බන්දුල ගුණවර්ධනගේ සාධාරණ අධ්‍යාපනය

බන්දුල ගුණවර්ධනගේ සාධාරණ අධ්‍යාපනය
– නිර්මාල් රංජිත් දේවසිරි

අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන විසින් ජාතික පාසැල් වල සිසු සිසුවියන්ට උසස් පෙළ සඳහා වෙනත් ජාතික පාසැලකට යාම අවහිර කිරීම සඳහා ගනුලැබූ පියවර පසුගිය දිනවල බෙහෙවින් ජන අප‍්‍රසාදයට පාත‍්‍ර විය. මේ පියවර ඒ මහතා විසින් හඳුන්වා දෙනු ලැබූවක් නොවන බවටත් දැනටමත් ඊට අදාල චක‍්‍රලේඛ පවතින බවටත් ගුණවර්ධන මහතා කරන ප‍්‍රකාශය සත්‍යයක් බවට සැකයක් නැත. නමුත් එම චක‍්‍රලේඛ නිසිලෙස ක‍්‍රියාත්මක වී නැති බව පැහැදිළිව පෙනේ. මේ නිසා මේ ගැටලූව දෙස ගුණවර්ධන මහතාට බැට දීමෙන් ඔබ්බට ගොස් සාකච්ඡුා කළ යුතුබව මගේ අදහසයි.

බන්දුල ගුණවර්ධන මහතාගේ තර්කය වන්නේ එක් ජාතික පාසැලකින් තවත් ජාතික පාසැලකට උසස් පෙළ සඳහා මාරුවී යාමට ඉඩ දීම හේතුකරගෙන ග‍්‍රාමීය සිසු සිසුවියන්ට අසාධාරණයක් සිද්ධවන බවයි. ඔහු මෙහිදී කොළඹ ප‍්‍රසිද්ධ ජාතික පාසැල් වල සාමාන්‍ය පෙළ සඳහා උසස් ප‍්‍රතිඵල ලබාගත් සිසු සිසුවියන් ඊට වඩා ජනප‍්‍රිය පාසැල් වලට උසස් පෙළ සඳහා ඇතුල් වීම තම තර්කය සාධාරණීකරණය කිරීම සඳහා උපයෝගී කරගනී. ඔහුගේ තර්කය වන්නේ මේ තත්වය නිසා උසස් ප‍්‍රතිඵල ලබාගෙන ප‍්‍රධාන පෙළේ ජනප‍්‍රිය පාසැල් වලට උසස් පෙළ සඳහා ඇතුල් වීමට අපේක්ෂාවෙන් සිටින ග‍්‍රාමීය සිසු සිසුවියන්ට අසාධාරණයක් සිද්ධවන බවයි. මෙය පහසුවෙන් බිඳහෙලිය හැකි තර්කයක් නොවන අතරම ඇමතිවරයාගේ උත්සාහය මගින් මෙම ගැටලූවට විසඳුමක් ලැබෙන්නේනම් අප එයට එකහෙළාම සහය දැක්විය යුතුය.

ඇත්ත වශයෙන්ම මෙම තීරණය ඇමතිවරයා විසින් ප‍්‍රකාශයට පත්කල වහාම එක්තරා ගුවන්විදුලි නාලිකාවක් මගෙන් මේ පිළිබඳ අදහස් විමසා සිටියේ ය. එහිදී මා මගේ ක්ෂණික ප‍්‍රතිචාරය ලෙස ප‍්‍රකාශ කළේ මෙම පියවර නරක එකක් නොවන බවයි. මගේ අදහස අදාල නාලිකාවෙන් ප‍්‍රචාරය කලාදැයි මම නොදනිමි. කෙසේ වෙතත් මේ සම්බන්ධව ඇතිවූ මහජන සාකච්ඡුාව තුළ මතුවූ කරුණු ඔස්සේ වැඩිදුර සිතා බැලීමේ දී මට ඒත්තු ගියේ ඇමතිවරයාගේ ක‍්‍රියා මාර්ගය ගැටලූ සහගත බවයි.

ඇමතිවරයාගේ ‘ග‍්‍රාමීය ජනයාට සාධාරණය ඉෂ්ට කිරීම’ පිළිබඳ කියාපෑම පිළිබඳව සැක කිරීමට තවත් හේතුවක් ද තිබේ. එනම් අපගේ දේශපාලන සංස්කෘතිය තුළ අසාධාරණයට ලක්වූ පිරිස්වලට සාධාරණය ඉෂ්ට කිරීම පිළිබඳව වන කියාපෑම් හී පසුපස ඇත්තේ එතරම් ම ප‍්‍රසන්න දේ නොවන හෙයිනි. මෙහිදී මා මතුකරන ප‍්‍රශ්නය වන්නේ සාධාරණත්වය පිළිබඳ මූලධර්මය මත පදනම් වී ඇති සෑම යෝජනාවක්ම ක‍්‍රියාවට දැමීමට අපගේ පාලකයින් පියවර ගන්නේ ද යන්නයි. අධ්‍යාපනයට අදාලවම උදාහරණයක් මෙහි දී සලකා බැලීමට කැමැත්තෙමි.

මීට වසර කීපයකට පෙර මහාචාර්ය ඒ. වී. සුරවීර ගේ සභාපතිත්වයෙන් පැවැති ජාතික අධ්‍යාපන කොමිසම මගින් පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කිරීම සඳහා ඇති තරඟයට පිළියමක් ලෙස ඉතාම වැදගත් යෝජනාවක් ඉදිරිපත් කරන ලදි. එනම් ජනප‍්‍රිය පාසැල් වල ප‍්‍රාථමික පංති ඒවායින් ඉවත් කිරීම සහ වෙනම ප‍්‍රථමික පාසැල් ඇති කිරීමයි. මෙම යෝජනාව ලංකාවේ අධ්‍යාපන කෙෂ්ත‍්‍රය මුහුණදෙන ගැටලූ පමණක් නොව කොළඹ නගරයේ රථවාහන තදබදයට පවා සාර්ථක පිළියමක් වන පරිද්දෙන් ක‍්‍රියාත්මක කරණු ලැබිය හැකි යෝජනාවකි. නමුත් මෙම යෝජනාව ක‍්‍රියාත්මක වූයේ නැත. ඊට ප‍්‍රධාන හේතුව වූයේ කොළඹ ප‍්‍රභූ සමාජයේ මාෆියාවක් වන ආදි ශිෂ්‍ය සංගම් මීට තදින්ම එරෙහි වීමයි. මේ තත්වය තුළ ලංකාවේ දේශපාලකයින්ගේ සාධාරණත්වය පිළිබඳ කියාපෑම් එතරම් බැරූරුම් ලෙස භාරගැනීමට සාධාරණ පදනමක් ඇත්තේ නැත. එම නිසා බන්දුල ගුණවර්ධන ඇමතිවරයාගේ සාධාරණත්වය පිළිබඳ කියාපෑම දැනට පසෙකින් තබා අපි ගැටලූව විභාග කර බලමු.

ලංකාවේ පාසැල් පද්ධතිය තුළ බරපතල අසමානතා පවතී. ඒ අසමානතා පවතින්නේ ග‍්‍රාමීය හා නාගරික වශයෙන් පමණක් නොවේ. ඇත්ත වශයෙන්ම අසමානතාවයේ සැබෑ පදනම වන්නේ සමාජයේ ඉහල පංතීන්වල සාමාජිකයින්ගේ දරුවන් ඉලක්ක කරගත් පාසැල් හා පහළ පංතීන්වල සාමාජිකයින්ගේ දරුවන් ඉලක්ක කරගත් පාසැල් අතර පවතින වෙනසයි. ගුණවර්ධන ඇමතිවරයා තමන්ගේ කටින් පිටවන සෑම වචන දහයකටම වරක් සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මහතා ගේ නම පුනරුච්ඡුාරණය කළත් මෙම අසමානතාවය ඉවත් වීමට එයින් පමණක් සේවයක් වන්නේ නැත.

මෙම අසමානතාවය ඊනියා ජාතික පාසැල් අතරම පවතී. කොළඹ රාජකීය විද්‍යාලය මෙන්ම කොටහේන මධ්‍ය මහා විද්‍යාලය ද, ආදුරුප්පු වීදියේ අමීඞ් අල් හුසේනියා විද්‍යාලය ද ජාතික පාසැල් වේ. ඒ නිසා ඇමතිවරයා කතාකළ යුත්තේ තරස්ටන් විද්‍යාලයේ සිට රාජකීය විද්‍යාලයට උසස් පෙළ සඳහා සිසුන් මාරුවී යාම වැලැක්වීම ගැන නොව, මෙම පියවර නිසා කොටහේන මහා විද්‍යාලයේ හෝ අමීඞ් අල් හුසේනියා විද්‍යාලයේ සිසුන්ට රාජකීය විද්‍යාලයට උසස් පෙළ සඳහා පිවිසීමට ඇති සුළු ඉඩකඩ ද මේ මගින් ඇහිරී යාම පිළිබඳවයි.

මෙහිදී වැදගත්වන තවත් කාරණයක් තමයි ජාතික පාසැල් හා පලාත් පාසැල් අතර තිබෙන බෙදීමේ ඇති ව්‍යාජ බව. මෙම බෙදීමට කිසියම් සාධාරණත්වයක් තිබීමට නම් සියලූම ජාතික පාසල් සියලූම පලාත් පාසැල් වලට වඩා ගුණාත්මක වශයෙන් ඉහල විය යුතුය. නමුත් එය කිසිසේත්ම එසේ නොවේ. ඇතැම් ගුණාත්මක වශයෙන් ඉහල පාසැල් පලාත් සභා මහ ඇමති වරුන්ගේ උවමනාවට ජාතික පාසැල් මට්ටමට පත් නොකළ අවස්ථා මෙන්ම ඇතැම් පාසැල් මධ්‍යම ආණ්ඩුවේ ඇමතීන්ගේ උවමනාවට ගුණාත්මක වශයෙන් පහළ තත්වය නොසලකා ජාතික පාසැල් බවට පත්කර ඇති අවස්ථා ද තිබේ. ගුණවර්ධන ඇමතිවරයා ගේ ඊනියා ‘සාධාරණත්වවාදය’ ක‍්‍රියාවට දැමෙන්නේ මේ විකෘති තත්වයන් එලෙසම තිබියදීය.

අනෙක් අතට තව දුරටත් මතුකල හැකි ප‍්‍රශ්නය වන්නේ තර්ස්ටන් විද්‍යාලයේ සිට රාජකීය විද්‍යාලයට සිසුන් මාරුවෙන්නේ ඇයි ද යන කාරණයයි. මේ ප‍්‍රශ්නය බරපතල ආකාරයෙන් විමසුවහොත් ගුණවර්ධන ඇමතිවරයාගේ සාධාරණත්වය ඇතිකිරීමේ ව්‍යාපෘතිය ඔය තරම් සිල්ලර මට්ටමේ වැඩ වලින් කළ හැක්කක් නොවන බව පෙනී යනු ඇත.

ලංකාවේ අධ්‍යාපනය පිළිබඳ පොදුජන විඥානය පදනම් වී තිබෙන්නේ එය සමාජ ඉණිමගේ ඉහලට ගමන් කිරීමේ යාන්ත‍්‍රණයක් ලෙස භාවිත කිරීමට ඇති හැකියාව මතය. මෙම හැකියාවට අභියෝගයක් වන ඕනෑම පියවරකට සමාජයේ මධ්‍යම හා පහළ පංතීන් වෙතින් විරෝධය එල්ල වීම වැලැක්විය නොහැකිය. එය හරියට පුද්ගලික අංශයේ විශ‍්‍රාම වැටුප් පනතට නිදහස් වෙළඳ කලාපයේ කම්කරුවන්ගෙන් පැමිණි මාරාන්තික විරෝධය මෙනි.

ඇත්ත වශයෙන්ම අධ්‍යාපනය පිළිබඳ මෙම පොදුජන විඥානයේ බරපතල ගැටලූ පවතී. එම පොදුජන විඥානය ලංකාවේ අධ්‍යාපනයේ බිඳ වැටීමට විශාල වශයෙන් ඉවහල් වී ඇත. විශේෂයෙන්ම ටියුෂන් කර්මාන්තයේ ඇතිවී තිබෙන භයානක ව්‍යාප්තිය පසුපස ඇත්තේ මෙම පොදුජන මානසිකත්වයයි. කෙසේ වෙතත් මේ ආණ්ඩුවේ ආර්ථික හා සමාජ දැක්ම හරහා සිදුවනනේ මෙම මානසිකත්වය තවතවත් ධෛර්යමත් කිරීම විනා ඊට එරෙහිව ගමන් කිරීම නොවේ. එවැනි තත්වයක් තුළ ගුණවර්ධන ඇමතිවරයාගේ ඊනියා සාධාරණත්වවාදය දේශපාලන උප්පරවැට්ටියක් නොවේ නම් හුදු ව්‍යාජොක්තියක් පමණි.

nrdewasiri@gmail.com

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )