විශ්වවිද්‍යාල තුළ අදහස් ප‍්‍රකාශකිරීමේ අයිතිය

විශ්වවිද්‍යාල තුළ අදහස් ප‍්‍රකාශකිරීමේ අයිතිය
– නිර්මාල් රංජිත් දේවසිරි
පසුගිය දිනෙක විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින් සංවිධානය කරතිබූ මාධ්‍ය සාකච්ඡාවකට පැමිණි මාධ්‍යවේදීන්ට කොළඹ විශ්වවිද්‍යාල භූමිය තුළට ඇතුල් වීමට ඉඩනොදීම නිසා ඇතිවූ තත්වය පිළිබඳව ඇතැම් මාධ්‍යවල වාර්තා වී තිබුණි. මෙය අලූත් තත්වයක් නොවේ. පසුගිය වසරේද කොළඹ විශ්වවිද්‍යාලය තුළ මෙවැනිම තත්වයක් ඇතිවිය. මෙම අවස්ථා දෙකේදීම මේ සිදුවීමට අදාලව විශ්වවිද්‍යාල පරිපාලනය සමඟ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පාර්ශවයෙන් සෘජුව ගනුදෙනු කළ පුද්ගලයා ලෙස මේ සිදුවීමෙන් මතුවල වැදගත් ගැටලූ කීපයක් සම්බන්ධව සාකච්ඡාකිරීම උචිත යයි සිතමි.

බැලූ බැල්මටම පැහැදිළි වන්නාවූ දෙයක් නම් මෙම සිදුවීම අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස සම්බන්ධව බරලතල ගැටලූවක් මතුකරන බවයි. එය සාමාන්‍ය තතත්වයට වඩා බරපතල තත්වයක් වන්නේ විශ්වවිද්‍යාල සම්බන්ධව ගත්කල අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස කොහොමත්ම මූලික තැනක් ගන්නා බැවිනි. අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස ක‍්‍රියාත්මක වශයෙන් පවතින්නේ නොමැතිව විශ්වවිද්‍යාලයක් පැවතීමට පවා නොහැකිය. ඒ අර්ථයෙන් ගත්කල කොළඹ විශ්වවිද්‍යාලයේ බලධාරීන්ගේ මෙම කි‍්‍රයාව කොළඹ විශ්වවිද්‍යාලයේ පැවැත්මේ පදනමටම එල්ල කරන ලද මරු පහරකි.

මෙම සිදුවීමට අදාලව මා කොළඹ විශ්වවිද්‍යාලයේ බලධාරීන් සමඟ පැවැත්වූ සාකච්ඡා වලදී මතුවූ කරුණු කීපයක් පාඨක අවධානයට යොමු කරවීම මෙහිදී අතිශයින්ම වැදගත්ය. බලධාරීන් මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීම අවහිර කරන ලද්දේ මීට වසර කීපයකට පෙර විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද චක‍්‍රලේඛයක් උපයෝගී කරගනිමිනි. එම චක‍්‍රලේඛයට අනුව විශ්වවිද්‍යාල පරිශ‍්‍රය තුලට මාධ්‍ය කැඳවීම සඳහා විශ්වවිද්‍යාලයේ බලධාරීන්ගේ පූර්ව අනුමැතිය ලබාගත යුතුය. ඇත්ත වශයෙන්ම මෙම චක‍්‍රලේඛය මගින් අපේක්ෂා කරනු ලැබුවේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය දේශපාලන කටයුතු සීමා කිරීම බව පෙනේ. මක්නිසාද යත් එවකට විශ්වවිද්‍යාල ආචාර්යවරු අතර බලධාරීන්ගේ කෝපයට හේතුවන ක‍්‍රියාකාරකම් එතරම් දක්නට නොලැබුනු බැවිනි. නමුත් පසුගිය වසර දෙකක පමණ කාලය තුළ මෙම තත්වය වෙනස් විය. විශ්වවිද්‍යාල ආචාර්යවරු සටන්කාමී වෘත්තීය සමිති ක‍්‍රියාකාරකම්වලට අවතීර්ණ වීමත් සමඟ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ කටයුතුද බලධාරීන්ට හිසරදයක් බවට පත්වීම දක්නට ලැබේ.

කෙසේ වෙතත් එනිනෙක විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් ගත් කල ද ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති කටයුතුවලට බාධා කිරීමේ පැත්තෙන් ගත්කල වෙනස්කම් දක්නට ලැබේ. විශේෂයෙන්ම මෑතකාලීනව ආරම්භ කරනුලැබ ඇති වැඩි වශයෙන් ආධුනික කතිකාචාර්යවරු සේවය කරන ස්ථානවල තත්වය බෙහෙවින් කණගාටුදායක තත්වයක පවතී. මේවායේ උප කුලපතිවරු බොහෝ දුරට ක‍්‍රියා කරන්නේ ප‍්‍රාදේශීය රජවරු මෙනි. ඌව විශ්වවිද්‍යාලයේ තත්වය මීට කදිම නිදර්ශනයකි. එහි බලධාරීන් වෘත්තීය සංගමයක් පිහිටුවීම සඳහා හෝ එහි ආචාර්යවරුන්ට ඉඩ නොදෙයි. විශ්වවිද්‍යාලවල උපකුලපතිවරු පත්කිරීම ඉතාම තදින් ආණ්ඩුවේ බලධාරීන්ගේ හස්තයට පත් වී ඇති බැවින් ආණ්ඩුවේ බලධාරීන් සතුටුවේයැයි සිතන ආකාරයට ක‍්‍රියාකිරීම බොහෝ උප කුලපතිවරුන්ගේ ක‍්‍රමය බවට පත්වීතිබේ.

නැවතත් කොළඹ විශ්වවිද්‍යාලයේ සිදුවීමට එන්නේ නම් අදාල මාධ්‍ය සාකච්ඡාවට පැමිණිමට මාධ්‍යවේදීන්ට ඉඩනොදුන්නේ ඇයිද යන්නට කොළඹ විශ්වවිද්‍යාලයේ බලධාරීන් ඉදිරිපත්කල කරුණක් සලකා බැලීම මෙහිදී වැදගත්ය. ඔවුන් ප‍්‍රකාශකලේ මේ මාධ්‍ය සාකච්ඡාවේ දී සාකච්ඡාකරන දේ ඔවුන් වෙත දැනුම් දී නොමැති බවයි. මා ඔවුන්ගෙන් විමසා සිටියේ සාකච්ඡාකරන දේ එසේ දැනුම් දිය යුත්තේ මන් ද යන්නයි.

මෙහිදී මගේ තර්කය වන්නේ විශ්වවිද්‍යාල බලධාරීන් එවැනි ප‍්‍රශ්නයක් ඇසීම ම ඒ අයට ප‍්‍රජාතත්ත‍්‍රවාදය පිළිබඳව හෝ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය පිළිබඳව හෝ අවබෝධයක් නොමැති බව තහවුරු කරන්නක් බවයි. අඩුම කරමින් විශ්වවිද්‍යාලක් තුළදී මේ ප‍්‍රශ්නය විමසීම ම විසුළු සහගත වේ. එය හරියට මෙම ලිපිය ලිවීමට පෙර මා විශ්වවිද්‍යාල බලධාරීන්ගෙන් ඒ සඳහා අනුමැතිය ගත යුතුය වැනි තර්කයකි.

එක් අවස්ථාවක දී දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයක් ද වන විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිතුමා ප‍්‍රකාශකලේ විශ්වවිද්‍යාල වනාහී ‘මුදානොගත් ප‍්‍රදේශ’ වර්ගයක් බවයි. එකල ‘මුදානොගත් ප‍්‍රදේශ’ යන පදය භාවිත කරනු ලැබුවේ එල්ටීටීඊ සංවිධානයේ පාලනය යටතේ පැවැති ප‍්‍රදේශ හඳුන්වා දීම සඳහාය. ඒ මහතාගේ ම රූපකය පාවිච්චි කරන්නේනම් කොළඹ විශ්වවිද්‍යාලයේ මාධ්‍ය සාකච්ඡා එහි බලධාරීන් විසින් කඩාකප්පල් කිරීම ඒ අනුව අපට හැඳින්විය හැක්කේ කොළඹ විශ්වවිද්‍යාලය මුදාගැනීම සඳහා වූ මෙහෙයුමේ කොටසක් වශයෙනි.

මෙම තත්වයෙන් පෙන්නුම් කරන්නේ කුමක්ද? විශ්වවිද්‍යාල ‘‘මුදාගැනීම සඳහා වූ’’ බලධාරීන්ගේ මෙහෙයුමට විරුද්ධව විශ්වවිද්‍යාල නැවත වතාවක් විශ්වවිද්‍යාල බවට පත්කිරීම සඳහා වූ ප‍්‍රති-මෙහෙයුමක් අවශ්‍යවී තිබෙන බව නොවේ ද?

කෙසේ වෙතත් මෙය අතිශයින් දුෂ්කර කටයුත්තක් වන්නේ බොහෝ විශ්වවිද්‍යාල බලධාරීන්ට ප‍්‍රජාතන්ත‍්‍රවාදය, අදහස් ප‍්‍රකාශකිරීමේ අයිතිය, බුද්ධිමය නිදහස වැනි මූලධර්ම ගැන පුලූල් අවබොධයක් නොමැති බැවිනි. ඒ අය බොහෝවිට ආයතන සංග‍්‍රහයේ වගන්ති තුළ සැඟවී තම මර්ධනකාරී ක‍්‍රියා සාධාරණීකරණය කරති. පොදුවේ රාජ්‍ය ආයතන වලට බලපාන ආයතන සංග‍්‍රහය විශ්වවිද්‍යාල පරිපාලනය සඳහා භාවිත කළහැකි ද යන්න බෙහෙවින් මතභේදකාරී බව මෙහිදී කිවයුතුය. මේ වනවිට ආයතන සංග‍්‍රහයේ ඇති ඇතැම් බෙහෙවින්ම මතභේදකාරී වගන්ති උපයොගී කරගෙන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ රැස්වීම් පැවැත්වීමේ අයිතිය පවා අහෝසි කිරීමට කොළඹ විශ්වවිද්‍යාලයේ බලධාරීන් කටයුතු කරමින් සිටී.

ආයතන සංග‍්‍රහය විශ්වවිද්‍යාල කෙරෙහි ඇති අදාලත්වය පරීක්ෂාවට භාජනය කෙරෙන සිදුවීමක් මෑතක සිදුවිය. මෑතකදී රජයේ සේවකයින් රජයේ නොවන ආයතන විසින් සංවිධානය කරනු ලබන සම්මන්ත‍්‍රණ වැඩමුළු ආදියට සහභාගී වීම සඳහා අදාල අමාත්‍යාංශයෙන් පූර්ව අනුමැතිය අවශ්‍ය බවට වූ කැබිනට් තීරණයක් විශ්වවිද්‍යාල වෙත දන්වන ලෙස උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම වෙත දන්වන ලදි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය මීට විරෝධය දැක්වූ පසු උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වරයා පැවසූවේ එය විශ්වවිද්‍යාල වෙත නිකුත් කරනු ලැබුවේ අත්වැරදීමකින් බවයි. මෙයින් කියැවෙන්නේ කුමක් ද? මෙයින් පැහැදිළි වන්නේ සාමාන්‍ය රජයේ සේවකයකුට බලපාන නීති රෙගුලාසි වලින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පාලනය කරනු ලැබිය නොහැකි බවයි.

මෙයින් මා කියන්නට උත්සාහ කරන්නේ කුමක් ද? අදහස් ප‍්‍රකාශකිරීමේ අයිතිය, බුද්ධිමය නිදහස වැනි මූලධර්ම විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් ගත්කල හුදු සැරසිලි නොවන බවයි. ඒවා එහි පැවැත්මටම අවශ්‍යවන දේය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආදර්ශ පාඨය ලෙස පවතින ‘සාමාන්‍ය තත්වයට වඩා වැඩි නිදහස’ (More freedom than usual) යන්නෙන් අහස් වන්නේ ද එයයි.

ඇත්ත වශයෙන්ම මෙම තත්වය ඕනෑම නූතන ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් සම්බන්ධව සත්‍යයක් වන බව ද කිව යුතුය. ඊට හේතුව වන්නේ නූතන ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජ පදනම් වන්නේ ජනතා පරමාධිපත්‍යය යන මූලධර්මය මත වන බැවිනි. එවැනි සමාජයක රාජ්‍ය යන්ත‍්‍රය පවතින්නේ පුරවැසියාගේ කැමැත්ත මතය. පුරවැසියාට තම අදහස් නිදහසේ ප‍්‍රකාශ කිරීමට අවස්ථාව නොමැතිනම් එම සමාජය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නැත. මෙම නිදහස සාමාන්‍ය තත්වයටත් වඩා තිබිය යුතු විශ්වවිද්‍යාලවල මෙම මූලධර්ම ක‍්‍රියාවට පෙරලීමක් දක්නට නොලැබේ නම්, ඒසේ ම ඒවායේ බලධාරීන්ට එම මූලධර්ම පිළිබඳව අවබොධයක් නොමැති නම් ඒ අයට වහ වහා ඒ පිළිබඳව අවබෝධයක් ලබාදීමට කටයුතු කල යුතුය.

nrdewasiri@gmail.com

ප්‍රතිචාර

  1. මේ වනාහී අරුම පුදුම විශ්වවිද්‍යාලයකි. අප සිසුන්ව සිටින කල ප්‍රධාන ශිෂ්‍ය දේශපාලන කණ්ඩායම් දෙකට පරිබාහිරව අධ්‍යයන කවයක් පිහිටුවා බිත්තිපුවත්පතක් පවත්වාගෙන යාමට උතහාහ කළෙමු. අපගෙ සත් ක්‍රියාවෙන් කුපිත වූ එවක ශිෂ්‍ය සංගමයේ සභාපති යැයි කියාගත්, පරිපාලකයන්ගේත් දේශපාලකයන්ගේත් අතකොලුවක් වූ එක් ශිෂ්‍යක්‍රියාධරයෙකු ගේ කේලාම්වලින් කුපිත වූ එවක ශාස්ත්‍ර පීඨාධිපතිතුමිය අපව කැඳවා, වහාම අදාළ බිත්තිපුවත් පත ඉවත් කැර ගන්නා ලෙස තර්ජනය කළාය. අපගේ අභිමතය ඒත්තු ගැන්වීමට කෙතරම් උත්සහ කළද ඒ ගණනකට නොගත් ඇ විශ්ව විද්‍යාලයේ බිත්ති තිබෙන්නෙ පුවත් පත් පළ කිරීමට නොවන බවත් අවශ්‍යනම් එ නිර්මාණ දැන්වීම් පුවරුවල අළවා දමන ලෙසත් විළියෙන් තොරව ගුගුළා ය. මේ පිළිබඳව අප එවක පළ කළ පුවත් ලිපියෙන් අචාර්ය මණඩලය සහ සහෝදර ශිෂ්‍ය ප්‍රජාව දැනුවත් කළ ද ඔවුහු ද මුනිවත රැක්කාහ. අදවෙන විට තත්වය තව තවත් දරුණු වී ඇත. අචාර්යවරුන්ට තම දේශන අතරතුර කිවිසීම පවා තහනම් වන කාලය වැඩි ඈතක නොවනු ඇත.

  2. ලංකාවේ විශ්වවිද්‍යාල වල පරිපාලනය ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක වන්නේ අමු මැට්ටන් අතිනි..ඇතැම් විට අතිශය අවදානම් සහගත ඇටවීම් මගින් අධ්‍යාපනික කටයුතු සඳහා වන වගකීම් යන්තම් ඉටුකරලන මොවුහු ඒවායේ වැදගත්කම හවස කෝච්චිය අල්ලාගැනීමේ වැදගත්කම ට පහලින් ස්ථානගත කරන අවස්ථා එමටය..

kelum sanjeewa වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )