අධ්‍යාපනය පිළිබඳ රාජ්‍ය ප‍්‍රතිපත්තිය ප‍්‍රශ්ණ කරන සරසවි ඇදුරු අරගලය

අධ්‍යාපනය පිළිබඳ රාජ්‍ය ප‍්‍රතිපත්තිය ප‍්‍රශ්ණ කරන සරසවි ඇදුරු අරගලය
මහාචාර්ය ඒ. එම්. නවරත්න බන්ඩාර, දේශපාලන විද්‍යා අංශය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය

2011 දී සිය රාජකාරියට බාහිරවන පරිපාලන තනතුරු අත්හරිමින් අරඹන ලද සරසවි ඇදුරන්ගේ වෘත්තීය අරගලය මෙම වසරේදී අඛන්ඩ වැඩ වර්ජනයක් ලෙස යලි කරලියට පැමිණ දැන් දින 50 කට අධික කාලයක් ගතව ඇත.

විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයට අයත් වෘත්තීය සමිති 38ක් සහභාගීව සිටින මෙම ක‍්‍රියා මාර්ගය මෙරට විශ්ව විද්‍යාල ඉතිහාසයේ දී ආචාර්යවරු විසින් සිදුකල ප‍්‍රථම අඛන්ඩ වැඩ වර්ජනය වෙයි. ආචාර්ය සංගම් මෙම ක‍්‍රියා මාර්ගයට එළඹුනේ තමන් විසින් ගිය වසරේ අත්හිටවූ වෘත්තීය ක‍්‍රියාමාර්ගය යලි ආරම්භ කරන්නට සිදුවන බවට වසරකට අධික කාලයක් කල අණතුරු ඇඟවීම්වලින් පසුව වෙනත් විකල්පයක් නොමැති තැනට ඔවුන්ව පත් කල නිසා ය.

ආචාර්ය සංගම් නව වැටුප් ක‍්‍රමයක් පිළිබඳතම ඉල්ලීම විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ ගුණාත්මක තත්ත්‍වය ඉහල නැංවීමට අවශ්‍යවන මානව සම්පත ගොඩ නැගීම ඉලක්ක කර ගෙන තිබෙන බව ඉතා පැහැදිලිව ගතවූ වසරක කාලය තුල බලධාරීන්ට පෙන්වා දෙන ලදි. මේ සාකච්ඡාවල දී ගුණාත්මක අධ්‍යාපනයක් සඳහා අවශ්‍යවන පුලුල් ප‍්‍රතිපත්ති පරිසරය ඉලක්ක කර ගත් කාරණා හඳුනා ගැනීම සිදුවු අතර මෙවර තම ඉල්ලීම් පිළියෙල කරනවිට ඒවා එම පුලුල් ප‍්‍රතිපත්ති රාමුව සමඟ බද්ධ කිරීමට ආචාර්ය සංගමය විසින් පියවර ගන්නා ලදි. මේ නිසා මෙවර ඉදිරිපත් කර ඇති ඉල්ලීම් පෙර වර්ෂය සමඟ සසඳන විට ඒවාට වඩා විශාල ගූණාත්මක වෙනසක් පෙන්නුම් කරයි.

මෙහිදී ඉතා ඉහළින් කැපී පෙනෙන්නේ රටේ නිදහස් අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති ඉල්ලීම ය. නිදහස් අධ්‍යාපනය සඳහා රාජ්‍යය විසින් සිදුකරන ආයෝජනය ක‍්‍රම ක‍්‍රමයෙන් ඉහළ නැංවීමට සැලැස්මක් අවශ්‍ය බව ආචාර්යවරු ඉල්ලා සිටිති. ජාත්‍යන්තර වශයෙන් පිළිගෙන ඇති සම්මුතියවන දළ ජාතික නිශ්පාදිතයෙන් සියයට 6 කට සමානවන ප‍්‍රමාණයක් අධ්‍යාපනය සඳහා රජයේ වියදමින් වෙන් කල යුතු බව ඔව්හු ඉල්ලා සිටිති. අධ්‍යාපනයේ ගුණාත්මක තත්ත්‍වය වැඩි දියණු කරන ඉලක්ක සහිතව ක‍්‍ර‍්‍රමයෙන් ක‍්‍රමයෙන් එය ඉහල නැංවීමට පොරොන්දුවන පැහැදිලි වැඩ පිළිවෙලක් අවශ්‍ය බව ඔවුන්ගේ මතය වෙයි. මේ සඳහා අවබෝධතා ගිවිසුමක් ඔව්හු ඉල්ලා සිටිති.

ආන්ඩුව මෙන්ම විපක්‍ෂයේ ප‍්‍රධාන පක්‍ෂ ද මේ සඳහා දැනටමත් මූල ධර්මීය වශයෙන් එකඟතාවයක් පෙන්නුම් කර තිබීමෙන් පෙනෙන්නේ මේ ප‍්‍රශ්ණය පිළිබඳව රාජ්‍ය ප‍්‍රතිපත්ති තීරණ ගන්නා මට්ටම වෙතට එම ඉල්ලීම ගමන් කර ඇති ආකාරයයි. මෙම ඉල්ලීම තම සටනට හුදු අලංකාරයක් ඇති කිරීමට ඉදිරිපත් කර තිබෙන්නක් යයි සමහර අංශවලින් එල්ල වූ චෝදනාව ප‍්‍රතික්ෂේපවීම එයින්ම පෙන්නුම් කර ඇත. දේශපාලන පක්‍ෂ, වෘත්තීය සංවිධානණ, ජන මාධ්‍ය, දෙමාපියන් සහ බහූ ජනතාව මේ සම්බන්ධයෙන් දැනුවත් කිරිමට සරසවි ආචාර්ය සංගම් විසින් බොහෝ දේ සිදුකර ඇති අතර ඔවුන් අතරින් වඩා දුර යන සංවාදයක් දැන් දැන් ඇරඹෙමින් තිබේ. රාජ්‍ය අධ්‍යාපනයේ ගූණාත්මක තතත්‍වය ඉහළ නංවන අයුරින් ආන්ඩුව අධ්‍යාපනය සඳහා මුදල් වෙන් කල යුතු යයි ඉල්ලන අත්සන් දශ ලක්‍ෂයක් එකතු කිරීම සඳහා ප‍්‍රචාරක ව්‍යාපාරයක් ආචාර්ය සංගම් විසින් රට පුරා දියත් තර ඇත.

සෑම දරුවකුටම ලබා දෙන අනිවාර්ය අධ්‍යාපනය රාජ්‍ය වගකීමක් බවට එදා පත් වූයේ අධ්‍යාපනයේ පරමාර්ථය පුද්ගලයා නිදහස් මනසක් සහිතව ගොඩ නගන්නට මූලික අඩිතාලම දමන නිසා ය. නිදහස් අධ්‍යාපනයේ සැබෑ අරමුණ වන්නේ පුද්ගලයා වහල්, වැඩවසම්, වෙළඳපල යනාදී කිසිදු ආර්ථික විය ගසක දාසයකු කිරීම හෝ දේශපාලන හෝ වෙනත් කිසිදු බලධාරී පාලන දහරාවකට යටත් මානසිකත්වයට පත් කිරීම නොවේ. ඔහු හෝ ඇයව එබඳු බලපෑම් ඉදිරියේ අදීනව සිටින නිදහස් මිනිසකු බවට පත් කිරිම ය. අධ්‍යාපනයේ දී වැදගත් වන මෙම විමුක්තිදායක අධ්‍යාපනය (Emancipatory Education), ලබා දීමේ වගකීම රාජ්‍යය විසින් භාර ගැනීම නිදහස් අධ්‍යාපනය යනුවෙන් එදා අදහස් කරන ලදි.

මහජන හෙවත් රාජ්‍ය (Public) යන පදනම තුල ඇත්තේ සමාජය පිළිබඳ පොදු වගකීම ය. සෑම දෙනකුටම සමානව ලබා දෙන අයුරින් අනිවාර්ය අධ්‍යාපනය පිළිබඳ වගකීම රාජ්‍ය විසින් භාර ගත්තේ එය සමාජයීය සංවර්ධනයට දායක වන නිසා ය. එම නිසා නිදහස් අධ්‍යාපනය සමාජ අයිතිවාසිකමක් වශයෙන් හඳුනා ගන්නා ලදි. එය පුද්ගලයා නිදහස් කරන අතර සමාජ ප‍්‍රගමණය ඉලක්ක ගත දිසාවකට ගෙන යාමට ඔහුගේ හෝ ඇයගේ දායකත්වය සපයා දෙයි. මේ නිසා රාජ්‍ය අධ්‍යාපනය සඳහා මුදල් වෙන් කිරීම ආන්ඩු තීරණ ගැනීමේ ප‍්‍රමුඛතාවය තුලට ඇතුල කල යුතුය යන්න ප‍්‍රශ්ණ විරහිතව පිළිගත යුතු ය. සරසවි ඇදුරු අරගලය මේ අරමුණ සමඟ සම්බන්ධ කිරීමෙන් සිදුවන්නේ සරසවි ආචාර්යවරු ඉදිරි කාලයේ දී මේ අරමුණ පිළිබඳව මුර බල්ලකු ගේ භූමිකාවට (the role of a watch dog) පණ පෙවීම ය.

ශ‍්‍රී ලංකාව සියයට හයේ ප‍්‍රමිතිය අත් පත් කර ගැනීමට ජාත්‍යන්තර සමුලුවලදි පොරොන්දුවි ඇති බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටීම රාජ්‍ය අධ්‍යාපන ක්‍ෂෙත‍්‍රයේ මූලිකයන් වශයෙන් සරසවි ආචාර්යවරුන්ට පැවරෙන වගකීමකි. මෙයින් පෙන්වා දෙන්නේ සරසවි ඇදුරන් මේ රටේ රාජ්‍ය ප‍්‍රතිපත්ති ක්‍ෂෙත‍්‍රයේ අවධානයට ලක්විය යුතු ඉතා වැදගත් කරුණක් මහජනයා ඉදිරයට ගෙන ඒම මෙවර සිදුකර තිබෙන බව ය.

මෙම ඉල්ලීම පමණක් නොව මෙවර විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය තම ඉල්ලීම් සියල්ලම යොමු කර තිබෙන්නේ අධ්‍යාපනය පිළිබඳ ක්‍ෂෙත‍්‍රයේ ගූණාත්මක තත්ත්‍වය ඉහල දැමීමට බාධා කරන ප‍්‍රතිපත්ති වාතාවරණය වෙනස් කිරීමට ය. මෙම ලිපිය ලියනු ලබන්නේ එම ඉල්ලීම් විසින් අවධාරණය කරන ප‍්‍රතිපත්ති ගැටුලු පිළිබඳව පිළිබඳව පැහැදිලි කිරීමට ය.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සටන වැටුප් වැඩි කර ගැනීමේ අරගලයකට ලඝු කරනු වෙනුවට එම ප‍්‍රතිපත්ති ගැටලු වටහා ගැනීමට උත්සාහ කිරීම වගකිවයුතු රාජ්‍ය තාන්ත‍්‍රිකයන් ගේ වගකීම ය. ඔවුන්ගේ ඉල්ලීම් තුලින් මතු කරන මෙරට උසස් අධ්‍යාපනය පිළිබඳ අර්බූදය හඳුනා ගැනීමට උත්සාහ කරන්නේ නම් ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට ආචාර්යවරුන්ගේ වෘත්තී සටනට සම්මුතිකාමී විසඳුමක් සොයා ගැනීමට හැකි බව සඳහන් කළ යුතුය.

මෙවර ආචාර්ය සංගමය තම ඉල්ලීම් කොටස් දෙකකට වෙන් කර ඉදිරිපත් කර තිබේ. පළමු කොටස වැටුප් සම්බන්ධයෙනි. එය කෙලින්ම ඔවුන්ගේ වෘත්තීය හා සම්බන්ධය. ඒ යටතේ ඉල්ලීම් දෙකක් ඉදිරිපත් කර ඇත. එනම් 2011 දි ඉල්ලා සිටි නව වැටුප් ක‍්‍රමයේ දෙවන අවස්ථාව වන මූලික වැටුප සියයට 20 කින් වැඩි කිරීම සහ 2011 දී එකඟවු පරිදි විශ්ව විද්‍යාල ආචාර්ය සේවාව වෙනම සේවා කාංඩයක් බවට පත් කිරිම සඳහා පියවර ගැනීම ය.

දෙවන කොටස ඔවුන්ගේ වෘත්තීය නිදහස් ලෙස මානසික තෘප්තියකින් ඉටු කිරිමට අවශ්‍ය ප‍්‍රතිපත්ති පරිසරය සකස් කර ගැනීමට ය. රාජ්‍ය අධ්‍යාපනයට සිදුකරන රාජ්‍ය වියදම ක‍්‍රම ක‍්‍රමයෙන් ඉහළ නැංවීමට පියවර ගැනීම, උසස් අධ්‍යාපනය පිළිබඳව රාජ්‍ය ප‍්‍රතිඵත්තිය පැහැදිලිව ප‍්‍රකාශයට පත් කිරීම, විශ්ව විද්‍යාල ස්වායත්තාවය යලි ප‍්‍රතිෂ්ඨාපනය කිරීම, විශ්ව විද්‍යාල දේශපාලනීකරණය අවසන් කිරීම, උසස් අධ්‍යාපනය පිළිබඳ සිදුකරන වෙනස්කම් සියලු පාර්ශවකරුවන් සමඟ සාකචිචා කර සිදුකිරිම සහ හිතුවක්කාර ලෙස විශ්ව විද්‍යාල ක්‍ෂෙත‍්‍රය සම්බන්ධයෙන් දැනට සිදුකරමින් සිටින නායකත්ව පුහුණුව වැනි ක‍්‍රියා මාර්ග වහාම අත්හිටුවීම මෙම දෙවන කාංඩයට ඇතුලත් ඉල්ලීම් ය.

වෘත්තීය සමිතියක් ඉහත සඳහන් දෙඅංශයෙන්ම තමන්ට පැවරී ඇති සාමූහික කේවල් කිරීමේ වගකීම පාවිච්චි කිරීම වැඩ වර්ජනය කිරීමේ අයිතිවාසිකමට ඇතුලත් බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය ඉතා පැහැදිලිව පෙන්වා දී ඇත.

මීළඟට මෙම ඉල්ලීම් මගින් අවධාරණය කරන ප‍්‍රතිපත්ති ගැටුලු විමසා බලමු. පැහැදිලි කිරිමේ පහසුව සඳහා දෙවන කොටසේ ඉල්ලීම්වලින් පටන් ගනිමු. පුද්ගලයා නිදහස් හැකියාව ඇත්තෙක් බවට පත් කිරීම අරමුණු කරගත් අධ්‍යාපනය සෑම පුරවැසියකුගේම අයිතියකි. එම අයිතිය පාවිචිචි කිරීම විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා දිගූ කිරීමට අවශ්‍ය රාජ්‍ය ප‍්‍රතිපත්තිය තීරණය කිරීම 1945 දී සිදුවිය.

සරසවි මටිටමේ දි අපේක්‍ෂා කරන්නේ එම විමුක්තිදායක අධ්‍යාපනයේ නිම් වලලු පුලුල් කරන බුද්ධිමය දැනුම ගොඩ නැගීම සහ එය විසරණය කිරීම ය. මේ සඳහා තිබෙන ප‍්‍රධාන ක‍්‍රමවේදයන් වන්නේ ස්වාධීනව සිදුකරන පර්යේෂණ සහ පර්යේෂණාත්මක හැදෑරීම් සිදුකරන පශ්චාත් උපාධි පාඨමාලා පවත්වා ගෙන යාම ය. පශ්චාත් නොවන උපාධි පාඨමාලා යොමු කල යුත්තේ මෙම කාර්යට අනුපූරණයක් සපයන අතර උපාධි අපේක්‍ෂකයන් එම දැනුම් ක‍්‍රියාවලිය තුලින් තම සමාජ වගකීම් ඉටු කිරීමට මග පෙන්වීම ය. වෘත්තීයාභිමුඛ පාඨමාලා පැවත්වීම මගින් රැකියා වෙළඳපලට පුද්ගලයන් සූදානම් කරනවිට ද ඒ සඳහා ශිෂ්‍යයා න්‍යාය සහ භාවිතාව සමඟ එම කාර්යයට සූදානම් කළ යුතු ය. මෙම සියලුම කාර්යයන් හිදී විශ්ව විද්‍යාල වලට තම කාර්ය බියෙන් හා අගතියෙන් තොරව පවත්වා ගැනීමට අවශය නිදහස තිබිය යුතු ය. මෙම නිදහස විශ්ව විද්‍යාල ස්වායත්තාව (University Autonomy) යනුවෙන් හඳුන්වනු ලබයි.

යුරෝපීය කොමිසම විශ්ව විද්‍යාල ස්වායත්තාව සම්බන්ධයෙන් අනුගමණය කරනු ලබන ප‍්‍රමිතිය ඉදිරිපත් කරන ලිස්බන් ප‍්‍රකාශණයට (Lisbon Declaration) අනුව විශ්ව විද්‍යාල ස්වායත්තාව පිළිබඳමූල ධර්මය තුල ස්වායත්තා ආකාර හතරක් හඳුනා ගනු ලැබේ.

1. ශාස්ත‍්‍රීය ස්වායත්තාව ^Academic Autonomy), එනම් උපාධි සම්පාදනය, විෂය නිර්දේශ සහ ඉගැන්වීමේ විධික‍්‍රම, පර්යේෂණ විෂය ක්‍ෂෙත‍්‍ර, පර්යේෂණ සීමාවන්, ඉලක්ක සහ විධි ක‍්‍රම තීරණය කිරීම;

2. මූල්‍ය ස්වායත්තාව (Financial Autonomy) එනම් ප‍්‍රතිපාදන ලබා ගැනීම සහ පංගු කිරීම පාඨමාලා ගාස්තු තීරණය කිරීම සහ මුල්‍ය අතිරික්තය සමුචිචනය කිරිම;

3. සංවිධාන ස්වායාත්තාව (Organizational Autonomy), එනම් විශ්ව විද්‍යාල සංවිධාන ව්‍යුහයන් සහ ප‍්‍රඥප්ති පිළියෙල කිරීම කොන්ත‍්‍රා්ත් ඇති කර ගැනීම පිළියෙල කිරීම තීරණ නිර්මාණය කරන ආයතන සහ පුද්ගලයන් තෝරා ගැනීම;

4. සේවක මංඩල ස්වායාත්තාව (Staffing Autonomy), එනම් බඳවා ගැනීම වැටුප් සහ උසස්වීම් පිළිබඳ වගකීම.

1942 පිහිටවූ ලංකා විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් මූලික තීරණය ගත් එදා පැවති ව්‍යවස්ථාදායක සභාව සඳහන් කලේ ලංකා විශ්ව විද්‍යාලය ඒකීය unitary, නේවාසික residential සහ ස්වායාත්ත autonomous ආයතනයක් විය යුතු බව ය. මෙම මූල ධර්ම අනුගමණය කල බැවින් 1942 ලංකා විශ්ව විද්‍යාලය පිළිබඳ ව්‍යවස්ථාව නීතියකට වඩා අවබෝධතා ගිවිසුමක ස්වභාවය පිළිබිඹු කලේය. එය සැබැවින්ම විශ්ව විද්‍යාලය සහ රජය අතර අවබෝධතා ගිවිසුමක් වූයේ ය. ඉහත සඳහන් 1,2, 3 සහ 4 යටතේ අදහස්වන ස්වායත්තාවයන් යටතේ එන අභ්‍යන්තර තීරණ ගැනීමේ බල අධිකාරයන් බොහෝදුරට විශ්ව විද්‍යාල පාලනාධිකාරයන්ට පැවරී තිබුනු අතර රජය අවශ්‍ය ප‍්‍රතිපාදන සැපයීමේ වගකීම භාරව ක‍්‍රියා කලේය. 1942 ව්‍යවස්ථාව යටතේ අධ්‍යාපන ඇමතිවරයාට තාවකාලික පදනමින් ලබා දුන් නියෝජ්‍ය කුලපතිකමේ චාරිත‍්‍ර‍්‍රානුකූල කාර්යන් හැර වෙනත් කිසිදු ආකාරයකින් මැදිහත්විමේ බලයක් හිමි නොවීය.

මේ තත්ත්‍වයන් වෙනස්විම ඇරඹෙන්නේ 1966 විශ්ව විද්‍යාල පණතින් ජාතික උසස් අධ්‍යාපන කොමිසන් සභාව පිහිටුවා අධ්‍යාපන ඇමතිවරයාට විශ්ව විද්‍යාල කටයුතු සම්බන්ධයෙන් මැදිහත්වීමට අවස්තාව සැලසීම සමඟ ය. 1972 සහ 1978 පණත්වලින් මෙය තවදුරටත් ඉදිරියට ගෙන ගියේ ය. විශ්ව විද්‍යාල ස්වායාත්තාව ආරක්‍ෂා කල යුතු වගකීම් පැවරුනු ආයතන සහ තනතුරු පත් කරන විට 1978 සිටම සෘජු ලෙසම ඒවා දේශපාලන පත්වීම් බවට පත්විය. අද වන විට එය ව්‍යවස්ථානුකූලව සිදුකරන ක‍්‍රියාවක් බවට පත්වී ඇත. මෙහි ප‍්‍රතිඵලය වන්නේ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම සහ උප කුලපතිවරු බලයේ සිටින පාලක තන්ත‍්‍රයේම කොටස් බවට පත්වෙන තැනට වැඩ සිද්ධවීම ය. සරසවි පරිපාලනය සහ ශිෂ්‍ය දේශපාලනය අතර සිදුවන ගැටුම් සුලභ දසුන් බවට පත්වන්නට මෙය ද එක් හේතුවක් බව සඳහන් කළ යුතු ය. මේ තත්ත්‍වය යටතේ සිදුවන්නේ විශ්ව විද්‍යාල පරිපාලනයට ස්වාධීන ලෙස ශිෂ්‍ය විනය පවත්වා ගැනීමට හැකියාව ලබා දෙන යාන්ත‍්‍රණ ද දුර්වලවී යාම ය. නිදහස් බුද්ධි සංවාදය විශ්ව විද්‍යාලවලින් බැහැරව යාමත් ආචාර්යවරු පවා දේශපාලනකරණය නම් වු මෙම විෂම චක‍්‍රයට හසුවීමත් මෙහි ප‍්‍රතිපලයවී ඇත. තම වගකිවයුතු කාර්ය සිදුකිරීමට අවශ්‍ය විශ්ව විද්‍යාල ස්වායාත්තතාව දුර්වලවී යාම මෙහි සෘජු ප‍්‍රතිඵලය බවට පත්වී ඇත.

ලංකා විශ්ව විද්‍යාලයේ පළමු උපකුලපති වරයා මහාචාර්ය අයිවර් ජෙනින්ස් දේශපාලනකරණය ගැන මෙසේ සඳහන් කලේ ය.

“විශ්ව විද්‍යාල දේශපාලන වශයෙන් පාලනය කිරීම වඩාත්ම අයෝග්‍ය දෙය වන්නේ ය. …එයට ආවේනික අණතුරු ගණනාවක් තිබේ. මෙම ආන්ඩුව විසින් දේශපාලන පාලනය හඳුන්වා දුන්නොත් මීළඟට පැමිණෙන ආන්ඩු විසින් ද එය ඉදිරියට ගෙන යන බව මතක තබා ගන්න. …ඕනෑම ඒකාධිපතිත්වයක ප‍්‍රථම පියවර වන්නේ විශ්ව විද්‍යාල පාගා දැමීම ය. මන්ද ඒවා නිදහසේ බලකොටු වන නිසා ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආන්ඩුවක වගකීම වන්නේ එම බලකොටු පවත්වාගෙන යාම සහ ශක්තිමත් කිරීම ය.ˮ

මේ ආකාරයට නිදහස් අධ්‍යාපනයේ පරමාර්ථවලට අනුව සරසවි අධ්‍යාපනය පවත්වා ගෙන යාමට බාධා කරන ප‍්‍රතිපත්ති පරිසරය වෙනස් කිරීම අපේක්‍ෂා කරන අතර වැටුප් පිළිබඳඉල්ලීම් යොමු කොට තිබෙන්නේ ඉහතින් සඳහන් කල කාර්ය මංඩල ස්වායත්තාව (Staffing Autonomy) සහතික කිරීමට ය.

වැටුප් සම්බන්ධව ඉල්ලීම් දෙකක් ඉදිරිපත් කර ඇත. පළමුවැන්න 2011 දී වෘත්තීය සමිති ක‍්‍රියා මාර්ගය අවසන් කරනවිට පැවති එකඟතාවය පරිදි එදා ඉදිරිපත් කල වැටුප් ක‍්‍රමය හඳුන්වාදීමේ දෙවන අවස්ථාව වන මූලික වැටුප් තල වෙනස් කිරීම ක‍්‍රියාවට නැගීමට පියවර ගන්නා ලෙස ය. දෙවැන්න 2011 සාකචිචාවේ දී එකඟතාවයකට පැමිණි ආකාරයට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සේවාව විශේෂ සේවා කාංඩයක් ලෙස පිළිගෙන එය ක‍්‍රියාවට නැගීම සඳහා Sri Lanka University Academic Service යනුවෙන් නව සේවා කාංඩයක් පිහිටුවීම ය. වැටුප් සහ අනිකුත් සේවා කොන්දේසි එක් ලේඛණයට ගන්නා මෙම නව සේවාව පිහිටුවීම නව වැටුප් ක‍්‍රමයක් ඉල්ලීමේ යෝජනාව අනුපූරණය කරන්නකි. මන්ද නව සේවාව පිහිටුවනවිට එම නව වැටුප් ක‍්‍රමය ද එයට අන්තර්ගත කරගතයුතුවීම අවශවීම ය.

ආචාර්ය සංගම් ඉදිරිපත් කරන වැටුප් ඉල්ලීම තුල ඇත්තේ සියයට ගණනකින් වැටුප් වැඩි කිරීමක් ඉල්ලා සිටීමක් නොව පවතින යල් පිනූ වැටුප් ක‍්‍රමය ඉවත් කොට නව වැටුප් ක‍්‍රමයක් ඇති කිරීම සඳහා කරන ඉල්ලීමක් බව සරසවියට බාහිර බොහෝ දෙනකුට නොපෙනෙන දෙයකි. මෙය ඒක පාර්ශ්වීය වශයෙන් පැන නැගුනක් නොවේ. මෙය බලධාරීන් සමඟ 2009/2010 පමන ඈත කාලයක සිට ගෙන ගිය සාකච්ඡාවල එකඟතාවයකින් පැන නැගුණකි. 2008 දී ප‍්‍රතිපාදන කොමිසමේම කමිටුවක් විසින් මේ පිළිබඳ මූලික සැලැස්ම ඉදිරිපත් කල අතර එය කි‍්‍රයාවට නැගීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉහළම මටිටමින් කොමිසමට දන්වන ලදි. එපමණක් නොව එම යෝජනා ක‍්‍රියාවට නගනතුරු සියයට 25 ක අන්තර්වාර ගෙවීමක් කරන ලෙසට ගරු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා නිර්දේශයක් ද කර තිබුනි. එම එකඟතා ක‍්‍රියාවට නොනැගීම නිසා 2011 දී වෘත්තිය සමිති ක‍්‍රියාමාර්ගයකට ප‍්‍රවේශවීමට සිදුවිය. 2011 දී එම වෘත්තීය ක‍්‍රියා මාර්ගය අවසන් කිරීමේ දී ඇති වූ එකඟතාවය දිගටම ඉදිරියට ගෙන යාමට බලධාරීන් අවංක නොවීම නිසා වර්තමානයේ ඇතිවී තිබෙන වැඩ වර්ජනයට මුල පුරන ලදි.

නව වැටුප් ක‍්‍රමයක් ඉල්ලා සිටීමට පදනම්වූයේ පවතින වැටුප් ක‍්‍රමය ඉහළ පංති සාමාර්ථ ලබා ගන්නා දක්‍ෂ උපාධිධාරීන් විශ්ව විද්‍යාල සේවාවට ආකර්ශණ කර ගැනීමට නොහැකිවීම, පශ්චාත් උපාධි සම්පූර්ණ කරන ආචාර්යවරු රඳවා තබා ගැනිමට නොහැකිවීම සහ විදේශ රටවල සිටින උගතුන් ආකර්ශණය කර ගැනීමට නොහැකිවීම යන ගැටලුවලට එමගින් විසඳුමක් දිය හැකි යයි කල්පනා කරන නිසා ය. මෙය නිසා සමස්ථ විශ්ව විද්‍යාල පද්ධතියේ ගුණාත්මක බව දුර්වලවීමේ අණතුර අපගේ ඇස් පනා පිට පෙනෙන්නට පටන් ගෙන ඇත. සමස්ථ විශ්ව විද්‍යාල පද්ධතියේ 1200 කට අධික තනතුරු පුරප්පාඩු පවතින බවත් පුහුණුව ලැබූ 570 කට ආසන්න පිරිසක් නැවත සේවයට වාර්තා කර නැති බවත් 2011 දී හඳුනා ගන්නා ලදි. මහාචාර්ය මටිටමට පැමිණෙන ආචාර්යවරු අඩුම වශයෙන් ආසියානු කලාපයේ විශ්ව විද්‍යාලවලට ඇදී යාම නතර කිරීමටවත් මෙම වැටුප් ක‍්‍රමයට නොහැකි ය. උදාහරණ වශයෙන් බෲනායි රාජ්‍යයේ පවතින ප‍්‍රධාන විශ්ව විද්‍යාලයේ අපගේ පද්ධතියෙන් පැමිනි 20 කට ආසන්න මහාචාර්ය පිරිසක් දැනටමත් සේවය කරන බව සඳහන් කළ යුතුය.

අද ඉතා ඉහළ වැටුප් වැඩිවිමක් ලැබුනු බව පෙන්විමට යොදා ගන්නා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වැටුප ලබා ගන්නේ 138 ක් පමණ සුලු පිරිසකි. ඔවුන්ගෙන් බොහෝ දෙනකු මීළඟ වසර දෙක තුන තුල දී විශ‍්‍රාම යන්නට සිටින පිරිසකි. නව වැටුප් ක‍්‍රමයේ ආසන්න ඉලක්කයන් වන්නේ නවක ප‍්‍රවේශකයන්, පශ්චාත් උපාධි සම්පූර්ණ කල කථිකාචාර්යවරුන් සහ පිටරට සිටින පශ්චාත් උපාධිධාරීන් යන කාංඩයන් ය. මේ කංඩායම් ආකර්ශණය කරගැනීම සේවය තුල රඳවා ගැනීම සහ මෙරටට යලි කැඳවා ගැනීම අද පවතින වැටුප් ක‍්‍රමයට නොහැකිවී තිබෙන බව ආචාර්ය සංගම්වල මතයයි. මේ මොහොතේ පරිවාස කාලයේ සිටින තම පශ්චාත් උපාධි සම්පූර්ණ කිරීමට අවශ්‍ය පර්යේෂණවල නිරතවි සිටින සහ තම පශ්චාත් උපාධි පුහුණුවෙන් පසු සේවයේ ස්ථිරවී සිටින ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තනතුරු දරන යන සියයට අසූවකට ආසන්න පිරිස ගේ වැටුප්තල සංශෝධනය කිරීම මෙහි ආසන්න ප‍්‍රතිඵලය වනු ඇත.

2011 දී සිදුවූයේ ඉල්ලා සිටි ආකාරයට මූලික වැටුප වැඩිවීම නොව අතට ලැබෙන මුදල වැඩිවන අයුරින් මූලික වැටුපට ගැට ගසා ඇති දීමනා වැඩි කිරීම ය. එම නිසා අචාර්යවරුන්ට සිදුවි තිබෙන්නේ තවදුරටත් පැරණි මූලික වැටුප තුලම සිරවී සිටීමට ය.

විශ‍්‍රාම වැටුපක් නැති සේවාවක් වන මෙම සේවාවට ඒ වෙනුවට තිබෙන්නේ අර්ථ සාධක අරමුදල ය. තමන්ටම වූ විශේෂ ණය යෝජනා ක‍්‍රමයක් නොමැති නිසා ඔවුන් බොහෝවිට කරන්නේ එම අරමුදලින් සියයට 65ක් ණය මුදලක් ලෙස ලබා ගෙන තම විශ‍්‍රාම දිවියට යොදා ගතයුතු එම අරමුදලින් විශාල කොටසක් අහිමි කර ගැනීම ය. විශ‍්‍රාම වැටුපකට දායකවීමට මෑතක සිට සේවයට බැඳුනු අයට අවස්ථාව සලසා ඇතත් එහිදී සිදුවන්නේ අර්ථ සාධක අරමුදලට කපා ගන්නා මුදලින් සියයට 65ක් ඒ සඳහා වෙන් කර ගැනිම ය. ඔවුන්ගේ විශ‍්‍රාම වැටුප වශයෙන් ගණන් ගන්නේ අවසාන වතාවට ලද මූලික වැටුප ය. මෙම ක‍්‍රමය නිසා ඔවුනට ලබා ගත හැකි අර්ථ සාධක ණය මුදල් ප‍්‍රමාණය අඩුවී ඇත. මෙම විශ‍්‍රාම වැටුප වැන්දඹු අනත්දරු ක‍්‍රමයකට සම්බන්ධ නැති බැවින් සාමාජිකයා හදිසියේ මිය ගියහොත් එහි ප‍්‍රතිලාභය ලබා ගන්නේ රජයයි. මෙයින් පෙනෙන්නේ මූලික වැටුප් වැඩි කිරීම මෙම සේවාවේ ආකර්ශණීය බව වැඩි කිරීමට අත්‍යවශ්‍ය බව ය.

ඉහතින් සඳහන් කරන ආකාරයට වැටුප් පිළිබඳඉල්ලීමද බරපතල ප‍්‍රතිපත්තිමය ගැටුලුවකට ආමන්ත‍්‍රණය කිරීමක් බව ය. සරසවි අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වැඩි දියුනු කිරිමට හැකි දක්‍ෂ උපාධිධාරීන් බඳවා ගැනීම පුහුණු ආචාර්යවරු සේවාව තුල රඳවා ගැනීම ඉලක්ක කර ගත් වැටුප් ක‍්‍රමයක් ආචාර්යවරු ඉල්ලා සිටිති. මනාව සැලසුම් කල වැටුප් ක‍්‍රමයක් ඇති කලහොත් දැන් චෝදනා වශයෙන් ඉදිරිපත් කරන බොහෝ දුර්වලතා ඉවත්වී යන කාර්ය සාධනය සමඟ බැඳුනු නව ප‍්‍රබෝධයක් සරසවි පද්ධතිය තුල ඇතිවන බවට ද ආචාර්ය සංගම් විශ්වාසය පල කරති.

නව සේවාව පිළිබඳයෝජනාව හදිසියේ අටවා ගත්තක් නොවේ. 2011 දී වැටුප් පිළිබඳව ඇතිවූ සාකචිචා වල දී මුදල් අමාත්‍යාංශයේ බලධාරීන් මුල ධර්මීය ලෙස පිළිගත් කරුණක් වූයේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සේවාවේ ඇති සුවිශේෂි ලක්‍ෂණ සලකා ඔවුන්ගේ සේවාව රාජ්‍ය සේවා වැටුප් කාංඩයෙන් ඉවත් කොට ඔවුන්ට නිරපේක්‍ෂ වැටුප් ක‍්‍රමයක් සහිත සේවාවක් බවට පත් කිරිම අවශ්‍ය බව පිළි ගැනීම ය.

විශ්ව විද්‍යාල ආචාර්ය සේවාවක් පිහිටුවීම පිළිබඳ සංකල්පීය ලියවිල්ලක් මේ සඳහා ඉදිරිපත් කර ඇත. එය පිළියෙල කිරීමේ දී බොහෝදුරට අනුගමණය කලේ 2008 දී ඉන්දියානු විශ්ව විද්‍යාල කොමිසම විසින් සලකා බලන ලද ආචාර්යවරුන්ගේ වැටුප් තල පිළියෙල කිරීමේ 6 වන කොමිසන් සභාවේ නිර්දේශයන් ය. ඉදිරිපත් කර තිබෙන සංකල්පීය සැලැස්ම විසින් ඉදිරිපත් කරන මූලධර්මයන් වන්නේ මේවාය.

1. විශ්ව විද්‍යාල ආචාර්යවරු විශේෂ සේවා කාංඩයක විය යුතු යයි මුදල් අමාත්‍යාංශ ලේකම් විසින් 2011 දී පිළිගත් බැවින් එය ක‍්‍රියාවට නැගීමට කිසියම් ක‍්‍රමවේදයක් ඉදිරිපත් කිරිම,

2. මාරු කළ නොහැකි එහෙත් පොදු වැටුප් ක‍්‍රමයක්, පොදු බඳවා ගැනීමේ සහ උසස්වීම් ක‍්‍රමයක් තුල දැනටත් ආචාර්වරුන්ගේ සේවාව පවතින බැවින් ඒ සියල්ල තනි ලේඛණයකට එනම් සේවා ව්‍යවස්ථාවකට ඇතුල් කිරිම,

3. ඉදිරිපත් කර ඇති නව වැටුප් ක‍්‍රමය සහ දැනට පවතින සියලු බඳවා ගැනීම් සහ උසස්වීම් පිලිබඳචක‍්‍ර ලේඛ එම ලේඛණයට ඇතුල් කිරීම,

4. වැටුප් සහ සේවා කොන්දේසි පිළිබඳව වාර්ෂිකව සලකා බලන සියලු පාර්ශව ඇතුලත්වන කේවල් කිරීමේ මංඩලයක් පිහිටුවීම,

5. වැටුප් සම්බන්දයෙන් ආචාර්ය සංගම් සහ බලධාරීන් විසින් වාර්ෂිකව සාමූහික ගිවිසුමකට එළඹීම මගින් නිතර වෘත්තීය ක‍්‍රියාමාර්ගවලට යාම අවසන් කරලීම,

6. බඳවා ගැනීම සහ උසස්විම් පිළිබඳ කොන්දේසි විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම විසින් හිතුවක්කාරී ලෙස වෙනස් කිරීම අවසන් කර ඒවා ද ඉහත දක්වන කේවල් කිරිමේ මංඩලයට යොමු කිරීම ය.

ඉහත කරුණු වලින් පෙනී යන්නේ නව වැටුප් ක‍්‍රමයක් සහ ආචාර්ය සේවාවක් ඇති කිරීම යන යෝජනාවන් තුල පවතින්නේ කාර්ය මංඩල ස්වායත්තාව (Staffing Autonomy) යනුවෙන් ඉහත දී සඳහන් කල මූල ධර්මය භාවිතාවට නැගීමට අපේක්‍ෂා කිරීමය.

ප‍්‍රතිපත්ති තීරණය කරන බලධාරීන් ඉහත සඳහන් කරන ලද ප‍්‍රතිපත්තිමය ගැටලු හඳුනාගෙන ඒවා විසඳීම සඳහා විශ්ව විද්‍යාල ආචාර සමිති සම්මේලනය තම ඉල්ලීම් තුලින් ඉදිරිපත් කර ඇති ප‍්‍රතිපත්ති විසඳුම් පිළිබඳව අවබෝධ කර ගන්නට උත්සාහ කරන්නේ නම් අද ඇති වෘත්තීය කි‍්‍රයා මාර්ගයට සම්මුතියක් සොයා ගැනීමට පුලුවන් බව සඳහන් කල යුතුය. එසේ නොමැතිව ආචාර්ය වරුන්ට හිරිහැර කරන ක‍්‍රියාවන් සිදුකරමින් ඔවුන් සිය දේශපාලන සතුරන් ලෙස සැලකීම මගින් මේ ප‍්‍රශ්ණය තවත් අවුල් කරන බව අවසාන වශයෙන් සඳහන් කළ යුතුය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )