වම් ඉවුරෙන් දකුණු ඉවුරට ගොඩවූ චන්ද්‍රප්‍රේම ට පිළිතුරක්

වම් ඉවුරෙන් දකුණු ඉවුරට ගොඩවූ චන්ද්‍රප්‍රේම ට පිළිතුරක්
රුහුණ විශ්වවිද්‍යාලයේ ලාල් පන්නිල සමග නන්දසිරි කීඹියහෙට්ටි

2012 අගෝස්තු මස 06 වන දින දිවයින පුවත්පතේ වම් ඉවුර විශේෂාංගයට සී. ඒ. චන්ද්‍රප්‍රේම මහතා විසින් “විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ වර්ජනය සාධාරණද ? මැයෙන් ලියන ලද ලිපිය කියවීමෙන් දැඩි මවිතයට හා කලකිරීමට පත්වීමු. එම ලිපිය වම් ඉවුර විශේෂාංගයේ පළවුවත් දකුණු ඉවුරට ආවඩමින් පොදුජන පාඨකයා නොමඟ යැවීමට දැරූ කුහක උත්සාහයක් ලෙස හැඟී ගිය බැවින් එයට පිළිතුරක් සැපයීමට අදහස් කළෙමු.

එම විශේෂාංගය දිවයින පුවත්පතට ලියන සී. ඒ. චන්ද්‍රප්‍රේම මහතා වෘත්තීය පුවත්පත් කලාවේදියෙකු ලෙස කලක් කේෂ්ත්‍රයේ රැඳී සිටිය ද ඔහු වඩාත් ජනප්‍රිය වන්නේ පසුගිය දා “Gota’s War” නමින් ශ්‍රී ලංකාවේ කොටි ත්‍රස්තවාදය සුනුවිසුණු කිරීම පිළිබඳ ව ලියන ලද කෘතියෙනි. ශ්‍රී ලංකාවේ දශක තුනකට අධික කාලයක් සියලු ජන කොටස් පීඩනයට ලක්වූ කුරිරු යුද්ධය අවසන් වී වසර කිහිපයකට පසුව එහි ඓතිහාසික පසුබිම විවරණය කිරීමට ගත් උත්සාහයක් ලෙස එම කෘතිය පෙන්නුම් කරන නමුදු, යුද්ධය වෙනුවෙන් අනේක විධ කැපකිරීම් කළ බොහෝ පාර්ශවයන් අමතක කොට එහි ගෞරවය එක් පාර්ශවයකට හිමිකර දීමට චන්ද්‍රප්‍රේම මහතා ට තිබූ අවශ්‍යතාව කෙබඳු එකක් ද යන්න එම කෘතිය “ගෝඨාගේ යුද්ධය” ලෙස නම් කොට තිබීමෙන් ම ප්‍රකට වෙයි. එනිසා ම පේමචන්ද්‍ර මහතා වම් ඉවුරට ලියූ “විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනය සාධාරණද?” යන ලිපිය ද වරදාන අපේක්ෂාවෙන් එක් පාර්ශවයක් සතුටු කිරීමට ගත් උත්සාහයක් බව පොදු පාඨකයාට හැඟී යනු ඇත.

සී. ඒ. චන්ද්‍රප්‍රේම මහතා සිය ලිපිය ආරම්භ කරන්නේ මෙතරම් කාලයක් විශ්වවිද්‍යාල ආචාර්යවරු වැඩ වර්ජනයක යෙදුන අවස්ථාවක් ජ්‍යෙෂ්ඨ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට වත් මතක නැති බව පවසමිනි. සත්‍ය වශයෙන්ම දශක හතකට ආසන්න ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ඉතිහාස තුළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අඛණ්ඩ වැඩ වර්ජනයක ට එලඹි ප්‍රථම අවස්ථාව මෙය යි. එනිසා චන්ද්‍රප්‍රේම මහතාට තබා කිසිඳු ශ්‍රී ලාංකිකයෙකුට එබඳු වැඩ වර්ජනයක මතකයක් තිබීමට හේතුවක් නැත. එසේ ම වෘත්තීය සටන් ඉතිහාසය තුළ සිය වැටුප 5% කින් කප්පාදු කරද්දීත් වැඩ වර්ජනයකට අවතීර්ණ නොවූ එකම වෘත්තීය කණ්ඩායම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් බව චන්ද්‍රප්‍රේම මහතා ට මතක්කර දීමට කැමැත්තෙමු.

මෙම ලිපියේ චන්ද්‍රප්‍රේම මහතාගේ පළමු විවේචනය එල්ල වන්නේ “ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සේවාව” යනුවෙන් වෙනම ම සේවාවක් ස්ථාපිත කිරීම සම්බන්ධ යෝජනාව වෙත යි. මෙම යෝජනාව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම් මාලාව ට ඇතුළත් ව තිබුන ද එහි අන්තර්ගත සේවා කොන්දේසි, බඳවා ගැනීම්, ස්ථාන මාරු, වැටුප් , පුහුණු කිරීම්, වැටුප් සහිත නිවාඩු, විශ්‍රාම ගැනීම්, විශ්‍රාම වැටුප්, අර්ථසාධක ගෙවීම්, පාරිතෝෂික ගෙවීම්, උපදේශක තනතුරු ආදිය පිළිබඳ ව ඔහු විවේචනය කරන්නේ ඔහු විසින් ම පවසන ආකාරයට සාමාජිකයින් අතර බෙදාහරින ලද ලියවිල්ලක් පදනම් කරගෙනයි. මෙම නිල නො වන ලියවිල්ල වනාහී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සේවාවක් ස්ථාපිත කරන්නේනම් එහි අන්තර්ගත සේවා කොන්දේසි ‍කෙසේ සකස් විය යුතුදැයි සංවාදයට මුල පිරීමක් වශයෙන් අපගේ එක් මහාචාර්ය වරයෙකු විසින් ඔහුගේ නමින් ලියන ආදර්ශ ඇමුණුමකි. රජය නියෝජනය කරමින් හෝ රජයේ පාර්ශවයන් සතුටු කිරීම උදෙසා මෙබඳු නිල නොවන ලියවිල්ලක වගන්ති දෙක තුනක් අහුලාගෙන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය අරගලය අසාධාරණ, අයුක්ති සහගත, අව්‍යක්ත එකක් පෙන්වාදීම ට උත්සාහ කිරීම චන්ද්‍රප්‍රේම මහතා වැනි පළපුරුදු මාධ්‍යවේදියෙකු ගෙන් අපි අපේක්ෂා නොකළෙමු. ඒ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරිමට අපි අකමැති නමුත් ඔහු විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සේවාව සම්බන්ධයෙන් සාමාන්‍ය පාඨකයා තුළ ගොඩ නැංවීමට උත්සාහ කරන දුර්මතය නිවැරදි කරනු පිණිස කරුණු කිහිපයක් ඉදිරිපත් කරනු කැමැත්තෙමු.

චන්ද්‍රප්‍රේම මහතා ට අනුව “ශ්‍රී ලංකා පරිපාලන සේවයට සුදුස්‌සන් බඳවා ගැනීම සඳහා වෙනම පොදු විභාගයක්‌ පවත්වා එයින් සමත් වන උදවිය සම්මුඛ සාකච්ඡාවකින් පසු සේවයට බඳවා ගැනේ. ඒ ආණ්‌ඩුවේ පරිපාලන කටයුතු සඳහා දක්‍ෂතා තිබෙන පුද්ගලයන් බඳවා ගැනීමේ අරමුණ ඇතුවය. නමුත් විශ්වවිද්‍යාල ගුරුවරුන් බඳවා ගැනෙන්නේ මීට වෙනස්‌ ආකාරයටය. ඒ තමන්ගේ විෂයේ වැඩිම ලකුණු ලබා ගත් සිසුන්ට ස්‌වයංක්‍රීයව මෙන් විශ්වවිද්‍යාලයේ රැකියාවක්‌ ලැබීම තුළිනි.” චන්ද්‍රප්‍රේම මහතා මෙම ප්‍රකාශය කිරීමෙන් හුවා දැක්වීමට උත්සාහ කරන්නේ ශ්‍රී ලංකාවේ පරිපාලන සේවයට බඳවාගැනීම සඳහා විධිමත් ක්‍රමවේදයක් ඇති බවත්, විශ්වවිද්‍යාල වල ආචාර්යවරුන් බඳවා ගැනීමේදී එවැනි ක්‍රමවේදයක් නොමැති බවත් ය. එසේම ශ්‍රී ලංකාවේ පරිපාලන සේවයට දක්ෂතා ඇති අය බඳවා ගන්නා බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ලෙස අදක්ෂයින් ස්වයංක්‍රීය ව විශ්වවිද්‍යාල ආචාර්ය සේවයට එක්වන බවත් ය. එහෙත් ලංකාවේ විශ්වවිද්‍යාල වලට ආචාර්යවරුන් බඳවාගනු ලබන්නේ චන්ද්‍රප්‍රේම මහතා පවසන පවසන පරිදි අවිධිමත් තරඟකාරී නොවන ස්වයංක්‍රීය ක්‍රමවේදයකට නො වේ. විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලයට කථිකාචාර්යවරයෙකු වශයෙන් බඳවා ගැනීම සඳහා අයදුම්පත්‍රයක් ඉදිරිපත් කිරීමට පවා අධ්‍යාපන සුදුසුකම් වලට අමතර ව අවම එක් වසරක සේවා පළපුරුද්දක් අවශ්‍ය වේ. තම විෂයයේ වැඩිම ලකුණු ලබාගන්නා ශිෂ්‍යයා/ශිෂ්‍යාව ආචාර්ය මණ්ඩලයට එක් කරගනු ලබන්නේ වසර දෙකක උපරිම කාලයකට යටත්ව තාවකාලික පදනමක් මතයි. එය ද ඔහුට හෝ ඇයට ආධුනික කථිකාචාර්ය තනතුරට ඉල්ලුම් කිරීම සඳහා මූලික සුදුසුකම් සම්පූර්ණ කිරීමට ලබා දෙන අවස්ථාවක් මිස අනිවාර්ය ස්වයංක්‍රීය බඳවා ගැනීමක් නො වන බව චන්ද්‍රප්‍රේම මහතා නො දැන සිටීම පුදුමයට කරුණකි.

විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩලයේ ආරම්භක තනතුර වන ආධුනික කථිකාචාර්ය තනතුරට බඳවාගැනීම සඳහා ප්‍රථම පන්ති සාමාර්ථයක් හෝ දෙවන පෙළ ඉහළ සාමාර්ථයක් සහ ඉගැන්වීම් හෝ පර්යේෂණ ක්‍රේෂ්ත්‍රයේ අවම වශයෙන් එක් වසරක පළපුරුද්දක් අවශ්‍ය වේ. එසේම එම බඳවා ගැනීමේ දී ඔහු ගේ හෝ ඇය ගේ අධ්‍යාපන සුදුසුකම් පමණක් නොව අනෙකුත් කුසලතා ද පරීක්ෂා කිරීමට සම්මුඛ පරීක්ෂණ පවත්වනු ලබයි. ඇතැම් විශ්වවිද්‍යාල ඒ සඳහා තරග විභාග පවත්වන අවස්ථා ද ඇත. එසේ විශ්වවිද්‍යාල සේවයට එක්වන ආධුනික කථිකාචාර්ය වරයෙකු විසින් වසර හයක් ඇතුළත පශ්චාත් උපාධි සුදුසුකම ද ඉගැන්වීමේ පරිචයට අදාළ පාඨමාලාව ද සම්පූර්ණ කළ යුතු අතර එසේ කිරීමට අපොහොසත් වුව හොත් ඔහු හෝ ඇය විශ්වවිද්‍යාල සේවයෙන් නෙරපා හරිනු ලබයි. ඔවුන් විශ්වවිද්‍යාල සේවයට එක්වනුයේ මෙම රැකියා අවදානම සම්බන්ධ අභියෝගය ද භාර ගනිමිනි. එපමණක් නොව ආධුනික කථිකාචාර්ය තනතුරේ සිට කථිකාචාර්ය, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, සහාය මහාචාර්ය, මහාචාර්ය තනතුර දක්වා උසස්වීම් කරා ළඟාවිය හැක්කේ වසරින් වසර සම්පූර්ණ කළ යුතු අධ‍්‍යයන පර්යේෂණ හා පරිපාලන ක්‍රේෂ්ත්‍රයේ සුදුසුකම් සැපිරීමෙනි. එසේ සුදුසුකම් සැපිරීමට අපොහොසත් වන්නේ නම් කිසිදු උසස්විමක් නො ලබා ඔහුට හෝ ඇයට විශ්‍රාම යෑමට සිදුවන්නේ සේවයට එක්වූ පළමු තනතුරේ ම සිටය. මෙවැනි සංකීර්ණ හා දුෂ්කර ගමනක් තුළින් විශ්වවිද්‍යාල අධ්‍යයන සේවයට එක්වන ආචාර්යවරයෙකු සුවිශේෂී පුද්ගලයෙකු නොවන්නේ කෙසේද යන්න චන්ද්‍රප්‍රේම මහතාට නො තේරුන ද උගත් බුද්ධිමත් සමාජය එය පිළිගනු නො අනුමානය. චන්ද්‍රප්‍රේම මහතා සිය ලිපියේ පවසන ස්වයංක්‍රීය පත්වීම චන්ද්‍රප්‍රේම මහතාගේ මන:කල්පිතයක් මිස යථාර්ථය නොවේ.

චන්ද්‍රප්‍රේම මහතා සිය ලිපියෙන් එල්ල කරනු ලබන තවත් චෝදනාවක් වන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සිය දරුවන් දෙදෙනෙකු පුද්ගලික පාසල්වලට යැවීමට ආණ්ඩුවෙන් දීමනා සැපයිය යුතු බව ඉල්ලා ඇති බවයි. මෙම ප්‍රකාශය සඳහා ද පදනම් කරගනු ලබන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පවා තවමත් එකගතාවකට නොපැමිණි යටකී නිල නොවන ඇමුණුමෙන් අහුලාගත් වගන්තියක් බව පෙනේ. ඒ ගැන මහත් උනන්දුවකින් අදහස් දක්වන ඔහු විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දරුවන් රජයේ පාසල්වල ට ඇතුළත් කිරීමේ දී යම් සහනයක් ඉල්ලා ඇති බව නොකියා සිටින්නේ රජයේ පාසල්වල පළමු වසරට ළමුන් ඇතුළත් කර ගැනීම සදහා අධ්‍යාපන අමාත්‍යයාංශය මගින් සකස් කරන ලද අඳ බාල චක්‍රලේඛයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දරුවන් සම්පූරණයෙන්ම නො සලකා හැර ඇති බැව් හෙළිවන නිසාද?

ජාතික අධ්‍යාපනය සම්බන්ධයෙන් ආචාර්යවරුන් ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳව ද චන්ද්‍රප්‍රේම මහතාට විවේචනයක් තිබේ. දළ දේශිය නිෂ්පාදිතයෙන් 6% ක් වනසේ අධ්‍යාපන විෂයෙහි රාජ්‍ය ආයෝජන වැඩිකරන්නැ’යි ආචාර්ය සංගම් කරන ඉල්ලීම චන්ද්‍රප්‍රේම මහතා දකින්නේ කුඩා ළමුන් හඳ ඉල්ලා ඇඩීමක් වැනි දෙයක් ලෙසය. චන්ද්‍රප්‍රේම මහතාට අපට කීමට ඇත්තේ හඳ පෙන්වූ විට ඇඟිල්ලේ කෙළවර දෙස නො බලනා ලෙසයි.

ශ්‍රි ලංකා මහ බැංකුවේ සංඛ්‍යාලේඛන අනුව අධ්‍යාපනය සඳහා රජයේ වියදම දළ දේශිය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 1.86% කි. මේ අවස්ථාවේ අධ්‍යාපනය සඳහා කෙරෙන වියදම දළ දේශිය නිෂ්පාදිතයේ 2.1% ක් ය’යි චන්ද්‍රප්‍රේම මහතා ප්‍රකාශ කරන්නේ කවර සංඛ්‍යා ලේඛනයක් පදනම් කරගෙන දැයි අපට පළමුව ප්‍රශ්න කිරීමට සිදු වේ. ආචාර්ය සංගම් එකමුතුව පවසන්නේ අධ්‍යාපනය සඳහා කෙරෙන වියදම දළ දේශිය නිෂ්පාදිතයෙන් 6% ක් දක්වා එකවර වැඩිකිරීමට නොව, පළමු අදියරේ දී එනම් 2013 වන විට දළ දේශිය වියදමින් 2.9% ක් හෙවත් 2005 වර්ෂයේ පැවති මට්ටම දක්වා ප්‍රතිෂ්ඨාපනය කරනා ලෙස යි. ඉන් අනතුරුව 6% ක ඉලක්කය කරා ගමන් කරන ආකාරය පිළිබඳ ව පිළිගත හැකි සැලැස්මක් ඉදිරිපත් කරනා ලෙස යි. මෙය කිසිසේත් ම කළ නොහැකි ය’යි කෙනෙකු තර්ක කරන්නේ දැනට පවත්නා රජයේ ආදායම්-වියදම් ව්‍යුහය කිසිසේත් ම වෙනස් කළ නොහැකි ය යන දැඩි උපකල්පනය මත පිහිටා සිට ය. සැලසුමක් සකස් කරනවා යනු අධ්‍යාපන වියදම පමණක් හුදෙකලා කරගෙන එය ඔසවා තබන්නේ කෙසේ දැයි දස අතේ කල්පනා කිරීම නොව සමස්ථ රාජ්‍ය වියදම් ව්‍යුහය ම ස්වයං විවේචනයකට ලක්කර මින් එය ප්‍රතිව්‍යුහ ගත කිරීම තුළින් අධ්‍යාපන වැය ශීර්ෂය ඉහළ දැමිය හැකි ආකාරය සොයා බැලීම යි.

චන්ද්‍රප්‍රේම මහතා යුනෙස්කෝ (UNESCO) සංඛ්‍යා ලේඛන යොදා ගනිමින් බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, හා එක්සත් ජනපදය ගැන කථා කරන්නේ එම සංඛ්‍යා ලේඛනයේ ම දැක්වෙන අසල්වැසි දකුණු ආසියාතික රටවල් අමතක කරමිනි. දකුණු ආසියාතික රටවල් අතුරින් මාලදිවයින දළ දේශිය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් 8.7% ක් ද නේපාලය 4.7% ක් ද, භූතානය 4.% ක් ද, අසල්වැසි ඉන්දියාව 2.37% ක් ද ,බංග්ලාදේශය 2.2% ක් ද අධ්‍යාපන විෂයයෙහි ආයෝජනය කරමින් ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටිනා බව වම් ඉවුරේ සිටින චන්ද්‍රප්‍රේම මහතා ට නොපෙනෙන්නේ “චන්ද්‍රප්‍රේම ළඟ නො බලනු; දුර බලනු” කියා දකුණු ඉවුරේ සිටිනා කිසිවකු විසින් බලපෑම් කරනා නිසා ද? තව ද යාන්තමින් යුද්ධයකින් ගොඩ ආ රටකින් අධ්‍යාපන වියදම් වැඩිකිරීමට ඉල්ලා සිටීම වගකීම් විරහිත ක්‍රියාවක් ය යන්න චන්ද්‍රප්‍රේම මහතාගේ මතයයි. 2006 වසරේ යුද්ධය සදහා දැවන්ත මුදල් ප්‍රමාණයක් වැය කරනා අතරම මුළු රාජ්‍ය වියදමෙන් 11% රජය අධ්‍යාපනය සදහා වැය කළේ නම් යුද්ධය නිමා වූ පසු එම ප්‍රමාණය 8.5% ක් දක්වා කපාහරින්නේ අධ්‍යාපනයට වඩා වැදගත් කවර ප්‍රමුඛතා අරමුණක් උදෙසාදැ’යි අපි දැන ගැනීමට කැමැත්තෙමු. දෙවනුව යුද්ධය අවසන් කළ පසු එතෙක් යුද්ධයෙන් බැට කෑ දරුවන් වෙනුවෙන් පාසල් ඉදිකිරීම, පාසල් ප්‍රතිසංස්කරණය කිරීම, වසා දැමූ පාසල් යළි විවෘත කිරීම, පාසල්වල පහසුකම් නවීකරණය කිරීම, නව ගුරුවරන් බඳවා ගැනීම හා ඔවුන් පුහුණු කිරීම ආදිය අවශ්‍ය ය’යි චන්ද්‍රප්‍රේම මහතා පිළිගන්නේ නම් යුද්ධය නිමාකළ රජයක් අධ්‍යාපනය සඳහා පෙරට වඩා වැඩි වියදමක් දැරීමට සූදානම් විය යුතු බව නො පිළිගන්නේ ද?

චන්ද්‍රප්‍රේම මහතා පවසන ආකාරයට මෙම සියලු රටවල ආණ්ඩුව පමණක් නොව, පුද්ගලික අංශය ද අධ්‍යාපන කේෂ්ත්‍රයට හවුල්වී සිටිනා බව සැබෑ ය. එහෙත් ඔහු ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන තුළ නිරූපනය වන්නේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රජය පමණක් අධ්‍යාපනයට දරන වියදම බව ජනතාවට වසන් නො කළ යුතු ය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධ්‍යාපන මධ්‍යස්ථානයක් බවට පත්කිරීම සම්බන්ධයෙන් සරසවි ඇදුරන්ගේ කිසිඳු විරෝධතාවක් නැත. අපගේ විරෝධතාව එල්ලවී ඇත්තේ මහින්ද චින්තනයෙන් කියවෙන ආසියාවේ දැනුමේ කේන්ද්‍රය බිහිකිරීමට පියවර නො ගැනීම සම්බන්ධයෙනි. පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීම, විදේශීය සිසුන් දේශීය විශ්වවිද්‍යාලවලට ඇතුළත්කර ගැනීම, පාඨමාලා නවීකරණය, නව පාඨමාලා හඳුන්වාදීම ආදිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ විරෝධතාවක් නැත. ආචාර්ය සංගම් කියා සිටින්නේ ඉතා සරල දෙයකි. මේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකළ යුත්තේ දිගුකාලීන දැක්මක් හා නිවැරදි ප්‍රත්පත්ති මත පදනම් වූ ජාතික අධ්‍යාපන සැලැස්මක් අනුව බවත් එය සකස් කිරීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රාමාණික උගතුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සම්බන්ධ කරගන්නා ලෙසත් ය. එසේ නොමැති ව උසස් අධ්‍යාපන ඇමතිවරයා හා ලේකම් වරයා අතර රාත්‍රී භෝජන සංග්‍රහයක දී ඇතිවන හදිසි කථාබහක ප්‍රතිඵලයක් ලෙස පසුදා උදෑසන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම නො කළ යුතු බවත් ය.

චන්ද්‍රප්‍රේම මහතා විශ්වාස කරන ආකාරයට, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධ්‍යාපන කේන්ද්‍රය බවට පත්කිරීමට නම් මුලින් ම කළ යුත්තේ විදේශිය රටවලින් ලංකාවට සිසුන් ගෙන්වා ගැනිම යි. එහෙත් අප යෝජනා කරන්නේ ඊට පෙරාතුව විශ්වවිද්‍යාල පද්ධතියේ ධාරිතාව, පහසුකම්, භෞතික හා මානව සම්පත් දියුණු කිරීම සඳහා ප්‍රමාණවත් ආයෝජනයක් සිදු කළ යුතු බව යි. මේස- පුටු, පිඟන් – කෝප්ප හා ආහාර පාන ප්‍රමාණය වැඩිකිරීම සඳහා සැලසුම් නොකර මගුල්ගෙදරට එන ආරාධිතයින් සංඛ්‍යාව වැඩිකළ හොත් ගෙදර අයට බිම වාඩි වී බඩගින්නේ සිටිමට සිදුවනවා ය යන සරල තර්කය චන්ද්‍රප්‍රේම මහතාට නොවැට හෙන්නේ ඇයි?

අවසාන වශයෙන් චන්ද්‍රප්‍රේම මහතාගේ විවේචනය එල්ලවන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් පිළිබඳ ඉල්ලීමට යි. මෙවර අරගලයට වැටුප් පිළිබඳ ඉල්ලීමක් ඇතුළත් කීරීමට සිදුවන්නේ සරසවි ඇදුරන් ස්වේච්ඡා තනතුරු වලින් පමණක් ඉවත්වෙමින් පසුගිය වසරේ ජූලි මාසයේ කළ වෘත්තීය අරගලය නතර කිරීම සඳහා රජය දුන් පොරොන්දුව රජය විසින් ම “කඩවුණු පොරොන්දුවක්” බවට පත්කිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි. මේ සඳහා පදනම් වන 2008 ජෙෆ්රි – මලික් වැටුප් කොමිෂන් වාර්තාව “පිස්සු විකාරයක්” ලෙස හඳුන්වා දී ඇත්තේ එය රජය මඟීන් ම පත්කළ රජය විසින් පිළිගත් කොමිෂන් වාර්තාවක් බව චන්ද්‍රප්‍රේම මහතා නොදන්නා නිසා ද?

වැටුප් පිළිබඳ ව චන්ද්‍රප්‍රේම මහතාගේ පළමු තර්කය වන්නේ විශ්වවිද්‍යාල කේෂ්ත්‍රයට ගෑවිලාවත් නැති ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් තල ඉක්මවා යන වැටුපක් ඉල්ලා ආචාර්යවරුන් සටන් කරනා බව යි. මහ බැංකුවේ වැටුප් තල ඉක්මවා යන වැටුපක් ඉල්ලා සිටීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට පැහැදිලි හේතු සාධක සහ සුදුසුකම් ඇතත් එබදු ඉල්ලීමක් කර නැත. එහෙත් මහ බැංකුවේ වැටුප් තල ගැන කථිකාවක් ගොඩනැගෙන්නේ ආචාර්යවරුන්ගේ වැටුප් විෂමතාව අදාළ පාර්ශවයන්ට අව‍බෝධ කරවීම පිණිස උදාහරණයක් ලෙස යොදාගැනීමට යාන්තමින් හෝ ගැලපෙන රාජ්‍ය ආයතනයක් ති‍බේනම් ඒ මහ බැංකුව පමණක්ම වීම නිසයි. මීට දශක තුනකට පෙර විශ්වවිද්‍යාල ආචාර්ය වරයෙකුගේ ආරම්භක වැටුප රු.700ක් ව පවතිද්දී මහ බැංකු නිලධාරියෙකුගේ ආරම්භක වැටුප රු.650 කි. අද වන විට විශ්වවිද්‍යාල ආචාර්ය වරයෙකුගේ ආරම්භක වැටුප රු 26,500 වන විට ඊට වඩා අඩු සුදුසුකම් මත බඳවා ගන්නා මහ බැංකු නිලධාරියෙකු ගේ ආරම්භක වැටුප රු 50,000 ක් වීමෙන් කොතනක හෝ නමුත් වරදක් සිදු වී ඇති බව චන්ද්‍රප්‍රේම මහතාට ද වැටහෙනවා ඇත.

වැටුප් අසමානතාව කෙසේ වෙතත් චන්ද්‍රප්‍රේම මහතා පවසන ආකාරයට “ශ්‍රී ලංකා මහ බැංකුව යනු ආර්ථික විද්‍යාව, ගණිතය, සංඛ්‍යානය, පරිගණක විද්‍යාව වැනි සීමිත ක්‍ෂේත්‍ර කීපයකින් පමණක්‌ කාර්යමණ්‌ඩලය බඳවා ගන්නා විශේෂඥ ආයතනයකි. එවැනි තැනක රැකියාව විශ්වවිද්‍යාල රැකියාවකට වඩා සහමුලින්ම වෙනස්‌ය. විධායක රැකියාවක වගකීමත්, බැරෑරුම් බවත් බෙහෙවින්ම වැඩිය. වරදක්‌ සිදුවුව හොත් බොහෝ විට එය නිවැරැදි කළ නොහැක. විධායක රැකියාවක්‌ කිසිසේත්ම අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ගුරු රැකියාවකට සමාන කළ නොහැක.”

චන්ද්‍රප්‍රේම මහතා ගේ මෙම පැහැදිළි කිරීම තුළ කිසියම් සත්‍යයක් නැතිවා ම නො වේ. ලෝක වෙළෙඳපොළේ ඛණිජතෙල් මිල හිණිපෙත්තට ම ඉහළ ගොස් තිබෙන අවස්ථාවක හෙජින් ගිවිසුමකට යාමට උපදෙස් සැපයීම, වසර කිහිපයක් තිස්සේ සෘණ ආර්ථික වර්ධනයක් පෙන්වමින් කඩාවැටෙමින් තිබූ ග්‍රීසියේ බැඳුම්කර වල බිලියන ගණනින් මුදල් ආයෝජනය කිරීම, සේවක අර්ථසාධක අරමුදල් යොදා ගනිමින් කොටස් වෙළෙඳපොළහි සූදු කෙලීම වැනි කරුණු කිහිපයක් සලකා බලන කල චන්ද්‍රප්‍රේම මහතා කියන මහ බැංකුවේ වගකීම හා වරදක් සිදුවුව හොත් නිවැරදි කළ නොහැකිවීම යන කරුණ සමග අපට එකඟවීම ට සිදු වේ. එහෙත් විධායක රැකියාවක්‌ කිසිසේත් ම අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ගුරු රැකියාවකට සමාන කළ නො හැකි ය යනුවෙන් ඔහු අදහස් කරන්නේ, විධායක රැකියාවක් ගුරු රැකියාවකට වඩා උසස් ය යන්න නම් විධායක රැකියා වල නිරත වන්නවුන් පවා එම මතය හෙළා දකිනු නො අනුමාන ය. මහ බැංකුවට බඳවා ගන්නා ආර්ථික විද්‍යාඥයින්, ගණිතඥයින්, සංඛ්‍යාන විද්‍යාඥයින් ආදී සියලු දෙනා බිහිකරන්නේ විශ්වවිද්‍යාල තුළින් බව චන්ද්‍රප්‍රේම මහතා දන්නේ නම් ලංකාවේ හොඳ ම ආර්ථික විද්‍යාඥයා ද, හොඳම ගණිතඥයා ද, හොඳ ම සංඛ්‍යාන විද්‍යාඥයා ද සිටිය යුත්තේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මිස මහ බැංකුවේ නො වන බව ඔහුට පිළි ගැනීමට සිදු වේ.

විධායක නිලධාරියෙකු අතින් වරදක් සිදුවුව හොත් එය එක් සිද්ධියකට පමණක් සීමා විය හැකි බවත් එහෙත් ගුරුවරයෙකු අතින් වරදක් සිදුවුව හොත් එය පරම්පරා ගණනාවකටම බලපාන බව චන්ද්‍රප්‍රේමයන් ට නො වැටහීම කණගාටුව ට කරුණ කි. ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ ම වෛද්‍ය වෘත්තිකයින් බිහිකරන්නේ විශ්වවිද්‍යාල වලිනි. වෛද්‍ය සිසුන්ට උගන්වන විට සුළු වරදක් සිදුවුව හොත් එහි ප්‍රතිවිපාක වශයෙන් රෝගීන් කී දාහක් අවසන් ගමන් යන්නේහි ද ? එසේ ම නීතිඥයින් බිහි කරන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරු නම් නීතිය උගන්වද්දී සුළු වරදක් සිදුවුව හොත් මෙරට අපරාධකරුවන් කීදෙනෙකු නිදහස් වී නිර්දෝෂී මිනිසුන් කී දෙනෙකු එල්ලුම් ගස් යන්නෙහි ද ? මේ අරුතින් බලන විට දේශපාලනඥයින් හැර සෙසු සියලු වෘත්තිකයින් බිහිකරන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරු විසින් නම් ඔවුන් අතුරින් වඩාත් ම ප්‍රවිණයින් විශ්වවිද්‍යාල පද්ධතියට බඳවා ගැනිම හා ඒතුළ රඳවා ගැනීම සඳහා අවශ්‍ය පෙළඹවීම හා සානුබල ලබාදිය යුතු නොවේද?

අවසාන වශයෙන් අප පෙන්වා දෙන්නේ අධ්‍යාපනය සඳහා රජය විසින් ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන් කළ යුත්තේ ලෝක බැංකුව කියන නිසා වත් , යුනෙස්කෝව කියන නිසාවත්, ආචාර්ය සංගමය කියන නිසා වත් නො ව මේ රටේ බදු ගෙවන ජනතාවගේ දරුවන් වෙනුවෙන් නිදහස් අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරීමේ අන්සතු කළ නොහැකි වගකීමක් රජය සතුවන බැවිනි. අම්මලා විසින් දරුවන් ට මව්කිරි දිය යුත්තේ දොස්තර මහතා හෝ වින්නඹු අම්මා උපදෙස් දෙන නිසා නො වන බව චන්ද්‍රප්‍රේම මහතා නොදැන සිටීම ගැන අපට ඇත්තේ දැඩි විමතියකි. තවදුරටත් ජේතවනාරාමයට ගල් ගසා දෙව්දත් තෙරුන්ගේ පිණ්ඩපාතයෙන් යැපෙනවා වෙනුවට වගකිව යුතු මාධ්‍ය වේදියෙකු ලෙස යුගයේ අවශ්‍යතාව හඳුනාගෙන පාඨකයන් ට සත්‍ය හෙළි කිරීමේ ජනතා වාදී මාධ්‍ය මෙහෙවරේ නිරත වන ලෙස සී. ඒ. චන්ද්‍රප්‍රේම මහතා ගෙන් අපි ඉල්ලා සිටිමු.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )