ගෝඩෝ එනකන්? සංකජය නානායක්කාර

ගෝඩෝ එනකන්?
සංකජය නානායක්කාර

අප දැන් සිටින්නේ ජනාධිපතිවරණයක මුව අග ය. එබැවින් මෙය ජනප්‍රිය දේශපාලනයේ සමය යි. මෙම කාලය තුළ ජනවාර්ගික ගැටලුව මඟහැර සිටීම කළ හැකි හොඳම දෙය වේ. වඩාත් භයානක දෙය නම් ඉතිහාසයේ නොයෙක්වර ශෝචනීය ලෙස සිදුවූ පරිදි, බහුතර සිංහල ජනතාවගේ සැක සංකා දඩමීමා කරගෙන අන්තවාදී බලවේග අවුළුවන ජාතිවාදී ඝෝෂාවය. කොටින්ට එරෙහිව ලැබූ යුද ජයග්‍රහනය ජනාධිපතිවරණයේ ප්‍රධාන තේමාව බවට පත්වීම නොවැළැක්විය හැකි කරුණකි. ජනාධිපතිවරණය කලින් පවත්වන්නේත්, ජනරාල් ‍ෆොන්සේකා විපක්ෂ පොදු අපේක්ෂකයෙකු ලෙස මතුවන්නේත්, යුද ජයග්‍රහනයෙන් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කරන නිසාය.

70′ දශකයේ උපත ලද දෙමළ සන්නද්ධ බෙදුම්වාදී ව්‍යාපාරය, 2009 මැයි මස විමුක්ති කොටි ලද යුදමය පරාජය සමඟ අවසන් විය. මෙම කෲර යුද්ධය දළ වශයෙන් ජීවිත ලක්ෂයක් ගිලගත් අතර වැළපෙන වැන්දඹුවන්, අනාථ දරුවන්, ආබාධිතයින් සහ මානසික රෝගීන් ජාති භේදයකින් තොරව අප සමාජයට දායාද කළේය. යුද්ධය, අපගේ දීර්ඝ කාලීන ආර්ථික අභිවෘද්ධිය අඩාල කළ අතර, ගුණ ධර්ම විනාශ කර අපව සාහසිකයින් බවට පත් ක‍ළේය.

කොටි සංවිධානය, පැහැදිලිවම ලංකාවේ දීර්ඝ කාලීන සාමයට තිබූ බාධාවන් අතරින් එකකි. අද එය සමූලඝාතනයකට ලක්ව ඇත. එමනිසා ආණ්ඩුව දැන් කළයුත්තේ දෙමළ බෙදුම්වාදයට තුඩුදුන් මූලයන් හට විසඳුම් ලබාදීමය. ‘උතුරු වසන්තය’, ‘නැගෙනහිර නවෝදය’ වැනි මහා පරිමාණ සංවර්ධන වැඩසටහන් පමණක් මෙයට ප්‍රමාණවත් නොවේ. ද්‍රව්‍යමය ප්‍රතිලාභ මගින් පමණක් දෙමළ ජාතිකවාදී දේශපාලනය දුර්වල කළහැකිය යන්න සිංහල පාලක පංතිය තුළ පවතින දුර්මතයකි. 2002 සාම ගිවිසුම ක්‍රියාත්මක වූ කාල වකවානුවේදී ද මෙවැනි මතවාදයන් පාලක පංතිය තුළ ප්‍රචලිත වී තිබුණි. හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු වූ ඔස්ටින් ප්‍රනාන්දු විසින් එම තනතුරේ සිටියදී ලද අත්දැකීම් අළලා රචිත “My Belly is white: Reminiscences of a Peacetime secretary of Defense” ග්‍රන්ථය මෙම කරුණ මැනවින් සනාථ කරයි. එදා සිංහල සමාජයේ අතැම් ග්‍රාම්‍ය කොටස් තර්ක කළේ කොටි සංවිධානයෙන් දෙමළ තරුණ තරුණියන් දිනා ගැනීමට සංගීත සංදර්ශන සහ අසභ්‍ය චිත්‍රපට වැනි විනෝද වැඩසටහන් පමණක් ප්‍රමාණවත් බවය. සාම ගිවිසුම පිළිබඳ යම් බලාපොරොත්තුවක් තිබූ දෙමළ කොටස් අධෛර්යය කිරීමට මෙවැනි මතවාදයන් ඉවහල් විය. පැවැති යුද්ධය මූලික ලෙස දේශපාලන ගැටුමක ප්‍රතිඵලයක් බැවින් අප එම දේශපාලන මූලයන්හට විසඳුම් ඉදිරිපත් කළ යුතුය. මෙය දෙමළ ජනයා වෙනුවෙන් නොවේ නම් අපගේ දීර්ඝ කාලීන පැවැත්ම උදෙසා හෝ කළ යුත්තකි. යුද්ධය නිමාවකට පත්වී ඇති නමුත්, ගැටුම තවදුරටත් නිමාවකට පත් නොවී පැවතීමෙන් රටක් ලෙස අපට ඉදිරියට යාමට නොහැකි වී ඇත. ඇතැම්විට එය නැවත යුද්ධයකට මඟ පෑදීමක් වනු ඇත. එමනිසා කොටින්ට එරෙහිව ලැබූ යුද ජයග්‍රහණය කල් පවත්නා සාමයක් බවට පරිවර්තනය කළ හැක්කේ දේශපාලන විසඳුමක් මඟින් පමණි.

අප දැන් සිටින්නේ ජනාධිපතිවරණයක මුව අග ය. එබැවින් මෙය ජනප්‍රිය දේශපාලනයේ සමය යි. මෙම කාලය තුළ ජනවාර්ගික ගැටලුව මඟහැර සිටීම කළ හැකි හොඳම දෙය වේ. වඩාත් භයානක දෙය නම් ඉතිහාසයේ නොයෙක්වර ශෝචනීය ලෙස සිදුවූ පරිදි, බහුතර සිංහල ජනතාවගේ සැක සංකා දඩමීමා කරගෙන අන්තවාදී බලවේග අවුළුවන ජාතිවාදී ඝෝෂාවය. කොටින්ට එරෙහිව ලැබූ යුද ජයග්‍රහනය ජනාධිපතිවරණයේ ප්‍රධාන තේමාව බවට පත්වීම නොවැළැක්විය හැකි කරුණකි. ජනාධිපතිවරණය කලින් පවත්වන්නේත්, ජනරාල් ‍ෆොන්සේකා විපක්ෂ පොදු අපේක්ෂකයෙකු ලෙස මතුවන්නේත්, යුද ජයග්‍රහනයෙන් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කරන නිසාය. මෙවන් පසුබිමක් තුළ ප්‍රධාන කඳවුරු දෙකෙහි මධ්‍යස්ථ/ ප්‍රගතිශීලී සිංහල බලවේග සහ සුළු ජන කොටස් තම කඳවුරුවල සිටින අන්තවාදී ‍බලවේගවල ජාතිවාදී ඝෝෂාව පාලනය කිරීමට වග බලා ගත යුතුය. මෙම කරුණ ඉතා වැදගත් වන්නේ පශ්චාත් මැතිවරණ සමය තුළ මතුවන ප්‍රධාන අභියෝගය වන්නේ දේශපාලන ප්‍රතිසංස්කරණ ඔස්සේ අන්තර්-වාර්ගික සංහිදියාව ගොඩනැඟීම බැවිනි. පූර්ව මැතිවරණ සමය තුළ ගොඩනැ‍‍‍ඟෙන ගතිකයන් බොහෝදුරට මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකාවේ දේශපාලන ගමන තීන්දු කරයි. අවාසනාවකට මෙන් ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ ජාතික භික්ෂු පෙරමුණ පළමු වෙඩි මුරය තබා ඇත. ඔවුනට අනුව මහින්ද රාජපක්ෂ, ඩග්ලස් දේවානන්දට හා සිද්ධාර්ථන්ට හොර රහසේ ඊළම ලබාදීමට කුමන්ත්‍රණය කරමින් සිටියි. ජනවාර්ගික ගැටලුව විසඳීම සඳහා 13 වෙනි සංශෝධනයෙන් ඔබ්බට වුවද යෑමට සූදානම් බවට ජනරාල් කළ ප්‍රකාශය දඩමීමා කරගෙන මෙම අවුළුවන්නට තැත් කරන ජාතිවාදී ගින්නට සිංහල ජාතියේ ගැලවුම්කරුවන් ලෙසට තමන් විසින්ම නම් කරගත් ආණ්ඩුවේ ඇතැම් දේශපාලන බලවේග සම්මාදම් නොවන්නේ නම් යහපත්ය. යුද්ධය විකුණනු ලබන මෙම මැතිවරණ සමය තුළ අඩුම තරමින් දෙමළ ජනයා සහ කොටින් අතර ඇති වෙනස අවධාරණය කළ යුතු අතර යුද ජයග්‍රහනයෙන් පසු සිදුවූ පරිදි ශ්‍රී ලාංකික දෙමළ ජනයා අවමානයට පත් නොකිරීමට වගබලා ගත යුතුය.

පශ්චාත් යුද සමය තුළ වාර්ගික සුළුතරයන්හි විවිධ දේශපාලන බලවේගයන්හට පොදු න්‍යාය පත්‍රයක් ගොඩනඟා ගැනීමට අපෙහොසත්වී ඇත. සූරික්හී මෑතකදී පැවැත් වූ දෙමළ කතා කරන ජනයාගේ දේශපාලන නියෝජිතයන්ගේ සමුළුව පවතින බෙදීම් මැනවින් පිළිබිඹු කරයි. මෑතක් වන තුරු සමගිව සිටි දෙමළ ජාතික සංගමය (TNA) පවා ජනාධිපතිවරණ සමය තුළ විවිධ කොටස්වලට බෙදී ගොස්ය. මෙම පසුබිම තුළ, ජනාධිපතිවරණයේ තීරණාත්මක සාධකයක් ලෙස සුළුතර ජනයාගේ ඡන්දය මතුවීමට ඉඩක් නැත. රටේ සියලු දේශපාලන බලවේග ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා වෙත ආකර්ෂණය වෙමින් ඇත. ප්‍රධාන කඳවුරු දෙකෙහි කැපී පෙනෙන වෙනසක් නොමැති අතර ඒවා ලිබරල්වාදීන්, මාක්ස්වාදීන් සහ ජාතිකවාදීන් වැනි විවිධ වර්ගයේ සිංහලයින් ගෙන් සහ සුළු ජන කොටස්වල දේශපාලන බලවේගවලින් සමන්විත වේ.

කවුරුන් බලයට පැමිණියද රටෙහි අනාගත ස්ථාවරත්වය සහ සමෘද්ධිය හා බැඳුනු ප්‍රධාන ගැටලුවට මුහුණ දීමට සිදුවේ. එය නම් ජනවාර්ගික ගැටලුවයි. අප හමුවේ ඇති අභියෝගය නම් රාජ්‍යයේ වාර්ගික පදනම පුළුල් කිරීමයි, මෙමගින් රාජ්‍යයෙන් විගලිතව දෙවැනි කැලෑසියේ පුරවැසියන් වී සිටින ජනවාර්ගික කණ්ඩායම් රාජ්‍යයේ කොටස්කරුවන් කරගැනීමයි. අප අද මුහුණ දී සිටින ගැටලුව සිංහල බෞද්ධයන් නොවන ශ්‍රී ලාංකිකයන් සංකේතාත්මකව බැහැර කරන ධර්ම චක්‍රයකින් සහ සිංහයකුගෙන් සමන්විත ශ්‍රී ලාංකික රාජ්‍ය ලාංඡනය මොනවට පිළිබිඹු කරයි.

දේශපාලන ප්‍රතිසංස්කරණ මාලාවක මූලධර්ම විය යුත්තේ සමානාත්මතාවය, ආරක්ෂාව සහ යම් තරමක බලය විමධ්‍යගත කිරීමකි. අන්තවාදී බලවේගයන්හි නොයෙකුත් කෙනහිලිකම් වලට භාජනය වූ මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් සර්ව පාක්ෂික කමිටුව විසින් ඉදිරිපත් කරන දේශපාලන ප්‍රතිසංස්කරණ මාලාව ක්‍රියාවට නංවනතුරු පවතින 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කළ යුතුය. මෙමගින් රට බෙදී යන්නේ යැයි පැවසීම මුලාවකි. මෙවැනි ප්‍රතිසංස්කරණ තුළින් සිදුවන්නේ, කැනඩාවේ සහ ලෝකයේ ඇතැම් රාජ්‍යයන්හී මෙන් බලය යම් පමණකට විමධ්‍යගත කිරීමය. දයාන් ජයතිලක පවසන පරිදිම එය වාර්ගික සංහිඳියාවක අවම පිරිවැය වේ. වාර්ගික ආධිපත්‍ය වෙනුවට, වාර්ගික සංහිදියාවමත පදනම් වූ නොබෙදුනු ශ්‍රී ලංකාවක් බලයට පත්වන නව ජනපතිවරයාගේ තෝරාගැනීම වනු ඇත යන්න මගේ අපේක්ෂාවය.

Comments

  1. කොටි සන්විධානයේ පරාජය යුධමය පරාජයකට ලඝුනොකර විමසා බැලීම සුදුසුයැයි සිතමි

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s