සරසවි ඇදුරු වැඩ වැරුම හෙළි කළ මහින්ද චින්තනයේ බුද්ධි විරෝධී පිළිවෙත

සරසවි ඇදුරු වැඩ වැරුම හෙළි කළ මහින්ද චින්තනයේ බුද්ධි විරෝධී පිළිවෙත
– කුමුදු කුසුම් කුමාර
විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය දියත් කොට ඇති වැඩ වර්ජනය දින 50 සපුරද්දී සරසවි ඇදුරන් කොළඹ නගරයේ වීදි දිගේ පෙළපාලි ගොස් හයිඩ් පාක් හි පැවැත්වූ සාර්ථක මහජන රැළියත් සමගින් එම සටන ගුණාත්මක පිම්මක් පැන්නේය. එම රැළියේදී ජ්‍යෙෂ්ඨ වෘත්තීය සමිති නායක බාලා තම්පෝ, පූජ්‍ය මාදුලුවාවේ සෝභිත හිමි, සහ ජාතික මට්ටමේ විවිධ වෘත්තීය සමිති නායකයන් සියලු දෙන දිගින් දිගටම අවධාරණය කළ රාජ්‍ය අංශයේ අධ්‍යාපනය රැක ගැනීමේ අවශ්‍යතාව ජාතික මට්ටමේ මාතෘකාවක් බවට පත් කරන්නට මෙම අරගලය සමත් වී ඇති බව මෙම රැළිය සටහන් කළේය. එපමණක් නොව මෙම රැළිය පශ්චාත් යුද ලංකා සමාජයේ වැදගත් දේශපාලන කඩඉමක් ද සළකුණු කරන්නේ යැයි සිතමි.

එය යුද සමයේ මර්ධනයට ලක් වූ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස යළි අත්පත් කර ගැනීමෙහි ලා ලාංකේය ජනතාව තැබූ තීරණාත්මක මුල් පියවරක්ද වන්නේය. පශ්චාත් යුද සමයේ පළමු වරට දේශපාලන පක්ෂයක් නොවන සංවිධානයක් වන වෘත්තීය සමිතියක් මහජන සහභාගිත්වයෙන් කොළඹ නගරයේ පිට්ටනියක සාර්ථක ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වූ පළමු අවස්ථාව මෙය බව දේශපාලන විශ්ලේෂකයන් නිරීක්ෂණය කොට තිබුණි. කොළඹ වීදි පුරා සාමකාමී ලෙස පෙළපාලි ගිය සරසවි ඇදුරන් සහ වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන සාමාජිකයන් හයිඩ් පාක් එකට ඇතුලු වූ පසු අවට පාරවල් සියල්ල වාහන ගමනාගමනය නොහැකි වන සේ පැය කිහිපයක් වසා තැබීමේ ප්‍රථිපලය වූයේ මහජනයාට මෙම රැළිය දැක බලා ගැනීමට අවස්ථාව අහිමි කිරීම යි. අරමුණ එය වී නම් එය රජය තමනට එරෙහිව නැගෙන ජන මතය ගැන සත්‍යය ජනතාව දැන ගන්නවාට බිය බව පෙන්නුම් කරයි.

මෙම රටේ බුද්ධිමය ප්‍රජාව වූ පිරිස සමග සංවාදයකට යනවා වෙනුවට සරසවි ඇදුරු වෘත්තීය ක්‍රියා මාර්ග ඇරඹුණු පසුගිය වසරේ සිටම, ඔවුන් සතුරන් ලෙස සළකා කටයුතු කරන්නට රජය පෙළඹීමෙන් පෙන්නුම් කෙරුණේ මෙම ප්‍රජාව පිළිබඳ නිසි තක්සේරුවක් රජයට නොමැති වූ බවයි. රජයට සමාජයේ පවත්නා යථාර්ථය පිළිබඳ නිවැරදි අදහසක් හෝ නිසි උපදෙස් දීමට සමත් බුද්ධි මණ්ඩලයක් හෝ නොමැති බවයි. රජය උසස් අධ්‍යාපන ඇමති ලෙස එස්.බී. දිසානායක පත් කිරීම පෙන්නුම් කළේ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය පිළිබඳ මූල්‍ය වගකීමෙන් රජය නිදහස් වන අතර එම අංශය ඉදිරියේදී පිහිටුවෙන පෞද්ගලික විශ්ව විද්‍යාල ක්‍රමයට යටත් කෙරෙන මට්ටමකට ගෙන ඒමේ රජයේ පිළිවෙතයි. රාජ්‍ය අංශයේ සරසවි පද්ධතියත් පාසැල් අධ්‍යාපනයත් වෙළඳ පොල තර්කණයට යට කිරීමට රාජපක්ෂ රෙජීමය ගෙන ඇති තීරණය පෙන්නුම් කරන්නේ එය ස්ථිරසාරව නව ලිබරල්වාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට තීරණය කොට ඇති බවයි. මේ පිටුපස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත්, ලෝක බැංකුවත්, මිලින්ද මොරගොඩ පිහිටුවූ පාත් ෆයින්ඩර් වැනි රාජ්‍ය නොවන ආයතනත් අධ්‍යාපන වෙළඳාමට බැස සිටින පෞද්ගලික අංශයත් එසේ බැසීමට බලාපොරොත්තුවන දේශපාලනඥයනුත් සිටිති. මේ සියල්ලම පෙන්නුම් කළ එක් ප්‍රධාන දෙයක් නම් මහින්ද චින්තනයේ සහ මහින්ද රාජපක්ෂ රජයේ බුද්ධි විරෝධී පිළිවෙත යි.

පසුගිය වසරේ වෘත්තීය ක්‍රියා මාර්ගය එජාප සහ ජවිපෙ යටි උගුලක් ලෙස සැළකූ රජය වත්මන් ඇදුරු වර්ජනය කෙසේ හෝ පරාජය කළ යුතු ලෙසින් මුල සිටම සැළකුවේ එය රෙජීමය වෙනස් කිරීමේ ‘අරාබි වසන්තය‘ වැනි ජාත්‍යන්තර සහ විපක්ෂ කුමන්ත්‍රණයක මුහුණත යැයි හුඹස් බියක් මවාගෙනය. එහෙයින් එක් අතකින් ආචාර්ය සමිති සම්මේලනය සමග සාකච්ඡා කරන අතරතුර සාකච්ඡා දිග්ගැස්සීම සහ ප්‍රතිචාර වශයෙන් දියාරු විසඳුම් ඉදිරිපත් කිරීමත් ඒ අතරතුර අමාත්‍ය එස්.බී. දිසානායක ට රාජ්‍ය මාධ්‍ය ආයතන සහ තම හෙංචයියන් ලවා සරසවි ඇදුරන්ට නිර්දය ලෙස පහර දීමට අවකාශ සැළසීමත් රජයේ පිළිවෙත වූ බව පෙනෙයි. විශ්ව විද්‍යාල ආචාර්ය වරුනට කිසිදු ප්‍රශ්නයක් නැතැයි දැඩි ස්ථාවරයක සිටින ඇමතිවරයා, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සහ විශ්ව විද්‍යාල බලධාරීන් මෙම වර්ජනය කඩාකප්පල් කිරීමට හැකි හැම අයුතු උත්සාහයක්ම දරමින් සිට තිබෙන්නේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට පිවිසීම හරියටම රාජ ද්‍රෝහී අපරාධයක් ලෙස සළකමින් මෙනි.

ඇදුරු සමුලුවේ ප්‍රකාශකයෙක් පෙන්වා දුන් පරිදි විචාරබුද්ධියෙන් යුතුව කටයුතු කළේ නම් රජයට සරසවි ඇදුරන්ගේ ඉල්ලීම් තමන් අතට ගෙන ඔවුන්ගේ අරගලය තමන්ගේ වාසියට හරවා ගන්නට ඉඩ තිබුණි. නමුත් රජය ගත් මඟ සරසවි ඇදුරන් පරාජය කිරීමේ ඉහත මඟයි. මෙම වර්ජනය මාස දෙකක් දක්වා දිග්ගැස්සීමට හේතුව එයයි.

ජාතික චින්තනය ඒකීය රාජ්‍යය රැකීම වෙනුවෙන් නව ලිබරල් ධනවාදය ඉවසා සිටිය යුතු යැයි කියන තැනට පත්ව ඇත. ජාතිය ගෝලීය ප්‍රාග්ධනයේ ණය චක්‍රයට උගස් තබන මෙම ධනවාදී වාණිජ සංවර්ධනයේ ඇති දේශප්‍රේමයක් නැති බව ඔවුනට නොපෙණෙයි. සිදුවෙමින් පවතින්නේ සංවර්ධනය නාමයෙන් වෙළෙඳ පොළ තර්කනය සමාජයේ හැම ක්ෂේත්‍රයකම තහවුරු කිරීමේ වැඩ පිළිවෙළක් රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබීම යි.

ආචාර්ය නලින් ද සිල්වා සරසවි ඇදුරු අරගලය වහ කදුරු ලෙසින් දකින්නේ එය ඒකීය රාජ්‍යය රකින මහින්ද රාජපක්ෂ රජය පෙරලීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයකැයි සිතා මුලාවේ වැටීමෙනි. අධ්‍යාපනය වෙනුවෙන් රජයේ වියදම් සියයට 6 දක්වා වැඩි කළ යුතුය යන තමන් දැනටම එකඟ වී ඇති යුනෙස්කෝ නිර්දේශය ක්‍රියාත්මක කළ යුතු යැයි රජයට සරසවි ඇදුරන් කියන විට වෘත්තීය සමිතියකට රජයේ ප්‍රතිපත්ති තීරණය කිරීමේ අයිතියක් නැතැයි කියන ආර්ථික විද්‍යාඥයන් පෙන්නුම් කරන්නේ ලිබරල් ආර්ථික න්‍යායන්හි ඇති වඳ බවය.

සරසවි ඇදුරු අරගලය දැකිය හැකි එකම ආකාරය රජයත් එය විසින් මෙහෙයවෙන රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍යවල (ආචාර්ය නලින් ද සිල්වා ගේ වචන වලින් කියන්නේ නම්) සට්ටඹියන් සට්ටඹිණියන් සහ රාජ පාක්ෂික පඬියන් විසින් චිත්‍රණය කරන ආකාරය නොවන බව විචාරශීලීව සිතන ජනයා දනිති.

පශ්චාත් යුද සමයේ ලංකාවේ සමාජයේ සිදුවූ යහපත්ම දෙය සරසවි ඇදුරු අරගලය යැයි මම සිතමි. එය ලාංකේය සමාජයේ අලුත් කතිකාවක් අවුළුවා ඇත. අප දැන් යුද්ධය පිළිබඳ කතාබහ අවසන් කොට ඇති බව සටහන් කළේ මෙම කතිකාවේ ආගමනය යි. යුද්ධයෙන් පසු සමයේ ඊනියා සංවර්ධන කතිකාව හරහා ‘බඩ-කට‘ පිළිබඳ මාතෘකාවට මාරුවී තිබූ මෙරට සමාජ-දේශපාලන සංවාදය අධ්‍යාපනය පිළිබඳ නව කතිකාව මගින් යලිත් ‘රට‘ නැතහොත් පොදු යහපත පිළිබඳ මාතෘකාවට මාරුකරන්නට සරසවි ඇදුරු අරගලය සමත් වී තිබේ. මෙම සංක්‍රාන්තිය සටහන් කරන්නේ මෙතෙක් පැවති ජාතික චින්තනයේ කතිකාව අවසන් වී ඇති බවයි. නැතහොත් සැබෑ ලාංකේය ජාතික චින්තනය අධ්‍යාපනය පිළිබඳ මෙම නව කතිකාවෙන් ඇරඹෙන බවයි.

සරසවි ඇදුරු සටන පෙන්නුම් කරන්නේ ගුණදාස අමරසේකර ලංකාවේ අනාගතය භාර ගනු ඇතැයි තම සක්‍රීය දේශපාලන ජීවිතයම පුරා ප්‍රාර්ථනා කළ උගත් ගැමි තරුණ පරපුර අවසානයේ තම වගකීම ඉෂ්ඨ කරන්නට ඉදිරිපත් වී තිබෙන බවයි. සරසවි ඇදුරු අරගලයේ ඉදිරියෙන් සිටින්නවුන් සහ ඊට පවුරක් වන සාමාජිකත්වයේ අති මහත් බහුතරය හරයෙන් ගත් කළ ගැමි මූලයන් ඇත්තෝ වෙති. එසේ නොවූ වඩා නගරයට බරවූ සාමාජිකයන් වුව සමාජ සාධාරණත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ විශ්වාසයක් ඇත්තවුන් වන හෙයින් ලාංකේය සමාජයේ හරය වන මෙම සිතුම් පැතුම් සමග බද්ධ වූවෝ වෙති.

මෙම අරගලය නව සරසවි ඇදුරු පරපුරක් ඉදිරියට ගෙන ආවේය. සුප්‍රකට එක් ටැමෙන් වීදියේ මහ පොළොවට බැස සිටින මෙම නව සරසවි ඇදුරු පරපුර ජාතියේ අනාගතය සුරැකීමට ජාතික සම්පතක් ලෙස රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය රැකගෙන වර්ධනය කරන්නට තමනට ඇති සමාජ වගකීම සම්බන්ධයෙන් බැරෑරුම් අදහසක් දරති. මේ නිසා ඔවුහු දේශප්‍රේමී හු ද වෙති. ජාතියේ ආත්මය ගෝලීය ධනවාදයට අලෙවි කරන අතරතුර රටේ ඒකීය භූමිය රැකගතහොත් දේශය රැකේ යැයි යන මිත්‍යා වේ ගැලී සිටීන ඊනියා දේශප්‍රේමීන් මෙන් නොව මෙම නව සරසවි පරපුරේ දේශප්‍රේමය රැඳී ඇත්තේ ලාංකේය ජාතියේ අධ්‍යාත්මය, මෙරට සංස්කෘතියේ සාධනීය ගුණාංග රැක ගැනීම ට ඔවුන් තුළ ඇති අධිෂ්ඨානය මතය. පුරවරය යනු එහි භූමිය ම නොවේ, එහි පුරවැසියන්ය යන ඉපැරණි ග්‍රීක අදහස ගැන ඔවුනට අවබෝධයක් තිබෙන සෙයකි.

ඇතැම් ඊනීයා දේශප්‍රේමී රාජ පාක්ෂික මාධ්‍ය කරුවන් එක් පරපුරක ඇතැම් විශ්ව විද්‍යාල ගුරුවරුන් සම්බන්ධයෙන් කෙරෙන විවේචන ඇසුරෙන් වත්මන් සරසවි ඇදුරු අරගලය හෙලා දකින්නට ගත් බොළඳ නිරර්ථක උත්සාහයේදී ඉදිරිපත් කළ චිවේචන මෙම පරපුරේ සරසවි ඇදුරු නායකයන්ට අදාළ නොවේ. මෙම පිරිස 56 පරපුරේ දරුවන්ගේ සාධනීය මුහුණුවර යි. මේ අයට රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය රැක ගැනීම සඳහා වන තම අරගලයේදී මුහුණ දීමට සිදුවී තිබෙන්නේ අද රාජ්‍ය බලය අත්පත් කරගෙන සිටින 56 පරපුරේ දරුවන්ගේ බහුතර සමාජ කණ්ඩායමට යි.

මෙම බහුතර සමාජ කණ්ඩායම අද රාජ්‍ය බලය ලබාගෙන ධනය තනතුරු සහ සමාජ තත්වය ගොඩ නඟා ගැනීමේ මාරාන්තික උත්සාහයක නිරත වී සිටිති. 56 පරපුරට සහ ඔවුන්ගේ දරු පරපුරට සමාජ සංචලතාව සඳහා ඉණිමඟ වූ නිදහස් අධ්‍යාපනය වෙළඳ පොළ තර්කනයට යට කොට දුප්පත් ජනයාගේ දූ දරුවනට අධ්‍යාපනය ලැබීමට තිබිය යුතු අයිතියට පයින් ගසන්නට අද රාජ්‍ය බලයේ සිටින පිරිස සැරසෙති. ඒ ගෝලීයකරණය වූ වෙළෙඳ පොළේ වාණිජ කටයුතු වලින් සහ අයුතු ගනු දෙනු වලින් ඉක්මන් ලාභ ලැබීම මහන්සියෙන් අධ්‍යාපනය ලැබීමෙන් ඥානය සරිකර ගන්නවාට වඩා පහසුවෙන් ඉහලට නැඟීමේ මඟක් බව ඔවුන් දන්නා හෙයිනි. එහිදී මෙතෙක් අප සමාජයේ ශක්තීන්ව පැවති ආයතනික ව්‍යුහයන්, ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන් ඔවුන් දකින්නේ තම අරමුණට බාධා කරන සහ එහෙයින් පරාජය කොට විනාශ කළ යුතු ඒවා හැටියටය. ඒ අතුරින් නිදහස් අධ්‍යාපනයත් රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියත් ඔවුන් දකින්නේ තම අරමුණට යොදා ගත හැකි විය යුතු මෙවලම් ලෙසය, එසේ කළ නොහැකි නම් විනාශ කළ යුතු දේ ලෙස මිස රැක ගත යුතු උරුමයන් ලෙස නොවේ.

නමුත් සැබෑ ලෙස සමාජයේ ඉහළ නැඟීම යනු ධනවත් වීමෙන් හෝ සමාජ තත්වය මිළට ගැනීමෙන්ම ලද හැක්කක් නොවේ. ඒ සඳහා සංස්කෘතික වීම අවශ්‍ය වෙයි. සංස්කෘතික වීම යනු ව්‍යාජ ලෙස බූර්ෂුවා වීම හෝ සාමාන්‍ය ජනයාගෙන් ඈත් වූ ඊනියා ප්‍රභූ පැළැන්තියකට ඇතුලු වීම නොවේ. සංස්කෘතිකවීම යනු ශිෂ්ඨ සම්පන්නවීම යි. එයට පදනම යහපත් අධ්‍යාපනය යි. විචාරශීලී පුරවැසියන් ගොඩ නඟන යහපත් අධ්‍යාපනයේ තැනට රැකියා පුහුණුව ආදේශ කරන පිලිස්තීනු ව්‍යවහාරය මේ අර්ථයෙන් සංස්කෘතික නොවේ.

වත්මන් රජය අධ්‍යාපනය යන්න වටහා ගන්නා බව පෙනෙන්නේ බටහිර ධනපති ලෝකයේ අධිපතිභාවය ලොව තහවුරු කිරීම අරමුණු කොට ගත් “දැනුම් සමාජය“ ට සේවය කරන්නක් බවට ලඝු කොට ගෙනය. “දැනුම් සමාජය“ පිළිබඳ සංකල්පය අන්ධාණුකරණයෙන් භාර ගත හොත් අපට සිදුවනු ඇත්තේ ගෝලීය ධනවාදයේ ව්‍යාප්තියේ දැනුම් කර්මාන්තය පදනම් කරගත් මෙම අදියරෙහි පරිවාරයේ සේවා සපයන ශ්‍රමිකයන් පුහුණු කරන තැනට දැනුමත්, එබඳු දැනුමක් ලබා දීම ලෙසට අධ්‍යාපනයත් ලඝු කිරීමටය.

මේ පසුබිමෙහි නිදහස් නැතහොත් රාජ්‍ය අංශයේ අධ්‍යාපනය රැක ගැනීමේ සටන් පාඨය සමාජයේ පොදු යහපත වෙනුවෙන් කටයුතු කිරීමෙහි ලා රජයේ වගකීම වෙළෙඳ පොළ තර්කණය වෙනුවෙන් අත් හැරීමට එරෙහිව වත්මන් රජයේ නව ලිබරල්වාදී ආර්ථික පිළිවෙත සෘජුව අභියෝගයට ලක් කරමින් මතු කෙරෙන්නකි.

මෙයින් අවධාරණය කෙරෙන වැදගත් කරුණක් නම් ලාංකේය සමාජයේ අධ්‍යාපනය පළමු කොටම සමාජ සාධාරණත්වය පිළිබඳ කරුණකි යන්නයි. අදත් ගමේ, වතුකරයේ, නගරයේ දුප්පතුන්ගේ දූ දරුවනට නොමිලේ අධ්‍යාපනය ලැබීමට සහ එනිසා සමාජ චල්‍යතාවට ඇති අවස්ථාව අහිමි නොකළ යුතු ය. දෙවනුව, රැකියාවක් කිරීම හෝ වෘත්තියක යෙදීම සඳහා වෘත්තීය අධ්‍යාපනයෙන් ලබන පුහුණුව අවතක්සේරු නොකරන අතර අධ්‍යාපනය යනු ඊට එහා ගිය දෙයකි යන්න මින් අවධාරණය කෙරෙයි. මේ අර්ථයෙන් අධ්‍යාපනය යන්න ලෝකයේ යහපත වෙනුවෙන් කැපවෙන විචාරශීලී යහපත් පුරවැසියන් බිහිකිරීමේ මඟයි. එතැනින් ඔබ්බට යමින් අධ්‍යාපනය යනු ශාස්ත්‍රඥයන්, විද්‍යාඥයන්, චින්තකයන්, දාර්ශනිකයන් බිහි කරන මඟයි. මෙවැන්නන් බිහි කිරීම වැදගත් කොට නොසළකන සංස්කෘතියක්, ශිෂ්ඨාචාරයක් ගැන අපට සිතිය නොහැකිය. මෙසේ කීම අධ්‍යාපනය ට බමුණු කුල දෘෂ්ටියක් ආරෝපනය කිරීමක් නොවේ. අවශ්‍ය වන්නේ එවැන්නන් සාමාන්‍ය මහජනයාට ඉහලින් සිටින සුපිරි පංතියක් ලෙස සැළකීම නොව ඔවුන්ගෙන් ලෝකයට වන සුවිශේෂ මෙහෙවර පිළිගෙන එයට හිමි විය යුතු සැළකීම ලබා දීමයි.

මහින්ද චින්තනයේ දැනුම් ආර්ථිකය පිළිබඳ සඳහන් යෝජනා වලට අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය පිළිබඳ ජාතික අවශ්‍යතා ලඝු කළ නොහේ. මහින්ද චින්තනයේ හරය වශයෙන් හුවා දැක්වෙන යහපත් සාරධර්ම මත පදනම් වූ සමාජයක් ගොඩ නැංවීම ඊනියා ගෝලීය දැනුම් ආර්ථිකයේ අපට හිමි වන උපාංග වන ‘කෝල් සෙන්ටර්‘ වැනි සේවා ස්ථාන වල හෝ සංචාරක කර්මාන්තයේ සුළු සේවාවන්හි රැකියා සඳහා හෝ මුහුද ගොඩ කොට ඒ මත පිහිටුවෙන කැසිනෝ හෝ ‘ලිංගික කර්මාන්තයේ‘ පරිවාර සේවාවන් සඳහා හෝ තරුණ තරුණියන් පුහුණු කිරීම අධ්‍යාපනය ලෙස ගැනීමෙන් කළ හැකි නොවේ. සාමාන්‍ය අධ්‍යාපනයේ ප්‍රධාන අරමුණ විය යුතු යහපත් පුරවැසියන් බිහිකිරීමේ අරමුණ අධ්‍යාපනයෙන් අත හැර දැමීමේ ප්‍රථිපල සමාජ විරෝධී හැසිරීම් රටා ලෙසින් මේ වනවිට අප සමාජයට දැනෙන්නට පටන් ගෙන තිබේ.

රජය ජනතා දේපළවල භාරකරු මිස අයිතිකරු නොවේ යැයි උදාන වැකි කියමින් බෞද්ධ චින්තනයේ නමින් ආරම්භ වූ මහින්ද චින්තනය ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ චින්තනය සහ ලෝක බැංකු චින්තනය හැරුණු කොට අන් සරණක් නැද්ද? මහින්ද රාජපක්ෂ රජය ඉතිහාස ගතවන්නට කැමැත්තේ යටත් විජිත යුගයේ සිට මෙරට සාමාන්‍ය බහු ජනතාවගේ යහපතට හේතු වූ නිදහස් අධ්‍යාපනය සහ රාජ්‍ය අංශයේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය තනිකරම වෙළඳ පොළ ආධිපත්‍යයට යටකොට විනාශ කර දැමූ රජය වශයෙන්ද?

සරසවි ඇදුරු අරගලය මගින් මේ අප නෙලමින් සිටින්නේ කන්නන්ගර මැති තුමා නායකත්වය දුන් නිදහස් අධ්‍යාපනයේ අවසාන අස්වැන්න යි. යටත් විජිත සමයේ සිට ලංකාවේ වාමාංශික දේශපාලනය වැපුරූ සමාජ සාධාරණත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ වගාවේ අස්වැන්න යි. එය යලිත් බීජ කොට වපුරන්නට ලාංකේය ජන සමාජය අසමත් වුව හොත් අප මෙතෙක් දැන සිටි ලංකා සමාජයේ යහපත් පාර්ශ්වය මෙරට සහමුලින්ම අපට ආගන්තුක තැනක් වන තරමට මෙරට මානව සාරධර්ම, වටිනාකම් අතින් වෙනස් වනු ඇත. එයට අප සියල්ලන්ම අනාගත පරපුරට වග කිව යුතු වනු ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )