මේ අතුරුදහන් කිරීම් ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක් ! – විද්වත්තු කියති

මේ අතුරුදහන් කිරීම් ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක් ! – විද්වත්තු කියති

සමාජවාදී පෙරටුගාමී පක්ෂයේ නායකත්වයට යෝජනා වී සිටින ප්‍රේම්කුමාර් ගුණරත්නම් සහ එම පක්ෂයේ ජාත්‍යන්තර සහ කාන්තා කටයුතු ලේකම්වරිය වන දිමුතු ආටිගල යන දේශපාලන ක්‍රියාකාරීන් පැහැරගැනීමට ලක්වීම තරයේ හෙළා දකින බවත්, එය දේශපාලනය කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහසට එල්ල වී ඇති අහියෝගයක් ලෙස තමන් භාරගන්නා බවත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, කලාකරුවන් , මාධ්‍ය සහ දේශපාලන ක්‍රියාකාරිකයින් ගණනාවක්ම අද(8) කොළඹ දී මාධ්‍ය හමුවකට එක් වෙමින් පැවසීය.

පාතාල නායකයින් පැහැරගනිමින් ද, ඔවුන් මරා දමමින් ද ඇරඹුණු මෙම පැහැරගැනීම් සහ අතුරුදන් කිරීම් ප්‍රවණතාව අද ප්‍රසිද්ධියේ දේශපාලන කටයුතු වල නියැලෙන දේශපාලන ක්‍රියාකාරීන් පැහැරගැනීම දක්වා වර්ධනය වීම සාමාන්‍ය තත්වයක් සේ නොගත යුතු බවට පණිවිඩයක් එහිදී ඔවුහු සාමූහික අදහසක් ලෙස මහජනතාව වෙත ඉදිරිපත් කළහ.

එමෙන්ම මෙම පැහැරගැනීම් වල වගකීම ආණ්ඩුව වෙත සෘජුව එල්ල කිරීමට තමන් ‘ඉක්මන්’ නොවන බව ප්‍රකාශ කළ එම සාකච්ඡාවේ සංවිධායකයින් වැඩි දුරටත් අවධාරණය කළේ ‘එහෙත් මෙම පැහැරගැනීම් පිළිබද වගකීමෙන් ආණ්ඩුවට කිසිසේත්ම නිදහස් විය නොහැකි ‘ බවයි. ඒ පැහැරගැනීම් පිළිබද මෑත කාලීන පෙර අත්දැකීම් අනුව ඒවාය ආණ්ඩුවේ සම්බන්ධයක් පවතින බවට සාක්ෂි ඉදිරිපත් වූ නිසාවෙනි. එ‍හිදී ඔවුන් කොළොන්නාව නගරාධිපති පැහැරගැනීම සහ අමාත්‍ය ජීවන් කුමාරතුංගගේ ඥාතිවරයෙකු වූ සාගර නමැති පුද්ගලයාගේ පැහැරගැනීම වැනි සිද්ධි වලට අදාලව ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව වගකිවයුතු බවට ඉදිරිපත් වූ සාක්ෂි නැවත අවධාරණය කළේය.

තවද ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී මානව හිමිකම් කඩකිරීම් පිළිබද චෝදනා ලැබූ රජයක් වශයෙන් නැවත නැවතත් මෙලෙස පුද්ගල පැහැරගැනීම් වීමට ඉඩ දීම කිසිසේත්ම සුදුසු නොවන බවත් පෙන්වා දුන් ඔවුන් පැවසුවේ ‍ගතවූ පෙබරවාරි දින 29 සහ මාර්තු දින 31 ඇතුළත, එනම් දින 60 ක් ඇතුළත ශ්‍රී ලංකාවේ පැහැරගැනීම් 29 ක් වාර්තා වූ බවත්, ඒ අනුව ලංකාවේ දින 2 කට වරක් එක් පුද්ගලයෙකු පැහැරගැනෙන තරම් බිහිසුණු වාතාවරණයක් මතුව ඇති බවත් ය.

කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, කථිකාචාර්ය කුමුදු කුසුම් කුමාර සහ ආචාර්ය ප්‍රභාත් ජයසිංහ ද, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය ලියනගේ අමරකීර්ති, ආචාර්ය සුමනසිරි ලියනගේ සහ ආචාර්ය සුමදි සිවමෝහන් ද, සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය චිත්‍ර හා මූර්ති ශිල්පී චන්ද්‍රගුප්ත තේනුවර ද, ලේඛක සහ ප්‍රවීණ පරිවර්තක ගාමිණී වියන්ගොඩ ද මාධ්‍යවේදී කේ.ඩබ්ලිව්. ජනරංජන ද මෙම මාධ්‍ය හමුවට සහභාගී විය.

www.lankanewsweb.com/

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s