දේශපාලනයේ ආචාර ධර්මය: ‘පශ්චාත් මාක්ස්වාදී‘ වෙස් මුහුණු සහ ප්‍රැක්සිස් සාමුහිකයේ ගැටළුව
ඔබගේ ක්‍රියාවේ මූලධර්මය පොදු නීතියක් බවට පත්විය හැකි ආකාරයෙන් නිරතුරුව හැසිරෙන්න.
කාන්ට්
කෙනෙක් කරන දෙයට යුක්තියුක්තකරණයක් දීමට හැකිවීම, වගකිව හැකිවීම ආචාර ධර්මීය චරිත ස්වභාවයට අත්‍යවශ්‍ය වේ.
ගැඩමර්
දේශපාලනයේදී අනෙකාගේ මතයට එරෙහි විවේචනය සීමා ඉක්මවා යාමක් බව අප ඉගෙනිය යුතුය. අනාගතය සම්බන්ධයෙන් ගත්කල අනෙකා වටහා ගැනීම සඳහා ගැඹුරු පදනමක් අප සොයා නොගන්නේ නම් අප සියල්ලෝ සිටින්නේ අනතුරේ යැයි මට සිතේ.
ගැඩමර්
ප්‍රජාතාන්ත්‍රික අරගලය යනු පස මිතුරුභාවයක් තරඟකාරීත්වයක් බවට පරිවර්තනය කිරීමට හැකි වීමයි.
ෂන්තාල් මූෆ්
ප්‍රැක්සිස් සාමුහිකය ‘කතිකා’ අධ්‍යයන කවයේ සාමාජික කුමුදු කුසුම් කුමාරට එල්ල කරන ලද සයිබර් මැර ප්‍රහාරයට ‘කතිකා‘ අධ්‍යයන කවයේ ප්‍රතිචාරය පහත පළවෙයි. අප මෙය පළකරන්නේ ප්‍රැක්සිස් සාමුහිකය හෝ එහි සාමාජිකයන් සමඟ සංවාදයක් ගොඩ නැඟිය හැකිය යන විශ්වාසයෙන් නොවේ. අපට පදනම් විරහිතව පහර දෙන්නවුන් සමඟ සංවාද පැවැත්විය හැකි යැයි අපි නොසිතමු. අපගේ අරමුණ අපගේ ආස්ථානය අපගේ මිතුරන් සහ පාඨකයන් සඳහා වාර්තා කොට තැබීම ය.
‘කතිකා’අධ්‍යයන කවය විසින් 2010 ජනාධිපතිවරණය අරඹයා නිකුත් කරන ලද ප්‍රකාශනයක් මුල් කරගෙන අප කවයේ සාමාජිකයෙකු වූ කුමුදු කුසුම් කුමාරට එල්ල කරන ලද අවලාදාත්මක ප්‍රහාරය සම්බන්ධයෙන් ඒ මොහොතේ අප නිහඬ පිළිවෙතක් අනුගමනය කළේ විවෙචනාත්මක හෝ විශ්ලේෂණාත්මක කිසිවක් නැති ශිෂ්ට දේශපාලන ලෝකයේ පිළිගැනෙන සාමූහික ක්‍රියා දුර්මුඛ කරන එවැනි “සරණාගතයා” “ජරාජීර්ණ වූ මහල්ලන්” වැනි ලේබල් කිරීමේ චරිත ස්වභාවයන් සම්බන්ධයෙන් අපට කළ හැකි කිසිවක් නැති නිසාත් එසේ කිරීමට යාමෙන් බහුවිධ ප්‍රජාතාන්ත්‍රික දේශපාලන සංස්කෘතියකට අනවශ්‍ය තරමේ පස මිතුරුතාවයක් උත්සන්න වීමට හේතුවිය හැක යන විශ්වාසයෙනි.
කෙසේ නමුත්,දිගින් දිගටම අපගේ ප්‍රකාශය පිළිබඳ ප්‍රැක්සිස් සාමූහිකයේ විකෘති කියවීම් ගෙනහැර දක්වමින්ද, තම සාමාජිකයෙකුගේ කතිකාචාර්ය තනතුර නැතිකර නැති කර දැමුවේ යැයි ද, තවත් සාමාජිකයන් දෙපලකගේ පර්යේෂණ අධීක්ෂණයෙන් ඉවත් වූ බවද අභූත චෝදනා හා අවලාද නගමින්ද අප අනෙකා බවට පත් කරගනිමින් අප සමග දේශපාලන ගනුදෙනුවක් ගොඩනගනු වෙනුවට අනෙකා නිහඬ කර යටපත් කර විනාශ කර දැමීමේ පැරණි ‘එක්ස්‘ කණ්ඩායමේ වර්ගයේ දේශපාලනයට පණ දීමට උත්සාහ කරන තත්වයක් තුල පාඨකයන් සඳහා අපගේ පැහැදිළි කිරීම ඉදිරිපත් කළ යුතු අවදියකට පැමිණ ඇත. කතිකාචාර්ය තනතුර පිළිබඳ කාරණය ගැන කුමුදු කුසුම් කුමාර විසින් දැනටමත් පැහැදිළි කිරීමක් කර ඇති හෙයින් ඒ ගැන මෙහිදී සාකච්ඡා කිරීම අනවශ්‍යය.
තමුන් ම්ලේච්ඡයන්ගෙන් වෙනස් වෙමින් තම දේශපාලන කටයුතු කථනයේ ස්වරූපයෙන් හා බලහත්කාරයෙන් තොරව මෙහෙයවීය යන කරුණ හේතුවෙන් ඇතීනියානුවන් ආඩම්බර වූයේ ඔවුන් පෙළඹවීමේ (persuation) දේශපාලන කලාව දැන සිටි නිසා යැයි පවසන හනා අරෙන්ඩ්ට් බහුවිධතාවය ප්‍රකාශ කරන තැනක් වන මහජන පරිමණ්ඩලය කථනයේ හෝ පෙළඹවීමේ මාධ්‍යය ඇසුරෙන් පුරවැසියෝ එකිනෙකා අතර ක්‍රියා කරන, තම අද්විතීය අනන්‍යතාවය අනාවරණය කරණ සහ පොදු ලෝකය පිළිබඳ කරුණු සාමුහික විචාරණය තුළින් තීරණය කරණ එකිනෙකාට පෙනී සිටිය හැකි අවකාශයක් බව පෙන්වා දේ. එහි පැවැත්ම රඳා පවතින්නේ සම්භාෂනීය භව්‍යතාවය සමගය. සාම්‍යන්ගෙන්(peers) සැදුම්ගත් මෙම මහජන හමුවේ දී විධිමත්භාවය (formality) අවශ්‍යය.
මෙවැනි ආකාරයේ දේශපාලන සම්භාෂණයක් විය හැකි කරවන සංවාද භාෂාවේ අචාරශීලීත්වය හෝ ශිෂ්ට සම්පන්න බව (civility) වෙනුවට වාමාංශිකයන්ගේ නම් පෙලක් ඉදිරිපත් කර ජරාජීර්ණ වූ මහල්ලන්(මහල්ලන් ජරාජීර්ණ යැයි ඉවත දැමීම කවර දේශපාලනයක්ද ? පැසිස්ට්වාදය නොවේ ද? මේ අය තමන්ගේ වැඩිහිටියන් මහලු වියට පත් වූ විට ජරාජීර්ණ යැයි ඉවත දමන්නේද? ) යැයි ද ධම්ම දිසානායක, කුමුදු කුසුම් කුමාර ඇතුළු අය මහින්ද චින්තන සරණාගතයන් යැයිද, විමුක්ති ජයසුන්දර, නදීක ගුරුගේ, සෞම්‍ය ලියනගේ වැනි කලා කරුවන්ට කම්බ හොරු සහ අමනයන් යැයි ද නාමකරණය කිරීම තම අනෙකා සහ අනෙකාගේ පැවැත්ම සහ දේශපාලනය බැහැර කර, විනාශ කර, පවිත්‍රකරණය කර තමාගේ දේශපාලනය පමණක් පාරිශුද්ධ යැයි ස්ථාපිත කරන පැසිස්ට්වාදය හැර අන් කවරක් ද? මේ වෛරී භාෂාවෙන් ප්‍රකාශ වන්නේ ප්‍රැක්සිස් සාමාජිකාවක් “විසම්මුතියේ සංවාදය” නම් තම ලිපියේ පෙන්වා දුන් “අනෙකාගේ පැවැත්ම එලෙසින් බාර ගැනීම සහ එය ඉවසීම”ක් දැයි අප ඇසිය යුතුය. මෙහි වෙනසකට ඇත්තේ පශ්චාත් මාක්ස්වාදී වෙස් මුහුණක් දමා ගැනීමය.
එම ප්‍රැක්සිස් සාමාජිකාව මෙසේ ද පවසයි; “සමාජය සංවිධානය කරන අය පස මිතුරු අනෙකා නම් කිරීම දේශපාලනයේ මූලධාර්මික කලාවයි”. මෙය දේශපාලනය පිළිබඳ පරම සත්‍යයක්ද? නැතහොත් ඒ පිළිබඳ එක් එළඹුමක් පමණක්ද? නමුත්,පශ්චාත් මාක්ස්වාදයේ ආදිකතෘවරියක් වන ෂන්තාල් මූෆ් පවසන්නේ මීට හාත්පසින්ම වෙනස් කරුණකි. දේශපාලනික දේ සහ දේශපාලනය ගැන සාකච්ඡා කරණ ඇය පෙන්වා දෙන්නේ දේශපාලනික දේ (the political) යනුවෙන් සමාජ සම්බන්ධතා වල විද්‍යමාන භව්‍යතාවයක් වන පස මිතුරුභාවයේ (antagonism) මානය වටහා ගැනෙන බවයි. සෑම සමාජ සම්බන්ධතාවයක්ම පසමිතුරු ආකාරයෙන් ගොඩ නැගී නැති බව පවසන ඇය දේශපාලනය සංයුක්ත වන්නේ පසමිතුරු මානය නිසා ඇතිවන ගැටුම් සහගත තත්වයන් යටතේ පර්යායක් නිර්මාණය කිරීමටත්, මානව සහවාසය (coexistence) සංවිධානය කිරීමටත් උත්සාහ කිරීමෙනි යන්න පෙන්වා දේ. එකල්හි ප්‍රජාතාන්ත්‍රික අරගලය යනු පස මිතුරුභාවයක් තරඟකාරීත්වයක් (agonism) බවට පරිවර්තනය කිරීමට හැකි වීමයි. ඇය වැඩි දුරටත් පෙන්වා දෙන්නේ එය පස මිතුරුභාවය හීලෑ කර ගැනීමේ ආකාරය බවය, ප්‍රජාතාන්ත්‍රික අරගලයක් සමග අනුකූල කර ගන්නා ආකාරය බවය, සතුරු මිතුරු (friend-enemy) සම්බන්ධතාවයක් ප්‍රති පාක්ෂික (adversary) සම්බන්ධතාවයක් බවට පත් කරගන්නා ආකාරය බවය. ඇය ප්‍රති පාක්ෂිකයා යනුවෙන් දක්වන්නේ තම ස්ථාවරය වෙනුවෙන් පෙනී සිට සටන් කිරීමට ඇති අයිතිය අප විසින් ප්‍රශ්න නොකරන සමානයෙකු (equal) ගැනය. ඔවූහු ප්‍රජාතාන්ත්‍රික ප්‍රජාවේ පාර්ශවයන්ය, එම අයිතිය සතුරාට නැත. එබැවින් තරඟකාරී බහුත්වවාදය (agonistic pluralism) යනු ප්‍රතිපාක්ෂිකයන් අතර ඇති වන්නකි.
කෙනෙක් දැන් ඇසිය යුත්තේ මේවැනි පශ්චාත් මාක්ස්වාදී (post Marxist) අරුතකට ඔවුන්ගේ බැන අඬ ගැසීම්, අවලාද නැගීම්, වෛරී කථනයන් එකඟ ද යන්නය. එවා වඩාත් සමීප වනු ඇත්තේ පැරණි ‘එක්ස්‘ කණ්ඩායම් දේශපාලනයටය.
ප්‍රැක්සිස් සාමුහිකයේ සාමාජිකාවක් තම නිබන්ධයේ අධීක්ෂණයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් කුමුදු කුසුම් කුමාරට එල්ල කරන ලද දෝෂාරෝපණය සම්බන්ධයෙන් අපට ඇයට කීමට ඇත්තේ හෘදය සාක්ෂියට එබී බලන ලෙසයි. ජනාධිපතිවරණය පිළිබඳ අපගේ ප්‍රකාශය පළවන්නේ 2010 වර්ෂයේදීය. මෙම ප්‍රැක්සිස් සාමුහිකයේ අයට ඒ පිළිබඳ තම විනිශ්චයන් ගොඩනගා ගැනීමට ඔනෑ තරම් කල් තිබී ඇත. එසේ තිබිය දී මෙම සාමාජිකාව ඔවුන්ගේ කණ්ඩායම මහින්ද චින්තන සරණාගතයෙක් යැයි දකින අයෙක් තෝරා ගත්තේ මන්දැයි පැහැදිළි කිරීම ආචාර ධර්මීය වශයෙන් වැදගත්ය.ඒ පිළිබඳ පැහැදිළි කරමින් කණ්ඩායමේ වෙනත් අයෙකුගේ ප්‍රකාශයක් ගැන ඇයට වගකිව නොහැක යනුවෙන් වරෙක පැවසීමෙන් ඇය අඟවන්නේ ඇය මෙම අදහස අනුමත නොකරන බවද? අනෙක් අතට මෙහිදී මතුවන ගැටළුව වන්නේ සාමූහික දේශපාලන කණ්ඩායමක ක්‍රියා වල වගකීම එම සමුහයේ සියළු දෙනාට පොදුවේ බාරගැනීමට සිදුනොවන්නේද යන්නයි. නමුත් ඇය පවසන්නේ ඇය අයත් කණ්ඩායම වෙනත් කණ්ඩායම් මෙන් නොව සාමාජිකයන්ට ස්වාධීන මත දැරීමට හැකි බවයි. එවිට මතුවන ගැටලුව නම් තම ගුරුවරයාට කණ්ඩායම් සාමාජිකයෙකු සරණාගතයා යැයි බැණ වැදීමේ අදේශපාලනික, ආචාර ධර්මීය නොවන ක්‍රියාව ගැන ඇය එම ස්වාධීනත්වය යොදා ප්‍රසිද්ධියේ විවේචනයක් කිරීමට නොසිතුවේද? යන්නයි. ඇය එසේ නොකරනතාක් මෙය මහජන තලයේ සිට නිරීක්ෂණය කරන්නන්ට පෙනෙන පරිදි ඇය අයත් වන්නේ අවලාද නගන්නාගේ ගොඩටමය. වෛරී අවලාද නගන්නන් අතර ගුරු ශිෂ්‍ය සම්බන්ධතා තබා සාමූහික දේශපාලන සංවාදයක් වත් ගොඩනැගිය හැකි ද යන ගැටළුව මෙය මහජන තලයේ සිට නිරීක්ෂණය කරන්නන්ට ඇති වීම සාධාරණය. දැන් ඇය කරන ප්‍රකාශ තුළින් පෙනී යන්නේ ඇයට ඒ පිළිබඳ ස්වාධීන විවේචනයක් තිබී නැති බවත් එය අනුමත කරන බවත්ය.
දැන් ඇය මෙසේ කියයි.
“ එහෙත් ප්‍රැක්සිස් සාමුහිකයේ පළමු සඟරා කලාපයෙහි දැක්වූ ලිපියක සඳහන් ඔහු (කුමුදු කුසුම් කුමාර) පිළිබඳ විශ්ලේෂණය දැකීමෙන් අනතුරුව බොහෝ දේ වෙනස් විය. එය හුදෙක් ඔහු මුලික කොටගෙන ලියුවක් නොව විශ්ලේෂණයට ගත් තත්ත්වයන් පැහැදිලි කිරීමක් විය.“
ප්‍රැක්සිස් සාමාජිකාව කියන ඉහත සඟරාවෙහි කුමුදු කුසුම් කුමාර පිළිබඳ පළවූ අදහස් අපි පහත එකින් එක ගෙන හැර දක්වමු.
“ කුමුදු කුසුම් කුමාර අයත් ‘කතිකා’අධ්‍යයන කවය වසර 2010 තරම් මෑත කාලයේදී පත‍්‍රිකාවක් ප‍්‍රසිද්ධියට පත් කරමින් තර්ක කළේ පසුගිය ජනාධිපතිවරණයේ ප‍්‍රධාන කතිකාමය පසමිතුරුතාව වූයේ සරත් ෆොන්සේකා අයත් පාර්ශවයේ නව-ලිබරල් ධනවාදයට එරෙහිව රාජපක්‍ෂ පාර්ශවයේ සිංහල වාර්ගික- ජාතිකවාදය බවයි.“
ඉහත දැක්වූ ප්‍රැක්සිස් සඟරාවෙහි තව දුර මෙසේ සඳහන් වීය.
“ තවදුරටත් ලාංකේය දේශපාලන සමකාලීනත්වය තේරුම් කරන්නට සුමනසිරි-දයාන්-කුමුදු- අයත් අතීත පරපුරට කිසිදු විශ්ලේෂණාත්මක හැකියාවක් නොමැති බව යළිත් අපට පසක් විය.“
“ දයාන් ජයතිලක, සුමනසිරි ලියනගේ, වාසුදේව නානායක්කාර, ඩිව් ගුණසේකර, තිස්ස විතාරණ ඇතුළු චින්තනමය සහ දේශපාලනමය ලෙස ජරාජීර්ණ වූ මහල්ලන් පිරිස සේම ධම්ම දිසානායක, කුමුදු කුසුම් කුමාර ඇතුළු චින්තන සරණාගතයන් ද මෙම මහින්ද චින්තන බලවේගය තුළ ප‍්‍රගතිශීලී මැජික් පොල්ලක් ඇති බව නියමෙන් හා අනියමෙන් හඟවන්නට පටන් ගත්තේ එහෙයිනි. “
එම සඟරාවෙහි කුමුදු කුසුම් කුමාර පිළිබඳ සඳහන් වන්නේ මෙපමණකි.
දැන් අපි මෙම අදහස් තුන වෙන් වෙන්ව ගෙන කෙටියෙන් විමසා බලමු.
ඉන් පළමුවැන්න, ‘කතිකා’ අධ්‍යයන කවය කී දෙය ප්‍රැක්සිස් සාමුහිකය තමන්ට අවශ්‍ය පරිදි ලිවීමකි. ‘කතිකා’ අධ්‍යයන කවය කීවේ මෙයයි:
“ 2010 ජනාධිපතිවරණය: ජාතිකවාදයද නැතහොත් ලිබරල්වාදයද? දෙකම!
2010 ජනාධිපතිවරණය, ලංකාව එහි අනාගත ගමන් මග සම්බන්ධයෙන් අතිශයින් තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ ඇති බව සළකුණු කරන්නේය යන්න අපගේ අදහසයි. මේ බව මෙරට මහජනයාද වටහා ගෙන ඇති බව ජනාධිපතිවරණය පිළිබඳ ඔවුන් දක්වන දැඩි උනන්දුවෙන් පෙනී යයි. ලාංකේය මහජනයා ජනාධිපතිවරණයේ ප්‍රධාන දෙපිළ අතර උග්‍ර ලෙස දෙකට බෙදෙමින් සිටිති. ජනාධිපතිවරණයේ ප්‍රධාන දෙපිළ අතර අපට දැකිය හැකි උග්‍ර ගැටුම ජාතිකවාදය සහ ලිබරල්වාදය යන ප්‍රතිවිරුද්ධ ලෙසින් වටහා ගැනෙන කතිකාවන් දෙකත්, ඒ මත ගොඩනැගුණු විශ්වාස පද්ධතීන් සහ ස්ථාපිතවී ඇති ජීවන ආකාරයන් පදනම් කොට ගත්තකි.
මෙම ජනාධිපතිවරණය පැහැදිලිව පෙන්වන කරුණක් නම්, එල්ටීටියේ ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය ජය ගැනීමෙන් මෙරට අධිපති මතවාදය ලෙස ජාතිකවාදය ස්ථාපිත විනැයි ජාතිකවාදීන් තුළ විශ්වාසයක් ඇතිවී නම්, ඊට බරපතළ අභියෝගයක් එල්ලකිරීමට සමත් ලෙසින් ලිබරල්වාදය ලංකාවේ ස්ථාපිත වීඇති බවයි.
ජනාධිපතිවරණයේ ප්‍රධාන දෙපිළෙන් කුමන පිළක් ජයග්‍රහණය කළද, එම පිළ බලය යොදා තම මතවාදී අධිපතිභාවය පසමිතුරු පාර්ශවය මත පිහිටුවීමට යොමුවිය හැකිය. එසේ කළහොත් ඉදිරි කාලයේදී මෙම ගැටුම තවත් උග්‍රවී ලාංකේය සමාජය තුළ දිගු කල් පවත්නා විසංවාදයක් ඇති කිරීමට ඉඩ ඇත. එයින් අප සමාජයේ පවත්නා අධිකාරවාදී ප්‍රවණතා තවත් ශක්තිමත් කිරීමෙන්, එහි ස්ථායීභාවයට බලවත් තර්ජනයක් එල්ල කිරීමේ අනතුරකට අප මුහුණ පෑමට ඉඩ ඇති බව අවධාරණය කරන්නට අප කැමැත්තෙමු.
මේ මොහොතේ ලාංකේය සමාජයේ යහපත පතන්නන්ගේ වගකීම වන්නේ, මෙම අවදානම මගහැරීම සදහා අපගේ සමාජීය පරිකල්පනාව, වත්මන් ජනාධිපතිවරණයේදී තමන් පක්ෂපාතී පිළ දිනවීමට කටයුතු කිරීමෙන් ඔබ්බට යොමු කිරීම බව අපගේ විශ්වාසයයි. පහත, අප ඉදිරිපත් කරන විග්‍රහය ඒ අරමුණින් කෙරෙන්නකි.“
‘කතිකා’අධ්‍යයන කවයේ අදහස පැහැදිළිව වටහා ගැනීමට මුළු ලිපිය මෙහි කියවිය හැකිය: 2010 ජනාධිපතිවරණය: ජාතිකවාදයද නැතහොත් ලිබරල්වාදයද? දෙකම!
ප්‍රැක්සිස් සාමාජිකාව කියන්නේ ප්‍රැක්සිස් සඟරාව පළකළ ඉහත සඳහන් අදහස් කුමුදු කුසුම් කුමාර “ පිළිබඳ විශ්ලේෂණය“ ක් බවයි. තවද, “ එය හුදෙක් ඔහු මුලික කොටගෙන ලියුවක් නොව විශ්ලේෂණයට ගත් තත්ත්වයන් පැහැදිලි කිරීමක් විය“ යන්නයි.
ප්‍රැක්සිස් සාමාජිකාවගේ මෙම අදහසින් කෙනෙකුට මතුවන ප්‍රශ්නයක් විය හැක්කේ කුමුදු කුසුම් කුමාර ප්‍රැක්සිස් සාමාජිකාවට විශ්ලේෂණය පිළිබඳ කිසිවක් උගන්වා ඇත්ද? යන්නයි.
ඒ බව “ කුමුදු- අයත් අතීත පරපුරට කිසිදු විශ්ලේෂණාත්මක හැකියාවක් නොමැති “ ය යන ප්‍රැක්සිස් සඟරාවෙහි පළවන අදහස පිළිගැනීමෙන් ප්‍රැක්සිස් සාමාජිකාවමත් පිළිගනියි. නැතිනම් ඉහත අදහස් කුමුදු කුසුම් කුමාර “ පිළිබඳ විශ්ලේෂණය“ ක් ලෙසින් හෝ “විශ්ලේෂණයට ගත් තත්ත්වයන් පැහැදිලි කිරීමක්“ ලෙස ඇය කියන්නේ කුමන පදනමක් මතද?
තම ගුරුවරයා හමුවී ඔහුගෙන් ඉගෙන ගන්නවා යැයි කියන අතරේ ප්‍රසිද්ධ වේදිකාවේ එම ගුරුවරයා පිළිබඳ කෙරෙන ඉහත ආකාරයේ ‘විශ්ලේෂණ‘ පිළිගන්නා ශිෂ්‍යයන්ට ඉගැන්වීමට තමන්ට කිසිවක් නැතැයි ගුරුවරයා කියතොත් එය වෛරයක් ලෙස හැඳින්වීමේ ඇති ‘විශ්ලේෂණය‘ත් අයත් විය යුත්තේ ඉහත ‘විශ්ලේෂණ‘ ක්‍රමයටම විය යුතු යැයි අපට දැන් කිව හැක. එය පළිගැනීමක් වන්නේ එම ‘විශ්ලේෂණ‘ ක්‍රමයේම අර්ථයෙන් විය යුතුය. වෛරය පළිගැනීම වැනි හැඟීම් අවුස්සාලන වචන වෙනුවට විශ්ලේෂණ හැකියාවක් නැති චින්තන සරණාගතයෙකුගේ අධීක්ෂණය යටතේ තම ශාස්ත්‍රපති නිබන්ධය රචනය කිරීමට ඉඩ තිබුනු අවස්ථාවෙන් ඇය නිදහස් කරදීම ගැන ඇය කුමුදු කුසුම් කුමාරට ස්තුති වන්ත විය යුතු නොවේද?
ඉතින් ඇය කියන පරිදි මෙය පළිගැනීමක් වන්නේ ගුරුවරයා ප්‍රැක්සිස් සාමාජිකාවට ඉගැන්වීම ප්‍රතික්ෂේප කළ නිසාද? ඇය දැන් ප්‍රකාශ කරන අදහස් සළකා බැලූ විට ප්‍රැක්සිස් සාමාජිකාවට ගුරුවරයාගෙන් ඉගෙන ගැනීමට යමක් තිබුණාද? යන ප්‍රශ්නය පිටතින් සිට මෙය නිරීක්ෂණය කරන්නෙකුට මතුවිය හැක.
ප්‍රැක්සිස් සාමාජිකාව කියන පරිදි එය පළිගැනීමක් නොවන්නට නම් ප්‍රැක්සිස් සාමුහිකයේ නායකයන් ප්‍රසිද්ධ වේදිකාවේ “ කුමුදු කුසුම් කුමාර ඇතුළු චින්තන සරණාගතයන් ද මෙම මහින්ද චින්තන බලවේගය තුළ ප‍්‍රගතිශීලී මැජික් පොල්ලක් ඇති බව නියමෙන් හා අනියමෙන් හඟවන්නට පටන් ගත්තේ එහෙයිනි“ යි ඒ පිළිබඳ කිසිදු විශ්ලේෂණයකින් තොරව කෑ අඬ ගසන විට කුමුදු කුසුම් කුමාර කළ යුතුව තිබුණේ එය නෑසුණා සේ නොදුටුවා සේ ප්‍රැක්සිස් සාමාජිකාවන්ට තමන් දන්නා දෙය උගන්වන්නට වෙර දැරීමය. නමුත් “ කුමුදු- අයත් අතීත පරපුරට කිසිදු විශ්ලේෂණාත්මක හැකියාවක් නොමැති“ කළ ඔහුට ඇයගෙන් ඉගෙන ගන්නට වනවා හැර ඔහුගෙන් ඇයට උගත හැක්කේ කුමක් ද යැයි යමෙකුට ප්‍රශ්න කළ හැකි නොවේද?
ලංකාවේ සිවිල් සමාජයේ ඉහල ආයතන, ජනවාර්ගික අධ්‍යයන ආයතන තමාගේ දේශපාලන ව්‍යාපෘති වලට පාවිච්චි කරන ප්‍රැක්සිස් සාමුහිකයේ නායකයන් ඒ ප්‍රජාතන්ත්‍රවාදී දේවාල වන්දනා කරන ගමන් තමාගේ ස්ථාන මාරු හදා ගැනීමට තමුන් ෆැසිස්ට්වාදී යැයි කියන ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ මැතිවරණ ව්‍යාපාර සංවිධානය කිරීමට ද රිංගා දැන් අනෙක් අයට මහින්ද චින්තන ලේබල් අලවා නිහඬ කිරීමට තැත් කිරීම කවර දේශපාලනයක් දැයි තීරණය මහජන තලයට බාර කළ යුතුය.