ගෝලීයකරණයේ දේශපාලනය – ලින් ඔකර්ස්

Politics of Globalization, Edited by; Samir Dasgupta and Jan Nederveen Pieterse, SAGE Publications (India)

වත්මන් නිදහස් ව්‍යවසාය මඟින් මෙහෙයවනු ලබන ලෝක ආර්ථික පර්යායට ආ‍වේණික වූ අස්ථාවර ස්වභාවය දැන් බිය උපදවන සුලු වේගයකින් අප වෙත ළඟා වෙමින් පවතී. මෙම සත්‍යය ඔප්පු කිරීම සඳහා වර්තමාන ලෝක ආර්ථික අර්බුදයට වඩා හොඳ සාක්ෂියක් තවත් නැත; මෙම අර්බුදය ‘ස්වර්ගයට යටින් ඇති මහා කැළඹීම’ යන්නෙන් වඩා හොඳින් විදහා දැක්විය හැකිය.

පවතින්නා වූ ලෝක පර්යායේ අසාධාරණකම් පිළිබඳව සමහර ගෝලීය මතයන් දැනුවත් වීමට පටන් ගෙන දැන් කාලයක් ගත වී ඇති බවට සැකයක් නැත. ගෝලීය ආර්ථිකය, ආදායම සමතුලිත කරන්නා වූ බලවතෙක් නොවන බව හැඟීයාම මීට එක් නිදසුනකි. නිදහස් වෙළඳ ආර්ථිකය රටවල් තුළ සහ රටවල් අතර ආදායම් පරතරය පටු කිරීම වෙනුවට, එය වඩාත් වැඩි කර ඇත; එය කොතෙක් ද කියතොත්, අයෙකු ආර්ථික ස්වතන්ත්‍රණය ජයග්‍රාහකයන්ට වඩා පරාජිතයන් බිහි කරනවා යැයි කිවහොත් ඔහු වැරදි නැත.

එනමුත්, ‘පද්ධතියේ’ වඩාත් දරුණුතම කම්පනයන් දැනෙන්නට පටන් ගැනුණේ වත්මන් ‘ලෝක ආර්ථික අවපාතයේ’ ආරම්භයක් සමඟය. මෙම ආර්බුදය, ගෝලීය ධනවාදය තුළ මිනිස් වර්ගයාගේ ‍‍භෞතිකමය දොස් සඳහා විසඳුම් ඇතැයි යන මිත්‍යාව, නිථ්‍ය වශයෙන් කඩා බිඳ දමයි. තවද, ධනවාදයේ මෙම අර්බුදය, මෙතරම් දරුණු වී ඇත්තේත්, එය හැසිරවීම ද මෙතරම් අපහසු වී ඇත්තේද ඇමරිකා එක්සත්ජනපදය මඟින් මෙහෙයවනු ලබන භීෂණයට විරුද්ධ යුද්ධය නිසාය.

ඉතා කාලෝචිත කෘතියක් වන Politics of Globalization මුලුමණින්ම පාහේ විශ්වීය ලෙස අනුයෝජනය කෙරී ඇති නිදහස් ව්‍යවසාය ‘මන්ත්‍රය’ නිසා ඇතිවී තිබෙන ප්‍රතිවිපාක සහ එහි අවදිවීමත් සමඟ මතු වූ ‘නිර්භීත නවලෝකය’ කෙරෙහි අවධානය යොමු කර ඇත. ලොව පුරා අදාල ක්ෂේත්‍ර රැසක විද්වතුන්ගේ ලිපි 18 ක එකතුවකින් සමන්විත මෙම කෘතිය ගෝලීයකරණය සහ එහි අතෘප්තභාවයන් පිළිබඳ වැදගත් සහ ස්වාධීන දැනුම්දීමක් වශයෙන් ද සැලකිය හැකිය.

කැලි‍‍පෝනියා විශ්වවිද්‍යාලයේ ගෝලීය අධ්‍යයනය සහ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය යාන් නෙදර්වීන් පීටර්ස් සිය ප්‍රස්තාවනාවෙහි ඇමරිකා එක්සත් ජනපදයේ බලයේ පරිහානිය සහ චීනය, ඉන්දියාව වැනි රටවල් ගෝලීය ප්‍රමුඛත්වය කරා එළඹීම කෙරෙහි අවධානය යොමු කරමින් වත්මන් ලෝක සංවර්ධනයන් පර්යාලෝකයට නතුකොට ඇත. දශකයකට පමණ පෙර පැවති ඒකධ්‍රැවීය ලෝකය වෙනුවට බහුධ්‍රැවීය ලෝකයක් වඩා තීරණාත්මක ලෙස ප්‍රතිස්ථාපනය වී ඇති අතර, මේ සමඟම ආතතීන් ඉතා අධික ප්‍රමාණයක් මතු වී තිබේ. නව සංකීර්ණතාවයන් පිළිබඳව විස්තර කරමින් පීටර්ස් මෙසේ පවසයි:

“සියලු දියුණු රටවල් පශ්චාත්-කාර්මික ආර්ථිකයක් කරා සංක්‍රාන්තිය මෙහෙයවමින් සිටින අතරම, සීඝ්‍ර ගෝලීයකරණය මඟින් ඇති කරන ලද වැඩි වන්නා වූ තරඟකාරීත්වයට මුහුණ දෙමින් සිටී. යුරෝපයේ සහ ජපානයේ මෙන් නොව, ඇමරිකාව සම්බන්ධයෙන් මෙය නිර්බාධක (එනම්, ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් නොතිබීම), ඩික්සි ධනවාදය (අඩු බදු, අඩු සේවාවන්, අඩු වෘත්තීය සමිති), හමුදාමය විශේෂඥතාවය (බුද්ධියට වඩා ශ්‍රම ශක්තියට මුල් තැනක් දීම) සහ අති විශාල ණය ආදිය සමඟ ඒකාබද්ධව පවතී. මේ සියලු සාධක ඇමරිකා එක්සත් ජනපදයේ දීර්ඝ කාලීන තත්ත්වය දුර්වල කිරීමට හේතු වෙයි.”

ගෝලීය බල තුලනයේ ඇලවීමක් සිදු වෙමින් පවතින අතර, මෙය ආසියාව ‘ප්‍රතිආසියානුකරණය කිරීම’ යන්නෙන් වඩාත් නිවැරදිව දැක්විය හැකිය. එමෙන්ම මෙම ක්‍රියාවලිය ඉදිරි කාලය තුළදී වේගවත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙහි අවධාරණය කෙරෙන කරුණ වන්නේ අනෙක් පුබුදින ආර්ථික බල කේන්ද්‍රවලට අමතරව, චීනයේ සහ ඉන්දියාවේ ආර්ථික ප්‍රමුඛත්වය, ඇමරිකා එක්සත් ජනපදයේ පරාජය උග්‍ර කරන අතරම, ආසියාවේ කලෙක වෘත්තාන්තමය ආර්ථික මාංශපේශින් නැවත ආසියාවට ලබා දෙමින් සිටින බවයි.

සංවර්ධන ආර්ථික විද්‍යාව සහ සමාජයීය විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය ආන්ඩ්‍රේ ගන්ඩ’ ෆ්‍රෑන්ක් විසින් රචිත ” Coup d’etat and Paper Tiger in Washington, Fiery Dragon in the Pacific ” තුළ ඉහත තේමාවන් විදහා දැක්වීමට අමතරව, ඇමරිකා එක්සත් ජනපදයේ සැබෑ සම්පත් පිළිබඳ සමීපස්ථ නිරීක්ෂණයක් අප වෙත ලබා දෙයි. ඒවා අන් කිසිවක් නොව, සියුම් හා විශාල වශයෙන් අවදානම දෙසට නැමුණු ‘කඩදාසි කොටියකු’ වන ඩොලරය සහ පෙන්ටගනය යන කුලුණු ද්වයයි. විශේෂයෙන් තියුණු නිරීක්ෂණයක් වන්නේ මෙයයි: “එනමුත්, ඇමරිකා එක්සත් ජනපදයේ ආධාරක කුලුණු දෙකම එහි කුලුනු ආකිලීස්ගේ විලුඹ (ප්‍රධානම දුර්වලතාවය) ද වෙයි. ඒ ඔස්සේ නිව්යෝක්හි ලෝක වෙළඳ කේන්ද්‍රයේ කුලුණුද්වය මෙන්ම, එක් උදෑසනක මුලු ඇමරිකා එක්සත් ජනපද ප්‍රාසාදයම කඩා වැටිය හැකිය. එය ත්‍රස්තවාදය නිසා නොව ලෝක ආර්ථික මෙහෙයුම සහ ඇමරිකානු රජයේම අනුවණ ප්‍රතිපත්ති නිසා සිදුවනු ඇත.”

කතුවරයා විශිෂ්ට පූර්වදෘශ්ටියකින් යුතුව කථා කරන බව, වත්මන් ගෝලීය ආර්ථික අර්බුදය නිසා උද්ගත වී ඇති අවුල සලකා බැලීමේ දී, අමුතුවෙන් කිව යුත්තක් නොවන බව පෙනේ. ඔබාමා පරිපාලනය මඟින් ඇමරිකා එක්සත් ජනපදයේ අවුල නිරවුල් කිරීමට ප්‍රයත්නයක් දරා ඇති නමුත් ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථිකයේ පදනම කෙතරම් දුර්වල ද කියා ලෝකය සැලකිය යුතු ප්‍රමාණයකින් අත්දැක ඇත. ඇත්ත වශයෙන්ම, අප මේ දකින්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ආධිපත්‍යයේ අවසානයේ ආරම්භය විය හැකිය.

ලන්ඩන් විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය සහ ඇමරිකාවන් පිළිබඳ අධ්‍යයන ආයතනයේ සහකාරක ලෙස්ලි ස්ක්ලෙයා’ විසින් රචිත “The Transnational Capitalist Class and the Politics of Capitalist Globalization” යන ලිපිය, වත්මන් ධනවාදය මඟින් මෙහෙයවනු ලබන ආර්ථික පද්ධතිය, එහි ප්‍රමුඛ මානයන් තුළින් පැහැදිලි ලෙස විදහා දැක්වීම නිසා විශේෂයෙන් වැදගත්ය. ගෝලීය ධනවාදය මුලු ලෝකය පුරා දිවෙන්නේ පාරදේශාන්තර සමායතන (TNCs) මඟිනි. එය එක් එක් රාජ්‍යයන්හි දේශපාලනමය වශයෙන් සංවිධානය වී ඇත්තේ පාරදේශාන්තර ධනේශ්වර පන්තිය මඟින් හෝ ඒ ඒ රටවල්වල පාලක පන්තිය ඔස්සේය. කෙසේ වෙතත්, ගෝලීය ධනවාදය නොනවත්වා පවත්වා ගනු ලබන්නේ පරිභෝජනවාදයේ ‘සංස්කෘතික-මතවාදය’ මඟිනි. මෙය පද්ධතිය නොකඩවා දුවන ඉන්ධනය ලෙස සැලකිය හැකිය.
පරිභෝජනවාදය ගැන ස්ක්ලෙයා මෙසේ පවසයි:

“ගෝලීය ධනවාදයේ සංස්කෘතික මතවාදීමය ව්‍යාපෘතිය වන්නේ තම ජීව විද්‍යාත්මක අවශ්‍යතාවයන්ට වඩා වැඩිපුර පරිභෝජනය කිරීම සඳහා මිනිසුන් පෙළඹවීමයි; මෙය කිරීමේ අරමුණ වන්නේ ලාභය සඳහා ධනය රැස් කිරීම පවත්වා ගෙන යෑමයි, වෙනත් වචනවලින් කියතොත්, මෙම ගෝලීය පද්ධතිය සදහටම පවත්වා ගැනීම සහතික කිරීමයි. පරිභෝජනවාදයේ සංස්කෘතික-මතවාදය ඇත්ත වශයෙන්ම ප්‍රකාශ කරන්නේ ජීවිතයේ අරුත සොයාගත හැක්කේ අප සතු දේවල් තුලය යන්නයි.”

වෙනත් වචනවලින් කිවහොත්, මෙම ලෝකය, ධනවත්ම හා වඩා බලවත්ම අය සඳහා පවතින්නා වූ, තුන්වන ලෝකයේ බහුතරය ද වන දුබල සහ දුප්පත් අය වඩ වඩාත් දරිද්‍රතාවයේ, මරණයේ සහ රෝගීභාවයේ මඩ ගොහොරුවට ඇද දමන්නා වූ, ආත්මාර්ථකාමීත්වයෙන් සහ තියුණු තරඟකාරීත්වයෙන් ගහණ ලෝකයකි. කෙසේ වෙතත්, තුන්වන ලෝකය සම්බන්ධයෙන් පවා, බහුතරය දිළිඳුබවට පත් කිරිම ශීඝ්‍රයෙන් ඉදිරියට දිවෙන අතරතුරම, පාලක පන්තිය නැතහොත් පාරදේශාන්තර ධනේශ්වර පන්තිය තමන් අයථා ලෙස ඉපැයූ ධනය, ඇතැම්විට, බලය සහ සමෘද්ධිය ද සහිතව සුඛෝපභෝගීව කල් ගෙවයි.

ටෙක්සස් විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍රය සහ දර්ශන විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය ස්ටීවන් බෙස්ට්, ඔහුගේ “Globalization and the Human Empire” ලිපියෙහි මිනිසා විසින් මිනිසා සූරා කෑ‍මේ ක්‍රියාවලිය පිළිබඳව නැවුම් අන්තර්දෘශ්ටියක් ලබා දෙයි. ස්ටීවන් බෙස්ට් සූරාකෑමේ ආශය සහ ‘බලයට ඇති අභිමතය’ ආදිතම කාලවල හෝමෝ සේපියන්වරුන් තුළ ද පැවතුණු මිනිස් සහජ ලක්ෂණයන්ය යන පදනමේ පිහිටා සිටී. ‘අනාදිමත් කාලයක’ සිට හිතුවක්කාර ලෙස ස්වාභාවික පරිසරය විනාශ කිරීමට අමතරව යුද ප්‍රදේශ යටත් කිරීම්, වහල් ක්‍රමය සහ මිනිසා විසින් මිනිසා සූරාකෑම ආදියට ද හේතු වූයේ, මෙම කුරිරු ආශයන්ය. මෙම ලක්ෂණ කිසිසේත්ම බටහිර යටත් විජිතවාදීන්ට ඒකීය වශයෙන් අයත් දෙයක් නොවේ. මෙම ලක්ෂණ අනේක සම්පත් සඳහා තරඟ කිරීමට මිනිස් සමූහ පෙළඹවුණු සෑම අවස්ථාවකදීම ක්‍රියාකාරී විණි.

මේ අනුව, Politics of Globalization මිනිසාගේ වත්මන් තත්ත්වය පිළිබඳව ඉතා වැදගත් අන්තර්දෘශ්ටියක් ලබාදීම සම්බන්ධයෙන් ඇගයිය යුත්තකි. මෙය අපගේ කාලයේ බහුවිධ අර්බුද පිළිබඳ කාලීන ගවේෂණයක් වන අතර, වර්තමාන ගෝලීය දේශපාලනික ආර්ථිකය තේරුම් ගැනීමට කැමැත්තක් දක්වන සියල්ලන් විසින් කියැවිය යුත්තක් ද වෙයි.෴

(මෙම ලිපිය “The New World Disorder”නමින් The Island පුවත් පතේ Saturday Magazine (2009/08/22) හි පළවූ ග්‍රන්ථ විචාරයේ පරිවර්තනයකි. කර්තෘගේ අවසරයෙන් පරිවර්තනය කොට පළකෙරිණි.)

ලින් ඔකර්ස් ඉංග්‍රීසි මාධ්‍ය ජ්‍යෙෂ්ඨ පුවත් පත් කතුවරයෙකි.

පරිවර්තනය චාම් ඩි’නාරා

© ‘කතිකා‘ අධ්‍යයන කවය. සියළු හිමිකම් සපුරා ඇවිරිණි.

මෙම ලිපිය ‘කතිකා‘ අධ්‍යයන කවයේ අන්තර්ජාල වාර සංග්‍රහයෙන් උපුටා ගත් බව දක්වමින් අපගේ වෙබ් ලිපිනය kathika.lk සඳහන් කරමින් උපුටා පළ කිරීමට අවසර තිබේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )