික යථාර්ථයන් බවට හරවනුයේ ආගමික කලාවේ සුන්දරත්වය ම ය; මේ අරුතින් සියලූ කලාවන් ආගමික ය, ආගමික කලාවේ විශේෂත්වය වනුයේ හුදෙක් එය ඉන් පෙර, ලෝකයෙන් පිටත පැවති දේ “ලෞකිකකරණය” — “ වස්තූමය”, ස්පර්ශනීය, ලෞකික රූපකාරයක් බවට හැරවීම (reifies) හා විපර්යාස කිරීම ය. එහි ලා, අප සාම්ප‍්‍රදායික ආගම අනුගමනය කරමින් මෙම ”පිටත” යන්න පරලොවක ඔබ්බෙහි කොටුකර තබන්නේ ද, නැතහොත්, නූතන පැහැදිලි කිරීම් අනුගමනය කරමින් එය මිනිස් හදවතේ අභ්‍යන්තරය තෙක් ම ඉඩ තුළ කොටුකර තබන්නේ ද යන්න වැදගත් නොවේ.
එය ප‍්‍රයෝජ්‍ය වස්තුවක් හෝ, පරිභෝජන භාණ්ඩයක් හෝ, කලා නිර්මාණයක් හෝ වුවත්, සෑම දෙයකට ම, ප‍්‍රකාශයට පත්වන හැඩයක් ඇත, යමකට දෙයකැ යි කොහෙත් ම අපට කිව හැක්කේ එයට හැඩයක් තිබෙන තරමට පමණි. ස්වභාවධර්මය තුළ නොව, නමුත් මිනිසා විසින් නිර්මිත ලොවේ පමණක් ඇති වන දේ අතර, ප‍්‍රයෝජ්‍ය වස්තූන් හා කලා නිර්මාණ අපි වෙන් කර දකිමු, ඒ දෙවගට ම, සාමාන්‍ය කල් පැවැත්මේ සිට, කලා නිර්මාණ සම්බන්ධයෙන් වීමට ඉඩ ඇති අමරණීයත්වය දක්වා පරාසයකට ඇතුළත් වන එක්තරා ස්ථිරත්වයක් ඇත. ඒ ආකාරයෙන්, සූදානම් කිරීමට අවශ්‍ය කාලය ඉක්මවා නොයන තරමේ කල්පැවැත්මක් ලෝකය තුළ ඇති පරිභෝජන භාණ්ඩයන්ගෙන් එක් අතකින් ඒවා වෙනස් වන අතර අනෙක් අතින් සිද්ධීන්, කි‍්‍රයා, වදන් වැනි කි‍්‍රයාවේ නිෂ්පාදිතයන් ගෙන් වෙනස් වේ, ඒ සියල්ල ඒවා වශයෙන් ම කොතරම් අනිත්‍ය ද යත්, පළමු ව, ඒවා කතාවන් වශයෙන් වියන මිනිසාගේ මතකය හා අනතුරුව ඔහුගේ නිර්මාණකරණ හැකියාවන් මගින් සංරක්ෂණය නොකෙරුණොත්, ඒවා ලොව පහළ වූ හෝරාව හෝ දවස ගත වන තෙක් හෝ නොපවතිනු ඇත. තනිකර කල් පැවතිය හැකි බව පිළිබඳ දෘෂ්ටිකෝණයෙන්, කලා නිර්මාණ පැහැදිලිව ම අන් සැමට වඩා උසස් ය; ඒවා අන් කිසි දෙයකට වඩා දිගු කලක් ලොව රැඳී පවතින බැවින්, සැම දේ අතරින් ලෞකික ම දේ ඒවා ය. එපමණක් නො ව, සමාජයේ ජීවන කි‍්‍රයාදාමයේ කිසි ම කෘත්‍යයකින් තොර දේවල් ද ඒවා පමණි; හරියටම කියතොත්, ඒවා නිර්මාණයකොට ඇත්තේ මිනිසුන් සඳහා නො ව, මැරෙන සුළු මිනිසුන්ගේ පරමායුෂ, පරම්පරාවන් ඇති වී නැති වී යාම, ඉක්මවා පැවතෙනු ඇතැයි අදහස් කෙරෙන ලෝකය සඳහා ය. ඒවා පරිභෝජන භාණ්ඩ මෙන් පරිභෝජනය නොකෙරෙනු හා, ප‍්‍රයෝජ්‍ය වස්තූන් මෙන් පාවිච්චි නොකෙරෙනු පමණක් නොව, ඒවා සිතාමතා ම, පරිභෝජනයේ හා ප‍්‍රයෝජනයට ගැනීමේ කි‍්‍රයාදාමයන් ගෙන් ඉවත් කර ඇති අතර, මානව ජීවන අවශ්‍යතා පරිමණ්ඩලයෙන් රැක ගැන්මට වෙන් කර තබා ඇත. මෙම ඉවත් කිරීම බොහෝ විවිධ මාර්ගයන්ගෙන් ඉටු කර ගත හැකිය; සුවිශේෂ අරුතින්, සංස්කෘතිය පැවැත්මට එනුයේ එය කර ඇති තැන පමණි.
මෙහි දී ප‍්‍රශ්නය වන්නේ, ලෞකිකත්වය, ලෝකයක් ඉදිකොට නිර්මාණය කිරීමේ හැකියාව, මිනිස් ”ස්වභාවයේ” අංගයක් ද යන්න නො වේ. අප අලෞකික මිනිසුන් දන්නා සේ ම, ලොවින් තොර මිනිසුන් පවතින බව ද අපි දනිමු; ඒ ආකාර මිනිස් ජීවිතයට ලෝකයක් අවශ්‍ය වනුයේ, එය මෙහි සිටින තාක් පොළව මත ගෙදරක් අවශ්‍ය වන දුරට පමණි. නියත වශයෙන් ම, මිනිසුන් අව්හරණ සැපයීමට, හා ඔවුන්ගේ හිසට වහලක් දමා ගැන්මට යොදන සෑම වැඩපිළිවෙළක් ම — එඬේර ගෝත‍්‍රයන්ගේ කූඩාරම් පවා — එම අවස්ථාවේ ජීවත් වන අයට පොළව මත ගෙදරක් වශයෙන් උපකාරී විය හැකිය. නමුත් එවන් විධිවිධානයන් සංස්කෘතියක් තබා, ලෝකයක් වත් අත් කර දෙන බවක් ඉන් කොහෙත් ම අදහස් නොකෙරේ. මෙම පෘථිවිමය නිවහන වචනයේ නිසි අරුතින් ලෝකයක් බවට පත් වන්නේ, එහි ජීවත් වන මිනිසුන්ගේ පරිභෝජන ජීවන කි‍්‍රයාදාමයට ප‍්‍රතිරෝධය දක්වා, ඔවුන්ට වඩා කල් පැවතීමට හැකි වන සේ නිර්මිත දේවල සමස්තය සංවිධිත කැරුණු විට පමණි. අප සංස්කෘතිය ගැන කතා කරනුයේ එවන් පැවැත්මක් සහතික කෙරුණු විට පමණි. කලා නිර්මාණ ගැන අප කතා කරනුයේ සියලූ ප‍්‍රයෝජ්‍යතාවාදී සහ කෘත්‍යමය සඳහන් කිරීමෙන් ස්වාධීනව පවතින සහ, ඒවායේ ගුණාත්මක බව හැම විට ම එක සේ පවතින, දේවල් අප අබිමුවට පමුණුවනු ලැබූ විට පමණි.
මේ හේතු නිසා සංස්කෘතිය පිළිබඳ කවර හෝ සාකච්ඡාවක්, කෙසේ හෝ, කලාව නමැති සංසිද්ධිය එහි ආරම්භක ස්ථානය වශයෙන් ගත යුතු ය. අප, අප වටා රොක් කර ගන්නේ සියලූ දේ වල දේ–මය බව මගින් ද එය රඳාපවත්නේ, ඒවා පෙනී සිටින හැඩයක් තිබීමෙහි වන අතර, තනිකර ම පෙනීසිටීමේ අරමුණ සඳහා සාදනු ලබන්නේ කලා කෘතීන් පමණි. පෙනී සිටීම විනිශ්චයට උචිත නිර්ණායකය සුන්දරත්වය ය; වස්තූන්, සාමාන්‍ය ප‍්‍රයෝජනයට ගන්නා වස්තූන් පවා, ඒවායේ පෙනුමෙන් ද — එනම්, ඒවා සුන්දර ද, අසුන්දර ද නැතහොත්, අතරමැද යමක් ද යනුවෙන් — නොව, ඒවායේ ප‍්‍රයෝජ්‍ය අගයෙන් පමණක් ම විනිශ්චයට අපට අවශ්‍ය වෙතොත්, අපට අපේ ඇස් උගුල්ලා දැමීමට සිදු වනු ඇත. නමුත් දෘශ්‍යමානවන දේ ගැන දැනුවත් බවට පත් වීම සඳහා, පළමු ව අප හා වස්තුව අතර යම් දුරක් ඇති කර ගැන්මට අපට නිදහස තිබිය යුතු ය, දෙයක හුදු දෘශ්‍යමානභාවය වඩාත් වැදගත් වූ තරමට, එය නියම අන්දමින් අගය කිරීම සඳහා අවශ්‍ය වන දුර ද වැඩි වේ. අප අගය කරනු ලබන දෙය අත්පත්කර නොගෙන, එහි ප‍්‍රකාශිතභාවයෙන් ඊට එසේ ම තිබෙන්නට හරිනු ඇති අන්දමින්, අපට අපව ම සහ, අපගේ ජීවිතයන්හි කරදර, ඵල–ප‍්‍රයෝජන සහ ආශාමෙහෙයුම් අමතක කිරීමට හැකි නම් මිස මෙම දුර ඇති කළ නොහැකිය. අගති විරහිත ප‍්‍රමෝදයේ මෙම ආකල්පය අත් දැකිය හැක්කේ, ජීවිතයේ අවශ්‍යතාවයෙන් නිදහස් කරනු ලැබීමෙන්, ලෝකය සඳහා මිනිසුන් නිදහස් වන අන්දමින්, සජීවී ජීව දේහයේ අවශ්‍යතා සපුරා ලීමෙන් පසුව පමණි.
සමාජයේ මුල් අදියරයන්හි දී එහි ප‍්‍රශ්නය වූයේ එහි සාමාජිකයන්, ජීවිතයේ අවශ්‍යතාවයන්ගෙන් නිදහස අත් කරගෙන තිබූ විට පවා තමන් සමඟ, සමාජය තුළ තමන්ගේ තරාතිරම හා තත්ත්වය සමඟ සහ තනි තනි පුද්ගලභාවයන් මත එහි පිළිබිඹුව සමඟ බොහෝ සම්බන්ධකම් තිබූ සැලකිලිවලින් තමන්ම නිදහස් කර ගැනීමට නොහැකි වූ නමුත්, ඔවුන් කල්ගෙවූ වස්තූන්ගේ සහ විෂයමූලිකත්වයේ ලෝකයට කිසිම සම්බන්ධයක් නොදැක්වීමය. බහුජන සමාජයේ සාපේක්ෂ වශයෙන් අලූත් ප‍්‍රශ්නය බාගවිට ඊටත් වඩා බරපතළ විය හැකිය. නමුත් බහුජනතාවන් ම නිසා නොවේ, මෙම සමාජය අවශ්‍යයෙන් ම, තවදුරටත් විවේක කාලය ස්වයං පරිපූර්ණත්වය හෝ තව තවත් සමාජ තත්ත්වය අත් කරගැන්ම සඳහා නොව, වඩ වඩාත් පරිභෝජනය හා වඩ වඩාත් විනෝදාස්වාදය සඳහා භාවිත කැරුණු පාරිභෝගිකයන්ගේ සමාජයක් වීම නිසා ය. ශ‍්‍රමය වැය කරන සිරුරක වෙහෙස හා මහන්සිය සඳහා තවදුරටත් වැය නොකෙරෙන තම අත්‍යවශ්‍ය ශක්තිය පරිභෝජනය මඟින් අවසන් කළ යුතු ජීවන කි‍්‍රයාදාමයක වර්ධනය වන රුචීන් තෘප්තිමත් කිරීමට ප‍්‍රමාණවත් පාරිභෝගික භාණ්ඩ නොමැති බැවින්, එය හරියට ජීවිතයම එය සඳහා කිසිදා අදහස් නොකෙරුණ දේවල්වලට සහය වීමට උත්සාහ දරා එයම උපකාරී වූවාක් මෙනි. ඇත්ත වශයෙන් ම, ප‍්‍රතිඵලය වන්නේ, බැරෑරුම් ලෙස කියතොත්, නොපවතින්නක් වන, බහුජන සංස්කෘතිය නොව, ලෝකයේ සංස්කෘතික වස්තූන්ගෙන් පෝෂණය වන බහුජන විනෝදාස්වාදය ය. එවන් සමාජයක් කල් ගත වීමත් සමග වඩා ”හැදියාවකින් යුතු” බවට පත් වන්නේ යැ යි ද, අධ්‍යාපනය එහි කාර්යය ඉටු කර ඇතැයි ද විශ්වාස කිරීම මාරාන්තික වරදකැ යි මම සිතමි. කාරණය වන්නේ, ලෝකයක් සහ ලෞකික ප‍්‍රකාශයට පත්වීම් අවකාශයට තනිකර ව ම අයත් වන දේ රැක බලාගන්නේ කෙසේ දැ යි පාරිභෝජක සමාජයකට දැන ගත නොහැකි වීම ය. සියලූ වස්තූන් කෙරෙහි, එහි කේන්ද්‍රීය ආකල්පය, පරිභෝජනයේ ආකල්පය, එය අත තබන සෑම දෙයකට ම විනාශය කටින හෙයිනි.
(මීළඟට: ” සංස්කෘතිය යනු කුමක් ද? ” )
©‘කතිකා’ අධ්‍යයන කවය.
මෙම පරිවර්තනයේ සියලු හිමිකම් ‘කතිකා’ අධ්‍යයන කවය සතුය.
‘කතිකා’ අධ්‍යයන කවයේ පූර්ව අවසරයකින් තොරව මෙම පරිවර්තනය කුමන හෝ මාධ්‍යයක උපුටා හෝ පිටපත් කොට නැවත පළකිරීම සපුරා තහනම්.