සරසවි ඇදුරු වර්ජන කවි හෙවත් අනාගත පරපුරේ අධ්‍යාපනය බේරා ගැනීම

සරසවි ඇදුරු වර්ජන කවි හෙවත් අනාගත පරපුරේ අධ්‍යාපනය බේරා ගැනීම

සකල සිරින් පිරි සිරි ලංකාවේ

සරසවි ඇදුරෝ වැඩ වරනා

විකල බකල වී සියලූම සරසවි

වැඩ කටයුතු සැම ඇණ සිටිනා

ඉහළ උදවියට මේ අර්බුදයට

තවමත් නිසි විසඳුමක් නැතා

සියලූ දනෝ මෙරටෙහි වෙසෙනා

දැන් අස මැන මේ සරසවි පුවතා

නවසිය විසිගාණට දුව යනවා

ලක් සරසවියේ කථන්දරේ

අදිරදවාදය පවතින කාලේ

තැනුණේ සරසවි කේන්දරේ

ටික ටික ලොකු වුණු සරසවි දරුවා

ලොකු මිනිසෙකු වන අතරතුරේ

කොපමණ කටයුතු මෙරටට කෙරුවෙද

නිම නැත කීමට බැහැ මිතුරේ

පේරාදෙණියේ මුල් ඇද ඉන් පසු

මුළු රට වට සරසවි තැනුණා

විදුදය හා විදුලකර කියන මහ

පිරිවෙන්වල සරසවි මැවුණා

කොළඹ, සබරගමු, රුහුණු, යාපනය

වයඹ, වව්නියා යන නමිනා

තවද බොහෝ නම්වලින් මෙසරසවි

මු ළු රට වටටම ගොඩනැඟුණා

ධන බල, නිල බල වෙන වෙන ලොකු බල

නැති අයගේ දරුවෝ පැමිණා

තැන තැන තිබෙනා මේ සරසවිවල

පිහිටෙන් නොයෙකුත් සිප් ලබනා

නැණ නැව පදිමින් සමහරු එතරට

ගියමුත් නෙක තනතුරු පතනා

අපමණ උගතුන් අප රට කරනා

මේ සරසවිවල පහළ වුණා

ගරුතර හිමිවරු, වෙදවරු, නීතිය

හසුරුවනා දන මෙහි වැඩුණා

කවි, නළු, දර්ශන, ගීත, නැටුම්

භාෂා දන්නා අය ගොඩනැඟුණා

රට කරවන අය, අයවැය මැනවින්

හසුරුවනා තව බොහෝ දනා

සරසවි මවගේ උකුලේ නැලවුණි

මුළු රටටම සරසවි සරණා

එවන් සරසවිය අද අසරණ කර

ඇදුරන් හා සිසු කැල නොතකා

මෙවන් මහා පිරිපත දී ඔවුනට

නිසි විසඳුම් දීමෙන් වැලකා

සොරුන් රැසක් සේ සලකා, නොතකා

නොයෙක් ලෙසින් උන් කුළල විකා

තදින් බැණවැදී බොරු මත පතුරා

මේ අර්බුද විසඳනු නොහැකා

රට කරවන අය සරසවි පිළිබඳ

සොඳින් සිතා කටයුතු කරනූ

සරසවිවල වැඩෙනා පරපුර

සිරිලක මතු උරුමය බව සිතනූ

සරසවිවල කටයුතු කෙරුමට

සාධාරණ මුදලක් වෙන් කරනූ

ගුරු-සිසු-සේවක සියලූ දෙනාගේ

ගරු කටයුතු බව නිති රකිනූ

රට පවතින්නේ, රට සුරැකෙන්නේ

එවැනි පියවරක් තුළින් තමා

මේ බව පවසමු තහවුරු කරලමු

හැම දෙනටම අප සිරස නමා

ගරු මව්පියවරු සමඟ සහෝදර

රටවැසි ඒ හැම අපිම තමා

සරසවි යනු මේ රටේ උරුමයකි

එය රැකුමට ආ යුතුය සැමා

සරසවි සටනට සහය ලබා දී

දරු පරපුරකගෙ ලොව රකිනා

වැඩිහිටියනි, පුරවැසියනි ඔබ සැම

අනාගතය වෙත නෙත යොමනා

නිදහස් අද්‍යාපනයේ උරුමය

අභිනව පරපුර රස විඳිනා

රැක ගන්නට අපි අත්වැල් බැඳගමු

යුතුකම ඉටු කරලමු සොඳිනා

නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කර ගැනීම සඳහා වර්ජනයේ යෙදී සිටින සහෝදර ඇදුරන්ගේ අරගලය වෙනුවෙන් චින්තක රණසිංහ විසින් රචනා කරන ලදී.

2012-08-02 කැලණිය සරසවිය

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s