යහපත් නගරය ප්‍රජාතන්ත්‍රවාදය, විවිධත්වය සහ දුප්පතුන්ගේ අයිතීන් සුරකියි

‘කොළඹ නගර සංවර්ධන විවාදය‘
යහපත් නගරය ප්‍රජාතන්ත්‍රවාදය, විවිධත්වය සහ දුප්පතුන්ගේ අයිතීන් සුරකියි
අප හිතවත් වික්ටර් අයිවන් ‘කොළඹ නගර සංවර්ධන විවාදය‘(රාවය, 2011 ඔක්තෝබර් 9) මැයෙන් ලියූ ලිපිය සාකච්ඡාවකට වැදගත් කරුණු මතු කරයි. මෙම ලිපියේ අරමුණ එවැනි සාකච්ඡාවක් සඳහා වෙනත් දැක්මකින් කරුණු ඉදිරිපත් කිරීම මිස මේ පිළිබඳ වික්ටර් අයිවන් සමග විවාදයකට එළඹීම නොවේ.

මෙහි ලා මා අවධාරණය කරන්නට කැමති අදහස නම් නගර සංවර්ධනයේදී වැදගත්ම කරුණ වන්නේ සංවර්ධනය සිදුවිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ජන දිවියේ විවිධත්වය සුරැකෙන අයුරිනි, යන්නයි. ප්‍රජාතන්ත්‍රවාදය යටතේ නූතන නගරයේ හරය ඇත්තේ එහි පුරවැසියනට තම සාමුහික ජීවිතය, ප්‍රජාතන්ත්‍රවාදී පදනමක් මත, සහ නගරයේ සංස්කෘතික, සමාජීය, දේශපාලන සහ ආර්ථික විවිධත්වය රැකගෙන පවත්වා ගෙන යාමට හැකි වන අයුරින්, ගෙනයාමට හැකිවීම තුළ වන බැවිනි.

කොළඹ නගර සංවර්ධන වැඩසටහන ගෝඨාභය රාජපක්ෂගේ යැයි වික්ටර් අයිවන් කියන විටම වත්මන් නගර සංවර්ධන වැඩ පිළිවෙළට අදාල පුද්ගල සාධකය අවධාරණය කෙරේ.

පුද්ගල සාධකය සහ පුරවැසි අයිතීන්

පුද්ගල සාධකය මුල්කරගෙන දියත් කෙරෙන නාගරික සංවර්ධන වැඩපිළිවෙලවල් අමතක කරන වැදගත්ම කරුණ නම් නගර සංවර්ධන වැඩසටහන් පුරවැසියන්ගේ විය යුතු බවයි. අමෙරිකාව වැනි ප්‍රජාතන්ත්‍රවාදය මුල්කරගත් දියුණු ධනපති රටවල නාගරික සංවර්ධන වැඩ පිළිවෙළවල සාමාන්‍යයෙන් ගත් කළ හැම සුලු පියවරකදීම පුරවැසියන්ට දැනුම් දීම සහ ඔවුන් සහභාගීකර ගැනීම වැදගත් කොට සළකන්නේ නගරයේ ජීවය රඳා ඇත්තේ පුරවැසි ප්‍රජාතන්ත්‍රවාදය මත යැයි ඔවුන් විශ්වාස කරන හෙයිනි. නමුත් අපේ නගර සංවර්ධනය නිලධාරීන් විසින් පුරවැසියන් මත පැනවෙනු ලබන්නක් මිස පුරවැසියන් ගේ අනු දැනුමෙන් ඇතිවන සංවර්ධනයක් නොවේ.

ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා හමුදා දෘෂ්ටි කෝණයකින් දේවල් බලන ආකල්පයෙන් අත්මිදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී දෘෂ්ටි කෝණයකින් දේවල් බලන තැනකට මාරුවිය යුතු යැයි වික්ටර්‍ අයිවන් කරන යෝජනාවෙන් අපගේ ඉහත අදහස සනාථ කෙරෙයි.

මීට පෙර නගරය සංවර්ධනය කරන්නට මෙලෙස ඉදිරිපත් වූවන් අතර ඇමති මංගල සමරවීර කැපී පෙණුනු බව වික්ටර් අයිවන් සදහන් කරයි. මංගල සමරවීරලා ගේ පාලනය යටතේ එක් අතකින් අමාත්‍ය ආරක්ෂක අංශයේ නිලධාරීන් රතුකුරුස හන්දියේදී ජන මාධ්‍ය වේදීන්ට පොලු පහර දී කැමරා උදුරා ගනිද්දී අනිත් අතින් ගාලු මුවදොර පිටිය වටා කොන්ක්‍රීට් වාටි එලමින්, ගාලු මුවදොර ‘කථිකයන්ගේ මුල්ල‘ක් හැදුවේ පුරවැසියන්ගේ අදහස් විමසමින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරකින්නට නොව තම ස්වයං විභූතිය සඳහා බව පැහැදිළිය.

නගර සංවර්ධනය පිළිබඳ ‘බැලූ බැල්මට පෙනෙන්නේ‘ යැයි වික්ටර් අයිවන් සඳහන් කරන සමහර කරුණු මඳක් සියුම්ව විමසා බැලූ කල ගොඩ නැඟෙන චිත්‍රය වෙනස් විය හැකිය.

පිරිසිදුකම

කොළඹ නගරයේ පිරිසිදු කම පවත්වා ගෙන ගොස් ඇත්තේ පොලීසිය ඊට මැදිහත් වීමෙන් බවත් පසු පොලීසිය එම කටයුත්තෙන් ඉවත් වන බව මෙවර කොළඹ මහ නගර සභා ඡන්දයෙන් විපක්ෂය ජයග්‍රහණය කළ පසු රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටියේ ය. මේ වන විට එසේ කී පරිදිම පොලීසිය එම කටයුත්තෙන් ඉවත් කොට ගෙන ඇත. මෙයින් පෙනෙන්නේ නගරයේ පිරිසිදු කම පවත්වාගෙන යාම නගර සංවර්ධනයේ අංගයක් ලෙස නොව පොලිස් බලයෙන් කළ දෙයක් බවයි. නගරයක සැබෑ සංවර්ධනය සිවිල් මට්ටමෙන් පවත්වා ගෙන යන්නක් විය යුතුය. “ පිරිසිදුකම මහජනයා බියගැන්වීමෙන් නොව මහජනයාට කරුණු තේරුම් කරදීමෙන්“ “ජයගත යුතුව තිබෙන ඉලක්කයකි“ යි වික්ටර් අයිවන් කීමෙන් මේ අදහස සනාථ වෙයි. අනෙක් අතට විපක්ෂයට නගර සභාවේ දේශපාලන බලය ලැබුණු පසු පොලීසිය එම කටයුත්තෙන් ඉවත්කර ගැනීම එම කටයුත්ත කිරීමෙහි තිබුණු සද්භාවය පිළිබඳ ගැටලුවක් ද මතු කරයි.

මාර්ග තදබදය

මාර්ග තදබදයද ලිහිල් වී ඇත්තේ කෙලෙසින්ද? කොහිද? යන්න පිළිබඳ නිගමනයක් ඒ ගැන කෙරෙන අධ්‍යනයකින් පසු එළඹිය යුතුය. පාරවල් පළල් කිරීම මාර්ග තදබදයට පිළියමක් නොවන බවත් පළල් කෙරෙන පාරවල තැන ගන්නට තව තවත් වාහන පාරට එන බවත් ප්‍රවාහන ක්ෂේත්‍රයේ පිළිගැණුනු මතයකි. කොළඹ නගරයේ මෑත කාලීන ප්‍රවාහන ප්‍රතිසංවිධානයේ ඇති විවිධ බරපතළ ගැටලු, විශේෂයෙන් ඒවායේ දක්නට ඇති ජන හිතකාමී නොවන ස්වභාවය පිළිබඳ සාකච්ඡාවක් ජන මාධ්‍ය හරහා ගොඩ නැගී තිබේ. (මේ සඳහා හොඳම උදාහරණයක් නම් මොරටු සරසවියේ ප්‍රවාහන කළමණාකරණය පිළිබඳ මහාචාර්ය අමල් කුමාරගේ Sunday Times පුවත් පතට මෑත කාලයේදී ලියමින් සිටින ලිපි පෙළයි.) මෙම සාකච්ඡාවලට අනුව මෙම ප්‍රවාහන ප්‍රතිසංවිධාන පියවර පයින් ගමන් කරන්නන් ද, බස් රථවලින් ගමන් කරන්නන් ද, අබල දුබලයන්ද නොසළකා වාහනයෙන් යන්නන්ගේ පහසුවම ඉලක්ක කොට ගෙන තිබේ. එමෙන්ම එක පැත්තකට යන පාර දුර පුමාණය වැඩි කිරීමෙන් වාහනයකට පවා ගමනක් යෑමට ගතවන කාලයත්, ඉන්ධන වියදමත් බෙහෙවින් වැඩිකොට තිබේ.

නගර අලංකරණය

කොළඹ නගරය ක‍්‍රමයෙන් අලංකාර නගරයක් බවට පරිවර්තනය වෙමින් තිබෙන්නේ නගරයේ ප්‍රභූන් සහ ධනවතුන් වසන ප්‍රදේශ මුල්කොටගෙන, අතිවිශාල බදු මුදලක් වැය කෙරෙන පාර්ශ්වික සංවර්ධනයක් මගින් බවද පෙනෙන්නට තිබේ. කොළඹ නගරයේ තෝරාගත් කොටස් අලංකරණය කිරීම අලුතින් බිහිව එන ප්‍රභූ පැළැන්තියක පහසුව සහ විවේක සුවය සඳහා කෙරෙන්නක් යැයි විවේචනයක් තිබේ. මෙම අසමාන සංවර්ධනයෙදී නොසළකා හැරෙන, අලංකරණය කෙසේ වෙතත් තිබිය යුතු අවම නාගරික පහසුකම්වත් නිසිලෙස නඩත්තු නොකෙරෙන ප්‍රදේශ නගරයේ බහුලය.

බැලූ බැල්මට දෙනෙත පිනවන නගර අලංකරණයේ සැබෑ යථාව වන්නේ මෙම වැඩ පිළිවෙළ එක් තනි හස්තයක අණ සක පනවන ආධිපත්‍යයක් පෙන්නුම් කරණ බවයි. මෙය නගර සභාවේ බදු මුදල් මෙලෙස එක පාර්ශ්වයකට බරව වියදම් කිරීමෙහි ලා තීරණ ගැනීමෙහිද, නගරයේ ඇති රජයේ සහ පෞද්ගලික අංශයේ විවිධ ආයතනවල ස්වාධීනත්වය නොසළකා එවා මත අලංකරණය සඳහා වන, උදාහරණයක් වශයෙන් තාප්ප බිඳ දැමීමේ, ක්‍රියා මාර්ග පැනවීමෙහි ද දැකිය හැකිය. ජාතික පුස්තකාල ගොඩනැගිලි සංකීර්ණය වටා ඇති තාප්ප බිඳ දැමීමේදී එම පරිශ්‍රයන්හි ඇති වස්තූන්ගේ ආරක්ෂාව පිළිබඳ කරුණු ඇසුරෙන් ඊට විරෝධය මතුවිණි. කොළඹ කෞතුගාරයේ තාප්පය බිම හෙලීමේ “අලංකරණ“ යෝජනාවට මතුවී ඇති විරෝධයෙන් පෙනෙන්නේ “පෞරාණික වැදගත්කමක් ඇති ගොඩනැගිලි ඒවාහි පැරණි පෙනුම ආරක්ෂා කැරෙන ආකාරයට ප‍්‍රතිසංස්කරණය“ කැරෙනවා වෙනුවට මුල් තැන ලැබෙන්නේ ඇසට පෙනෙන “අලංකරණය“ට බවයි. එක් එක් රජයේ හෝ පෞද්ගලික අංශයේ ආයතනයට තමන්ගේ පරිශ්‍රයන් අලංකරණය පිළිබඳ තීරණ ගැනීමට ඇති අයිතිය මෙම ඒකාධිපති තීන්දුවලින් අහිමි කෙරෙයි. සුන්දරත්වය පිළිබඳ එක් තනි මතයක් මෙලෙස සූත්‍රයක් සේ මුලු නගරය මත පනවන්නට යාමෙහිදී නගරයට අහිමි වන්නේ එහි වඩාත්ම වැදගත් අංගය වන විවිධත්වය යි.

පදික වේදිකාවල සිටි වෙළෙඳුන් දැන් අන් තැනෙක සතුටින් වෙළෙඳාම් කරමින් සිටින්නේය යන්න අර්ධ සත්‍යයක් බව දැනගන්නට තිබේ. පදික වේදිකාවල සිටි වෙළෙඳුන් යළි ස්ථානගත කිරීමේදී මුල් පදික වෙළෙඳුන් පිරිසක් ඉවතට වීසිවී අලුත් පිරිසකට නව අවස්ථා ලැබුණු බවත්, කලින් සිටි වෙළෙඳුන් ඉවත් කෙරුණු ඇතැම් තැන් වල දැන් ‘ඩීමෝ බට්ටන්‘ රඳවා වෙළෙඳාම් කරන අලුත් පිරිසක් සිටින බවත් මේ වාසි ලබන අලුත් පිරිස් රජයේ පක්ෂයේ හිතවතුන් බවත් මෙහිදී අසාධාරණයක් සිදුවූ වෙළෙදුන් කියා සිටින බවත් දැනගන්නට තිබේ.

සමස්තය සහ කොටස

ඉහත කරුණු පමණක් ගෙන සළකා බැලුවද මෙම නගර සංවර්ධන වැඩ සටහන ‘මුළු කොළඹ නගරය හා ඒ අවට ප‍්‍රදේශ මුළු එකක් වශයෙන් ගෙන ලොකු වෙනසක් ඇති කරමින් තිබෙන බව‘ අපට කිව නොහැකි යයි සිතමි. නාගරික සංවර්ධන අධිකාරියට බොහෝ කලක සිට මහා සැළසුම් ඇති බව පෙනෙයි. ගැටලුව වන්නේ ඒවා කොතෙක් දුරට නගරයේ වසන සියලු පුරවැසි කණ්ඩායම්වල යහපත ඉලක්ක කොට ගත් ඒවාද යන්නයි.

‘මුළු කොළඹ නගරය හා ඒ අවට ප‍්‍රදේශ මුළු එකක් වශයෙන් ගෙන ලොකු වෙනසක් ඇති කරන්නට ගන්නා උත්සාහය’ අගය කිරීමෙන් අප පෙන්වන්නේ එබඳු ලොකු වෙනසකට අපේ ඇති ඇල්මයි. ලොකු වෙනස පුරවැසි සමූහයාගේ විවිධ කොටස් වල ජීවිතය මත කුමන බලපෑමක් ඇතිකරනු ඇත්ද යන්න මෙහිලා අපට වැදගත් නොවන්නේද? ‘සංවර්ධන වැඩසටහන මුළු එකක් වශයෙන්‘ ගෙන ඇගයුමට ලක්කරන්නට නම් එය නගරයේ සියලු පුරවැසියන්ට තනි තනිව සහ සමූහ වශයෙන් බලපාන ආකාරය විග්‍රහ කිරීම මත පදනම් විය යුතුය. සමස්තය වෙනස් වීම පිළිබඳ අපේ ඇල්ම පෙන්නුම් කරන්නේ, ටිකින් ටික වෙනස් වීම පිළිබඳ අපේ නොඉවසීමයි. සමාජයක් ටිකින් ටික වෙනස්වීම ජනයා අතරින් වෙනස සිදුවන ආකාරයයි. අප නගරයේ අලුත් අලංකාරය අගය කරන විට ඉන් නොකියවෙන දෙය නම් ඒ වෙනුවෙන් අප කැප කරන්නේ මොනවාද යන්නයි. ක‍්‍රමවත් බව වර්ධනය කිරීම අගය කිරීම පෙන්නුම් කරන්නනේ අක්‍රමවත්ව පවතින දෙය ක‍්‍රමවත් කිරීමේ අභිලාෂයයි. යමක් අක්‍රමවත්ව පැවතීමම ගැටලුවක් ව්න්නේ මන්ද?

පැල්පත්වාසීන් නිවාස වලින් ඉවත් කිරීම

වික්ටර් අයිවන් කියන්නේ ගෝඨාභය රාජපක්ෂගේ කොළඹ නගරයේ පැල්පත්වාසීන් තම නිවාසවලින් ඉවත් කැරෙන වැඩපිළිවෙළ පිළිබඳ කාරණයේදී ඔහු හරි බවය. වික්ටර් අයිවන් ගේ තර්කය කොළඹ නගරයේ සේවා අඩුවෙන් සැපයෙන ජනාවාස (‘Under served settlements’) අතර පැල්පත් හෝ මුඩුක්කු ලෙස හඳුනා ගැනෙන අඩු ආදායම් ලාභීන්ගේ නිවාස වල අධික තද බදයක් පවතින හෙයින් ඒවායේ වසන දුප්පත් මිනිසුන්ගේ ජීවිතය කිසිසේත්ම යහපත් නොවන හෙයින් ඔවුන්ගේත් නගරයේත් යහපත සලකා ඔවුන් තමන් ජීවත් වන පැල්පත්වලින් ඉවත් කළ යුතු බවයි.

මෙම අඩු ආදායම්ලාභීන් අතර බරපතල සෞඛ්‍ය ගැටලු හෝ සමාජීය අවුල් ඇතැයි වාර්තා වී නොමැති වුවත් ඔවුන්ගේ ජීවිතය යහපත් නැතැයි වික්ටර් අයිවන් කියන්නේ එබඳු තදබදයක් ඇති නිවාස වල ජීවත්වීමෙන් ඇතිවිය හැකි සමාජීය බලපෑම් අයහපත් විය හැකි යැයි සිතා විය යුතුය. ඉතින් නගර සංවර්ධනයේ අරමුණ මෙම ජනයාට වඩා යහපත් නිවාස හිමි කරදීම තුළින් මෙම අහිතකර සමාජීය තත්වයෙන් මිදීමට ඔවුනට උදව්වීම නම් එය අගය කළ යුතුය. එහෙත් ඊට තිබෙන විසඳුම තට්ටු නිවාස බවට සැකයක් තිබිය නොහැකියැයි නිශ්චය කරන්නට පෙර ඊට තිබිය හැකි වෙනත් විසඳුම් පිළිබඳ අප සළකා බැලිය යුතු නොවේද?

“කොළඹ නගරයේ තිබුණු අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සිදු වූ ස්වරූපය වික්ටර් අයිවන් කියන ආකාරයේ හුදු “රළු ගොරෝසු ස්වරූපයකින්“ සිදුවූවකට, වැඩි දෙයකි. එය කවදා හෝ කවුරුන් විසින් හෝ, විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත් ජනහිතකාමී පොරොන්දු දුන් රජයක් විසින් කළ යුතුව තිබුණු දෙයක්දැයි අප විමසා බැලිය යුතුය. හැමදාමත් ඒ ගැන හරි තීරණයක් නොගෙන සිටීමට විසඳුමක් වශයෙන් මෙම ජනයා පරම්පරා ගණනාවක් පදිංචිව හිටි නිවාස සහ දේපළ වලින් එලියට ඇද දැමීම ජාත්‍යන්තරව අප බැඳී සිටින නීති වලට සහ රටේ බලපවත්නා නීතියටම වුවත් අනුකූලදැයි අප විමසා බැලිය යුතුය.

මෙසේ තමන් පදිංචිව සිටි නිවෙස් සහ දේපොළ වලින් හිටි අඩියේ විතැන් කර දැමූ මිනිසුන්ගේ ජීවිත වල ස්වභාවය පිළිබඳ අදහසක් ෂානි ජයවර්ධන සහ ටාරිකා වික්‍රමරත්න නිරමාණය කළ Walkabout: Salve Island නමැති ඡායාරූප චලන එකතුව බැලීමෙන් අපට ඇති කර ගත හැකිය ( http://www.movingimages.asia/category/videos/walkabout/ ). එයින් අපට දැකිය හැකි වන්නේ මෙම ජනයා, මිනිසුන්, ගැහැණුන්, තරුණ තරුණියන්, නව යෞවන යෞවනියන්, දරු දැරියන් හැම ආකාරයකින්ම පාහේ සමාජයේ අනෙකුත් ජනයා හා සමාන, මහත් වැර වෑයමෙන් ගොඩ නඟා ගත්, සරුසාර සමාජීය ජීවිත ඇති, ජීවිතයට ඇලුම් කරන, සක්‍රීය, සජීවී මානවයන් බවයි. ඔවුන් වැනි අය තමන් අයිති පාරම්පරික ප්‍රජාවන්ගෙන්, භෞතික, සමාජීය, සංස්කෘතික සහ දේශපාලන පරිසරයන්ගෙන් උදුරා දැමීම ඔවුන්ගේ ජීවිත වලට කටුක ලෙස බලනොපානු ඇත්ද?

නීතියේ සාධාරණය

හිටපු ආරක්ෂක ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු (බලන්න, Developing the ‘Under served settlements’ in Colombo: An Open Letter’ http://groundviews.org/2011/10/08/developing-the-under-served-settlements-in-colombo-an-open-letter/ ) පෙන්වා දුන් පරිදි නගරයක, රටක වසන පුරවැසියන් තමන් පදිංචි වාසස්ථාන වලින් හිතුමතේ ඉවත් නොකිරීම සහතික කෙරෙන ජාත්‍යන්තර මානව අයිතිවාසිකම්, සරණාගත සහ මානවවාදී නීති පවතියි. කුමන හෝ හේතු නිසා එසේ වන විටෙක විතැන් වූ සියලු ජනයාට ස්වාධීන, අපක්ෂපාතී අධිකරණයක තීන්දුව පරිදි සාධාරණය ඉටුවිය යුතුය. කිසිදු හේතුවක් මත වෙනස් කම් නොකළ යුතුය. බලහත්කාරයෙන් නිවාස වලින් එළයට දැමීම, නිවාස කඩා බිඳ දැමීම, දඬුවම් ලෙස ඉඩම් විනාශ කිරීම සහ හිතුමතේ අයිති කරගැනීමට එරෙහිව ඇති අයිතිය, තම පදිංචිය තෝරා ගැනීමට ඇති අයිතිය සහ පදිංචි ස්ථානය සීමා කිරීමට යටත් නොවීමට ඇති අයිතිය මෙම නීති වලින් සහතික කෙරෙයි. ප්‍රතිෂ්ඨාපනය, විතැන් වීමට සහන සැළසීමේ මූලධර්මයයි. විතැන් වූ ජනයාට ප්‍රතිෂ්ඨාපනය තථ්‍යමය වශයෙන් නොහැකි වන විට පමණක් පූර්ණ සහ සඵලදායී ලෙස වන්දි ගෙවීම සිදු කළ යුතුවෙයි.

තිසරණී ගුණසේකර, වරෙක පැහැදිළි කළ පරිදි (බලන්න, The Octopus And Its Tentacles, Sunday Leader, 2011 / 10/ 02) පහත වීඩියෝ පටය අනාවරණය කරන්නේ “ 2010 මැයි මස තම නිවාස වලින් ඉවත් කරන ලැබූ (කොළඹ, කොම්පඤ්ඤවීදියේ) මිව්ස් වීදියේ වැසියනට නීතිමය අයිතිය තිබුණූ නමුත් ඔවුන්ගේ නිවාස/ කුඩා වෙළෙඳ ව්‍යාපාර උතුරේ සහ නැගෙනහිර සිවිල් දෙමළ වැසියන් නුපුරුදු යැයි දකිනු ඇතිව නොතිබුණු ක්‍රෑර බවකින් යුතුව කඩා බිඳ දමන ලද “ බවයි (http://www.youtube.com/user/yatvwebcast?blend=2&ob=5#p/u/0/86eyCKs8Xms) .

එම වීඩියෝ පටයේ දැකිවෙන පරිදි මෙලෙස තම නිවෙස අහිමි වූ එක් 64 හැවිරිදි කාන්තාවක් තම මුලු ජීවිතයම ගෙවා ඇත්තේ දැන් මෙලෙස ඇයට අහිමි කරන ලද නිවෙසේ ය. මෙම විතැන් කිරීම “ රාජ්‍ය ආරක්ෂක ලේකම් ගේ නමින් පසු කලෙක නිකුත් කෙරුණු “ තමන්ගේ ගොඩනැගිලි සහ ව්‍යුහයන් සඳහා නීත්‍යානුකූල ලිපිලේඛන තමන් සතුව ඇති කිසිදු ගෘහයකට හෝ වෙළඳ ව්‍යාපාරයකට හානියක් නොවනු ඇත“(ඩේලි නිව්ස් – 27.9.2011) යන ප්‍රකාශය සමග නොගැලපීම, මෙම වැසියනට වාසියක් වී නොමැත.

වත්මන් නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කොළඹ දුප්පතුන්ට සළකනු ලැබ ඇති ඉහත ආකාරය ‘ධනපති ක්‍රමය ඉටුකරමින් තිබෙන ප්‍රගතිශීලී කාර්යභාරයක් ලෙස‘ අප හඳුනා ගන්නේ කුමන පදනමක් මතදැයි පැහැදිලි නැත. වත්මන් රජය ජනතාවාදී සංවර්ධන ප්‍රතිපත්ති ඉවත ලා නව ලිබරල් මාවතේ යන ප්‍රධාන ව්‍යාපෘතියක් වනු ඇත්තේ දුගී ජනයා තම පාරම්පරික වාසස්ථාන වලින් විතැන් කිරීමේ මෙම වැඩ පිළිවෙළයි.

අන් අයට ඔවුන්ගෙන් කරදරයක් නොවේ නම් තමන්ගේ නිවාස වල ජීවත්වන්නට ඉඩ නොහැරීමට අන් කිසිවෙකුට අයිතියක් ඇද්ද? ඔවුනට එසේ ඉඩ ඉන්නට ඉඩ නොහැරීම ‘යහපත් ඉදිරිගාමී කල්පනාවක්‘ වන්නේ කුමන අර්ථයෙන්ද? ඉතින්, මෙම “යහපත් වෙනස“ කාගේ ඇඟට දැනෙන්නක්ද? මැද පංතියේ බූර්ෂුවා ඇඟට දැනෙන්නක් ද? නමුත් තම පාරම්පරික වාසස්ථානයන්ගෙන් විතැන් කෙරුණු ජනයාට, දූ දරුවන්ට එය දැණෙනු ඇත්තේ කොතරම් කටුක ලෙසින් ද? ඒ අනුව මෙය ඉදිරිගාමී කල්පනාවක් වන්නේ කාගේ දැක්මෙන් ද? අපට අවශ්‍ය වන්නේ ‘මොන හේතුවක් නිසා හෝ‘ ඇතිකරගත හැකි සංවර්ධනයක් ද? එසේ පිළිගතහොත් ඉන් කියැවෙන්නේ මෙතෙක් කල් ලාංකේය සමාජය අගය කළ සමාජ සාධාරණත්වය, ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස වැනි හරයන් පවා සංවර්ධනය වෙනුවෙන් කැප කරන්නට අප සූදානම් බවද?


නූතනත්වය සහ අප

මගේ යෝජනාව වික්ටර් අයිවන් කියා සිටින පරිදි අප මෙම වර්ධනයන් ගේ පැත්ත ගන්නා විට අප පළකරන්නේ නවීන දේ, ප්‍රගතිය, ඉතිහාසයේ ගමන කෙටියෙන් කියතොත් නූතනත්වය පිළිබඳ අප තුළ ඇති විශ්වාසය බවයි, හේතුවාදයට අනුව මානව ලෝකයේ සියලු දේ අප රිසිසේ ප්‍රතිසංවිධානය කිරීමට අපට හැකිය, එසේ කිරීමට අපට අයිතියක් තිබේ, යන විශ්වාසය බවයි. ඊට විරුද්ධත්වය පළ කිරීම සංවර්ධනයට, ප්‍රගතියට, අලුත් කිරීම ට, ප්‍රතිසංස්කරණයට ම එරෙහි ගතානුගතිකත්වය ලෙස ගැණෙයි. නමුත් මෙසේ නූතනත්වය වෙනුවෙන් පෙනී සිටීමේදී, අප මුඩුක්කු වැසියනට සළකන ආකාරයෙන් ඔවුන්ට පුරවැසියන් ලෙස, පුරවැසි අයිතිවාසිකම් ඇති අය ලෙස සැලකීමේ නූතන අගය අප විසින්ම විනාශ කිරීම අප තේරුම් ගන්නේ කෙසේද?

එහෙයින්, නගර සංවර්ධනයේදී අඩු ආදායම් ලාභී අසල්වැසි ප්‍රජාවන් සම්බන්ධයෙන් ගත යුතු එළඹුම පැහැදිළි කර ගනුවස් සහ පොදුවේ නගර සංවර්ධනය පිළිබඳ අපගේ සාකච්ඡාව සරු එකක් බවට පත්කිරීමට නම් අප ඊට පදනම් විය හැකි විග්‍රහයක් නගර සැළසුම්කරණය පිළිබඳ ජාත්‍යන්තරව පැවතී ඇති සාකච්ඡාව ඇසුරෙන් සම්පාදනය කරගත යුතු බවයි. ඒ සඳහා දහනවවැනි සියවසේ අගභාගයේ ඇරඹී විසිවැනි සියවසේ අගභාගය දක්වා ලොව නාගරික සංවර්ධනයේ අධිපති මතවාදයව පැවැති “නාගරික ප්‍රතිසංස්කරණය“ (urban renewal) ට පදනම්වන නවීකාරක සංකල්පීකරණයන් ප්‍රබලව අභියෝගයට ලක්කළ ජේන් ජේකොබ්ස් ගේ ජන හිතකාමී නගර සැළසුම්කරණ අදහස් සළකා බැලිය යුතු බව මගේ අදහසයි. එම සාකච්ඡාව ඉදිරි ලිපියකින් කරන්නට අදහස් කරමි.

ප්‍රතිචාර

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )