සොක්‍රටීස් පාලක පෙළන්තියේ අධිපතිවාදය ප්‍රශ්න කිරීම සහ ඔහුගේ මරණය
‘ප්ලේටෝ පිළිබඳ තව දුරටත්….‘ යන මැයෙන් අභාවප්‍රාප්ත හේමරත්න ලියනආරච්චි ලියූ ලිපියක් (බලන්න, ‘ප්ලේටෝ පිළිබඳ තව දුරටත්….‘ ) පිළිබඳ මහාචාර්ය ඒ. එම්. නවරත්න බණ්ඩාර පහත අදහස් දැක්වීම මෑතදී කළේය.
” ප්ලෙටො සිය ඇපලොජියේ එක තැනක ලියනවා තමන් සොක්‍රටීස්ව ඔහුගේ මරණයට දින කීපයකට පෙර මුණ ගැසුනුවිට “සිදුවූ වරද කුමක් දැයි” ප්‍රශ්ණ කළ බව. එවිට ඔහුගෙන් ලැබුන පිළිතුර වුයේ “කෙලින්ම කිව යුතූ දේ කීම” බව. මෙය මම හඳුන්වන්නේ පාලක පෙළන්තියේ අධිපතිවාදය ප්‍රශ්න කිරීමේ සොක්රටිසියන් ක්‍රමය වශයෙන්. මෙම සොක්රටිසියන් ක්‍රමය මේ අප ජීවත් වන යුගයේ පවතින අධිපතිවදයන් ප්‍රශ්ණ කිරීමේ ක්‍රමය විය යුතු බව යනුවෙන් එදා ජෝජ් බුස්ගේ යුදවාදී පාලක මතවාදය ප්‍රශ්න කරමින් පොතක් ලීව් කෝනල් වෙස්ට් නමැති කළු ජාතික ඇමෙරිකානු ලේඛකයා කියනවා. මම හිතන්නේ අද අපටත් තිබෙන හොඳම විධි ක්‍රමය වන්නේ මෙය බව. න්‍යාය වාද වලින් මේ යුගයේ අධිපතිවාදය ප්‍රශ්ණ කරන්න බෑ. එයට හේතුව අද තිබෙන අධිපතිවාදය එම න්‍යාය වාද විසින්ම නිර්මාණය කර තිබීම යි.”
මහාචාර්ය ඒ. එම්. නවරත්න බණ්ඩාර මතුකරන ඉහත කරුණ සාකච්ඡාවට ගැනීමට ප්‍රවේශයක් වශයෙන් හනා ආරන්ඞ්ට් ලියූ “දර්ශනවාදය හා දේශපාලනය“ නමැති ලිපියෙහි “සොක‍්‍රටීස්ගේ වරද වූයේ ඔහු ද්වන්ධාත්මක ස්වරූපයෙන් විනිසුරුවන් ඇමතීම ය“ යන අදහස මතු කරමින් ඒත්තු ගැන්වීම නොහොත් පොළඹවා ගැනීම හා ද්වන්ධාත්මකය පිළිබඳ කරන සාකච්ඡාව පහත ඉදිරිපත් කරමු.
සොක‍්‍රටීස්ගේ නඩු විභාගය හා මරණ දඬුවමත් සමග දර්ශනවාදය හා දේශපාලනය අතර අගාධය ඓතිහාසිකව විවර විය. එය යේසුස්ගේ නඩු විභාගය හා මරණ දඬුවම ආගම පිළිබඳ ඉතිහාසයෙහි රඟ දක්වන සන්ධිස්ථානයක භූමිකාවම හා සමාන භූමිකාවක් දේශපාලන චින්තන ඉතිහාසය තුළ ඉටු කරන්නේ ය. අපගේ දේශපාලන චින්තන සම්ප‍්‍රදාය ඇරඹියේ, පුරවර රාජ්‍යයේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තු නැති කර ගැනීමට සහ ඒ එකම විට සොක‍්‍රටීස්ගේ ඉගැන්වීම්වල යම් මූලධර්මයන් සැකයට ලක් කිරීමට ද සොක‍්‍රටීස්ගේ මරණය, ප්ලේටෝ, යොමු කළ විටය. ඇතන්ස්හි පුරවැසියන් අතරින් වඩා හොඳ හා වඩා තරුණ අයට ඒ සා පැහැදිලි වූ, සොක‍්‍රටීස්ගේ නිර්දෝෂී බව හා ඔහුගේ සුදුසුකම් ඔහුගේ විනිසකරුවන්ට ඒත්තු ගැන්වීමට ඔහුට නො හැකි වීය, යන කරුණ ඒත්තු ගැන්වීමේ වලංගු භාවය ප්ලේටෝ විසින් සැකයට ලක් කිරීමට හේතු විය. ප්ලේටෝගේ මෙම සැකයේ වැදගත්කම වටහා ගැනීමට අපට දුෂ්කර වන්නේ පෙයිතෝ – එනම් පෙළඹවීමේ දේවතාවිය – වෙනුවෙන් ඇතෑන්ස්හී දෙවොලක් පැවතීමේ දේශපාලන වැදගත්කම පෙනුන්ම් කරන පැරණි වචනය වන පෙයිතියන් සඳහා Persuation (ඒත්තුගැන්වීම) යන්න ඉතා දුර්වල හා ප‍්‍රමාණවත් නොවන පරිවර්තනයක් නිසාය. ඒත්තු ගැන්වීම, යනු සුවිශේෂ වශයෙන් දේශපාලන කතා ස්වරූපය විය. තමුන් ම්ලේච්ඡයන්ගෙන් වෙනස් වෙමින්, තම දේශපාලන කටයුතු කථනයේ ස්වරූපයෙන් හා බලාත්කාරයෙන් තොරව මෙහෙය වීය, යන කරුණ හේතුවෙන් ඇතීනියානුවන් ආඩම්බර වූයෙන්, ඔවුහු ඒත්තු ගැන්වීමේ කලාව වන අලංකාර ශාස්ත‍්‍රය, උසස්තම හා සැබෑම දේශපාලනමය කලාව ලෙස සැලකූහ…………
ඇතන්ස්හි පුරවැසියන් හා විනිසුරුවන් හමුවේ, සොක‍්‍රටීස්ගේ වගඋත්තරයේ ඔහුගේ ප‍්‍රධාන කරුණ වූයේ, ඔහුගේ හැසිරීම පුරවරයේ උපරිම යහපත සඳහා වූ බව ය. තමන්ට පැන යා නො හැකැ යි ද, ඊට වඩා, දේශපාලන හේතූන් නිසා තමන් මරණ දඬුවම විඳිය යුතු යැ යි ද, සොක‍්‍රටීස් කි‍්‍රටෝ (Crito) හිදී තම මිතුරන්ට පැහැදිලි කළේය. ඔහුගේ විනිසුරුවන් පෙළඹවීමට ඔහු අපොහොසත්වූවා පමණක් නොව, ඔහුට තම මිතුරන්ට ඒත්තු ගැන්වීමට ද නො හැකි වූ සේ පෙනේ. වෙනත් වචනවලින් කියතොත්, පුරවරයට දර්ශනවාදියෙකු අවශ්‍ය නොවීය. මිතුරන්ට දේශපාලන තර්කනයෙන් වැඩක් නොවීය. මෙය ප්ලේටෝගේ සංවාද සාක්ෂි දරණ, ඛේදවාචකයේ කොටසකි……….
සොක‍්‍රටීස්ගේ නඩු විභාගයෙන් ගම්‍යවන දේ පිළිබඳ කරුණු සැළකීමේ කි‍්‍රයාවලියේ දී, ප්ලේටෝ, මතයේ නියම ප‍්‍රතිපක්‍ෂය වශයෙන් ගත් සත්‍යය පිළිබඳ ඔහුගේ සංකල්පයත්, පොළඹවීමේ හා අලංකාර ශාස්ත‍්‍රයේ ප‍්‍රතිපක්‍ෂය වශයෙන් ගත් සුවිශේෂයෙන් දර්ශනවාදී කතා ස්වරූපයක් (ඩයලෙජෙස්තායි) පිළිබඳ ඔහුගේ අදහසත්, යන දෙක ම ගොඩ නඟාගති. ඇරිස්ටෝටල්, ඔහුගේ Ethics (ආචාරධර්මය) කෘතියට නො අඩු ව, ඔහුගේ දේශපාලන කෘතීන්ට අයත් වන, අලංකාර ශාස්ත‍්‍රය යන කෘතිය පෙළඹවීමේ කලාව [එබැවින් කතා කිරීමේ දේශපාලන කලාව] ද්වන්ධාත්මක කලාවේ [දර්ශනවාදී කතා කලාවේ] ප‍්‍රතිරූපකය වේ යන ප‍්‍රකාශයෙන් ඇරඹීමේ දී, මෙම විශේෂ වෙනස්කම් සහ විරුද්ධත්වයන් එසේ ම භාර ගන්නේ ය. ඒත්තු ගැන්වීම නොහොත් පොළඹවා ගැනීම හා ද්වන්ධාත්මකය අතර ප‍්‍රධාන වෙනස වන්නේ, පළමුවැන්න හැම විට ම සමූහයක් අමතන අතර, ද්වන්ධාත්මකය විය හැක්කේ දෙදෙනෙකු අතර දෙබසක් ලෙස පමණක් වීමය. සොක‍්‍රටීස්ගේ වරද වූයේ ඔහු ද්වන්ධාත්මක ස්වරූපයෙන් විනිසුරුවන් ඇමතීම ය. ඔවුන්ට ඒත්තු ගැන්වීමට ඔහුට නො හැකි වූයේ එබැවිනි. අනෙක් අතින්, ඔහු පෙළඹවීම යන්න තුළ ඇති ආවේණික සීමාවන්ට ගරු කළෙන්, ඔහුගේ සත්‍යය, විනිසකරුවන්ගේ නො – සත්‍යයන්ට වඩා බිඳක් වත් නො වටිනා, මතයන් අතර මතයක් බවට පත් විය. තනි ඇතිනියානු පුරවැසියන් හෝ තම සිසුන් සමඟ සෑම ආකාර දෑ ගැන කතා කිරීමට ඔහු පුරුදු ව සිටි අන්දමින්, කාරණය විනිසුරුවන් සමඟ කතා කර ඉවරයක් කිරීමට සොක‍්‍රටීස්ට උදක්ම අවශ්‍ය වීය. එමගින් යම් සත්‍යයක් වෙත එළඹ, අන් අයට එය ඒත්තු ගැන්වීමට තමන්ට හැකි වනු ඇතැ යි ඔහු විශ්වාස කළේ ය. නමුත් පෙළඹවීම එනුයේ සත්‍යයෙන් නො ව, මතයන් ගෙනි. සමූහයා සම්බන්ධයෙන් ක‍්‍රියා කළයුතු අයුරු සලකා බැලිය හැක්කේ සහ දන්නේ පෙළඹවීම පමණි. සමූහයා පෙළඹවීම යන්නෙන් අදහස් වන්නේ, එහි බහු විධ මතයන් මත, යමෙකු තමන්ගේ ම මතය බලෙන් පැටවීම ය. ඒත්තුගැන්වීම නැතහොත් පෙළඹවීම ප‍්‍රචණ්ඩත්වය මඟින් පාලනයේ ප‍්‍රතිවිරුද්ධය නො වේ. එය එහි වෙනත් ස්වරූපයක් පමණි. ප්ලේටෝ ‘නීති’ කෘතිය හැරුණු විට තම සියළු දේශපාලන සංවාද අවසන් කරන්නේ පරළොවක් පිළිබඳ මිත්‍යාවන් සමඟිනි: එම මිථ්‍යාවන් සත්‍යය හෝ හුදු මතය හෝ නොවේ. ඒවා සැලසුම් කර ඇත්තේ බිය ගැන්විය හැකි, කතා වශයෙනි. එනම්, වදන් මගින් පමණක් ප‍්‍රචණ්ඩත්වය යෙදීමේ උත්සාහයක් වශයෙනි. සමාප්තක මිත්‍යාවකින් තොර ව ‘නීති’ කෘතිය අවසන් කිරීමට ඔහු ට හැකි වූයේ, එහි එන දඬුවම් පිළිබඳ සවිස්තර නියම කිරීම්, හා ඊටත් වඩා පවා විස්තරාත්මක දඬුවම් ලැයිස්තුව නිසා, හුදු වදන් මඟින් දැක්වෙන ප්‍රචණ්ඩත්වය අනවශ්‍ය කෙරුණු හෙයිනි……..
ක‍්‍රමානුකූල ව, යමෙකු සමඟ යමක් ගැන දිගටම කතා කිරීමට ඩයලෙජෙස්තායි යොදා ගත් ප‍්‍රථමයා සොක‍්‍රටීස් වීමට හොඳට ම ඉඩ ඇති නමුත්, ඔහු මෙය පොළඹවා ගැනීමේ ප‍්‍රතිවිරුද්ධය හෝ ප‍්‍රතිරූපය ලෙස පවා හෝ නො සැලකුවා විය හැක. ඔහු, මෙම ද්වන්ධ සංවාදයේ ප‍්‍රතිඵල, මතයට, (ඩෝක්සා) ට එරෙහිව ඉදිරිපත් නො කළ බව නියත ය. ඔහුගේ සහෝදර පුරවැසියන්ට මෙන් ම, සොක‍්‍රටීස්ට ද, ඩෝක්සා යනු (ඩොකෙයි මොයි) එනම් මට පෙනෙන දේ, කතා ස්වරූපයට නැඟීම විය……..
ආණ්ඩුවේ තනතුරු හා ගෞරව පිළිකෙව් කළ සොක‍්‍රටීස් කිසි දා මෙම පෞද්ගලික ජීවිතයට, මුලූ ගැන්වුණේ නැත. නමුත් ඊට පරස්පරව කඩපොළේ, මෙම ඩෝක්සායි මතයන් මධ්‍යයේ ම ගැවසුණේ ය. ප්ලේටෝ පසු ව ඩයලෙජෙස්තායි යනුවෙන් කී දෙයටම සොක‍්‍රටීස් ම කීවේ maieutic වින්නඹු කලාව යනුවෙනි: අන්‍යයන්ට කෙසේ හෝ තමන් ම සිතූ දෑ බිහි කරවීමට, තමන්ගේ ඩෝක්සා හි සත්‍යය සෙවීමට, උදව් වීමට සොක‍්‍රටීස්ට ඇවැසි විය……….
කිසිවෙකුට අනෙකාගේ ඩෝක්සා කල් තබා දැන ගත නො හැකි සේ ම, කිසිවෙකුට තමන්ගේ ම මතයේ ආවේණික සත්‍යය ද තමන් විසින් ම සහ වැඩිදුර උත්සාහයෙන් තොර ව දැන ගත නො හැක. සැමට ම හිමිව තිබිය හැකි මෙම සත්‍යය එළියට ගෙන ඒමට සොක‍්‍රටීස්ට අවශ්‍ය විය. අප ඔහුගේ ම maieutic, (වින්නඹු) උපමා රූපකය පිළිගන්නේ නම්, අපට මෙසේ කීමට හැකිය: එක් එක් පුරවැසියාට ඔවුන්ගේ සත්‍යයන් බිහිකර දීමෙන්, නගරය වඩාත් සත්‍යවාදී බවට පත් කිරීමට සොක‍්‍රටීස්ට උවමනා විය. මෙය කිරීමේ ක‍්‍රමය, [ඩයලෙජෙස්තායි], යමක් දිගටම කතාබස් කිරීම ය. නමුත් මෙම ද්වන්ධ සංවාදය සත්‍ය ඉදිරියට ගෙන එනුයේ ඩෝක්සා හෝ මතය විනාශ කිරීමෙන් නොව ඊට පරස්පරව ඩෝක්සා එහි ම සත්‍යවාදී බවින් හෙළිදරව් කිරී මෙනි. ඒ අනුව දර්ශනවාදියාගේ කාර්ය භාරය නගරය පාලනය නො ව, එහි ‘ඇටමැස්සා’ බවට පත් වීම ය. දර්ශනවාදී සත්‍යයන් කීම නො ව, පුරවැසියන් වඩා සත්‍යවාදී බවට පත් කිරීම ය. ප්ලේටෝ සම්බන්ධයෙන් ගත් කළ මෙහි ඇති වෙනස තීරණාත්මක ය: සොක‍්‍රටීස්ට අවශ්‍ය වූයේ පුරවැසියන් දැනුවත් කිරීමට වඩා, ඔහු ද සහභාගි වූ දේශපාලන ජීවිතය සැදුම්ගත්, ඔවුන්ගේ ඩෝක්සායි වැඩි දියුණු කිරීමට ය. සොක‍්‍රටීස්ට, වින්නඹු කලාව දේශපාලන කාර්යයක්, ගනුදෙනුවක්, මූලික වශයෙන් දැඩි සමානත්වය මත පදනම් වූවක් විය. එහි ඵල අර හෝ මෙම පොදු සත්‍යය පාදා ගැන්මේ ප‍්‍රතිඵලය මගින් මිනිය නො හැකිය…..
එහෙත් සොක‍්‍රටීස් වෙනත්, එතරම් පැහැදිලි නැති ආකාරයකින් ද පුරවර රාජ්‍යය සමග ගැටිනි. කාරණයේ මේ පැත්ත ඔහුට නො වැටහුණු බවක් පෙනේ‘ඩෝක්සා’හි සත්‍යය සෙවීම,‘ඩෝක්සා’ සහමුලින් විනාශ කිරීමේ හෝ, දෘෂ්‍යමාන වී තිබූ දේ මායාවක් ලෙස අනාවරණය කිරීමේ, මහා විපත්තිකාරී ප‍්‍රතිඵලය ගෙන දීමට ඉඩ ඇත. ඔහු ඒ ගැන පරීක්‍ෂාකර බලන්නට පටන් ගත් විට, ඔහුගේ මුළු ලෝකය, ඔහුගේ රාජත්වයේ යථාර්ථය, සුනුවිසුනු වී ගිය ඊඩිපස් රජුට සිදු වූයේ මෙය බව ඔබට මතක ඇති. සත්‍යය සොයා ගැන්මෙන් පසු, ඊඩිපස් ට, කාන්තිය, කීර්තිය යන මතයේ බහුවිධ අරුත් වලින්, කිසි‘ඩෝක්සා’ වක් ඉතිරි නො වූ අතර, තමන්ගේ ම ලෝකයක් ද නැති විය. එබැවින් සත්‍යයට‘ඩෝක්සා’ විනාශ කළ හැක, පුරවැසියන්ගේ සුවිශේෂ දේශපාලන යථාර්ථය විනාශ කිරීමට ද ඊට හැක. ඒ අයුරින් ම, සොක‍්‍රටීස්ගේ බලපෑම ගැන අප දන්නා දේ අනුව, ඔහුගේ බොහෝ ශ‍්‍රාවකයන් වඩා සත්‍යවාදී මතයක් ඇති ව නො ව, කිසිදු මතයකින් තොර ව, පිටව යන්නට ඇති බව පැහැදිලි ය. කලින් සඳහන් කරන ලද, බොහෝ ප්ලේටෝනීය සංවාද නිගමනයකින් තොරව අවසන් වීම, පිළිබඳව ද මේ ලෙසින්ම දැකිය හැක. එනම් සියලූ මතයන් විනාශ කෙරේ. නමුත් ඒ වෙනුවට කිසි සත්‍යයක් දෙනු නො ලැබේ. ඔහුට තමන්ගේ ම‘ඩෝක්සා’ වක් නැතැ යි ද, තමා ”වඳ” යැ යි ද, සොක‍්‍රටීස් ම පිළි නො ගත්තේ ද? ඒත්, බාග විට, මෙම වඳ බව ම, මෙම මතයකින් තොර බව ම, සත්‍යය සඳහා පූර්ව අවශ්‍යතාවක් ද නො වී ද? එය කෙසේ වුවත්, සොක‍්‍රටීස්, කිසි විශේෂ ඉගැන්විය හැකි සත්‍යයක් තමන් වෙත නැති බවට ඔහු කළ සියලූ විරෝධතා නො තකා, කෙසේ හෝ, ඒ වන විටත්, සත්‍යයේ විශේෂඥයකු මෙන් පෙනුනා විය යුතු ය. එතැන් පටන් දර්ශනවාදියා අන් සියලූ මිනිසුන්ගෙන් වෙන් කිරීමට යෙදුණු, සත්‍යය හා මතය අතර අගාධය, තව ම විවර ව නො තිබි නමුත්, එය ඒ වන විටත් ඔහු කොතැනක ගියත් තමන් වටා වූ සෑම කෙනෙකු ම හා, සැමට පළමු තමන් ම වඩා සත්‍යවාදී බවට පත් කිරීමට උත්සාහ ගත් , මෙම තනි මිනිසාගේ රූපය තුළ ඒ බවට ලකුණු දක්වා හෝ ඊටත් වඩා, උපකල්පනය කොට තිබිණි…….
වෙනත් විදිහකින් කියතොත්, දර්ශනවාදය හා දේශපාලනය අතර, දර්ශනවාදියා හා පුරවර රාජ්‍යය අතර, ගැටුම පිපිරී ආවේ, සොක‍්‍රටීස්ට – දේශපාලන කාර්යභාරයක් ඉටු කිරීමට නො ව – දර්ශනවාදය පුරවර රාජ්‍යයට අදාළ බවට පත් කිරීමට අවශ්‍ය වී තිබූ නිසා ය. මෙම උත්සාහය පෙරික්ලීස්ගේ මරණය හා සොක‍්‍රටීස්ගේ නඩු විභාගය අතර වූ වසර තිහේ දී, ඇතිනියානු පුරවර රාජ්‍යයේ ජීවිතයේ වේගවත් ගරා වැටීම සමග සමපාත (ඒත් එය හුදු අහඹුවක් නො වීමට ඉඩ තිබුණි) වීම නිසා, මෙම ගැටුම වඩාත් තියුණු බවට පත් විය. දර්ශනවාදයට පරාජයක් අත් කරමින් ගැටුම අවසන් විය: දර්ශනවාදියාට ඔහු වටා ලෝකයේ සැකයන්ට හා විරසකයන්ට විරුද්ධ ව, තමන් ආරක්ෂා කර ගත හැකි වූයේ, පසිඳු ‘ඒපොලිටියා’ : (apolitia), එනම් සියලූ පශ්චාත් ප්ලේටෝනීය දර්ශනවාදයන්ගේ ලක්ෂණයක් වූ, පුරවරයේ ලෝකය කෙරෙහි නො තැකීම සහ අවඥාව මගින් පමණි. දර්ශනවාදීන් තවදුරටත් නගරය ගැන වග කිව යුතු යැයි නො හඟින අවධිය ඇරිස්ටෝටල් සමග ඇරඹේ. මෙම අදහස් දේශපාලන පරිමණ්ඩලය තුළ දර්ශනවාදයට විශේෂ කාර්යයක් නැත යන අරුතින් පමණක් නො ව, ඔහුගේ කවර හෝ සහෝදර පුරවැසියන්ට වඩා, දර්ශනවාදියාට ඊට ඇත්තේ අඩු වගකීමකි යන – දර්ශනවාදියාගේ ජීවන රටාව වෙනස් ය යන – වඩා බොහෝ පුළුල් අරුතින් ද ගැණුනි. කොතරම් වැරදි ලෙස වුව ඔහු වැරදිකරු කොට තීන්දුව දුන් නීතීන්ට, සොක‍්‍රටීස් (නගරය සම්බන්ධයෙන් වගකීමක් ඔහුට හැඟුණෙන්) ඒත් අවනත වූ නමුත්, ඒ හා සමාන නඩු විභාගයක අනතුරට මුහුණ පෑ විට, ඇරිස්ටෝටල් වහාම හා කිසි සිත්තැවීමකින් තොර ව ඇතැන්ස් හැර ගියේ ය. ඇතිනියානුවන් දර්ශනවාදයට විරුද්ධ ව දෙවරක් පාපයේ නො යෙදිය යුතු යැ යි ඔහු කී බවක් සඳහන් වේ. එතැන් පටන් දේශපාලනය සම්බන්ධයෙන් දර්ශනවාදීන්ට අවශ්‍ය වූ එක ම දෙය, තමන්ගේ පාඩුවේ ඉන්නට දෙනු ලැබීම පමණිත ඔවුන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටි එක ම දෙය ඔවුන්ගේ සිතීමේ නිදහසට ආරක්ෂාව පමණි. මනුෂ්‍ය කටයුතු පිළිබඳ පරිමණ්ඩලයෙන් දර්ශනවාදයේ මෙම පලා යාම, සිදු වූයේ තනිකර ම, ඓතිහාසික වාතාවරණයන් නිසා නම්, එහි ක්ෂණික ප‍්‍රතිඵලයන්ට – චින්තනයේ මිනිසා කි‍්‍රයාවේ මිනිසාගෙන් වෙන් වීම – මෙම මූලධර්මය මත අභියෝගයට ලක් නො වී, වසර දෙදහස් පන්සියයක, ඉතාමත්, විවිධ වූ දේශපාලන හා දර්ශනවාදී අත්දැකීමට ඔරොත්තු දුන්, අපගේ දේශපාලන චින්තන සම්ප‍්‍රදාය ස්ථාපිත කිරීමට ඉඩ තිබුණේය යන්න සැකයකට වැඩිදෙයකි. සත්‍යය වනුයේ, වඩාමත්, සොක‍්‍රටීස්ගේ නඩු විභාගය තුළ මෙන් ම පුද්ගලයා වශයෙන් ඔහු තුළ ද, සොක‍්‍රටීස්ගේ ම උගැන්වීම් ගැන අප දන්නා දෙයින් පෙනෙනවාට වඩා දර්ශනවාදය හා දේශපාලනය අතර බොහෝ ගැඹුරු හා අනෙක්, ප‍්‍රතිවිරෝධයක් මතු වූ බවය……
එහෙත් දර්ශනවාදියාගේ ජිවිතයට තර්ජනය එල්ල කරන අනෙක් ගැටුම, එහි ඵල විපාකයන් අතින් ඊටත් දරුණු ය. මවිතයේ කරුණා රසය pathos මිනිසුන්ට පරකීය නො ව, ඊට පරස්පර අන්දමින්, මානව කොන්දේසියේ ඉතාමත් පොදු ලක්ෂණයන්ගෙන් එකක් බැවින් හා බොහෝ අයට ඉන් පිට ඇති මාර්ගය, මතයන් උචිත නොවන අවස්ථාවන්හි ගොඩ නඟාගැන්ම බැවින්, දර්ශනවාදියා, තමන්ට ඉවසා සිටිය නොහැකි වන මෙම මතයන් සමග, නො වැළැක්විය හැකි අන්දමින් ගැටෙන්නේ ය. කතා නැති බවේ ඔහුගේ ම අත්දැකීම ප‍්‍රකාශිත වනුයේ පිළිතුරු දිය නො හැකි ප‍්‍රශ්න නැඟීමෙන් පමණක් බැවින්, ඔහු දේශපාලන පරිමණ්ඩලයට ආපසු ගිය මොහොත් ම ඔහු සැබැවින්ම එක් තීරණාත්මක අවාසියකට පත්වන්නේ ය. දන්නේ නොමැති එකම පුද්ගලයා ඔහුය, අනෙක් මතයන් – මෙම මතයන්ගේ සත්‍යය හෝ අසත්‍යය තීරණය කිරීමට වැටහෙන නුවණට අවැසිය, එම වැටහෙන නුවණ නම්, අප සැමට පොදුවේ ඇතිවා පමණක් නොව, අප පොදු ලෝකයකට ගලපන හා එමගින් පොදු ලෝකයක් වීමට හැකියාව ඇති කරවන සයවන ඉන්ද්‍රියයි – සමඟ තරඟ කිරීමට, පැහැදිලිව නීර්ණිත හා විශද ‘ඩොක්සා’ නොමැති එකම පුද්ගලයා ඔහුය. අපගේ පොදුවේ පිළිගැනුණු අගතීන් හා විනිශ්චයන් ද අයත් වන, මෙම සාමාන්‍ය අවබෝධයේ ලෝකයට කතා කිරීමට, දර්ශනවාදියා පටන් ගත හොත්, හැම විට ම තේරුම් රහිත දෙයින් කතා කිරීමට හෝ – යළිත් හේගල්ගේ යෙදුමක් භාවිතා කරතොත් – සාමාන්‍ය අවබෝධය උඩුයටිකුරු කිරීමට ඔහු පෙළඹෙනු ඇත…….