“සාහිත්‍යය, විප්ලවවාදී භාවිතයට සහ ජන අරගලයට විකල්පයක් නොවේ ”
“ඉංග්‍රීසි නොදැන සැබෑ සාහිත්‍යකරුවෙක් වෙන්න බැහැ” මැයෙන් පළවූ ලිපියෙන් උපුටා ගත් කොටස්
…………………..
යථාර්ථය ජය ගැනීම කියන්නෙ මොකක්‌ද? ඒක සිදුවෙන්න පුළුවන් ප්‍රධාන ක්‍රම දෙකකටයි. පළමු වැන්න තමයි විප්ලවාදී භාවිතය. දෙවැන්න තමයි මිනිසුන්ගේ අරගල. සාහිත්‍යයෙන් මේ දෙකම කරන්න බැහැ. එය වෙනම කාර්යයක්.
…………………
වර්තමානයේ කථා කරන්න තරම් සාහිත්‍යයක් නැහැ. විශේෂයෙන්ම නව කතාව ගත්තොත් එය කුණු ගඳ ගහන, ඕලාරික, සුභාවිත නොවන, අමිහිරි, පල් හෑලි ගොඩක්. මේකට හොඳම උදාහරණ පසුගිය වසර කිහිපයෙහි සම්මාන දිනාගත් කෘති බලු බල්ලෙකුට කියවන්න බැහැ. මේ වගේ කෘතිවලට සම්මාන දීමෙන් ඇතිවන පූර්වාදර්ශය ඉතාම භයානක තත්ත්වයක්.
…………………
වර්තමාන නව කතාව ඉතාම පහත් තත්ත්වයට ඇද වැටෙන්න හේතු වුණ මූලික කාරණා දෙකක් තියෙනවා. ඉන් පළමු වැන්න තමයි විශ්ව සාහිත්‍ය පරිශීලනය නොකිරීම. අනෙක් කරුණු තමයි පැරැණි සම්භාව්‍ය සාහිත්‍යය පරිශීලනය නොකිරීම. මේ දෙකම කරන්න ශක්‌තියක් මේ අයට නැහැ. විශ්ව සාහිත්‍ය පරිශීලනය කරන්න ඉංග්‍රීසි භාෂාව දන්නේ නැහැ. සම්භාව්‍ය සිංහල සාහිත්‍යය ඇසුරු කරන්න සිංහල දන්නේ නැහැ. සිංහලත් දන්නැති ඉංග්‍රීසීත් දන්නේ නැති පිරිසක් තමයි අද සාහිත්‍ය කරණයෙ යෙදෙන්නේ. සම්මාන විනිශ්චය මණ්‌ඩලවල ඉන්නෙත් ඒ වගේ අය. මේ ගොල්ලො නව කතාව කියන්නෙ මොකක්‌ද වත් දන්නේ නැහැ. පිළී ගඳ ගහන, හඩු බාසාවෙන් මොකක් හරි ලියුවහම නව කතාවක් කියලා කියනවා. නව ආකෘති කිය කිය මේවට සම්මානත් දෙනවා. මේව ලියන අයයි සම්මාන දෙන අයයි අතරෙ කිසිඳු වෙනසක් නැහැ. දෙගොල්ලොම එකම බෝට්‌ටුවෙ.
…………………..
මොකක්‌හරි වචන ටිකක් ගලපල විස්‌තරයක් කෙරුවට ඒක නව කතාවක් වෙන්නේ නැහැ. නව කතාව පළමු කොට කියවන්න පුළුවන් ප්‍රිය උපදවන දෙයක් වෙන්න ඕන. ඒ නිසා එය පිරිපහදු කළ භාෂාවකින් පළමුව නිර්මාණය වෙන්න ඕන. මං කියන්නේ නැහැ. අමාවතුර, බුත්සරණ රීතියෙන් නවකතා ලියන්න කියලා. නමුත් ඒ ආභාසය ඇසුරෙහි නිපදවුණු බස් වරහක් අප සතුව තියෙනවා. ඒ නිරවුල් බසින් ඕනෑම දෙයක් සන්නිවේදනය කරන්න පුළුවන්. ඒ සියලු දේ අමතක කරලා කුණුහරුප භාෂාවක් භාවිතා කරනවා නම් මොකක්‌ද ඒකෙ තියෙන සාහිත්‍යය. සාහිත්‍යයෙහි අවසාන ප්‍රතිඵලය වෙන්නේ නියම ශික්‍ෂිත සංස්‌කෘතික මිනිසෙක් බිහි කිරීම. මේ වර්තමාන කෘති තුළින් වෙන්නේ ශික්‍ෂිත මිනිස්‌සුන් අශික්‍ෂිත වීම.
……………………..
පැහැදිලිවම අද රටේ සාහිත්‍ය විචාරයක් නැහැ. තියෙන්නෙ නන් දෙඩවිලි. මොකද විචාරකයො කියාගන්න පිරිස් පවා විචාර න්‍යායයන් නිසා විචාරකයාගේ කාර්යභාරයවත් දන්නේ නැහැ.
………………………..
පන්ති ඉතිහාසය පුරාම සාහිත්‍ය කලා නිර්මාණය වුණේ වරප්‍රසාද ලත් පංතිය අත. ඔවුන් අත කලාවේ ආකෘතිය නිර්මාණය වෙනව. ඒ වගේම එම කලා කෘති රස විඳින්නෙ වරප්‍රසාද නොලද සාමාන්‍ය පංතිය. විචාරකයාගේ මූලික කාර්යභාරය විය යුත්තේ වරප්‍රසාද ලත් පංතිය හා සාමාන්‍ය පංතිය අතර ඇති එම හිඩැස පිරවීම. නමුත් ලංකාවේ සිදුවෙන්නේ එකිනෙකාගෙ පිට කසා ගැනීම. මේ නිසා නිර්මාණ කරුවෝ විචාරකයන් ගණන් ගන්නේ නැහැ. ඒ නිසා තමන්ට හිතෙන හිතෙන විකාරවලින් කිසි වැදගැම්මකට නැති කසිකබල් පොත් පිටකරනවා. විචාරකයා සාමාන්‍ය පාඨකයාට වඩා ඉදිරියෙන් සිටිය යුතුයි. එහෙත් අපේ රටේ සාමාන්‍ය පාඨකයො විචාරකයන්ට ඉදිරියෙන් සිටින බව පේනවා. මෙයට ප්‍රධාන හේතුව විචාරය පැහැදිලි අවබෝධයකින් හා දැනුමකින් තොරව සිදු කිරීම.
……………………….
පැහැදිලිවම ඉංග්‍රීසි අධ්‍යාපනය මේ රටේ ක්‍රියාත්මක වුණ කාලෙදී සැබෑ උගතුන් බිහිවුණා. එහෙත් අද බිහිවෙන්නේ සාක්‌ෂරතාව පමණක් හිමි හිස් මිනිස්‌සු. මේකට අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන් වග කියන්න ඕන. දැන් වසර ගණනක ඉඳන් ඉංග්‍රීසි අධ්‍යාපනය යළි ක්‍රියාත්මක කරන්න හදනවා. ඒත් තාම කිසි ප්‍රතිඵලයක් නැහැ. ඔක්‌කොටම ඉස්‌සෙල්ල ඉංග්‍රීසි දන්න මිනිස්‌සු ඕන උගන්නන්න. ඉංග්‍රීසි නොදැන සැබෑ සාහිත්‍ය කරුවෙක් වෙන්න බැහැ. ඒත් ලංකාව මේ අනුගමනය කරන ක්‍රමය මගින් කිසි දවසක ඉංග්‍රීසි හා සිංහල දන්න ද්විභාෂා උගතෙකු බිහිවන්නේ නැහැ. ඒ සඳහා දිගු කාලීන වැඩ සටහනක් අවශ්‍යයි. මේ සඳහා වැඩපිළිවෙලක් නිර්මාණය කරන්න සැබෑ ද්විභාෂා උගතුන්ගේ සහාය අනිවාර්යයෙන්ම ලබා ගත යුතුයි. එහෙම නැතුව අධ්‍යාපන අමාත්‍යාංශයට හෝ වෙනත් අමාත්‍යාංශයකට වුවමනා පරිදි ඉංග්‍රීසි අධ්‍යාපනය දියුණු කරන්න බැහැ.
……………………….
අද ඉංග්‍රීසි අධ්‍යාපනය නැතිවුණා කියලා කවුද සම්භාව්‍ය සිංහල සාහිත්‍යය ඇසුරු කරන්නේ. ඒත් ඉංග්‍රීසි අධ්‍යාපනය මෙරට මුල් බැස ගෙන තිබූ අවධියේ තමයි මාර්ටින් වික්‍රමසිංහ, එදිරිවීර සරත්චන්ද්‍ර, ගුණදාස අමරසේකර වගෙ නිර්මාණකරුවන් බිහිවුණේ. මොවුන් සිංහල බස හා ඉංග්‍රීසි බස හොඳින් හඳුනනවා. ඔවුන් සියලු දෙනාම ඉංග්‍රීසි බසින් ඥනය ලබාගන්නා අතරම සම්භාව්‍ය සිංහල සාහිත්‍යයද ගැඹුරින් පරිශීලනය කළා. ඒ අනුව මොවුන් සිංහල සාහිත්‍යයෙහි වැදගත් සාහිත්‍යධරයන් බවට පත්වුණා. ඒ අනුව ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබු පමණින් සිංහල සාහිත්‍යය වඳවී යැමක් වෙන්න ඉඩක් නැහැ. එය තව දුරටත් වැදගත් ලෙස වර්ධනය වෙයි. මොහොතකට අපි එසේ වුණා යෑයි සිතමු. එවිට අඩු ගණනේ ඔවුනට විශ්ව සාහිත්‍යය ඇසුරු කරන්න පුළුවන් වෙයි. ලෝකෙ බිහිවුණු විශිෂ්ට සාහිත්‍යකරුවෝ සිංහල දැනගෙන හිsටියෙ නැහැනේ. නමුත් ඔවුන් ඉංග්‍රීසි භාෂාව හරහා විශ්ව සාහිත්‍යය ඇසුරු කර තිබුණා. සාහිත්‍යය යන්න කුමක්‌ද? යන්න නිවැරැදි ලෙස වටහාගෙන තිබුණා. ඒ නිසා ඔවුන්ගේ නිර්මාණ සර්වකාලීන අගයෙන් යුත් කෘති බවට පත්වුණා.
……………………..
වර්තමානයේ කිසිදු හරවත් සාහිත්‍ය සාකච්ඡාවක් සිදුවන්නේ නැහැ. සාකච්ඡා තියෙන්නේ බොහෝ විට පොතක් අලුතින් බිහිවන දවසක. එතැනදී සිදුවන්නෙත් සාහිත්‍ය සාකච්ඡා නෙමෙයි. නිකං කතා. ඒ කතා අහල එළියට එන බොහෝ දෙනාට කථිකයා කිව්වේ මොකක්‌ද කියලා තේරෙන්නේ නැහැ. නැත්නම් තමන් දන්නදේම නැවත අහගෙන ඉඳල එනවා. ගැඹුරු සංවාදයකට හෝ හරවත් අදහසකට එතැන ඉඩක් නැහැ. බොහෝ කථිකයන් තමන්ගේ දේශනයට උදාහරණ ලෙස බොහෝ ඉංග්‍රීසි කෘති ඇතුළු වෙනත් කෘති යොදා ගන්නවා. හැබැයි ඒ එකක්‌වත් විශ්ව සාහිත්‍ය කෘති නෙමෙයි. ඒව ඒ කථිකයන් විතරක් දන්න කෘති. ඒවයේ මුල් පිටපත් බොහෝ විට හොයාගන්න නැහැ. අනුන් නොදන්න තමා පමණක් දන්න කෘති උලුප්පලා දැක්‌වීම කාටද කරන්න බැරි. ඒ කෘති බොහෝ විට අපේ සම්මාන ලබන කෘති වගෙයි. කතා කරන දෙයින් තේරෙනවා ඒව කිසිදු වැදගම්මකට නැති කෘති බව.
සංවාදය සුලෝචන වික්‍රමසිංහ