මෙරට දේශපාලනයට ප්‍රබල විපක්ෂයක් අවශ්‍යයි

එජාප නායකත්ව සටන:
මෙරට දේශපාලනයට ප්‍රබල විපක්ෂයක් අවශ්‍යයි

එජාප නායකත්ව සටන මූලිකවම පෙන්නුම් කළේ දිගින් දිගටම විපක්ෂයේ සිටීම පිළිබඳ එජාපයේ කොටස් තුළ ඇති බලවත් අප්‍රසාදය යැයි සිතමි.

එජාපයේ වත්මන් නායකත්වය වෙනස් වී නම් එජාපයට තමන්ටම හිමි අනන්‍යතාවක් ඇති පක්ෂයක් වශයෙන් තවදුරටත් පැවැතීමට ඇති හැකියාව නැතිවන්නට ඉඩ තිබුණු බව මගේ අදහසයි. මන්ද යත්, එබඳු වෙනසක් ඇති වීම මෙතෙක් කල් එජාප නායකත්වයෙන් නියෝජනය කළ සමාජ ස්ථරයට තම පාරම්පරික දේශපාලන සංවිධානය අහිමි කරනු ඇතිව තිබුණු හෙයිනි. යටත් විජිත සමයේ ලංකාවේ බිහිවූ බටහිරට විවෘත වූ මනසක් සහිත ධනහිමි ගතානුගතික සමාජ පංතියේ නායකත්වය ලද එජාපයේ පහළ සාමාජිකත්වය සැදුනේ නාගරික මැද පංතියෙන් සහ මැද පංතික ගොවි ස්ථරයන්ගෙනි. අදවන විටත් එජාපයේ නායකත්වය සැදී ඇත්තේ මූලිකවම එහි මුල් නායකත්වය ලත් පරපුරේම අද වනවිට නාගරික ධනහිමි ගතානුගතික සමාජ පංතිය බවට පරිණාමය වී ඇති සමාජ ස්ථරයකිනි. මෙම සමාජ ස්ථරයට වෙනස් සමාජ ස්ථරයකින් එජාපයේ ඉහළ නායකත්වයට දේශපාලනය තුළින් පත් වූ එකම නායකයා අගනගරයේ පොදු ජන සමාජ ස්ථරයකින් ආ ආර්. ප්‍රේමදාස වෙයි.

සජිත් ප්‍රේමදාස එජාප නායකත්වය ලබා ගැනීම සඳහා කරන සටන පෙන්නුම් කරන්නේ මෙතෙක් කල් එජාපයේ දෙවෙනි පෙළ නායකත්වය සැදුම් ලද මැද පංතික සමාජ ස්ථරයන් එජාප නායකත්වයේ බලය ඉල්ලා සිටින බවයි. ඊට හේතුව අද වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ (ශ්‍රීලනිප) යේ නායක්තවයේ බලයට පැමිණ සිටින ලාංකේය සමාජයේ 56 පෙරළියෙන් පසු බිහිවූ ග්‍රාමීය මූලයන් සහිත මැද පංතික සමාජ ස්ථරයන් ගේ දේශපාලන බලයට එරෙහිව යමින් බලයට ඒමේ වැඩ පිළිවෙළක් ඉදිරිපත් කරන්නට වත්මන් එජාප නායකත්වය අසමත් වීමයි. මෙම තත්වයෙන් පෙන්නුම් කරන අනෙක් කරුණ නම් එජාපයේ නායකත්වය අද වනවිට හිමිව තිබෙන නාගරික ධනහිමි ගතානුගතික සමාජ පංතියට ලාංකේය ආර්ථිකයේ මෙතෙක් කල් හිමිව තිබූ ප්‍රමුඛ ස්ථානය, අද ලාංකේය සමාජයේ බිහිවෙමින් පවතින නව ධනේශ්වර කොටස් විසින් තමන් අතට ගනිමින් සිටින බවයි. මෙම දෙවනුව කී නව ධනේශ්වර කොටස්වලත් අද වන විට ශ්‍රීලනිප යේ බලයට පැමිණ සිටින සමාජ පංතීන්ගේත් ආර්ථික අවශ්‍යතා එක හා සමානය. එහෙයිනි, එජාපයේ එබඳු කොටස් වලට පහසුවෙන් ශ්‍රීලනිප යේ ආණ්ඩුවට සංක්‍රමණය විය හැක්කේ.

අනෙක් අතට ශ්‍රීලනිපය සහ එජාපය අතර තිබූ ආර්ථික ප්‍රතිපත්තිමය වෙනස් කම් හීන වී ඇත. ශ්‍රීලනිපය එජාපයේ ආර්ථික ප්‍රතිපත්ති තමන්ගේ බවට පත් කොට ගෙන ඇත. මේ තත්වය කොතෙක් උග්‍ර වී ඇත්ද යන්න ශ්‍රීලනිප රජයේ ආර්ථික ප්‍රතිපත්ති නව ලිබරල්වාදී යැයි චෝදනා කරන තැනට එජාපය පත්ව තිබීමෙන් පෙනේ. මේ තත්වය තුළ එජාපයට දේශපාලන පක්ෂයක් වශයෙන් තම අනන්‍යතාව තව දුරටත් රැක ගත හැකි එක් සාධකයක් වන්නේ එජාප නායකත්වයේ පාරම්පරික සවරූපය යි. වත්මන් එජාප නායකත්වයේ සටන ඒ වෙනුවෙනි. නමුත් තමන් ශ්‍රීලනිප ආණ්ඩුවෙන් වෙන් කොට දක්වන ප්‍රතිපත්ති මාලාවකින් තොරව හුදු පාරම්පරික නායකත්වයක් මත පමණක් පදනම් වන එජාපයකට වැඩි කල් පැවැත්මක් තිබිය නොහැකිය. අනෙක, ශ්‍රීලනිපයේ සිංහල ජාතිකවාදයට එරෙහි එජාපයේ ප්‍රතිපත්තියයි. එජාප යේ නායකත්වයට තරඟ කරන නව සමාජ පංති කොටස් වලට සිංහල ජාතිකවාදය මත පදනම් වූ ශ්‍රීලනිපයේ ජනප්‍රියතාව හමුවේ ජන සහාය තමන්ගේ පැත්තට දිනා ගැනීමට ඇති එකම මඟ වන්නේ තමනුත් සිංහල ජාතිකවාදී ස්ථාවරයක් ගැනීම නම් එයද මෙරට දේශපාලනයට යහපත් නොවේ. මන්ද යත් එය මෙරට දේශපාලනයේ සිංහල ජාතිකවාදය උත්සන්න කරනු ඇති හෙයිනි.

එජාපයේ පාරම්පරික නායකත්වය වේවා, එහි නායකත්වය ඉල්ලා සිටින නව කණ්ඩායම් හෝ වේවා වටහා ගත යුතු කරුණ නම් ජනයා ඉල්ලා සිටින්නේ මෙරට දේශපාලනයට ප්‍රබල විපක්ෂයක් අවශ්‍යය යන්න බවයි. බූර්ෂුවා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය ක්‍රමයක් තුළ ප්‍රබල දේශපාලන විපක්ෂයක් හෝ මහජන බලයක් නොතිබීම බලයේ සිටින පක්ෂය හෝ කණ්ඩායමට තමන් සිත් සේ කටයුතු කරන්නට ඉඩ සළසන තත්වයක් උදා කරයි. එජාපය සහ ජවිපෙ යන ප්‍රධාන විපක්ෂ දේශපාලන පක්ෂ දෙකේ ආකල්පය වී ඇත්තේ ආණ්ඩුව තමන්ගේම ක්‍රියා කලාපය හේතුවෙන් ඉදී නැට්ටෙන් ගැලවී වැටෙන ගෙඩියක් සේ තමන් ගේ ඔඩොක්කුවට වැටෙන තෙක් බලා සිටීම වැන්නක් යැයි පෙනේ. විපක්ෂය වටහා ගත යුතු කරුණක් වන්නේ මෙම ආණ්ඩුව පළමුව බලයට පත්වූ දා සිට පැවැත්වූ හැම ඡන්දයකින්ම පහසු ජයක් අත් පත් කර ගත් බවයි. ඊට මූලික හේතුව වත්මන් රජය ත්‍රස්තවාදය පරදා යුද බියෙන් ජනයා මුදා ගැනීම යි. එසේ තිබියදී වුවත් ආණ්ඩුව විසින් කරන ජනතා විරෝධී, රටට අහිතකර කටයුතු විවේචනය කිරීම සහ ඒවා නැවැත්වීමට කටයුතු කිරීම ජනතාව විපක්ෂයෙන් බලාපොරොත්තු වන බව විපක්ෂය වටහා ගත යුතුය. එසේ විවේචනය කරමින් එබඳු වැඩ පිළිවෙලවලට එරෙහිව මහජන හඬ අවදි කිරීම විපක්ෂයේ වගකීමක් ලෙස මහජනයා සළකති. ඒ සමගින්ම මෙම රජයේ ආර්ථික සහ දේශපාලන ප්‍රතිපත්ති වෙනුවට තමන් මහජනයාට ඉදිරිපත් කරන්නේ කුමන විකල්ප වැඩ පිළිවෙලක් දැයි එජාපය රටට කියා සිටිය යුතුය. එබඳු විකල්ප වැඩ පිළිවෙලක් වෙනුවෙන් වත්මන් රජය විවේචනය කරමින් ප්‍රබල විපක්ෂයක් ගොඩ නැංවිය යුතුය. මේ හැර බලයට පත්වීමේ වෙනත් කෙටි මාවතක් විපක්ෂයට නැත.

– කුමුදු

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s