ජාන සහ සමාජය – චාම් ඩි‘නාරා
කතිකා.ලංකා වෙබ් අඩවියේ පළ වූවකි.
කැනඩාවේ ප්‍රසිද්ධ පුවත්පත් ලේඛිකාවක වන මාග්‍රට් වෙන්ට් සහ ඇමරිකාවේ The Chronicle for Higher Education පුවත්පතේ ජ්‍යෙෂ්ඨ ලේඛකයකු වූ ක්‍රිස්ටොෆර් ශියා සිය ලිපිවල ගොනු කර ඇති කරුණු ඔස්සේ ජාන හා සමාජය පිළිබඳව කෙටි සාකච්ඡාවක යෙදෙමු. මාග්‍රට් වෙන්ට් (2009) සිය “Darwin, DNA and Destiny”’ යන ලිපියේ, පරිණාමය පිළිබඳව දැනට පවතින අදහස් කෙරෙහි අවධානය යොමු කරමින්, The 10,000 Year Explosion නැමැති කෘතිය පිළිබඳව කෙටි විමර්ශනයක් ඉදිරිපත් කරයි. අලුත් ජානමය සොයා ගැනීම් සහ එම අර්ථදැක්වීම්වලට සමාජවිද්‍යාඥයින් මුහුණ දෙන ආකාරය කෙරෙහි අවධානය යොමු කරන ක්‍රිස්ටොෆර් ශියා (2009), “The Nature-Nurture Debate Redux” යන ලිපිය තුළ ජාන සම්බන්ධයෙන් සිදුකර ඇති නව සමාජවිද්‍යාත්මක පර්යේෂණ පිළිබඳව සාකච්ඡා කරයි. ප්‍රථමයෙන් මාග්‍රට් වෙන්ට් සිය ලිපියේ දක්වා ඇති කරුණු කිහිපයක් කෙරෙහි අපි අවධානය යොමු කරමු.
බුද්ධිමය ඉතිහාසයේ විශාලතම බලපෑමක් ඇති කළ විද්‍යාඥයා වශයෙන් හැඳින්විය හැකි චාල්ස් ඩාවින්ගේ, පරිණාමය පිළිබඳ න්‍යාය, සියවස් එකහමාරක් පුරාවට විශාල වශයෙන් ගැටලු ඇති කළ අතර, ළඟදී මෙම තත්ත්වය වෙනස් වන බවක් නොපෙනෙන බව වෙන්ට් පවසයි. මානවයා සියලු නිර්මාණයන්ගේ උසස්ම නිර්මාණය වශයෙන් සැලකීම නිෂ්ප්‍රභ කළ ඩාවින්ගේ භයානක අදහස්, දෙවියන් සියල්ලේම මැවුම්කරු යන අදහසත් වැරදි බව කියා සිටියේය. බුද්ධිමත් සැලැස්ම පිළිබඳ අදහස මත එල්ලී සිටින සමහරකු හැර, අපි බොහෝ දෙනෙක්, මානව වර්ගයා, කල්ප ගණනාවක් පුරාවට සිදුවූ, ස්වභාවික වරණය තුළින් පරිණාමය වූ බව පිළිගන්නෙමු.
අප අතර බොහෝ දෙනෙක් මානව පරිණාමය බොහෝ දුරට නතර වී ඇතැයි සිතති. වසර 50,000 කට පෙර අප්‍රිකාවේ බිහිවුණු මිනිසුන් හා අප, මූලික වශයෙන්, සමාන බවත්, විවිධ මානව සමූහ අතර ඇති වී ඇති වෙනස්කම් සුළු වෙනස්කම් බවත් අපි උපකල්පනය කරන්නෙමු. දැන් මානව වර්ධනය මෙහෙය වන්නේ සංස්කෘතිය මඟින් බවයි අපගේ විශ්වාසයය.
එනමුත් එය එසේ නොවන්නට පුළුවන. අලුත් ජාන විද්‍යාත්මක සොයාගැනීම් තුළින් මානවයා අඛණ්ඩව පරිණාමය වී ඇති බවත්, අපගේ සමහර පරිණාමික අනුකූලනයන් සැලකිය යුතු තරම් සුවිශේෂී වූ අතර ශීඝ්‍රයෙන් සිදුවූ බවත් අවධාරණය කෙරෙයි. මේවායින් සමහරක් මානව ඉතිහාසයේ හැඩගැස්වීමේදී ප්‍රධාන භූමිකාවක් රඟපෑ බව ද කියැවේ.
ඩාවින් DNA පිළිබඳව දැන සිටියේ නැත. ඔහුට තිබුණේ ෆොසිල වාර්තාවක් පමණි. DNA වාර්තා ෆොසිල වාර්තාවලට වඩා මිලියන වාරයක් සවිස්තරය. අලුත් ජානමය සොයා ගැනීම් ඩාවින්ගේ භයානක අදහස් වඩාත් භයානක බව පෙන්වයි.
මෙම විවාදයට අලුත් එකතුවකි, The 10,000 Year Explosion නැමැති කෘතිය. එහි කර්තෘවරු වන, ජනගහන ජාන විද්‍යාඥයෙකු වන හෙන්රි හාර්පෙන්ඩින් සහ භෞතික විද්‍යාඥයකු මෙන්ම මානව විද්‍යාඥයෙකු වන ග්‍රෙගරි කක්රන්, වාර්තාගත ඉතිහාසයේ කෙටි කාල පරාසයක් තුළ, මානවයන් ශාරීරික හා මානසික වශයෙන් සුවිශේෂී වෙනස්වීමකට බඳුන් වී ඇති බවට තර්ක කරති. ඔවුන් පවසන පරිදි, ක්‍රි. පූ. 8000 දී පමණ ඇරඹුණු කෘෂිකර්මය, පරිණාම වේගයේ අලුත් පිපිරීමක් ඇති කර ඇත. එමෙන්ම මෙම වෙනස තවමත් සිදුවෙමින් පැවතිය හැකි බව ඔවුහු කියති.
ඔවුන්ගේ තර්කය මෙසේය. දඩයම් සමාජයට වඩා කෘෂිකර්මාන්තයට වැඩි පිරිසක් නඩත්තු කළ හැකි වූ නිසා එයින් ජනගහන පිපිරීමකට මුල පිරිණි. ඔවුන් පවසන පරිදි එයින් ජානමය වෙනස්වීම් සිය ගණනකින් වැඩි විය. වෙනත් වචනවලින් කිවහොත්, පරිණාමය ඉක්මන් විය.
බොහෝ වෙනස්වීම් තේරුමක් නැති හෝ හානිකර වූ අතර, කිහිපයක් ප්‍රයෝජනවත් විය. ඩාවින්ට අනුව මීළඟට වන්නේ කුමක්ද යන්න ඔබ දනී. නිරෝගීබවට බලපාන වඩා හොඳ ජාන සහිත මිනිසුන්ට දරුවන් වැඩි විය. පරම්පරා සිය ගණනක් පුරාවට මෙම වෙනස්වීම් ජනතාව අතර ව්‍යාප්තවීමත් සමඟ වඩා පුළුල් වෙනසක් ඇති වීමට පටන් ගත්තේය.
මිනිසුන් ගෘහාශ්‍රිතව ගවයන් ඇති කිරීමට ටික කලකට පසු මතුවුණු, ලැක්ටෝස් ජීර්ණය කිරීමේ හැකියාව, මෑතකාලයේ ඇති වූ වෙනස්වීම් අතර එක් උදාහරණයකි. අලුත් වර්ගයක ආහාරයක් ජීරණය කිරීමට හැකිවීම වාසියක් විය. ලැක්ටෝස් ජීරණය කිරීමේ හැකියාව යුරෝපය පුරාවට ඉක්මනින් පැතිරුනු අතර, දැන් එය යුරෝපියානු මූලයන් සහිත මිනිසුන් අතර පොදු දෙයකි. කෘෂිකර්මික සමාජවල, ජාන ඔස්සේ විකාශය දැකිය හැකි, තවත් ජීවවිද්‍යාත්මක වෙනස්වීමකි, කෘෂිකර්මික සමාජවල ප්‍රධාන ආහාරය වන, කාබොහයිඩ්‍රේට් අධික ආහාර වේලක් දැරීමේ හැකියාව සහ මත්පැන් දැරීමේ හැකියාව. ගොවිතැන් නොකළ සමාජ, හෝ කෘෂිකර්මයට මෑතකදී පිවිසුනු සමූහ, ජානමය වශයෙන් මත්පැන්වල සහ කාබොහයිඩ්‍රේට් අධික ආහාරවල අනිසි බලපෑම්වලට ලක්විය හැකි අතර, දෙවන වර්ගයේ දියවැඩියාව වැනි අතුරු බලපෑම්වලට ලක්වීමේ වැඩි ප්‍රවණතාවයක් ද පවතී.
මෙම කෘතියේ, සමූහ අතර පවතින ජානමය වෙනස්කම්වලට තවත් උදාහරණ දක්වා ඇත. ලා පැහැති සමක් ඇති මිනිස්සු, කළු පැහැති සමක් ඇති මිනිසුන්ට වඩා, හිරු එළියෙන් ලබාගන්නා විටමින් ඩී උරා ගනිති. මීට හේතුව ඔවුන් හිරු එළිය අඩුවෙන් ලැබෙන ප්‍රදේශවල පරිණාමය වීමයි. මෙය නොසලකා හැරිය නොහැක්කේ, විටමින් ඩී ඌනතාවය බහු ජරඨතාව සහ අස්ථි විකෘති රෝගයට සම්බන්ධ වන නිසාය. අප්‍රිකානු මූලයන් සහිත බොහෝ මිනිසුන් තුළ දෑකැති-සෛල රක්තහීනතාව ඇති කරන ජානය පිහිටා ඇත. එමෙන්ම එම ජානය මැලේරියාවට ප්‍රතිරෝධයක් දක්වන ජාන වෙනස්වීමකට සම්බන්ධ වන බව ද සොයා ගෙන ඇත. උතුරු යුරෝපීය යුදෙව් ජාතිකයින් තුළ ද දුර්ලභ රෝග කිහිපයකට හේතුවන ජාන තිබෙන බව සොයා ගෙන ඇත. එමෙන්ම මේ සමහර ජාන ඔවුන්ට නොබෙල් ත්‍යාග විශාල ප්‍රමාණයක් ලබා ගැනීමට හේතු වූ ජාන හා සමීප සම්බන්ධතාවයක් පවතින බව ද සොයා ගෙන ඇත.
මෙම කර්තෘවරු, සංස්කෘතිය සහ ජීවවිද්‍යාව අත්‍යන්ත වශයෙන් බැඳී පවතින බවත්, එකිනෙකට බලපෑම් කරන බවත් තර්ක කරති. මුලදී, කෘෂිකර්මයේ නියැලීම, සංඛ්‍යාවෙන් විශාල ධූරාවලිගත සමූහ හා ජීවත් වීම, ගෘහස්ථ සතුන් සහ ඔවුන්ගේ මාරාන්තික රෝග හා කිට්‍ටුවෙන් ජීවත් වීම ආදිය මානව වර්ගයාට කළ නොහැකි දේවල් විය. කෘෂිකර්මික ජීවන රටාව ඉවසීම, සැලසුම් කිරීම, ආත්මාර්ථකාමීත්වය සහ අධිකාරයට ගරු කිරීම වැනි ලක්ෂණ දායාද කරන්නට ඇත. එමෙන්ම ගෘහස්ථව ඇති කරන සතුන්ගෙන් බෝවන රෝගවලට සාමාන්‍ය ප්‍රමාණයක ප්‍රතිශක්තියක් ලබාදී ඇත. විශාල ජන සමූහ තුළ ජීවත්වීම ද මාරාන්තික වූ නමුත්, එයම පැරණි ලෝකයේ මිනිසුන් තුළ රෝගවලට එරෙහි ආරක්ෂාව වර්ධනයට හේතු වී ඇත.
ඇමරින්දියානුවන් සහ වෙනත් හුදකලා වුණු ජනතාව බෝවන රෝග අත්දුටුවේ ඉතා සුළුවෙනි. එමෙන්ම එවැනි රෝගවලට ප්‍රතිශක්තියක් ඔවුන් තුළ නොවීය. ඔවුන්ට යුරෝපානු විශබීජවලට එරෙහි කිසිඳු ආරක්ෂාවක් නොවුණු අතර, ඒවා වැලඳීමත් සමඟ ඔවුහු විශාල වශයෙන් මරණයට පත් වූහ. ඔවුන්ගේ ජානමය ගොඩනැංම ඒ ආකාරයෙන් පරිණාමය වී නොතිබුණේ නම්, යුරෝපානුවන්ට කිසිකලෙක නව ලෝකය යටත් කරගැනීමට නොහැකි වනු ඇත. (යුරෝපානුවන්ට මුලදී අප්‍රිකාව යටත් කරගත නොහැකි වූයේ ද මෙම හේතුව නිසාමය: එකල ඔවුන් තුළ අප්‍රිකානු ලෙඩ රෝගවලින් ආරක්ෂා වීමට ප්‍රතිශක්තියක් වර්ධනය වී නොතිබුනු නිසා ඔවුහු විශාල සංඛ්‍යාවක් මරණයට පත්වූහ.)
අප තවම පරිණාමය වී අවසන් නැති විය හැකි බව වෙන්ට් පවසයි. “සීඝ්‍ර වෙනස්වීම් ඉක්මන් පරිණාමයට හේතු වේ,” ආචාර්ය කක්රන් පවසයි, “පසුගිය වසර 50,000 ක් පුරාවට මානව වර්ගයා අත්දුටුවේ මෙයයි. අපි අප්‍රිකාවෙන් ඔබ්බට ගියා, අලුත් භූමි ජනාවාස කළා, ග්ලැසියර් ඇතිවී නැතිවී යනු දුටුවා, මේ අතර කෘෂිකර්මය වැනි මුළුමනින්ම අලුත් ජීවන රටා සොයා ගත්තා. නිර්මාණයට ඇති හැකියාව වර්ධනයත් සමඟ ඇරඹුණු වෙනස්වීම් සමුදායක්.”
මීලඟට ක්‍රිස්ටොෆර් ශියාගේ (2009) ”The Nature-Nurture Debate Redux” යන ලිපියේ දැක්වෙන තොරතුරු කෙරෙහි අවධානය යොමු කරමු. ශියා අවධානය යොමු කරන මූලික ප්‍රශ්නය වන්නේ සමාජ විද්‍යාඥයින් ජාන කෙරෙහි අවධානය යොමු නොකළහොත් අනෙක් ක්ෂේත්‍රවල විද්වතුන් සහ ලෝකය සමාජවිද්‍යාව නොසලකා හරියි ද යන්නයි. මෙය ක්ෂේත්‍රයේ සමහරුන්ගේ මතයයි. සියලු වර්ගයේ පෞද්ගලික ගතිලක්ෂණ මෙන්ම එම ගතිලක්ෂණවලින් හැඩගස්වන ලද හැසිරීම් ද උරුමයෙන් ලද හැකි බව පර්යේෂණවලින් සොයා ගැනෙන විට ජාන නොදැක මෙන් සිතන පර්යාලෝකය දැන් යල් පැන ඇති බව ශියා පවසයි. මේ සම්බන්ධයෙන් විවිධ සමාජවිද්‍යාඥයෝ විවිධ මත ප්‍රකාශ කරති.
සමහර ශාස්ත්‍රඥයින් තර්ක කරන්නේ ජාන යම් භූමිකාවක් රඟපාන බව පිළිගෙන, ජාන විද්‍යාඥයන් සහ මාධ්‍ය මෙම භූමිකාව අනවශ්‍යය ලෙස හොවා දක්වන බව උඩඟු ලෙස ප්‍රකාශ කොට, ජාන නැත්තාක් මෙන් පර්යේෂණ කරගෙන යාම ද තාර්කික නොවන බවයි. ඇත්තෙන්ම, ජාන මිනිස් ජීවිත හැඩගස්වන්නේත්, පාරිසරික බලවේග හා අන්තර්ක්‍රියා කරන්නේත්, එසේත් නැත්නම් එම බලවේගවල බලපෑමට යටත් වන්නේත් කෙසේද? පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්යවරයකු වන ජේසන් ශ්නිට්කර් මෙසේ පවසයි, “අපි මෙම විවාදවල නියැළුණේ නැත්නම් එය අපටම කරගන්නා අවැඩකි. අපි නිහඬව සිටියහොත්, වෙනත් ක්ෂේත්‍රවල වඩා අන්තගාමී අදහස් ඇති මිනිසුන් ඔවුන්ගේ තර්ක ගොඩනඟනු ඇත”.
ශ්නිට්කර් “ජානවිද්‍යාව සහ සමාජ ව්‍යුහය” වෙනුවෙන් වෙන්වූ, ක්ෂේත්‍රයේ මූලික ප්‍රකාශනය වන, සමාජවිද්‍යාව පිළිබඳ ඇමරිකානු සංග්‍රහයෙහි (American Journal of Sociology- AJS ) විශේෂ නිකුතුවේ සහදායකයෙක් ය- සමාජවිද්‍යාඥයින් කිහිපදෙනෙකුවත් ජානවිද්‍යාත්මක විප්ලවය සැලකිල්ලට ගැනීමට උත්සාහ කරන බවට මෙය උදාහරණයකි. AJS පමණක් නොව, වෙනත් ප්‍රධාන පෙළේ සමාජවිද්‍යා සංග්‍රහයන් ද ජානමය පර්යාලෝකයන් අන්තර්ගත කරගන්නා ලිපි පළ කරයි: ඇමරිකානු සමාජවිද්‍යාත්මක විමර්ශනය (American Sociological Review) අගෝස්තු මස, උතුරු කැරලයිනා විශ්වවිද්‍යාලයේ ගුවන්ග් ගුඕගේ, විශාල ලෙස සාකච්ඡාවට බඳුන් වූ, ජාන සහ අපචාරය පිළිබඳව ලිපිය පළ කළේය. දැන් ‘ජාන-පරිසර අන්තර්ක්‍රියා’ උපක්ෂේත්‍රයක් වශයෙන් ඇති සමාජවිද්‍යා අධ්‍යනාංශ පවා ඇත: උදාහරණයක් වශයෙන්, චැපල් හිල්. එහි අධ්‍යනාංශයේ මෙම විෂය සම්බන්ධයෙන් ලියන ස්ථිර ශාස්ත්‍රඥයින් පස්දෙනෙකු පමණ ඇත; එමෙන්ම එහි ජාන සහ සමාජය පිළිබඳව උපාධි සම්මන්ත්‍රණ ද පැවැත්වේ.
ඒ. ජේ. එස්.හි විශේෂ නිකුතුව පිළිබඳ අදහස මුලින්ම ගොඩනැඟුනේ කොලම්බියා විශ්වවිද්‍යාලයේ ‘රොබර්ට් වුඩ් ජෝන්සන් සෞඛ්‍ය සහ සමාජ ශාස්ත්‍රඥයන්ගේ වැඩසටහනේ’ අනුග්‍රහය යටතේ, මීට වසර කිහිපයකට පෙරාතුවය. එහි සාමාජිකයන්ට එක ක්ෂේත්‍රයකට සීමා නොවී, තම ක්ෂේත්‍ර සීමා හරහා යාමට දිරිගැන්වෙන ලදී. කොලම්බියා වැඩසටහනේ සහකාර අධ්‍යක්ෂක, පීටර් බෙයාමන්, තරුණ සාමාජිකයින් දෙදෙනෙකු වූ බ්‍රැන්ඩයිහි සේරා ශොස්ටැක් සහ පැන් ස්ටේට්හි මොලී මාර්ටින් ද, තමා මෙන්ම, උරුමය පිළිබඳ ඉදිරිපත් වන අලුත් තොරතුරු සම්භාරයට ප්‍රතිචාර දැක්වීමට උනන්දුවක් දක්වන බව දුටුවේය. මෙම සමාජවිද්‍යාඥයන් තිදෙනාගේ දායකත්වය ඔස්සේ විශේෂ නිකුතුව සංස්කරණයට මුල පිරීය.
බෙයාමන් මෙසේ පවසයි, “ජාන සහ සෞඛ්‍යය පිළිබඳව සිතීමේ ආකාර දෙකක් තිබෙන බවට අදහසක් පැවතිණි. එකක් නම්, ජාන සියල්ලේම හේතුකාරකය බව සිතීම. අනෙක, ජානවිද්‍යාත්මක විදහා දැක්වීමකට සම්බන්ධ කිසිවක් අධ්‍යනය කිරීමට තරම් වැදගත් යැයි නොසිතීම. එදත් අදත් මගේ මතය වූයේ, ජානවිද්‍යාත්මක පැහැදිලි කිරීම් මත එල්බ සිටීමත්, එයට බිය වීමත් ඇත්තෙන්ම එකම සංසිද්ධිය බවයි: සෞඛ්‍ය ප්‍රතිඵලවල හැඩගැස්මට ජානවල භූමිකාව අනවශ්‍යය ලෙස අවධාරණය කිරීමක්.” කෙටියෙන් කිවහොත්, සමාජවිද්‍යාඥයින් ජාන මඟහරින්නේ ජානවලට ඇත්තෙන්ම හිතනවාට වඩා බලයක් ඇතැයි යන බිය නිසා විය හැකිය.
වසර කිහිපයකට ඉහතදී, ඇමරිකානු සමාජවිද්‍යාත්මක සංගමයේ (American Sociological Association) සභාපති වූ, නිව් යෝක් විශ්වවිද්‍යාලයේ ප්‍රසිද්ධ සමාජවිද්‍යාඥයෙකු වන ට්‍රෝයි ඩස්ටර්, ජානමය එළැඹුම් යොදාගන්නා යම් සමාජවිද්‍යාඥයෙකු වේ ද, ඔහු ක්ෂේත්‍රයට ද්‍රෝහියෙක් වන බව පැවසීමට තරම් උත්සුක විය. ඔහු පවසන පරිදි සමාජවිද්‍යාව මුහුණ දී ඇති ප්‍රබලතම ගැටලුවලින් දෙකකි, “ඌනන විද්‍යාවන්ගේ වැඩි වෙමින් පවතින අධිකාරය” සහ ” ‘ශරීරයේ අභ්‍යන්තරයේ’ ක්‍රියාවලි සහ සලකුණු පිළිබඳ දත්ත සංචිත පුළුල් වීම.” යමක් සමාජවිද්‍යාව නිර්වචනය කරයි නම්, එය සමාජ ගැටලුවල මූලයන් ජීවවිද්‍යාවට සම්බන්ධ කිරීමට ගැනෙන එබඳු උත්සාහයන්ට එරෙහිව “සියවසක් දීර්ඝ ප්‍රතිසංවාදයක්” වශයෙන් සමාජවිද්‍යාවේ ස්ථාවරය වන බව ඔහු පවසයි. ස්වදේශීය ඇමරිකානුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමට හේතුව ඔවුන්ට සිදුවන වෙනස්කම්වලින් සහ පීඩනවලින් තේරුම් ගත හැකි නම්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම සඳහා පූර්ණ නිර්ණයක් ඇති කරන යම් ජානමය බලපෑමක් සෙවීමට රජයේ මුදල් මිලියන ගණන් වැය කරන්නේ මන්දැයි ඔහු අසයි.
වයඹ දිග විශ්වවිද්‍යාලයේ ජෙරමි ෆ්‍රීස්, ඒ. ජේ. එස්.හි තම දායකත්වය, ඩස්ටර්ගේ අදහස්වලට විපක්ෂව ගොඩනංවයි. දැඩි ලෙස විවේචනයට ලක් වූ සමහර කරුණු සම්බන්ධයෙන්, ප්‍රතිවිරෝධ ස්ථාවරයක සිටීම තර්කානුකූල බව ඔහු කියයි. යම්තාක් දුරකට උරුමයෙන් ලද හැකි යැයි සැලකෙන ගතිලක්ෂණ 52 ක ලැයිස්තුවක් ඔහු ඉදිරිපත් කරයි: ඥානන හැකියාව, සමාජශීලීබව, ආක්‍රමණකාරිත්වය, විවාහ වීමට ඇති ප්‍රවණතාව, මරණීය දණ්ඩනයට පක්ෂපාතීත්වය ආදිය. ඇත්තෙන්ම අයෙක්ට මේ අවස්ථාවේදී, සමාජවිද්‍යාඥයින් අධ්‍යයනය කරන “ප්‍රතිඵල අතිවිශාල ප්‍රමාණයකට ජානමය වෙනස්කම් යම්තාක් දුරකට හේතුවිය හැකි බව” උපකල්පනය කළ හැකිය. ඒ කෙසේ වෙතත්, සමාජයීය විද්‍යාඥයින් තවමත් ජානමය වෙනස්කම්වල භූමිකාව නොසලකා හැරීමේ “නිහඬ කුමන්ත්‍රණයක” නියැළී සිටින බව ඔහුගේ අදහසයි.
නමුත් දැන් මෙම තත්ත්වය වෙනස් වෙමින් පවතී. සමාජවිද්‍යාවේ ජාන කෙරෙහි ඇති වෙමින් පවතින මේ නව වෙනසට හේතුව කුමක්ද? වැදගත් නව දත්ත ලබාගත හැකි වී තිබීම මීට බලපා ඇති එක් හේතුවකි. උදාහරණයක් වශයෙන්, චැපල් හිල්හි ‘නවයෞවන සෞඛ්‍යය පිළිබඳ ජාතික දීර්ඝකාලීන අධ්‍යයනය’ (Add Health Study) මුල සිටම සමාජවිද්‍යාත්මක තොරතුරු සහ ජානමය තොරතුරු සංයුක්ත කිරීම සදහා සැලසුම් කරන ලද්දක් විය. මෙය 1994 දී බෙයාමන්, ජේ. රිචඩ් ආඩ්‍රි සහ කැත්ලීන් මලන් හැරිස් විසින් අරඹන ලදී. පාසල් 132ක 7-12 ශ්‍රේණිවල නව යොවුන් වියේ පසුවන සිසුන් 21,000ක සමාජ තත්ත්වය, මිත්‍ර ජාල, සහ පවුල් තත්ත්වයන් සම්බන්ධයෙන් හැකි තරම් තොරතුරු රැස් කිරීම මෙහි අරමුණ විය. ගතිලක්ෂණ උරුම වීම පිළිබඳ මූලික විශ්ලේෂණ කළ හැකි වන පරිදි, සමීක්ෂණයට නිවුන්නු (සහෝදර නිවුන්නු සහ සම නිවුන්නු), සම්පූර්ණ සහ අර්ධ සහෝදරයන්, සහ හදාවඩාගත් දරුවන් විශාල සංඛ්‍යාවක් සහභාගී කර ගන්නා ලදී. ඒ. ජේ. එස්.හි බොහෝ ලිපි මෙම පර්යේෂණ සොයාගැනීම් මත පදනම් වූ ඒවා විය. ජානවිද්‍යාවේ දියුණුව සමාජයීය විද්‍යාඥයින්ට ද සිය අධ්‍යයනයන් කිරීම සඳහා වඩා සවිමත් අඩිතාලමක් ලබා දී ඇත. පර්යේෂණ ක්‍රමවේද සම්බන්ධයෙන් ඇති වෙනස්කම් කෙරෙහි අවධානය යොමු කරමින්, ශියා, ජානමය සමාජවිද්‍යාත්මක පර්යේෂණ බොහෝවිට සංඛ්‍යාලේඛන හා සම්බන්ධ වන අතර සාපේක්ෂ වශයෙන් නව බහුවිචල්‍ය පර්යේෂණ ක්‍රම සම්බන්ධ කරගනු ලබන බව පවසයි. පර්යේෂණයට සහභාගීවන්නන්ගේ ජීවිත තුළට එබී බලමින්, සමාජවිද්‍යාඥයින් සාමාන්‍යයෙන් ඉදිරිපත් කරන කථන විස්තර, එම පර්යේෂණවල අන්තර්ගත නොවන බව ශියා පවසයි.
සමහර මිනිසුන් අනෙක් අයට වඩා ඉක්මනින් කිපෙන සුළු වීමට, හෝ අසීමිත ලෙස ඔරියෝ විස්කෝතු ආහාරයට ගැනීමට සැලසූ විට සමහර අය අනෙක් අයට වඩා ස්ථුල වීමේ වැඩි ප්‍රවණතාවයක් තිබීමට හෝ, ජානමය වශයෙන් ගොඩනැංවී ඇති බව පිළිගැනීම, මිනිසුන් යනු ජානවලින් පාලනය කෙරෙන රොබෝ යන්ත්‍ර සේ සැලකීමේ මතයකට එල්බ ගැනීමක් නොවන බව ඒ. ජේ. එස්.හි සහදායකයෝ තර්ක කරති. එසේ ජානමය බලපෑමක් තිබිය හැකි බව පිළිගැනීම, මිනිස් ජීවිත හැඩගස්වන ජීවවිද්‍යාත්මක සහ සමාජයීය බලවේග පිළිබඳව හරවත් විමර්ශනයක, ප්‍රථම පියවර පමණක් වනු ඇත- මෙබඳු විමර්ශනයකට, තවත් සුළු පිරිසක් මෙන්, සමාජවිද්‍යාඥයින් ද සූදානම් ය.
ජානවලට සම්බන්ධ සමාජවිද්‍යාත්මක පර්යේෂණවල සොයාගැනීම් කිහිපයක් ශියා සිය ලිපියේ දක්වා ඇත. ඉන් කිහිපයක් කෙරෙහි අවධානය යොමු කර බලමු. උතුරු කැරොලයිනා විශ්වවිද්‍යාලයේ ගුඕ, ආක්‍රමණිකත්වය සහ ලිංගික ශක්තිය හා සම්බන්ධවන ස්නායු සම්ප්‍රේෂකයක් වන ඩොපමයින් මට්ටම් හා බැඳී පවතින ජානයක් අධ්‍යයනය කළේය. ඩොපමයින් මට්ටම් යටපත් කළ හැකි, එම ජානයේ එක විචල්‍යයක්, නව යොවුන් වියේ පසුවන්නන් අතර කලින් සිදුවන ප්‍රථම ලිංගික සම්බන්ධතාවලට එරෙහිව “ශක්තිමත් ආරක්ෂක බලපෑමක්” ඇති කරන බව ඔහු සොයා ගෙන ඇත. එනමුත් බාලවයසේ ලිංගික කටයුතුවල යෙදීම සිසුන් අතර පිළිගත් සම්මතයක් වන පාසල්වල සිටින මෙම ප්‍රවේණිදර්ශකය සහිත සිසුන් තුළ එම ආරක්ෂක බලපෑම නැති වෙයි. බ්ලූමිංටන්හි ඉන්ඩියානා විශ්වවිද්‍යාලයේ බර්නීස් පෙස්කොසොලීඩො, මත්පැන්වලට ඇබ්බැහිවීමේ ප්‍රවණතාව වැඩිකිරීම හා සම්බන්ධ වන්නේ යැයි සිතන, ගැබ්‍රා2 ජානයේ එක් විශේෂයක්, කාන්තාවන් කෙරෙහි බලපෑමක් ඇති නොකරන බව සොයාගෙන ඇත. එමෙන්ම, එම ජාන විශේෂය සහිත පුරුෂයන් අතර පවා, ඔවුන්ට දැඩි පවුල් සම්බන්ධතා තිබේ නම්, මත්පැන්වලට ඇබ්බැහි වීමේ ප්‍රවණතාවය වැඩි කිරීමට බලපෑමක් ඇති නොකරන බව සොයා ගෙන ඇත. සමාජයීය වටපිටාවේ වෙනස්කම් මිනිසුන්ගේ ජානමය ගොඩනැංමේ බලපෑම් අඩු වැඩි කිරීමට යම් බලපෑමක් ඇති කරන බව මෙම පර්යේෂණවලින් සොයා ගෙන ඇත.
මෙසේ ක්‍රිස්ටොෆර් ශියා ජානවිද්‍යාව පිළිබඳ පවතින මතවාද සමාජවිද්‍යාවට බලපා ඇති ආකාරයත් සමහර සමාජවිද්‍යාඥයින් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන ආකාරයත් පෙන්වයි. තවදුරටත් ජාන මඟහැර සමාජවිද්‍යාත්මක අධ්‍යයන කරනවාට වඩා, ඒ කෙරෙහි අවධානය යොමු කරන්නටත්, ඒ සම්බන්ධයෙන් කතා කිරීමටත් සමාජවිද්‍යාව සූදානම් බවත්, එසේ නොකළහොත් වඩා අන්තවාදී අදහස් මෙම විවාදවල ප්‍රමුඛත්වයක් ගනු ඇති බවත් ක්‍රිස්ටොෆර් ශියා පෙන්වයි.
චාම් ඩි‘නාරා ස්වාධීන ලේඛිකාවක ගේ ආරූඩ නාමය යි.
© චාම් ඩි‘නාරා. සියළු හිමිකම් සපුරා ඇවිරිණි. ‘කතිකා‘ අධ්‍යයන කවයේ අන්තර්ජාල වාර සංග්‍රහයෙන් උපුටා ගත් බව දක්වමින් අපගේ වෙබ් ලිපිනය kathika.lk සඳහන් කරමින් උපුටා පළ කිරීමට අවසර තිබේ.