මිනෙත් ද සිල්වා ලංකාවේ පුරෝගාමී වාස්‌තු විද්‍යාඥවරිය

ශ්‍රී ලංකා වාස්‌තු විද්‍යාවේ කාන්තා මුද්‍රාව
ආචාර්ය නිශාන් රසාංග විඡේතුංග, වරලත් ගෘහ නිර්මාණ ශිල්පී

මිනෙත් ද සිල්වා ලංකාවේ පුරෝගාමී වාස්‌තු විද්‍යාඥවරිය – දෙවැනි කොටස

vasඇයගේ ව්‍යාපෘතීන් විශ්ලේෂණයට ලක්‌ කිරීමේදී කොළඹ ග්‍රෙගරි පෙදෙසෙහි නිර්මාණය කරන්නට යෙදුණ සේනානායක නේවාසික තට්‌ටු ගොඩනැඟිල්ල (Flats) 1954-57) සහ ප්‍රංශයේ මාර්සේ (Marseille) ප්‍රදේශයේ ලෙ කෝර්බ්‍රසියර් අතින් නිර්මාණය වූ Unite d Habitation යන එම ගණයේම ගොඩනැඟිල්ල අතර සමානකම් එමටය. ඒකකය (unit) පුනරාවර්තනය ඔස්‌සේ නිර්මිත මෙම කොන්ක්‍රීට්‌ ගොඩනැඟිලි ද්විත්වයම කණු ශ්‍රේණීන් (Piloti) මත පිහිටුවා ඇත්තේ බිම් මට්‌ටම නිදහස්‌ ලෙස තබා ගැනීමේ අරමුණෙනි. මීට අමතරව ඇය අතින් බිහිවුණ තවත් නේවාසික ගොඩනැඟිල්ලකි කොළඹ බගතලේ පාරේ අයිවෝ ප්‍රනාන්දු ගොඩනැඟිල්ල (1956). කෙසේ වෙතත් පසු කාලීනව ලෙ කෝර්බ්‍රසියර් අතින් නිර්මිත Ronchamp පල්ලිය වැනි ප්‍රකාශනවාදී (expressonist) ශෛලියට බර වූ ගොඩනැඟිලි ඇය අතින් කිසිදා බිහි නොවිණි. පාරම්පරික හා නවීන ශෛලීන් අතර සාර්ථක දෙමුහුමක්‌ නිර්මාණය උදෙසා කැපවීම නිසා මෙවැනි නව්‍යත්වයක්‌ කරා යැම අත්‍යවශ්‍ය යෑයි ඇයට සිතෙන්නට ඇත. ලංකාව තුළ නිර්මාණකරණයේ යෙදීමේදී, ප්‍රබල දේශීය සංස්‌කෘතිකමය ගුණාංගවලින් තොරව සාර්ථක නිර්මාණ නොකළ හැකි බව ඇයට පසක්‌ වන්නට ඇත.

ලෙ කෝර්බ්‍රසියර් වැනි නිර්මාපකයන්ගේ ඒකකය/ ශෛලිය ගැන අවධාරණය පුනරාවර්ථනය වැනි ක්‍රමවේද ද සහ සමාජවාදී වූ අදහස්‌ ද සූක්‍ෂම ලෙස කතෝලික සමයේ දෘෂ්ටි වාදය නම් අයුරකින් අර්ථ නිරූපණයට පෙලඹිණ. මෙම අදහස්‌ උකහා ගන්නා ලද මිනෙත්ගේ නිර්මාණයන්හි ඇය එම යථාර්ථය විදහා දැක්‌වීමට උත්සාහ කළාද යන්න ගැටළුවකි. කෙසේ වෙතත් එවැනි ගුණාංග අභිභවා බුදු සමය සහ හින්දු සමය මත පදනම් වූද, එම ආභාසයන්ගෙන් පාරිසරික යෝග්‍ය භාවය, අල්පේච්ඡතාව සහ අනෙකුත් පෙරදිග සංස්‌කෘතික රාශීන්ගේ එකතුවක්‌ වූ ලක්‌දිව පාරම්පරික වාස්‌තු විද්‍යා සංස්‌කෘතියේ අවසාන ප්‍රගමණය වූ නුවර වාස්‌තු විද්‍යා ක්‍රමවේදය ඔප් නැංවීම කැපී පෙනෙයි. නිර්මාපකයාගේ අරමුණ කුමක්‌ වුවත් (විශේෂිත අරමුණක්‌ නොතිබුණත්) සුදුසු දේ මෙහිදී සිදුවූ බව යම්තාක්‌ දුරකට තර්ක කළ හැක.

මිනෙත් ද සිල්වා විසින් ප්‍රගුණ කරන්නට යෙදුන දෙමුහුම් ශෛලියේ විශිෂ්ටතම ප්‍රතිමූර්තිය ඇය අතින් මහනුවර වැව අසබඩ දළදා මාලිගාව සහ මල්වතු විහාරය ආසන්නයෙන් නුවර කලායතනය (kandy Art center) ලෙස නිර්මාණය විය (1982). දේශීය පාරම්පරික කලාවන්ගේ (ශ්‍රව්‍ය-ද්‍රාෂ්‍ය) ප්‍රගමනය සහ සංරක්‌ෂණය පෙරදැරිකොටගත් මෙම ආයතනය මධ්‍යකාලීන නුවර ග්‍රාමයක්‌ ලෙස ස්‌වාභාවික වෘක්‌ෂලතා රාශියකින් සෙවණ වූ භූමියක ඉදි විය. භූමියට යාබදව වූ බ්‍රිතාන්‍ය යුගයට අයත් ගොඩනැඟිල්ල ද භාවිතයට ගෙන, එයට හාත්පසින් වෙනස්‌ වූ මුහුනුවරකින් නව ගොඩනැඟිල්ල බිහි විය. කොන්ක්‍රීට්‌, දැව සහ යකඩ භාවිතය තුළින් බිහිවූ ගොඩනැගිල්ල භූමියේ වූ ස්‌වාභාවික භූ ලක්‌ෂණ භාවිතයට ගෙන මට්‌ටම් කිහිපයකින් නිර්මාණය වී ඇත. පාරම්පරික නුවර වහලය, මැද මිදුල වැනි සංකල්ප සමග පිළිගැනීමේ ද්වාර මණ්‌ඩපය (porch) වැනි නවීන අංග ලක්‌ෂණ දෙමුහුම්ව තිබීම කැපී පෙනෙයි. භූමියේ පිටුපස භාගයේ වූ පොලව යම්තාක්‌ දුරකට සෑරීම (excavation) ඔස්‌සේ බාහිර අර්ධ මණ්‌ඩල රංග පීඨයක්‌ (amphi theatre) නිර්මාණය කොට ඇති අතර මුලු ගොඩනැගිල්ලේම ප්‍රධාන ආකර්ෂණය වන්නේ එහි රංග පීඨයයි. රංග පීඨයේ වහලය දරා සිටින ලී කාෂ්ට (timber trusses) සවිස්‌තර සැලසුම් (details) නිර්මාණය සඳහා විශේෂ වෙහෙසක්‌ මිනෙත් විසින් ගෙන ඇති බව පෙනේ. මෙම ගොඩනැඟිල්ල පුරාවට දක්‌නට ලැබෙන විශාල ප්‍රමාණයේ කවුළු ඔස්‌සේ පිටත ඇතුළත සම්බන්ධතාවය තහවුරු වන අතරම ඒවායේ බීරළු ආවරණ මගින් ආරක්‌ෂාව ද සලසයි. යකඩ සහ දැව උපයෝගී කරගෙන නිපුණ ලෙස සාදා ඇති භෝජනාගාරයේ ආවර්තී පඩිපෙල ද ප්‍රශසංසනාත්මක නිර්මාණයකි. මීට අමතරව දේශීය චිත්‍ර කලාවන්හි සංකේත කොන්ක්‍රීට්‌ කණු මත සිමෙන්තියෙන් නිර්මාණය, කොන්ක්‍රීට්‌ කොරවක්‌ ගල් සහ සම්භාව්‍ය සිංහල වාස්‌තු විද්‍යාත්මක ගල් කණු සහ ඒවායේ හිස්‌ හි ප්‍රකාශනවාදී කොන්ක්‍රීට්‌ ආකෘති මගින් මෙම ගොඩනැඟිල්ල හැඩ වේ. ප්‍රබල රේ‚ය ජ්‍යාමිතියට පරිබාහිරව යම් සමතුලිතතාවයක්‌ ඇති කිරීම උදෙසා යොදාගත් වෘත්තාකාර (nebulous) හැඩතලද ගොඩනැඟිල්ල පුරා දක්‌නට ලැබේ.vas

ගම්පොල ජිනරාජ විද්‍යාලයද මිනෙත් අතින් නිර්මාණය වූ තවත් පොදු ව්‍යාපෘතියක්‌ විය. ඇයගේ පාරම්පරික වාස්‌තු විද්‍යාත්මක දැනුම මොනවට ගෙනහැර දැක්‌වූ තවත් නිර්මාණයකි අමදූවේ උද්‍යානය (game reserve) සඳහා දේශීය හුණු පෝරණු ආකෘතිය අධ්‍යයනයෙන් සිදු කළ සංචාරක නිවාසය (guest house) (1958). කල්කුඩා ප්‍රදේශයේ මුහුදු වෙරළට යාබදව නිර්මිත කුඩා හෝටලයද (sea side resot) මෙවැනිම ව්‍යායාමයකි (1959). මිනෙත් ද සිල්වා අතින් බිහි වූ අවසන් ගොඩනැඟිල්ල වූයේ කොළඹ 08 පෙදෙසේ සුසිල් සිරිවර්ධන නිවස (1997-98) මෙය බොහෝ දුරට බැලු බැල්මට නුවර කලායතනයට බොහෝදුරින් සමානකම් පෙන්වයි. නුවරදී පොදු ගොඩනැගිලි උදෙසා භාවිතා කරන්නට යෙදුන ක්‍රමවේද බොහොමයකට ඇය විසින් ඉතාමත් දක්‌ෂ ලෙස ඊට හාත්පසින් වෙනස්‌ වූ කොළඹ අර්ධ නාගරික පරිසරයක නිවසක්‌ සඳහා යොදාගෙන ඇත.

වරලත් වාස්‌තු විද්‍යාඥයෙක්‌ තුළ තිබිය යුතු පරීක්‌ෂණාත්මක ස්‌වභාවය (experimental quality) මෙලෙස ඇය විසින් විදහා පාන්නට යෙදුණි.තම වෘත්තීය ජීවිතය තුළ කිහිප අවස්‌ථාවකදී අඩු වියදම් නිවාස (low-cost houses) කිහිපයක්‌ම ඇය අතින් නිර්මාණය වුවත් අවාසනාවකට ඒවා කිසිවක්‌ ඉන් ඔබ්බට ප්‍රචලිත වීම වැලකුණේ විවිධ හේතුන් නිසාය.

මිනෙත් ද සිල්වා විසින් හඳුන්වා දුන් නව ශෛලිය පසු කාලීනව ඇගේ හිතවතෙක්‌ වූ ජෙෆ්රි බාවා අතින් ප්‍රගමණයට පාත්‍ර වූ අතර පසු කාලීනව විවිධ විචාරකයන් විසින් එයට (Neo-reagonalism) නව ප්‍රාදේශික වාදය, ඝර්ම කලාපීය ප්‍රාදේශික වාදය (Tropical Reagonalism) වැනි යෙදුම් (terms) ආරෝපණය කරන ලදී. ජෙෆ්රි බාවා අතින් මුලින්ම ප්‍රභූන්ගේ නිවාස සන්දර්භය (domestic realm) තුළ පර්යේෂණ (experiments) කළ මෙම ශෛලිය පසුව ඔවුන්ගේම දායකත්වයෙන් පොදු ව්‍යාපෘති (civic realm) කරාද යොදාගැනීම මගින් 1980 දශකය වන විට රටේ ජාතික වාස්‌තු විද්‍යාත්මක ශෛලිය (national flagship architectural style) බවට පත් කරන ලදී. මෙම ගමනේදී බාවා ට අත්වැලක්‌ වූ ඩෙන්මාක්‌ ජාතික වාස්‌තු විද්‍යාඥයකු වූ උල්රික්‌ ප්ලේසනර් (Ulric Plesner) මුලදී ලංකාවට සපැමිණියේ මහනුවර මිනෙත් ද සිල්වාගේ ආයතනයේ (practice) සේවයේ යෙදීමටයි. ඇයගේ ආභාෂයෙන් උකහා ගත් දේශීය වාස්‌තු විද්‍යාත්මක දැනුම් සම්භාරය ජෙෆ්රි බාවා සමග එක්‌ව සිදු කළ නිර්මාණයන්හිදී ඉතාමත් ශූර ලෙස යෙදීමට මෙම වාස්‌තු විද්‍යාඥයා සමත් වූ බව නොරහසකි.

ඉහත සඳහන් විස්‌තරයන් හමුවේ මිනෙත් ද සිල්වා චරිතය සහ ඇගේ ගෘහ නිර්මාණ ලක්‌ෂණ යම් විශ්ලේෂණයකට ලක්‌ කිරීම සුදුසුය. මිශ්‍ර පවුල් පසුබිමකින් පැවතුණ මිනෙත් ද සිල්වා විසින් පිළිපදින ලද්දේ එකල ප්‍රභූ පැලැන්තියට උරුම වූ ඉංග්‍රිසි බටහිර ජීවන ශෛලිය බව නොරහසකි.

තරුණ කාලයේදී ඇයගේ ජීවන ශෛලිය සහ හැසිරීම් රටා තේරුම් ගැනීමට මිනෙත් විසින් 1993 වසරේ ඈෂ්ලි ඩි වොස්‌ (Ashley De Vos) සහ සුසිල් සිරිවර්ධන (Susil Siriwardana) සමග එක්‌ව රචනා කරන්නට යෙදුන The Life & works of an Asian Woman Architect (ආසියාතික වාස්‌තුවිද්‍යාඥවරියකගේ ජීවිත කතාව සහ නිර්මාණ) යන නිබන්ධනය වැදගත් වෙයි. වරක්‌ තම සහෝදරිය විසින් අධ්‍යක්‌ෂණය කරන්නට යෙදුන බෞද්ධ නාට්‍යයක මෙහෙණියකගේ චරිතයට පණ පොවමින් සිටියදී, වේදිකාවෙන් ඉවත්වන වතාවක්‌ පාසා එම ඇඳුමින්ම සැරසී දුම් පානයේ යෙදීම දැකීමෙන් නුවර බෝගම්බර ප්‍රදේශයේ ප්‍රේක්‌ෂකයින් කුපිත වූ අයුරු ඇය මතක්‌ කර දෙන්නේ ඒ ගැන එකල ඉංග්‍රිසි පුවත්පතක පළ වූ විවේචනයක්‌ද ඉදිරිපත් කරමිනි (ඇයට අනුව මෙය තම පියාට මඩගැසීම උදෙසා කල සත්‍ය විකෘති කිරීමකි). ඇයගේ ප්‍රභූ පසුබිමෙන් ඇය ලැබූ මානය සහ ඒ සම්බන්ධිත හැසිරීම් රටා ඩේවිඩ් රොබිසන් (David Robson) වැනි ලේඛකයන් පමණක්‌ නොව ඇය විසින් ආශ්‍රය කරන්නට යෙදුන මොරිස්‌ පෙරේරා වැනි චරිත ද පසක්‌ කරයි. මෙම කරුණ හේතු කොටගෙන ඇය තම සේවා දායකයන් විශාල කොටසක්‌ අහිමි කරගත් බව රොබිසන් තහවුරු කරයි. මෙම කරුණ මගින් ඇයගේ එක්‌තරා පැතිකඩක්‌ පෙන්නුම් කරතත් මධ්‍යම සමාජ පසුබිමකින් පැමිණි වැලන්ටයින් ගුණසේකරයන්ගේ හෙළිකිරීමට අනුව නම් ඇයගේ චරිතයේ වඩා මෘදු වූ පැතිකඩක්‌ද විය. ඉතාමත්ම අරපිරිමැස්‌මෙන් තම බ්‍රිතාන්‍ය ජීවිතය ගත කිරීමට සිදු වූ වාතාවරණයක්‌ තුළ, මිනෙත් තමා හමුවූ සෑම අවස්‌ථාවකම තමා සමග සුසංවාදයන් හි යෙදීමට ඇයගේ වියදමින් ආපන ශාලා හා තේ පැන් හල් කරා රැගෙන යාමට ඇය කාරුණික වූ බව ඔහු අවධාරණය කරයි.

දේශීය වශයෙන් යුරෝපීය ජීවන රටාව මෙන්ම ඉංග්‍රිසි භාෂාව නිරන්තරයෙන් භාවිතයට හුරු වූ ඇය, අන්තර්ජාතික තලයේදී කැපීපෙනීමට පමණක්‌ තම ආසියාතික භාවය (oriental-nes) යොදාගත් බවට අනුමාන කළ හැක. ඇය විසින් අනන්‍යතාවය බවට පත්කර ගන්නා ලද වර්ණවත් සේද සාරි සහ විසිතුරු මාලා ඇයගේ සහජ බටහිරත්වය වසන් කිරීමට සඳහා ආවරණයක්‌ ලෙස හෝ කැපී පෙනීමේ ආම්පන්නයක්‌ ලෙස (apparatus) යොදාගන්නට ඇත. එසේ නැත්නම් තමා හට වාසි සහගත තත්වයන් යටතේ බටහිර හෝ පෙරදිග අනන්‍යතා අවශ්‍ය ලෙස භාවිතයට ගැනීමට ඇය දක්‌ෂ වූවා විය හැක.

හෝමි බාබා (Homi Babha) විසින් විස්‌තර කරන්නට යෙදුන දෙමුහුම් (hybrid) අංග ලක්‌ෂණ වලට හිමිකම් කී මිනෙත් ද සිල්වා ඇත්ත වශයෙන්ම තම හදපත්ලෙන්ම ආදරය කළේ කුමන සංස්‌කෘතියටද යන්න අප හට පිළිතුරු දිය නොහැකි ප්‍රහේලිකාවකි. මෙම අතරමැදි සංස්‌කෘතික ස්‌වභාවය (hybridity) යන තත්වයේ අත්‍යවශ්‍ය ගුණාංගයකි. කෙසේ වෙතත් තම ජීවිත කතා පුවතට එක්‌ කරන තවත් අන්දරයන් මගින් අධික ලෙස බටහිරකරණයට (westernization) ලක්‌ වූ මෙන්ම මිශ්‍ර ජාතියකට (mixedraised/half-caste) අයත් වූ තමාට පවා යුරෝපීය ජාතීන්ගෙන් අත්විඳීමට සිදු වූ කෙනෙහෙලිකම් ගැන ද ඇය මතක්‌ කරයි. 1930 ගණන්වලදී එංගලන්තයේ සිට ලංකාවට පැමිණ නැවේ දී තමා හා ඉමහත් ලබැඳියාවක්‌ ගොඩනගාගත් ඉංග්‍රිසි ජාතික දරුවෙක්‌ සහ දැරිවියක්‌, ලංකා වරායට සේන්දු වීමත් සමගම පෙන්වූ ක්‌ෂණික ඈත් වීම ඇය සිහි කරන්නේ යටත් විජිත යුරෝපීයයන් තුළ දේශීයයන් (native) ගැන තිබූ පහත් හැඟීම් සිහි කරමිනි. මෙය තේරුම්ගැනීමෙන් පසුවද තම නිශ්ඵල ජීවන රටාව වෙනස්‌ කිරීමට ඇය නෙපෙළඹීම ප්‍රහේලිකාවකි.

මිනෙත් ද සිල්වා තම දායකත්වය වාස්‌තු විද්‍යා වෘත්තියට සීමා නොකොට අධ්‍යාපන ක්‌ෂේත්‍රයටද ලබා දීමට තරම් කාරුණික වූවාය. 1975 සිට 80 වසර දක්‌වා හොංකොං සරසවියේ වාස්‌තු විද්‍යා අංශයේ සේවය කිරීම කැපීපෙනෙයි. මීට අමතරව ඇය අතින් සිදු වූ තවත් මහඟු සේවාවකි 1946 වසරේ සිට ඇයගේ සහෝදරිය වූ මර්සියා (Marcia) සමග එක්‌ව බොම්බායේ දී එක්‌ව එලි දක්‌වන්නට යෙදුනු MARG (සංස්‌කෘත භාෂාවෙන්, ඉදිරි ගමන, යන්න අර්ථ දක්‌වන) නම් වාස්‌තු විද්‍යා/කලා සඟරාව එළි දැක්‌වීමයි. එය අද වනතුරුත් මුද්‍රණයේ පැවතීම විශේෂිතය. ඇයගෙන් වාස්‌තු විද්‍යා ක්‌ෂේත්‍රයට වූ සේවාව ඇගයීම උදෙසා ශ්‍රී ලංකා වාස්‌තු විද්‍යාඥයන්ගේ ආයතනයේ 50 වන සංවත්සරය උදෙසා මුද්‍රණය කළ කෘතියේ ඇය ගැන සඳහනක්‌ වෙයි.

ශ්‍රී ලංකා වාස්‌තු විද්‍යාඥයන්ගේ ඉතිහාසයට කාන්තා දායකත්වයක්‌ මෙලෙස උරුම කළ මිනෙත් ද සිල්වා 1998 වසරේ සදහටම දෑස්‌ පියාගත්තේ මෙරට බිහිවූ සහ අනාගතේ බිහිවීමට නියමිත වාස්‌තු විද්‍යාඥවරියන් හට මහඟු= ආදර්ශයක්‌ වෙමිනි. ඇය විසින් නිර්මාණය කරන්නට යෙදුන ගොඩනැඟිලි බෙහොමයක්‌ අද වනතුරුත් නොවියෑකී පවතින අතර මේවා මතු පරම්පරාවන් වෙනුවෙන් සංරක්‌ෂණය කිරීම අප සැම සතු මහඟු යුතුකමකි.

උපුටා ගැනීම දිවයින බදාදා අතිරේකයෙනි

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s