අද ඇති අභියෝගය: “මහින්ද රාජපක්‍ෂ රජය ධනවාදී සංවර්ධන මාර්ගය ගැනීම” ගුණදාස අමරසේකර

අද ඇති අභියෝගය:

“මහින්ද රාජපක්‍ෂ රජය ධනවාදී සංවර්ධන මාර්ගය ගැනීම”

ගුණදාස අමරසේකර

වසර තිහක්‌ තිස්‌සේ පැවැති ත්‍රස්‌තවාදය මුලිනුපුටා දමා රට ජාතිය බේරාගත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා මේ රට සංවර්ධනය කිරීමේ මාවත වෙත දැන් එළඹ ඇති බව පෙනේ. ත්‍රස්‌තවාදයට හේතුව දුගී දුප්පත්කම බව වටහා ගැනීම මෙවන් සංවර්ධනයක්‌ දියත් කිරීමට මුල්වන්නට ඇත. මෙහිදී අප විසින් ඇසිය යුතු ප්‍රශ්නයක්‌ ඇතැයි මම සිතමි. ධනවාදී මාර්ගය ගෙන කරන සංවර්ධනයෙන් දුප්පත්කම නැතිවේද? ධනවාදය මගින් කරන සංවර්ධනයේ ප්‍රතිලාභ දුප්පතුන් වෙත ලැබෙන්නේ “අතපල්ලෙන් හැලෙන” න්‍යායට අනුව බව අපි ඉහතින් දැක්‌වීමු. මහින්ද රාජපක්‍ෂ රජය සිය සංවර්ධන මාර්ගය ලෙස තෝරා ගෙන ඇත්තේ මේ අත පල්ලෙන් හැලෙන න්‍යාය උඩ ක්‍රියාත්මක වන ධනවාදී සංවර්ධන මාර්ගය ද නැත්නම් වෙන යම් මාර්ගයක්‌ද?

විදේශ ආයෝජකයන් කැඳවා ගනිමින්, විශාල ණය ආධාර පිටරටවලින් ලබාගනිමින්, සංචාරකයන් සඳහා විශාල අධිවේගී මාර්ග තනමින්, ඉන්දියානු මුහුදේ යනඑන නැව් අප වෙත කැඳවා ගැනීම සඳහා වරායවල් හදමින් අප ගෙන යන මේ සංවර්ධනය ධනවාදී සංවර්ධනයක්‌ බව පෙනේ. තව වසර දෙකකින් අපගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 2000 හේ සිට 4000 දක්‌වා වැඩි වන බවද තව සුළු කලකින් අප “ආසියාවේ ආශ්චර්යය” බවට පත්වන බවද පවසනු ලැබේ.

සංවර්ධනයකින් තොරව තිස්‌ වසරක්‌ ගත කිරීමෙන් පසු මෙරට ශීඝ්‍ර සංවර්ධනයකට යොමු කිරීම සඳහා මහින්ද රාජපක්‍ෂ රජය ධනවාදී මාර්ගය ගැනීම ගැන අපට විරුද්ධ විය හැකි නොවේ. අද තුන්වන ලෝකය තුළ ශීඝ්‍ර සංවර්ධනයක්‌ සඳහා ඇති ඒකායන මාර්ගය ධනවාදී මාර්ගය බව පෙන්නුම් කර තිබේ. මේ සංක්‍රාන්ති සමයේ එවැන්නක්‌ අවශ්‍ය වුවද දීර්ඝකාලීන වශයෙන් මෙවැන්නක්‌ කෙතරම් සුදුසු වේද? මේ ධනවාදී සංවර්ධන මගින් අප මුහුණ දෙන ප්‍රශ්නවලට පිළිතුරු ලැබේද? මේවා අප විසින් ඇසිය යුතු ප්‍රශ්න වෙයි.

තව වසර දෙකකින් ඒකපුද්ගල ආදායම දෙගුණයකින් වැඩිවනු ඇතිය යන කියමන මායාකාරී කියමනක්‌ බව අපට පෙනී යා යුතුයි. ආර්ථික විද්‍යාව පිළිබඳ ගැඹුරු අවබෝධයක්‌ නැත්තෙකුට වුවද මෙය පෙනී යනු ඇත. ඒකපුද්ගල ආදායම දෙගුණයකින් වැඩි වීම නිසා කුලී වැඩ කරන සියදෝරිස්‌ගේ ආදායම දෙගුණයකින් වැඩි වනු ඇතැයි සිතුවොත් මුළාවකි. සියදොaරිස්‌ගේ ආදායම කෙසේ වුව ඇඟලුම් ව්‍යාපාරිකයාගේ ආදායම නම් දෙගුණයකින් නොව තුන් හතර ගුණයකින් වැඩි වන්නට පුළුවන. ඒකපුද්ගල ආදායම දෙගුණයක්‌ වන්නේ දළ ජාතික නිෂ්පාදන දර්ශකය (GNP) සියයට තුනේ සිට සියයට හය දක්‌වා (උද්ධමනය ආදි වූ සාධක නොතකා හැර) වැඩිවීම නිසායි. එහෙත් ඒ වැඩිවන සියයට තුනෙන් 80% සිssටිනු ඇත්තේ ජනගහනයෙන් 10% පමණක්‌ විය හැකියි. එවිට ජනගහනයෙන් 90% අතර බෙදී යනු ඇත්තේ වැඩිවන ආදායමෙන් 20% පමණි.

තායි බුද්ධිමතෙකු වන සුලක්‌ ස්‌වරාක්‌ස විද්වතා විසින් මේ මායාකාරී ඒක පුද්ගල ආදායම වැඩි වීම විග්‍රහ කරමින්, විදේශික ව්‍යාපාරිකයන් සිය ආයෝජන මගින් රටක දළ ජාතික නිෂ්පාදනය වැඩි කරන අතර රට තුළ ඉන්නා ධනවතුන් තව තව තර කරන හැටි සහ දුප්පතුන් තව තව දුප්පත් කරන හැටි, “Buddhism and Development” නමැති අගතා නිබන්ධයෙන් පෙන්වාදී තිබේ.

එය මෙවැනි වෙයි.

“අප විසින් ඇසිය යුතු ප්‍රශ්නය නම් ඒකපුද්ගල ආදායම වැඩිවීම දළ ජාතික නිෂ්පාදනයේ වර්ධනය ඇසුරෙන් පෙන්වාදීම කෙතරම් නිවැරැදි ද යන්නයි. උදාහරණයක්‌ වශයෙන් GNP ය 80% වැඩිවන විට ඒ වැඩිවීමෙන් 80% ක්‌ ජනගහනයෙන් 10% ට හිමි වන අතර ඉතිරි 90% හිමිවනු ඇත්තේ 20% පමණි. සංවර්ධනය වෙමින් පවතින්නා වූ රටවල් තුළ සිදු වන්නේ මෙයයි . ධනවතුන් තව තවත් පොහොසත් වන අතර දුප්පත්තුන්ද තව තවත් දුප්පත් වෙති. මේ නිසා තායිලන්තය, පිලිපීනය, කොරියාව, මැලේසියාව, සිංගප්පූරුව වැනි රටවල එක සමාන සාධාරණ අවස්‌ථාවක්‌ දක්‌නට නොලැබේ. ආර්ථික විද්‍යාඥයන්ට අනුව මෙය සිදුවනු වැළැක්‌විය නොහැකිය……… එවිට යට කී කම්කරුවන් දුප්පත් අඩියක ඉන්නා තරමට පමණි, විදේශික ව්‍යාපාරිකයන් හා ධනවතුන් ආයෝජනය කිරීමට පෙළැඹෙනු ඇත්තේ. වියදම හැකි තරම් අඩු කරගෙන, ලාභය පුළුවන් ඉක්‌මනට අත්පත් කර ගත හැකි නම් පමණි. ඔවුන් දිගටම ආයෝජනය කිරීමට ඉදිරිපත් වනු ඇත්තේ. මෙය මෙසේ සිදු වන විට දළ ජාතික නිෂ්පාදනය – GNP අනිවාර්යයෙන් ඉහළ යනු ඇත.

මේ කරුණ – ඒකපුද්ගල ආදායම දෙගුණයක්‌ වීමේ මායාව පිළිබඳ යථාර්ථය කලකට පෙර බණ්‌ඩාරනායක යුගයේදී මේ රටට ආර්ථික උපදේශකයකු ලෙස පැමිණිය ඩඩ්ලි සියර්ස්‌ නමැති විද්වතා විසින් පෙන්වා දුන් බව අප විසින් සිහිපත් කළ යුතුයි. ඩඩ්ලි සියර්ස්‌ විශිෂ්ට ආර්ථික විශේෂඥයකු මෙන්ම තුන්වන ලෝකයේ රටවල් මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳව විශාරද දැනුමක්‌ තිබුණු පුද්ගලයෙක්‌ විය.

ඩඩ්ලි සියර්ස්‌ ඒකපුද්ගල ආදායම දෙගුණයක්‌ වීමේ මායාව එළිදක්‌වනු ලබන්නේ මෙලෙසිනි.

“දුප්පත්කම, සමාජ අසමානතාව සහ විරැකියාව.යන තත්ත්වයන් කාලයක්‌ තිස්‌සේම අඩුවන්නේ නම් එය රටක්‌ සම්බන්ධව සංවර්ධන යුගයක්‌ ලෙස හැඳින්විය හැකියි. එහෙත් දුප්පත්කම, සමාජ අසමානතාව, විරැකියාව යන තුනෙන් එකක්‌ හෝ දෙකක්‌ හෝ තුනට ඉහළ යන්නේ නම් ඒ රටේ ඒකපුද්ගල ආදායම දෙගුණයක්‌ වුවත් එය සංවර්ධනයක්‌ ලෙස සැලකිය නොහැකියි.

අත පල්ලෙන් හැලෙන (Trickle down) ධනවාදී මාර්ගයෙන් රටක ඇති අමානුෂික දරිද්‍රතාවය තරමක්‌ සමනය කළ හැකි බව රහසක්‌ නොවේ (මේ රටේ එවැනි දරිද්‍රතාවක්‌ නොමැති බව අපි දනිමු.). එහෙත් එමගින් සමාජ අසාධාරණය, අසහනය, ඇති නැති පරතරය, ඉච්ඡාභංගත්වය, විරැකියාව සමනය කළ හැකිද? මේ රටේ ඇති වූ ත්‍රස්‌තවාදයට මුල් වූයේ දරිද්‍රතාවයට වඩා සමාජ අසාධාරණය, විරැකියාව අසහනය, ඉච්ඡාභංගත්වය බව අපි ඉහතින් පෙන්වා දුනිමු. පසුගිය දිනවල මැදපෙරදිග ගිලගත් ප්‍රචණ්‌ඩ ත්‍රස්‌තවාදය දැන්වත් අපගේ ඇස්‌ අරවන්නක්‌ විය යුතුයි. ටියුනීසියාව, ඊජිප්තුව, බහරේන්, ලිබියාව යන මේ රටවල්වල දළ ජාතික නිෂ්පාදනය පසුගිය වසර කීපය තුළ දෙගුණ තෙගුණ වූ බව අපි දනිමු. ඒ වැඩිවීම සමඟ සිදුවූයේ ධනවතුන් තව තවත් පොහොසත් වී දුප්පතුන් තව තවත් දුප්පත් වී සමාජ අසාධාරණය, අසහනය, විරැකියාව, ඉච්ඡාභංගත්වය වැඩිවීමයි. මේ රටවල්වල දළ ජාතික නිෂ්පාදනය වැඩි නොවී නම් ප්‍රචණ්‌ඩ ත්‍රස්‌තවාදයට හිස එසවීමට අඩු අවස්‌ථාවක්‌ තිබෙන්නට ඇතැයි ඇමරිකන් අර්ථශාස්‌ත්‍රඥයකු පවසා තිබෙනු මම දුටිමි·

සමාජයක සැබෑ ස්‌වරූපය, අභ්‍යන්තරය එළිදක්‌වනු ලබන්නේ දළ ජාතික නිෂ්පාදන දර්ශකයෙන් නොව PQLI (Physical Quality of Life Index) යනුවෙන් හඳුන්වනු ලබන “ජීවන ගුණාත්මකභාවය” දර්ශකය විසිනුයි. ෙ-. ආර්. ජයවර්ධනගේ යටත් විජිතවාදී ධනවාදය සම්ප්‍රාප්ත වීමට පළමු “ජීවන ගුණාත්මකභාවය” අතින් මෙරට ඒකපුද්ගලික ආදායම දස දහස්‌ ගණන් වන රටවල් පරයා සිටින ආදර්ශමත් රටක්‌ ලෙස හඳුන්වන ලදී. එවිට අපේ GNP සඳහන් වන්නට ඇත. මෙවැන්නකට හේතු වූයේ අන් කිසිවක්‌ නොව අප විසින් දිගින් දිගටම පවත්වාගෙන යන ලද සුබසාධන යයි. සුද්දා පුදන ඇතැම් දීනයන් පෙන්වන පරිදි ඒ සුබසාධනය ජෙරමි බෙන්නට්‌ලා, ස්‌ටුවට්‌ මිල්ලා යන මානව හිතවාදීන්ගේ උගැන්වීම් අනුව මේ රටේ උන් සුදු පාලකයන් විසින් අප වෙත පතල මහා කරුණාවෙන් දියත් කරන ලද්දක්‌ නොවේ.

එය අප සතුව තිබූ බෞද්ධ රාජ්‍යය විසින් දායාද කර දෙන ලද්දකි. ඒ සුබසාධනය එසේම පවත්වා ගෙන ගියහොත් මේ රටේ ජනයා කැරැලි ගැසීමෙන් වළක්‌වා හීලෑ කරගෙන තබාගත හැකි බව මේ රටේ සංස්‌කෘතිය ගැන අවබෝධයක්‌ තිබූ ඩොයිල් වැනි කපටි පාලකයන්ට පෙනෙන්නට ඇත. ඌව වෙල්ලස්‌ස ගිනිබත් කළ ඒ ම්ලේච්ඡයන්ට එවැනි මහා කරුණාවක්‌ ඇති වීමට හේතුව කුමක්‌ද? මේ රට ආදර්ශමත් කොලනියක්‌ ලෙස ලොවට පෙන්වීමට ඇති උවමනාව කුමක්‌ද? මේ තර්කය ගෙන එන එච්. එල්. සෙනෙවිරත්න වැනි දීන සමාජ විද්‍යාඥයන්ට නම් සුද්දාට සුදු හුනු ගෑමට ලොකු උවමනාවක්‌ ඇති බව අපි දනිමු. ලෝකයාගේ ගෞරවයට පාත්‍ර වූ ඒ සුබසාධනය අපට පවත්වාගෙන යා හැකි නොවූයේ ඒ සඳහා අවශ්‍ය ආර්ථිකයක්‌, නිෂ්පාදනයක්‌ අපට ගොඩනගා ගැනීමට නොහැකි වූ නිසායි. 70-77 කාලය තුළ සමඟි පෙරමුණු රජය විසින් ඒ සුබසාධනය පවත්වාගෙන යා හැකි සමාජවාදී ආර්ථිකයක්‌ ගොඩගැනීමට තැත් කළ බව අපි දනිමු. එය ව්‍යර්ථ වූයේ ඒ සඳහා අවශ්‍ය සාකල්‍ය ජාතික දර්ශනයක්‌ නොතිබුණු නිසායි. එහෙන් මෙහෙන් ගෙන ක්‍රියාවට නඟන ලද මාක්‌ස්‌වාදී න්‍යාය එවැනි සාකල්‍ය ජාතික දර්ශනයකට විකල්පයක්‌ නොවේ. බෞද්ධ රාජ්‍යය මෙරට පැවැති සමයෙහි අපට එවැනි සාකල්‍ය දර්ශනයක්‌ තිබිණි. ඒ සාකල්‍ය දර්ශනයට අනුව සුබසාධනයට අවශ්‍ය නිෂ්පාදනයක්‌, ආර්ථිකයක්‌ ඇතිකර ගැනීමට අපි සමත් වීමු. මීට හොඳම උදාහරණය මහා පරාක්‍රමබාහු රාජ්‍ය සමයයි.

මහා පරාක්‍රමබාහු රජු විසින් බුදුන් අනුදැන වදාළ අශෝක ආකෘතිය ක්‍රියාවට නඟන ලද සැටි පිළිබඳ අගනා විස්‌තරයක්‌ ට්‍රෙවෝලිංගේ The Buddhi; Buddhist Civilizdion in India and Ceylon නමැති ග්‍රන්ථයෙහි දක්‌නට ලැබේ. ට්‍රෙවෝලිං දක්‌වන ඒ සුබසාධන කටයුතු C. W. නිකොලස්‌ විද්වතා විසින් ද සිය ලංකා ඉතිහාස ග්‍රන්ථයෙන් සනාථ කර ඇත. සමාජ පීඩනය, අසහනය මඩින මේ සුබසාධනය සඳහා අවශ්‍ය නිෂ්පාදනය බිහිකර ගැනීම පිළිබඳ ගැඹුරු අවබෝධයක්‌ පරාක්‍රමබාහු නරවරයාට තිබිණි. අහසින් වැටෙන එක දිය බිඳක්‌ හෝ අපතේ නොයෙනු වස්‌ පරාක්‍රම සමුද්‍රය වැනි මහා ජලාශ ඉදිකිරීමට එතුමා කටයුතු කළේ එබැවිනි. මහා කෘෂිකර්ම ව්‍යාපාර මගින් රට ස්‌වයං පෝෂිත කිරීමට අමතරව මෙරට පෙරදිග ධාන්‍යාගාරය බවට පත් කිරීමට එතුමාට හැකි විය. ඒ යුගයෙහි සහල් පිටරටට අපනයනය කිරීමටද හැකි වූ බව දීපවංශ කතුවරයා විසින් පෙන්වා දී තිබේ.

සුබසාධනය සහ නිෂ්පාදනය සම සමව තබාගෙන කටයුතු කිරීමට මහපරාක්‍රමබාහු රජතුමාට හැකි වූයේ සාකල්‍ය ජාතික දර්ශනයකින් යුතුව කටයුතු කිරීමට එතුමා සමත් වූ නිසායි. අපට මෙය ඉටුකර ගත නොහැකි වූයේ ද එවැනි සාකල්‍ය ජාතික දර්ශනයක්‌ ගොඩනඟා ගැනීමට අප අපොහොසත් වූ නිසායි. අද අප හමුවෙහි ඇති ප්‍රධාන අභියෝගය ද මෙය වෙයි. වෙන වචනයෙන් කියතොත් මානව හිතවාදී, සමානාත්මතාවය මුල්කරගත් සමාජවාදී සමාජයක්‌ ගොඩනඟාගත හැක්‌කේ කෙසේද යන්නයි. අප හමුවෙහි ඇති ප්‍රධාන අභියෝගය ධනවාදය මගින් මෙන්ම මාක්‌ස්‌වාදය මගින්ද එය ඉටුකර ගත නොහැකි බව දැන් අපි පසක්‌ කරගෙන ඇත්තෙමු.

දිවයින ඉරිදා සංග්‍රහය, 2011/09/11/

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s