මෙම කලාපයේ

‘කතිකා’ ප්‍රාරම්භක කලාපයට ලැබුණු ඉමහත් සාධනීය පාඨක ප්‍රතිචාරයෙන් දිරිගන්වනු ලැබ අපි මෙම ‘කතිකා’ මංගල කලාපය ඉදිරිපත් කරන්නෙමු. මෙම කලාපයට අප පෙළගස්වා ඇති ලිපි මාලාව පහත පරිදි වේ.

සංස්කාරක වැකිය

ලාංකේය දේශපාලන, සමාජය සහ සංස්කෘතිය අතර ඇති සම්බන්ධය විග්‍රහයක් ඉදිරිපත් කිරීමට 2005 සිට අප දරා ඇති උත්සාහය ඉදිරියට ගෙන යමින්, පශ්චාත් යුද ලංකාවේ 2013 වසර ඇරඹෙන විට අප මුහුණ පා සිටින අභියෝග පිළිබඳ මෙවර සංස්කාරක සටහනින් “නිදහස සහ අවශ්‍යතාව: අධ්‍යාපනය සහ සංවර්ධනය” යන සිරස්තලය යටතේ විග්‍රහයක් සම්පාදනය කර ඇත්තෙමු.

ජාතික චින්තනය පරදා නව ලිබරල්වාදය ජය ගැනීමත්, පුරවැසි දේශපාලනය පිළිබඳ විශ්වාසයක් නැති ලිබරල් දේශපාලනය, සංවර්ධනය, සමාජ සාධාරණත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදය සමඟ ගැටීම පිළිබඳවත් විග්‍රහයක් මෙයින් ඉදිරිපත් කෙරේ. ජනවාර්ගික ගැටලුව සහ අනන්‍යතා දේශපාලනය කතිකා ලෙසින් අධිපතිබව අත් පත් කරගැනීමෙහි එක් ප්‍රතිඵලයක් වූයේ නවලිබරල්වාදී ආර්ථික පිළිවෙතත් එය සමඟ ව්‍යාප්ත වූ ලිබරල් පුද්ගලවාදයත් පිළිබඳ විවේචනයක් ලංකාවේ බුද්ධිමය ස්තරයන් විසින් මෙරට සමාජ කතිකාවේ ප්‍රබලව ගොඩ නොනැගීමයි. නවලිබරල්වාදය අධ්‍යාපනය ග්‍රහණයට ගැනීමට එරෙහි සටනෙහිදී විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ කාර්යභාරය ඇගයීමට ලක් විය යුතුය. බූර්ෂුවා ප්‍රජාතන්ත්‍රවාදය සහ ‘56 දී බණ්ඩාරනායක මුදා හළ, පශ්චාත් විජිත සමයේ මෙරට සමාජයේ අධිපතිභාවයට ක්‍රම ක්‍රමයෙන් පත්වන ගෝලීය නව ලිබරල් බලවේග සහ ස්වදේශීය සමාජ බලවේග එකිනෙකට අභිමුඛ වීම අද අප හමුවේ දක්නට ඇත. දෝෂාභියෝගය මුල් කොට ගෙන ලාංකේය සමාජයේ ඇතිවූ සාකච්ඡාව මතුකරන නිදහස සහ අවශ්‍යතාව අතර ගැටුම පසුබිමෙහි අද අපට දැකිය හැක්කේ දේශපාලන නිදහස යටපත් කරමින් ජීව විද්‍යාත්මක ජීවිතය රැකගැනීම හා සුඛ විහරණ විඳීම හා බැඳුණු ඊනියා සංවර්ධන අවශ්‍යතා ජය ගැනීමට දරන උත්සාහයයි. අප දරුවන්ට සහ අපටමත් සදාචාර සද්ගුණයන් මත පදනම් වූ ඌරුව නැතහොත් පුරුදු පුහුණු ඇති කිරීම අප අතින් ගිලිහී යාම ට හේතුව නම් අප සාමුහික යහපත සහ ආචාර ධර්මය පිළිබඳ අදහස අතහැර දමා ස්වාර්ථ සාධනය පතා පුද්ගලයන් ලෙස වෙළෙඳපොලෙහි තරඟ කිරීම ප්‍රමුඛ සද්ගුණය ලෙස පිළිගෙන තිබීම යි.

කාලීන

අපගේ ‘කාලීන’ විශේෂාංගය යටතේ “ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසීමට යෝජනා” මැයෙන් ‘කතිකා’ අධ්‍යයන කවය සකස් කළ සටහනක් ඉදිරිපත් කෙරෙයි. එයින්, ළමා හෝ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය ළමයින් තුළ කෙළිදෙළෙන් කාලය ගත කිරීමේ පුරුද්ද අභිභවා, වැඩිහිටි ලෝකයට ප්‍රවිෂ්ට වීමට අවශ්‍ය වැඩ කිරීමේ පුරුද්ද ක්‍රමයෙන් වගා කිරීමට යොමු විය යුතු යැයි යෝජනා කරයි.

කුමුදු කුසුම් කුමාර විසින් රචිත “ලොව ‍රැකගැනීමෙහිදී අධ්‍යාපනයේ භූමිකාව: ලිබරල් කලාවන්ගේ සහ මානව ශාස්ත්‍රයන්ගේ වැදගත්කම” ‘කාලීන’ විශේෂාංගය යටතේ ඉදිරිපත් කෙරෙන අනෙක් ලිපියයි. දැනුම් ආර්ථිකය පිළිබඳ කතිකාව තුළින් යෝජනා කර ඇති ආකාරයට අධ්‍යාපනය, ආර්ථික වර්ධනය හා එකට බැඳීම නිසා උද්ගත වන තත්ත්වයන් ගවේෂණය කිරීම මෙම ලිපියේ අරමුණයි. ආර්ථික වර්ධනය සඳහා අධ්‍යාපන ප්‍රතිපත්තියක් යොදාගැනීම තුළින් කලා සහ මානව ශාස්ත්‍ර අධ්‍යයනයේ අනාගතයට ඇතිවිය හැකි බලපෑම් සහ ඉන් මානව සමාජයට ඇතිවිය හැකි බලපෑම් කෙරෙහි මෙම ලිපිය විශේෂයෙන් අවධානය යොමු කරයි. තව ද මෙම ලිපිය ඔස්සේ, දේශයට කලා සහ මානව ශාස්ත්‍ර අධ්‍යාපනය ‍රැකගැනීම කරුණු කිහිපයක් නිසා වැදගත් වන බව තර්ක කරයි.

මෙම විශේෂාංගය යටතේ පළවන අනෙක් ලිපිය ආචාර්ය ලියනගේ අමරකීර්ති “කලාව කුමකටද?” යනුවෙන් පරිවර්තනය කළ ළඟදීම පළ වන්නට නියමිත මහාචාර්ය මාර්තා නස්බෝම්ගේ Not for Profit, Why Democracy Needs the Humanities කෘතියෙන් උපුටා ගත්තකි. එය, නූතන ප්‍රජාතන්‍රත්‍රවාදී ලෝකයේ පැවැත්ම සඳහා ලිබරල් (නිදහස්) කලා අධ්‍යාපනය රැක ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කරන නස්බෝම්ගේ කෘතියේ “සොක‍්‍රටික ශික්ෂණ විද්‍යාව: තර්ක කිරීමේ වැදගත්කම” නමැති 4 වැනි පරිච්ඡේදයෙන් උපුටා ගන්නා ලද කොටසකි.

කලා

සංගීතය

කලා විශේෂාංගය යටතේ සංගීතය, චිත්‍ර කලාව, කාව්‍යය, රංග කලාව සහ සිනමාව යන කලාප ආවරණය වන සේ ලිපි සකසා ඇත.

චමත්කා දේවසිරි, “බටහිර සම්භාව්‍ය සංගීතය සහ එහි ඉතිහාසය – සත්‍යජිත් විජේරත්න අන්ද්‍රාදි ගේ කෘති ඇසුරින්” යන මැයෙන් ඉදිරිපත් කරන ලිපිය සංගීතඥයෙකු සහ සංගීත විචාරකයෙකු ලෙස ප්‍රකට සත්‍යජිත් අන්ද්‍රාදි ලියූ බටහිර සංගීතය (1994) සහ අපරදිග සම්භාව්‍ය සංගීතය හා සංගීතඥයෝ (1989) යන කෘතිවල අන්තර්ගත තොරතුරු අනුසාරයෙනි. අන්ද්‍රාදි ගේ කෘති බටහිර සංගීතයේ වර්ධනයට සහ බටහිර සංගීතඥයින්ගේ සංගීත නිර්මාණවලට බලපෑම් ඇති කළ ඒ ඒ වකවානුවල පැවති සමාජයීය, දේශපාලනික සහ ආර්ථික ප්‍රවාහයන් පිළිබඳව විග්‍රහයක් ද ඇතුළත් කර ගනියි.

චිත්‍ර කලාව

“ඩුෂාම්ප්ගේ කැසිකිළි බඳුන කලාව සෝදා හැරියේ ද?” යන මැයෙන් සමාජ න්‍යායධාරයෙකු වන රෝයි ටර්නර් විසින් Philosophy Now වාර සංග්‍රහයට රචිත ලිපිය ඩුෂාම්ප් ට පසුව කලාව නිශ්චය කිරීමේ එකම නිශ්චායකය ‘නම් කරනු ලැබීම’ බවට පත් කරමින් විචාරකයන් ‘සම්ප්‍රදායික’ කලාවේ තරාතිරම ප්‍රශ්න කර තිබීම අවඥාවට ලක් කරයි.

කාව්‍ය

දාර්ශනික අර්ථකථනවේදයේ පුරෝගාමියා වන හාන්ස් ජෝර්ජ් ගැඩමර් “සත්‍යය උදෙසා කාව්‍යයේ කියාපෑම යුක්තියුක්තකරණය” රචනාවේදී කාව්‍යයේදී සත්‍යය කතා කිරීම යනු කාව්‍යමය වචනය කවර හෝ බාහිර වැරදි සෙවීම් ප්‍රතික්ෂේප කරමින් ඉෂ්ට ප්‍රාප්තිය දකින ආකාරය බව දක්වයී

රංග කලාව

ප්‍රකට බ්‍රිතාන්‍ය නළුවෙක්, අධ්‍යක්ෂකවරයෙක්, සහ නාට්‍ය රචකයෙක් මෙන්ම උපාන්ත නෘත්‍යකලා ව්‍යාපාරයෙහි ප්‍රබල නිදහස් මතධාරියකු වන ස්ටීවන් බර්කොෆ් බ්‍රිතාන්‍ය වේදිකාව සම්බන්ධයෙන් පළ කරන විවේචනාත්මක අදහස් පිළිබඳ ඔහු සමඟ BBC Hard Talk හි සාරා මොන්ටගියු කළ සම්මුඛ සාකච්ඡාව සම්භාව්‍ය රංග කලාව පිළිබඳ අපට අමතක වෙමින් යන කරුණු යළි අපට සිහිපත් කරන ලිපියකි.

සිනමා සටහන්

‘ප්‍රේක්ෂක’ ලියන සිනමා සටහන් ඉදිරිපත් කෙරෙන්නේ  ‘ආදරයේ අංශු මාත්‍රයක්’ සහ ‘බඹර වළල්ල’ චිත්‍රපටි පිළිබඳවය. ‘ආදරයේ අංශු මාත්‍රයක්’ චිත්‍රපටිය ගම පිළිබඳ දේශපාලන කතිකාවක සිරව අයාලේ ගිය නව රැල්ලේ සිංහල සිනමාවට නගරයට සංක්‍රමණය වීමට මඟ පෙන්වූ බව ‘ප්‍රේක්ෂක’ සටහන් කරයි.

සමාජයේ පුළුල් සාකච්ඡාවක් ඇතිකළ ‘බඹර වළල්ල’ කියැවීමේ හොඳම ආකාරය එය හාසකානුකරණයක් ලෙස දැකීම බව කියන ‘ප්‍රේක්ෂක,’  “හොඳ මිනිසෙක් අපරාධකාරයෙක් වෙන්න යන්නේ තත්පර කිහිපයයි” යන මතයට පසු බිම්වන දාර්ශනික අදහස අප විමසා බැලිය යුතු යැයි යෝජනා කරයි.


විද්‍යාව

විද්‍යාව විශේෂාංගය යටතේ පළකරන “ජාන සහ සමාජය” ලිපිය මඟින් කැනඩාවේ ප්‍රසිද්ධ පුවත්පත් ලේඛිකාවක වන මාග්‍රට් වෙන්ට් සහ ඇමරිකාවේ The Chronicle for Higher Education පුවත්පතේ ජ්‍යෙෂ්ඨ ලේඛකයකු වූ ක්‍රිස්ටොෆර් ශියා ගොනු කර ඇති කරුණු ඔස්සේ පරිණාමය පිළිබඳව දැනට පවතින අදහස් කෙරෙහි අවධානය යොමු කරමින්, අලුත් ජානමය සොයා ගැනීම් සහ එම අර්ථදැක්වීම්වලට සමාජවිද්‍යාඥයින් මුහුණ දෙන ආකාරය පිළිබඳ කෙරෙන සාකච්ඡාවක් ඉදිරිපත් කරයි.

අවලෝකන

දිමුතු සමන් වෙත්තසිංහ ලියන “ මාර්ටීන් හෛඩගර්: සත්තාව සහ කාලය” ලිපිය කතිකා ප්‍රාරම්භක කලාපයේ “අවලෝකන” යටතේ “මාර්ටීන් හෛඩගර්: දර්ශනයේ අවසානය” යනුවෙන් ජර්මානු දාර්ශනික හෛඩගර් ගේ චරිතාපදානය ඇසුරෙන් ඉදිරිපත් කළ සාකච්ඡාවට ඉදිරියට ගෙන යෑමකි. එහිදී බටහිර දාර්ශනික ඉතිහාසය සැකසුණු මිනිසාගේ සත්තාව සහ වස්තූන්ගේ සත්තාව එක හා සමාන දෙයක් ලෙස සලකා කළ විග්‍රහය හෛඩගර්ගේ මානවීයත්වය මුල්කොටගත් සත්තාව පිළිබඳ සංකල්පයෙන් විසංයෝජනය යෝජනා කෙරේ.

සමාජ න්‍යාය

සමාජ න්‍යාය විශේෂාංගය යටතේ ‘සෞඛ්‍යයේ පුරය‘ සහ සුඛෝපභෝගී පුරය: සංවර්ධනය‘ දේශපාලනය යටකොට ගැනීම” ලිපිය සමාජයේ විවිධ කණ්ඩායම්වලට විවිධ අරුත් ගන්වන “සංවර්ධනය” යන්න අප වටහා ගන්නේ කෙසේද? යන ප්‍රශ්නය ආමන්ත්‍රණය කරමින් සංවර්ධනය පිළිබඳ ජගත් කතිකාවට අදාළ සාහිත්‍යය ඇසුරෙන් ඊට පිළිතුරක් සම්පාදනය කිරීම අරමුණු කර ගත්තකි. සංවර්ධන කතිකාව යටතේ එන ප්‍රධාන තේමා හඳුනා ගැනීමටත් සංවර්ධනය යනු කුමක් ද? සහ ඒ පිළිබඳ ලොව ඇති න්‍යායික සාකච්ඡාවෙන් අපට ලැබෙන පිටිවහල කුමක් ද? යන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට යොමුවෙයි. මෙහිදී වුල්ෆැන්ග් සැක්ස් ඉදිරිපත් කරන පශ්චාත් සංවර්ධන එළඹුමත් අෂිස් නන්දි ‘දුප්පත්කම නූතන සංස්කරණයකි, දුගී භාවය නූතනත්වයේ නිෂ්පාදනයකි’ යනුවෙන් ඉදිරිපත් කරන අදහසුත් හනා ආරන්ඩ්ට් ගේ න්‍යාය ගැන්වීම් ඇසුරෙන් ‘සංවර්ධනය දේශපාලනය විතැන් කරයි’ යන අදහසත් ඉදිරිපත් කෙරෙයි.

දේශපාලන චින්තනය

දේශපාලන චින්තනය යටතේ “මහජන සහ පෞද්ගලික පරිමණ්ඩලය” (හනා ආරන්ඩ්ට්), සහ “දේශපාලනයේ හේතුවාදය” (මයිකල් ඕක්ෂොට්) යන ලිපි ඉදිරිපත් කෙරෙයි.

“මහජන සහ පෞද්ගලික පරිමණ්ඩලය” රචනය දේශපාලන චින්තිකා හනා ආරන්ඩ්ට් විසින් රචිත The Human Condition නමැති කෘතියේ “The Public and the Private Realm” නමැති දෙවැනි පරිචේඡදයේ සංක්ෂිප්ත අනුවර්තනයකි. ලොව ශ්‍රේෂ්ඨතම චින්තකයන්ගෙන් කෙනෙකු ලෙස හඳුන්වනු ලැබෙන ආරන්ඩ්ට් නූතනත්වය යටතේ මානවයාට අහිමිව ගිය දේශපාලන ක්‍රියාවේ යෙදීමේ හැකියාව යලි ස්ථාපිත කරනු වස් ඉපැරණි ඇතන්ස් නුවර පුරවැසි ප්‍රජාතන්ත්‍රවාදය වෙත හැරුණි. ඇය ඒ ඇසුරෙන් න්‍යාය ගැන්වූ මහජන පරිමණ්ඩලය සහ පෞද්ගලික පරිමණ්ඩලය අතර ග්‍රීකයන් දුටු වෙනස පිළිබඳ ඉදිරිපත් කරන විග්‍රහය මෙහි ඇතුළත් වෙයි.

අප උපුටා දැක්වීම් පළ කරන, ඉංග්‍රීසි දාර්ශනික මයිකල් ඕක්ෂොට් ගේ “දේශපාලනයේ හේතුවාදය” නම් රචනාවේ හේතුවාදී දේශපාලනය සම්බන්ධ විවේචනය ලිබරල්වාදය සම්බන්ධයෙන් අදාළ කරගත හැකි යුගයක අප ජීවත් වෙමු. බොහෝ විචාරකයන් ඔහු ලිබරල්වාදියකු ලෙස හැඳින්වුවත් දේශපාලන න්‍යාකරණය පිළිබඳ ඔහුගේ දෘෂ්ටිය සාම්ප්‍රදායික ලිබරල්වාදය හා අනන්‍ය කළ නොහැක. ඔහු වඩා පිළිගැනෙන්නේ 20 වන ශත වර්ෂයේ වඩාත් ප්‍රමුඛ ගතානුගතික චින්තකයකු ලෙස ය. ඇරිස්ටෝටලියානු සම්ප්‍රදායේ ද ආභාසය ලැබූ ඕක්ෂොට් ගේ මෙම රචනාව නූතන යුගයේ දේශපාලන අර්බුද තේරුම් ගැනීමට ඉමහත් පිටිවහලක් වේ යැයි අපගේ විශ්වාසය යි.

මූලකෘති

මූලකෘති යටතේ අප ඉදිරිපත් තරන්නේ ඇරිස්ටෝටල් ගේ දේශපාලනය කෘතියේ තෝරාගත් කොටස්වල පරිවර්තනයකි. මෙම ලිපියට එම කෘතියේ පළමු පොත සම්පූර්ණයෙන්මත් දෙවැනි පොතෙහි අංක 1 සිට 4 දක්වා කොටසුත් ඇතුලත් වෙයි.

 

ශාස්ත්‍රාලයීය

මෙම විශේෂාංගය යටතේ පරමාදර්ශීයවාදයේ ආදි කතෘවරයා වන ජර්මන් දාර්ශනික හේගල්ගේ “ආත්මයේ ප්‍රපංචවේදය” කෘතියේ ඇතුළත් “ස්ව ස්විඥානිකත්වයේ ස්වාධීනත්වය හා පරාධීනත්වය” යන වහලා සහ ස්වාමියා පිළිබඳ උපමා කතාව වශයෙන් ප්‍රකට චිර ප්‍රසිද්ධ රචනාව පරිවර්තනය කොට මෙහි ගෙනහැර දක්වන්නේ එයින් ගම්‍ය කෙරෙන දාර්ශනික ආස්ථානය අප සහමුලින්ම අනුමත කරන නිසාවෙන් නොව එය විසින් කුළු ගන්වන ලද අස්මිතාව සහ අනෙකා පිළිබඳ සාකච්ඡාව කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපගේ චින්තන පරි මණ්ඩල වලට ප්‍රවිශ්ට වී ඇති හෙයින් ඒ පිළිබඳ ඇති ඒකමානීය කියවීම්වලින් ඔබ්බට යාමට අප සතු පරිකල්පනාව පුබුදුවාලීමේද අරමුණෙන් ය.


ග්‍රන්ථ විචාර

ග්‍රන්ථ විචාර යටතේ කෙටි ලිපි දෙකක් ඉදිරිපත් කෙරෙයි.

පළමුවැන්න, “ගෝලීයකරණයේ දේශපාලනය“ නමැති ලිපිය ජ්‍යෙෂ්ඨ පුවත් පත් කතුවර ලින් ඔකර්ස් විසින් ආර්ථික විද්‍යා විෂය යටතට ගැණෙන, සමිර් දාසගුප්තා සහ යාන් නෙදර්වීන් පීටර්ස් සංස්කරණය කළ Politics of Globalization පිළිබඳ සැපයු කෙටි විචාරයකි. මුලුමණින්ම පාහේ විශ්වීය ලෙස අනුයෝජනය කෙරී ඇති නිදහස් ව්‍යවසාය ‘මන්ත්‍රය’ නිසා ඇතිවී තිබෙන ප්‍රතිවිපාක සහ එහි අවදිවීමත් සමඟ මතු වූ ‘නිර්භීත නවලෝකය’ කෙරෙහි අවධානය යොමු කරන Politics of Globalization කෘතිය අපගේ කාලයේ බහුවිධ අර්බුද පිළිබඳ කාලීන ගවේෂණයක් වන අතර, වර්තමාන ගෝලීය දේශපාලනික ආර්ථිකය තේරුම් ගැනීමට කැමැත්තක් දක්වන සියල්ලන් විසින් කියැවිය යුත්තක් බව ලින් ඔකර්ස් සටහන් කරයි.

දෙවැන්න, “ස්වදේශීය සමාජ හා මානව විද්‍යා සම්ප්‍රදායකට පෙරවදනක්” මැයෙන් සංකජය නානායක්කාර, සුසන්ත ගූණතිලක රචනා කළ Anthropologizing Sri Lanka, A Eurocentric Misadventure පොත පිළිබඳ සපයන කෙටි විචාරය යි. මෙම කෘතිය ලංකාවේ සමාජ හා මානව විද්‍යා මහා සම්ප්‍රදාය ප්‍රශ්න කරන දුලබ අවස්ථාවක් හෙයින් එය ලංකාවේ සමාජ සහ මානව විද්‍යාව හදාරන්නන් අතර සාකච්ඡාවට භාජනය විය යුත්තකි යැයි සංකජය නානායක්කාර අවධාරණය කරයි.෴

– සංස්කාරක