අතුරුදහන්වීම් හා ආණ්ඩුවේ පැස්බර න්‍යාය

අතුරුදහන්වීම් හා ආණ්ඩුවේ පැස්බර න්‍යාය
– නිර්මාල් රංජිත් දේවසිරි

ප්‍රෙමකුමාර් ගුණරත්නම් හා දිමුතු ආටිගල අතුරුදහන් වීම හා ඔවුන් නැවත හමුවීම සම්බන්ධ සිදුවීම් දාමය ජනමාධ්‍ය තුළ වාර්තා වූ ආකාරය ඉතාම සිත්ගන්නා සුළුය. බොහෝ දෙනෙක් උත්සුක වී තිබුනේ මෙම සිදුවීම් දාමය අතුරුදහන් වීමට ලක් වූ දෙදෙනා අයත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේම සැලසුමක් බව ඇඟවීමටයි. බැසිල් රාජපක්ෂ මහතා උපහාසයෙන් යුතුව ප‍්‍රකාශ කලේ මේ සමස්ත සිදුවීම් දාමයෙන්ම වාසි ලැබුනේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයටම බවයි. ඒමගින් ඔහු ඇඟවූයේ මෙය එම පක්ෂයේම සැලසුමක් බවයි. බැසිල් රාජපක්ෂ මහතා මේ බව ප‍්‍රකාශ කරන විට ධම්ම දිසානායක මහතා ඔහු පසුපසින් සිට එවැනිම උපහාසයකින් හා රාජපක්ෂ මහතාගේ ප‍්‍රකාශය අනුමත කරන ආකාරයෙන් ද යුතුව සිනාසුනු බව ඒ මාධ්‍ය සාකච්ඡාව රූපවාහිනියෙන් දුටු අය මා සමඟ පැවැසීය. මෙම අදහස ම අතිශය රළු ආකාරයකින් ප‍්‍රකාශ කරනු ලැබුවේ එවැනි රළු ප‍්‍රකාශ වලට ප‍්‍රසිද්ධියක් උසුලන එස්. බී. දිසානායක ඇමතිතුමා විසිනි. එතුමා ඊට තවත් දෙයක් එකතු කිරීමටද අමතක නො කළේය. එ නම් පැහැර ගැනීමක් සිද්ධ වූවානම් එය ජ.වි.පෙ. වැඩක් විය යුතු බවයි.

මෙම අදහසම පුනරුච්ඡාරණය කරමින් දිවයින පුවත්පතට ලිපියක් ලියන සමන් ගමගේ ප‍්‍රශ්න කරන්නේ කුමාර් ගුණරත්නම් ‘‘රහසේ උපන් බිමට පැමිණ සැඟව සිටියේ විජාතික කුමන්ත‍්‍රණකරුවකු ලෙස ප‍්‍රබල භූමිකාවක් රඟ දැක්වීමට විය නොහැකිද?’’ යනුවෙනි. විමල් වීරවංශ මහතා විසින් මෙහෙයවනු ලබන්නේ යැයි සැලකෙන ලංකා සී නිව්ස් වෙබ් අඩවියේ මෙම අතුරුදහන් වීම පිළිබඳව පලවන පුවත් වලට පාඨකයින්ගෙන් ලැබෙන ප‍්‍රතිචාර වල හරය වන්නේ ද මෙම ආකල්පයමය. මේ මගින් අපගේ සමාජය ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන දක්වන ආකල්පය පිළිබිඹු වන්නේ ද? මා ඉහත සඳහන් කළ චරිත එසේ නැතහොත් ඒ අදහස් පළවූ මාධ්‍යය වලට සිංහල බෞද්ධ ජනසමාජයේ මත සකස් කීරීම කෙරෙහි විශාල බලපෑමක් ඇත. එම නිසා මේ මත දැක්වීම් සිංහල බෞද්ධ සමාජයේ යම් ආකාරයක පිළිබිඹුවක් ලෙස සැලකීමේ අසාධාරණත්වයක් නැත.

මෙම ආකල්පය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අදාලව ගැටලූවක් වන්නේ කෙසේද? මා ඉහත සඳහන් කළ පිරිස් වල මේ අතුරුදහන්වීම පිළිබඳ යථෝක්ත අදහස සිදුවීමේ යථාර්ථයට කිට්ටු එකක් නම් ඒ ආකල්පය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අදාලව ගැටලූවක් මතු කරන්නේ යයි කිව හැකි ද? මෙය තරමක් දුරට සලකා බලමු.

ආණ්ඩුවේ පැත්තෙන් ගත්කල සිදුවිය හැකි නරකම තත්වයෙන් (worst case scenario) පටන් ගනිමු. එනම් අතුරුදහන්වීම සිතාමතා සැලසුම් කල දෙයක් යයි සිතමු. තත්වය එසේ වුවත් ආණඩුවේ ආකල්පය කුමක් විය යුතුව යුතුව තිබේ ද? ආණ්ඩුව මේ සිදුවීමේ දී හැසිරිය යුතුව තිබුනේ කෙසේ ද?

මට හිතෙන්නේ මෙය හරියට යාචකයින් පිළිබඳ තත්වය මෙනි. අප පුද්ගලිකව නො හඳුනන්නේනම් ඕනෑම යාචකයෙක් බොරුකාරයෙක් වීමට සම්භාවිතාවක් තිබේ. ඒසේ වුවත් ඕනෑම බොරුකාරයෙකුට යාචකයෙක් ලෙස පෙනී සිටිය හැක්කේ එක් කොන්දේසියක් සම්පූර්ණ වී තිබේනම් පමණකි. එනම් යාචකයින් බිහිවීමට තරම් වන සැලකිය යුතු තරමේ දරිද්‍රතාවයක් සමාජය තුළ පැවතිය යුතුය. බටහිර රටවල අධිපති ජීවන ක‍්‍රමය අනුගමනය කිරීම ප‍්‍රතික්ෂේප කිරීම සඳහා හිඟාකෑම තොරාගත් අය මා දැක ඇත. පැරණි ඉන්දියාවේත් එවැනි අය විසූහ. භික්ඛු යනුවෙන් හැඳින්වූයේ එවැනි අයයි. භික්ඛු යන්නෙහි වාචික අරුත සිඟාකෑම යන්නයි. නමුත් වර්තමාන ලංකාවේ සිඟාකෑම එවැන්නක් නොවේ.

දැන් ගැටලූව වන්නේ මෙයයි. යාචකයින් පිළිබඳ අපගේ පොදු ආකල්පය තීරණය විය යුත්තේ ඉතාම සාධාරණ නිගමනයක් වන හොර යාචකයින් සිටී යන නිගමනය මතද? එසේත් නැතහොත් යාචකයින් බිහිවීමට තරම් වන දරිද්‍රතාවයක් සමාජය තුළ පැවතීමේ සාධකය මතද? යාචකයින්ට මුදල් දීමට මැලිකමක් දක්වන්නෙකුට නම් පළමු සාධකය හෘදසාක්ෂිය පිළිබඳ ප‍්‍රශ්නයක් ඇතිකරගන්නේ ද නැතිව එසේ කිරීමට ඉඩකඩ ලබාදෙයි. නමුත් සමාජයීය හෘද සාක්ෂියක් ඇත්තෙකුට පමණක් නොව රටක ආර්ථික ප‍්‍රතිපත්ති සාදන්නන්ටද එයින් සෑහීමට පත්වීමට හැකියාවක් නොමැත. දෙවනුව කී කණ්ඩායමට ඒ සඳහා අයිතියක් ද නොමැත.

අතුරුදහන්වීම් සම්බන්ධව ආණඩුව හැසිරෙන්නේ හරියටම හොර යාචකයින් සිටීය යන සමාවට කරුණ මත යාචකයින්ට මුදල් දීම ප‍්‍රතික්ෂේප කරන මසුරු මනුෂ්‍යයෙකු මෙනි. ප්‍රෙමකුමාර් ගුණරත්නම්ට හා දිමුතු ආටිගලට පමණක් නොව මෙතෙක් අතුරුදහන් වී ඇති බවට වාර්තා වී ඇති සියළු දෙනාටම ආණ්ඩුව සලකන්නේ හොර යාචකයින්ට මෙනි.

පුද්ගලයින් පැහැරගෙනයාම හා අතුරුදහන් වීම් පසුපස රාජ්‍ය හස්තයක් කිසියම් ආකාරයකින් හෝ ක‍්‍රියාත්මක වන බව ඉතාම සාධාරණ ලෙස සැක කිරීමට ප‍්‍රමාණවත් තොරතුරු තිබේ. කොලොන්නාවේ නගරාධිපතිවරයා සහ සාගර සේනාරත්න පිළිබඳ සිද්ධීන් වලදී ද පසුගියදා කඳානේ දී සිදුවූ පැහැරගැනීමේ දී ද එය හොදින්ම පැහැදිළි විය. මේ සම්බන්ධව ආණ්ඩුවට එරෙහිව මතුකෙරුණු සැක සංකා නැති කිරීමට ආණ්ඩුව සතුටුවිය හැකි උත්සාහයක් දරා නැත. අඩුම තරමින් මේවා පිළිබඳව සොයා බලා ආණඩුව තමන් නිර්දෝෂි බව සමාජයට තහවුරු කල යුතුය. නමුත් ආණ්ඩුව දැන් හැසිරෙන්නේ නම් සතුරා ගේ ලූහුබැදීමට ලක්වන විට සතුරාගෙන් ගැලවීමට වැල්ලේ ඔළුව හංගා ගන්නා මෝඩ පැස්බරා මෙනි. ආණ්ඩුවේ ඉහල සිටින අය දැන ගත යුත්තේ මේ මෝඩ පැස්බරාට හිනාවෙන පිරිසක් ද මේ රටේ සිටින බවත් දැනට ඒ පිරිස ටිකදෙනෙක් වුවත් ඒ ප‍්‍රමාණය විශාල වශයෙන් වැඩි වෙමින් තිබෙන බවත් ය.

nrdewasiri@gmail.com

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s