ජනපතිගේ ‘දෙගොල්ලම-දිනුම් විසඳුම‘ ක්‍රියාවට නැඟීමට කාලය යි

ජනපතිගේ ‘දෙගොල්ලම-දිනුම් විසඳුම‘ ක්‍රියාවට නැඟීමට කාලය යි
කුමුදු කුසුම් කුමාර
විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ජූලි 04 වැඩ වර්ජනය ආරම්භ වීමට ඉතා ආසන්නව තිබියදී, එයට විසඳුම් සෙවීමට උසස් අධ්‍යාපන ඇමති එස්. බී. දිසානායක උනන්දුවක් නොදක්වන බව වටහාගත් බව පෙන්නුම් කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ආචාර්ය සමිති සම්මේලනය සමග සාකච්ඡාවට යොමුකළේ ඔවුන් ගේ ඉල්ලීම්වලට ‘දෙගොල්ලම දිනුම්‘ විසඳුමක් ඉදිරිපත් කරන බව ප්‍රකාශ කරමිනි. අද වනවිට වැඩ වර්ජනය පටන් ගෙන මාස තුනක් ඉක්ම ගොස් ඇති නමුදු ඊට විසඳුමක් දීමට ජනාධිපති දුන් පොරොන්දුව ඉටු වී නැතිවා පමණක් නොව රජයේ සමස්ත යාන්ත්‍රණයම ආචාර්ය සමිති වැඩ වර්ජනය මර්ධනය කිරීම සඳහා යොමුකොට තිබීම මුළු සරසවි ඇදුරු ප්‍රජාව සහ රජය අතර උග්‍ර ගැටුමක් වර්ධනය කිරීමේ අනතුර අත ළඟටම ගෙනැවිත් ඇත. එසේ වුවහොත් එය 80 ජූලි වැඩ වර්ජනයේ දී එවක පැවති රජය කළාක් මෙන් අපගේ සමාජයේ දිගු කල් පවත්නා මහා වියවුලක් උදා කිරීමට ඉඩ තිබේ. එවැනි අවාසනාවන්ත තත්වයක් උදාවීම වළක්වා තම ‘දෙගොල්ලම-දිනුම් විසඳුම‘ ක්‍රියාවට නැංවීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ පෙරමුණ ගත යුතු අවස්ථාව දැන් එළඹ ඇත.

එබඳු විසඳුමක් ලබා දීම සඳහා අවශ්‍ය සියලු පදනම දැන් සම්පාදනය වී තිබේ. අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර ආචාර්ය සමිති සම්මේලනය සමග කළ සාකච්ඡා එම අයුරින්ම ඉදිරියට ගෙන ගිය හොත් දින කිහිපයක් ඇතුළත විසඳුමකට එළඹීමට හැකි වනු ඇතැයි ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති නිර්මාල් රංජිත් දේවසිරි ප්‍රකාශ කොට තිබේ. මෙම ලිපිය ලියන අවස්ථාව වන විට යළි එම සාකච්ඡා යළි ඇරඹීමට රජය තීරණය කොට ඇතැයි යන පුවත වාර්තා වී තිබේ. අවශ්‍ය කෙරෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ මැදිහත්වීමෙන් එම සාකච්ඡා කෙළවරක් දක්වා ගෙන යාමයි.

මෙම ප්‍රශ්නය මෙලෙස අනවශ්‍ය ලෙස දිග් ගැස්සීමට හේතු වූ කරුණු මේ මොහොතේ සැකෙවින් සළකා බැලීම වටී. පළමු කොටම, සරසවි ආචාර්යවරුන්ගේ වැටුප් වැඩි කිරීමේ ඉල්ලීම ඉටු කළ හොත් රාජ්‍ය අංශයේ වැටුප් ඉල්ලීම් රැල්ලක් පැතිර යනු ඇතැයි යන බිය රජය මුලදීම ප්‍රකාශ කොට තිබුණි. මූල්‍ය විනය පවත්වා ගැනීම සඳහා අය වැයෙන් පිටස්තරව වැටුප් වැඩි නොකරන්නේ යැයි රජය එළඹ ඇති ප්‍රතිපත්ති තීරණය නොබිඳ පවත්වා ගැනීම අවශ්‍ය යැයි ද රජය තීරණයක සිටී.

නමුත් ආචාර්ය සමිති සම්මේලනය පැත්තෙන් ගත් කළ තම වැටුප් වැඩි කිරීමේ ඉල්ලීම ජනාධිපති මහින්ද රාජපක්ෂ 2011 වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය අවසන් කළ අවස්ථාවේ දුන් පොරොන්දුවක් ඉටු කිරීම පිළිබඳ කාරණයකි. සරසවි ආචාර්යවරුන් ගේ වැටුප් රාජ්‍ය අංශයෙන් වෙන් කොට ගෙන විශේෂ කණ්ඩායමක් ලෙස සළකා ඔවුන්ගේ වැටුප් මහ බැංකුව හා සමාන මට්ටමක තැබීමට කටයුතු කළ බවට යෝජනාව ඉදිරිපත්ම කළේ අන් කවරෙකුවත් නොව උසස් අධ්‍යාපන ඇමති එස්. බී. දිසානායක ය. මෙම අදහස මේ වනවිට මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර ද පිළිගෙන තිබේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ සරසවි ආචාර්යවරුන් ට වූ ඉහත පොරොන්දුව එලෙස ඉටු කිරීම ජනාධිපතිවරයා පිළිබඳ මහජනයා අතර විශ්වාසය පවත්වා ගැනීමට වැදගත් කරුණකි.

සරසවි ඇදුරු වර්ජනය දිග්ගැස්සීමට හේතු වූ අනෙක් ප්‍රධාන කරුණ ඔවුන්ගේ ඉල්ලීම සියල්ලම දුන්නත් ඔවුන් වර්ජනය නොනවත්වනු ඇතැයි මුල සිටම රජය බැසගෙන තිබුණු බිය යි. එබඳු විශ්වාසයක රජය එල්බ ගන්නේ මෙම වර්ජනය ‘අරාබි වසන්තය‘ අනුව යමින් ‘රෙජීමය වෙනස් කිරීම‘ විදේශ සහ දේශීය දේශපාලන බලවේගවල කුමන්ත්‍රණයක පෙර ගමන් කරු යැයි සිතා ගනිමිනි. රජය එබඳු නිගමනයකට කෙසේ එළඹුණද එවැන්නක් ආචාර්ය සමිති සම්මේලනයේ න්‍යාය පත්‍ර යේ තිබී නැත. එමෙන්ම එබඳු භාහිර න්‍යාය පත්‍රයක කොටස් කරුවන් ලෙසින් ආචාර්ය සමිති සම්මේලනය ක්‍රියා කොට නැත. මේ බව ආචාර්ය සමිති සම්මේලනය ප්‍රකාශ කොට තිබේ. මේ වන විට තම සාමාජිකයන්ට මාස තුනක වැටුප් නොලැබී ඇති තත්වයක් යටතේ අනවශ්‍ය ලෙස වර්ජනය දිගටම පවත්වා ගෙන යාමට ආචාර්ය සමිති සම්මේලනයට අවශ්‍ය නැත.

දැන් රජයට ඇති බිය ආචාර්ය සමිති සම්මේලනයේ ඉල්ලීම් සියල්ලටම එකඟ වුවත් අධ්‍යාපනය සඳහා කෙරෙන රජයේ වියදම දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට හය දක්වා වැඩි කළ යුතු යැයි ඔවුන් ඉදිරිපත් කොට ඇති ඉල්ලීම දිනා ගැනීම සඳහා වන ව්‍යාපාරය නොනවත්වනු ඇතැයි යන්න යැයි කියනු ලැබේ. අධ්‍යාපනය සඳහා රජයේ වියදම් ඉහළ දැමිය යුතුය යන ඉල්ලීම මත වර්ජනය දිගටම පවත්වාගෙන යන්නේ යැයි ආචාර්ය සමිති සම්මේලනය කියා සිටින්නේ නැත. ඔවුන් දක්වා ඇත්තේ දැන් සමාජ ගත වී ඇත මෙම සංකල්පය දැන් ජනපි‍්‍රය වී ඇති බවත් සමාජය තූළ වැදගත් හා අත්‍යවශ සංවාදයක් ඇති කිරීමට හේතූ වී ඇති බවත් ය. ඒ පිළිබඳ මහජන සාකච්ඡාව ඉදිරියටම යනු ඇත.

ඉල්ලීම් ලබා දුන්නත් ආචාර්ය සමිති සම්මේලනය වර්ජනය නොනවත්වනු ඇතැයි යන බිය තුරන් කරමින් එම සම්මේලනය මේ පිළිබඳ තම ස්ථාවරය දැන් පැහැදිලිව ප්‍රකාශ කොට තිබේ. එම සම්මේලනය අලුතින්ම නිකුත් කොට ඇති ප්‍රකාශයක් පෙන්වා දෙන පරිදි රජය සමග කළ සාකච්ඡාවලදී ඔවුන් තම ඉල්ලීම් පිළිබඳ දිගින් දිගටම නම්‍ය ශීලී බවක් පෙන්වා ඇත. තමන් නම්‍යශීලි නොවන බවට හා ආචාර්ය සමිති සම්මේලනයේ ඉල්ලීම් හයෙන් පහක් රජය විසින් ලබා දී ඇති බවට අමාත්‍ය එස්. බී. දිසානායක විසින් නිරන්තරයෙන් ප‍්‍රචාරය කරන ප‍්‍රකාශය හුදු ගොතන ලද්දක් බව ඔවුහු මෙම ප්‍රකාශයෙන් කියා සිටිති. එහෙයින් වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගය මාස 3 ක් තිස්සේ ඇදීගෙන යන්නේ ආචාර්ය සමිති සම්මේලනයේ අනම්‍යශීලී භාවය නිසා නොව රජයේ දරදඬුභාවය නිසා බව පැහැදිලි වේ යැයි ඔවුහු කියති. ආචාර්ය සමිති සම්මේලනය මේ වනවිට අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙත ලිඛිතව දන්වා ඇති අවම ඉල්ලීම් මගින් පැහැදිලි ලෙසම පෙන්නුම් කරනුයේ සමථයකට පත්වීම සඳහා ආචාර්ය සමිති සම්මේලනයේ ඇති සූදානම යැයි ඔවුහු පැහැදිළි කරති.

ආචාර්ය සමිති සම්මේලනයේ වර්ජනය ‘රෙජීමය වෙනස් කිරීම‘ සඳහා වන විදේශ සහ දේශීය දේශපාලන බලවේගවල කුමන්ත්‍රණයක බළල් අතක් යැයි යන අදහස තම වාසියට හරවා ගත් කණ්ඩායමක් රජය සහ ආචාර්ය සමිති සම්මේලනය අතර පැවති සාකච්ඡා කඩාකප්පල් කිරීමේ බලවත් උත්සාහයක නිරත වී සිටිති. මොවුන්ගේ කුමන්ත්‍රණයේ අරමුණ රජය සරසවි ඇදුරන් කෙරෙහි බිඳවීම යි. උසස් අධ්‍යාපන ඇමති එස්. බී. දිසානායක මුල සිටම ආචාර්ය සමිති සම්මේලනය සැළකුවේ තමන්ගේ අධිපතිභාවයට අභියෝගකරන කණ්ඩායමක් ලෙසිනි. ලාභාපේක්ෂාවෙන් රජයට සමීපවීම අපේක්ෂා කරන විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සහ පරිපාලකයන් අතලොස්සක් ද ආචාර්ය සමිති සම්මේලනයේ වර්ජනය මර්ධනය කිරීමේ කටයුත්තට තමන්ට ඉඩ දෙන මෙන් දිගින් දිගටම රජයට බල කරමින් සිට ඇත. දේශයේ ඒකාග්‍රතාව වනසනු වස් සිදු කෙරෙන රජය පෙරළීමේ විදේශ කුමන්ත්‍රණ පිළිබඳ බියකින් නිරතුරු පෙළෙන ආචාර්ය නලින් ද සිල්වා වැන්නවුන් සහ ඔවුන් ගේ අනුගාමිකයන්ද මෙම ව්‍යාපාරයට එක්ව සිටිති. මෙම කටයුත්ත සඳහා රාජ්‍ය සහ රාජ්‍ය නොවන මාධ්‍ය අයුතු ලෙස යොදාගනිමින් දියත් කොට ඇති මාධ්‍ය යුද්ධය එල්ටීටීය පරාජය කිරීම සඳහා රජය දියත් කළ ව්‍යාපාරයට තරමටම උත්සන්න වූයේ යැයි කිව හැකිය. දැන් දැන් මෙයට රජයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන්ද හවුල් වී ඇත. මෙරට නිදහස් අධ්‍යාපනය නඟා සිටුවීමේ ලා ඉදිරිගාමී වැඩ කොටසක් කළ ප්‍රධාන පක්ෂය වන ශ්‍රීලනිපය රාජ්‍ය අංශයේ අධ්‍යාපනය රැක ගැනීම තම සටන් පාඨය කරගත් සරසවි ඇදුරන් තම සතුරන් කොට සළකන තත්වයට පත් කිරීම කාගේ කුමන්ත්‍රණයක් ද? විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ වැඩ වර්ජනය පිළිබඳ රජයට මවා ඇති අති භයානක චිත්‍රය කාගේ අවශ්‍යතාව ඉටු කරන්නක් ද? එය සැබෑ චිත්‍රය ද?

සත්‍ය තත්වය කුමක් දැයි සැබෑ ලෙසම දැනගන්නට නම් ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ යුත්තේ තමන්ගේ ස්ථාවරයන් රජයට පැහැදිළි කිරීම සඳහා අවස්ථාවක් විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයට ද ලබා දීමයි. එසේ නොකොට ජාතියේ බුද්ධිමතුන් මර්ධනය කොට පරදවන රජයක අනාගතය සුභවාදී වනු ඇත්ද යන්න රජය බැරෑරුම්ව සළකා බැලිය යුතුය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s