ජෙනරාල් ෆොන්සේකා නිදහස් කිරීමෙන්ම පාලක රෙජීමය ප්‍රජාතන්ත්‍රවාදී බවට පත් නොවේ

ජෙනරාල් ෆොන්සේකා නිදහස් කිරීමෙන්ම පාලක රෙජීමය ප්‍රජාතන්ත්‍රවාදී බවට පත් නොවේ
– කුමුදු කුසුම් කුමාර

දේශපාලන චින්තිකා හනා ආරන්ඩ්ට් ‘සමාවදීම‘ සහ ‘පොරොන්දුවීම‘ දේශපාලනයේ අත්‍යවශ්‍ය චිත්ත ශක්තීන් ලෙස සළකා කළ විග්‍රහය පිළිබඳ පවත්නා සාකච්ඡාවන්ට හැරීමෙන් අපට මේ පිළිබඳ අදහසක් සම්පාදනය කර ගත හැකිය. සමාව දීම ක්‍රියාවේ (action) සහ නිදහසේ ප්‍රධානම සාධකය යැයි හනා ආරන්ඩ්ට් ප්‍රකාශ කළාය. ඇය තර්ක කළ පරිදි මානව ක්‍රියාවන් හි ප්‍රථිඵල කලින් කියනොහැකි මෙන්ම එම ක්‍රියා නැවත හැරවිය නොහැකිද වන හෙයින් ක්‍රියාවේ නැතහොත් දේශපාලනයේ නිරත වන්නට නම් ක්‍රියාවටම අයිති චිත්ත ශක්තීන් දෙකක් වන සමාවදීම සහ පොරොන්දුවීම මත රඳාපවතින්නට මානවයාට සිදුවෙයි.

“පොරොන්දු ඉටුකිරීමට බැඳෙනු ලැබීමෙන් තොරව, අපට කවරදාකවත් අපගේ අනන්‍යතාවන් තබා ගත නොහැකි වනු ඇත; අප එක් එක් මිනිසාගේ හුදෙකලා හදවතේ අඳුරුබව තුළ, අසරණව සහ යන දිශාව පිළිබඳ හැඟීමකින් තොරව, ඉබාගාතේ යාමේ තීන්දුවට යටත් කෙරෙනු ඇතැ“ යි ආරන්ඩ්ට් තම The Human Condition නමැති කෘතියේ ලියුවාය.

හිටපු හමුදාපති සහ ජෙනරාල් සරත් ෆොන්සේකා සිරභාරයෙන් නිදහස් කෙරෙන ආරංචිය විශ්වසනීය බවෙන් වැඩෙමින් පැතිර යත්ම ජන සමාජය තුළ ඒ පිළිබඳ පැතිරුණු උනන්දුවට එක් හේතුවකි, ලාංකේය සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය පුළුල් කිරීම පිළිබඳ අපේක්ෂාව. අනෙක් අතට සරත් ෆොන්සේකා නිදහස් කිරීම පිළිබඳ සතුට ප්‍රකාශ කරන මහජනයා පළමු කොටම ඔහු එල්ටීටීයට එරෙහි යුද්ධයට දුන් නායකත්වය අගයන පිරිසක් බව පෙනෙයි. මේ පිරිස යුද ජයග්‍රහණය අගයන නමුත් එහි ගෞරවය තනිකරම ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රජයට හිමි වනවාට අකමැති විපක්ෂ සාමාජිකයන්ගෙන් මූලිකවම සැදුම් ගත්තේ යැයි සිතමි. සරත් ෆොන්සේකා පිළිබඳ අප සමාජය දක්වන ඉමහත් උනන්දුවේ හරය ඇත්තේ ඉහත දෙකරුණ අතර ඇති ප්‍රතිවිරෝධය තුළ ය.

යුද සමය තුළ මෙරට සිංහල ජන කොටස් ජෙනරාල් ෆොන්සේකාට ඇලුම් කළේ “ලංකාව සිංහලයන්ගේ ජාතිය“ යැයි ලොවට හඬගා කී හමුදාපතිවරයා ලෙසිනි. යුද්ධය වෙනුවෙන් තම ජීවිතය අහිමි වීමේ තර්ජනයට මුහුණ දුන් ෆොන්සේකා යුද්ධයෙන් පසු පොදු විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා බවට පත්වීම ඉතිහාසයේ සරදමක් වන්නේ යුද්ධයේදී තිරසාරව සිංහල ජාතිකවාදයේ පස ගත් ජනතා විමුක්ති පෙරමුණ පමණක් නොව යුද්ධය පිළිබඳ ජාතිකවාදී නොවන ස්ථාවරයක් ගත් එජාපය ද, යුද්ධයේදී ආණුඩුවට ප්‍රතිවිරුද්ධ පස ගත් දෙමළ ජාතික සන්ධානයත්, විදෙස් ගත ලාංකේය දෙමළ ප්‍රජාව නොහොත් ඩයස්පෝරාවත් රාජපක්ෂ රජයට අභියෝග කිරීමේ මඟ ලෙස ෆොන්සේකා පිළිගැනීම නිසාය. මෙම සියලු පිරිස් සමගින් සිංහල ජාතිකවාදය ප්‍රතික්ෂේප කරන ස්වාධීන ලිබරල් මතධාරී මැද පංතික විද්වත් වෘත්තිකයන් සහ කලාකරුවන් වැනි පිරිස් වල ජනාධිපති අපේක්ෂකයා ලෙස ද ෆොන්සේකා පිළි ගැනීමට ලක්වීම රාජපක්ෂ රෙජීමය යටතේ ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ කඩ ඇහිරී යාමේ තරම පෙන්නුම් කළේය. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ අපේක්ෂාව ලෙස ඉමහත් බලාපොරොත්තු දනවමින් ජනාධිපති තරඟයට පිළිපන් ෆොන්සේකා මැතිවරණ ව්‍යාපාරය ඇරඹූ සැනින්ම පාහේ තම අදහස් වල දැඩි ඒකාධිකාරී ස්වභාවයකුත් උග්‍ර මමත්වයකුත් ප්‍රකාශ කරන්නට පටන් ගැනීමෙන් මැද පංතිකයෝ ඔහුගේ දේශපාලන ව්‍යාපාරයෙන් වහා ඈත් වූහ. ජනාධිපතිවරණය මහින්ද රාජපක්ෂ සහ ජෙනරාල් ෆොන්සේකා දෙපුද්ගලයන් අතර මෙන්ම ඔවුන් නියෝජනය කළ දෙපිල අතරද උග්‍ර සටනක් බවට පත්වීය. සටනින් මහින්ද රාජපක්ෂ පරදිනු ඇතැයි දැඩි බියක් පාලක තන්ත්‍රය ඇතුළතම පැතිර ගිය බව වාර්තා වීය. නමුත් යුද්ධය දිනීමෙන් ලබාගත් ජයග්‍රහණ ආපසු හැරවීමේ කුමන්ත්‍රණයක් ෆොන්සේකා ගේ ජනාධිපති අපේක්ෂකත්වය පිටුපස ඇතැයි රජය කියා සිටීම, පාලක රෙජීමයමත් බලාපොරොත්තු නොවූ ලෙස ග්‍රාමීය ඡන්දදායකයන් අතිමහත් බහුතරයක් මහින්ද රාජපක්ෂ වටා එක් කරන්නට සමත්වීමෙන්, ෆොන්සේකා ඡන්ද මිලියන හතරක් ඉක්මවා ලබා ගත්තද පරාජයට පත්වීය. මැතිවරණය අවසන් වීමත් සමඟම ෆොන්සේකා අත් අඩංගුවට ගැනීමත් විවිධ චෝදනා යටතේ ඔහුට නඩු මාලාවක් පැවරීමත් ඔහුට සිර දඬුවම් දීමත් ලොව දුටුවේ දේශපාලන පලිගැනීමක් ලෙසිනි.

දැන් ජෙනරාල් ෆොන්සේකාට නිදහස ලැබී තිබේ. මෙය ලැබීමට හේතු වූ කරුණු පිළිබඳ විවාදයක් පවතී. මානව අයිතිවාසිකම් උල්ලංඝණය පිළිබඳ චෝදනා මුල් කොට ගෙන ජිනීවා හි දී ලංකාව ලද පරාජයත් සමග මතුපිටට ආ ඇමෙරිකානු බලපෑම ප්‍රධානකොටම මෙයට හේතුවීය යන්න එක් අදහසකි. මෙය පාලක රෙජීමය විසින් ප්‍රතික්ෂේප කරනු ඇත. ෆොන්සේකා ‘ද හින්දූ‘ පුවත් පතට කියා ඇත්තේ ජනතාව දිගින් දිගට කළ බලපෑම තමා නිදහස් කිරීමට ජනාධිපතිවරයා යොමු කළ බවයි. රොයිටර් පුවත් සේවා වාර්තාවක් කියා සිටියේ ජන අවධානය ආර්ථික දුෂ්කරතාවන්ගෙන් වෙනතකට යොමු කරන්නටත් විපක්ෂය අවුලට පත් කරන්නටත් ජනාධිපති රාජපක්ෂ ෆොන්සේකා නිදහස් කළ බවයි. රජය පැත්තෙන් කියැවෙනු ඇත්තේ මෙය ජනාධිපතිවරයා හොඳ හිතින් කළ සමාව දීමකි යන්නයි. නමුත් හොඳ හිතින් කළ සමාව දීමක් නම් ඡන්දය ඉල්ලීමේ එනම් පාර්ලිමේන්තු දේශපාලනය කිරීමේ ප්‍රධාන මාර්ගයක් අහුරා ෆොන්සේකා සිරභාරයෙන් නිදහස් කිරීමට ජනාධිපති රාජපක්ෂ පෙළඹුනේ මන්දැයි ප්‍රශ්නයක් පැණ නැඟී තිබේ.

හනා ආරන්ඩ්ට්: ‘සමාව දීම‘ සහ ‘පොරොන්දුවීම‘

දේශපාලන චින්තිකා හනා ආරන්ඩ්ට් ‘සමාවදීම‘ සහ ‘පොරොන්දුවීම‘ දේශපාලනයේ අත්‍යවශ්‍ය චිත්ත ශක්තීන් ලෙස සළකා කළ විග්‍රහය පිළිබඳ පවත්නා සාකච්ඡාවන්ට හැරීමෙන් අපට මේ පිළිබඳ අදහසක් සම්පාදනය කර ගත හැකිය. සමාව දීම ක්‍රියාවේ (action) සහ නිදහසේ ප්‍රධානම සාධකය යැයි හනා ආරන්ඩ්ට් ප්‍රකාශ කළාය. ඇය තර්ක කළ පරිදි මානව ක්‍රියාවන් හි ප්‍රථිඵල කලින් කියනොහැකි මෙන්ම එම ක්‍රියා නැවත හැරවිය නොහැකිද වන හෙයින් ක්‍රියාවේ නැතහොත් දේශපාලනයේ නිරත වන්නට නම් ක්‍රියාවටම අයිති චිත්ත ශක්තීන් දෙකක් වන සමාවදීම සහ පොරොන්දුවීම මත රඳාපවතින්නට මානවයාට සිදුවෙයි. සමාවදීම, ක්‍රියාකරන්නා තම ක්‍රියාවන්හි අනපේක්ෂිත ඵල විපාකයන්ගේ වගකීමෙන් මුදවාලමින්, කළ දේ ආපසු හැරවිය නොහැකිවීමේ බරපතළ බව සැහැල්ලු කරයි. පොරොන්දුදීම, ක්‍රියාකාරකයන් කිසියම් ක්‍රියා මාර්ගයන්ට බැඳලීමෙන්, අනාගතය කල් තබා කිව නොහැකිකමට කිසියම් සීමාවක් පැනවීමෙන්, ක්‍රියාවේ ප්‍රථිඵලයෙහි ඇති අවිනිශ්චිතභාවය අඩු කරයි. කිසිවෙකුටත් තමාටම සමාව දී ගත නොහැකියැයි හනා ආරන්ඩ්ට් කියයි. ඇය දකින පරිදි සමාව දීම යනු අප කළදෙයෙහි පළවිපාකයන්ගෙන් අප නිදහස් කිරීම යි.

නොදැන කළ වරදකට සමාව නොලැබෙන්නේ නම් යමෙකුට තව දුරටත් ක්‍රියාවන්හි, එනම් දේශපාලනයේ නිරත විය නොහැකි වෙයි. අනෙක් අතට පොරොන්දු දීම අනාගතය අනිශ්චිත වීම සහ කල්තබා කිව නොහැකිවීමට යම් සීමා පැනවීමෙන් අපට අනාගතයට මුහුණ දීමට ඉඩ හැකියාව ලබා දෙයි. “පොරොන්දු ඉටුකිරීමට බැඳෙනු ලැබීමෙන් තොරව, අපට කවරදාකවත් අපගේ අනන්‍යතාවන් තබා ගත නොහැකි වනු ඇත; අප එක් එක් මිනිසාගේ හුදෙකලා හදවතේ අඳුරුබව තුළ, අසරණව සහ යන දිශාව පිළිබඳ හැඟීමකින් තොරව, ඉබාගාතේ යාමේ තීන්දුවට යටත් කෙරෙනු ඇතැ“ යි ආරන්ඩ්ට් තම The Human Condition නමැති කෘතියේ ලියුවාය. ආරන්ඩ්ට් දුටු පරිදි, මිනිසුන්ට සමාව දිය නොහැක්කේ දඬුවම් කළ නොහැකි ආකාරයේ වරදකට ය. එහෙයින්, සමාව දිය නොහැකි දෙයට දඬුවම් දීමද කළ නොහැකි ය. සමහර වැරදි ප්‍රමාණවත් ලෙස දඬුවම් කළ නොහැකි මෙන්ම සමාව දිය නොහැකි ඒවා වෙයි.

ජනාධිපති රාජපක්ෂ ජෙනරාල් ෆොන්සේකා නිදහස් කරන බවට දුන් පොරොන්දුව ඉටු කළ ආකාරය දැන් මතභේදයට තුඩු දී තිබේ. ජෙනරාල් ෆොන්සේකාට සමාව දුන්නේ කුමන කරුණක් අරභයාද යන ප්‍රශ්නයට ලැබෙන පිළිතුර අනුව පොරොන්දුව හරියාකාරව ඉටු කළේද යන්නට පිළිතුරක් ලැබෙනු ඇත.

යුද්ධය සම්බන්ධයෙන් ෆොන්සේකා ගේ ක්‍රියා කලාපය සමාව දිය නොහැකි ආකාරයේ එකක් නොවන්නේ යැයි ජනාධිපතිවරණයේදී ඔහු වටා එකතු වූ සියලු දෙන තීරණය කළ බව පෙනෙයි. අදත් දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ පවා ෆොන්සේකා නිදහස් වීම පිළිබඳ සතුට පළ කොට තිබීමෙන් මේ බව පෙනෙයි. නමුත් ඔහුට සමාව දී ඇති ආකාරයෙන් පෙනී යන්නේ ෆොන්සේකා පූර්ණ සමාවක් දිය නොහැකි ආකාරයේ වරදක් කළ බවට හැඟීමක් පාලක තන්ත්‍රය තුළ පවතින බවයි.

මේ පිළිබඳ ජෙනරාල් ෆොන්සේකා දරා සිටින ස්ථාවරය බව පෙනෙන්නේ සමාව ඉල්ලීමට තමා වරදක් කොට නැත යන්නයි. තමාට එරෙහිව එල්ල වූ සියලු චෝදනා ඔහු ප්‍රතික්ෂේප කොට තිබේ. එසේ තිබියදීත් ජනාධිපති රාජපක්ෂ ජෙනරාල් ෆොන්සේකාට සමාවක් ප්‍රකාශ කර තිබීමෙන් පෙන්නුම් කරන්නේ ජනාධිපතිවරයාගේ මහාත්මභාවය යැයි යන මතය පිළිබඳ ප්‍රශ්න කරන්නට ඉඩක් ෆොන්සේකාට පූර්ණ නිදහස ලබා නොදීමෙන් ඇතිවෙයි.

ෆොන්සේකා නිදහස් කිරීම සහ ‘විදෙස් කුමන්ත්‍රණ‘

බීබීසී යේ චාර්ල්ස් හැවිලන්ඩ් කී පරිදි ජෙනරාල් ෆොන්සේකා විවාදාපන්න සහ සමාජය උග්‍ර මත වලට සමාජය බෙදීමට සමත් තැනැත්තෙකි. ඔහු බොහෝ ලාංකිකයන්ගේ පරිකල්පනාව ග්‍රහණයට ගෙන ඇතැයි ද හැවිලන්ඩ් කීය. එසේ වීමට හේතුව වත්මන් පාලන තන්ත්‍රයට නිර්භයව අභියෝග කළ හැකි පුද්ගලයෙකු ලාංකිකයන් ෆොන්සේකා තුළ දැකීම බව මගේ අදහසයි. වත්මන් පාලන තන්ත්‍රය මේ පිළිබඳ වටහා ගත යුතු කරුණ වන්නේ ෆොන්සේකා කෙරෙහි ජනතාව ආකර්ෂණය වන්නේ ඔහු ගේ ආගමනය අවම වශයෙන් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය පුළුල් කරනු ඇත යන අපේක්ෂාවෙන් බවයි.

අද රටේ හදිසි අවශ්‍යතාව වී ඇත්තේ එජයට එරෙහි එක්සත් විපක්ෂයක් ගොඩ නැඟීම බවට සරත් ෆොන්සේකා කර ඇති ප්‍රකාශය විපක්ෂයේ චිත්ත ධෛර්යය නංවා ලීමට හේතු විය හැකිය. එහි ප්‍රා යෝගික වලංගුභාවය දකිනු හැකි වනු ඇත්තේ ක්‍රියාව තුළම ය. තම අරමුණ ලංකාවේ දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට ජනතාවට අධ්‍යාපනය ලබා දෙමින් ඔවුන් සමඟ එක්ව කථා බස් කරමින් කටයුතු කිරීම යැයි යන ෆොන්සේකා ප්‍රකාශ කොට ඇති අරමුණ යහපත් ය යන්න පිළිබඳ විවාදයක් තිබිය නොහැක. මෙහිලා ද අභියෝගය වන්නේ මෙය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම යි. ජනතාවට කථා කරමින් තම දේශපාලනයේ යෙදීමට ඔහු ගෙන ඇති තීරණය යුද්ධය ජයගත් හමුදා නායක ජෙනරාල්වරයා ගේ භූමිකාවේ සිට ජාතික මට්ටමේ දේශපාලන නායකයෙකු ගේ භූමිකාවට ප්‍රවිශ්ඨ වන්නට ඔහුට පිහිට විය හැකිය. ජනතාවට උගන්වන්නට යාමේදී ජනතාවගෙන් ඉගෙන ගැනීමට දේ ඇති බවද දක්ෂ දේශපාලනඥයෝ උගනිති.

‘දි අයිලන්ඩ්‘ පුවත් පතේ ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ ගෙන් විමසා ලියූ පුවතක යෝජනා කෙරෙන පරිදි ෆොන්සේකා නිදහස් කිරීම මෙරට පාලන තන්ත්‍ර යේ වෙනසක් ඇති කිරීමේ විදේශීය කුමන්ත්‍රණයකට අනුබල දීමක් බවට පරිවර්තනය වීමේ අනතුරක් ඇත්නම් පාලන තන්ත්‍රය මේ බව නොදැන ෆොන්සේකා නිදහස් කළේදැයි ගැටළුවක් මතුවෙයි. ෆොන්සේකා නිදහස් කරන ලෙස වඩාත්ම බල කර සිටියේ රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ යැයි ජනාධිපති රාජපක්ෂ කියා තිබීමෙන් පෙනී යන්නේ එවැනි තර්ජනයක් ඇතැයි ගෝඨාභය රාජපක්ෂ විශ්වාස නොකරන බව නොවේද? නිශාන්ත ශ්‍රී වර්ණසිංහ ගේ ප්‍රකාශයෙන් උපුටා ‘දි අයිලන්ඩ්‘ පුවත් පත අවධාරණය කළ කරුණක් ලංකාවේ දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට තමා දේශපාලනයට පිවිසෙන්නේ යැයි ෆොන්සේකා කළ ප්‍රකාශය සමග ගැලපෙයි. එය නම් රටේ පාලනයේ පිරිහීම පිළිබඳ මැද පංතියේ සැළකිල්ලට ලක් වී ඇති – නීතිය සහ පාලනය සීඝ්‍රයෙන් කඩා වැටීම, රජයේ දේශපාලනඳයන්ගේ අවිචාරී හැසිරීම, නාස්තිය, දූෂණය සහ අක්‍රමිකතා යන – කරුණු කෙරෙහි ආණ්ඩුවේ අවධානය වහා ලක් විය යුතු බවයි.

හමුදා, සිවිල් සහ දේශපාලන කටයුතු වලට ඇඟිලි ගැසීම

අප මෙයට අදහසක් එකතු කරන්නේ නම් යුද්ධය අවසන් වී අවුරුදු තුනක් සපුරා ඇති මෙම අවස්ථාවේ දකුණේත් උතුර සහ නැගෙනහිරත් ලාංකේය ජනතාවගේ ප්‍රජාතන්තාවාදී අභිලාෂයන් පූර්ණ වශයෙන් සපුරාලීම හදිසි අවශ්‍යතාවක් වී තිබේ. මෙයට ප්‍රධාන බාධකයක් වී ඇත්තේ ආරක්ෂක හමුදාවන් සිවිල් සහ දේශපාලන කටයුතු වලට දිගින් දිගට මැදිහත් වන බවට කෙරෙන වාර්තා වීම් ය.

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ආරක්ෂක හමුදාවන්හි කොටස් දිගින් දිගටම බාධා කරන බවට පුවත් ජන මාධ්‍යයන්හි වාර්තා වෙයි. සමාජවාදී තරුණ සංගමයේ පෝස්ටර් අලවමින් සිටි තරුණයන් දෙදෙනෙකු හමුදාවන්ට අයිති යැයි කියන පිරිසක් විසින් වෑන් රියකින් පැහැර ගෙන ගොස් පහර දී පසුව මහ මඟ දමා යාමේ සිද්ධියකුත්, මීගමුවේදී පෝස්ටර් අලවමින් සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයින් පිරිසකට හමුදා නිලධාරීන් පිරිසක් පැමිණ තර්ජනය කර පෝස්ටර් ඉරා දමා, ඉතිරිව තිබූ පෝස්ටර් පැහැර ගෙන ගොස් ඇතැයි කියැවෙන් අවස්ථාවකුත් පසුගිය දින කිහිපය තුළ වාර්තා වීය. යාපනය විශ්වවිද්‍යාලයේ කලා පීඨ ශිෂ්‍ය සංගමයේ ලේකම් ධර්ෂ නන්දන්ට බරපතල තුවාල සිදු කරමින් කළ පහර දීමක් යාපනයෙන් වාර්තා විය. ඔහු රැස්වීමකදී උතුරේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනයවීම් සම්බන්ධයෙන් කතාවක් පැවැත්වීමට නියමිතව සිටියදී මෙලෙස පහරදීමට ලක් වූ බව පැවසේ. මෙම පහර දීම කළේ කවුරුන්දැයි වාර්තා වී නැත. නමුත් මෙවැනි ක්‍රියා පිළිබඳ වහාම පරීක්ෂණ පවත්වා ඒවාට වගකිවයුත්තන් අධිකරණය ඉදිරියට පැමිණවීම පොලීසියේ සහ උතුර නැගෙනහිර නම් හමුදාවේත් වගකීම වන්නේය.

හිටපු හමුදාපති ජෙනරාල් ෆොන්සේකා සිරභාරයෙන් නිදහස් කිරීම ලාංකේය සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය පුළුල් කිරීමට හේතුවන බව අපගේ අදහසයි.නමුත් ඔහුගේ ප්‍රජා නිදහසට සීමා පනවා ඔහු සිරයෙන් නිදහස් කිරීමෙන් පමණක් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු නොවේ. අද ලාංකේය සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමෙහි ලා මූලික සාධකය වන්නේ ආරක්ෂක හමුදා උතුරේ සහ නැගෙනහිරත් දකුණේත් සිවිල් කටයුතු සහ දේශපාලන කටයුතු වලට මැදිහත්වීමෙන් සම්පූර්ණයෙන් ඉවත් කර ගැනීම යි. මේ පිළිබඳ වත්මන් පාලන තන්ත්‍රය ක්‍රියාකරන ආකාරය එහි අනාගත පැවැත්මට තීරණාත්මක ලෙස බලපානු ඇති බව මගේ අදහසයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )