ලොව රැකගැනීමෙහිදී අධ්‍යාපනයේ භූමිකාව: ලිබරල් කලාවන්ගේ සහ මානව ශාස්ත්‍රයන්ගේ වැදගත්කම – කුමුදු කුසුම් කුමාර
සදාචාරත්මක මිනිසා, පරිපූර්ණ මිනිසා, නොදැනුවත්ව මෙන් වාණිජමය මිනිසාට, සීමිත පරමාර්ථ සහිත මිනිසාට වඩ වඩාත් ඉඩ දෙමින් ඉවත් වන අවධියකට ඉතිහාසය අවතීර්ණ වී ඇත. විද්‍යාවේ පුදුම සහගත ප්‍රගතියත් සමඟ, මෙම ක්‍රියාවලිය විශාල සහ බලවත් ස්වරූපයක් ගනිමින් පවතින අතර, මෙය මිනිසාගේ සදාචාරමය තුලනය අවුල් වීමටත්, ඔහුගේ මිනිසත් බව ආත්මයක් නැති සංවිධානයක සෙවණැල්ල පිටුපස සැඟවීයාමටත් හේතු වේ.-
රබින්ද්‍රනාත් තාගෝර්, Nationalism, 1917
…සැබෑ මානවවේදියකුට විද්‍යාඥයාගේ නියමයන්වත් දාර්ශනිකයාගේ සත්‍යවත් කලාකරුවාගේ සෞන්දර්යයවත් පරමයන් නොවේ.-
හැනා ආරන්ඩ්ට්, “Crisis in culture” in ඊetween Past and Present
1. හැඳින්වීම
ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද අවධියේ දී, ශීඝ්‍ර ආර්ථික වර්ධනය සහ ‘සංවර්ධනය’ සඳහා ඇති දැඩි කැමැත්ත දැනුම් ආර්ථිකය පිළිබඳ කතිකාව කෙරෙහි ප්‍රබල ලෙස අවධාරණය කිරීමට හේතු වී ඇත. ඉදිරි දශක භාගය තුළ ඒක පුදගල ආදායම දෙගුණයකින් වැඩි කිරීම මඟින් ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට පත් කිරීම දැන් අප සමාජයේ පොදු දැක්මක් වන අතර, මෙම ඉලක්කය ළඟා කර ගැනීමේ එක් මූලික මාර්ගයක් ලෙස සැළකෙන්නේ, විශ්වවිද්‍යාලවලට ඇතුළු කරගන්නා ශිෂ්‍යයන් ගණන ශීඝ්‍රයෙන් වැඩි කිරීම හරහා දැනුම් ආර්ථිකයක් වර්ධනය කිරීම ය.
‘ආර්ථික වර්ධනය සඳහා අධ්‍යාපනය’ යන ශ්‍රී ලාංකික කතිකාව, වර්තමාන අවධියේ දැනුම යනු වර්ධනයේ මෙහෙයුම් යන්ත්‍රණය වශයෙන් සැලකෙන තත්කාලීන ගෝලීය කතිකාවකින් විකාශනය වූවකි. දැනුම් ආර්ථිකය මඟින් ‘සංවර්ධන’ මාවත දිගේ අප තල්ලු කෙරෙනු ඇතැයි විශ්වාස කෙරේ. මෙබඳු දැනුම් ආර්ථිකයක් වර්ධනය කිරීමේ මාර්ගය වශයෙන් ස්වාභාවයෙන්ම අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කෙරේ. තොරතුරු සහ ලොව වටා වේගවත් ලෙස තොරතුරු හුවමාරුව මත පදනම් වන්නා වූ ගෝලීය ව්‍යුහයක් තුළ මේ සම්බන්ධයෙන් ප්‍රධාන භූමිකාවක් රඟපෑමට විශ්වවිද්‍යාලයෙන් අපේක්ෂා කෙරේ.
ශ්‍රී ලංකාවේ දැනුම් ආර්ථිකය සහ ‘සංවර්ධනය’ පිළිබඳ දැනට පවතින කතිකාව තුළ, ‘සංවර්ධනයේ’ සුවිශේෂී ලක්ෂණ සහ ඒවා ජනගහනයේ විවිධ කොටස්වල අභිවෘද්ධිය සඳහා බලපෑ හැකි ආකාරය, රටේ දැනට පවතින ආදායම් උපයන මාර්ග ගෝලීය දැනුම් ආර්ථිකයක් පිළිබඳ අදහසකට හැඩගැසිය හැක්කේ කෙසේ ද, දැනුම් ආර්ථිකයකට දායක වීම සඳහා ශිෂ්‍යයින්ට නිර්මාණශීලී වීමට අවස්ථාව සැකසීමට අප විශ්වවිද්‍යාල කොතරම් සූදානම් ද, සහ නිර්මාණශීලී දැනුම් සේවකයන් දේශීය ආර්ථිකය තුළ රඳවා ගැනීමට ගත යුතු පියවර කවරේ ද ආදී ගැටලු ආමන්ත්‍රණය කිරීම අවශ්‍ය වේ.
දැනුම් ආර්ථිකය පිළිබඳ දැනට පවතින කතිකාව තුළින් යෝජනා කර ඇති ආකාරයට අධ්‍යාපනය, ආර්ථික වර්ධනය හා එකට බැඳීම නිසා උද්ගත වන තත්ත්වයන් ගවේෂණය කිරීම මෙම ලිපියේ අරමුණයි. ආර්ථික වර්ධනය සඳහා අධ්‍යාපන ප්‍රතිපත්තියක් යොදාගැනීම තුළින් කලා සහ මානව ශාස්ත්‍ර අධ්‍යයනයේ අනාගතයට ඇතිවිය හැකි බලපෑම් සහ ඉන් මානව සමාජයට ඇතිවිය හැකි බලපෑම් කෙරෙහි මෙම ලිපිය විශේෂයෙන් අවධානය යොමු කරයි. ශ්‍රී ලංකාවේ ශාස්ත්‍ර අධ්‍යයනයට හිමි ස්ථානය සලකුණු කිරීමටත්, ලිබරල් කලා අධ්‍යයනය නිර්මාණශීලී නැතැයි අදහස දැන් ප්‍රශ්න කෙරෙන බවත්, එබඳු අධ්‍යාපනයක් ව්‍යාපාරික අංශය මඟින්ම නැවතත් වැදගත් වශයෙන් සැලකෙන බවත් පෙන්වා දීමට මෙම ලිපිය උත්සාහ කරයි.
තව ද මෙම ලිපිය, දේශයට කලා සහ මානව ශාස්ත්‍ර අධ්‍යාපනය රැකගැනීම කරුණු කිහිපයක් නිසා වැදගත් වන බව තර්ක කරයි. පළමුව, කලා සහ මානව ශාස්ත්‍ර අධ්‍යාපනය විවිධත්වයෙන් අනූන අප සමාජයේ ස්ථාවරත්වය පවත්වාගැනීමට උපකාරී වන ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම සඳහා කේන්ද්‍රීය වන පුරවැසියන්ගේ හැකියාවන් වර්ධනය කිරීමට උපකාරී වේ. දෙවනුව, මානව පැවැත්මට කේන්ද්‍රීය වන දේවල් අධ්‍යයනය කිරීම සඳහා සාම්ප්‍රදායිකව වෙන් කෙරුණු ස්ථානය වන්නේ විශ්වවිද්‍යාලය වන නිසා, හුදෙක් තත්කාලීන අවශ්‍යතාවයන්ට අදාළව අගය මැනිය නොහැකි, කලාවන් සහ විද්‍යාවන් කෙරෙහි යොමු වූ මූලික පර්යේෂණ කිරීමට එබඳු අවකාශයක් රැකගැනීමේ අවශ්‍යතාවයක් තිබේ. අවසාන වශයෙන්, වෘත්තියමය සහ රැකියා සඳහා පුහුණු කිරීමට වෙනස්ව, අධ්‍යාපනය යනු ලෝකයත්, ශිෂ්ටාචාරයත් ආරක්ෂා කෙරෙන ආකාරයට ශිෂ්ටාචාරයන් සාම්ප්‍රදායිකව නව පරපුරට ලෝකය හඳුන්වා දුන් ආකාරය නිසා.
සාමාන්‍ය වශයෙන් ලිබරල් ශාස්ත්‍රීය අධ්‍යාපනයේ තත්ත්වයට පොදු වූ ගැටලු විමසීමට පූර්විකාවක් ලෙස, මෙම ලිපියේ ඊළඟ කොටසේ දී, ශ්‍රී ලංකාවේ කලා අධ්‍යාපනයට හිමිවන ස්ථානය පිළිබඳ කෙටි සාකච්ඡාවක් අන්තර්ගත වේ.
2. ශ්‍රී ලංකාවේ කලා අධ්‍යාපනය
ශ්‍රී ලංකාවේ අප අද හඳුනන අධ්‍යාපන පද්ධතිය ආරම්භ වූයේ යටත් විජිත අවධියේ දී ය. බ්‍රිතාන්‍යයෝ ලිබරල් ශාස්ත්‍රීය ආකෘතියක් අප මත පැටවූහ. මෙම පද්ධතිය යටතේ, ප්‍රාථමික සහ ද්විතීය මටටම්වලදී සිසුන් ශාස්ත්‍ර සහ විද්‍යාවන්හි සාමාන්‍ය අධ්‍යාපනයක් ලද අතර, එකල මූලික අධ්‍යාපනය වශයෙන් සැලකුණු එම මට්ටම්වලින් අනතුරුව, එක් එක් ක්ෂේත්‍ර ඔස්සේ විශේෂඥතාව වර්ධනය සිදුවිය. බොහෝ විට, මෙම සාමාන්‍ය අධ්‍යාපනයේ අවසාන අදියර විශ්වවිද්‍යාලය තුළ ක්‍රියාත්මක වුණු අතර, ලංකාවේ විශ්වවිද්‍යාලවල කලා සහ මානව ශාස්ත්‍ර අධ්‍යාපනය පීඨ අද වනතුරු, එදා බ්‍රිතාන්‍යයන් විසින් හඳුන්වා දෙන ලද එම ලිබරල් ආකෘතියම අනුගමනය කර ඇත.
ශ්‍රී ලංකාවේ කලා සහ මානව ශාස්ත්‍ර අධ්‍යාපනය විවේචනාත්මක අවධානයට යොමු වීමට පටන් ගැනුණේ අධ්‍යාපනය සහ රැකියා නියුක්තිය අතර නොගැළපීම ප්‍රතිසංස්කරණ සඳහා මෙහෙයුම් අදහසක් ලෙස ගැනුණු 1970 ගණන්වල පටන්ය. මෙම ප්‍රතිසංස්කරණ සමඟ අධ්‍යාපනය කලින් පැවති ශාස්ත්‍රීය යොමුවක් පැවති ක්ෂේත්‍රයක සිට වඩා ප්‍රායෝගික, වෘත්තීය කේන්ද්‍රික දෙසකට යොමු විය; එමෙන්ම ඉගැන්වීමකින් තොර ඉගැන්වීමක් අධ්‍යාපනයක් වශයෙන් හැඳින්වීමට හැකියාවක් ඇතිවාක් මෙන්, කලින් අවධාරණය කෙරුණු ‘ඉගැන්වීමේ’ ක්‍රමවේදය වෙනුවට ‘ඉගැනීම’ කෙරෙහි අවධානය යොමු විය. දැන් අධ්‍යාපනයේ සාමාන්‍යයෙන් පිළිගත් අරමුණ වන්නේ රැකියා සඳහා තරුණ පරපුර සූදානම් කිරීමය.
විෂය පිළිබඳ සිය විශේෂඥතාවය නිසා සිය අධිකාරය හිමි ගුරුවරුන් විසින් පරිස්සමෙන් තෝරා ගැනුණු විෂය මාලාවක් ඉගැන්වීම මත පදනම් වූ අධ්‍යාපනය පිළිබඳ සාම්ප්‍රදායික අදහස, රැකියා නියුක්තිය සඳහා සිසුන්ගේ සුදුසුකම් වර්ධනයට උපකාර කිරීම ඉලක්ක කරගත් නිපුණතාවයන්හි පුහුණුව ලබා දීම මත පදනම් වූ අදහසින් විතැන් කිරීමට උත්සාහ ගැනේ.
ප්‍රතිපත්තිමය වශයෙන් ප්‍රාථමික සහ ද්විතීය අධ්‍යාපනික අංශවල අවධාරණය සාම්ප්‍රදායික “පුරුද්ද තුළින් ඉගැනුම සහ උපදේශාත්මක ගුරු කේන්ද්‍රීය ඉගැන්වීමේ සිට ක්‍රියාකාරකම් සහ ව්‍යාපෘති මත පදනම් වූ ශිෂ්‍ය කේන්ද්‍රීය ඉගැනුම්” ක්‍රමයකට මාරු වී ඇත, මෙම ප්‍රතිපත්ති වෙනස ප්‍රාථමික අංශයේ ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක වූයේ “දරුවන්ට ක්‍රීඩාව තුළින් ඉගැන්වීම” වශයෙනි. ද්විතීය මට්ටමේ දී ඉංග්‍රීසි සහ තොරතුරු තාක්ෂණය ඉගැනීම කෙරෙහි දැඩි අවධාරණයක් සහිත විෂයමාලා ප්‍රතිසංස්කරණවල, සම්ප්‍රදායික ශාස්ත්‍රීය පදනම බොහෝදුරට අඩු කොට, සරල කොට ඇත (ඩි මෙල්, 2007a; ඩි මෙල්, 2007b).
හැනා ආරන්ඩ්ට් තර්ක කරන පරිදි ‘ඉගැනීම’ වෙනුවට ‘කිරීම’ ආදේශ කරන ප්‍රායෝගික එළැඹුම “ඔබට දැනගැනීමටත් අවබෝධ කර ගැනීමටත් හැකිවන්නේ ඔබ විසින්ම කරන ලද දේවල්ය” යන උපකල්පනය මත පදනම් වන අතර, මෙහි අරමුණ “දැනුම ඉගැන්වීම නොව, නිපුණතාවයක් වගා කිරීමය”, මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඉගෙනීම සඳහා වූ ආයතන “සම්මත විෂයමාලාවක් සඳහා සාමාන්‍ය පූර්ව සුදුසුකම් ලබා සිටීම සිසුන්ගෙන්” අපේක්ෂා නොකරන “වෘත්තීයමය ආයතන” බවට පරිවර්තනය කෙරේ. දරුවකුගේ උද්‍යෝගීබව සලකා බලන කල “දරුවාගේ ස්වභාවික ක්‍රියාකාරිත්වය” පවතින්නේ ක්‍රීඩාව තුළ බව සිතන ලද අතර, “දරුවාට තම සෙල්ලම්කාර පෙළඹවීම අතහැර දැමීමට බල කෙරෙන්නා වූ අක්‍රීය ආකල්පයකට දරුවා යටත් කෙරෙන ඉගැනුම පිළිබඳ පැරණි අදහස” සෙල්ලම සඳහා ඇති කැමැත්ත නිසා අත්හැර දමා ඇත. “දරුවන් වැඩිහිටියන්ගේ ලෝකයට සූදානම් කරන්නා වූ ඒ එක දෙයම, එනම් සෙල්ලම් කිරීමේ නොව වැඩ කිරීමේ (ඉගැනීමේ) පුහුණුව ටිකින් ටික ඇති කර ගැනීම, ළාමක බවේ ලෝකයක ස්වාධිපත්‍යය උදෙසා අත්හැර දමා ඇත” (ආරන්ඩ්ට්, 1968).
රැකියාවක නියැළීමේ සුදුසුකම් ඇති උපාධිධාරියකු බිහිකිරීම
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය පිළිබඳ දැනට පවතින කතිකාවේ, පසුගිය දශක දෙකක කාලය පුරා, අවධාරණය කෙරුණේ පෞද්ගලික අංශයේ රැකියාවක නියැළීමේ හැකියාවෙන් පිරිපුන් උපාධිධාරියකු බිහිකිරීම ඉලක්ක කරගත් ප්‍රතිසංස්කරණ කෙරෙහි ය. අද, රැකියාවක නියැළීමට සුදුසුකම් ඇති උපාධිධාරියා ‘දැනුම් කාර්මිකයකුගේ’ ස්වරූපය ගෙන ඇත.
දැන් උසස් අධ්‍යාපනයේ ප්‍රමුඛතාව හිමිවන්නේ “කලා, මානව ශාස්ත්‍ර, සාමාන්‍ය විද්‍යාවන් සහ බාහිර උපාධි පාඨමාලා හදාරන අය අතර සේවා වියුක්ති අනුපාතිකය ඉහළ අගයක් පවතින තත්ත්වයක, විශ්වවිද්‍යාල උපාධිධාරීන්ගේ රැකියා නියුක්ති හැකියාව වර්ධනය කිරීමට ය.” එම නිසා, අධ්‍යාපනයෙන් “තොරතුරු තාක්ෂණය සහ ඉංග්‍රීසි භාෂා කුසලතාවලට අමතරව, උපාධි අපේක්ෂකයන් තුළ කණ්ඩායමක වැඩ කිරීමේ හැකියාව, කාර්යක්ෂමබව, ව්‍යවසායකත්වය සහ හොඳ සන්නිවේදන හැකියාව වැනි මෘදු කුසලතා වර්ධනය” සඳහා ක්‍රියාත්මක වීමට අපේක්ෂා කෙරේ (දි අයිලන්ඩ්, 2010).
කලා සහ මානව ශාස්ත්‍රයන්ගෙන් සිය අධ්‍යාපනය අදාළ කර ගැනීම අපේක්ෂා කෙරේ, අද සන්දර්භයට අනුව මෙහි අදහස වන්නේ, වෙළඳපොළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීම ය.
පුදුම සහගත ලෙස, අපගේ කලා උපාධිධාරීන්ට පෞදගලික අංශයේ රැකියා නොලැබෙන්නේ තොරතුරු තාක්ෂණය පිළිබඳ අඩු දැනුම නිසාත්, ඉංග්‍රීසි භාෂාව භාවිතා කිරීමේ හැකියාව අඩු නිසාත් යන මතය, අධ්‍යාපනය යනු රැකියා නියුක්තිය ඇතිකිරීමේ ව්‍යවසායකත්වයකට ආදේශයක් නොවන බව සැලකීමේ දී එහි වලංගුභාවය අඩු නමුත්, තවමත් සමාජය තුළ පවතී.
3. ගෝලීය තත්ත්වය: ලිබරල් කලාවන්ට ප්‍රහාර වදී!
ලිබරල් කලා අධ්‍යාපනය සම්බන්ධයෙන් ගෝලීය වශයෙනුත් මීට සමාන වෙනසක් සිදු වෙමින් පවතී. ප්‍රාථමික වශයෙන් වෘත්තීයන් සඳහාත් ඉන් පසුව රැකියා නියුක්තිය සඳහාත් අවශ්‍ය පුහුණුව බෙදා දීම කෙරෙහි අධ්‍යාපනයේ අවධාරණය මාරුවීමත් සමඟ, කලා සහ මානව ශාස්ත්‍ර විෂයන්ට බාහිර විෂයන් සඳහා දෙමව්පියන් සහ සිසුන් අතර පවතින ඉල්ලුම ඒකාකාර ලෙස ඉහළ යමින් පවතී.
දැනුම් ආර්ථිකයේ අවතීර්ණයත් සමඟ, ආර්ථික වර්ධනයට දායක වන දැනුම් වර්ගයන්ට වෙළඳපොළ වැඩි සැලකිලි ලබා දෙයි. පවතින අපහසු ආර්ථික වාතාවරණය තුළ, ජාතීන් සහ ආයතන ලාභ සඳහා තරඟ කරන නිසා, අධ්‍යාපනය මත කෙරෙන ආයෝජන විද්‍යා සහ තාක්ෂණ පාඨමාලා කෙරෙහි වඩවඩාත් යොමු කෙරෙන අතර, මෙම තත්ත්වය ලිබරල් කලා සහ මානව ශාස්ත්‍ර පාඨමාලාවල කප්පාදුවකට හේතු වී ඇත (නුස්බවුම්, 2009; නුස්බවුම්, 2010a; නුස්බවුම්, 2010b; ෆවුස්ට්, 2010).
අවධානය යොමු වන්නේ කලා සහ මානව ශාස්ත්‍ර විෂයන්ට වඩා ප්‍රයෝජනවත් සේ සැලකෙන නිපුණතාවයන්හි තරුණයන් පුහුණු කිරීම හරහා කෙටිකාලීන ජාතික ආර්ථික වාසි ළඟා කර ගත හැකි ප්‍රායෝගික ඉගැනුම කෙරෙහි ය. මෙහි ප්‍රතිඵලය වී ඇත්තේ, ලිබරල් කලා අධ්‍යාපනය ප්‍රයෝජනවත් නැතැයි සැලකීමත්, අධ්‍යාපනයේ සියලු මට්ටම්වල දී එය කප්පාදු කිරීමත් ය.
කෙසේ වෙතත්, මෙසේ ලිබරල් කලාවන් නොසලකා හැරීම, විද්‍යාවන් සහ වෘත්තීයමය අධ්‍යාපනය හදාරන ශිෂ්‍යයන් තුළ නිර්මාණශීලී බව සහ නවෝත්පාදන හැකියාව වර්ධනයට කලා අධ්‍යාපනයේ බලපෑම සන්සන්දනය කරන පර්යේෂණ පෙන්වා දෙන ආකාරයට, දැනුම් ආර්ථිකයට අවශ්‍ය නිපුණතාවයන්හි තරුණයන් පුහුණු කිරීමේ දී ලිබරල් කලා විෂයන් ප්‍රයෝජනවත් නැතැයි තීරණය කිරීම පවා මුළා වීමක් විය හැකි ය.
ප්‍රතිචාරය: ‘මානව ශාස්ත්‍රයන් නවෝත්පාදන හැකියාව උගන්වයි’
කලා අධ්‍යාපනය ‘නවෝත්පාදක නොවේ’ යන අදහස එඩ්ල්ස්ටයින් (2010) ප්‍රතික්ෂේප කරයි. “මානව ශාස්ත්‍රයන්හි පුහුණුව නිර්මාණශීලී බව සහ නිපැයුම් හැකියාව වර්ධනයට හේතු වන බවත්,” අයෙකු විද්‍යාවන්හි ලබන පුහුණුව සහ කලා විෂයන්හි ලබන පුහුණුව අතර තිබෙන සමානකම් ඉතා ප්‍රබල බවත් තර්ක කෙරී ඇත. මානව ශාස්ත්‍ර විෂයන් සහ විද්‍යා විෂයන් යන දෙකම ඉගැනීමේ දී ක්‍රියාත්මක වන්නේ සමාන ඥානන ක්‍රියාවලියක් බව සොයා ගෙන ඇත. මානව ශාස්ත්‍රයන්හි දී තම අධ්‍යයන කටයුතුවල මුල් අවධියේ පටන්ම නිර්මාණශීලී සිතීම පුරුදු පුහුණු කිරීම සිසුන්ගෙන් අපේක්ෂා කෙරෙන අතර විද්‍යාවන් හෝ ඉංජිනේරු පුහුණු විෂයන්වලට වඩා වැඩි ප්‍රවණතාවයකින් කලා විෂයන්වල දී සිසුන් මෙවැනි ක්‍රියාවලීන්ට යොමු කෙරේ. මානව ශාස්ත්‍ර ඉගැනීමෙන් දියුණුවන මානසික හැකියාවන් වෘත්තීයමය ක්‍රියාවන් ඇතුළුව, කලා නොවන වෙනත් විෂයන් ඉගෙනීමේ හැකියාවන් වර්ධනයට උදව් විය හැක. “මානව ශාස්ත්‍රයන්හි” පුහුණුව “ඒ ඒ ක්ෂේත්‍රයන්හි විශේෂඥයින් බිහි කිරීමේ දී පමණක් නොව, ව්‍යවසායකයින්, ඉංගිනේරුවන් සහ සැලසුම්කරුවන් බිහි කිරීමේදී ද තීරණාත්මක භූමිකාවක් රඟපායි.”
සමාජවිද්‍යාඥ මේරි ගොඩ්වින්, “ලිබරල් කලාවන්හි සහ ව්‍යවසායකත්වයේ අරමුණු අතර සමානකම්” අවධාරණය කරමින්, “ව්‍යවසායකත්වය යනු ලිබරල් කලා සංවේද්‍යතාවයක ස්පෘශ්‍ය, ප්‍රායෝගික ප්‍රකාශනයක්” බව තර්ක කොට ඇත (එඩ්ල්ස්ටයින්, 2010). එමෙන්ම, “නවෝත්පාදනය සඳහා… දකුණු පස මොළයේ සිතීමේ ක්‍රියාවලිය තුළ සිදුවන නිර්මාණශීලීත්වය, කලා කෞශල්‍යය, ප්‍රතිභානය, සංකේත විද්‍යාව, මනස්සෘෂ්ටිය, භාවයන් වැනි මානව ශාස්ත්‍රයන්ගෙන් වර්ධනය වන ගුණාංග අවශ්‍ය වන බව තර්ක කෙරී ඇත. චිත්‍ර කලා පන්තිවලට සහභාගී වීමෙන් මොළයේ දකුණු පස ක්‍රියාකාරී කරවීමට වැඩි කාලයක් ගත් කළ වෛද්‍ය සිසුන්හට මැනිය හැකි වාසි අත් වූ බව තවත් පර්යේෂණයකින් සොයා ගෙන ඇත (එඩ්ල්ස්ටයින්, 2010).
රැකියා නියුක්තිය සඳහා ලිබරල් කලා විෂයන්ගේ වැදගත්කම
“අද කාලේ සිසුන් තුළ සතුටු කරවීමට කැමැත්තක් ඇතැයි යන සාධකය නිසා,” “සේවයෝජකයන් ලිවීම, විශ්ලේෂණාත්මක හැකියාව සහ ගෝලීය දැනුම වැනි ලිබරල් අධ්‍යාපනයකින් ලබා දෙනවා යැයි සැලකෙන ශක්‍යතාවයන් ඉතා ඉහළින් අනුමත කරන බව” ඇමරිකානු විද්‍යාල සහ විශ්වවිද්‍යාල සංගමය යටතේ ක්‍රියාත්මක වන ‘ලිබරල් අධ්‍යාපනය සහ ඇමරිකාවේ පොරොන්දුව’ යන වැඩසටහන වාර්තා කරයි (2007).
ඇමරිකානු විද්‍යාල සහ විශ්වවිද්‍යාල සංගමය මඟින් දියත් කෙරුණු සමීක්ෂණයකින් (ඒ. ඒ. සී. යු., 2010), ඊට සහභාගී වූ සේවායෝජකයින්ගෙන් 89%ක් “වාචිකව සහ ලිඛිතව හොඳින් සන්නිවේදනය කිරීමේ හැකියාව” මත මනා අවධාරණයක් ඉල්ලන බවත්, 81%ක් “වඩා හොඳ විචාරත්මක සිතීමේ හැකියාවක් සහ විශ්ලේෂණාත්මක තර්කන හැකියාවක්” ඉල්ලා සිටින බවත්, 70%ක් “නවෝත්පාදන හැකියාව සහ නිර්මාණශීලී බව” සොයනා බවත් අනාවරණය වී ඇති අතර, මේ සියලු ශක්‍යතාවයන් ලිබරල් කලා අධ්‍යාපනයකින් ලබා දෙන බවට හඳුනාගන්නා ලද ඒවා ය.
ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන ව්‍යාපාරිකයින් අධ්‍යාපන නව්‍යාපාරික සංස්කෘතිය හිතකර සහ ගතික ලෙස පවත්වා ගැනීමට ලිබරල් කලා අධ්‍යාපනය හේතුවක් වන බව අවධාරණය කොට ඇත. පරිකල්පනය වර්ධනයට මානව ශාස්ත්‍රයන්හි වැදගත්කම සහ තීක්ෂ්ණ හැකියාවෙන් පිරිපුන් ව්‍යාපාරික සංස්කෘතියක් බිහිකිරීමට විචාරාත්මක සිතීමේ වැදගත්කම ඔවුන් අවධාරණය කොට ඇත. “ආර්ථික අභිමතය… වගකීම් සහගත සහ පරීක්ෂාකාරී භාරකාරත්වයක් සහිත වාතාවරණයක් සහ නිර්මාණශීලී නවෝත්පාදන කිරීමේ හැකියාවෙන් පිරිපුන් සංස්කෘතියක් වර්ධනයට මානව ශාස්ත්‍ර සහ කලාවන් ප්‍රයෝජනයට ගැනීම අපෙන් අපේක්ෂා කරන බව” නුස්බවුම් (2010b) තර්ක කරයි.
ඉංග්‍රීසි පිළිබඳ මහාචාර්යවරයකු මෙන්ම, ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන් සඳහා වූ එම්. අයි. ටී. වැඩසටහනේ බාහිර මහාචාර්යවරයකු වශයෙන් ද කටයුතු කරන තෝමස් වාගීෂ්, විධායක කටයුතු කිරීමේ හැකියාව වර්ධනය සඳහා මානව ශාස්ත්‍රයන්ගේ වැදගත්කම ගැන අදහස් ඉදිරිපත් කරමින්, “මානව ශාස්ත්‍රයන් ‘අගයයන්,’ එහි මූලික සහ ක්‍රියාකාරී ස්වරූපයන්ගෙන්, අධ්‍යයනය කිරීම කෙරෙහි දක්වන විශේෂ සැලකිල්ල” හේතු කොට ගෙන “මානව ශාස්ත්‍රයන් කළමනාකාර ක්‍රියාවලිය සඳහා අනන්‍ය, බුද්ධිමය වාසි සලසන බව” තර්ක කරයි. ලිබරල් කලා පාඨමාලාවලට ප්‍රායෝගික, ආසන්නතම පරමාර්ථයක් අනුයුක්ත කිරීම තුළින් එහි සැබෑ අගය බාල කෙරෙනු ඇත” (වාගීෂ්, 1991). “මිනිසුන් තමන්ට ගැඹුරින්ම දැනෙනා දේ හා ගැටෙන්නේ කෙසේ ද යන්න සහ ඔවුන් තම වඩාත් තීව්‍ර භාවයන්, තම කලාවන් සහ විද්‍යාවන්, තම ආචාරධර්මීය තෝරාගැනීම් සහ සදාචාරත්මක ජීවිත මත විශ්වාසය තබන්නේ කෙසේ ද යන්න අපට කියා දෙන්නේ මානව ශාස්ත්‍රයන් ය” (වාගීෂ්, 1991). “ලිබරල් කලා පාඨමාලාවන්ට තමන් වඩා යහපත් මිනිසුන් බිහි කරනවා යැයි කියා සිටිය නොහැකි” වුවත් (වාගීෂ්, 1991), ඒවාට ආචාරධර්මීය සහ උපයෝගිතාවාදී තෝරාගැනීම් අතර පමණක් නොව, ආචාරධර්මීය තෝරාගැනීම් කිහිපයක් තිබෙන අවස්ථාවන්හි දී වුවද මිනිසුන්ට තම තෝරා ගැනීම් සිදුකිරීමේ දී ආවර්ජනය කළ යුතු දේ සම්බන්ධයෙන් මඟ පෙන්වීමක් ලබා දීමේ හැකියාව තිබේ. ලිබරල් කලාවන් “වැදගත් විධායක අධ්‍යාපනයට අත්‍යවශ්‍ය” බවත්, “ඒවාට තම සුවිශේෂ ප්‍රයෝජනයන් ලබා දීමට නම්”, ඒවා “පූර්වනිර්ණය කරන ලද ප්‍රායෝගික පරමාර්ථවල සීමාකම්වලින් මිදී පැවතිය යුතු බවත් වාගීෂ්ගේ නිගමනය යි (වාගීෂ්, 1991).
ලිබරල් කලා සහ මානව ශාස්ත්‍ර පිළිබඳ ඉහත මතවල සන්දර්භය තුළ ශ්‍රී ලංකාවේ කලා උපාධිධාරීන්ට පෞද්ගලික අංශය අපේක්ෂා කරන කුසලතා නැතැයි යන කරුණ සලකා බැලීම උචිත වනු ඇත. ප්‍රශ්නය පවතින්නේ කලා සහ මානව ශාස්ත්‍ර අධ්‍යාපනය තුළම ද, එසේත් නැතිනම් එම අධ්‍යාපනය ශ්‍රී ලංකාවේ ලබා දෙන ආකාරය තුළ ද?
4. ලිබරල් කලාවන්: ආවශ්‍යක අගය
ප්‍රජාතන්ත්‍රය පවත්වා ගැනීමට මානව හැකියාවන් වර්ධනය
මෙම ලිපියේ මූලික තර්කය නම් ලිබරල් කලා අධ්‍යාපනයේ වැදගත්කම රඳා පවතින්නේ, නවෝත්පාදන සඳහා හෝ ව්‍යවසායකත්වයට හෝ කළමනාකරණයේ ආචාරධර්මීය තීරණ ගැනීමේ දී අදාළ හැකියාවන් වර්ධනය කිරීමට හෝ එහි ඇති හැකියාවට එහා ගිය, වඩා වැදගත් හේතු තුළ බව යි. මීළඟ කොටසේ දී, නූතන ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය පවත්වා ගැනීමට මානව හැකියාවන් වර්ධනය යනුවෙන් මාර්තා නුස්බවුම් (2009, 2010a, 2010b) සඳහන් කරන, ලංකාවට ද අදාළ කර ගත හැකි, කරුණින් පටන් ගෙන, මෙම හේතු පිළිබඳ අධීක්ෂණයක යෙදෙමු.
නුස්බවුම්ට (2010b) අනුව, අද කාලයේ, කලා සහ මානව ශාස්ත්‍ර අධ්‍යාපනයක වඩාත් සුවිශේෂී දායකත්වය වන්නේ ප්‍රජාතන්ත්‍රයන් රැකගැනීම සඳහා පුරවැසියන් සූදානම් කිරීම ය. නූතන ලිබරල් ප්‍රජාතන්ත්‍රයන් හිතකර තත්ත්වයක පවත්වා ගැනීමට කේන්ද්‍රීය වන ශක්‍යතාවයන් තුනක් මානව ශාස්ත්‍ර අධ්‍යාපනය මඟින් මිනිසුන් තුළ අත්‍යාවශ්‍යයෙන් වර්ධනය කෙරෙන බව නුස්බවුම් තර්ක කරයි: ඒවා නම්, තමා පිළිබඳව සහ තම සම්ප්‍රදායන් පිළිබඳව විචාරාත්මකව අධීක්ෂණය කිරීමේ හැකියාව, තමා ගෝලීය මානව ප්‍රජාවක පුරවැසියකු වශයෙන් දැකිමේ හැකියාව සහ ඒ තුළින් විවිධත්වයෙන් අනූන ලෝකයක් තුළ අන් අයගේ පර්යාලෝකයන් තුළින් යමක් දැකීමේ හැකියාව. වෙළඳපොළ ආර්ථිකයේ නියෝග යටතේ ලිබරල් කලාවන් නොසලකා හැරීම මුළු ලෝකයේම ප්‍රජාතන්ත්‍රයන් අවදානමකට ලක් කරන ක්‍රියාවකි. “මෙම ප්‍රවණතාව තව දුරටත් පැවතියහොත්, පරිපූර්ණ පුරවැසියන්ගෙන් යුත් පරම්පරාවන් බිහි කරනු වෙනුවට අප ප්‍රයෝජනවත් යන්ත්‍ර බිහි කරනු ඇත” (නුස්බවුම්, 2010b).
අප සමාජය තුළ ලිබරල් කලා සහ මානව ශාස්ත්‍ර අධ්‍යාපනයට සවිමත් ස්ථානයක් ආරක්ෂා කර නුදුන්නොත් අපගේ ප්‍රජාතන්ත්‍රයන් පරිහානියට පත් වනු ඇතැයි නුස්බවුම්ගේ බිය සාධාරණ බව අපගේ ප්‍රජාතන්ත්‍රයන් පැරණි ඇතන්ස් නුවරට සමාන කරමින් ඇය ඉදිරිපත් කරන තර්කයට සවන් දීමේ දී හැඟේ.- අපගේ ප්‍රජාතන්ත්‍රයන්, පැරණි ඇතන්ස් නුවරෙහි මෙන්, “හදිස්සි සහ පිළිවෙළක් නැති තර්කනයන්ගෙන් පිරී ඇත, එමෙන්ම මේවා සැබෑ විචාරණය සඳහා විවේචනය වෙනුවට ආදේශනයකි. පුවත්පත්වල පසුබැසීමත්, ශබ්ද කෑලිවලින් යුත් කථන-ගුවන් විදුලි සංස්කෘතියේ බලපෑම් වැඩි වීමත් සමඟ, අපගේ දේශපාලන සංස්කෘතියට සොක්‍රටීස්ගේ අවශ්‍යතාවය අන් කිසි කලෙකටත් වඩා තදින් දැනේ. විචාරාත්මකව වාද කිරීම මිනිසුන්ට වගකීම් සහගත වීමට ක්‍රමයක් සලසයි: දේශපාලනඥයින් සරල වාගලංකරණයන් ගෙන හැර දක්වන විට, යම් මතවාදීමය පක්ෂපාතීත්වයක් පදනම් කරගෙන ඒවා පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම හෝ නොකර, ඔවුන් ඔවුන් වෙනුවෙන්ම සිතමින්, විමසමින්, තර්ක කරමින්, තමන් විසින්ම ඒවා අවබෝධ කරගනු ඇත. පක්ෂග්‍රාහී හැඟීම් වෙනුවට වාදය මූලිකත්වය ගන්නා විට මිනිසුන්ට එකිනෙකා සමඟ වඩා සාධාරණ ආකාරයකින් අන්තර්ක්‍රියා කිරීමේ හැකියාවත් ලැබේ. දේශපාලනික විවාද යනු තමන්ගේ පක්ෂයට වාසි ලැබිය හැකි අවස්ථාවක් සේ දකිනු වෙනුවට, ඔවුන් විභාග කරනු ඇත, විමර්ශනය කරනු ඇත; අනෙකාගේ තර්කයට සහ තමාගේ තර්කයට පොදු වන දේ හඳුනා ගනු ඇත; මේ සියල්ල අනෙකාට ගරු කිරීමටත්, අනෙකා තේරුම් ගැනීමටත් හේතුපාදක වනු ඇත” (නුස්බවුම්, 2010b).
විශ්වවිද්‍යාලය: උත්තේජන සමුදුරක් තුළ සන්සුන්බවේ අඩවිය
හා’වර්ඩ් විශ්වවිද්‍යාලයේ සභාපතිනිය වන ඩෲ ගිල්පින් ෆවුස්ට්, විචාරාත්මක සිතීම වර්ධනයේ දී සහ මිනිසත්කම වගාකිරිමේ දී ලිබරල් කලා අධ්‍යාපනයේ භූමිකාව පිළිබඳව නුස්බවුම්ගේ අදහස් හා පැහැදිලිවම එකඟ වන අතරම, උසස් අධ්‍යාපනයේ භූමිකාව මූලික වශයෙන් ආර්ථික සංවර්ධනයට රුකුලක් වීම වශයෙන් හෝ ආසන්නතම සමාජයීය කරුණුවලට විසදුම් ලබාදීම වශයෙන් හෝ නිර්වචනය කිරීම මඟින් අප “අපගේ ගැඹුරුම අවබෝධයන් බොහෝ විට මතුවන්නා වූ විමසීමේ ක්‍රම සහ වඩා පුළුල් ප්‍රශ්න පිළිබඳ අපගේ දැක්ම අවදානමකට ලක් කරන බවට” ඇගේ කනස්සල්ල ප්‍රකාශ කරයි. වර්තමානය මත ඉතා පටු ලෙස අවධාරණය කිරීම තුළින් “සෑම කල්හිම උසස් අධ්‍යයනයේ විශේෂ සැලකිල්ල වූ” අතීතයත් අනාගතයත් දෙස බලන දීර්ඝ දැක්ම සහ අප දැනට ජීවත් වෙනවාට වඩා වෙනස් ආකාරයකට ලෝකය පරිකල්පනය කිරීමේ හැකියාව විතැන් විය හැක (ෆවුස්ට්, 2010).
“ආර්ථික වර්ධනය සහ විද්‍යාත්මක හා තාක්ෂණික දියුණුව” ඕනෑම විශ්වවිද්‍යාලයක අරමුණු වුව ද, මේවා විශ්වවිද්‍යාලයේ දැක්මෙහි සමස්තය නොවිය යුතු බවට ෆවුස්ට් තර්ක කරයි. විද්‍යාවේ අඩවිය තුළ, “අප පිළිබඳව සහ අප ජීවත්වන හා අපට උරුම වී ඇති ලෝකය පිළිබඳව තේරුම් ගැනීමට ඇති ගැඹුරු මානුෂීය උවමනාව සුරැකීමටත්, තෘප්තිමත් කිරීමටත් විශ්වවිද්‍යාලවලට සුවිශේෂී යුතුකමක් තිබේ” (ෆවුස්ට්, 2010).
ආර්ථික වර්ධනය සඳහා යොමු වූ අධ්‍යාපනය පුරවැසියන් “මොට වූ පරිකල්පනයන්” සහිත යටහත් පහත්, කීකරු යන්ත්‍ර බවට හරවනු ඇතැයි නුස්බවුම් බිය වෙයි. විශ්වවිද්‍යාල ‘විශාල වශයෙන් උපකරණමය’ ආකෘතියක් මත ක්‍රියාත්මක කිරීම තුළින් එහි සැබෑ ශක්‍යතාවයන් නොසලකා හැරෙන අතර, උත්තේජන නිර්මාණයට නැමුණු ලෝකයක් තුළ විශ්වවිද්‍යාලය නිර්මාණය කරන සන්සුන් බවේ අඩවිය ද නොසලකා හැරෙන බව ෆවුස්ට් තර්ක කරන විට ඇය නුස්බවුම්ගේ අදහස් හා එකඟ වන බව පෙනේ. විශ්වවිද්‍යාල හුදෙක් පුහුණු විද්‍යාල බවට පත් කිරීම තුළින්, විශ්වවිද්‍යාලයේ “මූලික ප්‍රශ්න අසන්නකුගේ” භූමිකාව යටපත් කරන බවත්, ඒ වෙනුවට සිසුන් තුළ ලෝකය කෙරෙහි, එහි ආසන්නතම ගැටලු විසඳීම මත කේන්ද්‍ර වූ, ආකල්පයක් ඇති කර ගැනීමට හේතු වන බව ෆවුස්ට් තර්ක කරයි. විශ්වවිද්‍යාලයේ මූලික කර්තව්‍යය වන්නේ සිසුන්ට තම සිතීම වර්ධනයට ඉඩ දීම ය, එමෙන්ම ඇයගේ ආකෘතියට අනුව මෙය හදිසි ගැටලු නිරාකරණය සඳහා සිසුන් පුහුණු කිරීමට වඩා වැදගත් වන බව පැහැදිලි වේ (ෆවුස්ට්, 2010).
විශ්වවිද්‍යාලයේ සාරය: අර්ථකථනය හරහා අර්ථ ගොඩ නැඟීම
ෆවුස්ට් “ලිබරල් කලාවන්හි හදවතේ තිබෙන්නා වූත්, මානව ශාස්ත්‍රයන්ට මූලික වන්නා වූත්, එමෙන්ම බොහෝ විද්‍යාත්මක චින්තනයන්ට ද කේන්ද්‍රීය වන්නා වූත්,” මානව අවබෝධයේ කේන්ද්‍රීය හැකියාවක් කෙරෙහි අපගේ අවධානය යොමු කරවයි, එනම්, “අර්ථකථනය කිරීමේ හැකියාව, අවට ලෝකය සම්බන්ධයෙන් අරුතක් නිර්මාණයට ඇති හැකියාව.” අධ්‍යාපනය හුදෙක් ආර්ථික වර්ධනයට මෙවලමක් වශයෙන් සැලකීම, “අප සියල්ලන්ම අර්ථ දක්වන්නන් බව නොසලකා හරින අතර, සමහර දේවල් හුදෙක් ‘දත්ත’ පිළිබඳව නොව, තේරුම් ගැනීම සහ අර්ථය පිළිබඳ වන බව” ද නොසලකා හරියි.
උදාහරණ වශයෙන් විනිසුරුකරුවන් නඩු විභාගයක දී “හුදෙක් දත්ත වාස්තවිකව නිරීක්ෂණය කර, සාධාරණ ලෙස එදෙස බලා” තීරණ ගන්නේ නැත, ඔවුන්ට පවා “මිනුම් මත නොව අර්ථය මත පදනම් ව යම් තේරීමක් කිරීමට” සිදු වන බව ෆවුස්ට් පෙන්වයි. ආර්ථික විද්‍යාවේ අඩවිය තුළ, නිශ්චිත බව සඳහා අප තුළ ඇති දැඩි කැමැත්ත අපගේ අවබෝධය අභිබවා යන විට, සියලු ක්ෂේත්‍රවල අපගේ ආකෘති අනවශ්‍ය ලෙස ආදේශ කිරීමේ ප්‍රවණතාවක් අප තුළ ඇත. කෙසේ වෙතත්, වත්මන් ආර්ථික අර්බුදය වැනි අවස්ථා තේරුම් ගැනීමේ දී “වෙළඳපොළ… යම් මට්ටමක අර්ථකථනයක් අපේක්ෂා කරයි.” එමෙන්ම “ආර්ථික විද්‍යාඥයින් පවා මිනිසුන්, පැහැදිලි වාසි සම්බන්ධයෙන්, අත්‍යවශ්‍යයෙන්ම තාර්කිකව හැසිරෙන්නේ නැති බව හඳුනා ගෙන ඇත” (ෆවුස්ට්, 2010).
ෆවුස්ට්ට අනුව (2010) අර්ථකථනය තුළින් එන අවබෝධය, “විශ්වවිද්‍යාලයක සාරය තුළ පවතී. අර්ථය යන්න අර්ථකථනය කිරීම හා සම්බන්ධ වේ. එය හුදෙක් නවෝත්පාදන හා නව සොයාගැනීම් හරහා පමණක් නොව, නැවත උත්පාදන, නැවත අධීක්ෂණ, නැවත සොයාබැලීම් හරහා ද ලෝකය සහ අප පිළිබඳව තේරුම් ගැනීම හා සම්බන්ධ වේ. එය අලුත් සන්දර්භයන් තුළ අපට අමතක ව තිබූ දෙය මතක් කර ගැනීම හා සම්බන්ධ වේ; අපට කලින් දැකිය හෝ ඇසිය නොහැකි වූ අප ඇස් ඉදිරියේ තිබෙන දේවල් දැකීමත්, ඇසීමත් හා සම්බන්ධ වේ; එය බුද්ධිමතුන් තුළ පවා නැවත නැවත අවදි කළ යුතු ප්‍රඥාව හා සම්බන්ධ වේ.”
ලිබරල් කලාවන් සහ සමාජයේ ආචාරධර්මීය පදනම
ලෝකය කෙරෙහි ආචාරධර්මීය වගකීම පිළිබඳ හැඟීමක් වර්ධනය කිරීමෙන් තොරව, අධ්‍යාපනය හරහා කෙනෙකුගේ හැකියාවන් හා දක්ෂතාවයන් වර්ධනය කිරීම මිනිසුන් ලෝකයට අහිතකර ස්වරූපයන් ගැනීමට හේතු විය හැක. ලිබරල් කලා අධ්‍යාපනය රැකගැනීම සඳහා අවශ්‍යතාවය ගෝලීය වශයෙන් වැදගත් වන්නේ, අප ජීවත්වන්නේ ව්‍යාපාර සිට දේශපාලනයේ සිට ක්‍රීඩා දක්වා පොදු ජීවිතය තුළ ආචාරධර්ම හිඟ කාලයක නිසා ය.
ඩබ්ලින්හි ට්‍රිනිටි විද්‍යාලයේ හිටපු ශාස්ත්‍රාලීය ලේකම් වූ ඩබ්ලිව්. සෝල්ටර්ස් ස්ට’ලිං තර්ක කරන පරිදි, ලෝකය කෙරෙහි කෙනෙකු තුළ ඇති වගකීම් යටපත් කරන ආකාරයේ වෘත්තීය ජීවිතයේ අංශවල ක්‍රියාවලීන් හමුවේ, සාමූහික ජීවිතයේ ආචාරධර්මීය පදනම රැකගැනීමට සුවිශේෂී වැදගත්කමක් හිමි වේ. “සදාකාලික වශයෙන් නිවැරදි හැසිරීම්, නිවැරදි සම්බන්ධතාවයන් හා නිවැරදි අවබෝධය ගොඩනඟන්නේ කුමක් ද යන්න පිළිබඳව නිරන්තර ආවර්ජනය” යන අදහසින් ආචාරධර්ම තේරුම් ගන්නේ නම්, ලිබරල් කලා සහ මානව ශාස්ත්‍රයන් සමාජයට අවශ්‍ය ආචාරධර්මීය පදනම නිර්මාණයටත්, පවත්වාගැනීමටත් උදව් වේ. ආචාරධර්ම පිළිබඳ අවබෝධයක් ඇතිවන්නේ කළ යුතු හොඳ සහ නිවැරදි දෙය පිළිබඳව නිරන්තරයෙන් ආවර්ජනය කිරීම තුළිනි. එබඳු දැනුමක් ලබා ගැනීමට බොහෝ ක්ෂේත්‍රයන්හි අත්දැකීමක් අත්‍යවශ්‍ය වේ. එම නිසා, මානව ශාස්ත්‍රයන් යනු “සෞභාග්‍යයෙන් සහ සතුටින් යුත් ප්‍රජාවක් ඇතිකිරීමට අත්‍යවශ්‍ය ආචාරධර්මීය පදනම්” දමන්නා වූ, විවිධ ක්ෂේත්‍ර හා වෘත්තීන් අතර පමණක් නොව විශ්වවිද්‍යාලය, සමාජය සහ දේශපාලන පක්ෂ අතර පවා දිවෙන අඛණ්ඩ කතාබහක් වන නිසා, “ඕනෑම ආණඩුවක් තාක්ෂණය කෙරෙහි දක්වන සැලකිල්ලට සමාන සැලකිල්ලක් මානව ශාස්ත්‍රයන් සඳහා ද දිය යුතු ය” (සෝල්ටර්ස්, 2010).
සාමූහික ජීවිතයේ ආචාරධර්ම පිළිබඳ ගැටලුව අදාළ වන්නේ මෑතකාලීන ආර්ථික අර්බුදයට පමණක් නොව, ලෝකය කෙරෙහි වගකීමකින් තොරව විද්‍යාත්මක පර්යේෂණ සහ නිෂ්පාදන කරන විද්‍යාඥයින්ගේ භූමිකාවට ද මෙය අදාළ වේ.
නුස්බවුම් (2010a) පන්වා දෙන පරිදි, ආර්ථික වර්ධනයට සියලු අධ්‍යාපන ක්ෂේත්‍ර අදාළ කිරීමේ අදහස ජයගතහොත්, මානව පරමාර්ථවලට විද්‍යාත්මක දියුණුවට සහ කාර්මික ප්‍රගතියට වඩා පහළ අගයක් හිමි වනු ඇත. ආර්ථික වර්ධනය තුළ සහ ලාභ අපේක්ෂාවෙන් ක්‍රියාත්මක වන අධ්‍යාපනය තුළ විද්‍යාවන්ට සහ කාර්මික අධ්‍යාපනයට හිමිවන වැදගත් ස්ථානය සලකා බැලීමේ දී හොඳ විද්‍යාත්මක සහ කාර්මික අධ්‍යාපනයකට විරෝධය පෑ නොහැකි නමුත්, විද්‍යාවන්ගේ සහ සමාජයීය විද්‍යාවන්ගේ මානුෂීය අංග පවා ලාභ ලැබීමේ දැඩි හදිසිය නිසා යටපත් කෙරෙන බව සඳහන් කිරීම වැදගත් වනු ඇත.
ලිබරල් කලාවන් වර්ධනයට උපකාරී වන පරිකල්පනික සහ නිර්මාණශීලී අංග මෙන්ම විචාරාත්මක සිතීමේ අංග නොමැතිව, විද්‍යාවන් සහ සමාජයීය විද්‍යාවන් පවා හුදෙක් වෙළඳපොළ දියුණුව සඳහා, ලෝකයත් මිනිසත්බවත් අවදානමකට ලක් කරන, මෙවලම් පමණක් වනු ඇත. අප අන් අයගේ තත්ත්වයන්ට අවතීර්ණ වී විවිධ පර්යාලෝකයන්ගෙන් දේවල් දෙස බැලීම තුළින්, ලෝකයේ කටයුතුවල දී මැදිහත්වීමට අප තුළ ඇති කැමැත්ත පිළිබඳව, අපගේ නිපැයුම් පිළිබඳව, අපගේ වෙළඳාම් පිළිබඳව, අපගේ න්‍යායන්, මතවාදය සහ සැලසුම් පැනවීම් පිළිබඳව සහ මේවායින් ලෝකයට ඇති බලපෑම පිළිබඳව විමසා බැලීමට හැකි වේ.
ආචාරධර්මීය හැඟීමකින් පාලනය නොකෙරුණු විද්‍යාත්මක පර්යේෂණ පිළිබඳ ගැටලුව, ක්ලෝන් කිරීම සහ ජාන ඉංජිනේරු විද්‍යාව වැනි අලුත් විද්‍යාත්මක වර්ධනයන්ගෙන් ඇතිවිය හැකි බලපෑම් සම්බන්ධයෙන් ද මතු කෙරේ (කැනොවන්, 1998). මීට සමානවම, අලුතින් බිහිවන තාක්ෂණයන්ගෙන් මානව යහපැවැත්මට එල්ල විය හැකි අනිසි ප්‍රතිඵල පිළිබඳව සැලකිලිමත් වන විද්‍යාඥයින්ගේ සහ චින්තකයින්ගේ අවධානය යොමු වී ඇති ක්ෂේත්‍රයකි, ජංගම දුරකතනවලින් ඇති විය හැකි සෞඛ්‍ය ගැටලුවල ජීවවිද්‍යාත්මක බලපෑම්.
සමාජය කෙරෙහි ආචාරධර්මීය වශයෙන් වගකීම් සහගත හැඟීමක් වර්ධනය කිරීම ලිබරල් කලා සහ මානව ශාස්ත්‍රීය අධ්‍යාපනයේ සුවිශේෂී අගයෙහි කොටසක් බව ලිපියේ ඉහත කොටසේ දී තර්ක කෙරිණ. ලිපියේ මීළඟ කොටසේ දී, ශිෂ්ටාචාරය යළි පණගැන්වීමේ ක්‍රියාවලිය වශයෙන් අධ්‍යාපනය දෙස බලන, කලාවන්ගෙන් සහ මානව ශාස්ත්‍රයන්ගෙන් ලෝකයට ඇති බලපෑම ආවරණය කරන හැනා ආර්න්ඩ්ට්ගේ අදහස් ආශ්‍රයෙන් අධ්‍යාපනය පිළිබඳව වඩා පුළුල් අවබෝධයක් ලබාගැනීමට උත්සාහ කරමු.
ලෝකය රැකගැනීමෙහි දී අධ්‍යාපනයේ භූමිකාව: ආරන්ඩ්ටියානු දැක්ම
ආරන්ඩ්ට්ගේ අදහසට අනුව (The Crisis in Education), අධ්‍යාපනය යනු, වෘත්තියමය හෝ රැකියා පුහුණුවට වෙනස්ව, ලෝකය සහ ශිෂ්ටාචාරය යන දෙකම ආරක්ෂා කෙරෙන අන්දමින්, ශිෂ්ටාචාරයන් සම්ප්‍රදායිකව තරුණ පරපුරට ලෝකය හඳුන්වා දුන් ආකාරය යි. පොදු ජීවිතය සඳහා තරුණ පරපුර සූදානම් කිරීමට අධ්‍යාපනය ඔවුන්ට ලෝකය හඳුන්වා දෙයි. මෙම විවරණයට පුරවැසියකු යනු පොදු කතාබහට අලුත් කටහඬක් එකතු කරන්නෙකු යන අදහස සම්බන්ධ වේ. නිසි ආකාරයේ අධ්‍යාපනය පවතින විට පොදු අවකාශය තුළ සිටින පුරවැසියන් පොදු ලෝකයේ කතිකාවේ නියැළෙන සහ ක්‍රියා කරන විට උද්ගත වන බහුවිධතාව අතරෙහි, අලුත් අය ‘ලෞකික බවේ සීමා’ තුළ ස්ථානගත වේ.
අලුත් අයගේ පිවිසීමත් සමඟ ලෝකය අලුත් වේ, එසේ නොවන්නේ නම් ලෝකය ස්වභාවික මරණයකින් අවසන් වනු ඇත. අලුත් සාමාජිකයෝ ලෝකයට ඇතුළු වී, වචනයෙන් සහ ක්‍රියාවෙන් පෙනී සිටීමටත්, තම අනන්‍ය පුද්ගලභාවය කියා පෑමටත් උත්සාහ කරති. මේ අයට ලෝකය තුළට ඇතුළු වීමටත්, එහි කටයුතුවලට මැදිහත් වීමටත් ඇති දැඩි උවමනාව නිසා වෙනස්වීම් උද්ගත වේ. ‘පාසලේ කාර්යභාරය වන්නේ දරුවන්ට ලෝකය මොන වගේ ද යන්න කියා දීම මිස, ජීවත්වීමේ කලාව පිළිබඳව උපදෙස් දීම නොවේ’ (ආරන්ඩ්ට්, 1968).
ලිබරල් කලා සහ මානව ශාස්ත්‍ර අධ්‍යාපනයේ වැදගත්කම පිළිබඳව ආරන්ඩ්ටියානු දැක්මට අනුව, අලුත් අයට අනන්‍ය වූ චරිතයක් ගොඩනඟා ගත හැක්කේ අතීතයෙන් සහ සම්ප්‍රදායන්ගෙන් පැවත එන පවතින ලෝකයට සාපේක්ෂව පමණි. අධ්‍යාපනයේ කර්තව්‍යය වන්නේ වර්තමානය ආලෝකමත් කරන ආකාරයේ නව දෙයක් අතීතය තුළින් සැකසිය හැකි ආකාරයට අතීතය පිළිබඳව කියා දීම ය. විධිනියමයන් කියා දීම හරහා තරුණයින් සම්ප්‍රදාය මඟින් බැඳ තබාගැනීමක් මින් අදහස් නොවේ. විධිනියමයන්ට ඔවුන්ගේ ලක්ෂණ නිර්ණය කර නොහැකි අතරම, ඔවුන්ට තම ජීවිත ගත කළ යුතු ආකාරය පිළිබඳව නිරවද්‍ය ලෙස උපදෙස් දීමටත් හැකියාවක් නැත.
පුරවැසියන් වීමට අවශ්‍ය හැකියාවන්ගෙන් පරිපූර්ණ වන්නේ ලෝකයට නිසි ආකාරව හඳුන්වා දෙනු ලැබූ අය ය. පුරවැසියකු වීමට හැකියාව තීබීම යනු තමන්ගේ ලෝකය හැඳිනීමත්, ලෝකයට යළි පණගැන්විය යුතු අතීතයක් සහ සම්ප්‍රදායන් තිබෙන බව තේරුම් ගැනීමත් ය. අලුත් දෙයෙහි නැවුම් බව පවත්වාගත හැකිවන්නේ අලුත් අයට පැරණි සම්ප්‍රදායේ උසස්ම දේ හඳුන්වා දීමෙනි. මේ අනුව අපට ලෝකය ආරක්ෂා කරගැනීමටත්, සම්ප්‍රදාය අලුත් ආකාරවලින් අලුත් අය තුළ ජීවමාන වන පරිදි සම්ප්‍රදායේ ආලෝකයෙන් ඔවුන්ට තමන් හැඩගස්වා ගැනීමට අවස්ථාව සැලසීමටත් හැකි වනු ඇත. ඔවුන් අතීතයටත්, සම්ප්‍රදායටත් හඳුන්වා දීම තුළින්, තරුණ අයට තමා ස්ථානගත ව සිටින අවකාශයට, එනම් ‘ඔවුන්ගේ ලෝකයට,’ සාපේක්ෂව ඉතිහාසය තුළ ඔවුන්ගේ ස්ථානය පිළිබඳව හැඟීමක් ද ලබා දෙයි. තරුණ අයෙකුට තම හඬ සොයාගත හැකිවන්නේ අධ්‍යාපනය තුළින් ඔහුට ඉදිරිපත් කෙරෙන ලෝකයේ ආලෝකයෙනි.
කෙනෙකුගේ හඬ පවතින කතාබහට අලුත් හඬක් වශයෙන් අර්ථවත් ආකාරයකින් එකතුකිරීමට නම්, පවතින කතිකාවලට අනුව ලෝකය ගොඩනඟන්නේ මොනවා ද, ඉතිහාසය පුරාවට ඒවා වර්ධනය වී ඇත්තේ කෙසේ ද, සහ ස්වාධීන හඬ රැව් දෙන අදහස්වලින් යුත් සංකල්පීය ලෝකය ද තේරුම් ගැනීමට හැකි විය යුතු ය.
අධ්‍යාපනය තුළින් සිදු වන්නේ ලෝකය අපට ඉදිරිපත්වන පර්යාලෝකයන්ගේ බහුවිධතාව අලුත් අයට තේරුම් ගත හැකි වන පරිදි, තම අතීතය සහ සම්ප්‍රදාය හරහා පොදු ලෝකය තුළ හමුවන කතාබහට තරුණ අය හඳුන්වා දීම ය. කතාබහට නව හඬවල් හඳුන්වා දීමෙන් ලෝකයේ බහුවිධතාව ආරක්ෂා නොකළොත් අප ජීවත් වන පොදු ලෝකය විනාශයට පත් වනු ඇති අතර, එබඳු හඬවල් හැඩගැසීමට නම් ‘පුරවැසියන් හැඩගස්වන’ අධ්‍යාපනයක් අවශ්‍ය වේ. සාම්ප්‍රදායිකව අධ්‍යාපනය යන්නෙහි අරුත වූයේ මෙය යි, එබඳු අධ්‍යාපනයක අරමුණු සපුරන්නේ ලිබරල් කලාවන් සහ මානව ශාස්ත්‍රයන් ය. ෴
ආචාර්ය කුමුදු කුසුම් කුමාර වෘත්තියෙන් විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකි.
(ආර්ථීක විමසුම සඟරාවේ පළවූ “The role of education in taking care of the world: the value of the liberal arts and humanities” ලිපියේ අනුවර්තනය චමත්කා දේවසිරි විසිනි. මෙම අනුවර්තනය පළමුවරට දිවයින වටමඬල අතිරේකයෙහි 2012/08/02/ සහ 2012/08/09/ දෙදින පළ කෙරිණි. )
ආශ්‍රේය ග්‍රන්ථ
Association of American Colleges & Universities (2007). A Report from the National Leadership Council for Liberal Education and America’s Promise, 2007.
http://www.aacu.org/leap/documents/GlobalCentury_final.pdf last accessed 20.08.2010
AACU (2010). ‘The Economic Value of Liberal Education’ Power point presentation, prepared for the Presidents’ Trust, by Debra Humphreys, Association of American College & Universities, Anthony Carnevale, Georgetown University, Center on Education & the Workforce, Revised, 2010 edition.
http://www.aacu.org/leap/presidentstrust/resources.cfm last accessed 20.08.2010
Arendt, Hannah (1968). “The Crisis in Education,” in Between Past and Future, Penguin, pp. 173-196.
Canovan, Margaret (1998). “Introduction” in Hannah Arendt, The Human Condition 2nd edition, Chicago: University of Chicago Press.
de Mel, Tara (2007a). ‘Stop tinkering with our education,’ The Sunday Times, December 02, 2007.
http://sundaytimes.lk/071202/Plus/plus00012.html last accessed 20.08.2010
de Mel, Tara (2007b) ‘Only tinkering, no reform of education,’ The Sunday Times, December 09 2007.
http://sundaytimes.lk/071209/Plus/plus00010.html last accessed 20.08.2010
Edelstein, Dan, (2010a). ‘How is Innovation Taught? On the Humanities and the Knowledge Economy’ the Fall, Winter 2010, Liberal Education, Volume 96, Number 1.January 3, 2010.
http://www.aacu.org/liberaleducation/le-wi10/le-wi10_Innovation.cfm last accessed 20.08.2010.
Faust, Drew Gilpin (2010). ‘The Role of the University in a Changing World’ Royal Irish Academy, Trinity College, Dublin, June 30, 2010.
http://president.harvard.edu/speeches/faust/100630_ireland.php last accessed 20.08.2010
The Island (2010) “World Bank provides USD 40 mn for higher education,” August 28, 2010.
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=5311 last accessed 20.08.2010
Nussbaum, Martha C. (2009). ‘Not for Profit: Liberal Education and Democratic Citizenship,’ Connecticut College Year 2009, 91stCommencementAddress, Sunday, May 17, 2009.
http://digitalcommons.conncoll.edu/commence/18 last accessed 20.08.2010
Nussbaum, Martha C. (2010a). ‘The Liberal Arts Are Not Elitist,’ The Chronicle of Higher Education, February 28, 2010.
http://chronicle.com/article/The-Liberal-Arts-Are-Not/64355/ last accessed 20.08.2010
Nussbaum, Martha C. (2010b). Not for Profit: Liberal Education and Democratic Citizenship,’ Colgate University’s 189th Commencement address, May 16, 2010.
http://blogs.colgate.edu/2010/05/s.html.
Sterling, W Salters (2010). ‘Public conversation on universities is welcome,’ The Irish Times, June 03, 2010.
http://www.irishtimes.com/newspaper/opinion/2010/0603/1224271743911.html last accessed 20.08.2010.
Vargish, Thomas (1991). “The Value of Humanities in Executive Development,” Sloan Management Review 32, Spring 1991, pp.83-91.
මෙම පරිවර්තනයේ හිමිකම © ‘කතිකා‘ අධ්‍යයන කවය සතුය. සියළු හිමිකම් සපුරා ඇවිරිණි.
‘කතිකා‘ අධ්‍යයන කවයේ අන්තර්ජාල වාර සංග්‍රහයෙන් උපුටා ගත් බව දක්වමින් අපගේ වෙබ් ලිපිනය kathika.lk සඳහන් කරමින් උපුටා පළ කිරීමට අවසර තිබේ.