ස්ටීවන් බර්කොෆ් සමග BBC Hard Talk හි සාරා මොන්ටගියු – සම්මුඛ සාකච්ඡාව

කතිකා.ලංකා වෙබ් අඩවියේ පළ වූවකි.

නළුවෙක්, අධ්‍යක්ෂකවරයෙක්, නාට්‍ය රචකයෙක් වන ස්ටීවන් බර්කොෆ් (1937-) එංගලන්තයට සංක්‍රමණය වූ රුසියානු යුදෙව් ජාතික යුවළකගෙන් පැවත එන්නෙක් වන අතර ඔහු දැනට ලන්ඩන්වල පදිංචි වී සිටී. හැක්නිවල පාසල් කටයුතුවලින් පසුව, කලක් ඔහු භෝජනාගාරයක සේවකයෙකු වශයෙන් ද වෙළඳ සේවකයකු වශයෙන් ද කටයුතු කළේ ය. ඔහු ලන්ඩන්වල නළුවකු වශයෙන් පුහුණු වූ අතර පැරීසියේ ජක් ලෙ කොක් නම් අභිරූපණ කලාකරුවා යටතේ ද පුහුණු වූයේ ය. ඔහු 1968 දී ලන්ඩන් තියෙටර් කණ්ඩායම පිහිට වූ අතර ඔහු නිපදවූ කෆ්කාගේ ‘ද ට්‍රයල්’හි (1969) අනුවර්තනයත් සමඟ මහත් උද්වේගයකට හේතු විය. ඊස්ට් (East) (1975), ග්‍රීක් (Greek) (1979), ඩෙකඩන්ස් (Decadence) (1981) සහ වෙස්ට් (West) (1983) වැනි සිය ජනප්‍රිය නාට්‍ය නිෂ්පාදනවල ප්‍රධාන චරිතය රඟපාමින්, ඔහු උපාන්ත නෘත්‍යකලා ව්‍යාපාරයෙහි ප්‍රබල නිදහස් මතධාරියකු වශයෙන් කටයුතු කර ඇත. ඔහුගේ, ගෘහස්ථ මනඃකල්පිතයක් පිළිබඳ වූ, ‘වෙච්’ (Kvetch) 1991 දී හොඳම විකට නාට්‍යයට හිමි ඊව්නිං ස්ටෑන්ඩර්ඩ් සම්මානය දිනා ගත්තේය. ඔහුට මුළු හිතින් කරන වේදිකා වෘත්තියට අමතරව හොලිවුඩ්හි චිත්‍රපටවල දුෂ්ටයකුගේ චරිතය රඟපෑමේ සාරථකත්වයක් ද, ‘අයි ඈම් හැම්ලට්’ (I am Hamlet) (1989) සහ ඔහුගේ මතක සටහන් ‘‍ෆ්‍රී අසෝසියේශ්න්’ (Free Association) (1996) ආදිය ඇතුළත් ඵලදායී ලේඛන වෘත්තියක් ද තිබේ.
පහත පළවන්නේ ස්ටීවන් බර්කොෆ් සමග BBC Hard Talk වැඩ සටහන සඳහා සාරා මොන්ටගියු පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි.

ස්ටීවන් බර්කොෆ්:මං කවදාවත් තරහෙන් හිටියා කියල මං හිතන්නේ නැහැ. මං හිතන්නේ ඒක මාධ්‍ය සාමාන්‍යයෙන් පටබඳින පදයක්. රටේ සමහර තත්ත්වයන් ගැන, රටේ දේශපාලනය, රටේ අගයන් ගැන තමන්ගේ අසතුට කියපු ලේඛකයින් කණ්ඩායමකට; ඒ අය කරපු දේ වැදගත් දෙයක්; මාධ්‍ය මේ වගේ පාඨයක් දෙනවා- ද්වේෂයෙන් ඉන්නේ කියල. ඒත් ඇත්තටම ඒ අය එච්චර තරහෙන් නෙවේ ඉන්නේ.

සාරා මොන්ටගියු: ඔබ මෑතකදී ඔබ හැමදෙයක් ගැනම තරහෙන් ඉන්නේ කියා ඔබ ගැනම විස්තර කරල තිබෙනවා. ඔබ කියල තියෙනවා, ඔබ අවදි වන මොහොතේ සිට නිතරම තරහෙන් ඉන්නේ කියලාත්, ඔබේ මුල්ම ක්‍රියාව ඒ තරහ ටෝස්ටරය වෙත යොමු කිරීමත් කියා.

ස්ටීවන් බර්කොෆ්: අහ් නැහැ, ඒක පුංචි විහිළුවක් හැටියට කියපු දෙයක්. ඒක නිකං කියන්නං වාලේ කියපු දෙයක්. සමහර වෙලාවට මේ වගේ ඒවා කියන්නේ කලහකාරී වෙන්නම නෙවේ. ඒවගේ ඒවා කියන්නේ ඒ පාඨයෙන් ගැලවෙන්න. මං හිතන්නේ එක සම්මුඛ සාකච්ඡාවකදී මේ වගේම ‘ඔබ හැම තිස්සේම තරහෙන්ද ඉන්නේ කියල ඇහුව’. ඉතිං මං කිව්වා, මං තරහෙන් තමයි නැගිටින්නේ කියල. ඒත් ඇත්තටම මං ප්‍රීතියෙන්, සතුටින්, කාව්‍යමය ලෙසට අවදි වෙනවා. මං දවසට මුහුණ දෙනවා, එතකොට මං හිතනවා ‘දෙවියනේ, මේ ඔක්කොම ප්‍රාණවත්, ඔක්කොම සුන්දරයි. මං තාමත් මෙතන ඉන්නවා, මං වේදනාවෙන් නෙවේ ඉන්නේ. මට ප්‍රශ්න නැහැ. මං ලෙඩින් නෙවේ. මං ජීවතුන් අතර ඉන්න එක කොතරම් අපූරුද’ කියා මං හිතනවා. මේ තමයි මගේ මූලික හැඟීම.

සාරා මොන්ටගියු:
ඔබට අවුරුදු දහයකට කලින් මෙහෙම හැඟුන ද?

ස්ටීවන් බර්කොෆ්: ඇත්තෙන්ම ඔව්. මට හැමතිස්සේම මෙහෙම හැඟුනා. මට හැමතිස්සේම හිතුනා ප්‍රාණවත්ව, ලෝකය පිළිබඳව සහ ලෝකයේ විය හැකි පුදුම සහගත දේවල් පිළිබඳව සිහියෙන් යුතුව, සාවධානව සිටීමට හැකි වීම කොතරම් අපූරු ද කියා.

සාරා මොන්ටගියු: එතකොට වේදිකාව සම්බන්ධයෙන්? ඔබ අවුරුදු හතළිහක් පුරාවටම බ්‍රිතාන්‍ය වේදිකාව සම්බන්ධයෙන් විශාල වශයෙන් විවේචනාත්මක ලෙස කතා කළා; බ්‍රිතාන්‍ය නාට්‍ය ආයතනය වේදිකාගත කිරීමට ‍තෝරන නාට්‍ය සම්බන්ධයෙන්..

ස්ටීවන් බර්කොෆ්: ඒක වෙන්න පුළුවන්. මට සමහර වෙලාවට හිතෙනවා මං පීඩිතයාගේ භූමිකාව ගන්නවා කියල. මං ගොදුර නෙවේ. මං ගොදුරට පත්වූවන් වෙනුවෙන් කතා කරනවා. සමහර වෙලාවලට, වේදිකාවට මං ඒවගේම තවත් මිනිසුන් මිලියන ගණනක් ආපු ප්‍රදේශය නොසැලකිලා හැරිලා තියෙනවා. එය සාමාන්‍ය මිනිසාගේ, කම්කරුවාගේ ප්‍රදේශය යි; විෂයපථය යි. ඒ පිළිබඳව අවධානය ටිකක් යොමු වුණා 60 ගණන්වල. ඒත් සාමාන්‍ය වශයෙන් මට හිතුනේ වේදිකාව ‘හොඳ වේදිකාව’ යනු කුමක්ද යන්න ගැන අවධාරණය කෙරෙහි බොහෝ සෙයින් කේන්ද්‍රගත වීම නිසා අපට ‘කතා’ කළේ නැහැ; මට දැනුණේ එය අපට ආමන්ත්‍රණය කළේ නැහැ කියල. මිනිසුන්ගේ හැඟීම් විදහා පෑවේ නැහැ. ඒ නිසා එතරම් සිත් ගත්තේ නැහැ. මේක අපිට පේනවා වේදිකාවේ ඉවරයක් නැති නැවත කිරීම්වල. වැදගත් නාට්‍ය, චෙකොව් (Chekov), වැදගත් නාට්‍ය රචකයෙක්, ඒත් පරණදේම ඉවරයක් නැතුව නැවත නැවත කරනවා. අපිට තව ‘චෙරි ඔර්චර්ඩ්’ (Cherry Orchards) කීයක් බලන්න වෙනව ද? තව ‘ත්‍රී සිස්ටෙර්ස්’ කීයක් විඳවන්න ඕනද? මං හිතන්නේ එළියේ වෙනම ම ලෝකයක් තියෙනවා. අපි මීට වඩා ටිකක් හැඟීම් නිරූපණය කරමු. මීට වඩා ටිකක් පරිකල්පනයේ යෙදෙමු. ටිකක් සාවධානයෙන්, ටිකක් ප්‍රාණවත්ව මිනිස්සුන්ට යම් වටිනාකමක් තියෙන, යම් අර්ථයක් තියෙන දෙයක් වේදිකාවට දාමු. වේදිකාවට ගියාම මිනිසුන්ව පුදුමයට පත් කරවන, විස්මයට ලක් කරවන, උද්වේග කරවන, ඔවුන්ව යම් කිසි දෙයක්ට පොළඹවන දෙයක්…

සාරා මොන්ටගියු: එතකොට බ්‍රිතාන්‍ය වේදිකාව තවම මේක කරන්නේ නැහැ?

ස්ටීවන් බර්කොෆ්: නැහැ, හරියට කරන්නේ නැහැ. උත්සාහ කරනවා. ප්‍රයත්නයක් දරනවා, ඒත් ඒකට වෘත්තිකයන්, තාක්ෂණිකයන්, පරමාදර්ශවාදීන්, ‍රැඩිකල්වාදීන් අවශ්‍ය වෙනවා. ඒ අය අපට නැහැ. අපිට ඉන්නේ, මූලික වශයෙන් කම්මැළි කරවන, නීරස, එකම ජාතියේ හොඳ, වැදගත් අය. ඒ අයට ඕන සල්ලි හම්බ කරන්න පුළුවන් මොනව හරි වේදිකාව මතට දාන්න. ඒක හරි දෙයක් නෙවේ.

සාරා මොන්ටගියු: කවුද? කවුද මේ කම්මැළි කරවන අය?

ස්ටීවන් බර්කොෆ්:
…මට ඒ අයව නම් කරන්නවත්, ඒකෙන් ඒ අයට යම් නම්බුවක් දෙන්නවත් ඕන නැහැ. මොකද, කම්මැළි සහගත කියන්නේ, අඩු ගණනේ ඒ අය ප්‍රාණවත් කියන එකයි, ඒ අය ඇත්තටම ඊටත් අන්තයි, ඇත්තටම ඒ අය විනාශකාරියි. ඒ නිසා මට ඒ අයව නම් කරන්න බැහැ.

සාරා මොන්ටගියු:
ඒත් ගිය අවුරුද්ද බ්‍රිතාන්‍ය වේදිකාවේ සාර්ථකම අවුරුද්ද වුණා. 2006ට වඩා 10% කින් ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව වැඩි වෙලා තිබුණා. ඒ කියන්නේ ඒ අය මොනව හරි හරියට කරනවා කියන එක නේද? ඒ අය සෙනඟ ගෙන්නනවා..

ස්ටීවන් බර්කොෆ්: නැහැ, ඒක වැරදියි. සම්පූර්ණයෙන්ම වැරදියි. සෙනඟ ගෙන්නනවා කියන්නේ සෙන‍ඟේ මට්ටමට කිඳා බහිනවා කියන එකයි. පත්තරවල බැලුවහම පේනව, ගිය අවුරුද්ද හොඳම අවුරුද්ද නෙවේ, නරකම අවුරුද්ද කියල. හොඳම අවුරුද්ද තිබ්බෙ පරණ සංගීත නාට්‍යවලට. ඉතිහාසයේ පළමු වරට, අවුරුදු දහස් ගණනකින් වෙන්න ඇති, වේදිකාවේ 70% කින් සංගීත නාට්‍ය ප්‍රමුඛ තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. සංගීත නාට්‍යවල වරදක් නැහැ. ඒවා මිනිස්සුන්ට ආකර්ෂණීය වන විස්මිත, වැදගත් කලාවක්. ඒත් සංගීත නාට්‍යය කලක් වේදිකාවේ පවතිනවා, සමහරවිට අවුරුද්දක්, සමහරවිට අවුරුදු පහක්, සමහරවිට අවුරුදු දහයක්, ඊට පස්සේ ඒවා වැඩක් නැතිව යනවා. ඒවා යමක් ජනනය කරන්නේ නැහැ, ප්‍රතිජනනය කරන්නේ නැහැ. ඒකට කමක් නැහැ. ඒත් මේ සංඛ්‍යාවන් සංගීත නාට්‍යය පිළිබඳ ඒවා. නාට්‍ය සම්බන්ධයෙන් ගිය අවුරුද්ද, නාට්‍යයේ අවුරුදු 50 කින් විතර ආපු, නරකම අවුරුද්දයි. නාට්‍ය දිහා බැලුවත්, හොඳම නාට්‍ය පවා මාස කිහිපයකින් වැහිල යනවා. එකකට පස්සේ එකක්.

ස්ටීවන් බර්කොෆ්: ලොකු නම්වලට එක්තරා ආකාරයක දර්ශාස්වාදයක් තිබෙනවා. ලොකු නම්වලට උසස් වේදිකාවක් ඇති කරන්න පුළුවන් කියල මං හිතන්නේ නැහැ. විචාරකයන් උනන්දු කරවන්න පුළුවන්, විචිත්‍රවත්, අළුත් දෙයක් තිබෙනව නම්, ඒකට සම්බන්ධ නමක් නැතත්, අතිවිශාල උනන්දුවක් ඇති කරනවා. ලොකු නම්වලට යෑම පහත්ම පොදු සාධකයයි. නමක් තිබීම ප්‍රශ්නයක් නෙවේ, කෙනෙක්ට තමන්ගේ නමට අයිතියක් තියෙනවා. ඒත්, හුඟාක් වෙලාවට නමක් ඇතිවෙන්නේ වේදිකාව මත නෙවේ, ඒ අය වේදිකාව මත නිෂ්පාදනය කරන දෙය මත නෙවේ; ඒ නර්තන ශිල්පියෙක්, ඔපෙරා ගායකයෙක් එහෙමත් නැතිනම් සංගීතඥයෙක් වෙන්න පුළුවන්; ඒ අයගේ නම හුඟාක් වෙලාවට හැදෙන්නේ ‘චිත්‍රපටය’ ඒ අයට දෙන විශාලත්වය උඩයි. බොහෝ වෙලාවට, ‘චිත්‍රපටය’ කීර්තිනාමයක් ලබාදෙනවා. මොකද, ඒවාවල අතිවිශාල ප්‍රචාරය නිසා ඉතිං, චිත්‍රපටිවල වැඩ කරපු නළුවෙක්; තම කටහඬ, ප්‍රක්ෂේපණය, ඉරියවු, බුද්ධිය දියුණු කරගෙන නැති නළුවෙක්; බොහෝ කාලයක් චිත්‍රපටිවල වැඩ කිරීමෙන් පසු වේදිකාවට ගෙනැල්ලා අතෑරියහම, ඒ අයව තුන්වැනි පේළියෙන් එහාට ඇහෙන්නේවත් නැහැ. ඒත්, ‘ආ, අපිට චිත්‍රපට නළුවෙක් ඕනමයි, අපිට චිත්‍රපට නළුවෙක් ඕනමයි’ කියල කියනවා.

සාරා මොන්ටගියු: ඔබ කිව්වා බටහිර චිත්‍රපට තරු, වටිනාකම බාල්දු කරනවා, ‘වේදිකාව මන්දිරයක් වගේ, එයට එහි පූජකයා සහ අතවැස්සන් අවශ්‍යයි.‘

ස්ටීවන් බර්කොෆ්: ඔව්.

සාරා මොන්ටගියු: ඒත්, ගොඩාක් අය ඉන්නවා, කෙවින් ස්පේසි (Kevin Spacey) වගේ, හුඟාක් හොඳ වැඩ කරන. එයා චිත්‍රපට නළුවෙක් ලන්ඩන් වේදිකාවට සම්බන්ධ වුණු.

ස්ටීවන් බර්කොෆ්:
ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒත් එයා මුලින්ම පටන්ගත්තේ වේදිකාවෙන්. ඒක අවශ්‍යයි. ඒ අත්දැකීමයි, ඒ පසුබිමයි අවශ්‍යයි.

සාරා මොන්ටගියු:
එතකොට ‘එක්වස්’ (Equus) කරපු ඩැනියෙල් ‍රැඩ්ක්ලිෆ් (Daniel Radcliffe) (හැරී පොටර්) වගේ අය ගැන මොකද?

ස්ටීවන් බර්කොෆ්: ….මං හිතන්නේ ඒක කමක් නැහැ. ඒ අයට ඒක කරන්න පුළුවන්. මං හිතන්නේ ඒ රඟපෑ චරිතය එච්චර අභියෝගාත්මක නැහැ. මයික් එකක් හරි හයි කරන්න පුළුවන් ඒ අයට. ඒ අයට එහෙම ගැලවිලා යන්න පුළුවන්. ඒත් සාමාන්‍යයෙන් ඒ අය සාර්ථක වෙන්නේ නැහැ. නිව් යෝක්වල, චිත්‍රපට නළුවෙක් වේදිකාවට ගෙනැල්ල දැම්මහම, ඒක බොහෝ වෙලාවට දර්ශාස්වාදයක් වගේ, මිනිස්සුන්ට නළුවන්ව සජීවීව දැක ගන්න ඕන. ඒත්…. එක නිළියක් මේ මෑතකදී ඩේවිඩ් හෙයාගේ (David Hare) නාට්‍යයක් කළා. ඒ සුසෑන් මුවර් (Susan Moore). එයා වේදිකාව උඩම මැරුණා. මඩෝනා (Madonna), විශාල කීර්තිනාමයක් තිබුණත්, වේදිකාවේ අත්දැකීම් නැහැ. එයා ‘ස්පීඩ් ද ප්ලව්’ (Speed the Plow) කළා. සති කිහිපයකින් ඒක නැති වෙලා ගියා. සමහරු ඒකෙන් ඉස්සරහට ඇවිත් තියෙනවා. ඒ අයට ඒ මාංශපේශිය නැත්නම්, වේදිකාවට අවශ්‍ය මාංශපේශිය නැත්නම් ඒ අය වියැකිලා යනවා. ඒ අයට වේදිකාවට සම්බන්ධ යම් පසුබිමක් තියෙනවා නම්, අප මිත්‍ර කෙවින්ට වගේ, ඒ අයට කරගෙන යන්න පුළුවන්. ඒත්, සාමාන්‍ය වශයෙන්, චිත්‍රපටිවලින් කෙනෙක්ව අරගෙන එයාව වේදිකාවට දැම්මොත් අන්තිමට කරදරේ තමයි වැටෙන්න වෙන්නේ.

සාරා මොන්ටගියු: ඒත්, ඒ අය කරන දෙයක් තමයි, ප්‍රේක්ෂක පිරිසක් ගේන ඒක. ඒ ප්‍රේක්ෂක පිරිස සමහර විට වේදිකාවට නොයා ඉන්න තිබුණා. මේ විදිහට ඒ අය මේ ප්‍රේක්ෂකයන්ට වේදිකාව හඳුන්වලා දෙනවා.

ස්ටීවන් බර්කොෆ්:
නැහැ, එහෙම වෙන්නේ නැහැ. ඒ අය කිසිම ප්‍රේක්ෂක පිරිසක් ගේන්නේ නැහැ. කුතුහලය උඩ එන යම් ප්‍රේක්ෂක පිරිසක් ගෙන්නනවා. ඒත් විචාරකයෝ නාට්‍යයට දුග්ගන්නාරාලකම් කලාට පස්සෙ ඒ ප්‍රේක්ෂක පිරිස ඉක්මනින් ම නැති වෙලා යනවා.

සාරා මොන්ටගියු: එතකොට, තරුණ, හැරී පොටර් රසිකයින්, ඩැනියෙල් ‍රැඩ්ක්ලිෆ්ව එක්වස් එකේ බලාගන්න යනකොට, ඔබ හිතන්නේ නැහැ පළමු වතාවට වේදිකාවට යන තරුණයන් අතර ‘ෂා!’ කියල හිතන අය ඇති කියල? සමහර විට ඒ අය කැමති වෙන්න ඇත්තේ ඩැනියෙල් ‍රැඩ්ක්ලිෆ්ට නෙවේ වෙන්න පුළුවන්. ඒ අය මේ සම්පූර්ණ අත්දැකීමටම කැමති වෙන්න පුළුවන්.

ස්ටීවන් බර්කොෆ්: ඒක වෙන්න පුළුවන්. ඒ චරිතෙ තරුණයෙක්ගේ චරිතයක්. ඉතිං ඒකට තරුණයෙක් ඕන. මං හිතන්නේ නැහැ ඒක එච්චර අභියෝගාත්මක චරිතයක් කියලා. අපි කතා කරන්නේ ඔතෙලෝ හරි, මැක්බත් හරි, හැම්ලට් හරි ගැන නෙවේ. අපි කතා කරන්නේ තරුණයෙක් තරුණයෙක්ගේ චරිතයක් රඟපාන එක ගැන. ඒක එච්චර අභියෝගයක් නෙවේ. ඒත් එක්කම, ඔව්, චිත්‍රපට කළා කියල එයාට වරදක් වෙන්නේ නැහැ.

සාරා මොන්ටගියු:
අවුරුදු කීපයකට ඉස්සර ඔබ කියල තියෙනවා, නැශනල් එක මෙහෙයවන්න ඉන්න හොඳම, සුදුසුම පුද්ගලයා ඔබ කියලත්, ඔබට ඒක ඔබේ ඇඳ උඩ ඉඳං වුණත් කරන්න පුළුවන් කියලත්. ඔබට ඒ කර්තව්‍යය ලැබුණොත් ඔබ මොකද කරන්නේ?

ස්ටීවන් බර්කොෆ්: ආයෙත් ඒකත් නිකං වගේ කියැවුණු දෙයක්-‘මට එය මගේ ඇඳ උඩ ඉඳං වුණත් කරන්න පුළුවන්’ කියපු එක. මට ඒක කරන්න වුණත් තිබුණා. ඇත්තටම, මේ විශාල නැශනල් වේදිකාව දුවවන්න ලැබුණොත්; මං මේ දැනට ඒක කරගෙන යන අයව පහත් කරන්න නෙවේ හදන්නේ; වැදගත් වෙන්නේ සම්බන්ධතාවයන්ය; පුළුල් ලෝකයත් සමඟ පවතින සන්නිවේදනයයි. ප්‍රංශයේ, ජර්මනියේ, ඇමරිකාවේ සිටින ඔබේ සමකාලීන සගයන් දැනගෙන සිටීමත්, ඒ අයගේ ගෞරවය ලබාගෙන සිටීම වැදගත්. යම් ආකාරයකට වේදිකාව වඩාත් ජාත්‍යන්තර කරලා උසස් අධ්‍යක්ෂකවරු, දැක්මක් සහිත අදහස්, අපූරු අලුත් තේමා, අපූරු දැක්මක් ගෙන්වන්න ඕන. ඒක තමයි කරන්න පුළුවන්. එතකොට පරණ ෂේක්ස්පියර් ඉඳන් නැශනල් එකෙන් නැවතත් පරණ ෂේක්ස්පියර් එකෙන් දන්නා හඳුනන සගයන් කිහිපදෙනා සමඟම හැමතිස්සේම වැඩ කෙරෙන්නේ නැහැ. ලයිස්තුව බැලුවත් ඒකමයි, හොඳ වැදගත් අය, ඒත් එකම තමයි. ඔබ පුස්තකාලයට ගියොත්, ඔබ කියවන්න කැමති ඉංග්‍රීසි නාට්‍යය, ඉංග්‍රීසි පොත් විතරක් නෙවේ. ඔබට ලෝක සාහිත්‍ය කියවන්න ඕන. ඉතිං, මං ලෝකෙ වටේ ගිහින් තියෙනවා, මං අතිවිශාල වේදිකා දැකලා තියෙනවා, ඒ බර්ලින්වල හරි, ප්‍රංශයේ හරි, ඇමරිකාවේ හරි වෙන්න පුළුවන්. ඒත් මං කවදාවත් මේ අධ්‍යක්ෂකවරු එංගලන්තයේ අධ්‍යක්ෂණය කරනවා, වැඩ කරනවා දැකලා නැහැ. ‘ඇඳේ ඉඳං වුණත් කරන්න පුළුවන්’ කියල කියපු ප්‍රශ්නෙට- දුරකථන ඇමතුමක් අරගෙන කියන්න පුළුවන් ‘ආ, (කවුරු හරි) ඔබ කැමතිද මෙහාට ඇවිත් හැම්ලට් එකක් කරන්න?’මේ විදිහට ප්‍රමුඛ පෙළේ, අලුත් නිර්මාණ කරන, උනන්දු සහගත අධ්‍යක්ෂකවරු එක්ක කතාබහ කරල, මට එක දවසකින් නැශනල් වේදිකාවට සම්පූර්ණ වැඩසටහනක් සැලසුම් කරන්න පුළුවන්. ඒක තමයි කරන්න ඕන. තනියම කරන දෙයක් නෙවේ. තමන් අධ්‍යක්ෂක කෙනෙක් විදිහට කටයුතු කරන කොට, පිටිපස වේදිකාව මඟ හැරෙනවා. ඔබ කඩය අමතක කරලා කවුන්ටරය ළඟ ඉඳගෙන සේවාව සපයනවා වගේ. ගබඩාවේ තියෙන දේවල් එළියට ගේන්නේ නැහැ.

සාරා මොන්ටගියු:
එහෙනම් මේක තමයි කෙවින් කරන්නේ, මොකද එයා මේ නිෂ්පාදනවලට සම්බන්ධ නිසා?

ස්ටීවන් බර්කොෆ්:
ම්….මං වැඩිය දන්නේ නැහැ. ඔබ හැමවිටම එයා ගැන කියනවා. මං දන්නේ නැහැ එයා එච්චර මතක් කරන්න තරම් වැදගත් ද කියලා. මං හිතන්නේ එයා එයාගේ වැඩේ කරනවා. එය ‘හොඳයි’. තව මං හිතනවා එයා හොඳ කාර්යයක් කරනවා කියලා, එයා හොඳ නාට්‍යකරුවෙක්.

සාරා මොන්ටගියු:
ඔබ ගැන තියෙන එක විවේච්නයක් තමයි, චාර්ල්ස් ස්පෙන්සර්ගේ (Charles Spencer) වචනවලින් කීවොත්, ඔබ ‘යක්ෂයකු බඳු අහංකාරකමක් තියෙන, තමා ගැනම විතරක් හිතන, ළාමක හිතුවක්කාරකමක් තිබෙන, හදවත තිබෙන්න ඕන තැන හිලක් තිබෙන’ කෙනෙක් කියලා. මෙය තමයි ඔහු ඔබ ගැන ලියලා තියෙන්නේ. ඔහු බොහෝ දේවල් සම්බන්ධයෙන් ඔබව අගය කරල තියෙනවා- වේදිකාව නැවත ප්‍රාණවත් කිරීම සම්බන්ධයෙන්, ඒත් ඔහු කියනවා මූලික වශයෙන් ඔබට ප්‍රශ්නයක් තිබෙනවා ඔබේ අහංකාරකම නිසා.

ස්ටීවන් බර්කොෆ්: නැහැ, ඒක විචාරකයාගේ අහංකාරකම පිළිබඳ ප්‍රශ්නයක්. ඔහු කාලයක්, අවාසනාවකට, මං කරන දේ තේරුම් ගැනීමට, විනිශ්චය කිරීමට, අවබෝධ කරගැනීමට බැරුව සිටියා. මොකද, විචාරකයෝ එකම ජාතියේ නාට්‍ය බොහෝ අවුරුදු ගණනක් තිස්සේ දැකල දැකල වේදිකාව මොන වගේ ද වෙන්න ඕන කියන එක ගැන යම් විශ්වාසවලට එන්න පෙළඹෙනවා. එතකොට කෙනෙක් ඇවිත්, මං වගේ, ටිකක් වෙනස් දෙයක් කරන්න උත්සාහ කරන කොට, ටිකක් අලුත් වැඩක් කරන්න හදන කොට, මේ මිනිස්සු කියනවා ‘ආපෝ, එයාගෙ අහංකාරකම’ කියල.

සාරා මොන්ටගියු: ඒත් එයාගේ තර්කය වුණේ කලක් විප්ලවකාරී ලෙස දිස්වුණු ඔබ කළ විප්ලවකාරී දේවල් දැන් විකාරයක් වගේ කියන එකයි.

ස්ටීවන් බර්කොෆ්: හ්ම්…

සාරා මොන්ටගියු:
ඔහු මෙය නීරස දෙයක් කියල විස්තර කරනව.

ස්ටීවන් බර්කොෆ්: (සිනාසෙමින්) ඒක නීරසයි තමයි. මේ වගේ කෙනෙකුට එහෙම වෙන්න ඇති. ඒත් ස්පෙන්සර්ට සියලු ප්‍රශංසා සහිතව, එයා මගේ අන්තිම නිෂ්පාදනය විමර්ශනය කළේ මීට මාස දෙකකට කලින්, ඒකට එයා කියලා තියෙනවා ඒක එයා දැකල තියෙන වඩාත් උනන්දු සහගත නාට්‍යය කියල. ඒක වෝටර්ෆ්‍රන්ට්වල කළ මගේ නිෂ්පාදනයක්, ඒකෙ පූර්ව දර්ශනය නොටොන්හැම් ප්ලේහවුස් එකේ දී කෙරුණා. එයා කියුවා, ‘මං කලින් කියපු ඔක්කොම ආපසු ගන්නවා’ කියලා. එයා ඒක එයාගේ විමර්ශනයේ ලියුවා. එයා කියල තියෙනවා, ‘මට පළවෙනි දවසේ රෑ එයාව දැක ගන්න තිබුන නම් කියල හිතෙනවා’ (මොකද මං ඒ නාට්‍යයේ රඟපෑවේ නැති නිසා) ‘එහෙම වුණා නම් මං එයාගේ අතට අත දීල..’ඒක එක්තරා ආකාරයකට වරදකට සමාව ගැනීමක් වගේ, පාපෝච්චාරණයක් වගේ..

සාරා මොන්ටගියු:
අපි මේක පැහැදිලි කර ගමු. එයාට එහෙම හිතෙන්නට ඇත්තෙ එයා කියල තියෙනවා බර්කොෆ්ට නාට්‍ය රචකයෙක් හැටියට කොහෙත්ම කරන්න බැරි ගොඩාක් දේවල් තියෙනවා කියල- ‘ආදරය, සියුම් බව, දළ චරිතවලින් එහාට ගිය චරිත ලිවීම.. කෙනෙක්ට ඇත්තටම ඔහු ගැන දුක හිතෙනවා, ඔහුගේ ක්‍රෝධ සහගත, ද්වේෂ කරන ඔළුව ඇතුළේ හිරවෙලා ඉන්න වෙන එක නපුරු හීනයක් වගේ!’ මොකද, එහෙම තමයි ඔබව දැක තිබෙන්නේ, හුඟාක් තරහ යන කෙනෙක් හැටියට.

ස්ටීවන් බර්කොෆ්:
නැහැ, එහෙම නෙවේ. මිනිස්සු මාව ප්‍රේමවන්ත, ස්නේහවන්ත, කාව්‍යමය හැඟීම් සහිත ආකාරයට දැක තිබෙනවා. වෙන කිසිම නාට්‍ය රචකයකුගේ නාට්‍යවලට වඩා තරුණ අය මගේ නාට්‍ය කරනවා- තරුණ කණ්ඩායම්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්, නාට්‍ය ශිෂ්‍යයින්. මොකද, ඒ අය ඒවාවල යම් බලවත් හැඟීමක් දකිනවා. එයා වරද්ද ගන්නේ (හැඟීමක් නැති නිසාද මං දන්නේ නැහැ) මීට ඉස්සර එයාට මේක දැනිලා නැති නිසා වෙන්න ඇති. ඒ වුණාට මේක ඇත්තක් නෙවේ, මේක බොරුවක්. මගේ නාට්‍ය මගේ හැඟීම්වලට ප්‍රතික්‍රියා වශයෙන් ගොඩනගල තියෙන්නේ. විශේෂයෙන් මගේ ‘ග්‍රීක්’ (Greek) වගේ නාට්‍ය, පසුව එය ඔපෙරාවකට හැරුණා. මං හිතන විදිහට මේක ඉතාමත් සංවේදී, හැඟුම්බර නාට්‍යයක්. තව තියෙනවා-‘ද සීක්රට් ලව් ලයිෆ් ඔෆ් ඔෆීලියා’ (The Secret Love Life of Ophelia). වඩා තියුණු දේවල් සම්බන්ධ ඒවාත් තියෙනවා.

සාරා මොන්ටගියු: විචාරකයෝ එක එක දේවල් කියන කොට ඔබේ හිතට ඒවා කරදරයක් වෙනව ද? 1979 දී නරක විමර්ශනයකට පස්සේ ඔබ නිකලස් ඩි ජොන්ග්ට (Nicholas De Jongh) ප්‍රසිද්ධියේම මරණ තර්ජනයක් එල්ල කළා.

ස්ටීවන් බර්කොෆ්: ඔව්, මං වගේ කෙනෙකුට නාට්‍ය හරියට දරුවො වගේ. ඉතිං තමන්ගේ දරුවෝ ‍රැක ගන්න ඕන. ඕනම දරුවෙක් ඉන්න මවක්, කවුරු හරි තමන්ගේ දරුවට අතවරයක් කළොත් ඊට විරුද්ධව නැගී ඉන්නවා. හුඟාක් රචකයින්ට, හුඟාක් අධ්‍යක්ෂකවරුන්ට තමන්ගේ නාට්‍ය දරුවෝ වගේ නෙවේ. ඒ අය එකක් කරනව, ‘ආ දැන් අනිත් එකට යමු’, ඒ අය එක දවසක් විතර යනව, බලලා, සටහන් කිහිපයක්, ඊට පස්සේ ඒ අය යනවා.

සාරා මොන්ටගියු: ඔබට ඇත්තටම ඔහුව මරන්න ඕන වුණේ නැහැ නේද?

ස්ටීවන් බර්කොෆ්:
ආ, ඇත්තටම ඕන වුණා. ඒත් මං එහෙම කරන්නේ නැහැ. මට පොඩ්ඩක් එයාව බය කරන්න ඕන වුණේ. මං පස්සේ හිතුව මං ඇත්තටම හීනෙකින් වත් එහෙම කරන්න හිතුවෙ නැහැ කියල. එදා ඉඳං අපි දෙන්න හුඟාක් හොඳ යාළුවෝ. ඒක තමයි වැදගත් කාරණේ. එයාට මගේ හැඟීම දැනුණහම, එයාට එකපාරටම තේරුණා එයාගෙ වචන මට කොච්චර වටිනවද කියල. සමහර විට වෙන අය මේ විදිහට එයත් එක්ක සන්නිවේදනය කරල නැතුව ඇති. ඉතිං දැන් අපි හොඳම යාළුවෝ.෴

ස්ටීවන් බර්කොෆ් – BBC Hard Talk සම්මුඛ සාකච්ඡාව – 1 කොටස මෙහි බලන්න.

ස්ටීවන් බර්කොෆ් – BBC Hard Talk සම්මුඛ සාකච්ඡාව – 2 කොටස මෙහි බලන්න.

ස්ටීවන් බර්කොෆ් – BBC Hard Talk සම්මුඛ සාකච්ඡාව – 3 කොටස මෙහි බලන්න.

මෙම ලිපියේ හඬපටයෙන් ලිඛිත පිටපත සැකසීම සපරිවර්තනය © චමත්කා.  සියළු හිමිකම් සපුරා ඇවිරිණි.

කතිකා‘ අධ්‍යයන කවයේ අන්තර්ජාල වාර සංග්‍රහයෙන් උපුටා ගත් බව දක්වමින් අපගේ වෙබ් ලිපිනය kathika.lk සඳහන් කරමින් උපුටා පළ කිරීමට අවසර තිබේ.