බැරෑරුම් සංවාදයක් වෙනුවෙන් සටන් කල යුතුව තිබේ

බැරෑරුම් සංවාදයක් වෙනුවෙන් සටන් කල යුතුව තිබේ
– නිර්මාල් රංජිත් දේවසිරි

පසුගිය දිනවල පොලිස් විශේෂ කාර්ය බලකායේ භටයන් පිරිසක් සම්බන්ධව එල්ල වූ නිදන් හෑරීම පිළිබඳ චෝදනාවට පොලිස්පතිවරයා විසින් දෙනු ලැබ ඇති පිළිතුර අපූරු එකකි. මෙම පොලිස්පති ප‍්‍රකාශය දෙස බැලූ බැල්මටම පෙනෙන්නේ එය මෙම චෝදනාව නිසා පොලිස් හා පොදුවේ ආණ්ඩුවේ බලධාරීන්ට එල්ල වී ඇති චෝදනා වලින් වන හානිය අවම කරගැනීම (Damage control) සඳහා කරන ලද ප්‍රකාශයක් බවයි. සාමාන්‍යයෙන් කෙනෙකුට චෝදනාවක් එල්ල වූ විට චූදිතයා හැසිරෙන ආකාරය පරිස්සමින් නිරීක්ෂනය කල කල්හි අදාල චෝදනාවට චූදිතයාගේ සම්බන්ධය ගැන යම් අවබෝධයක් ලබාගැනීමට පුළුවන. ගැමි ජනවහරේ මීට කියන්නේ ‘‘පුහුල් හොරා කරෙන් දැනේ’’ යනුවෙනි. පොලිස්පතිගේ ප‍්‍රකාශයත් හරියටම පුහුල් හොරාගේ කරේ අලූ ගෑවී ඇතැයි කියූ වහාම තමන්ගේ කර අතගා බැලූ මෝඩ ගැමියාගේ හැසිරීම වැනි එකකි.

මේ ප‍්‍රකාශය ද කුමාර් ගුණරත්නම් හා දිමුතු ආටිගල අතුරුදහන් වීම පිළිබඳ සිද්ධියේ දී ගුණරත්නම් දෙමටගොඩ පොලීසියට භාරවුනා හා භාර වූ වහාම ඔහුගේ ඉල්ලීමට සවන් දී ඔහු ඕස්ටේ‍්‍රලියාවට පිටත් කරනු ලැබුවා යයි කීම වැනි සුරංගනා කතා වර්ගයේ ප‍්‍රබන්ධයකි.

ප‍්‍රශ්නය වන්නේ සැඟවීමට බොහෝ දේ ඇති බලධාරීන් මෙවැනි ප‍්‍රකාශ කිරීම ම නොවේ මහජනයා ඉදිරිපිට එවැනි ප‍්‍රකාශ කොට ගැලවී සිටීමට ඔවුනට හැකියාව ලැබීමයි. බලධාරීන්ගේ උදහසට ලක්වී ඇති ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය තුළ පොලිස්පතිගේ මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් වැදගත් ප‍්‍රශ්න ගනනාවක් මතු කරනු ලැබ තිබුනි. ලංකා ඊ නිව්ස් සම්බන්ධයෙන් කෙනෙකුට ඉතා සාධාරණ පදනමක් මත දැඩි විවේචන ඉදිරිපත් කිරීමේ හැකියාව තිබුන ද එහි මේ ප‍්‍රකාශය සම්බන්ධව මතුකරනු ලැබ ඇති ප‍්‍රශ්න බෙහෙවින්ම අදාල ඒවාය.

මා මේ සම්බන්ධව මෙහි දී මතු කිරිමට අපේක්ෂා කරන ගැටලූව වන්නේ මේ ප‍්‍රකාශය සම්බන්ධව මේ තරම් බරපතල ප‍්‍රශ්න මතුකර තිබුනේ වී නමුදු පොලිස්පති වරයාට මෙන්ම සෙසු බලධාරීන්ට ද එම ප‍්‍රශ්න වලට මුහුන නොදී සිටීමට හැකියාව ලැබී ඇත්තේ මන් ද යන්නයි. මගේ අදහසේ හැටියට නම් ඊට ප‍්‍රධානම හේතුව වන්නේ බැරෑරුම් සමාජ දේශපාලන සංවාදයක් රට තුළ නොමැති වීමයි. මේ නිසා බැරෑරුම් සමාජ දේශපාලන සංවාදයක් ගොඩවැංවීම පිළිබඳව කතාකිරීමේ දී වැදගත් විය හැකි කරුණු කීපයක් මතු කිරීමට මෙහි දී මම කැමැත්තෙමි.

මා සිතන ආකාරයට බැරෑරුම් දේශපාලන සංවාදයක් ගොඩනැංවීම සඳහා තිබෙන ප‍්‍රබලතම බාධකය වනනේ සමාජ දේශපාලන කතිකාව තුළ ඒ සඳහා ප‍්‍රබල කැපවීමක් නොමැති වීමයි. මගේ මෙම අදහසට වලංගුතාවයක් ලබාදීම එතරම් පහසු නොවෙන්නේ සාමාන්‍යයෙන් සමාජ දේශපාලන කතිකාව තුළ හැසිරෙන කිසිවෙක් තමා තුළ එවැනි කැපවීමක් නැතැයි නොකියනු ඇති බැවිනි. අඩුම තරමින් හැම කෙනෙක්ම කීමට ඉඩ තිබෙන්නේ තමා හැර සෙසු අය මේ සම්බන්ධව බැරෑරුම් නොවන බවයි. එම කියාපෑම් එලෙසම තිබුනද බැරෑරුම් සමාජ දේශපාලන සංවාදයේ බිඳවැටීම දිගින් දිගටම දක්නට ලැබේ.

මා හිතන ආකාරයට මෙම බිඳවැටීමේ තරම පෙන්නුම් කළ හැකි අංග දෙකක් පවත්නා සමාජ දේශපාලන සංවාදය තුළ හොඳින්ම විද්‍යමාන වේ. එකක් නම් සංවාදමය අභිමුඛ වීම් වලදී නිතරම උත්සාහ දැරෙන්නේ තමාගේ ස්ථානය කෙසේ හෝ රැකකගැනීමයි. දෙවැන්න හැකිතාක් දුරට අනෙකා ගර්හාවට ලක්කිරීමයි. මේ මගින් අපට අහිමි වන්නේ කුමක්ද? අපට අහිමි වන්නේ සංවාදයක අත්‍යාවශ්‍ය ඉලක්කය විය යුතු සත්‍යය සඳහාවූ කැපවීමයි.

කාල් පොපර් නමැති ප‍්‍රකට විද්‍යාව පිළිබඳ චින්තකයා ප‍්‍රකාශ කලේ විද්‍යාව විද්‍යාව වන්නේ උපන්‍යාසයක් තහවුරු කිරීමට (verification) එයට තිබෙන හැකියාව නිසා නොව උපන්‍යාසයක් අසත්‍ය බව තහවුරු කිරීමට (falsification) එයට තිබෙන හැකියාව නිසා බවයි. මෙයින් අදහස් කරන්නේ කුමක් ද? මෙයින් අදහස් කරන්නේ අප තුළ තිබෙන විශ්වාසයන් විද්‍යාත්මක පරීක්ෂාවක් අවසානයේ දී අවශ්‍ය වුවහොත් මුළුමනින්ම ඉවත දැමීමට වුව ද සූදානමක් අප තුළ තිබිය යුතු බවයි. විද්‍යාවට අදාලව කාල් පොපර් ප‍්‍රකාශ කල මෙම අසත්‍යකරණය පිළිබඳ න්‍යාය පොදුවේ ඕනෑම සංවාදමය මැදිහත්වීමකට අදාලව සලකා බැලීමට මම කැමැත්තෙමි. එසේ කියන්නේ ඕනෑම සංවාදමය මැදිහත්වීමක අවසාන අරමුණ විය යුත්තේ සත්‍යය වන බැවිනි. එනම් විද්‍යාව තුළින් පරීක්ෂා කිරීම වෙනුවට සංවාදය තුළින් පරීක්ෂා කිරීම යන්න ආදේශ කිරීමට පුළුවන.

සත්‍යය යනුවෙන් දෙයක් පවතී ද? පැවතුනත් එය අපට දැනගත හැකි ද වැනි ඥානමීමාංසාවට අයත් වැදගත් හා සාධාරණ ප‍්‍රශ්න මෙහි දී කෙනෙකුට මතු කරනු ලැබීමට පුළුවන. නමුත් මගේ තර්ක වන්නේ සත්‍යය කියා දෙයක් තිබුනත් නැතත්, එය දැනගැනීමට හැකිවුවත් නැතත් සත්‍යය සඳහා කැපවීමක් ඇතිකරගැනීමට එය අපට බාධාවක් නොවන බවයි. එය හරියට සුභාෂිතයේ සඳහන් පහත දැක්වෙන කවිය මෙනි.

ඇතත් නැතත් පරලොව සු දනෙනි මහත

හලොත් යෙහෙකි පව්කම් නොතබා ම සිත

නැතොත් එ පරලොව ඉන් වන අවැඩ නැත

ඇතොත් නැතැයි පව් කළ හට වෙයි විපත

විද්‍යාත්මක හෝ සංවාදශීලී පරීක්ෂාවකට ලක්කොට ඒ මගින් සත්‍ය අසත්‍ය බව තීරණය කිරීමට නොහැකි දේ අප තුළ තිබෙන බව නොකිව මනාය. උදාහරණයක් ලෙස අපගේ ආගමික විශ්වාස සදාචාර ගුණධර්ම වැනිදේ ඒ ආකාරයට බැහැර කිරීමට අපට හැකියාවක් නැත. එවැනි දේ අප විශ්වාස කරන්නේ ඒවායේ සත්‍ය අසත්‍යභාවය සලකා නොව ඒවායේ යහපත් අයහපත් භාවය සලකාය.

මෙහිදී අපට වැදගත් වන්නේ සත්‍යය සංවාදය තුලින් තීරණය වන්නේය යන පිළිගැනීමයි. මෙහිදී අපට අවශ්‍ය කරන්නේ සංවාදය සඳහා වූ උපරිම කැපවීමයි. එයින් අදහස් කරන්නේ කුමක් ද? මෙහිදී අපට අවශ්‍ය එක් ගුණාංගයක් වන්නේ මා සංවාදය තුළදී මගේ තියුණුම විවේචකයාට අභිමුඛ වීමට මගේ ඇති සූදානම ප‍්‍රදර්ශනය කිරීමයි. වෙනත් වචන වලින් කියනවානම් පොලිස්පති වරයා ලංකා ඊ නිව්ස් හී මතු කර ඇති ප‍්‍රශ්න වලට අගති විරහිතව පිළිතුරු දිය යුතුය යන්නයි. කෙසේ වෙතත් එය එසේ වීමට ඇති ඉඩකඩ බෙහෙවින්ම සීමිතය. අපේ අවාසනාව ද එයයි.

nrdewasiri@gmail.com

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s