ජනතා විමුක්ති පෙරමුණේ වාම කණ්ඩායම මහජන තලයේ දේශපාලනයට කැඳවිය යුතුයි
ජනතා විමුක්ති පෙරමුණ තුළ වාම කණ්ඩායමක් යලිත් මතුව ඒම පෙන්නුම් කරන්නේ, දේශපාලනයෙහි නිරත වීමෙහි ලා තරුණ තරුණියන් තුළ ඇති බලවත් අවශ්‍යතාව, මහජන පරිමණ්ඩලයේ පෙනී සිට, බැබළී තම විශිෂ්ටත්වය ලොවට පෙන්නුම් කිරීමට ඔවුන් තුළ ඇති අවශ්‍යතාව කුමන දුෂ්කර තත්වයන් තුළ පවා යටපත් නොවන බවයි.
මෙම වාම කණ්ඩායම ඔවුන් නවලිබරල්වාදය පිළිබඳ විවේචනයක් ගොඩනැංවීම සහ සමාජවාදය පතා කටයුතු කරන බව පැවසීමත් සියලු ජනවර්ගයන්ට සාධාරණත්වය ඉටුවන සේ ලංකාවේ දේශපාලන ව්‍යුහය සකස්විය යුතුයැයි කියා සිටීම ත් අප විසින් සැළකිය යුත්තේ සාධනීය දෙයක් ලෙසිනි.
ලාංකේය ජනතාව නව ලිබරල්වාද ප්‍රතික්ෂේපකොට ඇතැයි මහින්ද චින්තන ඉදිරි දැක්ම ප්‍රකාශනයේ සඳහන් වෙයි. ඉතින් මෙය තහවුරු කරන්නට තරුණයන් ඉදිරිපත්වීම මහින්ද චින්තනය අනු දකින්නන් විසින් ද අගය කළ යුතු නොවේද?
සමාජවාදය පිළිබඳ අදහස ලංකාවේ මුල් බැස ගත්තකි. ජාතික චින්තනයේ නිර්මාතෘ ගුණදාස අමරසේකරයෝත් ලංකාව බෞද්ධ දැක්මෙන් සමාජවාදී චින්තනය උරුම කොට ගත් රටකැයි කියති. මෙය, බටහිරින් ආ සමාජවාදය මෙරට මුල් බැස ගන්නට හේතුවක් විනැයි යන අමරසේකරයන්ගේ අදහසෙහි සත්‍යයක් ඇතියි සිතිය හැකිය. ඉතින් සමාජවාදය පිළිබඳ අපේක්ෂාව මෙරටින් තුරන් වූවා යැයි සිතා සිටි ඇතැමෙකු ජනතා විමුක්ති පෙරමුණේ ඇතිවී තිබෙන කලබලයෙන් කලබල වීම තේරුම් ගත හැකිය. අපේ දේශපාලනයේ වාම සම්ප්‍රදායට මාක්ස්වාදී සහ ට්‍රොට්ස්කිවාදී පක්ෂ පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද අයිති වෙයි. බොහෝ විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවල හවුල් කරුවන් වාමාංශික පක්ෂ වීමෙන් මේ බව පෙනෙයි.
සියලු ජනවර්ගයන්ට සාධාරණත්වය ඉටුවන සේ දේශපාලන බලය බෙදාහැරීමද වත්මන් රජය පවා පිලිගත් ප්‍රතිපත්තියකි. දහතුන් වැනි සංශෝධනයෙන් එහාට බලය බෙදිය යුතුයැයි ජනාධිපතිවරයාමත් වරින් වර ප්‍රකාශ කොට තිබේ. ඉතින් එම අදහස් බැරෑරුම්ව භාර ගැනීම ගැන අප තරුණයන්ට දොස් කීම සාධාරණද?
සාධාරණය, යුක්තිය, සමානාත්මතාව වෙනුවෙන් පෙනී සිටීමට මෙම තරුණයන් තුළ ඇති අභිලාෂය පෙන්නුම් කරන්නේ අප සමාජය විසින් ඔවුන් තුළ පැළ පදියම් කොට ඇති මානවීය ගුණාංගයන් ය. මෙබඳු කලෙක එබඳු තරුණ තරුණයන් පිරිසක් අප සමාජයේ තව දුරටත් ඉතිරිව සිටීම අප සමාජයේ අනාගතය පිළිබඳ කිසියම් සාධනීය බලාපොරොත්තුවක් අප තුළ දනවයි. පොදු යහපත ඉලක්ක කොට තම උරුමයෙන් වඩාගත් දේශපාලන අදහස් වෙනුවෙන් ක්‍රියා කරන්නට ඔවුන් දක්වා ඇති කැපවීම පෙන්නුම් කරන්නේ ඔවුන්ගේ ධෛර්යය සම්පන්න භාවයයි, නිර්භීත කමයි. මෙම ගුණාංග තව තවත් වගා කරගන්නට අප තරුණයන් දිරිගැන්විය යුතු නොවේද?
තම පක්ෂයේ නායකත්වයට අභියෝග කිරීමේදී මෙම තරුණ පිරිස ක්‍රියා කොට ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ තවත් එක් බූර්ෂුවා දේශපාලන පක්ෂයක් බවට පිරිහීමට එරෙහිවය. ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන ගැමි සහ නාගරික පහළ පංතීන්ගේ දේශපාලන අපේක්ෂාවන් තව දුරටත් නියෝජනය කරමින් පක්ෂයේ ජන පදනම රැකගන්නට නම් පක්ෂය බූර්ෂුවාකරණයෙන් මුදා ගැන්ම අවශ්‍ය වෙයි.
ජනතා විමුක්ති පෙරමුණේ වාම කණ්ඩායම තම පක්ෂයේ සම්ප්‍රදායික නායකත්වයට අභියෝග කිරීමේදී ඔවුන්ට තමන්ට එරෙහිව නීතිය උසිගන්වන්නට ඉඩ ලැබෙන පරිද්දෙන් කටයුතු කිරීම වාම කණ්ඩායමට අවාසි සහගත තත්වයක් නිර්මාණය කොට තිබේ. නමුත් එසේ නොමැති වුවත් ජනතා විමුක්ති පෙරමුණේ සම්ප්‍රදායික නායකත්වය තම බලය රැක ගැනීම සඳහා වාම කණඩායමට එරෙහිව රජයේ මර්ධනය කැඳවන්නට යොමුවී ඇතැයි සිතන්නට හේතු තිබේ. ඉන් පෙන්නුම් කෙරෙන්නේ සම්ප්‍රදායික නායකත්වයේ දේශපාලන පිරිහීමයි, ඔවුනට තවදුරටත් සැබෑ වාමාංශික මතවාදයක් නොමැති බවයි. ඔවුන් බූර්ෂුවාකරණය වී ඇතැයි යන තරුණයන් ගේ චෝදනාව සත්‍ය බවයි.
මෙම අවස්ථාවේ රජයේ ජන මාධ්‍යයන් හැසිරෙන ආකාරයෙනුත්, රජයේ නීතියේ හස්තය ක්‍රියාකරන ආකාරයෙනුත් පෙන්නුම් කරන්නේ, රජය ජනතා විමුක්ති පෙරමුණේ වාම කණ්ඩායම තමන්ට බලවත් තර්ජනයක් සේ සළකා මර්ධනය කරන්නට සූදානම්වන බවයි.
නමුත්, අප සිතන පරිදි, පොදුවේ රට පැත්තෙන් ලෙන බලන කල, නැණවත් ක්‍රියාව වන්නේ මෙම වාම කණ්ඩායමේ තරුණ තරුණියන්ට සමාජයේ එළි පිටට පැමිණ දේශපාලන කටයුතුවල නියැලෙන්නට ඔවුනට අවකාශ සළසා දීමයි. මන්ද යත්, දේශපාලනය කිරීම සෑම සමාජ පංතියකම, විශේෂයෙන්ම අපේ වැනි සමාජ වල පහළ සමාජ පංති වලින් එන තරුණ තරුණියන්ගේ බරපතළ ජීවන අවශ්‍යතාවක් වන හෙයිනි. ධනහිමි පංතීන්ගේ දූ දරුවන්ට පමණක් නොව ධන අහිමි පංතීන්ගේ දූ දරුවන්ටද මහජන පරිමණ්ඩලයේ පෙනී සිටීමේ අවකාශ තිබිය යුත්තේය. ඔවුන් කැරලි ගසන්නේ එම අවකාශයට ප්‍රවිශ්ඨ වීමට ඉඩකඩ සමාජයෙන් තමනට අහුරා ඇති විටය. මෙම අවකාශය ඔවුනට සළසා දුන් විට පමණි, තමනුත් ලෝකයත් දෙකම විනාශ නොකෙරෙන පරිද්දෙන්, ලෝකය වෙනස් කිරීමේ, ලෝකය අලුත් කිරීමේ කටයුත්තට ඔවුනට හවුල් විය හැක්කේ. අදත් සමාජයේ සක්‍රීයව සිටින 1971 කැරැල්ලේ නායකයන් වැඩි දෙනෙකු අද සිටින්නේ කුමන සමාජීය අවකාශයන්, කුමන තරාතිරම් වලදැයි විමසා බැලීමෙන් මා කියන දෙයෙහි සැබෑව දත හැකිය.
– කුමුදු
– 03.10.2011