ශිෂ්ටාචාරමය ගැටුමක අවසානය: ජාතික චින්තනය මහින්ද චින්තනය දක්වා රූපාන්තරණය වීම හෙවත් ධනේෂ්වර පරිභෝජනවාදයේ කොළපාට (ධර්මිෂ්ට) සමාජය නිල්පාටින් නිර්මාණය වීම

ශිෂ්ටාචාරමය ගැටුමක අවසානය:
ජාතික චින්තනය මහින්ද චින්තනය දක්වා රූපාන්තරණය වීම හෙවත් ධනේෂ්වර පරිභෝජනවාදයේ කොළපාට (ධර්මිෂ්ට) සමාජය නිල්පාටින් නිර්මාණය වීම
– නිර්මාල් රංජිත් දේවසිරි

1994 අගෝස්තු මාසයේ ඉතාම තීරණාත්මක මහා මැතිවරණයේ ප‍්‍රචාරක ව්‍යාපාරය දියත් වෙමින් පැවැතියදී TNL රූපවාහිනිය ප‍්‍රධාන මැතිවරණ කඳවුරු දෙකේ ප‍්‍රකාශකයින් සහභාගී කරවාගෙන රූපවාහිනී විවාද මාලාවක් පැවැත්වී ය. එයින් එකක් පැවැතියේ එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රබලයකු වූ ගාමිණී ජයවික‍්‍රම පෙරේරා හා පොදුජන එක්සත් පෙරමුණේ ප‍්‍රබලයකු වූ අමරසිරි දොඩංගොඩ අතරය. එවකට එජාප ආණ්ඩුවට විරුද්ධ විපක්ෂ කතිකාවේ ප‍්‍රධාන පෙළඹුම් පදය (catch word) වූ ‘‘දාහත් වසරක ශාපයේ’’ ප‍්‍රධාන අංගයක් ලෙස දොඩංගොඩ මහතා හඳුනාගත්තේ දේශීය නිෂ්පාදන භාවිත කිරීම වෙනුවට බටහිරින් එන භාණ්ඩ පරිහරණය කිරීමේ පරිභෝජන පුරුද්දයි. කොකා කෝලා වැනි බටහිර සිසිල් බීම වර්ග වලට වැඩි වැදගත් කමක් ලබා දී ඊට ආදේශ වශයෙන් භාවිත කළ හැකි ස්වදේශීය බීම වර්ග නොතකා හැරීම ගැන දොඩංගොඩ මහතා එජාප පාලනය විවේචනය ලක් කලේය. එවිට ජයවික‍්‍රම පෙරේරා මහතා විමසා සිටියේ දොඩංගොඩ මහතාගේ පක්ෂය බලයට පැමිණි කල්හී කොකා කෝලා වැනි බීම වර්ග තහනම් කරන්නේ ද යන්නයි. ඊට සෘජු පිළිතුරක් දීමට දොඩංගොඩ මහතාට හැකිවූයේ නැත.

දොඩංගොඩ මහතා එජාපයට එල්ල කළ විවේචනය වඩාත් සංගත හා සවිස්තරාත්මක ලෙස ඉදිරිපත් කරනු ලැබූ චින්තන ව්‍යාපාරයක් ඒ වන විට රට තුළ ජනප‍්‍රිය වෙමින් පැවැතුණි. එනම් ජාතික චින්තන ව්‍යාපාරයයි. ජාතික චින්තන ව්‍යාපාරය මගින් එජාපය 1977 දී ඉතාම ආක‍්‍රමණශීලී ලෙස හඳුන්වා දෙනු ලැබූ ධනවාදී-පරිභෝජනවාදී ලෝක දැක්ම පමණක් නොව ඊට එරෙහි විභවාත්මක විකල්පය වූ මාක්ස්වාදී සමාජවාදී ලෝක දැක්ම ද තීරණාත්මක ලෙස ප‍්‍රතික්ෂේප කරමින් නව ලෝක දැක්මක් යෝජනා කරනු ලැබීය. ‘77 ව්‍යාපෘතිය’ හඳුන්වා දෙනු ලැබූ වහාම ඊට එරෙහිව තියුණු විවේචනයක් එල්ල කලාවූ එදිරිවීර සරච්චන්ද්‍ර ගේ ‘ධර්මිෂ්ට සමාජය’ කෘතිය මගින් යෝජිත ලෝක දැක්ම තාර්කික අන්තයක් කරා ගෙන යාමක් ලෙස ජාතික චින්තන ව්‍යාපාරය හැඳින්වීමට පුළුවන. ගුණදාස අමරසේකර හා නලින් ද සිල්වා විසින් මූලික වශයෙන් ගොඩ නංවනු ලැබූ මෙම ලෝක දැක්ම එවකට ජව සම්පන්න හා තියුණු බුද්ධියකින් යුතු තරුණ රැඩිකල් දේශපාලන ක‍්‍රියාධරයකුව සිටි පාඨලී චම්පික රණවක විසින් දේශපාලන ව්‍යාපෘතියක් බවට පත්කරන ලදි.

මේ අය ‘77 ව්‍යාපෘතිය’ මඟින් අනුදත් අධිපති සංවර්ධන මොඩලය එකහෙළා බැහැර කරමින් ජාතික චින්තනය නමින් ඔවුන් විසින්ම නම් කලා වූ සරළ අල්පේච්ඡ, ගැමි කෘෂිකර්මය මත පදනම් වූ සමාජ-ආර්ථික මොඩලයක් යෝජනා කළහ. මෙම ආර්ථික දර්ශනය සාධාරණිකරණය කරමින් චම්පික රණවක ප‍්‍රකාශ කලේ පුළුල්ව ගත්කල කාර්මික ශිෂ්ටාචාරයේ නිමැවුමක් වන ට‍්‍රැක්ටරයට වඩා ඊට ආදේශකයක් වන සම්ප‍්‍රදායික කෘෂිකර්මයේ නිමැයුමක් වූ උදැල්ල කාර්යක්ෂමතාවයෙන් ඉහල බවයි.

1997 දී පළ කල ඉතාම විචිත‍්‍ර කෘතියක් මගින් සී. ඒ. චන්ද්‍රපේ‍්‍රම මෙම ‘සරච්චන්ද්‍රවාදී ලෝක දැක්ම දෘඩ විවේචනයට ලක්කරමින් ‘77 ව්‍යාපෘතිය’ මගින් පරිකල්පනය කරන ලද සමාජය ‘කොළපාට සමාජය’ යනුවෙන් නම් කලේය. ඔහුගේ කෘතියේ නම වූයේ ද එයමයි. මේ චන්ද්‍රපේ‍්‍රම දැන් රාජපක්ෂ පාලනයේ කිට්ටු මිතුරෙක් වන අතර ගෝඨාභය රාජපක්ෂ පසසමින් පොතක් ද ලීවේය.

1994 පොදුජන එක්සත් පෙරමුණේ ජයග‍්‍රහණය බොහෝ දුරකට මෙම ‘සරච්චන්ද්‍රවාදී ලෝක දැක්මේ’ ජයග‍්‍රහණයක් ද විය. කොසේ වෙතත් ජාතික චින්තනයේ ප‍්‍රකාශකයින් 1994 පොදුජන එක්සත් පෙරමුණේ ජයග‍්‍රහණය සාදරයෙන් පිළිගත් සිද්ධියක් වූයේ නැත. ඒ එහි පෙරමුණේම සිටියේ මාක්ස්වාදීන් හා ලිබරල්වාදීන් නිසාය. ඒ වනවිට නලින්-අමරසේකර සංධානයෙන් වෙන්වී සිටි චම්පික රණවක පොඑපෙ ජයග‍්‍රහණය කරවීමට උනන්දුවෙන් මැදිහත් වුව ද පොඑපෙ ආණ්ඩුවේ ගමන් මග මුල සිටම අනුමත කලේ නැත.

කෙසේ වෙතත් 2005 මහින්ද රාජපක්ෂගේ ජයග‍්‍රහණය ජාතික චින්තනයේ ජයග‍්‍රහණයක් විය. විවිධ හේතු නිසා එකිනෙකාට විරුද්ධ වුවද ජාතික චින්තන කඳවුරේ සැලකිය යුතු වැදගත්තමක් සහිත සියල්ලෝම 2005 ‘ජයග‍්‍රහණය’ පසුපස සිටියහ.

ලංකාවේ ග‍්‍රාමීය සම්භවයක් සහිත මධ්‍යම පංතිකයාගේ දෘෂ්ටිවාදී මනඃ සෘෂ්ටියේ (fantasy ) දේශපාලන පරිකල්පනය ඓතිහාසික-සාහිත්‍යමය ආඛ්‍යානයක් ලෙස ප‍්‍රකාශයට පත්කල ගුණදාස අමරසේකරගේ ‘ගමනක මුල’ නවකතාවෙන් ඇරඹි කතාමාලාව පරිපාකයට පැමිනියේ ‘ගමනක අග’ නව කතාවෙනි. කතාව අවසාන හරියේ එහි කතා නායකයා වන පියදාස ප‍්‍රභාකරන් පරාජයට පත්වීමෙන් පසුව ලංකාවට පැමිණ ‘77 ව්‍යාපෘතිය’ ගැන මෙසේ කියයි:
‘‘ඒ මොඩලෙ මේ රටේ කවදා වත් හරි යන්නෙ නැහැ. අඩු ගනනෙ ජේ.ආර්. ගෙන් වත් අපිට ඒක වැටහෙන්න තිබුන. ඒ මොඩලෙ වෙන රටවල හරියන්න පුළුවන්. ඉන්දියාවෙ හරියන්න පුළුවන් … චීනෙ හරියන්න පුළුවන් … ඒත් මේ රටේ හරියන්නේ නැහැ… අපි උපන්ගෙයි සමාජවාදියො… අපි සමාජවාදියො වෙලා තියෙන්නෙ බුද්ධාගම හින්ද… මාක්ස්වාදය හින්ද නෙවෙයි.’’

අමරසේකර තම ආඛ්‍යානයේ වීරයා ලවා මෙසේ කියවන්නේ ‘මහින්ද චින්තනයත්’ ජේ.ආර්. චින්තනයම බවට ඉව වැටී ඇති නිසා විය හැකිය.

කෙසේ වෙතත් දැන් සිදුවෙමින් පවතින්නේ කුමක්ද? නලින් ද සිල්වා හා ගුණදාස අමරසේකර ‘බටහිර ආක‍්‍රමණයෙන් රට ගලවා ගැනීමට’ පුදන සහයෝගය යටතේ ද, චම්පික රණවකගේ ක‍්‍රියාකාරී මැදිහත්වීම යටතේ ද ‘77 මොඩලය’ ජේ.ආර්. ට සිතාගැනීමට පවා නොහැකි වේගයකින් ඉදිරියට යමින් තිබේ. සරච්චන්ද්‍ර විසින් ‘‘බටහිර රටවල් තුන්වෙනි ලෝකයේ රටවල් විලූම්පනය කරන කරන ක‍්‍රම වලින් එකක් ලෙස’’ හඳුන්වනු ලැබූ සංචාරක ව්‍යාපාරය විදේශ විනිමය අද්දන මැජික් යතුර ලෙස සලකා එය නංවාලීමට ගෝඨාභය රාජපක්ෂ කොළඹ නගරය සිංගප්පූරුවක් නොව නිව්යෝක් පුරවරයක් කිරීමට ලහිලහියේ කටයුතු කරමින් සිටියදී ඒ කටයුත්තට අවශ්‍ය විදුලිය ඉතිරිකිරීමේ සුළු ව්‍යාපෘතිය 1990 දශකයේ මුල ‘සංවර්ධනයේ තුන්වන යාමය’ පොත ලියූ වත්මන් විදුලිබල ඇමති චම්පික රණවකට පවරා ඇත.

රට පුරා ඇඟළුම් කර්මාන්තශාලා පිහිටුවීම ‘අපගේ ගැමි-කෘෂි ආර්ථිකය නමැති මිනීපෙට්ටිය මත ගසන අවසාන ඇනය’ බව පවසමින් 1993 දී රණසිංහ පේ‍්‍රමදාසට අභියෝග කොට අපනයනාභිමුඛ ආර්ථිකය හෙළා දුටු ගුණදාස අමරසේකර විමල් වීරවංශ සමඟ එකතුව බැරැක් ඔබාමාට හා හිලරි ක්ලින්ටන්ට බැනවදිමින් සිටිය දී බැසිල් රාජපක්ෂ අමරසේකරගේ උපන්ගෙයි සමාජවාදියා වවන බඩ ඉරිඟු කරල් ද පිටරට පටවමින් ඒ ඇණගසනු ලැබූ ගැමි-කෘෂි ආර්ථිකය නමැති ඇනගසන ලද මිනීපෙට්ටිය අළුතෙන් කාපට් අතුරණ ලද මාර්ග දිගේ සුසානය වෙත රැගෙන යමින් සිටී. ඒ නාමල් රාජපක්ෂ සරච්චන්ද්‍රට මෙන්ම අමරසේකරට ද පපුවේ අමාරුව හැදෙන මට්ටමට කොළඹ පමණක් නොව ‘දළදාහිමි වැඩසිටින බිමේ ද රාත‍්‍රී කාර් රේස් පවත්වමින් ද, රගර් ක‍්‍රීඩාව ගැමි තරුණයින් අතර ජනප‍්‍රිය කරමින්ද අමරසේකරගේ ‘රටේ අනාගතය භාර ගැනීමට සිටින ගැමි තරුණයා’ බටහිර විජාතික පරිභෝජනවාදී සංස්කෘතියේ රූකඩයක් කිරීමට කටයුතු කරමින් සිටියදීය.

මේ සියල්ල සිනාමුසුව හා උනන්දුවෙන් බලා සිටින සී.ඒ. චන්ද්‍රපේ‍්‍රම යලිත් වරක් මෙසේ කියනු ඇත: ‘‘මෙය කිසිදු දේශපාලන මතවාදයක් නැති නිකම්ම පවතින පෘතග්ජන මිනිසුන්ගේ යුගයකි’’ (කොළපාට සමාජය, පිටුව 4). මේ සියල්ලට නායකත්වය දෙන්නෙ ‘හිස නැති කවන්ධයක්’ය යන අමරසේකර ගේ කෙඳිරිගෑම කාට නම් ඇසේවිද?

nrdewasiri@gmail.com

Comments

  1. Excellent explanation about what has been taken place. If one can explain the future of SL or global socioeconomics, that would be very greate.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s