ශාස්තී‍්‍රය සංගීතයයි ජන සංගීතයයි පටලවා ගත යුතු ද? අනිල් මිහිරිපැන්න

ශාස්තී‍්‍රය සංගීතයයි ජන සංගීතයයි පටලවා ගත යුතු ද?
ශාස්ත්‍රපති අනිල් මිහිරිපැන්න

මෙම මාතෘකාව පිළිබඳව සාකච්ඡා කිරීමේදී බොහෝ කල්පනාකාරීව විචක්ෂණව අදහස් ප්‍රකාශ කළ යුතු බව මගේ හැඟීමයි. විශේෂයෙන් විශ්වවිද්‍යාලයීය සංගීත පාඨමාලාවන් පිළිබඳව ඇගැයීමක් ද පාඨශාලයීය සංගීතය පිළිබඳව ඇගැයීමක් ද කළ යුතුව ඇත. මේ අතර නිතර අපට ඇසෙන හර සුන් ගීත පිළිබඳව ද කතා කළ යුතුව ඇත.

බොහෝ දෙනාගේ මතය ශාස්ත්‍රීය සංගීතය භාරතයෙන් සංක්‍රමණය වූ විෂයක් නිසා එය බැහැර කළ යුතු බවය. එම නිසාම මෙයට ඉන්දියානු ශාස්ත්‍රීය සංගීතය යනුවෙන් භාවිත කරනු විටෙක දක්නට ලැබේ. එසේනම් උත්තරීතර බුදුදහම ද ඉන්දියාවෙන් ලංකාවට පැමිණි බව ඔවුන් අමතක කර ඇති බවක් පෙනේ. බුද්ධ ධර්මයට අප කිසි විටෙකත් ඉන්දියානු බුදු දහම යැයි හඳුන්වනු නොලබයි. ලෝකයේ කොයි දෙසින් පැමිණියත් අර්ථවත් දේ අර්ථවත් ය.

ශාස්ත්‍රීය සංගීතය ථාට, මේල, රාග හා තාල යන කරුණු තුළ ගැබ් වී ඇත. තවද ඉන්දියාවෙන් පැමිණි, සංස්කෘත භාෂාව ද පාළි භාෂාව ද අපේම භාෂාවන් ලෙස පිළිගන්නවා නම් ශාස්ත්‍රීය සංගීතය අපේම සංගීතයක් ලෙස පිළි නොගන්නේ මන්ද යන්න ප්‍රශ්නයකි. අප රටේ ශාස්ත්‍රීය සංගීතය ඉගෙන ගත් සියලු දෙනාම නිර්මාණය කළ ගීත නොනැසී බොහෝ කල් පවත්නා බව අප කවුරුත් දන්නා කරුණකි. එය ගායකයින් ගේ නම් වශයෙන් කිව යුතු නොවේ.

ශාස්ත්‍රීය සංගීතය හැදැරූ එම ශිල්පීන් නිර්මාණය කරන, ගයන ගීත බොහෝ කල් පවතින්නේ ඇයි දැයි අමුතුවෙන් කිව යුතු කරුණක් නොවේ. එයට ප්‍රධාන හේතුව නම් එක්තරා ශාස්ත්‍රීය මට්ටමෙන් මේ සංගීතවේදියන් ඒවා නිර්මාණය කර ඇති බවය.

උදාහරණයක් වශයෙන් අපි රැල්ලේ සංගීතය කුමක්දැයි වටහා ගනිමු. රැල්ල යනු කුමක් ද? මුහුදෙන් එන ඉතා අලංකාර වූ පෙන පිඬු රැල්ලට ගසාගෙන විත් අපගේ දෑස් සහ පාද පිසදාගෙන යති. එසේම රැල්ලට හදන ගීතත් ශ්‍රවණය කර පා සෝදාගෙන නැත්තට නැතිවී යති. මෙය සත්‍යාවබෝධයෙන් දැනගත යුතු කරුණකි. ගීතයක් නිර්මාණය කරන විට එහි පද මාලාවත් සංගීත රචනයත් ඉතා හොඳින් අධ්‍යයනය කළ යුතු බව පිළිගත් සත්‍ය කරුණකි. මේ අනුව ශාස්ත්‍රීය සංගීත ඥානයෙන් තොර නිර්මාණය කරන ගී එක්විටම ශ්‍රාවකයන්ගෙන් ගිලිහී යන බව අපි දන්නෙමු.

මින්පසු මා කතා කරන්නේ විශ්වවිද්‍යාල සංගීත පාඨමාලාව පිළිබඳවයි. මෙය ද ඉතා ප්‍රවේශමෙන්, කල්පනාකාරීව සාකච්ඡා කොට සකස් කළ යුතු පාඨමාලාවකි. මෙහිදී ද මා පවසන්නේ ශාස්ත්‍රීය සංගීතය ප්‍රධාන ව සෑම සිසුවකුට ම ඉගැන්විය යුතු බවය. එයට ජන ගී මිශ්‍ර කරගැනීම ඉතා සෝචනීය කරුණක් වන බව විභාග මණ්ඩලවලට යන අපට හැඟී යයි. ශාස්ත්‍රීය ගීයක් හෝ වාදනයක් ශාස්ත්‍රීය අයුරින් කළ යුතුව ඇත. සමහර අවස්ථාවල අසන්නට ලැබෙනුයේ ජන ගී ආරයෙන් ශාස්ත්‍රීය ගී ගයන අයුරුයි. එය සිසුවාට චෝදනා කළ යුතු කරුණක් නොවේ.

අපේ සංගීතය හෙවත් සිංහල සංගීතය ඉතාම උත්තරීතර තත්ත්වයක තිබෙන බව මුළු ලෝකයම පිළිගත් කරුණකි. මා යෝජනා කරන්නේ ශාස්ත්‍රීය සංගීතය වෙනමත්, ජන ගී වෙනමත් කොටස්වලට බෙදා ඉගැන්වීම සතුටුදායක කරුණක් වන බවයි. භාරත විශ්වවිද්‍යාලවලදීත් මෙම කරුණු දෙක එකම සිසුවාට උගන්වන්නේ නැත. ඒ ඔවුන් අපට වඩා බුද්ධිමත් විචක්ෂණශීලී ආචාර්යවරුන් වන නිසාය. සිංහල සංගීතය එක අංශයකටත් ශාස්ත්‍රීය සංගීතය තවත් අංශයකටත් බෙදා ඉගැන්වීමෙන් විපුල ප්‍රයෝජන ලබා ගැනීමට හැකි බව මගේ පර්යේෂණවලින් සනාථ වී ඇත. මෙහිදී අප අපේම යැයි කියන ජන ගී ගැමි ගී කරත්ත කවි, පාරු කවි බැහැර කළ යුතු නොවේ.

එය ඉගැන්විය යුත්තේ සාම්ප්‍රදායික නාද මාලාවකිනි. මෙම ජන ගී ශ්‍රැතියකට හෝ ස්වරාත්මකව ගැයීම නොකළ යුතු බව විද්වතුන් පවසන කරුණකි. ජන ගී ශ්‍රැතියකට ගැයිය යුතු නොවේ. කරත්ත කවි, පාරු කවි, ගැල් ගී උච්චස්වරයෙන් ගයනවා මිස ස්වර හා ශ්‍රැති භාවිතයෙන් තොරව ගැයීම ඉතා ප්‍රඥාගෝචර හා කාලෝචිත කරුණකි. නිර්ව්‍යාජ ජන ගී ගැයීමට ශ්‍රැතියක් (Pitch) භාවිතය කිසිසේත් නොකළ යුතු දෙයකි. මීළඟට විශ්වවිද්‍යාලයෙන් ශිල්පීන් බිහි නොවන්නේ කුමන හේතුවක් නිසාදැයි විමසීම අප විසින් කළ යුත්තකි. විශේෂයෙන් ඔවුන්ගේ විෂය පථයන් විශාල වීම බව පිළිගත යුතු කරුණකි.

විෂයන් දහ තුනක් දහ හතරක් අධ්‍යයනය කිරීමේදී එකම විෂයක්වත් සාධාරණ අන්දමට ස්ථාවරව ඉගෙන ගැනීම කළ නොහැකි කරුණකි. භාරතීය විශ්වවිද්‍යාලවල එයට අදාළ සිද්ධාන්තත්, ඉතිහාසයක් පමණක් ඉගෙන ගත් සංගීත වේදියෝ අද ලංකාව තුළ ජය කෙහෙලි නංවා සිටිති. කර්ණාටක සංගීතය ටිකක්, ජන ගීත ටිකක්, අපරදිග සංගීතෙයන් ටිකක්, ව්‍යවහාරික සංගීතයෙන් ටිකක් ඉගැන්වීමෙන් කිසිදු විටෙක සම්පූර්ණ සංගීතඥයකු බිහි නොවන බව පිළිගත් සත්‍යයකි. සංගීත විද්‍යාව ඉගැන්වීමේදී සංගීතයට අදාළ මේල, රාග, ථාට, ගායන ශෛලීන්, සහ සංගීතයට අදාළ කරුණු පමණක් ඉගැන්විය යුතු වේ. අනවශ්‍ය අයුරින් විද්‍යාත්මක පසුබිමක් මෙයට එක් කළ යුතු නොවේ.

භාරතයේ විසු ශ්‍රේෂ්ඨ සංගීතඥයකු වන භරතමුනිගේ නාට්‍ය ශාස්ත්‍රය ග්‍රන්ථයේ දැක්වෙන පරිදි සහ ඊට පසු ශාරංග් දේව, භාත්ඛණ්ඩ පඬිතුමා වැනි ශ්‍රේෂ්ඨයන් ලියු පොත පත අනුගමනය කළ යුතු වේ. තමන්ට අභිමත පරිදි මෙම සංගීත සිද්ධාන්ත වෙනස් කළ යුතු නොවේ. සංගීත විද්‍යාලයේ නිර්මාතෘ වූ ආචාර්ය ලයනල් එදිරිසිංහ ශූරීන්ගේ මුඛ්‍ය පරමාර්ථය වූයේ මෙහි ශාස්ත්‍රීය සංගීතය සහ එහි සිද්ධාන්ත ඉගැන්වීම පමණකි. එවකට අධ්‍යාපන අමාත්‍යාංශයේ බලයේ සිටි ඩබ්ලිව්. බී. මකුලොලුව මහතාගේ බලපෑම අනුව මෙහි ජන ගී ද ඉගැන්වීමට ඉඩකඩ ලබා ගත්තේය. මීට අමතරව ශාස්ත්‍රීය සංගීතයේ පදනමක් ඇති නෘත්‍ය ගීත ද ඉගැන්වීම සාර්ථකව කරගෙන ගියේය.

මෙහි මුඛ්‍ය පරමාර්ථය වූ ශාස්ත්‍රීය සංගීතය ඉගැන්වීම ඉතා ඉහළින් කෙරුණු අතර උසස් උගත් සංගීතවේදීන් බොහෝ දෙනෙක් බිහි වූ බව කිව යුතු වේ. ඔවුන් අද ද එම නිර්මාණයන් තුළ වැජඹෙන බව නොරහසකි. ඉන් පසු විශ්වවිද්‍යාලයක තත්ත්වයට අන්තර්ග්‍රහණය කළ අවස්ථාවේ සිට විවිධ විෂයයන් එක් කළ බව ප්‍රසිද්ධ කරුණකි. එමඟින් පෙර තිබු ශාස්ත්‍රීයමය ඉගැන්වීම් ක්‍රම ක්‍රමයෙන් පසුබෑමකට ලක්විය. විශ්වවිද්‍යාලයක් වූ විට වෙනත් විෂයන් ඇතුළත් කළ යුතු බව සත්‍යයකි. එහෙත් භාරතයේ විශ්වවිද්‍යාලවල ශාස්ත්‍රීය සංගීතයට මුල් තැන දී කටයුතු කරයි. මෙහිදී ද විය යුත්තේ එය වුවත් අනවශ්‍ය විෂයයන් කිහිපයක් එක් කිරීමෙන් ශාස්ත්‍රීය සංගීත අධ්‍යයනයට තිබු කාලය අඩු වූ බවක් නොපෙනුණි.

සංගීතය උගන්වන ආචාර්ය මණ්ඩලය ඒ සඳහා පුරුදු පුහුණු විය යුතු ය. එමඟින් මසකට වරක්වත් ගුරුවරුන්ගේ දැනුම හා හැකියාවන් දැකබලා ගැනීමට විශ්වවිද්‍යාලය තුළ ශාස්ත්‍රීය ප්‍රසංග නිරන්තරයෙන් සිසුන්ට දැක බලා ගැනීමට කටයුතු සූදානම් කළ යුතුය.

තවද ආචාර්ය මණ්ඩලය බඳවා ගැනීමේදී විශ්වවිද්‍යාලයෙන්ම බිහිවූ විද්‍යාර්ථීන්ට අවස්ථාවක් දීම පැසසිය යුතු කරුණක් වුවද භාරතයේ සිට විධිමත් ලෙස ගැඹුරින් සංගීතය ප්‍රගුණ කර පැමිණි සංගීතවේදීන්ට ද විශ්වවිද්‍යාලය තුළ දැනුම ලබා දීමට අවස්ථාවක් දීම විශ්වවිද්‍යාලය උසස් තත්ත්වයකට ගෙන ඒමට හේතු වන කරුණක් වන බව මම අදහස් කරමි. භාරතීය විශ්වවිද්‍යාලවලින් පැමිණි ශාස්ත්‍රපති උපාධිධාරීන් සාමාන්‍ය විද්‍යාලවල උගැන්වීමේ කටයුතුවල නිරත වී සිටීම කනගාටුවට කරුණකි. සම්මුඛ පරීක්ෂණයක් කර විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලයට ඔවුන් බඳවා ගත යුතු වේ.

අනෙක් කරුණ වන්නේ විභාග පරීක්ෂණ මණ්ඩලවලට විශ්වවිද්‍යාලයේ උගන්වන ආචාර්යවරුන් රහිතව පිටස්තර වෙනම ගුරුවරුන් සහිත මණ්ඩලයක් පත්කර විභාග පැවැත්වීමයි. එසේ නොමැතිව එම ආචාර්යවරුන් ම විභාගය පැවැත්වීමෙන් තමන්ගේ සිසුන්ට වැඩි ලකුණු ලබා දෙන බව කවුරුත් දන්නා කරුණකි. මෙය වෙනස් විය යුතුය. විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලයට පිටස්තරව බොහෝ ප්‍රවීණ උගත් දක්ෂ ශිල්පීන් සිටින බව අප දන්නා කරුණකි. ඔවුන්ගෙන් සැදුම්ලත් විභාග මණ්ඩලයක් සකස් කර විභාග පැවැත්වීම ඉතාමත් සුදුසු බව කියමි.

පාසල් අධ්‍යාපන විෂයන්ට අධ්‍යාපන විෂය නිර්දේශ සකස් කරන්නන්ගේ ගීත විෂය නිර්දේශයට හා ගුරු අත් පොතට යෙදීම නොකළ යුතු කරුණකි. මෙහිදී ද හය වන ශ්‍රේණියේ සිට සුළු වශයෙන් හෝ ශාස්ත්‍රීය සංගීතය හඳුන්වා දීම ඉතාම උචිත වේ. මන්ද ශාස්ත්‍රීය පදනමක් රහිත අධ්‍යාපන ක්‍රමවේදය අසාර්ථක බවයි. ජන ගී හා සරල ළමා ගී කිහිපයක් ගායනයට හා වාදනයට යොමු කිරීම ද මැනවි. නමුත් ප්‍රධාන කරුණ විය යුත්තේ ශාස්ත්‍රීය සංගීතය ළමුන්ට ඉගැන්වීමය.

මේ සඳහා නිවාඩු කාලය තුළ සංස්කරණ සම්මේලන පවත්වා ගුරුවරුන් පුහුණු කිරීමට කටයුතු සලසන්නේ නම් මැනවි. මෙම කරුණ එවකට සංගීත අධ්‍යක්ෂ ඩබ්ලිව්. ඩී. මකුලොලුව ශූරීන් විසින් ඉතා අගනා ලෙස සංවිධානය කර තිබුණු බව ස්තුති පූර්වකව සඳහන් කළ යුතු ය. මෙහිදී ද සංගීත ගුරුවරුන්ට, උපදේශකවරුන්ට බාහිරව වෙනත් සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ගෙන්වා ප්‍රායෝගිකව සහ විද්‍යාත්මකව ගුරුවරුන්ට ඉතා අගනා දෙසුම් කළ බව මා සංගීත ගුරුවරයකුව සිටියදී දුටු ප්‍රශංසනීය ක්‍රමයකි. මෙය නැවතත් අනුගමනය කළ හැකි නම් ඉතා මැනවි.

පාසල් අධ්‍යාපනයේදී ගායනා කිරීමට යොදා ඇති ගීත ම වාදනය කිරීම නොකළ යුතු කරුණකි. වාදනයට වෙනම වාදිතයන් එක් කිරීම කළ යුතුය.

අභාග්‍යයට මෙන් සංගීතය පිළිබඳ කිසිදු දැනීමක් නොමැති අධ්‍යක්ෂවරුන් පත්කර මෙය විනාශ මුඛය කරා ගමන් කිරීමට සැලැස්වීම ඉතා ශෝකජනක තත්ත්වයකි.

මා යෝජනා කරන අන්දමට සෞන්දර්ය විශ්වවිද්‍යාලය තුළ පහත සඳහන් විෂයයන් ඉගැන්වීම සුදුසුය.

1. ශාස්ත්‍රීය ගායන වාදන

2. අපේම පාරම්පරික ජන ගී ශ්‍රැති රහිත නිර්ව්‍යාජ ශෛලියෙන් ඉගැන්වීම

3. සංගීත වේදය නමැති අලුත් විෂය එක් කිරීම

4. සංගීත චිකිත්සාව විෂයක් ලෙස එක් කිරීම

5. සංගීත භාවනා නමැති උත්තරීතර භාවනා ක්‍රමය සංගීත ස්වරවලින් ඉගැන්වීම

6. ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට ඉතාමත් සමීප නෑකමක් ඇති රබින්ද්‍ර ගී විෂයක් ලෙස ඇති කිරීම

‘සිළුමිණ‘
2011 නොවැම්බර් 13

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s