‘56 පෙරළියට වසර 56යි ඒත් අපි තාම බිම! – ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු
‘ 56 පෙරළිය නමින් අපි හඳුන්වන තත්ත්වය ඇත්තටම දේශපාලන පෙරළියක්ද?
එක අතකින් මේක දේශපාලන පෙරළියක් ලෙස හැඳින්විය හැකියි. මොකද බි‍්‍රතාන්‍ය පාලකයන් ගියේ ඔවුන්ගේ නියෝජිතයන්ට මේ රටේ පාලනය භාරදීලයි. විශේෂයෙන්ම ඔවුන් සමාජවාදී රටවල් සමඟ සබඳතා නොපැවැත්වීමට වගබලා ගත්තා. ‘56 පෙරළිය කියන එකෙන් ඒ තත්ත්වය වෙනස් කැරුණක්. අන්තර්ජාතික වශයෙන් ලංකාවේ තත්ත්වය ඉන්පසු වෙනස් වුණා. එමෙන් අභ්‍යන්තරික වශයෙන්ද ධනවාදී ආර්ථිකය වෙනුවට මධ්‍යම ප‍්‍රතිපදාවක්යැ’යි ‘56 නිර්මාතෘවරුන් හඳුන්වපු එක්තරා සංවෘත ආර්ථික වැඩපිළිවෙලක් රට තුළ ක‍්‍රියාවට නැගුණා. බස් ජනසතුව, පාසල් රජයට ගැනීම හා ඊටත් පසුව කුඹුරු ඉඩම් පනත් වැනි දේවල් හරහා පැවති වැඩවසම් නෂ්ඨාවශේෂ අවසාන කිරීමට උත්සාහයක් දැරුණා. මේ කාලය තුළ තමයි ඇමරිකාව හා රුසියාව අතර සීතල යුද සමයේ ලංකාවත් ගොදුරක් වෙලා තිබුණේ. සමාජවාදී ලෝකය සහ බටහිර අතර අරගලයේදී සමාජවාදී ලෝකයට රටවල් ඇඳෙනවාට එරෙහිව බටහිර දැවැන්ත ක‍්‍රියාවලියක් සිදුවුණා. අපි 56ට පෙර බටහිර ඒ ක‍්‍රියාවලිය සමඟ මානසිකව සිටියාට ‘56 පෙරළියක් සමඟ ඒතත්ත්වය වෙනස් වුණා.
රට තුළ මේ සමගම යම් සංස්කෘතිකමය වෙනසකුත් සිදුවෙන්න මූල බීජය පැන නැගුණා. සිංහල හා දෙමළ දෙපිරිස අතරම තමන්ගේ ජාතිය හා සංස්කෘතිය පිළිබඳ යම් පුනරුදයක් ඇතිවෙමින් පැවතුණා. සිංහල ජනයා අතර අනාගාරික ධර්මපාල, දෙමළ ජනයා අතර ආරුමුග නාවලර් එහි පෙරමුණේ සිටියා. අනගාරික ධර්මපාලට වැරදුණු තැනක්ද මෙතන තිබුණා. ඔහුගේ සිංහල ජාතිය හා බෞද්ධාගම නගා සිටුවීමේ ව්‍යාපාරය තුළ එක්තරා ආකාරයක දෙමළ හා මුස්ලිම් විරෝධ ස්වරයක් තිබුණා. ඔහු දෙමළ ජනයා ගැන කතා කරන විට පර යන වදනත්, මුස්ලිම් ජනයාට හම්බයින් යන වදනත් භාවිත කර තිබෙනවා. එයින් මට කියන්න අවශ්‍ය වුණේ සිංහල පුනරුදය කියන ව්‍යායාමය අභාග්‍යයකට මෙන් ජාතිවාදී ස්වරූපයක් ගත් බවයි. සිංහල ජාතිය හා බුද්ධාගම නගා සිටුවීමේ ව්‍යාපාරයක් ඇයි අනෙක් ජාතීන්ට පහර ගැසුවේ කියන එක බරපතළ ප‍්‍රශ්නයක් මේ සියල්ල අතර ‘56 හරහා සාමාන්‍ය ජනයාගේ හැඟීමකුත් සිදුවුණා. එක පැත්තකින් නිදහස් අධ්‍යාපනයෙන් වරම්ලත් පීඩිත පන්තියේ පිරිස් උගතුන් ලෙස ඉදිරියට ආවා. අපේ අවධානයට වැඩිපුර ලක්නොවූ තවත් වැදගත් කරුණක් තිබෙනවා. ඒ තමයි අධිරාජ්‍යවාදින් විසින්ම තමන්ගෙ පාලන කටයුතුවලට පුද්ගලයන් පුහුණු කිරීමට ආරම්භ කළ කොළඹ විශ්වවිද්‍යාල කොලීජිය එක්තරා විදියකට අලූත් ආකාරයකට ජාතික සංස්කෘතියට හිත ඇති පිරිසක් බිහි කළා. ඔවුන් ජාතිවාදීන් නොවීම තමයි වැදගතම කාරණය. සරච්චන්ද්‍ර, මලලසේරක වගේ අය එහිදී ප‍්‍රමුඛයි. මහජන එක්සත් පෙරමුණ බලට ආවෙ ‘56 අපේ‍්‍රල්වල. මාර්තු මාසේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තිබුණා යුනෙස්කෝ එක මගින් සංවිධානය කරපු සම්මන්ත‍්‍රණයක්. එකේ මාතෘකාව The Traditional Culture of Ceylon and its Present Position. ඒ සම්මන්ත‍්‍රණයේ නම වුණේ Aspects of traditional Sinhalese Culture යන්නයි. මේ සාකච්ඡාව සාහිත්‍ය කලා ක්ෂේත‍්‍රයේ දැවැන්ත ආකල්පමය වෙනසක් කිරීමට හේතුවෙලා තිබෙනවා. මෙමගින් නව ශාස්ත‍්‍රීය පසුබිමක් මෙන්ම පැරණි ආචාර ධර්ම වෙනුවට අලූත් ආචාර් ධර්ම පද්ධතියක් හඳුන්වා දෙන ව්‍යාපාරයක් ඇතිවුණා. මේක පේරාදෙණි ගුරුකුලයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය වූවා පමණක් නොවෙයි. ‘56 පෙරළියට පසුපස තිබුණු සංස්කෘතික හා ශාස්ත‍්‍රීය බලවේග ඉදිරියට ගෙනගිය නැතහොත් 56ට න්‍යායක් සැපයූ සම්මන්ත‍්‍රණයක් ලෙස සැලකිය හැකියි.
ඒ කියන සංස්කෘතික මැදිහත්වීමෙන් ‘56 පෝෂණය වුණාද කියන එක ප‍්‍රශ්නයක් නේද?
‘56 බලවේගය දෙපැත්තකට ගමන් කළ බවක් පෙනුණා. එක පැත්තක් තමයි ජාතිවාදය. අනික තමයි ජාතිවාදී නොවන සංස්කෘතියක් වර්ධනය කිරීමට ඉටාගත් ධාරාව. නමුත් ඉදිරියේදී අපිට දක්නට ලැබුණේ ජාතිවාදීන්ගේ ධාරාව වඩා බලවත් වු ආකාරයයි. සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීම එකක්. එතෙක් මේ රටේ පාලකයෝ පිළිඅරන් තිබුණෙ ස්වභාෂා රාජ්‍ය භාෂා ලෙසයි. ‘56දී ප‍්‍රධාන පක්ෂ දෙකම සිංහල කරළියට ගත්තේ. බණ්ඩාරනායක ඉස්සරහට ආවෙ මේ වැඬේ පැය 24කින් කරනවා කියපු නිසයි. අදත් අපි ගැට ගැසී සිටින මහා ජන ඝාතනයක් සිදුවූ සිංහල දෙමළ මුස්ලිම් ජාතික අර්බුදයට එයින් පදනමක් වැටුණා. අනික් අතට ඒක භාෂික පිරිසක් බිහිවුණා. සිංහල රාජ්‍ය භාෂා පනත වෙලාවෙ එස්.ඒ. වික‍්‍රමසිංහ කිව්වෙ මේක ම්ලේච්ඡු වැඩක් කියලයි.
56 ඉලක්කය මොකක්ද ඒක ජයගත්තද?
දේශපාලන වශයෙන් ලොකු අර්බුදයකට පාර කැපුණු බව පැහැදිලියි. අනෙක් අතට ආර්ථිකමය වශයෙන් බටහිර ගැති ආර්ථික රටාව නතර වුණා. නමුත් එක්තරා විදියක සීමාවකුත් සිදුවුණා. මොකක්ද යන මාර්ගය කියන එක ගැන ‘56ට පැහැදිලි අදහසක් තිබුණු බව පේන්නෙ නැහැ. ජනසතු කළා. සමාජවාදය ගැන කතා කළා, සංවෘත ආර්ථිකයක් ගැන කතා කළා, නමුත් රටේ ආර්ථිකයේ ස්ථාවරත්වයක් හෝ නව ගොඩනැංවීමක් සිදුවූණේ නැහැ. පීඩිත පන්තියේ ජන කොටස් අධ්‍යාපනය හරහා ඉදිරියට ආවාට ඔවුන්ට අවශ්‍ය සංස්කෘතික, ශාස්ත‍්‍රීය පිටුබලය ලැබුණේ නැහැ. වාමාංශික පක්ෂ පවා ‘56 විතර වෙනකොට සම්පූර්ණයෙන් ජාතිවාදයට ගොදුරු වුණා. නමුත් යටත්විජිත විඥානයෙන් සමාජයට මිදෙන්න 56 අවස්ථාවක් වුණා.
56 යනු වම හා දකුණ කියන දෙකෙහිම සුසංයෝගයක්. ඒ තත්ත්වයම එක්තරා විකෘතියක් නොවයිද?
බි‍්‍රතාන්‍යයන් මේ රට අතහැර යනවිට ධනේශ්වර ක‍්‍රමයට සමාන විරුද්ධ පක්ෂය වුණේ ලංකා සමසමාජ පක්ෂය ප‍්‍රමුඛ වාමාංශික ව්‍යාපාරයයි. 1952දී වඩා ජාතිකත්වයට නැඹුරු වූ අලූත් දේශපාලන පක්ෂයක් ලෙස ශ‍්‍රීලනිප බිහිවීමෙන් වමට තිබුණු එක් ඉඩක් ඇහිරුණා. ජාතිකවාදය විතරක් නෙවෙයි ජාතිවාදී චින්තනයන් මුල් බැස ගැනීමට ඒක හේතුවෙනවා.
දැන් වම හා දකුණ ‘56 වෙනුවෙන් එකතුවීමේ මුලික පදනම වුණේ අධිරාජ්‍ය විරෝධය. ඔවුන් ඉදිරිපත් කළ තර්කයත් එයයි. ඇත්තටම ජාතික සමගිය ඇතිකිරීමේ හැකියාව තිබුණේ සමසමාජ ප‍්‍රමුඛ වමට පමණයි. ඒ ශක්තිය ඔවුන් තේරුම් නොගන ශ‍්‍රීලංනිප තුළ එජාපයට විකල්ප ව්‍යාජ ප‍්‍රගතිශීලීත්වයක් දැක වම විනාශය වැළඳ ගත්තා.
ශ‍්‍රීලනිපය ව්‍යාජ ව්‍යාපාරයක් කියන එක වමට නොතේරුණේ ඇයි?
ඒක ජාතික රාමුව තුළ විතරක් තිබෙන ප‍්‍රශ්නයක් නෙවෙයි. ජාත්‍යන්තරව බලපෑ කාරණයකුත් මෙහි තිබෙනවා. මේ කාලයේදී සෝවියට්දේශය ප‍්‍රමුඛ සමාජවාදී රාජ්‍ය පද්ධතිය තමන්ගේ භූ දේශපාලනික වුවමනාවන් නිසා හා සීතල යුද්ධ තත්ත්වයන් යටතේ අධිරාජ්‍ය විරෝධී ලේබලය ඇති සියලූ ව්‍යාපාර ප‍්‍රගතිශීලී ඒවා ලෙස සැලකීමේ ලක්ෂණයක් දක්නට ලැබුණා. ඒ ව්‍යාපාරවලට උදව් කරන ප‍්‍රවණතාවයකුත් තිබුණා. ජාතික ධනපති පන්තියත් එක්ක එකතුවෙලා කළයුතු කාර්යයන් සමාජවාදයට යන ගමනේදී තිබෙන බවට තදබල රුසියානු අදහසක් තිබුණා. ඒ නිසා තමයි ලංකාවෙත් වම ශ‍්‍රීලනිපයට සම්බන්ධවන්නේ,
ඒ අදහස පැන නගින්නේ ස්ටාලින්වාදී ප‍්‍රවණතාවක් උඩ. නමුත් ලෙනින්වාදය තුළ එහෙම අදහසක් නැහැ නේද?
එහෙමම කියනනත් අමාරුයි. ලෙනින්වාදය තුළ වුණත් තිබෙන අදහසක් තමයි ජාතික හැඟීම අධිරාජ්‍ය විරෝධය සඳහා යොදාගත යුතුයි කියන එක. මේ අදහස් ඇත්තටම වාමාංශිකයන් අතරම භේදයක් ඇතිවන්නත් හේතුවූවා. ලංකාවෙත් එහෙම වෙලා තිබෙනවා. සභාගවාදය ප‍්‍රතික්ෂේප කරන වාමාංශික පිරිසක් ඉන්නවා. කොහොම වුණත් සමාජවාදී රාජ්‍ය පද්ධතියේ බලපෑම අංශ කිහිපයකින් අපේ රටට අවාසිදායක වුණා. විශේෂයෙන් සංස්කෘතික ක්ෂේත‍්‍රය ගත හැකියි. සමාජවාදී යථාර්ථවාදය වගේ දේවල් හඳුන්වාදීමෙන් අපේ සාහිත්‍යය මොට වුණා. ඇත්තටම ඒකෙන් සෝවියට් සමාජයටත් හානියක් වුණා. ලංකාවෙ එක උදාහරණයක් මම කියන්නම්, මුල්ම කාලෙ කොමියුනිස්ට් පක්ෂයේ සභාපතිව සිටි උඩකැන්දවල සරණංකර හිමියන්ගේ නායකත්වය යටතේ පැවති සාහිත්‍ය කලා ව්‍යාපාරයක සරච්චන්ද්‍ර. මාර්ටින් වික‍්‍රමසිංහ, ගුණදාස අමරසේකර ආදී සියලූදෙනාම සිටියා. නමුත් උඩකැන්දවල හිමියන්ගේ අභාවයෙන් පසුව මේ සංවිධානය කල්ලිවාදයට යටවුණා. අනවශ්‍ය පරිදි පේරාදෙණි ගුරු කුලයට පහර දුන්නා. ජනතා ලේඛන පෙරමුණ නමැති සංවිධානය එහි වෙනම බලයක් ආරෝපණය කරගෙන වැඩ කළා. භේදවලින් තොරව පුළුල් ලෙස කලා නිර්මාණ දෙස බලන තැනකටයි අප පත්විය යුත්තේ.
‘56 නිසා වම හරහා අත්විය හැකි සංවර්ධනයත්, දකුණ හරහා අත්විය හැකි සංවර්ධයත් කියන දෙකම රටට අහිමි වෙලා තිබෙනවා. එහෙම බැලූවොත් 56 අර්ථවිරහිතයිනෙ?
මම එහෙම කියන්නෙ නැහැ. මුල්ම කාලෙ ලංකාවට නිදහස ලබාගැනීම සඳහා සටන් කළේ වමේ අය. ජාතික සංගමය ඉල්ලූවෙ ඩොමීනියන් තත්ත්වයක් විතරයි. ඒක ඉදිරියට ගෙනිච්චේ වාමාංශික නායකයෝ. කන්නන්ගර නිදහස් අධ්‍යාපන පනත ගෙනා වෙලාවෙ ජාතික සංගමයේ සමහරු එරෙහි වුණා. ඊටත් සහාය දුන්නේ වම. නමුත් ඒ ශක්තිය හා කැපවීම නිසි මාර්ගයට අවතීර්ණ කරගැනීමේ හැකියාවයි වමට නොලැබුණේ, සමහරවිට විරුද්ධ විය යුතු දේවල්වලට විරුද්ධ නොවීමත්, විරුද්ධ නොවිය යුතු දේවල්වලට විරුද්ධවීමත් දිගටම වම තුළින් ප‍්‍රතියමාන වුණා. ‘56දීත් ඒ තත්ත්වයන් හරිහැටි නිගමනය කරගැනීමට වමට නොහැකිවීම රට ලැබූ පාඩුවක්. ඊට පස්සෙ ශ‍්‍රීලනිප හා එජාප අතර තට්ටු මාරු දේශපාලනය තුළ රට සංවර්ධනය පාර්ශ්වයෙන් එක පැත්තකටවත් ගමන් කළේ නැහැ. නමුත් ‘56 නිසා ඉංග‍්‍රීසි කතා කරන සුළු පිරිසකගේ බලඅධිකාරි පාලනයෙන් අප මිදුණා.
ඒ සුළු පිරිසගෙන් මිදිලා තවත් ලූම්පත් පන්තියක් අතට ක‍්‍රමයෙන් අපේ රටේ පාලන බලය නතුවුණා. මේක වඩා බරපතළ නැද්ද?
ඔව්. ඒක ඇත්ත. අතිධාවනකාරීත්වයකට අප ගොදුරු වුණා. ‘56 විසින් දායාද කරන ලද වර්තමානය හරිම ව්‍යාකූලයි. ඊට හේතුව ‘56 පිළිබඳ කාටවත් නිසි විවරණයක් දර්ශනයක් එදා සිටම නොමැතිවීමයි. මේ අත්දැකීමටම මුුහුණ දුන්නු තවත් රටවල් ලෝකයේ තිබෙනවා. ‘56 තුළ තිබුණු ජාතික සංකල්පය වැදගත්. නමුත් ජාතිවාදී නොවී දේශපේ‍්‍රමය වර්ධනය කරගැනීම කියන තැනට අපිට යන්න බැරිවුණේ අනගාරික ධර්මපාල දැනුවත්ව හෝ නොදැනුවත්ව වැපිරූ බීජ නිසා කියලයි මම නම් හිතන්නෙ. වමේ නායකයන් ස්වාධීන චින්තකයන් ලෙස හැඳින්වුණාට ඔවුන්ටත් බරපතළ දෘෂ්ටිමය අවුලක් තිබුණා. ඒ බහුතරය අන්තිමට ජාතිවාදයටයි නතුවුණේ. අන්තිමට ‘56නිසා අපිට එක අත්තක්වත් හරියට අහු නොවීබිම වැටුණු බව තමයි කියන්න වෙන්නෙ.
රාවය 2012 මාර්තු 11 කලාපයෙන් උපුටා ගන්නාලදී.