කවි

21 වන සියවසේ සිංහල – බෞද්ධ ඡන්ද දායකයාගේ විචාරාත්මක හෘදසාක්ෂියේ කවිය
නිර්මාල් රංජිත් දේවසිරි විසිනි

චම්පික මැතිදු පිං දී තිබුණි සැමට
මනාප දුන් එතුමන්ට

සෙස්සන් පිදුවේ
“ප්‍රණාමය”, “උපහාරය” වැනි
ලාභ වදන් පමණි
ඒවා කන්නද?

“පිං” ඒ වගේද?

ලබන ආත්මේ කැබිනට් ඇමති කෙනෙක්
නැතිනම්, කැබිනට් නොවන ඇමති කෙනෙක්
ඒත් නැතිනම් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කෙනෙක් (අධීක්ෂක බලයද ඇතිව)
අඩුම වශයෙන් විපක්ෂ මන්ත්‍රී කෙනෙක්වත්
වී උපදින්නට
ඒ පිං මදි නොවේවිද?

හදිසියේම සිහිවුණි
20 වන සියවසේදි
“සැඳෑ බලය” ගැනැ
කුමරතුඟු මුනිදස් පඩිතුමන් කි වදන්

“ඔබට ලැබී ඇති සැඳෑ බලය සිහලුනි
දීන කම නසන ගුරු ක‍ෙමකි නොදෙ‍විනි
අණට බණට මිලයට දුනහොතිනි
රටට පිහිට කවරද විමසව් නැණිනි”
කම් නැත,
පිනට දුන්නාට වරදක් ඇතැයි “සැඳෑ බලය” එතුමා කියා නෑ නොවැ!

හදිසියේම……..
කුකුසක් නැගිනි පව්කාර මා සිතට
කවර නම් පිංකමක් ද කලේ මා
මනාපය දී චම්පික මැතිදුන්ට?

සෙසු උතුමන් මෙන්ම
එතුමන්ද
ජනතා සේවයට මැ ඇප කැප වී සිටිනා උතුමෙක් නොවේද?
මනාපය ලැබූයේ ඒ උදෙසාම නොවේද?
ඉදින්
එතුමන්ගේ වටිනා ජීවිතය අප උදෙස‍ා කැප කිරීම ගැන
අප නොවේද එතුමන්ට පිං දිය යුත්තේ
නොකල පිංකමක් උදෙසා පිං ලැබීම
පව්කාර කමක් දෝ මංදා!

කම් නැත!
අප වැනි නිවටුන්ට සේවය කරනට
ඉස්පාසුවක් ලැබීම මැ
මහානුභාව සම්පන්න පිංකමක් මැ නොවේද?
ඒ පිංකම කරනට වරම් දීමෙන් එතුමනට
අපද කර ගත්තේ
පිංකමක් මැ නොවේද?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s