ජාතිකවාදය හුදෙක් සමාජ කාංසාවන්ගේ ප‍්‍රකාශමානවීමක් ද?
“ඔබ සොයන ස්වාමියා ඔබට හමුවීම. (2) දේශපාලනය අන් තැනක” යන මැයෙන් ප‍්‍රභා මනුරත්න සහ බුද්ධික බන්ඩාර “කටු සටහන්’ හි පළ කළ ලිපිය (මුල් ලිපිය මෙහි බලන්න) ලාංකේය සමාජයේ සිංහල ජාතිකවාදය සහ බෞද්ධ ආගමික හැඟීම් වැඩී ඒම පිළිබඳ සාකච්ඡාවට ලක් විය යුතු වැදගත් කරුණු රැසක් ඉදිරිපත් කරයි. එයින් ප්‍රමුඛ ලෙස මා දකින කරුණු දෙකකි.
ඉන් පළමුවැන්න, ජාතිකවාදය සමාජ කාංසාවන්ගේ ප‍්‍රකාශමානවීමක් බව ය.
දෙවැන්න, “සිංහල ජාතිකවාදී මතවාදය දෙසට සිංහල සමාජය ගමන් කිරීම” සහ “ලාංකීය දේශපාලන සිතියම තුල ප‍්‍රධාන හා විකල්ප දේශපාලන ධාරාවල බෙදුම් රේඛාව මකා දැමීම ද” “ අප ජීවත් වන සමාජයේ ආර්ථික දේශපාලනික හා සමාජ ව්‍යුහයන් ක‍්‍රමිකව බිද වැටී යාම හේතුවෙන් ඓතිහාසිකව නිර්මානය වූ තත්වයකි” යන්නයි.
ඉහත අදහස් සාකච්ඡාවට ගැනීමට මුල පිරීමක් ලෙසින් අදහස් කිහිපයක් පහත ඉදිරපත් කරන්නෙමි.
1. ලිපියේ කතුවරුන් ද එකඟ වනු ඇති පරිදි, ජාතිකවාදය සහ ප්‍රබල ආගමික හැඟීම හුදෙක් පූර්ව-ධනේශ්වර සංසිද්ධීන් යැයි කිව නොහැකි යැයි සිතමි.
දියුණු ධනපති රටවල අදද ආගමික හැඟීම් ප්‍රබලය. මූලධාර්මික ඒවාම නොවේ. දලයි ලාමා සහ ටික්නා හාන් අනුගමනය සහ භාවනාව සහ යෝගා යනාදිය පිළිපැදීම කෙරෙහි මිනිසා ඇදී යාම මිනිසාගේ ආගමික හැඟීම ගන්නා විවිධ ස්වරූප නොවේද? එයින් පෙන්නුම් කරන්නේ මිනිසා ජීවිතයේ සොයන අධ්‍යාත්මික පක්ෂයද? නූතනත්වය තුළ සිදුවූ, වේබර් දුටු “වසඟයෙන් මිදීම” තූළ තමාට අහිමිව ගිය දෙයද මිනිසා මේ යළි යළිත් සොයන්නේ? මේ අර්ථයෙන් ගත් කළ ආගමික හැඟීම මූලධර්මවාදී වීම ඇරඹෙන්නේ කොතැනින්දැයි අප විමසිය යුතුය.
සිංහල ජාතිකවාදය නායකයෙකු විසින් හුදෙක් පොළඹවා ලූ, එහි පැවැත්මට ජීවය දෙන හරයකින් තොර දෙයක්ද? ජාතිකවාදී ව්‍යාපාරයෙහි ලා සහභෘගීවන බහුජන පිරිස ඉන් කරන්නේ හුදෙක් තම සාංකාව පළකිරීමක්ද? එසේ නම්, මෙහිලා අප සමාජ සංසිද්ධියක් ලෙස ජාතිකත්වය පිළිබඳ පළකරන්නේ කුමනාකාර අවබෝධයක් ද?
2. ලිපියේ කතුවරුන් දක්වන පරිදි, “සිංහල ජාතිකවාදී මතවාදය දෙසට සිංහල සමාජය ගමන් කිරීම” “අප ජීවත් වන සමාජයේ ආර්ථික දේශපාලනික හා සමාජ ව්‍යුහයන් ක‍්‍රමිකව බිද වැටී යාම හේතුවෙන්” සිදූවූවක් නම් එම “බිඳ වැටී යන ආර්ථික දේශපාලනික හා සමාජ ව්‍යුහයන්” මොනවාදැයි අප සාකච්ඡා කළ යුතුය.
එසේම, “ධනවාදයේ ගෝලීය ව්‍යාපතිය මගින් ඇති කරන ආතතියන් හේතුවෙන් මූලධර්මවාදී ප‍්‍රවනතාවන් වෙත ජනයා ගොනුවන්නේ නම්,” දියුණු යැයි සලකන රටවල ජාතිකවාදය, ආරම්භයේදී ධනවාදයේ වර්ධනයත් සමග අත්වැල් බැඳගෙන ඇතිවූවක් වීම අප තෙරුම් ගන්නේ කෙසේද? ජාතිකවාදය හැමවිටම මූලධර්මවාදී ද?
3. ඊනියා “විකල්ප ධාරාවේ” දේශපාලනයට අත්වී ඇති කණගාටුදායක ඉරණම පිළිබඳ කතුවරුන් ගේ නිරීක්ෂණ ඉතා වැදගත් ය. අපගේ උත්සාහය විය යුත්තේ අපගේ ලෝකය වඩා යහපත් තැනක් කරනු ඇතැයි අප සිතන විශ්වාස සහ භාවිතයන් අපගේම පෞද්ගලික, වෘත්තීය සහ මහජන ජීවිතයන් තුළ හැකිතාක් දුරට දැනුවත්ව සැබෑවක් බවට පත් කර ගැනීමය. අපට අප සමාජය ප්‍රජාතන්ත්‍රවාදී වීම අවශ්‍ය නම් පළමුව අප ම භාවිතයෙන් ප්‍රජාතන්ත්‍රවාදී විය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදය, බහුත්වවාදය පිළිබඳ අලංකාරිකයන් ලොවට දෙසන බොහෝ දෙනෙකු තම ශාස්ත්‍රීය හෝ දේශපාලන කටයුතු වලදී මෙන්ම වෘත්තීය ජීවිත වලද, ප්‍රජාතන්ත්‍රවාදය හෝ බහුත්වවාදය අගය නොකරන්නේ ය යන්න සැබෑවකි. අපමත් කොතෙක් දුරට එසේ වන්නේදැයි අප විමසිය යුතුය.
4. දෙන ලද සමාජයක සමාජ විපර්යාසයේ ශක්‍යතාව එහි ඓතිහාසිකත්වයට යටත් කරණකි යනුවෙන් ඉහත ලිපියේ මතුකරන කරුණ ඉතා වැදගත්ය. සමාජයක ඉතිහාසය යනු එහි සම්ප්‍රදායයන් ය යන්න අපට අමතක කළ නොහැකිය. අපට අලුත් විය හැක්කේ සම්ප්‍රදාය තුළය.
ප්‍රජාතන්ත්‍රවාදය යටතේ නිර්ප්‍රභූ ජනකොටස් දේශපාලනයෙහි ලා සක්‍රීයව සහභෘගි වන්නට නම් ඔවුනගේ ජීවන තත්වය නගා සිටුවීම අවශ්‍ය වෙයි. එසේ නොවුවහොත් දේශපාලනය බඩ කට පුරවා ගැනීම ඉලක්ක කර ගත්තක් වීම වළක්වනු නොහැකි ය.
අපට තිබුණු “ ඓතිහාසිකව විනාශව ගිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජ ව්‍යුහයන්” කවරේද? ඒවා විනාශ වූයේ කෙසේද? විනාශ කළෝ කවරහුද? වෙනස් වී ඇති තත්ත්වයන් තුළ ඒවා එපරිද්දෙන්ම නැවත ගොඩනැගිය හැකිවනු ඇත්ද? ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජ ව්‍යුහයන් යළි ගොඩ නැගීමේ උත්සාහයන්ට ධනවාදය කැටුව ආ පරිභෝජනවාදය කුමන බලපෑමක් කරන්නේද? එය ජයගන්නේ කෙසේද?
“ දේශපාලන භාවිතාවන් තුළට වෛරය” ගෙන එන්නේ ලොවේ යහපත නොව පෞද්ගලිකව තමනට අහිමිව ඇති දේ පිළිබඳ වෛරයෙන් දේශපාලනයට පිවිසෙන්නන් නොවේද?
යහපත් යැයි අප සිතන අරමුණු වෙනුවෙන් මිනිසුන් බිල්ලට දෙන දේශපාලනය ලොව විනාශ කරයි. ඊනියා සංවර්ධන ව්‍යාපෘති බොහොමයක් යටින් ඇත්තේ ඇත්තේ එබඳු දේශපාලන අදහසක් නොවේද?
කුමුදු
මෙම සටහන, ඉහත ලිපියට ප්‍රතිචාරයක් වශයෙන් “කටු සටහන්’ වෙබ් අඩවියෙහි එම ලිපිය අග මා දැක්වූ ප්‍රතිචාරයෙහි සුලු සංශෝධන සහිත සටහනකි.