මළගිය ඇත්තෝ – ධර්මසිරි ඒකනායක

මළගිය ඇත්තෝ – දෙවැනි කොටස

භූමි කම්පාවටත්, සුනාමියටත්, න්‍යෂ්ටික තාප බලාගාරයේ පිපිරුමටත් මැදිව අනන්ත අපමණ දුක් පීඩා විඳින ජපාන ජනයාගේ ඛේදනීය අත්දැකීම අපට සිහිපත් කරන්නේ කුමක් ද? විද්‍යාත්මක දියුණුව පිළිබඳ අපගේ ඉමහත් කියාපෑම් තිබියදීත් අපගේ ජීවිත පිළිබඳ ඉරණම පාලනය අප අත නැත. විද්‍යාත්මක සොයාගැනීම් කළහැකි වූ පමණින් ඒවා ලෝකයට මුදාහැරිය නොයුතු බව ඊනියා සත්‍යයේ නාමයෙන් ඕනෑම නවෝත්පාදනයක් කිරීමට පසුබට නොවන විද්‍යාඥයන්ට ෆුකුෂිමා න්යකෂ්ටික තාප බලාගාරයේ පිපිරුම් සිහිපත් කොට දෙයි. ඊනියා සංවර්ධනය නාමයෙන් අප කොතෙක් සුඛ විහරණ හඹා ගියද තීරණාත්මක මොහොතෙහිදී අපට ඉතිරිවන්නේ අප ගොඩනගාගන්නා මනුෂ්‍යත්වය පමණි. ඉතින් අප යලි යලිත් මුහුණ දෙන මෙම අත්දැකීම් වලින් පාඩම් ඉගෙන ගන්නට අපි කවදා සමත් වෙමුද?

තම එදිනෙදා ජීවිතයෙහි හැම අංගයකටම අපූරු හැඩ දමා විචිත්‍ර වර්ණ කවා සෞන්දර්යයෙන් වටවුණු පරිසරයක විසීමට පුරුදු වී සිටි ජපන් ජාතිකයන්ට මෙම ඛේදනීය මොහොතේ තම දුක නිවාගන්නට උදව් වනු ඇත්තේ කුමක් ද?

එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ”මළගිය ඇත්තෝ” පිළබඳ අප පහත නැවත පළ කරන විචාරය ජපන් ජනයාගේ දිවිපෙවෙත පිළිබඳ අවලෝකනයට මුල පුරන්නට ඔබට කෙරෙන ඇරයුමකි.

මළගිය ඇත්තෝ – දෙවැනි කොටස
ධර්මසිරි ඒකනායක

නොරිකො සමග ඇතිකරගත් සම්බන්ධය සතුටුදායක ලෙස අවසන්විය නොහැකි බව වටහා ගන්නා දෙවෙන්දොරා එයින් ගැළවීමට තෝකියෝ නුවර අතහැර කියෝතෝ නගරයට ගොස් එහි පදිංචිවෙයි. නමුත් එයින් සිදුවන්නේ ඔහු බලාපොරොත්තු නොවූ දෙයකි. නොරිකො කෙරෙහි තිබූ ප්‍රේමය අඩු වෙනවා වෙනුවට ඇගෙන් වෙන්වී සිටීම නිසා එය තව තවත් උග්‍ර බවට පත්වෙයි.

”කල්යාමේදී මගේ සිතේ තැවුල නිවීයාවි යයි මම සිතුවෙමි. එහෙත් සිදුවූයේ ඊට ඉඳුරාම වෙනස් දෙයකි. දවසින් දවස මගේ සිතෙහි වූ සාංකාව වැඩිවීය. පෙරටත් වඩා මම නොරිකෝගේ සමාගම පැතුවෙමි. ඇය අමතක කර දැමිය නොහැකි බව එන්ට එන්ටම පෙනෙන්ට විය. කොයිවෙලාවකවත් මගේ සිතෙහි සන්සුන් බවක් නොවීය.”
(72 පි.) “

කියෝතෝ නගරයේදී දෙවෙන්දොරා ගණිකාවක් සමග කායික සම්බන්ධතාවයක් ඇතිකර ගෙන නොරිකො කෙරෙහි ඇති ප්‍රේමය යටපත් කිරීමට තැත් කරයි. නමුත් ඒ තැත සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙයි. ස්ත්‍රියක් සමග හුදු කායික සම්බන්ධතාවයකින් ඔහුට කිසිම තෘප්තියක් ලැබිය නොහැක. ඔහු ගේ චිත්ත ස්වභාවය පහත දැක්වෙන විස්තරයෙන් හෙළිවෙයි.

”එහෙත් ඈ මැවූ මායා දැල ටික ටික ඉරී ගියේය. මම ඊට ඇඟිල්ලෙන් ඇන ඕනෑකමින් සිදුරු කළෙමි. ඈ බලන්ට යෑමෙන් කවර සෙතක්දැ’යි මම සිතන්නට වීමි. වඩ වඩා සිහිවූයේ නොරිකොය. මම නිතැතින් මමෙවාකා නොරිකො සමග සසඳා බැලීමි. මමෙවාකාගේ පිටත්තරය මොළොක්ය. එහෙත් අභ්‍යන්තරයෙහි ඈ දැඩිය. නොරිකො හාත්පසින් වෙනස්ය. පිටත්තරයෙහි ඇගේ නොනැමෙන ගතියක් ඇත. එහෙත් ඇගේ අභ්‍යන්තරය මෘදුය.”
(76 පි.)

මේ අවස්ථාවේ දී දෙවෙන්දොරා මහත් සිත් තැවුලකින් පෙළෙයි. ඔහු භාවමය ශූන්‍යත්වයකින් (Emotional Vacuity) පීඩා විඳියි. කුමක් ගැන සිතිය යුතු ද? කුමක් කළ යුතු ද කියා ඔහුට විසඳාගත නොහැකිය.

”ඊළඟ දවස් කීපය, මා කෙබඳු සන්තාපයකින් ගත කළේද කියා මා හැර අන් කිසිවෙක් නොදනී. මට තෝකියෝවට ගිය නොහැකිය. කියෝතෝවල සිටිය නොහැකිය. ආපසු ගමරට බලා යාමටද මම සිතුවෙමි. එහෙත් කොයිබ ගියත්, මට මේ ලොව එකසේය. මා වටා මිනිසුන් දහස් ගනන් සිටියද මම හුදකලාවෙන් පසුවෙමි. කිසිවෙකුගේ ආදරය හා සැලකිල්ල මට නුරුස්සයි. කිසිවෙකු මට ආදරය නොදක්වතොත් මැනවැයි මට සිතේ. එය වඩා ලොකු සැනසීමකි…”
(82 පි.)

ඊට ටික කලකට පසු නොරිකො ගේ පියා මළ බව දෙවෙන්දොරාට දැනගන්නට ලැබෙයි. ඉන්පසු දෙවෙන්දොරා ආපසු තෝකියෝ නගරයට පැමිණ නොරිකො ගේ නිවසෙහි පදිංචි වෙයි. නොරිකො අමුත්තෙකු මෙන් හැසිරෙමින් දෙවෙන්දොරා කෙරෙහි ඈ තුළ ඇති හැඟීම් යටපත් කිරීමට මහත් ප්‍රයත්නයක් දරයි. දෙවෙන්දොරා සමග ඇතිකරගත් සම්බන්ධතාවය කිසි කලක විවාහයකින් අවසන්විය නොහැකි බව වටහා ගන්නා ඈ ස්වජාතිකයෙකු සමග විවාහයක් සිදුකර ගැනීමට තීරණය කරගනියි. නමුත් ඇගේ ප්‍රබල හැඟීම ඊට ඉඩක් නොදෙයි. ඈ ඒ විවාහ යෝජනාව අතහැර දමා නැවතත් දෙවෙන්දොරා සමග සබඳකම් ඇතිකර ගනියි. නමුත් දෙවෙන්දොරා සමග විවාහ විය යුතුද නැද්ද කියා ස්ථිර තීරණයකට එළඹීමට ඈට තවමත් නුපුළුවන. ඒ අතරතුර දෙවෙන්දොරා ඒ ප්‍රශ්නයට මුහුණ නොදී එයින් ගැළවීම පිණිස සිත්තම් ඇඳීමට පටන් ගනියි. දෙවෙන්දොරා නොරිකො ගේ සොහොයුරිය වන මොමොකො සමග කරන සාකච්ඡාවක දී ඔහුත් නොරිකොත් අතර විවාහයක් සිදුවීමට ඇති බාධා කවර අන්දමේ ඒවා ද යනු විස්තරවෙයි.

”මම එයාගෙ අක්ක හන්ද මම දන්නව එයාගෙ හිත. මම තමයි අම්ම කෙනෙක් වගේ එයාට හිටියෙ. නමුත් කල්පනා කරන්න තියෙන්නෙ, නොරිකොට පුළුවන් වෙයිද කියලා දෙවෙන්දොරා සංගෙ වැඩපල බලා ගන්න, නන්නාඳුනන මිනිස්සු අතරෙ නොරිකොට පුළුවන්ද කියලා දෙවෙන්දොරා සංට අත් උදව්වට හිටින්න. එයාට රට හුරු නෑ, කෑමබීම පුරුදු නෑ. කතා බහ තේරෙන්නෙ නෑ.”
සැබැවින්ම අපට මුහුණපාන්නට සිදුවන මෙවැනි එදිනෙදා ප්‍රශ්න ගැන මම එතෙක් කල්පනා නොකළෙමි. ඇය මා හා විවාහ වී කවර රටක ජීවත් වන්ටද කියාවත් මම නොසිතුවෙමි……..
(111පි.)

අන්තිමේ දී දෙවොන්දරා නොරිකො අත්හැරදමා ලංකාවට පැමිණ පුවත් පත් කාර්යාලයක රක්ෂාවක් ලබා ගනියි. මව් රටට පැමිණි පසු නොරිකො ගැන පහළව තිබූ හැඟීම් ඉතා ඉක්මනින් ඔහුගේ සිතින් තුරන් වෙයි. නොරිකො දැන් ඔහුට පෙනෙන්නේ සිතින් මවාගත් මායා රූපයක් හැටියට ය. නොරිකො ගෙන් වෙන් වීමෙන් වූ අඩුපාඩුව පිරිමසා ගැනීමට ඔහු තම මව් රටේ කාන්තාවන් වෙත සිත් යොමු කිරීමට පටන් ගනියි. නොරිකොගේ ජීවමාන ගතිය ක්‍රම ක්‍රමයෙන් පහව යයි. නවකථාව අවසන් වන්නේ මේ විපර්යාසය හෙළි කරමිනි.

දෙවෙන්දොරා ගේ සිත් පෙරළිය සිදුවන්නේ ඉතාම කෙටි කාල සීමාවක් තුළ දීය. එබැවින් එය ඇදහීම දුෂ්කරය. මේ අවස්ථාවේ දී දෙවෙන්දොරා ගේ හැසිරීම විස්තරවන ආකාරය නිසා නවකථාවේ මුලින් නිරූපණය වූ පුවත්වල අර්ථය දුබල වීමට මග පෑදෙයි. දෙවෙන්දොරා නොරිකො කෙරෙහි දැක් වූ ප්‍රේමය ගැඹුරු හැඟීමක් විය හැකි ද කියා කියවන්නාට සැක පහළ වෙයි. ඒ හැඟීම අනුක්‍රමයෙන් යටපත් වී ගිය සැටි නිරූපණය කරන ලද නම් මෙවැනි සැකයක් පහළ නොවේ. දෙවෙන්දොරාට මානසික ඝට්ටනයක් නොමැතිව නොරිකො ඉතා ඉක්මනින් හා පහසුවෙන් අමතක කර දැමිය හැකිවීම පුදුම එළවන සුළුය.

මේ නිසා නවකථාවේ අවසානය සාර්ථකවී නැත. එයින් කියවන්නා තුළ තෘප්තිමත් හැඟීමක් පහළ නොවෙයි. නවකථාවට වස්තුවන අත්දැකීමේ සංකීර්ණ ගතිය උපරිම අවස්ථාවේදී නාට්‍ය ආකාරයෙන් ඉදිරිපත් කොට නැත. එය නිරූපණය වන්නේ සාකච්ඡා මගිනි. ක්‍රියා පරම්පරාවක් මගින් නොවේ. මේ කරුණ නිසා ප්‍රබල භාවමය ඝට්ටනයක් (Emotional conflict) පහළ නොවේ.

මේ නවකථාවේ සිදුවීම් වැල යම්කිසි රටාවක් අනුව ගළපා නොතිබීම සිතා මතා කරන ලද්දක් බව පෙනේ. කතුවරයා මේ බව හොඳින් දන්නා බව කථකයා මගින් හෙළිකරන කරුණුවලින් පැහැදිලි වේ.

”මේ කථනය, කිසියම් කෙලවරකට පමුණුවා අවසන් කළ යුතුය. එහෙත් සිදුවූ දේ නම් එවැනි කෙලවරකට පැමිණ නැත ඇතැම්විට, කවදා හරි, මෙහි දෙවෙනි කොටස ලියන්ට මට ඉඩ ලැබෙන්ට පුළුවන. එහෙත් අනාගතයෙහි, කිය යුතු දෙයක් සිදුවේදැයි මම නොදනිමි. නොරිකො මළාය කියා මට මේ කථාව අවසන් කරන්ට තිබුණි. එවිට මෙය, කරුණාරසයෙන් පිරි නිබන්ධයක්යයි ඔබ කියනු නිසැකය. එහෙත් නොරිකො තවමත් ජීවත්ව සිටියි. මමද ජීවිතයේ අග්ගිස්සෙහි ඒ මේ අත වැනෙමින් සිටිමි. කථාවක් නම්, පිරිපුන් රටාවකින් යුතුව ගොතා හමාර කළ හැකිය. එහෙත් ජීවිතය, වියා හමාර කළ නොහැකිව, එතැනින් මෙතැනින් එල්ලෙන පත්ඉරුවලින් හැඩිවූ, මුල්ලකට දමාතිබෙන පැදුරු කෑල්ලකට සමානය, මිනිසුන් මරණය පතන විගසින්, ඔවුන් වෙත මරණය නොපැමිණේ. ඔවුහු දීර්ඝ කාලයක් දුක් විඳිමින් ජීවත් වෙති.”
– (7 පි.)

ජීවිතය රටාවක් අනුව හැඩ ගැසී නැති බවත් අවුල් සහිත බවත් ඇත්තකි. නමුත් ජීවිතය කලා කෘතියක් නිර්මාණය කිරීමට ගන්නා ”අමුද්‍රව්‍ය” විශේෂයක් පමණි. කලා කෘතිය කිසිවිටක ජීවිතයේ පිළිබිඹුවක් නොවේ. එබැවින් එය කිසිකලක අවුල් සහිත වස්තුවක් විය නොහැකිය. කලා කෘතිය ඒකාබද්ධතාවයකින් යුත් අර්ථාන්විත නිර්මාණයකි. එහි ගැබ්වන මූලික අදහස හේතුකොට ගෙන එයට ඒකාබද්ධතාවයකුත් අර්ථාන්විත රටාවකුත් ආරූඪ වෙයි.

කතුවරයා ඉහත දැක් වූ කියුමෙන් අදහස් කරන්නේ තමා ගේ පරමාර්ථය නවකථාවක් ලිවීම නොව සිදුවූ පුවතක් ඒ සැටියෙන්ම විස්තර කිරීම බව ද? එසේ නම් ඔහු ගේ කෘතිය සාහිත්‍යික වටිනාකමක් නැති වාර්තාවක් බවට පත්වනු නොවැළැක්විය හැකිය. නමුත් මේ නවකථාව පරීක්ෂා කර බලනවිට එවැනි නිගමනයකට බැසීමට තුඩුදෙන කිසිම හේතුවක් සොයාගැනීම දුෂ්කරය. ගතානුගතික නවකථාවලට පොදු රටාවක් නොමැතිවුවත් සියුම් කලාත්මක හැඟීමකින් යුතුව මේ නවකථාවේ පුවත්වැල ගළපා තිබෙන බව පැහැදිලිය.

”මළගිය ඇත්තෝ” අමතක නොවන නවකථාවක් වන්නේ නොරිකො ගේ චරිතය නිසාය. මේ චරිතය ඉතා සියුම් දයාන්විත හැඟීමකින් යුතු ව මවා තිබේ. මීට පෙර රචිත කිසිම සිංහල නවකථාවක මෙයට සම කළ හැකි චරිතයක් සොයා ගැනීම දුෂ්කරය. නොරිකො ගේ සුකුමාර දයාන්විත ගතිය හා හැඟීම්බර මනැස හෙළිකොට තිබෙන්නේ නියම කලාකරුවෙකු ගේ ගැඹුරු අවබෝධයෙන් යුතුවය. ජපන් රට පරිසරය ද විචිත්‍ර ලෙස නිරූපණය වී තිබීම නිසා ඒ පරිසරය මූර්තිමත්කර දක්වන නොරිකො ඉතා ප්‍රමාණවත් ලෙස කියවන්නා ඉදිරියේ මැවී පෙනෙයි.

නමුත් කථකයා වන දෙවෙන්දොරා ගේ චරිතය එසේ සාර්ථක වී ඇතැයි කිව නොහැකිය. ඔහු නොරිකො මෙන් ප්‍රාණවත් චරිතයක් නොවේ. නොරිකො සමග සසඳා බලන විට ඔහු ගේ චරිතය දළදඬු ගතියක් පළ කරයි. ඔහු ගේ සිතිවිලි හා හැඟීම් සිත් කාවදින ලෙස නිරූපණය වී නැත. නවකථාව අවසානයේ දී ස්ථිර තීරණයකට බැසිය යුතු අවස්ථාව පැමිණිවිට ඔහු ගේ හැසිරීම විස්තරවන අන්දම විශේෂයෙන්ම දුර්වලය. තමා ගේම ක්‍රියා හේතු කොටගෙන ඇති වූ දුෂ්කර අවස්ථාවකින් ගැළවීම පිණිස ලංකාවට පැන දිවීම නිසා ඔහු ගේ චරිතය අව්‍යාජ ගතියෙන් පිරිහෙයි. ඔහු නොරිකො කෙරෙහි දක්වන හැඟීමත් පිළිගත හැකි ලෙස විස්තර වී නැත. මේ කරුණු නිසා දෙවෙන්දොරා මගින් ප්‍රබල හැඟීම් වැලක් කියවන්නාට ඇදහිය හැකි පරිදි ප්‍රකාශ කිරීම අසීරු වෙයි. දෙවෙන්දොරා ගේ චරිතය සාර්ථක වී නැතත් ඔහුත් නොරිකොත් අතර ඇතිවන සබඳකම ක්‍රම ක්‍රමයෙන් දියුණුවන සැටි සිත් ගන්නා ලෙස අනාවරණය වී තිබේ. නමුත් මීට පෙර පෙන්වා දුන් පරිදි උපරිම අවස්ථාවේ දී දෙවෙන්දොරා ගේ හැසිරීම විස්තර වන්නේ දුර්වල ආකාරයකිනි. එබැවින් නවකථාවේ අවසානය කියවන්නා ගේ බලාපොරොත්තු කඩ කරන සුළුය.

ඉහත සඳහන් කළ අඩුපාඩුවලින් යුක්ත වුවද මේ නවකථාව, වටිනා අත්දැකීමකින්, සියුම් කලාත්මක හැඟීමකින් යුතුව විභාග කොට දක්වන බැවින් මහත් ආශාවෙන් කියවිය හැකි ග්‍රන්ථයකි. මේ කරුණ නිසාත් ජීවිතයේ මෘදු, දයාන්විත පක්ෂය කෙරෙහි අමුතුම ආලෝකයක් විහිදුවන නිසාත්, ”මළගිය ඇත්තෝ” සිංහල නවකථාවලියට එකතු වූ උසස් නිර්මාණයක් වශයෙන් හැඳින්විය හැකිය.

සටහන්

1. ඉංග්‍රීසියෙන් ”විලෝ” කියන ගස් වර්ගය.

* සංස්කෘති 10:1 (1962) උපුටා ගෙන නැවත පළ කරමු. මේ හා සමාන විශිෂ්ට විචාරයක් මෙතෙක් පළ වී නැහැ. මේ විචාරකයා පසුගියදා අභාවප්‍රාප්ත වු බව කනගාටුවෙන් දැනුම් දෙමු. මේ ලිපියෙහි ඉපිටිම් යොදා ඇත්තේ 2009 නව මුද්‍රණ සංස්කරණයෙනි. පිටකෝට්ටේ : සරච්චන්ද්‍ර ප්‍රකාශන. – සංස්කාරක

උපුටා ගැනීම සංස්කෘති 2011 ජනවාරි (21 කලාපය, අංක 02) සඟරාවෙනි.

Comments

  1. ඔබ නාවොත් හෙට…උදෑසන අරන්..
    මට රැය විතරයි..අයිති නොරිකොසන්..

    (කසුන් කල්හාර , සහේලි ගමගේ)

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s