ෂාරුක්ට ආචාර්ය පදවියක් ! ඩී. බී. කුරුප්පු

” ලිවීමේ දී කටවහර යොදා ගන්නා ලේඛකයෝ ඇත. ඔවුන් එසේ ලියන්නේ වියරණ නොදන්නා කමට යයි නොකියමි. වැඩි දෙනා තමන් යම් බදු වියරණ රටාවක් අනුගමනය කිරීමට උත්සාහ කරන බව පෙනෙයි. එ හෙත් ඔහුන’තුරිනුත් බොහෝ දෙනා ඒ අතින් පළ කරන්නේ දුබලතාවකි.”

ෂාරුක්ට ආචාර්ය පදවියක් !
ඩී. බී. කුරුප්පු

මේ පුවත්පතක පළ වූ සිරස්තලයකි. මගේ ලිපියේ සිරස්තලය හැටියට එය යොදා ගත්තේ, එයින් සිංහලයේ වත්මන් නැඹුරුවක් පිළිබිඹු කැරෙන නිසාය. මෑතක දී ආසියානු ක්‍රීඩා උත්සවයකට සහභාගි වූ ශ්‍රී ලාංකික කණ්ඩායම ආසියානු ක්‍රීඩා තරගය නියෝජනය කරන බව සඳහන් වූයේ ද පුවත්පතකය. ඒ දෙකින්ම මා පුදුම නොවූයේ ඊට කලින් මෙල්බර්න් පත්තරයකට මෙහි වසන ශාස්ත්‍රපති උපාධිධාරී හිමිනමක් ලියූ ලිපියක තිබුණු වචනයක් නිසාය. උන් වහන්සේ ලියා තිබුණේ තමන් වෙත පිය නගන බුදු රදුන් දුටු පස්වග තවුසන් උන් වහන්සේට ගරුසරුවක් නොදක්වන්නට කතිකාවක් ඇති කරගත් බවය. විචාරයක් නැතිව වචන භාවිතය ගිහි පැවිදි දෙපසටම පොදු ලක්ෂණයක් වී ඇතැයි කිව යුතුය.

මා දකින දුබලතාවක් වන යට කී ප්‍රවණතාවට සමාන තවත් යෙදුමක් බොහෝ විට දක්නට ලැබෙයි. ඒ අනවශ්‍ය තැනටත් ඉංගිරිසි වචන යොදා ගැනිමය. ටයිල් පොළොව, කොමඩි චරිත, ගල් කොරිය යන වචන නිදසුන්ය. ගල් කොරිය දකින විට මට මතක් වන්නේ දෙහිවල ගල්වළ පාරය. ඔය නමත් අර ඉංගිරිසි වචනය අනුව යෙදූවකි. අදත් එය ඒ නමින්ම ඇතැයි සිතමි.

වචන අනවශ්‍ය ආකාරයට දික් කිරිම තවත් ලක්ෂණයකි. විචිත්‍ර යන්න විචිත්‍රවත් යනුවෙන් ලිවීමෙන් ලැබෙන අමුතු එළියක් නැත. විශේෂ යන්න තවත් තියුණු කරනු වස් ‘සු’ උපසර්ගය යොදනු ලැබේ. එහෙත් ඒ පදයේ අගට ‘ඊ’ ප්‍රත්‍යයක් යොදා සුවිශේෂී යනුවෙන් දිගු කරන්නේ ඇයිදැයි නොදනිමි. සුන්දර යන පදයෙන් සකස් කර ගන්නා නාමය ‘සෞන්දර්ය’ ය. එයිනුත් තවත් විශේෂයක් නිර්මාණය කිරිමට ‘සෞන්දර්යාත්මක’ යනුවෙන් හැඩ ගැසුවත් සුන්දර යන අරුතම දෙන බවයි මා කල්පනා කරන්නේ.

පැහැදිලිව ම විලාසිතාවක් බවට පත්ව ඇති මේ ප්‍රවණතාව වූ කලී හොද්දට පැණි දැමීමට වැඩි දෙයක් නොවේ. ජීවිතය වන පදයේ බහුවචන රූපය ජීවිත යන්නය. එහෙත් එය ජීවිතයන් යනුවෙන් ලිවීමේ නැඹුරුවක් ඇත. මගේ ජීවිතයේ දී අපේ ජීවිතයේ දී යනුවෙන් ඒක වචන බහුවචන අර්ථ දීමට එකම රූපය යෙදීම සිංහල වහරට හුරු වූවකි. එසේ තිබිය දී ජීවිතයන්වල බහු වචන යෙදීම විහිළුවකි. නරියා, රථය, පෙරහැර යන වචන බහුවචනයේ යෙදෙනුයේ නරි, රථ, පෙරහැර (වල්) යනුවෙන් වුවත්, නරියන්, රථයන්, පෙරහැරයන් යනුවෙන් ලියන උගත්තු ද ඇත. මට මතක් වන්නේ වසර තිස් හතකට උඩ දී රාජ්‍ය භාෂා ‍දෙපාර්තමේන්තුවේ මගේ සගයකු ‘කොළයන්’ යැයි ලියූ විට අප ඔහුට විහිලු කළ හැටිය. එදා නම් ඔහුත් ඒ වරද පිළිගත්තේය.

බසක් දියුණු වත්ම පැරණි වදන් වෙනස්වීමත්, වහර විදි පවා කාලානුරූපව හැඩ ගැසීමත් විය යුත්තකැයි සිතමි. එහෙත් ඒ වෙනස පමණක් නොව බැහැරින් අලුතින් ගන්නා වදන්ද බසට අනුරූප විදියට හැඩ ගස්සා ගැනීම එක්තරා පිළිවෙලකට, සංයමයකින් යුතුව සිදු විය යුතු යයි සිතමි. එකී සංයමය හෙවත් ශික්ෂණය හඳුන්වනුයේ වියරණය යනුවෙනි. ලේඛකයා සතු එකම අමුද්‍රව්‍යය වන වචන හා බස හැසිරවීමෙහිලා මේ ශික්ෂණය අත්‍යාවශ්‍යය. ලේඛකයා සිය නිර්මාණය කෙරෙහි යොමු විය යුත්තේ එම අමුද්‍රව්‍ය අරපිරිමැස්මකින් හා උපරිම පල නෙළා ගතහැකි ආකාරයට භාවිත කිරීමේ ශක්තියක් හා කිසියම් අතහුරුවක් ඇතිව බව සිතමි. ඉංගිරිසි ඇතුලු අනෙක් බසකින් ලියන කවුරුන් වුවත් එය හැසිරවීමේ දස්කමක් නොමැතිව ලිවීමට පසුබට වන්නේ ඒ නිසාය. සිංහල ලියන්නන් සමහරකු මෙය නොසලකන්නේ ඇයි ද යන්න නැගිය යුතු ප්‍රශ්නයකි.

ලිවීමේ දී කටවහර යොදා ගන්නා ලේඛකයෝ ඇත. ඔවුන් එසේ ලියන්නේ වියරණ නොදන්නා කමට යයි නොකියමි. වැඩි දෙනා තමන් යම් බදු වියරණ රටාවක් අනුගමනය කිරීමට උත්සාහ කරන බව පෙනෙයි. එ හෙත් ඔහුන’තුරිනුත් බොහෝ දෙනා ඒ අතින් පළ කරන්නේ දුබලතාවකි.

මා මෙසේ කියන්නේ වගකීමකින් යුතුවය. කැළණිය සරසවියේ සිංහල මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු ලියූ ‘එපුර රජවූ ඇය’ නම් නවකතාව කියවූ මට පෙනී ගියේ මහාචාර්යතුමා පවා මූලික වියරණ විදි ගරු නොකරන බවය. එම දුබලතාව මතු කරමින් මම මෙල්බර්න් ප්‍රකාශනයක් වන ‘පහන්’ සඟරාවේ 2009 පෙබරවාරි කලාපයට ‘මහාචාර්යවරු දෙදෙනෙක්’ යන නමින් ලිපියක් ලියූවෙමි. මාතෘකාව එසේ යෙදුවේ එම ලිපියේ ම කැළණිය සරසවියේ ගණිත මහාචාර්ය නලින් ද සිල්වාගේ සිංහල ගැන ද සඳහන් කළ නිසාය. සිංහල මහාචාර්යවරයා සිංහල වරද්දන අතර ගණිත මහාචාර්යවරයා නිවැරදි සිංහලෙන් ලියන බව ද අවධාරණය කළෙමි. ඉන්පසු මා කියවූවේ මහාචාර්ය සමරජීව කරුණාරත්න ‘මට තාම මතකයි’ යනුවෙන් ලියූ ඔහුගේ ම චරිත කතාවය. තමාගේ සිංහල දුබල හෙයින් එහි වැරදි නිදොස් කිරීම තම බිරියට බාර දුන් බවක් කතුවරයා සඳහන් කරයි. ඒ නිසා එහි ඇති වැරදි ගැන වගකිව යුත්තේ ඔහුගේ බිරිය වන මහාචාර්ය කුසුමා කරුණාරත්නය. ඇයටත් වැරදුණු බොහෝ තැන් ඇතිබව පෙන්වා දෙමින් තවත් ලිපියක් 2009 මාර්තු ‘පහනට’ ලියූවෙමි. එහි මාතෘකාව යෙදුවේ ‘ඉංගිරිසි වර්ෂය තුළ සිංහලට වන කල දසාව’ යනුවෙනි. ඒ 2009 ඉංගිරිසි වසර හැටියට රජය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති නිසාය.

මව්බිමෙන් බැහැර වාසය කරන මට පුවත්පත් හැරණු විට කියවන්නට ලැබෙන්නේ පොත් කිහිපයක් පමණි. එහෙත් මා සඳහන් කරන දුබලතා බොහෝ දෙනාට පෙනී යා යු යුතු බව නම් දනිමි. දිවයිනෙන් බැහැර සිටින නිසාම මා ලියන ලිපියක් පළ කරවා ගැනීම ද අපහසුය. තිලකරත්න කුරුවිට බණ්ඩාර ‘මව්බිම’ සංස්කාරක ධුරය දැරූ අවදියේ මගේ ලිපියක් 2006 දෙසැම්බර් 31 වැනිදා පත්තරයේ පළ විය. ‘ලබ ධාතුවේ බල මහිමය’ යන හිසින් මා ඒ ලිපිය ලියූවේ ඒ අවදියේ විලාසිතාවක් බවට පත්ව තිබුණු ‘කර්ම කාරක භාවිතය’ ගැන පෙන්වා දීමටය. අද ඒ ප්‍රවණතාව ව්‍යාධියක් බවට පරිවර්තනය වී ඇතත් වියතුන්ගේ අවධානය එයට යොමුවන පාටක් නැත. මෑතක ඒ පිළිබඳ හොදම නිදසුන ප්‍රකට ලේඛක නිව්ටන් ගුණසේකර පත්තරයට ලියූ ලිපියක දුටුවෙමි. ඔහුගේ එක් වැකියක් පටන් ගන්නේ ‘මෙම ලිපිය ලියනු ලබන මම’ යනුවෙනි. වැකියේ ඉතිරි හරිය නිවැරදිය. එහෙත් මේ වරදට නම් ඔහුට සමාවක් දිය නො හැකිය.

මා දන්නා තරමින් බසට වන මේ හානිය ගැන නොනවත්වා උද්ඝෝෂණය කරන්නේ ඩී. එෆ්. කාරියකරවන පමණි. වරින් වර වියතුන් ඒ ගැන කල්පනා කරන බවට නිදසුන් ද දක්නට ඇත. දැනට වසර හතරකට පමණ පෙර ප්‍රකට ලේඛක කරුනාරත්න අමරසිංහ ඕස්ට්‍රෙලියාවේ සිංහල ගුවන් විදුලියේ සිංහල සේවයේ ආචාර්ය උබයසිරි විජයානන්ද වික්‍රම විසින් පවත්වන ලද සංවාදයකට හවුල් විය. එදා ඔහු කීවේ බස සකස් කිරීමේ කාර්යයට අත ගසන කමිටුවක් ගැනය. එයින් සිදු වූ සෙතක් නැති නිසාදෝ බසට වන හානිය ගැන ජනාධිපතිතුමා වෙත කරුණු ඉදිරිපත් කරන්නට යන බවක් මෑතක පුවපත්වල පළවිය. මේ

සංස්කෘති 20 කලාපය අංක 03 න් කෘතඥ පූර්වකව උපුටා ගන්න ලදී.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s